Tuesday, November 29, 2011

Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12

මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම් ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොට දැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්... නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්‍යයක පෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...

ලංකාවේ අපිට නම් වේදිකා නාට්‍යයකට Trailer එකක් නිකුත් කිරීම තවමත් තරමක අළුත් අත්දැකීමක්...! කොහොම වුනත් අන්තර්ජාල තාක්ෂණයේ උදව්වත් අරගෙන අපේ වේදිකා නාට්‍ය කලාව අළුත් මානයකට යන එක ගැන නම් සතුටුයි. මේ වටිනා කලා මාධ්‍යය සජීවීව පවත්වා ගන්නට සිය නිර්මාණ දායකත්වය දෙන සම්පත් දායකයන් අතරින් කැපී පෙනෙන නාමයක් ලෙස අතුල පතිරණ හඳුන්වා දෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නාට්‍ය බොහෝමයකට දායක වූ ඔහු හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්...! ජනප්‍රිය වගේම කුසලතා පූර්ණ රංග ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් නිමවුනු දොලහක් 12 නමින් හඳුන්වන නවතම වේදිකා නාට්‍යය සඳහා තමයි ඉහත කියූ පෙරදැකුම (Trailer) සකස් කර තිබෙන්නේ. තරමක් වෙනස් කථා තේමාවක් සහිත, ප්‍රේක්ෂක කුතුහලය කුළු ගන්වන සුළු අපූර්ව වේදිකා නාට්‍ය නිර්මාණයක් ලෙසින් මේ ප්‍රයත්නය හඳුන්වා දෙන්න පුළුවන්.


Read more: http://chathucn.blogspot.com/2011/11/outdoor-trailer-12.html#ixzz1f7IOtqRw
Under Creative Commons License: Attribution Non-Commercial No Derivatives

12 'Dholahak'

12 'Dholahak'
Directed by Athula Pathirana


Wishvajith Gunasekera, W. Jayasiri, Lakshman Mendis, Dharmapriya Dias,
Chamindasampath Jayaweera, Thumindu Dodanthenne, Jagath Manuwarna
Pujitha De Mel, Sanjaya Hettiarachchi, Gihan De Chickera,
Saman Pushpa Liyanage, Gamini Wijesinghe & Dayadewa Edirisinghe





Friday, November 18, 2011

සමහර වෙබ් අඩවි අසත්‍ය වපුරන කැලෑ පත්තර වෙලා

සමහර වෙබ් අඩවි අසත්‍ය වපුරන කැලෑ පත්තර වෙලා

ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
ඩබ්ලිව්. බී. ගනේගල




සීමා පැනවෙන්නේ චරිත ඝාතනය කරමින් සදාචාර විරෝධී ලෙස වගකීම් විරහිතව කටයුතු කරන වෙබ් අඩවිවලට පමණක් බවත් මෙවැනි විකෘති අදහස් පළ කරන වෙබ් අඩවිවලට සීමා පැනවීම මාධ්‍ය නිදහසට සීමා පැනවීමක් ලෙස පෙන්වන්න හදන්නේ ඔළුව නරක් වූ අය බවත් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පවසයි.
සිළුමිණ සමඟ වෙබ් අඩවි තහනම ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ ප්‍රකාශය කළේය.
එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට ලේකම්වරයා දුන් පිළිතුරු මෙසේ ය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය පටන්ගත් වෙබ් අඩවි ලියා පදිංචිය හා වෙබ් අඩවිවලට සීමා පැනවීම ගැන කතා කළොත්.
අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ මෙරට හෝ පිටරට ඉඳගෙන මේ රට ගැන ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ගැනයි. පුද්ගලයන්ට මඩ ගසමින් අසත්‍ය පෙන්වන මාධ්‍ය ආචාර ධර්ම කෙලසමින් කටයුතු කරන වෙබ් අඩවිවලටයි සීමා පනවන්නේ. ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව පවත්වාගෙන යන වෙබ් අඩවි සම්බන්ධයෙන් ඒ නිදහස අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා.

දැනට වෙබ් අඩවි දහයකට බාධක පනවා තිබෙන බව කියනවා...?

නියම ගණන මම දන්නේ නැහැ. ඇත්ත වෙන්නත් පුළුවන්. කීපයකට බාධා කිරීම් කරල තියනවා. ඒක කරන්නේ වෙනත් ආයතනයකින්නේ. විදුලි සන්දේශ නියාමන කොමිසමෙන්.

හදිසියේ වෙබ් අඩවි තහනමට ගත් මේ පියවර සාධාරණීකරණය කරන්නේ කොහොම ද?

මේක හදිසියේ ගත් පියවරක් නෙවෙයි. මෑත කාලේ ඇතැම් වෙබ් අඩවි කළ ප්‍රචාර ගැන අපි බලා උන්නා. ප්‍රශ්නගත වෙබ් අඩවිවල ප්‍රචාරය වන ප්‍රවෘත්ති ගැනයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නෙ. ඒ ගැන මටත් වගකීමක් තියනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට. අපේ ජනමාධ්‍ය ඇමැතිතුමාට වගකීමක් තියෙනවා ජනමාධ්‍යවල පළවන ප්‍රවෘත්ති හෝ වෙනත් අන්තර්ගතයන් පිළිබඳව. ඇමැතිතුමාගේ අධීක්ෂණය යටතේ එතුමාගේ ලේකම්වරයා ලෙස මටත් ඒ අයිතිය පැවරෙනවා.

මහජන පැමිණිලි අනුව වෙබ් අඩවිවලට විරුද්ධව මේ පියවර ගත් බව ඔබ කිව්වා?

මහජනයාගෙන් විවිධ පාර්ශ්වවලින් අපේ අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි අනුවයි මේ පියවර ගන්න ඕන වුණේ. මේ වෙබ් අඩවිවල පළවන මේ ඊනියා පුවත්වලින් අසහනයට පීඩාවට නැතිනම් චරිත ඝාතනයට නැතිනම් ඒ අයගේ පෞද්ගලිකත්වයට පහර එල්ල වූ විශාල පිරිසක්ගෙන් අපට පැමිණිලි එන්න පටන් ගත්තා. ඒ නිසා මට සිදුවුණා ඒ ගැන සොයා බලන්න. මාස දෙකක් විතර කාලයක් තිස්සේ අපි මේ වෙබ් අඩවිවල පළවන දේ ගැන සොයා බලා තොරතුරු එකතු කළා.
ඔය කියන වෙබ් අඩවි බොහොමයක් කිසිම පදනමක් නැතිව අසත්‍ය වපුරන මඩ ගැසීම් කරන කැලෑ පත්තර බව එහිදී අපට පෙනී ගියා. ඒවයේ බොහො වෙලාවට පළවෙලා තිබුණේ ප්‍රවෘත්ති නෙවෙයි. ඒ පළවන දෑ ප්‍රවෘත්ති කියන ඒවටත් නින්දාවක්. ජනමාධ්‍යයට ජනමාධ්‍යවේදීන්ට කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රශ්න ගත හඳුනාගත් වෙබ් අඩවි ගැන අපට ගත හැකි නීත්‍යානුකූල පියවර අපි ගත්තා.
මීට මාස කීපයකට පෙර විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් අසභ්‍ය වෙබ් අඩවි රාශියක් උසාවියේ නියෝග අනුව වාරණය කරනු ලැබුවා. ඒ එක ක්‍රමයක්. ඊළඟට අපි මේ එකතු කරපු තොරතුරු අනුව මේවා පරීක්ෂා කර බලා මම ඉල්ලා සිටියා මගේ වගකීම අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් මේ මේ වෙබ් අඩවිවල අසභ්‍ය, අපහාසාත්මක, චරිත ඝාතන ස්වභාවයේ ලිපි පළකර තියෙනවා. ඒවාට අයිතිකරුවෙක් නැහැ.
ඒ ප්‍රවෘත්තිවල මූලාශ්‍ර නැහැ. ඒ තොරතුරු ගත්තෙ කොහෙන්ද කියල නැහැ. ඒවා ලිව්ව මාධ්‍යවේදියා කවුද කියලා අපට දැනගන්න නැහැ. ඒ මාධ්‍ය ආයතනය ලංකාවේ ද තියෙන්නෙ පිටරට ද තියෙන්නෙ නැතිනම් උඩු ගුවනේ තියෙන එකක් ද කියල කිසි කෙනෙක් දන්නෙ නැහැ. හැබැයි මේවායේ තියන විස්තර අපහාසාත්මකයි. මේක අර හැංගිලා ඉඳගෙන කරන සෙල්ලමක්. ඒ නිසා මේ ගැන මම ඉල්ලීමක් කළා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන්. ඒ බලය තියෙන්නෙ ඒ ගොල්ලන්ට මේ වෙබ් අඩවි ලංකාව තුළ තාවකාලිකව අවහිර කරන්න කියලා.

නිල් වෙබ් අඩවි තරමටම මේ ප්‍රශ්න ගත වෙබ් අඩවිත් රටට හානිකරයි කියල ඔබ කියන්නෙ...?

ඔව්. මේ රටට, මේ ප්‍රතිරූපයට හානිකරයි. මේවා අපේ පාසල් දරු දැරියෝ පවා බලනවා. මේව බැලුවම අපේ අනාගත පරපුරට කුමක් ද වෙන්නේ. මේ ඇතැම් වෙබ් අඩවි වලින් තවත් වෙබ් අඩවි වලට සම්බන්ධතා (ලින්ක්) තියනවා. ඔබ නිල් වෙබ් අඩවි ගැන කතා කළා. බලන කෙනා ආකර්ෂණය කරගන්න නිරුවත් පින්තූර පවා මේවයේ යොදාගෙන තියනවා. මේ අය මේ ජනතාව කොහාටද ඇදගෙන යන්න හදන්නෙ. මේ පින්තූරත් ඇතැම් විට හදපුවා. ඇතැම් විට නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයට ලංකාවේ කාන්තාවකගේ ඔළුව සවි කරනවා. මෙය මහා සමාජ ව්‍යසනයක ආරම්භයක් පැහැදිලිවම. ඒ නිසා ඒ හඳුනාගත් වෙබ් අඩවි කීපයක මා ලබාදුන් තොරතුරු අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විකාශය අවහිර කර තියනවා. ලංකාව තුළ ඒව බැලීම නවත්වන්න.

අන්තර්ජාලයේ ස්විචය නිවා දමන්නේ නැතිව මේව වාරණය කිරීමට බැරි යැයි මා කිව්වොත්?

වෙනත් මාර්ගවලින් ප්‍රොක්සිවලින් ඒවට යන්න පුළුවන් බව අපි දන්නවා. අන්තර්ජාලය හරියට හුළඟ හමනවා වාගේ දෙයක්. මේ අපි අවට හුළඟ තියෙන්නේ. අන්තර්ජාලයත් ඒ වගේ තමයි. ඔය කියන විදියේ අවහිර කිරීමක් කරන්න අපට තාක්ෂණයක් තවම ලංකාවේ නැති බව ඇත්ත. නමුත් අපි ගන්න පියවර නිසා මේව බැලීම හුඟක් සීමා වෙලා තියනවා. මහජනතාව, ළමයි මේව බලන එක අඩුවෙලා තියෙනවා. මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන විරෝධයක් තියෙනවා. දැන් ඒක කරළියට ඇවිල්ලා තියෙනවා. වගකිව යුතු පුවත්පත් කර්තෘවරුන් මාධ්‍යවේදීන් මේ අවිචාරවත් කිසිම ආචාර ධර්මයකට අඩංගු නැති අයාලේ යන වෙබ් අඩවිවලට විරුද්ධව අදහස් පළ කර තියනවා. කිසි පදනමක් නැතිව වගකිව යුත්තන්ට චෝදනා එල්ල කිරීම වැරැදියි කියන තැනට ඔවුන් ඇවිල්ලා තියෙනවා. එක් පත්තරයක කර්තෘවරයෙක් මේ වෙබ් අඩවි හඳුන්වලා තිබුණේ විද්්‍යුත් කැලෑ පත්තර විදියට. මේව ඇත්තටම කැලෑ පත්තරම තමයි. මේ කැලෑ පත්තර කියන ඒව ජනමාධ්‍ය ද. නැහැ. ජනමාධ්‍යයට වගකීමක් සදාචාරයක් තියෙන්න ඕන.
පත්‍රිකාවක් ගැහුවත් ඒ පත්‍රිකාව මුද්‍රණය කරන අය, මුද්‍රණාලය සඳහන් කරන්න ඕන. ගමේ සිල්ලර කඩයක් වුණත් පටන්ගන්න නම් ඒක ලියාපදිංචි කරන්න තැනක් තියෙනවනේ. අයිතිකරු කවුද ලිපිනය මොකක්ද මොනවද විකුණන්නේ ඒකෙ සඳහන් කරන්න ඕනනේ. ප්‍රාදේශීය සභාවේ, නැතිනම් නගර සභාවේ මේ කොහේ හරි මේක ලියාපදිංචි කරන්න ඕනනේ. මේ රටේ තියන හැම ආයතනයක්ම එහෙමයි. මාධ්‍ය ආයතනත් එහෙමයි. පත්තර, රූපවාහිනී, ගුවන් විදුලි ඔය ඕනැ ආයතනයක් ලියාපදිංචි ඒව. ඒවයේ ඉන්න ජනමාධ්‍යවේදීන් කවුද කියලා අපි දන්නවා. ඔවුන් වැරැද්දක් කළොත් වගකීමක් තියෙනවා. වැරැදි දෙයක් පළ කළොත් ඒ අගතියට පත්වුණ අයට ඒ මාධ්‍ය ආයතනයට කතා කරල ඒක නිවැරැදි කරන්න කියල ඉල්ලන්න පුළුවන් ලංකාවේ ගුවන් විදුලි නාලිකා පනස් ගණනක් තියනවා. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා වාරසඟරා පත්තර එක්ක එකසිය පනස් හතක් තියෙනවා. ඒවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කරලා අංකයක් දීල තියෙනවා. මේ පුවත් හෝ ආරංචි ඔක්කොම දෙන්නේ මේ රටේ මහජනයා වෙනුවෙන්නේ. එතකොට ඒ මහජනයාට අයිතියක් තියනවා. මේවා කවුද ලියන්නේ. මේ නිර්මාණය කරන්නේ කවුද කියලා දැනගන්න”
වෙබ් අඩවි ලියාපදිංචිය ගැන සුබවාදීව බලන ලෙසයි ඔබේ ඉල්ලීම.
මේක හොඳ හිතින් කළ දෙයක්.
“ඉතින් මේ වෙබ් අඩවි මේ රටේ ජනතාවටනේ ලියන්නේ. ඒ නිසයි අපි මේ අයවත් හඳුනාගන්න තීරණය කළේ. එහෙම කළාම ඒ අයගෙන් යම්කිසි අගතියක් යම් වාර්තාවකින් යම් කෙනකුට වුණොත් අපෙන් විමසුවොත් අපට කියන්න පුළුවනි. මේක අහවලාගේ වෙබ් අඩවිය. මේක ලිව්වේ අහවලා මේකෙ කාර්යාලය තියෙන්නේ අහවල් ස්ථානයේ, පිට රට නම් ලන්ඩනයේ නැතිනම් කැලිෆෝනියාවේ අහවල් ස්ථානයේ කියල අපි දැනගන්න ඕන. එහෙම නැතිව විහිළු කතා කියල වැඩක් නැහැ.” මඩ ගැසීමටයි අපි විරුද්ධ. වෙබ් සයිට්වල පළවන දේ රටට සමාජයට හිතකර දෙයක් වෙන්න ඕන. ජනමාධ්‍ය ආචාර ධර්ම රකිමින් ගෙන යන වෙබ් අඩවි වලට අපේ විරුද්ධත්වයක් නැහැ. අපේ විරුද්ධත්වය තියෙන්නේ අවිචාරවත් කලාවක යෙදෙන මඩ ගැසීමේ යෙදෙන අයට.

මේක මාධ්‍ය නිදහසට අදහස් ප්‍රකාශනයේ නිදහසට සීමා පැනවීමක් ලෙස ඇතැමුත් විග්‍රහ කරන්න හදනවා...?

“නැහැ. එහෙම අරමුණක් කොහෙත් ම නැහැ.
ඒව කියන්නේ ඔය නන්නත්තාර වූ සුළු පිරිසක්. මේ රටේ පත්තර, ගුවන් විදුලි, රූපවාහිනිවල කොයිතරම් විවේචන කෙරෙනවද. ඒ ගොල්ලො කියන දේවල් බලන්නකො. නිදහස් අදහස් ප්‍රකාශනයට මේ රටේ කිසි කෙනකුට බාධාවක් නැහැ. මං කිව්වේ මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් බහුතරය පිළිගන්නවා. මේ මඩ වෙබ් අඩවි කලාව වෙනස් වෙන්න ඕන කියලා.”
“අපි මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අයගෙනුත් ඉල්ලන්නේ සුබවාදී ප්‍රතිචාරයක් දක්වන්න කියලයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ගත්තහම ඒ අයටත් හොඳයිනේ. එතකොට ඒ අයට පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වෙළෙඳ දැන්වීම් පවා ගන්න පුළුවන්නේ. මීට වැඩිය හොඳක් වෙනවනේ ඒ අයටත්.”
“මට වගේ ඔබටත් හැම පුද්ගලයාටමත් තියනව පෞද්ගලිකත්වය කියල අයිතියක්. ඒ අයිතිය රැකගන්න කාටත් අයිතිය තියනවා වගේ ම ඒ අයිතියට හානි කරන්න කාටවත් අයිතියක් නැහැ. දැන් මේ වෙබ් අඩවි කරන්නේ ඒ පෞද්ගලිකත්ව අයිතියත් නැති කරන එකනේ. දැන් බලන්න භාරත ලක්ෂ්මන් මහත්මයා ඝාතනයට ලක්වුණ වෙලාවේ එතුමාගේ දියණියගේ පෞද්ගලිකත්වයටත් ඇතැම් වෙබ් අඩවිවලින් හානි කරල තිබුණනේ. හිරුණිකා දියණිය ඒක ජනමාධ්‍යයටත් කියල තිබුණනේ. මේ වගේ දේවල් වෙන රටවල කරන්න බැහැ.

මේ වෙබ් අඩවි, ලියාපදිංචිය කවද්ද අවසන් වෙන්නේ.?

ලියාපදිංචි වෙන්න අවසන් දිනයක් නැහැ. මෙහෙ එන්න ඕන නැහැ. ඒක අන්තර්ජාලයෙන් ඔන් ලයින්ම කරන්න පුළුවන්. දැනටමත් ඉල්ලුම්පත් තිහකට වැඩි ගාණක් ලැබිල තියනවා. සීමා කිරීම් කරපු සමහර වෙබ් අඩවිත් ලියාපදිංචියට ඉල්ලුම්කරල තියනවා.”
“ජනමාධ්‍යයේ නාමයෙන් වෙබ් අඩවි යොදාගෙන කැලෑ පත්තර ගහන එක නැවැත්වීම ජනමාධ්‍යය නිදහසට හානි කිරීමක් කියන්නේ ඔළුව නරක් වෙච්ච මිනිස්සු විතරයි.
මේව යට ඉන්න නන්නත්තාර වෙලා ඉන්න දේශපාලනඥයන් හෝ එවැනි කීප දෙනෙකුගේ යම් අරමුණු ඉටු කරගෙන රටට හානි කරන්න දෙන්න බැහැ. මොළේ විකෘති කරගත් අයගේ වැඩවලින් රටත් ජනතාවත් විකෘති කරන්න හදන උත්සාහයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ.
මේ වෙබ් අඩවි වලින් සමාජය කෙරෙහි ඇතැම් පුද්ගලයන් කෙරෙහි තියෙන ද්වේශය වමාරන්නේ.”

 

මෙවැනි සීමා පනවන්නේ මාධ්‍ය නිදහස නැති රටවල පමණක් බවට කරන, විවේචනය ගැන කුමක්ද කියන්නේ?

“මං ඊයේ පෙරේදා ඇහුව්වා තායිලන්තයේ වෙබ් අඩවි 48000 ක් තහනම් කෙරුවලු. ඇයි විකි ලික්ස් වෙබ් අඩවිය ඇමරිකාවත් තහනම් කෙරුවේ. “අපි කතා කරන්නේ ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ගැන විතරයි. අපි කියන්නේ මහජනයාගේ දැන ගැනීමට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය ආචාර ධර්ම තුළ විය යුතුයි කියලයි.”

 

මාධ්‍යවේදී ආචාර ධර්ම මාලාවක් අලුතෙන් ගේනවද?

“ආචාර ධර්ම කියන ඒව දැනටත් තියනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට ඒ ආචාර ධර්ම තියනවා. අපි ලිඛිතව ආචාර ධර්ම මාලාවක් දෙනවා. ඒව දැනටම තියන ඒවා.
“මේ ගොල්ලො ආචාර ධර්ම දන්නෙ නැති අය නෙමෙයි හොරට නිදාගෙන ඉන්න අය. ඒ අයට ආචාර ධර්ම පොත් ගහල දුන්නත් වැඩක් තියෙයි ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද මේ අය දැන දැන මේ සදාචාර විරෝධී ප්‍රචාරය කරගෙන යන්නේ. බලන්න ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති වුණ විනාශයේ එක සිරුරක් එක ලේ බිඳුවක් පෙන්නුවද නැහැ. ඒක තමයි මාධ්‍ය සදාචාරය. නමුත් අපේ රටවල සුනාමියෙන් අහිංසක ජනයා මැරුණ වෙලාවේ විරූප වී ගිය මළ සිරුරු පවා පෙන්නුවා. ඒක මැරුණ අහිංසකයන්ටත් කරපු අගෞරවයක්. ඒක තමයි අපට උපදෙස් දෙන්න අයගේ චර්යාව මේවට කියන්නේ වැදි බණ කියලා. ලෝකයේ හැම රටේ ම වගකීමක් තියනව ඕනෑම ජනමාධ්‍යයක් තමන් ගේ සීමා හඳුනාගෙන වැඩ කරන්න අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් සීමා රහිත නිදහසක් නෙවෙයිනේ. ඒ තුළයි කවුරුත් ක්‍රියා කරන්න ඕන. ලියන, කියන , පෙන්නන දේට වගකීම ලියන අය ගන්න ඕන.

සංවාද සටහන
සරත් පෙරේරා

Copy Rights - Silumina

සෙල්වම් - තැන්ක් යූ බර්ටි - එතුමයි මෙතුමයි

දිගු කාලයකට පසු එක් මසක් තුළ චිත්‍රපට ත්‍රිත්වයක් මේ නොවැම්බර් මස ප්‍රදර්ශනය ඇරැඹේ.
ටෙනිසන් කුරේගේ තැන්ක් යු බර්ටි, සංජය ලීලාරත්නගේ සෙල්වම්, නිශාන්ත වීරසිංහගේ එතුමයි මෙතුමයි එම චිත්‍රපට ත්‍රිත්වය වේ. වඩාත්ම විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපට ත්‍රිත්වයම අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් නිර්මාණ වීමය.
මේවා අතරින් සිනමාපට දෙකක් එකම දවසේ සිනමා ලෝලීන් හමුවට පැමිණෙයි. නොවැම්බර් 15 දා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාහල්වල නිශාන්ත වීරසිංහගේ එතුමයි මෙතුමයි ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.
ප්‍රියන්ත සෙනෙවිරත්න සහ රොඩ්නි වර්ණකුල ප්‍රධාන චරිත මවන හාස්‍යෝත්පාදක සිනමාපටයක් වූ එතුමයි මෙතුමයි හි ආනන්ද වික්‍රමගේ, මහින්ද පතිරගේ, රොනී ලීච්, දුලීකා මාරපන, ඇන්ටන් ජූඩ්, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, නිශාන්ත මුතුහෙට්ටිගම, ෂෙහාරා හේවදේව, චලනි බාලසූරිය, රුවන් වසන්ත චරිත මවති. එතුමයි මෙතුමයි නිල්වලා ෆිල්ම්ස් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ නිෂ්පාදනය කර තිබේ.
මෙම මස 25 වැනිදා සිට ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමා ශාලාවන් සරසන තැන්කි යූ බර්ටි, ටෙනිසන් කුරේගේ කුලුඳුල් සිනමා නිමැවුමයි. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, නිලන්ති ඩයස්, අනූෂා දමයන්ති, ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, සුසිලා කෝට්ටගේ, රොනී ලීච්, ප්‍රියංකර පෙරේරා, ටිරෝන් මයිකල්, ජනේෂ් සිල්වා, විමල් කුමාර ද කොස්තා, දොන් ගයි, සමන්ති ලැනරෝල්, සැනට් දික්කුඹුර, සිසිර කුමාරතුංග, කපිල සිගේරා, ආරියරත්න ගමගේ, මනුෂ දිසානායක (ලිට්ල් ස්ටාර්) ඇතුළු පිරිසෙහි රංගනයෙන් ඔපවත් වෙයි. මෙය ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි.
සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල සෙල්වම් ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ ද එදිනමය. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, ශලනි තාරකා, චන්දික නානායක්කාර, ඩැනී අභිෂේක්, නඩරාජා සිවම්, ශාන්තිලිංගම් ගෝකුල්, ලකී රත්නායක, අනුරුද්ධිකා දිල්රුක්ෂි සමඟ සංජය ලීලාරත්න සෙල්වම් රංගනයෙන් හැඩ කරයි. සෙල්වම් මොහොමඩ් මුජාහිඩිගේ නිෂ්පාදනයකි.
සෙල්වම් සහ තැන්ක් යූ බර්ටි චිත්‍රපට යුගළම නළුවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට වේ.

ගාමනී තනද්දී අලියෙක්ගෙන් බේරුණේ පණ එපා කියල දුවලා

සම්මානනීය කලා අධ්‍යක්ෂක සුනිල් විජේරත්න


2007 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනුවේ සංකාරා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ සුනිල් විජේරත්නයි.
කවුද මේ සුනිල්? ඔහු සිංහල චිත්‍රපට පමණක් නොව විදෙස් චිත්‍රපට රැසක ද කටයුතු කළ අයකු බව දන්නේ ටික දෙනෙකි.
ඔහු සිනමාවට පිවිසෙනුයේ මෙරට ජීවත් වූ විශිෂ්ට කලා අධ්‍යක්ෂවරයකු වන ජේ. ඒ. වින්සන්ට් නම් කලා අධ්‍යක්ෂවරයා යටතේ අවුරුදු 41 කට පෙරය.
මේ දිනවල ප්‍රදර්ශනය වන ගාමනී මෙන්ම ද කොමන් මෑන් චිත්‍රපටයේ ද කලා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද සුනිල් විජේරත්නයන් සම්බන්ධ වූවේය.
සිනමාව නම් නොසිඳෙන ගංගාවට ඔබේ දායකත්වය දෙන්නට හැකි වුයේ කෙසේද?
මා 1964 දී ලංකා චිත්‍රගාරයට ගිය කාලයේ එහි කලා අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික ජේ. ඒ. වින්සන්ට් මහත්තයයි. පළමුව වින්සන්ට් මහත්තයා ළඟ මට ලැබුණෙ ෆිල්ම් කටවුට්වලට තීන්ත ගාන්න. පසුව කටවුට් අඳින්න. ක්‍රමක් ක්‍රමයෙන් මගේ දක්ෂතා හඳුනා ගත් වින්සන්ට් මහත්තයා පසු තළ නිර්මාණ කිරීමට අවස්ථාව උදා කර දුන්නා. සෑහෙන කාලයක් සහාය කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කර ලැබුණු අත්දැකීම් සමඟ තමයි කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්න ලැබුණේ.
විදේශීය හා දේශීය චිත්‍රපටවල වැඩ කරන කොට තිබෙන වෙනස්කම් මොනවාද?
විදේශ චිත්‍රපටවල වැඩ කරන්න පහසුයි. මොකද මීට වඩා තාක්ෂණය පැත්තෙන් දියුණුයි. ඊට අමතරව මෙහෙදි වගේ නෙමෙයි, නිෂ්පාදන සැලසුම්කරණ අධ්‍යක්ෂ යටතේ තමයි කලා අධ්‍යක්ෂ වැඩ කරන්නෙ. ඒක නිසා මට පැවරෙන කාර්යය සීමිතයි. මෙහෙදි එහෙම නෙමෙයි. පිටපත අතට ගත් වෙලාවේ සිට සෑම දෙයක්ම සොයන්න, එයට අවශ්‍ය දේ කරන්න වෙන්නෙ මට. ඒ නිසා මගෙ ඔලුවට සෑහෙන වෙහෙසයි. සිතීමේ නිදහස අඩුයි. මම වැඩියෙන් වැඩ කළේ විදේශ චිත්‍රපට සමඟ. ඒ නිසා දේශීය චිත්‍රපට සෑහෙන්න මඟ හැරුණා.
ඔබ වැඩ කළ පළමු චිත්‍රපටය මොකක්ද?
මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘රැම්පේජ්’ චිත්‍රපටයයි.
ඉදිරි දිනවලදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔබ දායක වූ චිත්‍රපට මොනවාද?
‘ද කොමන් මෑන්’, ‘කර්ම’, ‘සත්ත්‍යකාම’ හා තවත් කිහිපයක් ළඟදීම තිරගත වීමට නියමිතයි.
දෙස් විදෙස් අධ්‍යක්ෂවරු කී දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවාද?
27 දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවා. කලා අධ්‍යක්ෂක වගේම සහය කලා අධ්‍යක්ෂක ලෙසත් වැඩ කර තිබෙනවා.
බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළියේ සිට මෙතෙක් ආ ගමන ගැන කිව්වොත්?
චිත්‍රපට සිය ගණනක් වගේම ටෙලි නාටය 60 ක පමණ පසුතල නිර්මාණය කරන්න ලැබී තිබෙනවා. මෙය අමාරු කාර්යයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීම් ලබන්න පුළුවන් හොඳ රැකියාවක් කියල හිතෙනවා.
ඔබේ කලා ජීවිතය හරි රසවත් වගේ. එයට හේතුව කිව්වොත්?
චිත්‍රපටය හෝ ටෙලි නාට්‍යයක පිටපත ලැබුණු වෙලේ සිට මේ කටයුත්ත අවසන් වෙනකම් ලොකු වැඩ කොටසක් තිබෙනවා කරන්න. මට පැවරී තිබෙන්නෙ අධ්‍යක්ෂකගෙ පිටපතේ එන චරිතවලට හරි යන ආකාරයට පසුබිම නිර්මාණය කරන්නයි. ඒ සඳහා යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප්‍රථම පිටපතට අවශ්‍ය කරන පරිසරය සොයා ගත යුතුයි. ඒ සඳහා රට පුර යෑමට සිදු වෙනවා. කාටවත් සියැසින් දැක ගැනීමට අපහසු තැන්වලට යාමට අවස්ථාව උදා වෙනවා. රටේ, ලෝකයේ සුන්දර තැන් දකිනව. මෑතකදී මට යන්න ලැබුණ හිමාල කන්ද පාමුලටම. මගේ සියැසින් මෙවන් සුන්දර දසුන් නරඹන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස මා හිතනවා.
වෝටර්
මේ කටයුතුවලදී අමතක නොවන සිදුවීම් තිබේද?
සෑහෙන සිදුවීම් තිබෙනවා. මේ දිනවල සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙන ගාමණී චිත්‍රපටයේ කරුවලගස්වැව ප්‍රදේශයේ රූපගත කරද්දි එක පාරටම අලියෙක් ආවා. මොනව කරන්නද ඔක්කොම දමල ගහල කට්ටිය පන එපා කියල දිව්වා. සෑහෙන දුරක් පන්න ගෙන ආව අලිය ඊට පස්සෙ අපි වැඩ කරන තැනට ගිහිල්ල යන්නෙම නැහැ. මොනව කරන්නද රතිඤ්ඤ පත්තු කරල තමයි අලියව පැන්නුවෙ.
මීට වසර 38 කට විතර ඉස්සෙල්ල සිදුවුණු සිදුවීමක් තමයි, එච්. ඩී. ප්‍රේමරත්නගෙ ආදර හසුන රූගත කිරීම සඳහා බෝට්ටුවකින් සීනිගම දේවාලෙ පැත්තෙන් මුහුදට ගියා. ලොකු රැල්ලක් ඇවිත් බෝට්ටුව පෙරලුනා. මමයි වසන්තියි මුහුදට විසි වුණා. හැමෝම හිතුවෙ අපි දෙන්නම ඉවරයි කියල. අන්තිමට මොන රඟපෑමක් ද ජීවිතේ බේර ගෙන ගොඩ බිමට ආවා.
පසුතල නිර්මාණය යනුවෙන් හඳුන් වන්නේ කුමක්ද?
පිටපතට අනුව අධ්‍යක්ෂවරයාගේ මනසේ මැවී තිබෙන පරිසරය චිත්‍රපටයේ දර්ශනයට අවශ්‍ය පරිදි කෘත්‍රිමව නිර්මාණය කිරීම.
බර්ට්‍රම් නිහාල්ගෙ සෑම නිෂ්පාදන කටයුත්තකටම ඔබව සම්බන්ධ කර ගන්නවා ඒ ඇයි?
හුඟක් අයට බර්ට්‍රම් නිහාල් මහතා සමඟ වැඩ කරන්න බැහැ. මාව තෝර ගන්නෙ ඔහුගෙ හිතේ තිබෙන දේ නියම ලෙස මවල දෙන්න පුළුවන් එකම පුද්ගලයා මම නිසා.
චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව ඔබට සහය ලැබෙන්නේ කාගෙන්ද?
චිත්‍රපටයක් කිරීමේදී සැම දෙනාම එකමුතුව වැඩ කළ යුතුයි. තමන් කරන වැඩේ මෙන්ම අනෙක් අයගේ රාජකාරිය ගැනත් යම් අවබෝධයක් තිබීම වැඩ කටයුතුවලට පහසුයි. චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව මගේ කටයුතුවලට කැමරා අධ්‍යක්ෂකගේ සහයෝගය තියෙන්න ඕනේ.
ඔබ අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙකු සමඟ වැඩ කර තිබෙනවා. එයින් ඔබ සිත් ගත් අධ්‍යක්ෂකවරු කිහිප පලක් මතක් කළොත්?
සංකාරා
සෑහෙන අමාරු කාර්යයක්. හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලෙනින් මොරායස්, බර්ට්‍රම් නිහාල්, ප්‍රසන්න ජයකොඩි, අසෝක හඳගම, සෝමරත්න දිසානායක, චන්ද්‍රන් රත්නම්, සුනිල් කොස්තා වගේම විදේශිකයන් වන පීටර් ජේම්ස්, උබෙර්ටෝ පැසලෝනි, දීප මෙහ්තා, ෆැබ්බ්‍රීසියෝ කොස්තා, තමරා ස්පිට්සිං, මා වැඩ කළ අයගෙන් කිහිප දෙනෙකි.
පාසල් අවධිය ගැන මතකය අවධි කළොත්?
1962 දී පාසල් ජීවිතය අවසන් කළා. කෝට්ටේ ආනන්ද විද්‍යාලයට තමයි මම ගියේ. පාසල් පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් කළා. මගෙ සමකාලීනය තමයි මිල්ටන් මල්ලවආරච්චි.
පවුලේ විස්තර ගැන කිව්වොත්?
බිරිඳ ලීනා විජේරත්න, දුව නිලුකා චාමරී විජේරත්න. සැලොන් එකක් කරනවා.
මා සමඟ වැඩ කරන සියල්ලන් හට මා ස්තුතිය පුද කරනවා. මොකද මේ සියල්ලක්ම මගේ පවුලෙ අය වගේ එකමුතුව හොඳ අවබෝධයකින් වැඩ කරනවා.

තෑගි එපා ඇවිත් යන්න

හේමසිරි සෙල්ලප්පෙරුම

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ පසුගිය දවසක සරසවියට කතා කළේ ජනප්‍රිය චිත්‍රපට රැසක් කළ හේමසිරි සෙල්ලප්පෙරුම ගැන කියන්නටය. සිනමාවේ චිත්‍රපට රැසක් තැනූ සෙල්ලප්පෙරුම මේ දිනවල තරමක් රෝගාතුරව පසු වෙයි. අපි ඔහු සොයා ගියෙමු.
ඒ දෑස් යොමා හිඳින්නේ අනන්තය වෙතය. කලෙක මහා ආඩම්බරකමක් තැවරී තිබූ ඒ දෑස තුළ අද තැවරී තිබෙන්නේ හුදෙකලා බවේ පශ්චත්තාපයයි.
හේමසිරි සෙල්ලප්පෙරුම . . . වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපට රැසක අධ්‍යක්ෂවරයෙකි. එකල ඔහු පිරිවරාගෙන සිටියේ සිංහල සිනමාවේ ජනප්‍රිය තරුය.
සෙල්ලප්පෙරුම නිසා ජනප්‍රියත්වයට පත් නළු නිළි කැළකි. එකල ඔවුන්ට සෙල්ලප්පෙරුම නොදැක බැරි තරමට සමීපය.
මෙලෙස තරු පිරිවරා හිඳි සෙල්ලප්පෙරුම අද හුදෙකලා වී හිඳියි.
වසරකට ආසන්න කාලයක සිටම ඔහු අසනීපයෙනි. අංශබාගය හැදෙන්නට ඔන්න මෙන්න තිබියදී එය මඟ හැරුණේ ගීතාංජන මෙන්ඩිස්, නොයෙල් සෝමසුන්දර, භෞත චිකිත්සක අධිකාරි යන වෛද්‍යවරුන්ගේ පිහිටෙනි. මේ අසනීපයට මුල අප සමඟ පැවසුවේ සෙල්ලප්පෙරුමගේ ඥාති පුත් සංඛ ප්‍රසාද්ය.
ඔහු නව පරපුරේ රංගන ශිල්පියෙකි.
‘මාමා උතුර දකුණ ෆිල්ම් එකේ ෂූටිං කරද්දී ඇක්සිඩන්ට් වුණා. වම් අත උස්සගන්න බැරි තරමට ඒ ඇක්සිඩන්ට් එකෙන් හානි වුණා. කාලයක් යද්දි මාමාගෙ වම් අත වැඩිය පාවිච්චි වුණේම නැහැ. ඒ නිසා ඒ අතර සිංහල වෙදකම් කරන්න පටන් ගත්තා. රෝගය ගැන හොයන්නෙ නැතුව බෙහෙත් ගත්තෙ වාත අමාරුවට. ඒවයෙ තිබුණ අරිෂ්ටවලට සීනි වැඩි වුණා. ගිය සිංහල අවුරුද්දට කලින් දවසෙ මාමා හිනා වෙන කොට කට පැත්තට ගිහින් තිබුණා. ඒ වෙලාවෙම අපි ජයවර්ධන පුර රෝහලට මාමා ගෙනිච්චා. ඒ වෙලාවෙම ඇඩ්මිට් කරලා ප්‍රතිකාර දුන්නා. දැන් නවලෝක රෝහලෙන් බෙහෙත් ගන්නවා. දැන් නම් ගොඩක් හොඳයි.’
සංඛ කියාගෙන යද්දී සෙල්ලප්පෙරුම බලා හිඳියි. යමක් කියන්නට ඔහුට අවැසි බව හැඟුණි.
‘මම මත්පැන්, මස් මාළු කෑමෙන් වැළකුණ කෙනෙක්. එළවළුයි බතුයි තමයි කන්නෙ. එක පාරටම අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියා. දැන් නම් හොඳයි.
අසනීපයෙන් පසු ඔහුට එළිමහනේ ඇවිදින්නට නොහැකි විණි. නිවෙසටම වී හිඳින ඔහුගේ පාළුව මකන්නේ බුදු දහම හා චිත්‍රපට ගැන ලියැවුණු පත පොතය. ‘සනත්, රන්ජන්, අර්ජුන, සුරේනි සෙනරත් මාව බලන්න ආවා. කලා සංගම්වලින් බෝධි පූජා තිබ්බා.’
වෙන කවුද බලන්න ආවෙ?
මා ඇසූ සැණින් ඔහුගේ ඇහි පියන් වේගයෙන් සැලුනි.
‘කවුරුත් නැහැ. ඒ අයට වැඩ වැඩියිනෙ. ඒ නිසා එන්න විදිහක් නැතුව ඇති’ යැයි ඔහු කීවේ හඬමිනි.
මහා නළු ගාමිණී ෆොන්සේකාගේ පටන් අතිශය ජනප්‍රිය නළු නිළියන් මෙහෙයවමින් සිංහල සිනමාවේ දැවැන්තයෙකු වූ ඔහු කුඩා දරුවකු සේ ඉකි බිඳියි.
‘පුළුවන් වෙලාවට මාව බලන්න එනවනං මං කැමතියි’ ඔහු යළිත් පැවසීය.
සුවිසල් නිවෙසක, විසල් වූ ගෙමිදුලක සැරිසරන ඔහු බලා හිඳින්නේ දහසින් බැඳි පියලිවලින් උදව් ගන්නට නොවේ. තම හුදෙකලා බව මඳකට හෝ තුරන් කර ගන්නටය.
‘සංජානා’ සහ ‘ඉන්ස්පෙක්ටර් චම්පා ’ තිරගත වීමට නියමිත ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.
‘අර්නස්ට් වඩුගේ මහත්තයත් ආවා මාව බලන්න. එයයි මායි අතරෙ තියෙන්නෙ අවුරුදු ගාණක බැඳීමක්.’
සෙල්ලප්පෙරුම මඳක් නිහඬ විණි. සංඛ නැවතත් සිය හඬ අවදි කරයි.
‘මාමාට ආර්ථික අපහසුකමක් නැති නිසා ගැටළුවක් නැහැ. මාමාට තියෙන්නෙ පාළුව. අසනීප වුණා කියලා විශේෂ සොයා බැලීමක් ක්ෂේත්‍රයෙන් වුණේ නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් ප්‍රවීණ ශිල්පීන්ට පවත්වපු උපහාර උළෙලෙ මාමාත් එක් කෙනෙක් වුණා. ඒ ඇරෙන්න විශේෂ මොකුත් නැහැ. ඇත්තටම මේ තත්ත්වය මේ ක්ෂේත්‍රයේ හැමෝටම පොදු මහා ඛේදනීය තත්ත්වයක්.

Thursday, November 10, 2011

ලක්නව්ගෙන් ලකා Vs Laka

ලක්නව්ගෙන් ලකා Vs  Laka

අපි ආවේ සංගණනයක් කරන්න. ඔබතුමාගේ නම කියනවාද?

ක්ලාක්.

නෑ, නෑ මම ඇහුවෙ රස්සාව නෙවෙයි.

නම.

නම තමයි මහත්තයෝ මම කිව්වෙ. මගේ නම ‘මයිකල් ක්ලාක්’.

වයස කීයද? ළමයි කීය ද?

43 ට 3 යි. ලොකු දුව දෝණි. දෙවෙනි දුව ගංගුලි. බාලයා බලාජි.

සිනා සාගරයේ ගිලෙමින් මේ ක්‍රිකට් පවුලේ තවත් විස්තර දැනගන්න නම් ඔබට ලක්නව් ටියෂාන් රූපසිංහගේ ලකා vs LAka   වීඩියෝ වැඩසටහන නරඹන්නම වෙනවා. මෙම වීඩියෝ වැඩසටහන ලක්නව් ටියෂාන්ගේ කුළුඳුල් කලා නිර්මාණය. කලාවට ආදරය කරන ලක්ෂාන් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ තෙවන වසරේ විද්‍යාර්ථියෙක්.

මම හැමදාමත් කලාවට ආදරය කරන කෙනෙක්. ලකා vs LAka   මගේ කුළුඳුල් වීඩියෝ වැඩසටහන. 14 වනදා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කළා. එහි තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා කැමරාකරණය යන සියල්ලම කළේ මම. මේ අවස්ථාවේදී මගේ අම්මා, තාත්තා, සහ මගේ යාළුවන්ගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉදිරියේදී තවදුරටත් තාක්ෂණික ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ධනාත්මක චින්තනය ගැන අලුත් විදිහක වාර්තා වැඩ සටහනක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පහත දුරකථන අංකය ඔස්සේ ඔබත් ලක්නව් අමතා ඔහුගේ ඉදිරි ගමනට ආශිර්වාද කරන්න. 0716437310.

- නිශංකා

ඡායාරූපය ප්‍රසාද්

Copy Rights - Sarasaviya

සුදු මැණිකේ පොඩ්ඩක් හරි දඟ වුණා නම් හොඳයි

වත්සලා දියලගොඩ ගැන අම්මා ප්‍රදීපිකා නිශාන්ති කියන කතාවක්




පාන්දරින්ම අවදි වන ජපන් ගෙදර සුදු මැණිකේ ලහි ලහියේම සාරි පොඩිත්තක් පටලවාගෙන මුතු පොටක් ගෙල දමා ගන්නේ සුපුරුදු පරිදිමයි. අම්මාගේ ලිප්ස්ටික් මූණ පුරා උලා ගත්තේ නම් කලබලය නිසා නම් නෙවෙයි.
නොදන්නාකමටයි. ඇඳ පැළඳ ගත් සුදු මැණිකෙ පුංචි පා තබමින් තමන්ගේ නිවෙසට පැමිණෙන තුරු ලේන් එකේ හැමෝම මඟ බලාගෙන ඉන්නෙ.
මේ හුරතල් කෙළි පොඩිත්තිට රස ආහාර කවන්නත් කිසිවෙකු අමතක නොකරන නිසාම කෙලි පොඩිත්තිට ගෙදර මතක් වෙන්නෙ හිරු අවරට ගියාම.
එදා ඒ කෙළි පැටික්කියගේ හුරතල් බැලුවේ, ඇයට ආදරය කළේ ඇගේ අසල්වාසීන් විතරයි. නමුත් පුංචි තිරයෙන් හැමදාම ඔබේ ආලින්දය ආලෝකමත් කරන වත්සලා දියලගොඩ නම් වූ යොවුන් රංගන ශිල්පිනියට සියලු දෙනාම වශී වෙලාදෝයි සිතෙන වාර අනන්තයි.
ඒ නිසාම මේ සතියේදී පුංචි දවස්වල විශේෂාංගයෙන් වත්සලා දියලගොඩගේ පුංචි දවස්වල සොඳුරු මතකයන් සොයා යන්නට අප ඇගේ ආදරණීය මෑණියන් වන ප්‍රදීපිකා නිශාන්ති මහත්මිය සමඟ කතාබහක යෙදුණා.
සුදු මැණිකෙට පුංචි දවස්වල අසල්වාසීන් හැමෝම හරිම ආදරෙයි. එයාගේ උපන් දිනය දවසට මුළු ගමම අපේ ගෙදර. ඒ මොකද දන්නවාද? දුව හැම ගෙදරකටම ගිහිල්ලා කියනවා ‘අද මගේ උපන් දිනය, රෑට අපේ ගෙදර පාටියට එන්න’ කියලා.
ඉතින් හවස් වෙන කොට අපේ ගෙදරට හැමෝම එනවා දුව එන්න කිව්වා කියලා. ඒ මිනිස්සුන්ව හිස් අතින් යවන්නත් බැහැනේ. අපි ඉතින් කඩිමුඩියේ උපන් දින පාටියක් ලෑස්ති කරනවා.
ආ... කියන්නම ඕන දෙයක් මතක් වුණා. සුදු මැණිකේ හරිම කැමැතියි තෑගි ගන්න. එයාට කවුරු හරි තෑග්ගක් දෙනවා නම් ඊට වඩා සතුටක් නෑ.
දවසක් මම දුවත් එක්ක ගෙන අවුරුදු උත්සවයක් බලන්න ගියා. ‘සිඟිති අවුරුදු කුමරි’ තරගෙ අවසන් වෙලා ටිකක් වෙලා ගිහාම මගේ පොඩි කෙල්ල අඬන්න පටන් ගත්තා. එයාටත් සිඟිති අවුරුදු කුමාරියක් වෙන්න ඕන කියලා.
ඒ වෙන මොහොකටවත් නෙවෙයි තෑග්ගක් ගන්න. දුව ඇඬිල්ල නවත්තන්නෙම නැති තැන මම සංවිධායක මණ්ඩලයට කතා කරලා දුවට රෙද්දකුයි හැට්ටයකුයි අන්දලා ස්ටේජ් එක උඩින් තිබ්බා.
පොඩිකමට හැඩේට පුංචි කකුල් තියලා ස්ටේජ් එකේ ඇවිද්දා. එතකොට දුවට ඕන නම් අවුරුදු දෙකක් විතර ඇති.
ඊට පස්සේ මමම තෑග්ගක් ගෙනහල්ලා සංවිධායක මණ්ඩලයේ කෙනෙක්ගේ අතින් දුවට තෑග්ග දුන්නා. කෙළි පොඩ්ඩි තෑග්ග පුංචි අතට ගන්න කොට හිනා වුණේ හරියට ඉහේ මලක් පිපිලා වගේ.
සුදු මැණිකේ පොඩි කාලේ ඉඳන්ම හරිම ක්‍රියාශීලී දරුවෙක්. ඒ නිසාමයි එයාව මම අවුරුදු දෙක හමාරෙදි පෙර පාසල් දැම්මෙත්.
දන්නවාද පෙර පාසල් යන කොට එයාගේ බෑග් එකේ තිබුණේ මොනවද කියලා? කෑම පෙට්ටියයි, සර්වියට් එකයි, සෙල්ලම් බඩුවකුයි විතරමයි.
මගේ දෝණි තමයි පන්තියේ හිටපු පුංචිම සිඟිත්තිය. සමහර දවස්වල ටීචර් දුවව වඩාගෙන තමයි අනිත් ළමයින්ට උගන්නන්නෙ. එයා හොඳට ටීචර්ගේ උර හිසට ඔළුව තියාගන දොයි.
පුංචි දවස්වල නම් දුව දඟ නෑ. හැබැයි O/L වලින් පස්සේ නම් හරිම දඟයි. වත්සලාට ඉස්සර ලිප්සිටික් එහෙම පෙන්නන්න බෑ. දැක්කොත් මූණේ උලා ගන්නවා. එයාගේ ඒ වැඩේ හරිම ප්‍රසිද්ධ දෙයක්.
මගුල් ගෙදරක යනකොට කාන්තාවන් සාමාන්‍යයෙන් ලිප්ස්ටික් එකක් හෑන්ඩ් බෑග් එකේ දාගෙන යනවානේ. දුව ඒ ගැන දන්නවා. ඒ නිසා එයා හැමෝගෙම පර්ස් අවුස්සනවා. පස්සෙ පස්සෙ කට්ටිය වත්සලාව දකින කොටම පර්ස් හංග ගත්තා. නැත්නම් ඉතින් බේරිල්ලක් නෑනේ.
දුව හරිම බයයි වැටෙනවාට, තුවාල වෙනවාට. දැනුත් ඒ වගෙයි. අඩුම ගානේ එයා පුංචි දවස්වල සෙල්ලමකටවත් දුවලා නැතිව ඇති. හැබැයි පොඩි කාලේ නොදන්නකමට කළ දඟ වැඩක් නිසා නම් අදටත් ත්‍රීවීල් එකක යන්න බයයි.
ඔන්න ඉතින් මමයි දුවයි ගමනක් ගිහිල්ලා ගෙදර ආවා ත්‍රීවීල් එකකින්. ත්‍රීවීල් එක ගේට්ටුවෙන් ඇතුළු වෙලා නවත්තන්න කලින් දූ ත්‍රීවීල් එකෙන් පැන්නා. කෙල්ල ගොඩාක් බය වුණේ මං හිතන විදිහට මගේ කෑගැහිල්ලට.
දෙයියනේ කකුලක් හරි ත්‍රීවීල් එකට අහු වුණා නම් මම මොන දෙයියන්ට කියන්නද? ඇහැ ළඟ තමයි තුවාල වුණේ. ඒ තුවාල වුණු තැනින් හොඳටම ලේ ගැලුවා.
කොහොම හරි අපි ඉක්මනට ඩොක්ටර් ළඟට එක්ක ගෙන ගියා. ඩොක්ටර් සම හිල් කරගෙන ඇතුළට ගිහින් තිබුණු ගලක් අරගෙන පෙන්නුවාම මගේ ඇඟ හීතල වුණා.
මං මුලිනුත් කිව්වා වගේ චූටිම කාලේ දඟ නැති වුණාට ටික ටික තේරෙන කොට නම් දඟ වැඩ කළා. හැබැයි කාටවත් කරදරයක් නම් කළේ නෑ. ඉස්සර අපේ ගෙදරට එන්න ඕන කන්දක් බැහැලා.
අක්කා ඉස්කෝලේ ඇරිලා එනකන් නංගි හැමදාම කන්ද පහළට වෙලා බලාගෙන ඉන්නවා. ස්කූල් වෑන් එකෙන් බැහැපු ගමන් අක්කා කන්ද උඩ ඉඳන්ම නංගිට අත වන වනා එන්නෙ.
හැබැයි පයින් එන්නෙ නම් එක අඩියයි. ඉතිරි ටික එන්නෙ කොහොමද දන්නවාද? නංගිගේ දිහා බල බලනේ එන්නේ. ඉතින් කකුල පටලැවිලා වැටෙනවා. වැටුණ ගමන්ම එහෙන්මම පල්ලෙහාට රෝල් වෙනවා.
එක දවසක් නෙවෙයි, හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නෙම කන්දෙන් පහළට රෝල් වෙවී. මගේ දඟකාර හැඩකාර කෙල්ල දැන් ලොකුයිනේ.
ඒ නිසා දැන් නම් O/L, A/L කාලේ තරම්ම දඟ නෑ. හැබැයි පුංචි කාලෙත් දුව පොඩ්ඩක් හරි දඟ වුණා නම් හොඳයි කියලා දැන් නම් මට හිතෙනවා. ඒ මොකද දන්නවාද? එයාට බයිසිකලයක්වත් පදින්න බෑ.
ටෙලි ඩ්‍රාමා එකක බයිසිකල් පදින දර්ශනයක් රඟපාන්න තියෙනවා. ඒ හින්දා තව ටිකකින් මම දුව බයිසිකල් පදින්න පුරුදු කරන්න එක්ක ගෙන යනවා.

Journalist covering the murder on the 12th Attacked!!!

Journalist covering the murder on the 12th Attacked!!!

For the full story visit Page 12



Friday, November 4, 2011

සමාජයේ දූෂිත අංශයන් කිහිපයක්‌ ගැන

'මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම
කලාකරුවා සතු යුතු කමක්‌'
- 'තැන්ක්‌ යූ බර්ටි' ගෙන එමින් ටෙනිසන් කුරේ කියයි






මිනිසුන් වූ අප, නිතරම සතුටින් සිනහවෙන් දිවි ගෙවීමට කැමතිය. "සිනහව යනු" ශරීරයේ "ලේ" පිරිසිදුව තබන මිලක්‌ නොගෙවිය යුතු ඖෂධයකි. සිනහව උත්පාදනය කළ හැකි ක්‍රමෝපායන්ද රැසකි. කලාකරුවා යනු මිනිසුන් සතුටු කළ හැකි පුද්ගලයෙකි. බොහෝ කලාකරුවෝ එය ඔවුන්ගේ යුතුකම ලෙස දකිති. අද අප කතා නායකයාද එවැන්නෙකි. දශක තුනකටත් වැඩි වූ ඔහුගේ කලා දිවිය තුළදී, වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරයද සිය රංගනයෙන් ආලෝකවත් කළ ඔහු හාස්‍ය උත්පාදන රංගනයට උපන්ගෙයි හපනෙකි. 80 දශකයේ රිදී තිරයේ දිග හැරුණු "නොම්මර එකයි" චිත්‍රපටයේ නොම්මර එකේ රංගනයක නියෑළුණු ඔහු "පෙරළිකාරයෝ, වරදට දඬුවම්" ඇතුළු සිනමා සිත්තම් 100 කදී පමණ සිය රංගන දක්‍ෂතා නිසාවෙන් ප්‍රේක්‍ෂකයා අමන්දානන්දයට පත් කළ බව ලිවිය යුතුව නැත. "කුරුල්ලා, මෑන්ද මෑන්, කැප්ටන් කූල්, ටාසන් ද බබා" යන වේදිකා නාට්‍ය නිර්මාණ ඔස්‌සේ ප්‍රබල සමාජ මෙහෙවරක යෙදුණු ඔහු සිය නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "අයි ඈම් ශ්‍රී ලංකා" ප්‍රේක්‍ෂක අභිමුවට ගෙන එමින් සමාජයේ දූෂිත අංශයන් කිහිපයක්‌ ගැන හාස්‍ය ඔස්‌සේ ප්‍රබල ලෙස වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌ කරයි.

මේ මස 18 වැනිදා සිකුරාදා රිදී තිරයේ දිග හැරීමට නියමිත, "තැන්ක්‌ යූ බර්ටි" සිනමා සිත්තම අප කතා නායකයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණයයි. එසේනම් තවත් අටුවාටීකා හෝ ටිප්පනි, ඔහු වෙනුවෙන් ලිවිය යුතුව නැතැයි සිතමි. හේ වෙනින් කිsසිවකු නොව තිර පිටපත් රචකයකු, රංගන ශිල්පියකු සහ අධ්‍යක්‍ෂවරයකුද වන ජනප්‍රිය සහ ප්‍රවීණ කලා ශිල්පී ටෙනිසන් කුරේයි.

"තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය ප්‍රදර්ශනයට තවත් දින කිහිපයක්‌ ඉතිරිව ඇති මේ මොහොත ඔහුට කොතරම් කාර්යබහුල වුවත්, "දිවයින සිනමා කලා" වෙතට අදහස්‌ ප්‍රකාශ කිරීමට මේ සුන්දර නිහතමානී කලාකරුවා නොපැකිළුණු බවද මෙහිලා සටහන් කරමු.

"අයි ඈම් ශ්‍රී ලංකා" වේදිකා නාට්‍යය හරහා
ඔබ මේ දිනවල සමාජගත කිරීමට උත්සුක වන
පණිවිඩයට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවාද...?

සත්තකින්ම... මා උත්සහ දරන්නේ හාස්‍ය තුළින් ප්‍රේක්‍ෂකයාට රසයක්‌ ඇතිකරලීමටයි. එය විශාල සතුටක්‌ වගේම පිනක්‌. නමුත් මේ නාට්‍ය හාස්‍ය රසයට පමණක්‌ සීමා වූවක්‌ නොවෙයි. සමාජයේ සිදුවෙමින් පවතින යම් යම් අසාධාරණ ක්‍රියා පිළිවෙත් වගකිවයුත්තන්ට පෙන්වාදීමක්‌ සිදුකරනවා. පුද්ගලිකව මටත් මෙවැනි අවස්‌ථා රැසකට මුහුණ දීමට සිදුවුණා. එවැනි දේ ඒ අයුරින්ම නැවත නැවත සිදුනොවීමට මෙවැනි වූ නාට්‍ය නිර්මාණ හරහා යම් දෙයක්‌ කළ හැකි බව මගේ විශ්වාසයයි. මම අහල තියනවා අපේ ජනාධිපතිතුමා රජයේ නිලධාරීන්ට කියනවා, ජනතාව රස්‌තියාදු නොකර නිසි ලෙස ඔවුනට සේවය සපයන්න කියලා. නමුත් ඒ දේ ඒ අයුරින්ම සිදුවෙනවාද කියා ප්‍රශ්නයක්‌ අප හමුවේ තිබෙනවා. කළ නොහැක්‌කක්‌, කෙසේ හෝ කරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මීට වඩා මහජනයාට සේවය සැලසීමේදී සානුකම්පිත විය යුතු බව පැවසිය යුතුමයි.

ඔබ නිතරම කියනවා මිනිසුන් සතුටින් තැබීම
ඔබේ සතුට කියලා. ඔබේ නිර්මාණ හරහා එය සිදුකරන
ආකාරය පිළිබඳව තවදුරටත් විග්‍රහ කළ හැකිද...?

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" යන උතුම් කියමනට මා තුළ ඇත්තේ ඉහළ ගෞරවයක්‌. සැබැවින්ම කලා ශිල්පියා යනු මිනිසුන් සතුටින් තැබිය හැකි පුද්ගලයකු විය යුතුයි. මිනිසුන් සතුටින් තබන්නට නම් මූලිකවම ඔවුන්ගේ මානසික සුවය සැදිය යුතුයි. මානසික සුවය ළඟා කර දීමට නම් සිනහව උත්පාදනය කළ යුතුයි. මේ නිසා හාස්‍ය ගැබ්වුණු නාට්‍යයකට හෝ සිනමා පටයකට කළ හැකිදේ බොහෝයි. මගේම වූ නිර්මාණ තුළින් යන මා රංගන දායකත්වය ලබාදෙන කලා නිර්මාණ ඔස්‌සේ සැමවිටම ඒ දෙය ලබා දෙන්නට මා උත්සුක වනවා. ක්‍ෂේත්‍රයේ පිරිසටත් වඩා පරිබාහිර ක්‍ෂේත්‍රවල පිරිස්‌ මගේ නිර්මාණ අගයනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයන්ත ලියනගේ, හෘද රෝග විශේෂඥ ඩී. බී. අතුකෝරල, වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්‌පති පූජිත විජයසුන්දර, මනෝ විද්‍යාඥ ප්‍රසන්න පණ්‌ඩිතරත්න, තිනියාවල පාලිත හිමි, පානදුරේ පඤ්Æලෝක හිමි මා නිරතුරුව දිරිමත් කරන්නේ එම නිසයි.

ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය
"තැන්ක්‌ යූ බර්ටි" පිළිබඳව සඳහන් කළොත්...

අපේ රටේ ඇතැමුන් මගේ නාට්‍ය විවේචනය කරමින් මට දොස්‌ පැවරුවත් ඒ නාට්‍ය නිර්මාණ හරහා ප්‍රේක්‍ෂකයන් දිනා ගනිමින් යම් පෙරළියක්‌ සිදුකරලීමට මට හැකියාව ලැබුණා. ඒ ප්‍රේක්‍ෂක ආදරය නිරතුරුවම මට ලැබෙන නිසා. මා ද පෙරළා ඔවුනට ආදරය කළ යුතුයි. මගේ කලා දිවියේ වසර ගණනක අත්දැකීම් උපයෝගී කොට ගනිමින් සිනමා පටයක්‌ නිර්මාණය කරමින් මා සූදානම් වන්නේ ඒ කෘතවේදීත්වය මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයාට ලබාදීමටයි.

"තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය සඳහා එක්‌වුණු
ඔබේ සහෝදර කලා ශිල්පීන් පිළිබඳවත් යමක්‌ පැවසුවොත්...

මේ චිත්‍රපටය, ත්‍රාසය, භීතිය, කුතුහලය ගැබ්වුණු හාස්‍ය පිරුණු කලා නිර්මාණයක්‌. මෑත භාගයේ විශාල නළු නිළි පිරිසක්‌ එක්‌වුණේ "තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය සඳහායි. වසර පහකට පසුව අපේ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහත් මාත් ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙන්නේ මේ චිත්‍රපටය හරහායි. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් රැසක්‌ එක්‌ව රඟපාන චිත්‍රපටයත් මෙයයි. දිල්හානි ඒකනායක, නිලන්ති ඩයස්‌, ආනන්ද වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, මහින්ද පතිරගේ, ප්‍රියංකර පෙරේරා, අනුෂා දමයන්ති ආදීන් සේම ප්‍රවීණ සහ නවක ශිල්පීන් රැසක්‌ම මීට දායකත්වය සැපයුවා. සංගීත අධ්‍යක්‍ෂණයෙන් සෝමපාල රත්නායක, සටන් අධ්‍යක්‍ෂණයෙන් වසන්ත කුමාරවිලත් මා කෙරෙහි විශ්වාසයෙන් යුතුව "තැන්ක්‌ යූ බර්ටි" අධ්‍යක්‍ෂණය සහ තිර රචනය සිදුකරලීමට මා දිරිගැන්වූ නිෂ්පාදක ජගත් එම්. යාපාවත් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කර ගැනීමට කැමතියි. හාස්‍ය උත්පාදන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්‍ෂක හදවතේ ලැගුම්ගත් ඔහු අධ්‍යක්‍ෂවරයකු ලෙසින්ද පෙරළිකාර චරිතයක්‌ වනු ඇති බව අපේ විශ්වාසයයි. ප්‍රේක්‍ෂකයා රස ගඟුලක සහ සිනහ සයුරක ගිල්වා මේ මස 18 වැනිදා සිකුරාදා ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හි දී ප්‍රදර්ශනය අරඹන, "තැන්ක්‌ යූ බර්ටි" සිනමාපටය එයට නිදසුන් සපයන බවට නිසැකය. එය ඔහුගේ ඉදිරි නිර්මාණයන්ට තවත් අත්වැල් සැපයීමක්‌ වනු ඇත. ටෙනිසන් කුරේ නම් වූ ප්‍රවීණ කලා ශිල්පියාණන්ටත්, ඔහුගේ ඉදිරි කලා දිවියටත් සුබ පතන අප ඔහුට චිර ජීවනයද ප්‍රාර්ථනා කරමු.

සාකච්ඡා කළේ - සුජීව තත්සර


Copy Rights - Divayina

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි


ඈ ළෙන්ගතුය. ඒ ළෙන්ගතුකම සමඟ නැඟෙනා සිනාව කොතරම් සොඳුරුදැයි මට ඇය දුටු මොහොතක සිතට නැඟිණි.
‘දමයන්ති ෆොන්සේකා’
ඕ ඒ සුපුරුදු ළෙන්ගතුකම ද පුරවාගෙන සොඳුරු සිනහවෙන් අප පෙර මඟට ආවාය.
‘ආ . . . ඉතිං කොහොමද?’
ඇගේ ස්වරය ද ළෙන්ගතුය. මේ දවස්වල පුංචි තිරයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙන් සතියේ දින පහ පුරාම ඔබගේ නිවෙසට පැමිණෙන ඈ දිගු කලකට පසුව අප සමඟ සුහද කතාබහකට මුල පිරුවාය.
‘මම කොහොමත් අවුරුද්දකට දීර්ඝ ටෙලි නාට්‍යයකට වඩා රඟපාන්නට බාර ගන්නේ නැහැ. එක ටෙලි නාට්‍යයක රඟපාද්දී කොයි තරම් ටෙලි නාට්‍යවලට ආරාධනා තිබුණත් ඒ වැඩ කටයුතු භාර නොගන්න නිතරම මම ප්‍රවේශම් වෙනවා. සමහර අවස්ථාවලදී දීර්ඝ නොවන ටෙලි නාට්‍යයක වැඩ කටයුතු වුණත් භාර ගන්නේ අනෙක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කරදරයක් නොවෙන්නයි. ඒ වගේ අපූරු ටෙලි නාට්‍යයක් මට පසුගිය දිනවල ලැබුණා. ඒක වලව්වක කතාවක්. මව්පියන් අහිමි වීමෙන් පස්සේ වතුපිටි සියල්ල පාලනය කරන, බොහොම සමානාත්මතාවයෙන් කටයුතු කරන තරුණ කාන්තාවකගේ චරිතය මගේ රංගනයට අපූරු වෙනසක් එක් කරාවි. මේ දවස්වල විකාශය වන ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙහි මම රඟපාන චරිතයත් වෙනස්ම චරිතයක්.’
‘කාර්ය බහුලත්වයට බොහොම අකැමැති වගෙයි.’
අපට ඉබේම සිතිණි.
‘එක ටෙලි නාට්‍යයක රූගත කිරීමකින් තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට මාරු වෙන්න මම කැමැති නැහැ.’
ඈ සිය අප්‍රසාදය පළ කරන්නීය. මේ විදිහට කටයුතු කිරීමෙන් ලැබෙන විවේකය ගෙවෙන්නේ කොහොමද?
මගේ සිතට නැගුණේ පැනයකි.
‘ලැබෙන විවේකයේදී කරන්න වැඩ කටයුතු ඕන තරම් පෙළ ගැසිලා. ඒ වෙලාවේදී ගෙදර දොර කටයුතු වගේම ඉවුම් පිහුම් කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. ඒකෙන් කියන්නේ සියයට සියයක්ම මම සාම්ප්‍රදායික බිරිඳක් කියලා නෙමෙයි. සාම්ප්‍රදායික බිරිඳකගෙන් ඉටු විය යුතු යුතුකම් කරන්නට පුළුවන් හැම වෙලාවකම මම ඒ දේ කරනවා.’
මේ බිරිඳ සමහර වෙලාවට ගෘහණියකි. එවිට මුළුතැන්ගෙට වෙන ඇගේ අතින් පරිප්පු හොද්දක්, අල බැඳුමක් රසට පිසෙයි.
‘උයන එක කලාවක්. මේසය උඩ සියලුම ආම්පන්න ටික පිළිවෙළට තියලා එළවළු එහෙම කලාවට කපලා උයන්න මම කැමැතියි. මට රසට උයන්න පුළුවන්. එහෙම කිව්වම මට මතක් වෙන්නේ මගේ අම්මා. මොකද මේ විදියට රසට උයන්න පුළුවන් වුණේ ඈ පුංචි කාලයේදීම අපව ඒ පැත්තට නැඹුරු කළ නිසාමයි. මම කැමැති පරිප්පුවලටයි. ප්‍රසන්න කැමැති අලවලටයි. පැණි රසට ප්‍රසන්න ගොඩක් කැමැති වෙන කොට මම කැමැති කඩචෝරුවලටයි. මේ හැම දෙයකටම උදව් වෙන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට නැහැ. ඒ නිසා ලැබෙන පිළිවෙළට මම කටයුතුª කරන්නට පුරුදු වෙලා. මමත්, ප්‍රසන්නත් කලා කටයුතුවල නිරත වෙන නිසා අපි දෙන්න ගැන අපි දෙන්නට තියෙන්නේ හරිම අවබෝධයක්. ඒ අවබෝධය අපේ පවුල ලස්සන කරනවා.’
ඒ වගේම දමයන්ති ගෙවිලියකි.
‘අපූරුවට වැවුණු නිවිති වැලක්.’
කොළ පැහැයෙන් බබළන සරුවට වැවුණු නිවිති වැල ඇගේ දෑතේ පහස ලැබුණු බවට සාක්ෂියකි.
‘තරුණ කාලේ ඉඳලම මම හරිම කැමැතියි වගා කරන්න. මේ නිසාම මගේ ගෙවත්තේ රම්පේ, කරපිංචා, මිරිස්, ඉඟුරු වගේම රාබු, නිවිති කියන එළවළුත් තියෙනවා. ඊට අමරතව නමිනං, කටුආත, දොඩම්, අඹ වගේ පලතුරු ගස්වලින් අපේ වත්ත හැඩ වෙලා. මේ දවස්වල වම්බටු, තක්කාලි, දඹල වගේ එළවළු සිටවන්න මම සූදානම් වෙනවා.’
චුට්ටක්වත් කම්මැලි නැති දමයන්ති මේ සියලු කටයුතු අතර හොඳ චිත්‍රපටයක්, දෙකක් බලන්නීය. හොඳ පොතක් කියවන්නීය.
ඈ අත පොතකි.
‘මම මේ දවස්වල කවි කඳුර කියවනවා.’
ඒ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද සුනේත්‍රා රාජකරුණානායකගේ කවි කඳුර කෘතියය.
ඈ කවි කඳුර පොත පෙරළන්නීය.
ඇයට බාධා නොකළ යුතුය. අපි ඒ සොඳුරු කැදැල්ලෙන් පිට මං වීමු.
දමයන්ති තවමත් කෙල්ල වගෙයි. ඈ දකින බොහොම දෙනෙක් මෙහෙම කියන්නට ඈ ළඟ සැඟවුණු රහස මොකක්ද? අපි ඇගෙන් විමසුවෙමු.
‘රංගන ශිල්පිනියක් විදියට මමත් පුංචි මේකප් එකක් දමනවා. ඒ වුණත් මේකප් එක තැනේ හැටියට වෙනස් වෙනවා.
කෙනෙකුගේ රූපයේ සුන්දරත්වය ඔප් නැංවෙන්න බාහිර ලස්සන විතරක් මදි. ඕනෑම කෙනෙකුගේ අභ්‍යන්තරයේ තිබෙන සිතෙහි සිතුවිලිත් ඒ ලස්සනට බලපානවා. ඒ හින්ද වෙන්න ඇති මම ඔය කියන තරම්ම ලස්සන.’

නයිසලරාගේ ‘රන් සරය

රන් සරය

රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.
ජීවිතයේ සොඳුරු ප්‍රාර්ථනා රැසක් හදවත රුවා ගනිමින් සොඳුරු සමනළියක සේ ලොව දකින්නට පෙරුම් පුරනා නිෂාම් නයිසලරා දියණිය පසුගිය දිනක ‘සරසවිය’ට ගොඩ වැඳුණා. ඒ ඇගේ හදවත රැඳුනු බලාපොරොත්තු ගැන අපට කියන්නටයි.
‘රන් සරය කියන මේ සංයුක්ත තැටියට ගීත දොළහක් අඩංගුයි. සම්බුද්ධ ජයන්තිය මූලික කරගත් වගේම මව් ගුණ ගී, පිය ගුණ ගී, පරිසරය සම්බන්ධව ගයන ගීතත් මේ පටයට ඇතුළත්. කාලයක පටන් මගේ සිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවක් මේ විදියට මල්ඵල ගැනුණේ පසුගිය සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ වුණු කාලයේදීයි.
මේ සඳහා මාව වඩාත් උනන්දු කළේ මගේ අම්මා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ලෙස කටයුතු කරන ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු. මුලින්ම මගේ දක්ෂතාවයන් මොනවද කියන කාරණය පිළිබඳ ඈ හොඳ අවබෝධයකින් පසු වුණා. ඒ නිසාදෝ ඈ මාව මුලින්ම යොමු කළේ ගුවන් විදුලියේ විදුල ගුවන් විදුලියටයි.
එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි.
මේ ඔස්සේ දක්ෂතා එළි දැක්වීමට ජීවන ගමන් මගේ යෝධ ශක්තියක් වන්නේ මගේ අම්මා. ඈ සුවිසල් රුකක් සේ මා අභියසම ඉඳන් මා දිරිමත් කරනවා. ඒ අනුවයි ‘රන් සරය’ එළි දකින්නේ.
මේ සංයුක්ත තැටියේ අඩංගු ගීතවල පද රචනයෙන් හා සංගීතයෙන් ධම්මික පතිරාජ, සුජීව හෙට්ටිතන්ත්‍රී, දිලිප් නානායක්කාර, ධර්මප්‍රිය රණවක, අනූෂා ගෝකුළ, විජිත් කණුගල, සිසිර කුමාර මහගම කියන මාමලා වගේම චාන්දනී වර්ෂකෝන්, ජානක ෆොන්සේකා, ශාන්ත පීරිස්, කරුණාරත්න විජේවර්ධන, කීර්ති විදානගමගේ, කුමාර කොඩිතුවක්කු ඇතුළු ගොඩක් මාමලා මට උදව් කළා. ඒ කළ හැම දෙයක් වෙනුවෙන්ම මගේ අම්මාටත්, තාත්තාටත් ඒ හැමෝටමත් බොහොම ස්තුතිවන්ත වෙනවා.’
දඟකාර සමනලිය පවසන්නේ හද පිරි සතුට දෝරේ ගලන අතරතුරදියි. නිෂාම් දූ ගී කියන්න වගේම නිවේදනයට වගේම ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ‘මම ඉගෙන ගන්නේ වත්තල යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි කියන භාෂා තුනෙන්ම ගීත කියන්නත්, කතා කරන්නත් මට පුළුවන්. අනාගතයේදී හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙන්න මම කැමැතියි.’
ඈ කියන්නේ දහසක් බලාපොරොත්තු රැඳි දෙනෙතින්. නිෂාම් දුවේ නුඹට සුබ අනාගතයක්. සරසවිය වෙතින් නුඹට සුබ පැතුම්.

ද කොමන් මෑන් සංස්කරණයට

හොලිවුඩයේ නළුවන් දෙපොළක් වන බෙන් කෲස් සහ බෙන් කිංස්ලි රඟන චන්ද්‍රන් රත්නම්ගේ ද කොමන් මෑන් සිනමාපටයේ සියලු රූගත කිරීම් ඉකුත්දා අවසන් විය. එය මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්්ජලීස් නුවර සංස්කරණය වෙමින් පවතියි.
ටෙඩී විද්‍යාලංකාර, වීණා ජයකොඩි, ජෙරොම් ද සිල්වා, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, පැට්‍රික් රත්නම්, ජේම්ස් කොක්, අෂාන් ඩයස් ‘කොමන් මෑන්’ හී නළු නිළියන්වේ.එය පෝල් මේසන්ගේ නිෂ්පාදනයකි. නිෂ්පාදන සැලසුම්කරණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න දායක වෙයි. ඩී. බී. වර්ණසිරිගේ සහය අධ්‍යක්ෂණයකි. ක්‍රිෂාන්ත ගුණසේකර රේඛීය නිෂ්පාදකවරයාය. චන්දන ජයසිංහ කැමරාව මෙහෙයවා තිබේ. චන්දිමාල් කොඩිතුවක්කු නිෂ්පාදන කළමනාකරුය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය.
සංස්කරණය, තිර රචනය සහ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම්ගෙනි.
ආදර කතාව, ජනේලය, පොරොන්දුව, අලිමංකඩ, චන්ද්‍රන් රත්නම් මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරවේ.
 Copy Rights - Sarasaviya

ගාමනී වැනසීමේ කුමන්ත්‍රණයක්

ගාමනී සිනමාපටයේ ව්‍යාජ පිටපත් කිසියම් පිරිසක් විසින් සමාජය අතරේ බෙදා හරිමින් පවතින බව ඊ. ඒ. පී. සමාගමේ මෙහෙයුම් විධායක ජයරත්න ගලගෙදර මහතා පවසයි.
ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මත ලක්ෂ 750 කට වඩා ආදායමක් ලබමින් ගාමනී තිරගත වෙනවා. ඒ සාර්ථකත්වය උහුලා ගත නොහැකි කිහිප දෙනෙකු තමයි මේ පිළිකුල් වැඩේ කරලා තියෙන්නේ. කෙසේ හෝ වංචනික අන්දමින් චිත්‍රපටය පටිගත කොට ඩී. වී. ඩී තැටි මාර්ගයෙනුයි ඔවුන් මේවා මිනිසුන්ට ලබා දෙන්නේ. ඒ වගේම ඒ අය ගාමනී චිත්‍රපටය අන්තර් ජාලයට පවා ඇතුළත් කරලා.
මේ වන විට ඒ වංචනිකයින් පිරිසට දැඩි දඬුවම් ලබා දෙන්න අපි නීති මගින් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන් චිත්‍රපටයක් තිරගත වෙද්දී හෝ ඉන් පසුව නීත්‍යානුකූල නොවන අයුරින් මෙවැනි දෙයක් කිරීම අන්තිම පහත් දෙයක් හැටියටයි මං දකින්නේ. ක්‍රමයෙන් නැවතත් වර්ධනය වෙමින් තිබෙන සිංහල සිනමාවට මෙවැනි ක්‍රියාවන් තුළින් අකුල් හෙළන්න එපා කියලා මං ඉල්ලීමක් කරන්න කැමැතියි.

සොනක්ෂි පැමිණි දවස

පසුගියදා අපේ රටට බොලිවුඩ් තවත් සිනමා තාරකාවියක් ආවා. ඒ තමයි සොනක්ෂි සිංහ. අපේ හින්දි සිනමා ලෝලීන්ට තවමත් හුරු පුරුදු නැතුව ඇති.
එහෙත් ඇයගේ මුල්ම චිත්‍රපටය දාබන්ග් දැනට සති දෙකකට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූවා. ඇය දැනට ජනප්‍රියත්වයට පත් වෙමින් ඉන්න විසි හතර වියේ පසු වන රූමත් නිළියක්.
සුපිරි නළු සල්මන් ඛාන් සමඟ කුළුඳුලේ රඟපෑ ‘දාබන්ග්’ චිත්‍රපටය උදෙසා ෆිල්ම් ෆෙයාර් නැගී එන නිළිය ඇතුළු තවත් සම්මාන උත්සව රැසක සම්මාන ගණනාවකින් ඇය පිදුම් ලැබුවාය.
2011 වසරේ ඉන්දියාවේ පැවැති සම්මාන උළෙලයන් අතර Star Screen සම්මානය, Film Fare සම්මානය Iifa Star Debut සම්මානය, Star Dust සම්මාන මේ සඳහා ඇයට පිරිනමන ලදී.
හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සත්රුගන් සිංහගේ දියණිය වූ සොනාක්ෂිට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටී. ඇය ලංකාවට පැමිණීමට විශේෂිත වූ කාරණාව නම් ඉන්දියාවේ ප්‍රසිද්ධ සඟරාවක් වූ L’OFFICIEL නැමැති සඟරාවට ඇගේ විවිධ ඉරියව්වලින් සපිරි ඡායාරූප ගොන්නක් ආවරණය කිරීමටයි.
ඒ සඳහා එම සඟරාවේ ප්‍රකාශකයෝ ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා දැකුම්කලු තැනක් වූ සීගිරිය තෝරා ගෙන තිබුණා. කෙසේ වෙතත් යුද්ධය හමාර වූ පසු අන්තර් ජාතික වශයෙන් මෙවැනි කලා ලෝකයේ කටයුතුවලට ශ්‍රී ලංකාව තෝරා ගැනීම අරඹයා අපේ සංචාරක ක්ෂේත්‍රයට මහඟු දායකත්වයක් වීම අපේ රට වැස්සන්ට ආඩම්බරයකි.
චන්න විජේවර්ධන එක්ක සොනක්ෂි රංගනයට ද එක් වූවාය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී සොනක්ෂි මාධ්‍යකරුවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් . . .
චන්න – උපුලී රංගායතනයේ දැරිවියන් වට කර ගත් සොනක්ෂි සහ සවුදි අරාබියේ නිරූපණ ශිල්පී නළු මොහනෙද් අහමද්
ජාත්‍යන්තර පිළිගත් නිර්මාණ ශිල්පී දිනේශ් චන්ද්‍රසේන සහ මොහනෙද් අහමද්ට මැදි වූ සොනාක්ෂි
නව පරපුරේ ගායක භාතිය හමු වූ මොහොතේ . . .
‘මෙන්න මෙහෙමයි අත් දෙක ගෙනි යන්නේ’ ප්‍රවීණ රංගන ශිල්පී චන්න විජේවර්ධන බොලිවුඩ් නිළි සොනක්ෂි සමඟ රංගන වින්‍යාසයක.
චන්න – උපුලී රංගායතනයේ දැරිවියන් නර්තනයෙන් ඇයව කැන්දාගෙන ආ පසු සොනක්ෂි ඔවුනට ආචාර කළ මොහොත.

No No No

?

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money