Sunday, September 25, 2011

Wednesday, September 21, 2011

ජෝ අබේවික්‍රම අභාවප්‍රාප්ත වේ.(Joe Abeywickrama Passes Away)


ප්‍රවීන සිනමාවේදී ජෝ අබේවික්‍රම මහතා මීට පැය කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුනා.මිය යන විට එතුමා 78 වන වියේ පසුවූ අතර ඔහුගේ දේහය මේ වනවිට දකුණු කොලඹ ශික්ෂන රෝහලේ තැම්පත්කර තිබෙනවා.

Sunday, September 18, 2011

පෙට්ටගමෙන් මතු වූ රූකඩ පණ ලබයි

මහනුවර රූකඩ කලාව රැකගැනීමේ ප්‍රයත්නයක්

පෙට්ටගමෙන් මතු වූ රූකඩ පණ ලබයි


දේශානි කලායතනයේ අධිපති ග්‍රාම නිලධාරි බී.පී.ජී ජයසිංහ මහතා
වසර 2500 කට අධික කාලයක සිට පෝෂණය වූ මෙරට විවිධ සංස්කෘතිකාංග තුළ කලාවට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. මේ කලා ගනයට අතීතයේ සිට පැවැත ආ චිත්‍ර , මූර්ති, කෝලම්, නාඩගම්, නාට්‍ය, රූකඩ හා ජනකවි ආදී කලා අංග රැසක් විය. ශ්‍රී ලාංකීය ජනතාව මේ කලා හුදු විනෝදය රසාස්වාදය භුක්ති විඳීම සඳහා පමණක් නොව සමාජ සුබ සිද්ධිය සඳහා ද යොදා ගත්හ.
මින් ‘රූකඩ’ කලාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.
මෙරට නාඩගම් කලාවට සියවස් තුනක පමණ ඉතිහාසයක් තිබුණත්, රූකඩ කලාවට සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “සිංහල ගැමි නාටකය” නම් කෘතිය මගින් පෙන්වා දෙයි.
1950 දශකයේ දී මෙම කෘතිය සම්පාදනය කරන අවධියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූකඩ සංදර්ශන කණ්ඩායම් පහක් සිටි බවත්, ඊට බොහෝ කලකට පෙර මහනුවර ප්‍රදේශයේ ඉතා දියුණු රූකඩ කලාවක් තිබූ බවත් මහාචාර්යවරයා සඳහන් කරයි. එහෙත් සියවස් ගණනාවක් ලාංකීය ජනතාව ජීවිතාවබෝධය ලබමින් රසවිඳි රූකඩ කලාව මේ වනවිට සමාජය තුළින් ක්‍රමයෙන් ඈත්වන බවක් දක්නට ඇත.
වර්තමානයේ නව නිර්මාණ ලෙසින් කරළියට ආ ගැමි නාට්‍ය විශේෂ අතර රූකඩ නාට්‍ය මාලාව ද ශ්‍රී ලංකාවේ දකුණු පළාතට ආවේණික වූ සුවිශේෂී නාට්‍ය විශේෂයකි.
‘වක්කඩපොල සීයා’ රූකඩ සංදර්ශනයේ එක් අවස්ථාවක්.
රූකඩ නාට්‍යවල රඟපානුයේ සැබෑ මිනිස් චරිත නොවේ.
මිනිස් චරිත ගැබ් වූ මිනිස් සළු පිළි හැඳගත් මිනිස් ස්වරූප ගත් රූකඩ කිහිපයකි.
මේ රූකඩ හසුරුවනු ලබන්නේ තිරයකින් පිටුපස සිටින ශිල්පීන් විසින් රූකඩවල අඟ පසඟවලට සම්බන්ධ කරන ලද ‘නූල්’ ක්‍රියාත්මක කිරීම තුළිනි. රූකඩ නූල් මගින් ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරිපත් කෙරෙන මෙම රංගන ශෛලිය කලාවක් පමණක් නොව එක්තරා තාක්ෂණික ශිල්ප ක්‍රමයක් ලෙස ද සැලකිය හැක.
එමෙන් ම මෙහිදී මිනිස් රූප ලෙසින් රූකඩ නිර්මාණය කිරීම, වෙස් ගැන්වීම හා නූල් කැබලි මගින් හැසරවීම ද විශේෂිත වූ කලා ක්‍රමයකි.
මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ ඉපැරැණි රූකඩ කලාව අභාවයට යමින් පවතින යුගයක, මහනුවර ප්‍රදේශයේ වසර සියයකට පමණ ඉහතදී තිබුණේ යැයි කියන රූකඩ කලාවට නැවත නව පණක් ලබාදී අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ හරන්කහව අඹරුප්ප ග්‍රාම නිලධාරි බී.පී.ජී. ජයසිංහ මහතා විසින් ‘දේශානි’ කලායතනය නමින් කලායතනයක් ආරම්භ කොට පවත්වාගෙන යයි.
හාරිස්පත්තුවේ අඹරුප්ප ග්‍රාමයේ පදිංචිව සිට නැසී ගිය බී.ජී. සිංහපේලි වෙදදුරු මහතා මීට වසර 100 කට පමණ පෙර සිය වෙද පරපුරේ තරුණ තරුණියන් රැසක් ඒකරාශි කරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ, කැප්පෙටිපොල නිලමේ, සිරි සඟබෝ, වීරපුරන් අප්පු යන චරිත ආශ්‍රිත රූකඩ නිමවා ප්‍රදේශයේ පන්සල්වල රූකඩ සංදර්ශන පවත්වා ඇති බවට ජනප්‍රවාද පවතී.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ ඇමැතියෙක් රූකඩයට ඇවිත්
එමෙන් ම සිංහපේලි වෙද පරපුරේ පෙට්ටගම්වල තිබී රූකඩ රැසක් හරන්කහව දේශානි කලායතනය පවත්වා ගෙන යන ජයසිංහ මහතාට හමුවී ඇත.
ඔහු එම දිරාපත් වී ගිය රූකඩ පිළිසකර කර ඇඳුම් මෙවලම් සකස් කර රූකඩ කලා ශිල්පීන් රැසක් ද පුහුණු කරමින් තම කලායතනය පවත්වාගෙන යයි.
කවදත් බෞද්ධකම, සිංහලකම, සංස්කෘතික වටිනාකම් ඇති දේවල් මෙන් ම පැරැණි කලා රසාංග ද අගය කරන ජයසිංහ මහතා අභාවයට යන කලාවන් වෙනුවෙන් යමක් කරන්නට කාලය එළඹ ඇතැයි සිතා දැනට වසර තුනක පමණ කාලයක සිට ඒ සඳහා අවශ්‍ය මූලික උපාංග සම්පාදනය කරගත් බව පවසයි.
උඩරටින් අභාවයට ගිය මෙම අගනා කලා මාධ්‍යය යළි ජනප්‍රිය කරවීමටත්, එය සංරක්ෂණය කොට අනාගත පරපුරට දායාද කරවීමටත් ‘දේශානි’ කලායතනය දරන ප්‍රයත්නය සැමගේ ප්‍රශංසාවට ලක් විය යුතු ය.

මහානාම ගලහිටියාව

Copy Rights - Silumina

ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව

Copy Rights - 2011 සැප්තැම්බර් මස 13  ලංකාදීප කර්තෘ මණ්ඩලය
‘‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප‍්‍රචාරකයකුගේ ඒකාන්ත ප‍්‍රතිමුර්තියක් පළ කළා මතු නොවේ.  සමස්ත ශිෂ්ට ලෝකයේහි ආසියාවේ ආලෝකය පතුරුවා හැරීමෙහි හා සකල බුද්ධ ශ‍්‍රාවකයන් සුස්ථිත කරනු ද සඳහා අරඹන ලද ව්‍යපාරයක නායකත්වයෙහි මෙබදු පුද්ගලයකු සිටිනු දකින්නට ලැබීම රොමෝද්ගමනය ඇතිකරවන්නක් ද විය.’’  ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී 1893 වසරේ  පැවැති ලෝක ආගම් සමුළුව අමතා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් කළ විශිෂ්ට දේශනය සෙන්ට් ලූවි ඔබ්සර්වර් පුවත් පත වාර්තා කළ අයුරුයි ඒ.අනගාරික ධර්මපාලතුමා කළ සේවයන් අතර අපේ රට අවුරුදු 300 ට වැඩි කාලයක් මුළුල්ලේ   විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ අවධියේ අකී‍්‍රයව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පණ ගැන්වීම ප‍්‍රධාන වෙයි.එතුමන්ගේ ඒ උදාර අරමුණ ලක්දිව පුරා ව්‍යප්ත කරලීමේ මහගු කාර්යයට අමිල වස්තුවක් වූයේ සෝබන මාලිගාවයි.  මෙම මහගු ජාතික වස්තුව බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා සන්තකයේ තිබෙන බව දැනගත් මහා බෝධි සංගමයේ උප සභාපති අග‍්‍රශ‍්‍රාවක මහා විහාරාධිපති හා ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි සහ එහි විධායක සභික මදුරාසි මහා බෝධි මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි එම රථය ලබාගත්හ.පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් නීල් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉන්ජිනේරු බලකායේ ලූතිනන් කර්නල් තිස්ස ජයසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එදා තිබූ ආකාරයන්ම ප‍්‍රතිසංස්කරනය කරනු ලැබ මරදාන මාලිගාකන්ද මහා බෝධි සංගම් මූලස්ථානයහි මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පතව තිබේ.
නිෂ්පාදිත රට ඇමරිකාව
නිෂ්පාදිත ආයතනය ජනරල් මෝටර් කම්පැණි
වාහන වර්ගය ජී එම්
සීමොඩලය ටී 20
ලියාපදිංචි අංකය ජී-406
චැසි අංකය 7439 සී
බර 6600 එල් බී එස්
චැසි අංකය 7439 සී
දිග අඩි 19 අගල් 6
පළල අඩි 6
උපරිම ධාවන වේගය පැයට සැතපුම් 35



උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා


Copy Rights - 2011 සැප්තැම්බර් මස 16  ලංකාදීප කර්තෘ මණ්ඩලය
ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ ඉදිරිපත් කරන ”සාමය හා ආදරය” චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය තෝමස් ද සිල්වා සමරු ශාලාවේ දී පැවැත්වේ. මෙවර චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹින් පිට පැවැත්වීම ගැන සේමගේ දැක්වූයේ මෙවන් වූ අදහසකි.
”ඇත්තෙන්ම මට පුදුම සතුටක් මෙවර දැනෙන්නේ. මොකද මෙතෙක් කල් මම කොළඹ නගරයේ මෙන්ම රටවල් ගණනාවක චිත‍්‍ර ප‍්‍රදර්ශන ඉදිරිපත් කළා. ඒවාට බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර ලැබුණා. නමුත් මා ඉපදුණු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ඉගෙන ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න ලැබීම මගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක්. එයින් ලැබෙන සතුට කියා නිම කරන්න බැරි තරම්. මොකද මට චිත‍්‍ර කලාවේ ගුරුහරුකම් ලැබුණේ මගේ පාසලෙන්. ඉතිං ඒ පාසලේ මගේම චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන්න ලැබීම සතුටක් නොවෙයිද?
කොයිතරම් දෙස්  විදෙස් චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වූවත් මෙවර චිත‍්‍ර දැක්ම මට විශේෂයි.” අම්බලන්ගොඩ ජන්ම ලාභය ජයසිරි සේමගේ චිත‍්‍ර ශිල්පියා ධර්මාශෝක
විද්‍යාලයේ ඉගෙනුම ලබා එවකට කලා ගුරුවරුන් වූ ඇම්.ඩබ්ලිව්.ඇල්. ද සිල්වා හා බර්නාඞ් ලොකුගේ ගෙන් චිත‍්‍ර කලාවේ මූලික ආරම්භය ලබා ගත්තේය. පාසල් අධ්‍යාපනය ලබනා අවදියේම එනම් 1957 දී හා පුරා කියා කොළඹ ජාතික කලා භවනේ දී ප‍්‍රථම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත්වූ සේමගේ එදා කලා විචාරකයන්ගේ පැසසුමට ලක්විණි. බොහෝ දෙනා එදා පැවසූවේ ප‍්‍රවීණ ශිල්පියකුගේ නිර්මාණයන්ට හා සමාන බවයි. ඔහු තොරණ කලාවට විශේෂ ඇල්මක් දැක්වූ අයෙකි. මේ පිළිබඳ කතා කිරීමටත් සේමගේ අමතක කළේ නැත. ”මගේ අම්බලන්ගොඩ නගරය කවදත් වෙසක් උත්සව කාලයට වෙසක් තොරණ සඳහා විශේෂ තැනක් ගන්නවා. එක වෙසක් සමයක නගරයේ තොරණ 10ක් පමණ නිර්මාණය වුණා. මේ හින්දා කුඩා කාලයේ ඉඳලම මගේ හිත වඩාත්  යොමු වුණේ මේ තොරණ කලාව වෙනුවෙන්. ඒත් මට අවශ්‍ය වුණේ මේ නිර්මාණය වන තොරණ චිත‍්‍ර කලාවට වඩා අමුතු දෙයක් නිර්මාණය කර ඉදිරිපත් කරන්නයි. මේ කාලයේ දී මගේ චිත‍්‍ර කලා ගුරුවරයකු වූ බර්නාඞ් ලොකුගේ මහත්මයා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ඉගෙනුම ලබා මෙරටට පැමිණ පෙරදිග චිත‍්‍ර ශෛලියට තම ගෝලයින්ගේ සිත් යොමු කරලා ඒ වෙනුවෙන් චිත‍්‍ර ඇඳි කාලයක් වුණා. ඒ කාලයේ මේ චිත‍්‍ර කලාව ගැන මම හොඳින් ඉගෙන ගත්තා. මම මටම ආවේණික ශෛලි යකින් තොරණ සැලැස්ම හා චිත‍්‍ර නිර්මාණය කරන්න පටන් ගත්තා. එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. එයින් දිරිගත් මා දේශීයත්වයට මුල් තැනක් දෙමින් තව තවත් මගේ චිත‍්‍ර ශෛලිය ඔපවත් කර ගත්තා.” 1957 අවසාන කාලයේ දී පාසලෙන් සමුගත් ජයසිරි  සේමගේ ” ලංකාදීප” පත‍්‍රයේ ස්වාධීන චිත‍්‍ර ශිල්පියකු වශයෙන් බැඳී පසුව ” දවස” පුවත්පත් සමූහය ආරම්භයත් සමග එහි ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා වශයෙන් සේවය කළේය. රේඛා චිත‍්‍ර මෙන්ම අන් චිත‍්‍රද පාඨකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වුණි. ”1974 වර්ෂයේ දී මැලේසියාවේ බෞද්ධ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සඳහා ලංකා කලා සංගමයෙන් මාව තෝරාගෙන ක්වාලාලම්පූර් නගරයේ ප‍්‍රදර්ශනයට පිටත් කළා. එදා ක්වාලාලම්පූර් බෞද්ධ විහාරයේත්, ජිනැංගුවේ බෞද්ධ විහාරයේ හා සිංගප්පූරුවේ මංගල් විහාරයේ බෞද්ධ සිතුවම් අඳින්න මට අවස්ථාව ලැබුණා. එය ශ්‍රී ලාංකික චිත‍්‍ර ශිල්පියකුට ලැබුණු මහඟු අවස්ථාවක්. ප‍්‍රථම වරට තමයි මට ඒ අවස්ථාව උදාවුණේ. ඊට පස්සේ ලෝකයේ රටවල් ගණනාවක ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වන්න මට අවස්ථාව ලැබුණා.
ලෝකයේ රටවල් කිහිපයකම පැවැති ” එක්ස්පෝ” ප‍්‍රදර්ශනවල ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටිවල සිංහල සිතුවම් කලාවෙන් අලංකාර කරන්න මට හැකි වුණා. සිංගප්පූරුවේ මංගල් බෞද්ධ විහාරය තමයි මා ඇඳි බිතුසිතුවම් ඇතුළත්
විශාලම විහාරස්ථානය, ඒ විතරක් නොවෙයි. එම රටේම ”මෑන් ෆැට් ලාම්” නමැති චීන බෞද්ධ විහාරයේ තෙල් සායමින් මා නිම කළ පස්වග මහණුන්ට දහම් දෙසීමේ චිත‍්‍රය සිංගප්පූරු බෞද්ධ පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මා නිර්මාණය කළ ” බෝරෝ බුදුර් ආකෘතියද විශේෂයෙන් මතක් කළ යුතුමයි. මෑතක දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් එතුමාගේ සංකල්පයක් මත නේපාලයේ ලූම්බිණියේ ඉදිවෙන බෞද්ධ විහාරයේ බිතු සිතුවම් නිර්මාණය ද මා අතින් සිදු කළා. පහුගිය දිනවල ජපානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ප‍්‍රදර්ශනවල තොරණ 2ක් නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ හින්දා මගේ චිත‍්‍ර කාලව විදෙස් රටවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා” සේමගේ තම නිර්මාණ ගැන පැවසූවේ එවැනි අදහසකි. මේ වන විට කලාසූරී හා තවත් දේශීය හා විදේශීය සම්මාන රැසක් හිමිකරගෙන සිටින සේමගේ චිත‍්‍ර ශිල්පියා දිගු කලකට පසුව තම උපන් ගමේ ඉගෙනගත් පාසලේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් පැවැත්වීම විශේෂත්වයකි. ඒ විශේෂත්වය මෙම මස 21 වැනිදා සිට දැක ගත හැකිවනු ඇත.
යහම්පත්

හායි...බායි කියා සුද්දන් දැලේ දාගන්නා ගයිඩ්ලා

"ගුඩ් මෝර්නිං...... සර්...... වට්‌ ඩූ.. යූ.. වෝන්ට්‌" සර්... දිස්‌ ඊස්‌... ශ්‍රී ලන්කන් මේඩ්... මෙලෙස පවසමින් විදේශ සංචාරකයන් හිතවත් කරගෙන කීයක්‌ හෝ හම්බුකරගන්න උත්සාහ කරන විදේශ සංචාරක මග පෙන්වන්නෝ එසේත් නැතිනම් අප සාමාන්‍යයෙන් පවසන "ටුවර් ගයිඩ්"ලාට නැවතත් හොඳ කලදසාවක්‌ උදාවෙමින් පවතී.

කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී වාතාවරණය මත යුරෝපා රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දැන් බහුලවන්නට පටන්ගෙන ඇත.

සුද්දෙක්‌ මාට්‌ටු කරගෙන කීයක්‌ හරි හම්බුකරගන්නා පුද්ගලයන් ලෙස "ටුවර් ගයිඩ්" ලා, පිළිබඳව බොහෝදෙනා අතර පවතින මතයකි. ඇත්තටම එවැනි "ගයිඩ්"ලාත් සිටිති. නමුත් මෙය වෘත්තියකි.

"ටුවර් ගයිඩ්" කෙනෙකුවීමට හොඳින් ඉංග්‍රීසි සහ තවත් භාෂාවන් කතා කිරීමේ හැකියාව තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සංචාරක ප්‍රදේශ පිළිබඳ දැනුමක්‌ තිබිය යුතුය. එවැනි 'ගයිඩ්' ලා වෘත්තිකයන් ලෙස සංචාරක ආයතන වල සේවය කරති. ඒ අතර යාන්තමට ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවන් කිහිපයක්‌ කතා කිරීමට හැකි තරුණයන්ද ගයිඩ්ලා ලෙස එදා වේල සොයා ගැනීමට සුද්දෙක්‌ දැලේ දා ගැනීමට උත්සාහ කරති.

'ටුවර් ගයිඩ්' ලාත් මැණික්‌ පතල් හාරන්නන් වැනිය. ඉල්ලමක්‌ හමුවුණොත් සරුය. නැතිනම් අතින් කයිට්‌ය.

දැන් ලංකාවට එන සමහර සුද්දො හොඳට තෙම්පරාදුවෙලා ඉන්නෙ. අපිට වඩා ලංකාව ගැන දන්නවා. අපි තැනක්‌ කියන කොට එයාලා එහි ඉතිහාසයත් කියනවා. ඒ හින්දා සමහර සුද්දන්ගෙන් ගතමනාවක්‌ ගන්න හරිම අමාරුයි. 'ටුවර් ගයිඩ්'ලාගේ ජීවිතය ගැන පවසමින් එහි නිරතවන්නෙක්‌ මට පැවැසීය.

ජපන් කාරයෝ හරිම අමාරු කාරයෝ. එයාලා අපව හොඳට රවටනවා. අරක අරන් දෙන්නම් මේක අරන් දෙන්නම් ජපන් අරන් යන්නම් කියනවා. හැබැයි ගමන ගිහින් ආවට පස්‌සෙ සද්ද නැතිවම ලංකාවෙන් පිටවෙලා යනවා. මෙච්චර දවසක්‌ උදව් කරපු අපට කියලවත් නොවෙයි යන්නෙ. මා හිතවත් ගයිඩ් මිතුරා සංචාරකයන් ගැන පවසන අතර අපූරු අත්දැකීමක්‌ද පැවැසීය.

ඔන්න දවසක්‌ ජපන් කෙල්ලො දෙන්නෙක්‌ සීගිරි දඹුලු යන්න ආවා. මම සේවය කරන සංචාරක ආයතනයෙන් ඒ දෙන්න මට බාරදුන්නා. දවස්‌ පහක සංචාරයක්‌. ඔවුන් නතරවන්නේ කණ්‌ඩලම හෝටලයෙ.

ගමන යනකම් ඇඟේ එල්ලිලා හුරතල් වෙවී ගියා. ජපන් අරගෙන යන්නම් කිව්වා. හැබැයි මට තේරුණා මෙයාලා රඟපෑමක්‌ කරන්නෙ කියලා. මොකද කණ්‌ඩලම හෝටලයේදී එයාල කනවා බොනවා මම පැත්තකට වෙලා ඉන්නවා. නිකන්වත් මගෙන් උඹ කෑවද කියල ඇහුවේ නැහැ.

අපට කොහොමත් හෝටලයකට ගියවිට කාමරයක්‌ කෑම බීම ලැබෙනවා. ඒත් මම එනකොට ඇහුවා ඇයි උඹලා මට නොදී කෑවේ බිව්වෙ කියලා.

එතකොට කියනවා.... ඇයි උඹ අපිත් එක්‌ක කන්න ආවේ නැත්තෙ කියලා. ආරාධනාවක්‌ නැතිව යන්න බැහැනෙ.

කොහොමහරි එනගමන් මට කියලා අඩුවට බඩු මුට්‌ටු ගත්තා. ලංකාවෙන් එයාලා යන්න ඉස්‌සෙල්ලා හෝටලයට ඇවිත් හමුවෙන්න කිව්වා.

කොයිකටත් මම කියපු දවසේ හෝටලයට ගිහින් හොයල බැලුවා. මට එන්න කිව්ව දවසට පෙර දවසේ එයාලා ලංකාවෙන් ගිහින්.

හැබැයි හොඳ අයත් ඉන්නවා. දවසක්‌ ප්‍රංශ මහාචාර්යවරු දෙන්නෙක්‌ එක්‌ක මම නුවර ගියා. එයාලා නවාතැන් ගත් හෝටලයේ මම ගයිඩ්ලාට දෙන කාමරයේ නවතින්න ගියා. උඹ ඉන්නෙ කොහෙද කියලා මගෙන් ඇහැව්වා. මම ඉන්න කාමර ගැන පැවසූ විට නැහැ උඹත් අපි වෙන්කරගත්ත වගේ කාමරයක ඉන්න ඕනෙ කියලා කිව්වා. කාමර බිල එයාලා ගෙවන්නම් කිව්වා. මටත් එයාලා සමඟ කන්න බොන්න දුන්නා. උඹල දියුණුවෙන්නෙ නැත්තෙ ඔයවගේ පංති බේද හින්දා කියල, එම මහාචාර්යවරු දෙන්නා මට පැවසුවා. ලංකාවෙන් යනකොට මට යුරෝ දෙදහක්‌ (රුපියල් තිස්‌ දහසක්‌) දීලත් ගියා.

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක්‌ නොව යුරෝපා රටවලටද බලපා තිබෙන බව එන බොහෝ සංචාරකයන්ගෙන් දැනගත හැකියි.

දැන් බොහෝ දෙනා එන්නේ තනි තනිව හෝ පවුලක්‌ ලෙස නොවෙයි. කණ්‌ඩායමක්‌ ලෙසයි. ඒක හරිහට අපේ අය දඹදිව යනවා වගෙයි. දඹදිව යන නඩයක පුද්ගලයකුගෙන් ඒ සඳහා ගාස්‌තුව ගත් පසු තව කාටවත් වියදම් කරන්න ඕනෙ නැහැනෙ. අවශ්‍ය සියලු පහසුකම් නඩය සංවිධානය කරන පුද්ගලයන් ලබාදෙනවා. ඒ වගේ නඩ දැන් යුරෝපයේ සිට ලංකාවට එනවා. ඔවුන් ලංකාවට රැගෙන එන අය අවශ්‍ය සියලු පහසුකම් සඳහා ඔවුන්ගෙන් මුදල් අයකරගෙන තිබෙනවා. ඒනිසා එවැනි නඩ සමඟ ගියවිට අපට කීයක්‌වත් ලැබෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපට සංචාරකයෙක්‌ තෑගි භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා යම් යම් වෙළෙඳ සල්වලට රැගෙනගිය විට කොමිස්‌ මුදලක්‌ අදාළ වෙළෙඳ සලෙන් ලැබෙනවා. මෙවැනි නඩ එන සංචාරකයෝ අප කියන තැන්වලට යන්නෙ නැහැ. එයාලා සැලසුම් කරගෙන පැමිණි තැන්වලට පමණයි යන්නෙ. ඔවුන් මිලදී ගන්න භාණ්‌ඩවල මිලත් දන්නවා. අපට තියෙන්නෙ නිකන් බලාගෙන ඉන්න විතරයි.

ටුවර් ගයිඩ්ලා ගැන අප සමාජයේ විවිධ මත තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ. මගේ ගයිඩ් මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒක ගයිඩ්ගේ චර්යාව අනුව සහ ටුවරිස්‌ගේ චාර්යාව අනුව තමයි තීරණය වන්නෙ. සමහර සංචාරකයෝ ලංකාවට එන්නෙ ලංකාවේ පරිසරය දැකබලාගෙන විනෝදවන්න. තවත් සමහරු ඒ අතර වෙනත් දේවල් වලිනුත් විනෝද වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම විනෝද වෙන අයට සලකන්නත් අපේ අය ඉන්නවා.

ඒ වගේම තමයි හොඳට හිතවත් වෙන සංචාරකයෝ නැවත ලංකාවට එනවිට ඒ ගයිට්‌වම තමයි හොයන්නෙ.

ඒ වගේ සංචාරකයෝ කිහිපදෙනෙක්‌ මටත් ඉන්නවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි යන රටවල සංචාරකයෝ කිහිපදෙනෙක්‌ දැන් අවුරුදු දහයක පමණ සිට සෑම වසරකම ලංකාවට එනවිට මට කතා කරනවා, මම තමයි එයාලව බලාගන්නෙ.

හායි... සර්... බායි... සර්..... කම්..... සර්.... යෑයි පවසමින් සුද්දන් දැලේ දාගන්නා ගයිඩ්ලාත්, සර්.... යූ ආර් අවර් ගෙස්‌ට්‌.... (ඔබ අපේ සංචාරකයෝ) යෑයි ගරුසරු ඇතිව පවසමින් සුද්දන්ට මග පෙන්වන ගයිඩ්ලාත් සිටිති. මේ ඔක්‌කෝම සුද්දන්ගේ මිතුරෝය.

උපාලි ද සේරම්


Copy Rights - Divayina
 

චංචලා නිසා විවේකයක්‌ නැහැ

චංචලා නිසා විවේකයක්‌ නැහැ

පබෝධා සංදීපනී මෑත කාලයේ පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. මෑතකදී ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වුණු පබළු ටෙලි නාට්‍යය තුළින් අසීමිත ප්‍රේක්‌ෂක ප්‍රසාදයක්‌ දිනාගත් ඇය තමා සතු හැකියාවන් ඔවුන් ඉදිරියේ පෙළහර පෑවේ ප්‍රේක්‌ෂකයන් නොසිතූ ලෙසින්.

මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ආදරණීය චංචලා ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්‍ෂකයා හමුවට එන පබෝධාගේ වත්මන් තොරතුරු දැන ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇයව ඇමතුවා.සඳුන් රාජකරුණාගේ ආදරණීය චංචලා ටෙලි නාට්‍යයේ ෂූටින් එක්‌ක තමයි මේ දිනවල වැඩි කාලයක්‌ ගත කරන්නේ. නිර්මාණ ගොඩක්‌ භාරගෙන කාර්යබහුල වෙන්න මම කැමැති නැහැ. ඒ නිසා එකවරකට එක නිර්මාණයයි භාර ගන්නේ. චංචලා හි රූගත කිරීම් පටන් ගන්න කලින් මගෙ තාත්තා ඉන්න ප්‍රංශ රටේ සංචාරයකට ගිහින් ආවේ.

මේ දිනවල මම රඟපාන සහ රඟපෑ ආදරණීය චංචලා හා රන්ගිර ටෙලි නාට්‍යය විකාශය වෙනවා. තවත් අලුත් නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ආදරණීය චංචලා නාට්‍යයේ රූගත කිරීම් කරන නිසා ඒ එකක්‌වත් භාර ගත්තේ නැහැ.


Copy Rights - Divayina

විවාහ ජීවිතයෙන් සමුගත්තා

වැරැද්ද කොතැනද කියා හිතාගන්න බැහැ
අපේ නොගැලපීම් ගොඩක්‌ තිබුණා...

විවාහ ජීවිතයෙන් සමුගත්තා

මෑත කාලයේ විවිධ විලාසිතා මවමින් බොහෝ දෙනා අතර කතා බහට ලක්‌වුණු නව පරපුරේ රංගන ශිල්පියකු වන සාලිය සත්‍යජිත්ගේ පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක්‌ වුණා කියලා අපට ආරංචියක්‌ ලැබුණා. ඒ ගැන සාලියට ආදරය කරපු රසිකයන්ව දැනුවත් කරන්න ඕනෑ කියලා ඔහු අපට කිව්වා. එනිසා අප සාලියත් සමග කතාබහ කරන්න අදහස්‌ කළා.

සාලිය මොකක්‌ද මේ පෞද්ගලික ජීවිතයේ ඇතිවුණාය කියන වෙනස?

මගේ පෞද්ගලික ජීවිතයේ වෙනස්‌කම් හැමදාම සිදුවෙනවා. දැන් ටික කාලයකට කලින් පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක්‌ සිද්ධ වුණා.

ඒ මොකක්‌ද?

මම විවාහ ජීවිතයෙන් සමුගත්තා. ඒ ගැන මගේ රසික රසිකාවියන් දැනගන්න ඕනෑ කියලා මට හිතුණා. ජීවිතයේ පෞද්ගලික කාරණා මිනිස්‌සු වසන් කරනවා. නමුත් මාව මෙතැනට ගෙන ආවේ මගේ රසික රසිකාවියන්. ඒ හින්ද මගේ ජීවිතයේ සිදුවන සත්‍ය ඔවුන් දැනගත යුතුයි කියලා මට හිතුණා.

මේ වෙනසට හේතුව මොකක්‌ද?

මටත් තවම හිතාගන්න බැහැ කොතැනද වැරැද්ද සිදුවුණේ කියලා. කාලය මේ හැම දෙයකටම උත්තර සපයාවි කියලා හිතනවා.

ඔබ නීත්‍යනුකූලවත් වෙන්වුණාද?

මුලින්ම වෙන්වෙලා හිටියට නීති මාර්ගයෙන් වෙන්වන්න සූදානමක්‌ තිබුණේ නැහැ. මොකද එහෙම දෙයක්‌ මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැති නිසා. මගේම කටින් හොඳයි කියපු කෙනෙක්‌ව නැවත මගේම කටින් නරකයි කියන එක සාදාචාරාත්මක නැහැ. අන්තිමේ කොහොම හරි නීතියෙන් වෙන්වෙන්න සිදුවුණා.

මෙය ඔබේ ජනප්‍රියත්වයට බාධාවක්‌ නොවෙයිද?

ඒක තීරණය කරන්නෙ මට ආදරය කරන මිනිස්‌සු. මම කවදාවත් මේ රටේ මිනිස්‌සුන්ට බොරු කරන්න කැමැති නැහැ. මොකද එයින් අන්තිමේදී විඳවන්නෙත් මමනේ.

ඔබ දෙපළ වෙන්වුණාට පසුව ඇය ඔබට කතා කළේ නැතිද?

මේ වෙන්වීම සිදුවුණේ එකවර නොවෙයි. අපි දෙන්නාගේ නොගැලපීම් ගොඩක්‌ දුරට තිබුණා. මම කීපවරක්‌ම මේ වෙන්වීම ප්‍රතික්‌ෂේප කළා. මොකද ඒ වෙන්වීම තුළ ගොඩක්‌ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මම. අන්තිමේ කාලය විසින් හැම දෙයක්‌ම වෙනස්‌ කළා.

අද කාලේ නළු නිළියන් දික්‌කසාද වීම විලාසිතාවක්‌ කරගෙන කිව්වොත් ?

මේක විලාසිතාවක්‌ නම් නොවෙයි. කලාකරුවන්ට මෙවැනි ප්‍රශ්නයක්‌ ඇතිවුණහම රටට ලෝකයට පෙනෙන ප්‍රමාණය වැඩියි. නමුත් සාමාන්‍ය ජනතාව අතරත් වෙන්වෙන සිදුවීම් ඇතිවෙනවා. ඒ වුණාට කලාකරුවාට එවැනි දෙයක්‌ වුණහම මහ ලොකුවට කතාබහ වෙනවා.

රඟපෑමටත් සමුදෙන්න ද සූදානම?

රංගනයෙන් සමුගන්න කොහෙත්ම සූදානමක්‌ නැහැ. ගොඩක්‌ වෙලාවට මම උත්සාහ කරන්නේ මේ රටට අලුත් දෙයක්‌ නිර්මාණය කරන්න. කොහොමටත් මම එකතැන පල්වෙන්න සූදානම් කලාකරුවෙක්‌ නෙවෙයි.

එහෙනම් ඇයි ඔබ රස්‌සාවක්‌ කරන්නේ ?

මට පෞද්ගලික ආයතනයකින් ආරාධනාවක්‌ ලැබුණා වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරියෙක්‌ විදිහට කටයුතු කරන්න කියලා. ඉතිං මම හිතුවා කලා කටයුතුවලට කාලය වැය කරනවා වගේම මගේ ජීවිතයේ වෙනසකටත් එක්‌ක එවැනි දෙයකුත් කරන්න. ඒක මගේ ආර්ථික පැත්තටත් හොඳයිනේ.

එතකොට බාහිර පෙනුම වෙනස්‌ කළේ ?

මම කොහොමටත් මෝස්‌තර නිරූපණයට කැමැති කෙනෙක්‌. දැන් පොඩ්ඩක්‌ වෙනස්‌වෙලා තියෙන්නේ ඉදිරියේ ලොකු වැඩකට සූදානම් වෙන නිසා. ඒ ගැනත් ප්‍රේක්‍ෂකයන්ට වෙලාව ආවහම කියනවා.

පසුගිය කාලයේ ඔබ කරපු විලාසිතා විවාහ ජීවිතයට බලපෑවේ නැතිද ?

මගේ සෑම විලාසිතාවක්‌ම සිදුවුණේ ඇය අතින්. මම ගොඩක්‌ වෙලාවට අධ්‍යයනය කළේ ගොතික්‌ කියන සංස්‌කෘතිය. ඒ රටාව අඳුරගත්තු කෙනෙක්‌ මේ විලාසිතා ගැන දන්නවා. නමුත් ලංකාවට නම් මේ විලාසිතා ටිකක්‌ නුපුරුදුයි.

ඉදිරියේදී ඔබේ විලාසිතාවලට කවුද උදව්කරන්නේ ?

ඒ ගැන හිතපුවහම මම තවමත් එක තැනක නැවතිලයි ඉන්නේ. ඉදිරියේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා. ඇයගේ ශක්‌තිය නොමැතිවීම මට යම්තාක්‌ දුරට පාඩුවක්‌. නමුත් යථාර්ථයට මුහුණදෙන්න මට සිදුවුණා.

ඔබ ඔය කරන විලාසිතා පෞරුෂයට බලපෑවේ නැතිද ?

පෞරුෂය කියන්නේ ප්‍රතිනිර්මාණය කරගත් හෝ මවාගත් දෙයක්‌ නොවෙයි කියලයි මට හැඟෙන්නේ. ඒක කෙනකුගේ ඇතුළාන්තයෙන් ගොඩනැඟෙන දෙයක්‌. මතුපිට රූපය බලා කෙනකු තේරුම්ගන්න බැහැ. මොකද රූපය කියන දෙය නිතර නිතර වෙනස්‌ වන නිසා. පෞරුෂය ගොඩනැඟෙන්නේ කෙනකුගේ හදවතින්. එහෙමත් නැතිනම් ඇතුළාන්තයෙන්.

ඒ වුණාට ඔබේ විලාසිතා නිසා මිනිස්‌සු සාලිය කියන චරිතය ගැන වපර ඇසින් බලන්නත් ගත්තා ?

මට ඒක නවත්වන්න බැහැ. මම ගොඩක්‌ වෙලාවට ජීවත්වෙන්නේ ගොතික්‌ සංස්‌කෘතිය තුළ. ඔය විලාසිතා ආරම්භ වුණේ ස්‌වර්ණවාහිනියේ මෙගා ස්‌ටාර් වැඩසටහනින්. මම ගොඩක්‌ වෙලාවට බටහිර නිර්මාණ වටල කැමති කෙනෙක්‌. මම මේ ලෝකෙ හරි කියලා දෙයක්‌ තිබෙනවා නම් එය කරනවා. මිනිස්‌සු ඇඟිල්ල දික්‌කරන එක වළක්‌වන්න බැහැ.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

Saturday, September 17, 2011

දෙවැන්න ආදිවාසීන් ගැනයි

සමාජ දේශපාලන ආර්ථික පසුබිම තුළ ගොඩ නැඟෙන මානුෂීය හැඟීම් මතුවන සේ අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයෙන් ම සම්මානයට පාත්‍ර වූ නිලන්ත හපන්වීර මේ දිනවල තම දෙවැනි චිත්‍රපටයේ කටයුතු සඳහා සූදානම් වෙනවා.
ශ්‍රී ලංකාවේ ආදිවාසී ළමා ලෝකය පිළිබඳ ගවේෂණාත්මක, පර්යේෂණාත්මක චිත්‍රපටයක් ලෙසින් සිංහල සිනමාවට ගෙන එන්නට සූදානම් වන ‘බගිනි’ පිළිබඳව ඔහු පසුගියදා අපට කිව්වා.
කලක පටන් ම ආදිවාසීන් පිළිබඳව චිත්‍රපටයක් කරන්න ඕනෑකම මට තිබුණා.
මා ඔවුන් පිළිබඳව කරුණු සෙව්වා. රතුගල නිල්ගල කැලය ආශි‍්‍රතව දිවිගෙවන සුදාවන්නිල ඇත්තෝ ප්‍රමුඛ ආදිවාසීන් හමුවන්න පසුගිය දිනක මම ගියා. මා ඔවුන් සමඟ මේ ගැන කතා බහ කළා.
නිලන්ත හපන්වීර
ඒ අනුව තමයි රතුගල නිල්ගල කැලය ආශ්‍රිතව දිවිගෙවන ආදිවාසීන්වත් ඇතුළත් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙලඹුණේ. ඒවගේම මෙහි රංගනය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සම්බන්ධ වෙනවා.

“මේ මහ පොළව අපට අයිති නැහැ. නමුත් මහ පොළවට අපි අයිතියි” යන මේ අදහස අපිට වඩාත් හොඳින් දැනෙන්නේ එම ප්‍රදේශවලට ගිය විට. ඒ අදහසත් මුල් කරගෙන තමයි ඔක්තෝම්බර් මුල් සතියේ දී ‘බගිනි’ වැඩ ආරම්භ කරන්නේ.
40 දශකයේ තිබුණ දර්ශන තලයත් ප්‍රතිනිර්මාණය කරමින් බිබිල රතුගල නිල්ගල දාහිගල ආදි ප්‍රදේශවල ‘බගිනි’ රූගත කිරීමට නියමිත ය.

Copy Rights - silumina

අවුරුදු දෙකකින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ

අවුරුදු දෙකකින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ


ජයලත් මනෝරත්න සමඟ කතාබහක්

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න කලාකරුවා ප්‍රසිද්ධ වේදිකාවට පිවිස පන්සාලිස් වසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කලා දිවිය ඇගයීමේ උළෙලක් හා ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ බූරුවා මහත්තයා’ රංග ගත කිරීම මේ මස 24 දා (සෙනසුරාදා) සවස 3.30 ට සහ 6.30 ට මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ ගැමි දරුවෝ සංවිධානය අනුග්‍රහයෙන් පැවැත්වේ.
මෙම උලෙළේ මුඛ්‍ය දේශනය පවත්වනුයේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසිනි. අනතුරුව මනෝ රත්නයන්ගේ සේවය ඇගයීමේ හේතු පාඨය ඉදිරිපත් කිරීම ප්‍රවීණ කලාකරු නිශ්ශංක දිද්දෙණිය විසින් සිදුකෙරේ. සවස 3.30 පාසල් දර්ශනය වෙනුවෙන් හැඳින්වීමේ දේශනය පවත්වනුයේ කලා විචාරක සුගත් වටගෙදර විසිනි. මනෝරත්න රංගාභිෂේක අභිනන්දන සමරු සංග්‍රහය ද එදින නිකුත් කරන අතර නාට්‍ය දර්ශනවලින් ලැබෙන ලාභය වරප්‍රසාද අවම දරුවන්ගේ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සඳහා බැර කෙරේ.

ඔහු වේදිකාව මත පෙරළිකාරයෙක්. ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්න ඇත්තේ වේදිකාව මත. කාලය කොච්චර ද කිව්වොත් පන්සාලිස් වසක්. ඒ කියන්නේ වසර 45 ක්. හිතාගන්නත් බැරි තරම්. එච්චර කාලයක් ඔහු නොසැලී මේ ගමන ආවා. අද ආපස්සට හැරෙත්දී අප්‍රමාණ සතුටක් ඇති. ඒත් ඒ සතුට ඔහුට වඩා දැනෙන්නේ අපට. ප්‍රේක්ෂකයෝ විදියට පුරා දශක පහකට ආසන්න කාලයක් ඔහු අපව පිනෙව්වා. ඒ නිකම්ම නිකං වේදිකාව මත පිණුම් ගහල නොවෙයි. ප්‍රේක්ෂකයන් ඥානනය කිරීමේ මහඟු කර්තව්‍යයට උරදීලා. ඒ හින්දයි අදත් අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ.
ඔහු ජයලත් මනෝරත්න. දැන් කවුරුත් ආදරේට කියන්නේ මනෝ කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් වූ සොඳුරු ගම් පියසේ ජන්ම ලාබය ලැබූවෙක්. දෙහිපේ ප්‍රාථමික පාඨශාලාවෙන් පොරමඩුල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියට එන මනෝරත්න ප්‍රේක්ෂකයින්ට තිළිණ වෙන්නේ එතැන්දි. ඒ අතීතය මතක් කරන්න කරන්න සුන්දරයි. මනෝ කියනවා.
“මම කලා ජීවිතේ පටන් ගන්නේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලමයි. නමුත් 1966 දී පේරාදෙණිය සරසවියට සම්බන්ධ වුණා ම මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණ ගැසෙනවා. එතනදී තමයි මම ඔහුගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඒක තමයි මගේ පළවැනි නාට්‍යය හැටියට ගැනෙන්නේ. මුලින් ම සරච්චන්ද්‍රයන් සෙවණට වැටුණු නිසා අපට කිසියම් ස්ථාවර පදනමක් ලැබුණා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන්නේ එවකට විශ්ව විද්‍යාලයේ අපේ සිංහල ගුරුවරයා. එතුමා පාඩමත් සමඟම භාෂාව පිළිබඳ සාහිත්‍යය පිළිබඳ රසවිඳීම පිළිබඳවත් එතුමාගේ ගුරු හරුකම් අපිට ලබා දුන්නා. මේ පාඩමට අමතරව තමයි අපි නාට්‍යවලට සම්බන්ධ වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඕන කළේ දේශීය නාට්‍ය කලාවේ අලුත් විදියක් ආරම්භ කර එය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ අත්හදා බැලීම් කරන්නයි. අපිත් ඒවට සහභාගි වුණේ ඒ ඉගෙන ගැනීමත් එක්කමයි. ඉන් පස්සෙ එතුමා කරපු ‘වෙස්සන්තර’, ‘මහාසාර’ ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කදා වළලු’ වැනි නාට්‍යවල මම ප්‍රධාන චරිත රඟපෑවා. මේ වනවිට මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණ කෙනෙක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර මනෝරත්න නම් වූ නාට්‍ය කරුවාට බෙහෙවින් බලපානවා. මේ ඇසුර ලබන්නට තවත් භාග්‍යවත් වූ බව අදත් ඔහු සිහිපත් කරන්නේ කිසියම් වූ ගෞරවය මුසු භක්තියෙන්.
සමහරවිට සරච්චන්ද්‍ර සර් හමු නොවුණා නම් නාට්‍ය කරන්න පුළුවන් වුණාට අපට ලැබුණු පදනම මේ තරම් ශක්තිමත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ වනවිට එතුමා දීර්ඝ කාලීන පර්යේෂණ කරලා. මනමේ නාට්‍යය නිෂ්පාදනය කරලා නව යුගයක ඇරැඹුම සටහන් කරලා තිබුණේ. එතුමා යටතේ ඉන්නවා කියන්නේ, රංග කලාව පිළිබඳ අපට අදහසක් ලැබුණා ඔහුගේ විශිෂ්ට වූ භාෂා ඥානය, කාව්‍යාත්මක ගුණය, සාහිත්‍යය පිළිබඳ තිබුණ පරිචය, දෙස් විදෙස් නාට්‍යවල තිබුණ ගවේෂණශීලී බව අපිට දැනගන්න ලැබුණා. ඔහු ළඟ ඉන්නවා කියන්නේ විශ්වවිද්‍යාලයක ඉන්නවා වගේ තමයි. ඒක අපි නාට්‍ය ලියනකොට, නාට්‍ය නිෂ්පාදනය කරන කොට අපිට ශක්තිමත් අත්තිකාරමක් වුණා.
සරච්චන්ද්‍රයන්ගෙන් පසුව මෙරට නාට්‍ය ඉතිහාසයේ අති දක්ෂ නාට්‍යවේදීන් රැසක් සමඟ කටයුතු කරන්නට මනෝරත්නට අවස්ථාව හිමි වෙනවා. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි මෙරට පුරෝගාමී නාට්‍යකරුවන්ගේ මුණ ගැසීම සහ ඔවුන්ගේ නාට්‍යයන්හි රංගනයට එක්වීමට ලැබීම එක් අතකින් ඔහු ලැබූ භාග්‍යයක්.
අපේ රටේ පුරෝගාමී නාට්‍ය කරුවන් පස්දෙනා යටතේ ම මම රඟපෑවා. මේ අය නාට්‍ය සඳහා උපයෝගී කර ගත්තේ විවිධ ශෛලීන්. සුගතපාල ද සිල්වා සම්පූර්ණ වෙනස් ශෛලියක් භාවිතා කරපු කෙනෙක්. හෙන්රි ජයසේන ඊට වෙනස්. දයානන්ද ගුණවර්ධන ජන නාට්‍ය ඇසුරු කරපු කෙනෙක්. මේ විදියට විවිධ නාට්‍ය කරුවන් යටතේ විවිධ ශෛලීන් හදාරද්දී අපේ දැනුම සහ අත්දැකීම් පුළුල් වෙනවා. පසුකාලීනව මම නාට්‍යය ලියන්නට පෙලඹෙනකොට භාෂාව වගේ දෙයකට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ ඇසුරත් ජන රංගනය කියන කොට දයානන්ද ගුණවර්ධනයන්ගේ ඇසුරත් මට බලපෑවා.
අනෙක් අතට හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති වැනි නාට්‍යකරුවන් නාට්‍යකරණය පිළිබඳ අතිශය පුළුල් දැනුමක් ඇති අය. ඒ අයත් දෙස් විදෙස් දෙකෙහිම නාට්‍ය පිළිබඳ හදාරපු අය. මේ අයගේ ආලෝකයත් අපට විශාල වශයෙන් බලපෑවා. කෙනෙකුටමුල වැරදුණොත් එතැනින් එහා ඉදිරි ගමන ගැන ශක්තිවන්ත බවක් නෑනේ. නමුත් අපට මුල් අඩිතාලම ඉතාම ශක්තිමත්ව ලැබුණා. අද වගේ දවසක ආපස්සට හැරිලා බලද්දී මේ ශක්තිමත් භාවය තමයි අපිට ඉදිරියට අරන් ආවේ. තවමත් අපි මෙතැන රැඳිලා ඉන්නේ ඒ හින්දයි”.
මනෝරත්න කියන්නේ නළුවෙක් විතරක් ම නොවෙයි. ඔහු ඉතාම දක්ෂ නාට්‍ය රචකයෙක්. නාට්‍ය නිෂ්පාදකවරයෙක්. කෙටිකතා රචකයෙක්. කවියෙක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මේ සියලු භූමිකාවන්හි එකිනෙක පරයා නොයන කුසලතාවයක් ඔහු ප්‍රකට කරනවා. අස්සගුඩුං, සිංහබාහු, මඟුල් ප්‍රස්ථාව, ප්‍රේමතෝ ජායතී සෝකෝ, මකරා, චූලෝදර මහෝදර, දුන්න දුනු ගමුවේ, අසාත මන්තරේ, හිරු නැති ලොව, රතු හැට්ටකාරී, ගජමන් පුවත, නරි බෑණා. ජසයා සහ ලෙංචිනා, අංගාරා ගඟ ගලා බසී.
මා වැනි බිලින්දා, තවත් උදෑසනක්. තාරාවෝ ඉඟිලෙති. සිහින සාප්පුව, තල මල පිපිලා, සොක්‍රටීස්, නාග ගුරුලා, ද්විත්ව, මේඝ, ගුරු තරුව, මේ ආදී වශයෙන් ඔහුගේ නාට්‍ය ලැයිස්තුවට තවත් බොහෝ නම් එකතු විය යුතුය. නාට්‍ය නිෂ්පාදනය පැත්තෙන් ගතහොත් මේ දිනවල ඔහු රංග ගත කරනුයේ සිය 11 වැනි නාට්‍ය නිර්මාණය වූ ‘බූරුවා මහත්තයා’, ‘තලමල පිපිලා’, ‘අන්දරේලා’ ‘ගුරු තරුව‘, ‘සඳගිර’, ‘කනේරු මල්’ ආදිය ද මේ ලැයිස්තුවට ඉහළින් ම ඇතුළත් විය යුතු ය. ‘අන්දරේලා’ 1996 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙසත් සම්මාන දිනා ගත්තා අපට මතකය.
“ලංකාව වැනි රටක නළුවකුට පර්යේෂණ කරන්න, අත්හදා බැලීම් කරන්න තිබෙන එකම තැන වේදිකාව කියලයි මම හිතන්නේ. අනිත් මාධ්‍යවල එවැනි අවස්ථාවක් අපට ලබා ගන්න බෑ. නළුවෙක් විදියට වේදිකාව තුළ දී දවසින් දවස, මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද අපි අලුත් වෙනවා. වේදිකාවෙන් ඒ ලැබුණු පන්නරය තමයි පසු කලෙක ටෙලිනාට්‍ය සහ සිනමාව වෙනුවෙනුත් මා යොදා ගත්තේ. මා පෞද්ගලිකව විශ්වාස කරන පරිදි රූපවාහිනි නාට්‍යයේ පටන් ගත්තට පස්සේ මේ මාධ්‍යය තුළින් කලාත්මක භාවිතාවක් කරන්න පුළුවන් ද කියල තමයි මුලින් පර්යේෂණ කළේ.
ධම්ම ජාගොඩ වැන්නන් එසේ කළ හැකියි කියා සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තා. අපිට නළුවෝ විදියට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. නමුත් මුල් කාලේ එහෙම තිබුණාට දැන් අපට පෙනී යන කාරණාව තමයි ඒ අදහස රූපවාහිනී මාධ්‍යයෙන් ගිලිහෙනවා. දැන් රූපවාහිනී මාධ්‍යයට තිබෙන්නේ ව්‍යාපාරික අරමුණු, මූල්‍යමය අරමුණු, ජනප්‍රියත්වය, ප්‍රචාරණය වැනි කාරණා තමයි. ඒ නිසා මගේ නම් අදහස එතනින් වැඩි ඵල ප්‍රයෝජනයක් ගන්න බෑ කියලයි. වර්තමානය වන විට මම රූපවාහිනියෙන් වැඩිය දකින්න නැත්තේ ඒ නිසා.
මම හරියටම අවුරුදු දෙකකින් ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මම අන්තිමට රඟපෑවේ ‘අරුංගල්’ ටෙලි නාට්‍යයේ. ඒකට මට හොඳම නළුවා සම්මානයත් ලැබුණා.
ඊට පස්සේ නොයෙක් දේවල් වලට කතා කරනවා. අද වන විට හඳුන්වා දී තිබෙනවා දීර්ඝ ටෙලිනාට්‍ය. මේවා හරි ඉක්මනින් සහ අය වැය එක්ක වැඩ කෙරෙන්නේ. නිර්මාණය නොවෙයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපට හිතන්න බෑ තෘප්තිමත් විදියකට මේ කටයුතුවල නියැළෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඊට වඩා හොඳයි පොතක් පතක් කියවගෙන ඉන්න එක.”
මනෝරත්න ගැන කියත්දී සිනමාව හා සමඟ ඔහුගේ බැඳුණු සබැඳියාව ද අපට අමතක කරන්න නෑ. ඔහුගේ සිනමා ජීවිතය ඇරඹෙන්නේ ‘සිරි බෝ අයියා’ චිත්‍රපටයෙන්. පසු කලෙක ඔහු හොඳම සහාය නළුවා වැනි සම්මාන ද සිනමාව වෙනුවෙන් දිනාගත්තා. එතෙක් එදා මෙදා තුර ඔහුගේ රංගන චාරිකාව තුළ සිනමාව වෙනුවෙන් ඔහුගෙන් ලබා ගත් දායකත්වය ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය අප තුළ පැන නඟිනවා.
“අවුරුදු ගණන බැලුවොත් 70 දශකයේ තමයි මම මුලින් ම සිනමා රංගනයට ආවේ. මේ කාලය ඇතුළත ඉතා ම සුළු ප්‍රමාණයක් තමයි සිනමා රංගනයට අවස්ථාව ලැබුණේ. එයිනුත් උප ප්‍රධාන චරිත තමයි නිතර ලැබුණේ. සහාය නළුවා වැනි සම්මාන තමයි අපිට හිමි වුණේ. මෑත භාගයේ මම චිත්‍රපට 2 ක ප්‍රධාන චරිත දෙකක් රඟපෑවා. සරත් ධර්මසිරි ගේ ‘සූවිසි විවරණ’ සහ වී සිවදාසන්ගේ ‘දරුවනේ’ ළමා චිත්‍රපටයේත් රඟපෑවා. ඒකට හේතුව මොකක්ද කියලා අපට හිතාගන්න අමාරුයි.
මනෝරත්නයන්ගේ නවතම නාට්‍ය නිෂ්පාදනය ‘බූරුවා මහත්තයා’ මේ දිනවල රට වටා වේදිකාගත වෙමින් පවතිනවා. ඔහු මීට ප්‍රථම කළ සියලුම නිර්මාණ මේ ආකාරයෙන් ම ජනප්‍රිය වූවා. ඒවා ප්‍රේක්ෂකාගාරය ප්‍රමෝදයට පත් කිරීමට පත් කිරීමට පමණක් නිර්මාණය වූ ඒක නොවේ.
මේ සෑම නාට්‍යයක් ඇතුළතට පුළුල් සමාජ දේශපාලන දැක්මක් ඔහු ඉදිරිපත් කළා. ‘බූරුවා මහත්තයා’ ඔස්සේත් ඔහු කරන්නේ එවැනි ම දෙයක්.
“මේ නාට්‍යය මම කළේ ඉන්දියානු නවකතාවක් ඇසුරින්. මගේ මතකයේ හැටියට නම් මීට ප්‍රථම නවකතාවකින් නාට්‍යයක් කරපු එකක් ගැන මතකයට එන්නේ නෑ. සමහරවිට කෙරිලා ඇති. ‘Mr donky’s outobiography’ කියන පොත ක්‍රිෂන් චන්ද්‍රන් කියන උර්දු ලේඛකයාගේ නවකතාවක්. මේක ගුණතිලක මැටියගනේ විසින් ‘සද්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වයංලිඛිත චරිතාපදානය’ කියලා සිංහලට පරිවර්තනය කළා.
මේ පොත කියවද්දී මට හිතුණා. ඒකෙන් හොඳ නාට්‍ය පිටපතක් ලියන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි බූරුවා මහත්තයා නාට්‍ය පිටපත මම ලිව්වේ. යටි පෙළ අරුතින් ගැඹුරු දේශපාලනමය පසුබිමක් කතා කරනවා. මේක වර්තමාන ලංකාවටත් හොඳින් ගැලපෙනවා.
කලා දිවියේ හතළිස් පස් වසරක් සමරන මනෝරත්නයන් අදටත් සක්‍රියව වේදිකාව වෙනුවෙන් සිය බලය, ශ්‍රමය, ධනය කැප කරනවා. වෙනත් කිසිදු මාධ්‍යයකින් මිදිය නොහැකි උත්තම වින්දනයත් ඔහු එයින් ලබනවා ඇති. මිනිසෙක් ඒ තරමට ම වේදිකාවට ආදරය කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
ජීවිතේ ආපස්සට හිතත්දී ඔහුගේ කලා දිවිය ගැන ඔහුට සතුටු වන්නට කාරණා බොහෝ ය. සොම්නසින් සිහිපත් කරන්නට කාරණා බොහෝ ය. මේ කලා ජීවිතය මෙසේ නොකරන්නට ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සහකාරිය ජයන්ති සේම පුතු භානුකත්, දියණියත් ලබා දුන් නොවෙනස් සෙනෙහස හා ශක්තිය, ධෛර්යය අප්‍රමාණය. අද ඒ සියල්ල වෙනුවෙන් ඔහු අප්‍රමාණ භක්තියත් ඔවුන් වෙනුවෙන් පුද කරන්නේ. මේ සියල්ල සිත් තුටින් කර ගැනීමට නිරවුල් මනසක් නිර්මාණය කර ගැනීමට ඔවුන් සැමදා සහාය වූ හෙයින්.
තවත් බොහෝ කලක් වේදිකාවට ආදරය කරමින් ප්‍රේක්ෂකයන් පිනවන, ප්‍රේක්ෂකයින් ඥානනය කරන නිර්මාණ බිහි කරන්නට ඔහුට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමු.


රසිකයන්ගේ ආදරයට මම ගරු කරනවා

  පබෝධා සංදීපනී


ඇය පබෝධා සංදීපනී’. පබෝධා කලා පවුලකට සම්බන්ධ දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන මාධ්‍ය තුනෙහිම මේ වනවිටත් තම රංගන හැකියාව මනාව පෙන්නුම් කර හමාරය. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ චංචලා ඇයය. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘රංගිර’ ටෙලිනාට්‍යයේ කාංචනා ඇයය. ‘සුසීමා’ චිත්‍රපටයේ සුසීමා ලෙස රඟන්නේ ද ඇයය.

පබෝධා මොනවද මේ දවස්වල කරන්නෙ?
මේ දවස්වල ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මම රඟපෑ ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයත් ‘රංගිර’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා.
‘රංගිර’ ටෙලිනාට්‍යයේ කාංචනා චරිතය මොනවගේ එකක් ද?
‘රංගිර’ ටෙලිනාට්‍යයට පසුබිම් වෙලා තියෙන්නෙ 70 දශකයේ මුල් භාගය. ඒ යුගයේ තිබුණු රදල පවුලක් සහ ගමේ දුප්පත් පවුලක් අතර ගෙතුණු කතාවක් තමයි මේ ටෙලිනාට්‍යයෙන් දිග හැරෙන්නෙ. මම නිරූපණය කරන කාංචනා කියන චරිතය ඉතා දිරිමත් ශක්තිමත් චරිතයක්. කාංචනා තමාට එන ගැටලුවලට ඉතාම සාර්ථකව මුහුණ දෙනවා. මෙහි කාංචනා ආදර කතාවෙන් අමුතු ලස්සනක් තියෙනවා. කාංචනා චරිතයට හොඳ සාධාරණයක් කරන්න ගැමි යුවතියකගෙ ගති ලක්ෂණ ටිකක් ගැඹුරින් සොයා යන්න මට සිදුවුණා. ඒ සෙවීමට මම කැමැතියි. මම හිතන්නෙ මගේ උත්සාහය සාර්ථක වුණා කියල.
කාංචනා චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තවම ‘රංගිර’ ටෙලිනාට්‍යයේ කොටස් කීපයයි විකාශය වුණේ. මේ වනවිටත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මේ ටෙලිනාට්‍යයේ මගේ මවගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ලියෝනි කොතලාවල මහත්මිය. ඇය මේ ළඟදී දවසක මට රෑක ටෙලිෆෝන් කරල කිව්ව “පුතේ මේ ටෙලිනාට්‍යයේ ඔයා හොඳට චරිතය කරල තියෙනව“ කියල. ඇයගේ ඒ අගය කිරීම මට හරිම ආඩම්බරයක්; සතුටක්.
මේ දිනවල ඔබ වැඩියෙන් ම ජනප්‍රිය ‘ආදරණී චංචලා’ ටෙලිනාට්‍යයේ චංචලා නිසා. චංචලා පබෝධා වගේ ද?
නැහැ. එහෙම නැහැ. ඒත් මට ආවේණික ගති ලක්ෂණ ටිකක් විතර චංචලා චරිතයේ තියෙනව කියල මට හිතෙනව.
‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ චරිතය ඔබට කිසියම් අභියෝගයක් වුණා ද?
‘සුසීමා’ 80 දශකයේ ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ චිත්‍රකතාවක්. ටෙලි නාට්‍යයේ කොටස් විසි පහකින් තිහකින් විතර ප්‍රකාශ කළ කතාව චිත්‍රපටයේ පැය 2 කින් ප්‍රකාශ කිරීම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට ‘සුසීමා’ අධ්‍යක්ෂ රොහාන් වැලිවිට සාර්ථකව මුහුණ දුන්නා.
හැබැයි අපේ නළු නිළි පිරිස චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණේ ටෙලිනාට්‍ය ඔළුවේ තියාගෙන නෙමෙයි. තමන්ට දැනෙන විදියට තමයි ඒ හැම කෙනෙක් ම රඟපෑවේ. මමත් ‘සුසීමා’ චරිතය නිරූපණය කෙළේ පිටපතින් මට දැනුණු ආකාරයට. මම ‘සුසීමා’ නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන එකම දේ තමයි ටෙලිනාට්‍ය ඔළුවේ තියාගෙන චිත්‍රපටය බලන්න එපා කියන එක.
වේදිකාව ඔබට හුරු පුරුදු තැනක් නේද?
වේදිකාවට මම ගොඩක් ආසයි. ඒ වගේ ම වේදිකාවට මගෙ හිතේ තියෙන්නෙ විශාල ගෞරවයක්. පුංචිම කාලෙ ඉඳල මම වේදිකාව ඇසුරු කළා. අම්මල පුංචිල වේදිකා නාට්‍යවල රඟපාන කාලෙ මම වේදිකාවෙ දුව පැන පැන හිටිය. පසුකාලෙක මම වේදිකා නාට්‍ය කීපයකටම සම්බන්ධ වුණා. අන්තිමට සම්බන්ධ වුණේ මනෝරත්න මහතාගේ ‘මකරා’ වේදිකා නාට්‍යයට. ඉදිරියේදීත් ආරාධනයක් ලැබුණොත් හොඳ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කැමැතියි.
ජනප්‍රියත්වය කරදරයක් කියල ඔබට හිතෙනවද?
මම කලා කටයුතුවලට එකතු වුණේ පුංචි කාලෙදීමයි. මගෙ අම්ම පුංචිල මෙරට කලාවට සම්බන්ධයි. ඒ නිසා ජනප්‍රියත්වය පුංචි කාලෙ ඉඳලම මට අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේ ම ජනප්‍රියත්වය මගෙ ජීවිතයට කරදරයක් කරගෙන නෑ. ඒ වගේ ම මගේ නිර්මාණවලට ආදරය කරන ප්‍රේක්ෂකයින් නිසයි මම අද මෙතැන රැඳිල ඉන්නෙ. ඒ නිසා ප්‍රේක්ෂකයින්ගෙ ආදරයට මම හැමවිටම ගරු කරනවා. ඒ නිසා ජනප්‍රියත්වය කරදරයක් කියල මම කොයිම වෙලාවකවත් හිතන්නෙ නෑ.
ඔබේ නිර්මාණ ජීවිතයට අම්මාගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?
මගෙ අම්ම (ගීතා කාන්ති ජයකොඩි) තමයි මට තියෙන විශාලම ශක්තිය; මගෙ සෙවණැල්ල. මට ලැබෙන ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක පිටපතක් මුලින් ම කියවන්නෙ ඇය. ඊට පසුව තමයි මම ඒ නිර්මාණය ගැන හිතන්නෙ.
රූපගත කිරීමකට සහභාගි වනවිට ඔබට දැනෙන හැඟීම මොනවගේ ද?
චිත්‍රපට, ටෙලිනාට්‍ය ගණනාවකටම මම මේ වනවිට රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒත් අදත් රූපගත කිරීමකට කැමරාව ඉදිරියට ගියාම පළමු දවසෙ ඇති වුණා වගේ පුංචි චකිතයක් දැනෙනවා. ඒ සීන් එක හොඳින් කරන්න හැකි වෙයිද කියල හිතෙනව.
බිමල් ජයකොඩි සහ ඔබ තාත්තයි දුවයි හැටියටත් පෙම්වතුන් හැටියටත් රඟපෑවා නේද?
ඔව්. බිමල් අයියා මගෙ අම්මගෙ අයියගෙ පුතා; මස්සිනා. ‘පබළු’ ටෙලිනාට්‍යයේ බිමල් අයිය මගෙ තාත්තා. ‘සැණකෙළියයි මායා’ ටෙලිනාට්‍යයේ ඔහු මගේ පෙම්වතා. මම හිතන්නෙ මේක රංගන ශිල්පිනියකට ලැබෙන විරල අවස්ථාවක් කියලයි. ‘සැණකෙළියයි මායා’ රූපගත කරනවිට මට පුංචි බයක් දැනුණා අධ්‍යක්ෂවරයා ටෙලිනාට්‍යයෙන් පෙන්නුම් කරන්න උත්සාහ කරන ‘ආදරය’ මගෙ රංගනයෙන් දෙන්න පුළුවන් වේවිද කියල. නමුත් මම හිතනව ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දුන්නා කියල.
ඔබට ආදරවන්තයෙක් ඉන්නවද? ඔබේ විවාහය ළඟදී සිදුවේවිද?
ආදරය, ප්‍රේමය හැමෝගෙම ජීවිත වලට අවශ්‍යයි. ඒ වගේ ම විවාහයත් අවශ්‍ය කාලයේදී සිදුවිය යුතුයි. ඉදිරි කාලයේ මගේ විවාහයත් සිදුවේවි.
මොනවගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?
මේ දක්වා ඔබ කලාවේ සිටි කාලය තුළ මට හොඳ නිර්මාණ ලැබුණා. ඉදිරියේදීත් රංගනය පැත්තෙන් යමක් කළ හැකි හොඳ නිර්මාණවලට දායක වීමයි ලොකුම බලාපොරොත්තුව.

‘කිව්වද නහී’දැන් තිරයේ

චිත්‍රපට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව ගේ ‘කිව්වද නහී - නොකිව්වද නහී’ චිත්‍රපටය මේ දිනවල සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වේ.
රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත්, මේනකා පීරිස්, ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, ආනන්ද වික්‍රමගේ, ටෙඩී විද්‍යාලංකාර, චංචලා වර්ණසූරිය, නන්දන හෙට්ටිආරච්චි, ටිරෝන් මයිකල් ඇතුළු නළු නිළියන් රැසක් රඟන ‘කිව්වද නහී නොකිව්වද නහ’ී ජනිත ෆිල්ම්ස් වෙනුවෙන් ජනිත මාරසිංහ නිෂ්පාදනය කරයි.

හරූන්ගේ ජනප්‍රියම ගීත 20ක් තැටි නිෂ්පාදකයෙක් දෙදහට කොල්ලකෑවා

හරූන්ගේ ආදරණීය බිරිය කියයි

සුළං කුරුල්ලෝ -
හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ -
දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ...!

(පද – ධර්මසිරි ගමගේ)

ඒ කෝකිල කූජනයෙන් මන්මත් නොවුණු ගීත ලෝලියකු වේද? එහෙත් තවමත් ඒ ගී රාවයෙන් රසය ලබන අප වෙනුවෙන් නැවුම් ගී ගයන්නට දැන් ඔහුට වරම් නැත. ඔහුගේ මුව ගොළු වී සේ වුවත් ඔහු අමතක කර හිඳින්නට අපට නොහැකිම ය.

ඔහු හරූන් කුමාර් ලන්ත්‍රා ය.

පසුගිය දෙවැනි දා හරූන්ගේ හැත්තෑදෙවැනි උපන් දිනය ය. උදෑසන සිටම ඔහුට සුබ ප්‍රාර්ථනා ගලා එන්නට විය. හරූන්ගේ බිරිය (අතාරිත්) දුරකතන සම්බන්ධීකරණ ශිල්පිනියකගේ කාර්යය ඉටුකරමින් ඔහුට සහාය වෙන්නට වුවාය. හරූන් ද තමාට සුබපැතූ බොහෝ දෙනකු හට සිය ඇසෙන නොඇසෙන සිහින් ස්වරයෙන් ස්තුති කරන්න මැලි වූවේ නැත. ‘රසඳුන’ වෙනුවෙන් අපි ද ඔහුට සුබ පැතුවෙමු. ඔහු අපට ද ‘ස්තුතියි’ කීවේය.

එහෙත් මේ සුමිහිරි ලෝකයේ ඔහුගේ ඒ දුක්බර සිහින් ස්වරය තව කවුරුන් හෝ ඇසුවේ නම් ඉන් කම්පනය වන්නේම ය. එය මහත් දුකකි. කෝකිලයකුගේ මධුර හඬ අසරණ වී අප සිත් කම්පනය කරවන සුලු විය. හරූන් කතා කරන්නට වෑයම් කළේය. එය ඔහුට වෙහෙසකර ක්‍රියාවකි. එහෙයින් ඔහු වෙනුවෙන් කතාබහ කරන්නට අපි ඔහුගේ ආදරණීය බිරිය අතාරිත් ලන්ත්‍රාට ඉඩ දෙමු.

”වෙනදා වගේම අදත් මාස්ටර්ට සුබ පැතුම් නම් අඩුවක් වුණේ නැහැ. (ඈ ඔහුව හඳුන්වන්නේ ‘මාස්ටර්’ නමින්ය.) ඒත් කෑම බීම, බේත් හේත්, ලයිට්, ටැලිපෝන්වලට වියදම් කරන්න මුදල් නැතුව අපි හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ටවර් හෝල් පදනමෙන් ලැබෙන රුපියල් දෙදාහයි, සමෘද්ධියෙන් ලැබෙන රුපියල් තුන්සීයයි හැරුණාම මාස්ටර්ගේ යාළුවන්ගෙන් ලැබෙන උදව්වක් විතරමයි අපිට ජීවත්වෙන්න තියෙන්නේ. ඒ වුණාට දැන් එහෙම යාළුවෙක්වත් අපිව බලලා යන්න හරි එන්නේ කලාතුරකින්. මගේත් හරියට ඇස් පේන්නේ නැති වුණත් මට පුළුවන් තරමට මාස්ටර්ට මොනවා හරි කන්න බොන්න පිළියෙල කරලා දෙනවා මං.”

ඇගේ වදන් අසා සිටිද්දී හරූන් “හැංගි හොරා” චිත්‍රපටයේ ගැයූ ගීතයක රාවය අපේ මතකයේ රැව් නැඟෙන්නේය.

හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මී විතේ – මදිරා බොනු
මගේ සිත උදුරා ගනු...!

(පද - ශ්‍රී නිහාල් ඒ.ජයසිංහ)

”ආනන්ද මේ රෑ හරී හැඩයි නේ...” (සුදු දුව), “මගෙ නාමලී බැඳි ආදරේ” (ගොපලු හඬ), “හඳපානේ මල් පිපුණා” (හිතට හිත) වැනි හරූන් ගැයූ සුමියුරු ගී අපේ මතකයෙන් කිසිදාක බැහැර නොවෙනු ඇත. එහෙත් අද මේ වනවිට ඒ හඬ අසරණය. “සොබාදම් දිනිතිය ඔහුට මෙතරම් අකාරුණික වූවේ ඇයි?” කියා අපට නොහැඟේ. අපි ඒ ගැන හරූන්ගේ සෙවණැල්ල සේ ඔහු සමඟ රැඳී සිටින ‘අතාරිත්’ ගෙන්ම විමසමු.

වෛද්‍ය ප්‍රතිකාරයකින් හරූන්ගේ මේ දුබලතාව සුවපත් කළ නොහැකිද?

”පුළුවන්. ඒත් කවුද ඒකට වියදම් කරන්නේ? ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් කිව්වා ශල්‍යකර්මයකින් මේ තත්ත්වය සුව කළ හැකි බව. ඒ වුණත් දැන් මමත් පෞද්ගලිකව අකැමැතියි මාස්ටර්ව ශල්‍යකර්මවලට ලක් කරනවාට. ඒ නිසා මාස්ටර් කැමැතිත් නැහැ.”

උද්ගත වී ඇති තත්ත්වය පැහැදිලිය. වියපත්ව සිටින හරූන් සැත්කමකට ලක් කෙරෙනවාට ඔහුගේ බිරිය අතාරිත් අකැමැති වෙන්නේ සාධාරණ බියකින් ඇගේ සිත සැළෙන නිසා ය. ‘මොහිදින් බෙග් මාස්ටර් අපෙන් වියෝ වූවෙත් ඇසක සැත්කමකට ලක්වීමට ගොස් නේද?’ යන වග ඇගේ සිතෙහි ප්‍රශ්නයක්ව පැන නඟිනවා විය හැකිය. දුක සැප බෙදාගෙන හරූන් මේ තත්ත්වයෙන් වුවද කාලයක් තමා සමඟ ජීවත් වෙනවාට ඈ කැමැති ඇතුවා විය යුතුය.

ගීතලෝලී අපට හරූන්ව අගේය. එහෙත් අපට ඔහු අයිති නැත. ඔහු අයිති ඇයටය. එමෙන්ම ඒ ඔවුන් දෙදෙනාගේ ආදරය ය. හරූන් ගායනා කළ අයුරින්ම සිතමු නම් ඒ මෙලෙසින් ය.

හඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුණා
අප දෙන්නා ඒ වගේ
බැඳුණි ආදරේ...!

(පද- ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ඔවුන්ගේ ආදරය නිසා ඔවුන් එක්ව ජීවත් වුවද දිවි බරින් පීඩිතව ගෙවන හැම දවසක් ම ඔවුන්ට දුක්බරව ඇත. “හරූන්ට පුළුවන් කාලේ ඔහු ගත කළ සැහැල්ලු විනෝදකාමී ජීවිතය” ගැන පවසමින් හරූන් යුවළගේ දුක නොඅසා හිඳින්නට අපට නොහැකිය. තවද අපව රසවත් කළ කලාකරුවකු පිළිබඳ එලෙස සිතීම සාධාරණ නොවන්නේ ම ය. හරූන්ට මෙවැනි කල දවසක් උදාවුණේ ඔහුගේ ‘හිත හොඳ වැඩිකම’ නිසා බවද බොහෝ දෙනකු දන්නා කරුණකි.

”එක්තරා තැටි නිෂ්පාදකයෙක් මාස්ටර් ගේ ජනප්‍රියම ගීත විස්සක් රුපියල් දෙදාහක් දීලා අරගෙන ගියා. ඒ ගීතවලින් තෝරා ගත්ත ගීත යොදා ගෙන ඔහු සංයුක්ත තැටියක් නිෂ්පාදනය කරලා සල්ලි හම්බ කරනවා අදටත්”

කවුද ඔහු... මොකක්ද ඒ ගී තැටිය...?

අපි අසමු. එහෙත් හරූන් වෙනුවෙන් ඊට පිළිතුරු දීමට ඇය නොදනී. ඇය හරූන්ගෙන් විමසා පිළිතුරු දීමට ගත් වෑයම ද සාර්ථක නොවීය. මන්ද හරූන්ට සිය ගීත මංකොල්ල කෑ පුද්ගලයා කවුරුන්දැයි නිශ්චිතව පවසන්නට තරම් මතකය අවදි කර ගත නොහැකි නිසාය. මෙතරම්ම අසරණ වී හිඳින අහිංසක යුවළක් රවටා ඔවුන් කුසගින්නේ සිටිනා විට ඔවුන්ගේ දේපළ විකුණාගෙන කෑමට තරම් අධම වූ අප අතර හිඳින එම මංකොල්ලකරු නම් මිනිසෙකු විය නොහැකිය.

”ඉස්සර කාලේ වුණත් වැඩි දෙනෙක් කෙරුවේ මාස්ටර්ව රවට්ටන එක. ඒ අය අතර ප්‍රසිද්ධ කැසට් නිෂ්පාදකයින්, සංගීත සංදර්ශන සංවිධායකයින් අනන්තවත් ඉන්නවා. මාස්ටර්ගේ හිත හොඳකම හින්දා ඒ කාටවත් කිසි දෙයක් නොකියා මෙයාම විඳ දරාගෙන උන්නා. ඒත් අද අපි මෙච්චර අසරණ වෙලා ඉන්නා විටදිත් මෙහෙම කරන්නේ මොන හිත්වලින් ද මන්දා.”

අතාරිත් ලන්ත්‍රා ඔවුන්ගේ දුක කියාගෙන යන්නට වූවේ හැඬුම්බරවය. අපි ඇයට ඉඩ දෙමු. මන්ද ඇය පවසන්නේ එදා අපේ සිත්ගත් ගී ගැයූ කෝකිලයාගේ සිතේ සිරවී ඇති සිතුවිලි විය හැකි නිසාය.

”දැන් මාස්ටර්ට සින්දු කියන්න බැහැ. ඒ වුණාට පුළුවන් කාලේ මේ රටේ ජනතාව වෙනුවෙන් මෙයා සින්දු කිව්වේ. මාස්ටර් ජීවත් වුණේ මේ රටේ මෙයාගේ සින්දු අහන රසිකයෝ වෙනුවෙනුයි. ඒත් දැන් උන්නද මළාද බලන්න කවුරුවත් නැහැ.”

”මේ රටේ – කලාකරුවන් විශේෂයෙන් ගායක ගායිකාවන් එකමුතු වී සංවිධානය වූ ආයතන තිබෙනවාලු. ඒ කිසි සංගමයක මාස්ටර් සාමාජික වෙලා නැහැ. එහෙමවත් සාමාජික වෙලා උන්නා නම් ආධාර ලැබෙන්න තිබුණා. අපි ඒවා ගැන දන්නෙත් නැහැ.”

”මාස්ටර්ට සම්මාන රාශියක් ලැබිලා තියෙනවා. ප්‍රණාම, උපහාර, කලාභූෂණ සම්මාන ඒ අතර තිබෙනවා. ඒත් අපි දෙන්නා ජීවත් වෙන්න විඳින දුක දන්නේ කවුද? මට ඕනේ එදා මේ රටේ මිනිස්සුන්ව නළවපු මේ මනුස්සයාව දුකක් නොදී ජීවත් කරවන්න විතරයි.”

”සිනමා නළු සනත් ගුණතිලක මහතාට ස්තුතිවන්ත වෙන්න අපිට ඉන්න ගෙයක් ලැබුණා. ඔහු මාස්ටර්ගේ අසනීපයටත් වියදම් කළා. තවත් යාළුවෝ කිහිප දෙනකු උදව් කළා. ඒත් අනේ, අපි එක දවසක් දෙකක් ද ජීවත්වෙන්න ඕනේ. මියැදෙනකම් ජීවත් වෙන්න කන්න බොන්න, බේත් හේත් ගන්න, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ගෙවන්න තියෙනවා. මේ රටේ ඉන්න මාස්ටර්ගේ රසිකයින්ට ඇහෙන්න මේ දුක කියනවා ඇරෙන්න අපි වෙන කාට කියන්නද?”

”අනේ, අපේ මේ දුක පත්තරේට ලියලා අපිට ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන් අයට එන්න අපේ ගෙදර ලිපිනය පළ කරන්න. දුරකතන අංකයත් පළ කරන්න. කෙළින්ම අපේ අතටම කරන උපකාරයක් ලබා දෙන්න කියන්න. මැරුණාට පස්සේ මොනවා කෙරුවත් ඇති වැඩක් නැහැ. ජීවත් වෙන්නයි උදව් වෙන්න ඕනේ.”

අපි ඔවුන්ගේ දුක අසා සිටියෙමු. අකුරු කෙරුවෙමු. මීට වසර එකහමාරකට පමණ ඉහත ද මෙලෙසම ‘රසඳුන’ මඟින් අපි හරූන්ගේ දුක කියෙව්වෙමු. “මෙවන් අසරණ කලාකරුවන් ජීවත් කරවීම සඳහා ක්‍රමවත් අරමුදලක් පිහිටුවන්නේ නම් ඒ සඳහා මේ හොඳම කාලය යි” අපි එදා යෝජනා කළෙමු. අද එම යෝජනාව යළිදු සිහි ගන්වමින් හරූන්ගේ දුක ඇසූ ඔහුට උපකාර කිරීමට කැමැති ඔබ වෙනුවෙන් ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකය පහත සටහන් කරමු.

දුරකතන අංකය - 0114927000

ලිපිනය - F42, නිවාස සංකීර්ණය, පොල්හේනවත්ත, කැලණිය.

ජෝජ් රොබ්සන් ද සිල්වා

Copy Rights -Silumina

‘බූවල්ලා’

© Copy Rights - http://www.sarasaviya.lk
තවත් අලුත් ආරක වේදිකා නාට්‍යයක් රැගෙන සුනිල් ශ්‍රී මෙම මස 21 වැනිදා මරදාන ටවර් රඟහලේදී ප්‍රේක්ෂකයන් හමුවීමට සැරසෙයි.
‘බූවල්ලා’ නම් වූ එය සුනිල්ගේ දාහතර වැනි වේදිකා නාට්‍යයි.
මෙහි සංකල්පය වසර ගණනාවක් තිස්සේ මගේ සිතේ දෝලනය වෙවී තිබුණා. මේක අමුතුම අන්දමේ වේදිකා නාට්‍යයක්. දරුවො නිසා ගෙදරින් බැහැර වන මව්පියන් පිළිබඳවත්, මව්පියන් නිසා ගෙදරින් බැහැර වන මව්පියන් පිළිඳවත් තමයි මෙයින් කිය වෙන්නේ.
‘බූවල්ලාත්’ ඔබ මීට ප්‍රථම නිිර්මාණය කළ ඒවා වගේම ප්‍රහසනයක්ද?
හාස්‍ය ඔස්සේ යම්කිසි පණිවුඩයක් ජනතාව අතරට ගෙනි යන්න ලේසියි. මෙහි හාස්‍ය පැත්තට වැඩි නැඹුරුතාවයක් තිබුණට ඒකෙ එක අසභ්‍ය වචනයක්වත් නැහැ. මේක මම වගකීමෙන් කියන්නේ. අද සමහර වේදිකා නාට්‍යයවල විහිළු ලෙස භාවිත කරන්නේ කුණුහරුප. ඒත් මගේ නාට්‍යය පවුලේ සැමට එකට රස විඳිය හැකියි.
බොහෝ නාට්‍යකරුවන් වේදිකාව අතහැර යන යුගයක ඔබ වේදිකා නාට්‍යකරණයේම නියැලෙන්නේ ඇයි?
මට විශ්වාසයෙන් යමක් කරන්න පුළුවන් වේදිකාවේ. මං නිර්මාණය කළ වේදිකා නාට්‍යය සාර්ථක වුණා. තොත්ත බබාලා, බර අවි ඊට හොඳම උදාහරණ. ‘බර අවි’ දර්ශන වාර දෙසීයයකට අධික ගණනක් කළා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තිබුණා. තව දෙයක් තියනවා, මා වටා ඉන්නවා නාට්‍ය සංවිධායක පිරිසක්. ඔවුන් මගෙන් නිතරම මගේ නාට්‍යයක් ඉල්ලනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි මං වේදිකාවෙන් බැහැර වෙන්නේ කොහොමද?
බූවල්ලාට අමතරව මොනවද ඔබේ වෙනත් කලා කටයුතු?
මං චිත්‍රපටයක තිර පිටපතක් ලියමින් සිටිනවා. ඒක අතරමඟ නවතා දමලයි බූවල්ලා පටන් ගත්තේ. ඊට අමතරව විශේෂ කටයුත්තක් සිදු කෙරෙන්නේ නැහැ.
‘බූවල්ලා’ සඳහා යොදාගෙන ඇති සම්පත් දායකත්වය ගැන පැවසුවොත්?
ජයසේකර අපෝන්සු, සුසිලා කෝට්ටගේ, නන්දන හෙට්ටිආරච්චි, සුදර්ශි ගැලනිගම, ශාන්ත ප්‍රියදර්ශන, නිලන්ති ගුණවර්ධන, රොමේෂ් සංජේ, නිහාල් විතානගේ, ලලින්ද්‍රි, දිසානායක, සූරිය බණ්ඩාර, ධනුක සිල්වා, නිමල් රෝහිත, ගාමිණී කොස්තා සමඟ මම මෙහි චරිත නිරූපණයේ යෙදෙනවා.
සුමුදු සූරියකුමාර විදුලි ආලෝකයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, තිස්ස වීරවර්ධන පසුතල නිර්මාණයෙන් ද, ලකී දේවා සංගීතයෙන් ද, කොල්වින් රාජපක්ෂ නිෂ්පාදනයෙන් ද මෙයට එකතු වෙනවා.

ලේ මිසරාබ්ලේ දූලි පින්තාරු වෙයි

© Copy Rights - http://www.sarasaviya.lk
ජාතික රූපවාහිනියේ 18 වැනිදා
වික්ටර් හියුගෝ ලියූ ‘ලේ මිසරාබ්ලේ’ ලෝක පූජිත නවකතාවකි. මේ ඇසුරින් තැනුන චිත්‍රපට, ටෙලි නාට්‍ය සංඛ්‍යාව නිමක් නැහැ. දුප්පතාගේ දුක වගේම සිරකරුවා යන නිර්මාණ කළේ ලේ මිසරාබ්ලේ පාදක කරගෙන. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන් මනුතාපය නමින් පරිවර්ථනය කරන ලද්දේ ද මේ සම්මානනීය නවකතාවයි.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සන්තුස ලියනගේ මේ කෘතිය පාදක කරගෙන නිර්මාණය කළ ‘දූලි පින්තාරු’ සැප්තැම්බර් 18 වෙනිදා සිට සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා.
සංජීව උපේන්ද්‍ර ප්‍රධාන චරිතය රඟන මෙහි ප්‍රියංකර රත්නායක, වත්සලා රණසිංහ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟන මෙහි සෙසු චරිත අනෝමා ජනාදරී, චමිලා පීරිස්, ජයනි සේනානායක, ලූෂන් බුලත්සිංහල, සීතා කුමාරි, නිල්මිණි බුවනෙක, නුවංගි ලියනගේ, සැනට් දික්කුඹුර, රත්නා සුමනපාල, ප්‍රියන්ත සිරිකුමාර, ගංගා ජීවනී වැලිවත්ත හා ගයේෂා පෙරේරා රඟන ‘දූලි පින්තාරු’ රූපවාහිනී රචනය තුෂාරි අබේසේකරගෙනි.

Friday, September 16, 2011

ප්‍රියන්ත තව ටිකක් උස ගියා නම් කොහොමද?

මේ කුඩා මිනිසා හැකියාව අතින් දැවැන්තය. රංගනයෙන් ඊට නොදෙවැනිය. විවිධ චරිත ඔස්සේ හැකියාව විහිද වූ ඔහු මෑතකාලීනව වඩාත්ම කතාබහට ලක් වුණේ පබළු හි බෙනා මාමා නිසාය.
ඒ ප්‍රියන්ත සෙනෙවිරත්නයි.
ඔහු වෘත්තියෙන් ගුරුවරයකි. එහෙත් අතිශය කාර්යබහුල තැනැත්තෙකු වි දර්ශන තල කිහිපයක මෙන්ම වේදිකාවේ මිනිසා, සකිසද මඬල සහ සාරංගා නැවෙන් ඇවිත් නිර්මාණ ඔස්සේත් හෙතෙම රට වටා සැරිසරයි.
පබළු ටෙලි නාට්‍යය නිමා වී දැනට ටික කාලයක් වනවා. ඒත් ‘බෙනා මාමාගේ’ ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ නේද?
පබළු තිර කතා රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි තමයි ‘බෙනා මාමා’ මුලින්ම මැව්වේ. ඔහුත් පබළු අධ්‍යක්ෂ ශාන්ත සොයිසාත් බෙනා මාමාගේ චරිතය ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරලා, මගෙනුත් අඩු වැඩි වශයෙන් අදහස් එකතු කොට රඟපාන්න කිව්වා. මං හීනෙකින්වත් හිතපු නැති තරමේ ජනප්‍රියත්වයක් බෙනා මාමා සතු කර ගත්තා. ඔබ කිව්වා වගේ තවමත් බෙනා මාමාගේ ජනප්‍රියකම චුට්ටක්වත් පහතට වැටිලා නැති බව දැනෙනවා. කවුරුත් වයස් බේදයකින් තොරව කට ඇරලා මට කතා කරන්නේ බෙනා මාමා කියලා.
බෙනා මාමා නිසා ඔබට අමතක නොවන සිදුවීම් රැසකට මුහුණ පාන්න සිදු වුණු බවට මට දැනගන්නට ලැබුණා. ඉන් එකක් දෙකක් මේ වෙලාවේ මතක් කළොත්?
මේ සිද්ධිය වුණේ ගුරු දිනය දවසක, මම උගන්වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී. ස්ටාෆ් රූම් එකේ ඉඳලා මට උගන්වන්න යා යුතුව තිබුණු පංතිය වෙත යමින් හිටියේ. තුනේ හතරේ පංතිවල ළමුන් රෑනක් බුලත් අත් එහෙම රැගෙන මං ඉදිරියට දුවගෙන ආවා.
අනේ මේ අපේ බෙනට් සර්නේ, වඳිමු වඳිමු කියලා. මේ පුංචි එවුන් ටික හරි හරියට මට වඳින්න පටන් ගත්තා. අන්තිමේට මං ඒ අයට කිව්වා මගෙ නම බෙනට් නෙවේ ප්‍රියන්ත කියලා. කොහෙද, පිළිගත්තෙම නැහැ.
සමහර අයට බෙනා මාමා කියන නමත් වරදිනවනේ. එක දවසක් මැදි වියේ තැනැත්තියක් මගෙ ළඟට ඇවිත් ඇහැව්වා ඔයා නේද ඩෙඟා මාමා කියලා.ඩෙඟා නෙවේ නිවැරැදි නම බෙනා යන බවට මං පැහැදිලි කර දුන්නා. හදිසියේම මා දුටුවහම ඇයට වචන ටිකත් පැටලිලා.
මෑතකාලීනව සිට ඔබේ රංගනයන් සීමාව ඉක්මවනවා කියලා ඇතැම් අය චෝදනා කරනවා.
වෙන්න පුළුවන්. ඔය චෝදනාව මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සමහර චරිත ඕවර් ඇක්ට් කළේ නැත්නම් සාර්ථක වන්නේ නැති බවයි මාගේ හැඟීම. බෙනා මාමාත් ඕවර් ඇක්ට් එකක්. චරිතයකට ඕවර් ඇක්ටිං අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. අනික සැබෑ ජීවිතයේ හමු නොවන චරිතයකට නම් ඕවර් ඇක්ටිං එක තිබෙනවා නම් හොඳයි.
ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ වගේම බොහොම කාර්යය බහුල රංගන ශ්ිල්පියෙක්. මේ තත්ත්වයන් මත නිවසේ රැෙඳන කාලය අඩුයි. ඔබේ නෝනා මහත්තයා රංඩු වෙන්නේ එහෙම නැද්ද ඒ ගැන පවසමින්?
ඕනෑම කාන්තාවක් කැමැතියි තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදර ඉන්නවා නම්. ඒත් මට එහෙම බැහැ. මගෙ බිරිය, කාංචනා කාරිප්පෙරුම මාව හොඳින් තේරුම් ගත් අයෙක්. ඇයත් වෘත්තියෙන් ගුරුවරියක්. මගේ ළමයි දෙන්නගෙත් වැඩ කරගෙන, මගෙ කටයුතුවලටත් නොපසුබටව උදව් කරමින් ඇය කරනා මේ මෙහෙයට ස්තුති කරන්න ඕනේ. ඇය මට දෙන සහය නිසයි මෙතරම් නිදහසකින් මගේ වැඩ කටයුතු කරගෙන ඉන්නේ.
ගුරුවරයකු විදිහට සේවය කරද්දී ඔබ ලබාගෙන ඇති ජනප්‍රියත්වය මොන වගේ බලපෑමක් ද එල්ල කරන්නේ?
මගේ සේවා කාලය මේ වන විට වසර දහ අටක් ඉක්මවලා තියෙන්නේ.
මේ කාලය තුළදී ප්‍රියන්ත සෙනෙවිරත්න නැමැති නළුවා කිසිම දිනක ශිෂ්‍යයන් ඉදිරියේ පෙනී ඉඳලා නැහැ. මගේ ගෝල බාලයන්ට මං ගුරුවරයකු පමණයි. දහය, එකොළම පංතිවලට නිර්මාණකරණය සහ තාක්ෂණවේදයයි මං උගන්වන්නේ. ඒ විෂය කලාවට කොහෙත්ම සම්බන්ධයකුත් නැහැනේ. ළමයින්ට මාව දැන් ගොඩක් හුරුයි. ඒ වගේම මං දඬුවම් කරන්නෙත් නැහැ. හැබැයි ඔවුන් මං කියන දේට ඉහළින් යන්නෙත් නැහැ.
ඔබත් සමඟ ක්ෂේත්‍රයේ සිටින, විශේෂයෙන් රොඩ්නි වර්ණකුල, ඇන්ටන් ජූඩ් වැනි අය රංගනයට අමතරව ගායනයේ ද යෙදෙනවා. අදහසක් නැද්ද ඔවුන්ගේ කුලකයට වැටෙන්න?
මමත් ඉඳහිට ගායනයේ යෙදෙනවා. ඒත් ඔවුන්ගේ මට්ටමට ගයන්න සහ එවැනි මහා ලොකු හැකියාවක් මට නැහැ කියලයි මං හිතන්නේ. ඒත් මේ වන විට කැසට් ආයතනයකින් ගීත එකතුවක් කරන්නට මට ආරාධනාවක් ලැබුණා. ඒ ඇල්බමයට අඩංගු ගීත සියල්ලම පාහේ උපහාසාත්මක ඒවා. තවම ඒ ගැන වැඩිදුර හිතලා නැහැ.
මේ දිනවල ඔබ දකින්නට හැකි පුංචි තිරයේ නිර්මාණ ගැන කතා කළොත්?
ආදරණීය චංචලා, ද සැලුන් වැනි නාට්‍යයවලත් කතුර වැඩ සටහනෙත් මං ඉන්නවා. ඒ වගේම තව නාට්‍යය කිහිපයක් ඉදිරියේදී විකාශය වන්නටත් නියමිතයි.
‘ප්‍රියන්ත සෙනෙවිරත්න’ තව ටිකක් උස ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
අපොයි හිතෙනවා. ඒත් ලැබුණු දේවල් පිළිබඳ සතුටු වනවා හැර නොලැබිච්ච ඒවා ගැන මොකට හිතනවද? එක අතකින් මිටි වුණ එකත් හොඳයි. මං දැකලා තියනවා ආරෝහ පරිනාහ දේහ තියෙන ජනප්‍රිය ප්‍රද්ගලයන් ළඟට මිනිස්සු යන්නේ නැතිව ශරීරයෙන් කුඩා අපි වැනි අයත් එක්ක නොබියව කතා කරනවා. ඒක නිසා මගේ ශරීර කූඩුව මට ආභරණයක් වෙලයි තියෙන්නේ.

Funny Sinhala Talk CTB Bus

චරිත 8ක් බලන්න කැමතිද? | Stage play "චරිත 8ක්"





වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, සුබසාධක සංගමය විසින් සංවිධානය කරන විල්සන් ගුණරත්නගේ "චරිත 8ක්" ප්‍රහසන වේදිකා නාට්‍යය සැප්තම්බර් මස 30 දින සවස මරදාන ටවර් හෝල් හිදී රඟදැක්වේ. ටිකට්පත් එදින දොරටුවෙන් ලබාගත හැක. නාට්‍යලෝලී ඔබ සැමට ආරාධනා!!

වැඩි විස්තර සඳහා අමතන්න සිසිර 0112693532, 0714069554 
 
News From Nutrition & Lifestyle

Thursday, September 15, 2011

අලුත් ජීවිතයකට කාලය හරි





  ජනප්‍රිය චිත්‍රපට නිළි පූජා උමාශංකර්

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක ව ඇත. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟය. එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු ආසයි මං පියාඹන්න, යහළුවෝ හා සුවඳ දැනුනා ජීවිතේ යන චිත්‍රපටවලටද සම්බන්ධ විය. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වූවාය. මේ එම චිත්‍රපටය ගැන හා ඇගේ රංගන ජීවිතය ගැන ඇය හා කළ සංවාදයකි.

* ඔබ සිනමාවෙන් ඉවත්වෙන්න ගෙන තිබුණු තීරණය වෙනස් කළා ද?
මම සිනමාවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණයේ වෙනසක් නැහැ. මගේ අන්තිම චිත්‍රපටය ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඒක කරලා ඉවරයි. නමුත් මම ‘කුස පබා’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ශ්‍රී ලාංකීය සිනමාවට ගරු කිරීමක් හැටියටයි.
මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ වගේ ලංකාවේ සිනමාවේ දැවැන්තයන් කිහිපදෙනෙක්ම ඉල්ලා සිටියා. ඔවුන්ගේ ඉල්ලීමට කන් නොදුන්නා නම් මම ගරු නොකරන්නේ ඔවුන්ට පමණක් නොවෙයි.

* ඔබ රංගනයෙන් දායක වන චිත්‍රපටවලට ඉන්දියාව වගේ ම ලංකාවෙත් හොඳ ප්‍රතිචාර තිබෙනවා, එවැනි අවස්ථාවක සිනමාවෙන් ඉවත්වීමට හේතුව කුමක් ද?
මම අවුරුදු අටක් සිනමාවෙ රැඳී සිටියා. දැන් මට අලුත් ජීවිතයක් පටන් ගන්න කාලය ඇවිල්ලා. නියමිත කාලයේ දී ඒ දේවල් කළ යුතුයි. උදෑසන ආහාරය දහවලේ දී ගැනීම තේරුමක් නැහැ. එහෙම කළොත් සියල්ලම අවුල් වේවි. ප්‍රීතිදායක අවසානයකට යන්න පුළුවන්වීම ගැන මම සතුටු වෙනවා. මේක දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවෙත් කවුරුත් දන්න කතාවක රඟපාන්න ලැබුණ එක මගේ පිනක්.

* ඔබට වඩාත් ප්‍රිය කරන රසිකයින් සිටින්නේ දෙරටින් කොයි රටේ ද?
එහෙම නැහැ. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය තීරණය වන්නේ චරිතය අනුවයි. රංගන ශිල්පීන්සේ පෙනී සිටීමෙන් පමණක් ඔවුන් සෑහීමකට පත් වෙනව කියලා කියන්න බැහැ. හොඳ චරිතයක් සාර්ථකව කළොත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙයි. ඒ චරිතයම නරකට කළොත් මිනිස්සු අපිට හොඳට ප්‍රතිචාර දක්වන එකක් නැහැ. මේ චිත්‍රපටය ලබන අවුරුද්දේ මැද රටවල් දෙකේ ම පෙන්වාවි. ඔවුන් මගේ රඟපෑම ගැන කියන්නේ මොකක් ද කියලා එතකොට මට විවේකීව ගෙදර ඉඳන් දැකගන්න පුළුවන්.

* සිංහල චිත්‍රපට සඳහා ඔබගේ දායකත්වය ඉන්දීය රසිකයින් අගය කරන්නේ කොහොමද?
අවාසනාවට වගේ විශේෂ අවස්ථාවල දී හැරෙන්න මම ර¼ඟපාපු චිත්‍රපට ඉන්දියාවේ ප්‍රදර්ශනය කර නැහැ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරීස්ගේ ‘යහළුවෝ’ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කළ අවස්ථාවට මමත් සහභාගි වුණා. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
ඊට අමතරව මා රඟපෑ සිංහල චිත්‍රපට වරින්වර බටහිර රටවල පෙන්වූවා. ඒ අවස්ථාවලට මම සහභාගි නොවුණත් ඒ රටවල රසිකයන් මගේ පැමිණීම අපේක්ෂා කරන බවට මට තොරතුරු ලැබුණා. ඒ ගැන මම සතුටුයි.
* දකුණු ඉන්දියාවේ සිනමාකරුවන් ලංකාවේ ජාතික ප්‍රශ්නයට විටින් විට රළු ප්‍රතිචාර දක්වනවා. ඔවුන්ගෙන් ඔබට සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන විරෝධයක් එල්ල වූවාද?
නැහැ මට එහෙම කිසිම බලපෑමක් ආවෙ නැහැ. අඩුම ගණනේ නිර්නාමික දුරකථන ඇමතුමක්වත් ආවේ නැහැ.

* ඔබගෙන් පසුව දකුණු ඉන්දීය ශිල්පීන් සිනමාවට සම්බන්ධවීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සිනමාවට කොහොම බලපාවිද?
ඕනෑම රටක සිනමා කර්මාන්තය ගොඩනැගෙන්න නම් චිත්‍රපට තැනෙන්න ඕන. ඒ වගේ ම ප්‍රේක්ෂකයන් ඒවා වැලඳ ගන්න ඕන. විදේශ රටක ශිල්පීන් යොදා ගත් පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේ නැහැ. හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය පිළිගත්තොත් ආදායම් අතින් සාර්ථක වේවි. එවිට තව තවත් චිත්‍රපට නිර්මාණය වේවි.

* ඔබ සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද ? පවුලේ කවුරුන් හෝ සිනමාවට සම්බන්ධව සිටියාද ?
මම සිනමාවට සම්බන්ධ වුණේ අහඹු සිදුවීමක් නිසා. මම විද්‍යාලයේ අවසාන විභාගය (ර්ඕඒ) කරන කාලේ අධ්‍යාපන නිවාඩුවක් ආවා. මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ඇඳුම් ගන්න ගියා. ඒ තැනදි දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ජීවා මහතා මාව දැකලා ඔහුගේ අලුත් චිත්‍රපටයට ආරාධනා කළා.
මම ඉගෙන ගන්න තියෙනවයි කියලා බැහැයි කිව්වා. නමුත් ඔහු කිව්වා දින 15 යි රූගත කිරීම් තියෙන්නේ ඉගෙනීමට බාධාවක් නැහැ එන්න කියලා. ඔය විදිහටයි මම “උල්හම් කේතුගම්” චිත්‍රපටය සම්බන්ධ වුණේ. නොහිතපු විදිහට චිත්‍රපටය ජනප්‍රිය වුණා. ඒ නිසා දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා.
ලොකේ කොහේ මට රසිකයින් සිටියත් තාත්තා මම නිළියක් වුණ එක ගැන අසතුටෙන් හිටියේ. ඔහු මට නිතරම කිව්වෙ ඔයා ඉගෙන ගන්න කෙනෙක් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කියලයි.

* මෙම චිත්‍රපටයේ ඔබට රඟපෑමට ලැබී ඇත්තේ වෙනස්ම චරිතයක්. ඔබ එය වටහා ගත්තේ කොහොමද ?
මට ලොකු වුවමනාවක් තිබුණා ඓතිහාසික චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. මට ඉන්දියාවේදී රඟපාන්න ලැබුණේ ගැමි චරිත හා නවීන තරුණියන්ගේ චරිත. ඒ වගේම ළමයින් සමඟ කරන චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න වුවමනාවක් තිබුණා. ඒ නිසා මම නිළියක් හැටියට බලාපොරොත්තු ගොඩක් ඉටු කර ගත්තේ සිංහල සිනමාවෙන්.
අනිත් අතට පොඩි කාලේදීම අම්මා අපිට මේ කතාව කියලා දීලා තිබුණා. ජාතක කතා අතර තිබුණ වෙනස්ම විදිහෙ කතාවක් නිසා මම ඒ කතාවට හුඟක් කැමතියි. මේ කතාව කියන කොට ඊට පෙර ඇය කියා දුන් ‘Beauty and the Beast’ සුරංගනා කතාව අතර සමාන කමක් දැනුණා. ඒ දෙකේම තියෙන්නේ අවලස්සන කුමාරයෙක් ගැනයි. නමුත් ඒ ලස්සන කුමාරි වෙන්න මට පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.

* ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස කුමක්ද ?
මම ලංකාවෙ කරපු හැම චිත්‍රපටයක් ගැනම සෑහීමකට පත් වෙනවා. ඒ ගත කරපු කාලය හරිම සුන්දරයි. හැම දෙනාම මට උදව් කළා. එහෙම නොකළ නම් මට වෙනත් බසකින් කරන චිත්‍රපටයක් සාර්ථකව කරන්න ලැබෙන්නේ නැහැ.
මේක මම අවස්ථාවක් කර ගන්නවා ලංකාවේ සිනමා කර්මාන්තයේ නියැලී සිටින ලොකු කුඩා සැමට ස්තූති කරන්න. ලංකාවේ මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න ශිල්පීන් හරියට පවුලක සාමාජිකයෝ වගේ. කලබලයක් නැහැ. ඒ නිසා ආතතියක් නැහැ. ඉන්දියාවෙ තත්ත්වය ඒ වගේ නෙවෙයි. දැන් මේ චිත්‍රපටයම බලන්න, එය නිෂ්පාදනය කරන්න කී දෙනෙක් උදව් කරනවාද. එය හොඳ දෙයක්.
ඒ වගේම ලංකාව සුන්දර රටක්. ඉන්දියාවේ මිථ්‍ය කතාව කියනවා කේරලය සුරලොවේ කොටසක් කියලා. මම නම් හිතන්නේ ඒක ගැලපෙන්නේ ලංකාවටයි. මේ රටේ සුන්දර ස්ථාන සොයන්න ඇවිදින්න වුවමනා නැහැ. අපේ රටේ සිනමාකරුවෙක්ට කිවුවා ඔබ ලංකාවේ ඕනෑම තැනක කැමරාව තියන්න. එතැන ඔබට සුන්දර දර්ශන හමුවේවි කියලා. ඔහු කිවුවා “පූජා ඔයා පිස්සුද” කියලා නමුත් ඔහු ලංකාවට ආවයින් පස්සේ මගේ කතාව පිළිගත්තා.
මම සිනමාවෙන් ඈත් වුණත් ලංකාව සමග තිබෙන සම්බන්ධය නවතින්නේ නැහැ. ඒ නිසා මම ලංකාවට ට්ධධඤ ඡරඥ කියන්න කැමති නැහැ.

‘කවි කඳුර’ ට ස්වර්ණ පුස්තකය

 



පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති 2011 ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සුනේත‍්‍රා රාජකරුණානායක ගේ ‘කවි කඳුර’ 2010 වසරේ හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිණි. ස්වර්ණ පුස්තක සම්මානය සුනේත‍්‍රා රාජකරුණානායක වෙත පිරිනමනු ලැබුවේ හිටපු නිළි රැජිනි, පර්ලිමේන්තු මන්ත‍්‍රිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අතිනි.
ෆොන්සේකා මහත්මිය අතින් මෙම සම්මානය ලබා ගැනීමට හැකි වීම තමන් ලැබූ භාග්‍යයක් බව සම්මාන ලාභිනී සුනේත‍්‍රා රාජකරුණානායක පැවසුවාය.
 

ශලනි ලොකු ළමයෙක් වෙන්න යයි


සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර ලබන නොවැම්බරයේදී 21 වැනි උපන් දිනය සැමරීමට නියමිත බව වාර්තා වේ.
සම්මත නීතිය අනුව වයස අවුරුදු 21 සම්පූර්ණ කිරීමත් සමඟ පුද්ගලයෙකු වැඩිහිටියකු ලෙස සැලැකීමට සමාජය පෙළෙඹෙන බැවින් විසිඑක් වැනි උපන්දිනය කාහටත් වැදගත් එකකි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 21 සම්පූර්ණ කිරීම ළමාවිය ඉක්මවීමක් ලෙස ද සැලැකේ.

ඇය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවේ 2007 වසරේදී වන අතර එවකට ඇගේ වයස අවුරුදු 17 කි.

ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

ශලනි සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.

පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහානිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.
http://2.bp.blogspot.com/_8AkmQkc7BzU/TE1HAURZKnI/AAAAAAAACgc/6srwancpCOs/s1600/Shalani+Tharaka.jpghttp://1.bp.blogspot.com/_8AkmQkc7BzU/TE1HAIvZC8I/AAAAAAAACgU/KFDFlcgGTKE/s1600/Shalani+Tharaka+2.jpg[Shalani+Tharaka+new+photo+1.jpg][Shalani+Tharaka+new+photo+2.jpg][Shalani+Tharaka+new+photo+3.jpg][Shalani+Tharaka+new+photo+4.jpg][shalani+tharaka+5.jpg][shalani+tharaka6.jpg][shalani+tharaka+2.jpg][shalani+tharaka+1.jpg]http://3.bp.blogspot.com/_8AkmQkc7BzU/TUBtcPasv5I/AAAAAAAACzA/Ozkg2VklXa4/s1600/Shalani%2B5.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5vSqn2bQBZfV1I2VS3x1UzmJSGjuBwZajDxzQwKSEbPHjdAvP0gTTOE0C3-pebGXTlvwU7G0BaT6-rTWmycNrCxtHlQcNPvTvUs1Ms-f3x5flKJaJ8Lq43RL1rXq9gkHkdczYyUtPBv8Z/s1600/Shalani+3.jpghttp://4.bp.blogspot.com/_8AkmQkc7BzU/TUBtbT9kS_I/AAAAAAAACyo/0vhFdoV3czw/s1600/Shalani.jpghttp://4.bp.blogspot.com/_8AkmQkc7BzU/TUBtbF8F4JI/AAAAAAAACyg/zbvgVYw3t0s/s1600/Shalani%2B2.jpg

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money