Sunday, February 26, 2012

හිඟන්නකුට ලක්ෂ 100 ක් ලැබුණා වගේ අපේ නළු නිළියනුත් පිස්සු නටනවා

අමිල අබේසේකර
තරුණ පරපුරේ රංගන ශිල්පීන් අතර තවමත් ජනප්‍රියත්වයේ රැදෙමින් ප්‍රේක්ෂක ඔබේ ආදරයට පාත්‍ර වුණු රංගන ශිල්පියෙක් අමිල අබේසේකර. විටෙක ජනප්‍රිය නළුවා සම්මානයෙන් ද ඔබ අතරට එක්වුණු අමිල දෙරණ ඩ්‍රිම් ස්ටාර් වේදිකාවේ නිවේදනයෙන් ද ඔබට සමීප වෙනවා. ‘යෞවනයේ අපි’ විශේෂාංගය මෙවර වෙන්වන්නේ අපේ කාලයේ රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර වෙනුවෙන්.
අමිල කොහොමද මේ දවස්වල ජීවිතේ...
ටිකක් කාර්ය බහුල ජීවිතයක මම ඉන්නේ. කොහොම වුණත් මේ දවස් ටිකේ ‘වැස්ස නුඹ වගේ’, ‘චංචලා’, ‘සවීනා’, ‘වන්දනා’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් සම්පූර්ණයෙන් ම අවසන් වුණා. ඒ වගේ ම අලුතෙන්ම ආරම්භ වන ‘එක්ටැම්ගෙයි’ ටෙලිනාට්‍යයෙත් ‘මුතු’ කියන ටෙලිනාට්‍යයටත් මම එකතු වෙනවා. ඔය අතරතුරම ‘ඩ්‍රිම්ස්ටාර්’ වේදිකාවෙත් වැඩකටයුතු කරගෙන යනවා.
පසුගිය කාලයේ අපි දැකපු ටෙලිනාට්‍යවල ඔබේ චරිත ඒකාකාරියි කියලා දැනුණා.
ඔව් ඒකට හේතු කිහිපයක් මම කියන්නම්. ඔය දේ මටත් තේරුණා. මෙගා ටෙලිනාට්‍ය නිසා ඔය දේ සිදුවුණා කියලයි මට හිතෙන්නේ. ඔය ටෙලිනාට්‍යවල කතාව යම් තරමක් වෙනස් වුණත් ලැබෙන චරිතවල ඒකාකාරී බවක් තිබුණා. බොහෝ වේලාවට ප්‍රේමවන්තයාගේ චරිතය මට ලැබුණේ. ඒ නිසා මම පිළිගන්නවා යම් ඒකාකාරී බවක් චරිතවල තිබුණා කියලා. නමුත් ඉතිං මේ යන සිස්ටම් එකත් එක්ක වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
ඒ දෙයින් ඔබේ රංගනයට යම් බලපෑමක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම මමත් කැමැතියි වෙනස් විදිහේ චරිත කරන්න. විවිධ පරාසවලට යන්න වුවමනාවක් මට තියෙනවා. ගැමි චරිතයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. නමුත් මට ලැබුණේ, ලැබෙන්නේ ගොඩක් සල්ලිකාර පුතෙකුගේ වගේ චරිත. ඒ තුළින් යම් ඒකාකාරී බවක් පෙනෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඔය ප්‍රශ්නේ මට විතරක් තියෙන දෙයක් නෙවෙයි. පොදුවේ අපේ පරම්පරාවේ කිහිප දෙනෙක් ම ඔය ගැටලුවට මුහුණ දීලා ඉන්නේ.
අමිල ජනප්‍රියත්වය කියන දේ ගැන මොකද හිතන්නේ.
ඒ දේ නිහතමානීව භාරගන්න කෙනෙක් මම. ජනප්‍රියත්වය කියන දේ හැමදාම තියෙයි කියලා මම හිතන්නේ නැහැ. මිනිස්සු අපිට ආදරය කරන්නේ අපේ හැකියාවට. එයින් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් වැරැදියි. වාසනාව තියෙනවා නම් ජීවිත කාලේම වුණත් ජනප්‍රියත්වය කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. නමුත් ඉතිං අද කාලේ ජනප්‍රියත්වය ලැබෙන්න ලැබෙන්න ඔළුව උදුම්මාගෙන ඉන්න පිරිස වැඩියි. මම ජනප්‍රියත්වය කියන දේ සුන්දරව විඳින කෙනෙක්.
අපේ සිනමාව වෙනුවෙන් යමක් කරන්න ඔබට අවස්ථාව ලැබුණ ද?
මෙහෙමයි සිනමාවට මගෙන් ලැබුණු දායකත්වය ඇත්තටම අඩුයි. මේ මෙගා ටෙලිනාට්‍ය රැල්ල නිසා මට ලැබුණ එවැනි අවස්ථා බොහෝමයක් මඟ හැරුණා. ඉතාම හොඳ චිත්‍රපටවල පවා ලැබුණු අවස්ථා මග හැරුණේ දින ප්‍රශ්න නිසයි.
ඒ ගැන අද පසුතැවීමක් නැද්ද?
එහෙම පසුතැවීමක් නැහැ කියලා කියන්නම බැහැ.
නමුත් මම ඒ ගැන හිතන කෙනෙක් නෙමෙයි. තවත් පැත්තකින් අපිව කොටු කරලා මෙගා නළුවන් කියලා. අපේ මුහුණු දවස් පහේම පේනවා කියලා මෙගා විරෝධී සමහර අය අපට ලැබෙන්න යන නිර්මාණ පවා වළක්වනවා. මට තේරෙන්නෑ ඇයි එහෙම කරන්නේ කියලා. අපි දවස් පහේම දැක්කත් මිනිස්සුන්ට අපිව එපාවෙලා නැහැ. අපිව වෙනස් විදිහට දකින්නත් මිනිසුන් කැමැතියි.
රංගනයට එක්වුණ ඔබේ පරම්පරාව ගැන අද මොකද හිතන්නේ.
හොඳ දක්ෂයින් ඉන්නවා. වෙලා තියෙන්නේ ඒ ගොල්ලෝ ක්ෂේත්‍රයේ ඉන්න දන්නේ නැහැ. අද සමහරු එක ටෙලිනාට්‍යයක රඟපාලා නළු නිළියන් කියලා පොරවල් වෙලා ඇඳගෙන ඉන්න තත්ත්වයක් තියෙන්නේ. මම 1997 යි රංගනයට අවතීර්ණ වෙන්නේ. ඒ ආව පිරිසෙන් අද කිහිප දෙනයි ඉන්නේ. ගොඩක් අය ආවා ගියා. සමහරුන්ට ජනප්‍රියත්වය කියන දේ සුබවාදීව විඳින්න තේරෙන්නෑ.
හිතන්නකෝ හිඟන්නෙකුට එක පාරටම ලක්ෂ සීයක් විතර ලැබුණම මොනවද කරන්නේ කියලා. හිතාගන්න බැරිව පිස්සු නටනවනේ. අන්න ඒ වගේ තමා අපේ බොහෝ අය හැසිරෙන්නේ.
අද ඔබ මැව් හීන සැබෑවෙලා ද කියලා මම ඇහැව්වොත්?
පැහැදිලිවම. පෞද්ගලික ජීවිතේ මම මැව් හීන බොහෝමයක් මම සැබෑ කරගෙන ඉන්නේ. තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙන්නේ. තවත් පැත්තකින් කියන්න ඕන තාමත් සෑහීමකට පත්වෙන්න පුළුවන් චරිතයක් මට ලැබිලා නැහැ. ඒ වගේ ම මේ තියෙන වැඩ ටික බොහෝම සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් ඉදිරියේදී මගේ ම කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
අද රංගන ශිල්පීන් වන හැමෝගෙම ග්‍රහචාරය ඒ තරම් හොඳ නැහැ කියලයි හැමෝම කියන්නේ. විවිධ කටකතා වගේ ම අකටයුතු නිසාත් පසුගිය කාලයේ පුවත් මවන චරිත බවට රංගන ශිල්පී ශිල්පිනියන් පත්වුණා.
ඔය කතාව සම්පූර්ණ හරි. ඔය අහුවෙන කිසිම කෙනෙක් නළු නිළියන් නෙවෙයි කියලා මම කියන්න ඕන. ඒ නිසා අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට මම කියන්නේ මේ ක්ෂේත්‍රයට හානි කරන එවැනි අය සම්බන්ධ කරගන්න එපා. කරුණා කරලා එහෙම අය අයින් කරලම දාන්න ඕන. ඔය අහු වුණයි කියලා කියන කිසිම කෙනෙක් අපි දැකලා නැහැ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money