Showing posts with label වේදිකාව. Show all posts
Showing posts with label වේදිකාව. Show all posts

Wednesday, January 4, 2012

2012 මගේ විවාහ වසරයි

මුතු තරංගා
බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.
මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?
සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.
විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?
මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.
ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?
මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්
ගෙන්. එල්ෆින්ස්ටන් එකේ දී මට මුණ ගැසුණා නික් ජයමහ කියන මෝස්තර නිරූපණ ගුරුවරයා. ඔහුගේ මඟ පෙන්වීම මත මෝස්තර නිරූපණය පිළිබඳව ඉගෙන ගෙන මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. ඉන්පසුව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි සෙනේශ් දිසානායක ගේ ‘පුලින ප්‍රාසාද’ කියන ටෙලිනාට්‍යය. ඒ; 2003 වසරේ. එම වසරේ ම මට ‘සෙව්වන්දි’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටත් චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වෙලා තියනවා.
ඔබ ප්‍රේක්ෂකයින්ට වඩාත් ම ළං වුණේ කුමන ටෙලිනාට්‍යයෙන් ද?
මම හිතන විදියට ‘වසුදා’ ටෙලිනාට්‍යයෙන්. එහි මම නිරූපණය කළේ අහිංසක චරිතයක් නෙමෙයි. තම නැන්දම්මාට විරුද්ධව වැඩකරන සැර පරුෂ කාන්තාවකගේ චරිතයක්. වසුදා නැරඹූ ප්‍රේක්ෂකයින් මගේ චරිතය පිළිබඳව කතා කළේත් තරහින්. ඒ; මම එම චරිතය හොඳින් නිරූපණය කළ නිසා වෙන්න ඕන. වසුදා ටෙලිනාට්‍යයට වගේ ම සුදු හංසි ටෙලිනාට්‍යයේ මම කළ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
දැන් ඔබ අහිංසක චරිතවලටම කොටු වෙලා ද?
මටත් එහෙම හිතෙනව. හැබැයි මම රංගනයට පැමිණි මුල් කාලෙ මට විවිධ චරිත ලැබුණා. නමුත් පසුව මට අධ්‍යක්ෂවරු කතා කළේ අහිංසක චරිත රඟපාන්න. එන්න තියෙන මම රඟපෑ ටෙලිනාට්‍යවල මගේ විවිධ ආකාරයේ රංගන තියෙනව. ඒ ටෙලිනාට්‍ය තවම විකාශය නොවීම ගැන මම දුක් වෙනවා.
ගායනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම සංගීතය හදාරපු කෙනෙක්. යම් කිසි ගායන හැකියාවක් මට තියෙනව කියලත් මම දන්නවා. ඒ හැකියාව රටටම පෙන්වන්න අවස්ථාව ලැබුණේ ‘මෙගාස්ටාර්’ තරගාවලියෙන්. හැබැයි මගේ විදෙස් සංචාර කීපයක් ම ඒ තරගාවලිය නිසා මට අවලංගු කරන්න සිදු වුණා. මගේ ම ගීත කීපයක් නිර්මාණය කරන්න කියල බොහෝ දෙනෙක් කිව්වත් ඒ ගැන මම තවම හිතල නැ.
සංගීත ප්‍රසංග සඳහා ඔබ රටවල් කීයකට විතර මේ වනවිට ගිහිං තියෙනවද?
මේ වනවිට මම රටවල් 15 ක විතර පැවැත්වුණු සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනව. ලංකාව තුළත් මම එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරනව.
විදෙස් ප්‍රසංගවලදී මොනවගේ ප්‍රතිචාර ද ඔබට ලැබී තිබෙන්නේ?
හරිම පුදුමයි ඒ ගැන මතක් වනවිටත්. මට මේ වනතෙක් කිසිම සම්මානයක් හිමිවෙලා නෑ. නමුත් විදෙස් රටවල ප්‍රසංගවලට ගියාම එහි සිටින ලාංකික රසික රසිකාවියන් අපට දක්වන ආදරය ගෞරවය මට ලැබුණු හොඳම සම්මානය විදියට මම සලකනවා. සමහරු විවිධ කෑම වර්ග හදාගෙන ඇවිත් අපට දෙනවා. සිහිවටන ලෙස තෑගි බෝගත් දෙනවා. ඒ ප්‍රතිචාර මතක් වනවිට හරිම සතුටුයි.
ඔබ ‘ගාමණී’ චිත්‍රපටයට දායක වුණා නේද?
මම හිතන්නෙ ‘ගාමණි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම මම ලද වාසනාවක් කියලයි. මම රඟපෑ චරිතය විශාල පරාසයක දිවෙන චරිතයක් නොවුනත් මම හරිම තෘප්තියකින් ඒ චිත්‍රපටයේ රඟපෑවා. එය හොඳ තේමාවක් සහිත නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේ ම එහි ප්‍රවීණ නළු නිළියන් රැසක් ම රඟපෑවා. ඒ නිසා ගාමණී චිත්‍රපටයට දායක වීම ගැන මට තියෙන්නෙ විශාල සතුටක්.
කලා ක්ෂේත්‍රය තුළ ඔබටත් කැපිලි කෙටිලි තිබෙනවාද?
අපොයි ඔව්. මුලදි නම් තිබුණේ නැහැ. ඒත් පසුව කැපිලි කෙටිලි හරියට ආවා. මට තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියල.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ අම්මයි තාත්තයි මමයි නංගියි තමයි පවුලේ අය. නංගි විවාහ වෙලා.
ඔබේ විවාහය ළඟදී සිදුවෙනවාද...?
ඔව්. බොහෝ දුරට ලබන අවුරුද්දෙ. 2012, මගේ විවාහය සිදුවේවි.
කවුද ඔබේ අත ගන්නෙ?
එයා නිශාන්ත අමුපිටිය. අපි හඳුනාගෙන දැන් අවුරුදු 8 ක් විතර වෙනවා. ඔහු මගේ සැමියා වීම මගේ වාසනාවක් ලෙසයි මම දකින්නෙ. ඔහු හොඳ අවබෝධයක් තියෙන මට උපරිම විදියට ආදරය රැකවරණය ලබාදෙන හොඳ කෙනෙක්. මගෙ යාළුවො නෑදෑයො දන්න කියන ගොඩක් දෙනා මට වඩා ආදරේ නිශාන්තට. ඒක මට හරිම සතුටක්.
විවාහයෙන් පසුවත් ඔබ රඟපානවද?
මම දිගටම රඟපානව. නිශාන්ත දැනුත් මාත් එක්ක ෂූටිංවලට එනව. එයා මගෙ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දක්වනවා.

ජන කරළියෙන් ගුරු සැමරුමක්


ජන කරළියේ තරුණ නාට්‍ය ශිල්පීන් විසින් සිදු කරනු ලබන ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ සහ එච්. ඒ. පෙරේරා යන නාට්‍යවේදීන්ගේ නාට්‍ය හා රංග කලා සේවාව ඇගයීමේ සමරු වැඩසටහනක් ජනවාරි මස 04 වැනිදා පස්වරු 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.
සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයකු සහ කවියෙකු ලෙස සම්මානයට පාත්‍ර වූ ආරියවංශ රණවීර විසිනි.
ඇන්ටන් චෙකෝව්ගේ ‘ද බූර්’ ආශ්‍රයෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ ‘පෝරිසාදයා’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය පාලිත අබේලාල් ධර්මසේන ගෙනි.
රොනකා චාමලී, සුනෙත් ශාන්තප්‍රිය සහ රාසයියා ලෝහානන්දන් එහි චරිත නිරූපණය කරති. ඇඳුම් නිර්මාණය සුවිනීතා සුබසිංහගෙනි.
ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ දමිළ පරිවර්තනය ‘පයනිහල්’ ලෙස ද එදිනම වේදිකාවට නැඟේ. පයනිහල් රාසයියා ලෝහානන්දන්ගේ දමිළ පරිවර්තනයකි.
රොනකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී අධ්‍යක්ෂණය කරන ලද මෙම වේදිකා නාට්‍යයේ තියාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන් චරිත මවති.
ඇඳුම් නිර්මාණ සහ වේදිකා පරිපාලනය ඉනෝකා ලංකාපුරගෙනි. අජන්ත ශාන්තකුමාර් නාට්‍ය දෙකෙහිම රංගාලෝකය මෙහෙයවනු ලබයි.

ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ සහ එච්.ඒ. පෙරේරා යන නාට්‍යවේදීන්ගේ නාට්‍ය හා රංග කලා සේවාව අගයමින් ඔවුන්ගෙන් පැවත එන නව පරපුරට අයත් ජනකරළියේ තරුණ නාට්‍ය ශිල්පීන් විසින් මෙම මස 04 වැනි දින සවස 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සමරු වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇත.
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කරමින් අගනා සිසු පරපුරක් බිහි කළ යථෝක්ත ප්‍රවීණ නාට්‍යවේදීන් අගයමින් මෙදින සමාරම්භක සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන ආරියවංශ රණවීර විසිනි.
ඉන්පසු “පෝරිසාදයා” සහ “පයනිහල්” යන නාට්‍ය දෙක රංගගත වෙයි. “පෝරිසාදයා” මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටන් චෙකොව් ගේ “බූර්” නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. ධම්ම ජාගොඩයන් විසින් 1968 දී එය කරළියට ගෙන එන ලදී.
“පෝරිසාදයා” නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරන ලද්දේ පාලිත අබේලාල් ධර්මසේන විසිනි.
”පයනිහල්” 1971 දී ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද “කොරා සහ අන්ධයා” නාට්‍යයේ දෙමළ පරිවර්තනයයි. “කොරා සහ අන්ධයා” නාට්‍යයද එම වසරේ දී ධම්ම ජාගොඩයන් විසින් අධ්‍යක්ෂණය කොට කරළියට ගෙන එන ලදුව මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද නාට්‍යයකි. 2012 නවදිල්ලි අන්තර් ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කිරීමට තෝරාගෙන තිබෙන “පයනිහල්” රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයකි. එහි චරිත තියාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන් විසින් නිරූපණය කරනු ලබයි.
සිංහල ප්‍රේක්ෂකයින් හට තේරුම් ගැනීමේ පහසුව තකා “පයනිහල් නාට්‍යය සිංහල උපශීර්ෂ සහිතව රංග ගත කරනු ඇත.

වේදිකා නාට්‍ය වේශ නිරූපණ ශිල්පියකු, රංග භූමි අලංකරණ ශිල්පියකු වන හේමපාල ගොඩගේ පසුගියදා සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතා වෙතින් කලාභූෂණ සම්මානය ලද
අවස්ථාව. පසෙකින් ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය කාලෝෆොන්සේකා ද වෙයි.

මනොරත්නයන් නාට්‍ය තුනක් මේ සති අන්තයේ.

ප‍්‍රවීන නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්නයන් රගපාන නාට්‍ය 03ක් මේ සති අන්තයේ දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මේ මාසේ 05 වැනිදා බූරුවා මහත්තයත්, 06 වැනිදා සුද්දෙක් ඔබ අමතයි සහ 07 වැනිදා අන්දරේලා නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි. මනෝරත්නයන් කිව්වේ කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේදී පස්වරු 6.30ට මෙම නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි කියලා.

Thursday, December 15, 2011

අපි ඒ ගැන කතා නොකර ඉමු

ලකීට සම්මාන ගෙනා ‘ලක්ෂපති’ ට මොකද වුණේ?
 

අපි ඒ ගැන කතා නොකර ඉමු

දහසක් දරුවන්ගේ දෙනෙත් පාදපු නීටා ඩයස් ඉස්කෝලේ හාමිනේ දහ අතේ කල්පනා කළා.
‘අපේ පුතාව මොන ඉස්කෝලෙටද යවන්නේ?’
ඒ කතාවට හූමිටි තිබ්බේ වොලී ඩයස්. ලක්ෂ්මන් ඩයස්ගේ තාත්තා. ලකීගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.
‘කොළඹ ආනන්ද විද්‍යාලය හොඳා’
වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.
‘මෙකද ඉතිං අපට දරුවෝ දහ දෙනෙක් ඉන්නවා කියලයැ, මේකා විතරයිනේ.’
නීටා ඩයස් ගේ හිතේ මල් පිපුණා. ලකී ඉපදුණ දා ඉඳලා ඈට ඕන වුණේ තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් කරන්නයි. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක්. මේ කොයි කවුරු වුණත් කමක් නෑ. පියෙන් පිය තබලා ඇවිදින ලකී පුතාගෙ මුහුණ බලාගෙන ඈ නොයෙක් වර හීන මැව්වා.
ලකී ගම්පහ පුරවරයෙන් කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ එහෙමයි.
‘අපූරු හුරුබුහුටි කොලු පැටියා’
දවසින් දවස උස් මහත් වන ලකීව දකින ගමේ හැමෝම කිව්වා. ලකීගේ ඒ අපූරු හුරුබුහුටිකමත් සමඟම තිබුණේ දඟකාර බවක්. කිසිම අඩු පාඩුවක් නැතුව හැදුණු වැඩුණු ලකීගේ දඩබ්බරකමට වෙලාවක් තිබුණේ නෑ. දඩබ්බරයන් රොත්තකට නායකයා වුණු ලකී කාටත් හොරා ආනන්දයේ වැට පැන්නේ චොප්පෙ කියන චණ්ඩියා බලන්න. ඊළඟ දවසේ 10.30 ට බොරැල්ලේ රිස්ට් එකේ මැටිනි ෂෝ එකක්. ඊට පස්සේ කොලු රංචුව නැග්ගේ පුංචි කෝච්චියේ රවුමක් යන්න.
ලකීගේ මේ කොලුකම් ගැන ඇහැ ගහගෙන හිටිය අපූරු කෙනෙක් ආනන්දයේ හිටියා.
‘කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ’
ඔහු ලකීට අපූරු දඬුවමක් දුන්නා. ඒ ශිෂ්‍ය නායක පදවියක්. ඒ තමයි ලකීගේ මුල් ගුරුතුමා. දෙවැන්නා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා. ලකී ජීවිතේ පිළිබඳ අපූරු පාඩම් කිහිපයක්ම ඉගෙන ගත්තේ මේ ගුරුතුමාගෙන්. කාලයක් රාජ්‍ය ඇමැති වෙලා හිටිය මෙතුමාත් ලකීත් අතරතිබුණේ අපූරු බැඳීමක්. ඒ බැඳීම කොයි තරම් දුර දිග ගියාද කිව්වොත් ලකී නැවතුණේ රටක් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙලා.
‘මා අද දක්වා පැමිණි ගමනේදී ලබාගත් ජයග්‍රහණයන් පසුපස ඔවුන්ගේ ආශිර්වාදය සැමදා තිබෙන බව නිසැකයි.’
ලකී ඩයස් කියන ඒ විශිෂ්ට රංගන ශිල්පියාගේ ස්වරය මාව රැගෙන ගියේ අතීතයට. කාලෙකට පස්සේ ඒ ආරිය සිංහල ඇඳුම ඇන්ද බලදේව මුණ ගැහෙන්න අපි ගියා ඔහුගේ නිවෙසට. ‘
මේ චරිතයෙන් මතු වෙන්නේ සේකරගේ චරිතය. ඒ නිසා රැවුල කපන්නම වෙනවා.’
පරාක්‍රම නිරිඇල්ල කිව්වේ ලකීව ඉහළ සිට පහළට නිරීක්ෂණය කරන ගමන්. සෝමවීර සේනානායකත් ඒ අදහස පිළිගත්තේ ඔළුව වනලා.
‘මට මේ චරිතය නොලැබුණත් ඒක නම් කරන්න බෑ.’
පරාක්‍රම නිරිඇල්ලත්, සෝමවීර සේනානායකත් මුහුණෙන් මුහුණ බලා ගත්තා. ඒ මේ ඉළන්දාරියාගේ කීමට. අන්තිමට මේ දෙන්න තීරණයකට ආවා. බලදේවගේ රැවුල නොකපන්න. බලදේවගේ මුහුණේ රැඳුණු ඒ රැවුල අද ලකීගේ මුහුණෙන් අතුරුදන්. එක කාලයක මුළු රටක්ම ආදරය කළ බලදේවගේ ඒ සිනාව නම් කාටවත් උදුර ගන්න බැරි වෙලා වගෙයි. කාලයක් බලදේව සර්ට ආදරය කළ අපට එහෙම සිතුණා.
‘ඉතිං බලදේව සර්’
ඔහුගේ සිනහව කට දෙකොනට විහිදුණා. ඒ සිනහවේ අපූරු කතාවක් හැංගිලා.
‘ළඟදි ලැබුණු සම්මානය ගැනවත්ද?’
‘පසුගිය දවස්වල තිබුණු සුමති සම්මාන උළෙලේදී මට ලැබුණේ ප්‍රශස්ථ ඇගයීම් සම්මානයක්. ඒ ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති කියන වැඩ සටහන මෙහෙයවීම සම්බන්ධයෙන්. මේ ලැබුණු ලක්ෂපති සම්මානය මට මෙතෙක් ලැබුණු සියලු සම්මාන අභිබවා ගිහින්. මගේ ජීවිතයේ ලොකුම සම්මානය බවට පත් වුණා කියලා කිව්වොත් නිවැරැදියි.
මම එහෙම කියන්නේ මෙතෙක් ලැබුණු බොහෝ සම්මාන මට ලැබිලා තියෙන්නේ රංගනයට, අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට කියන රංගනයට අදාළ කටයුතු සඳහායි. නමුත් මේ සම්මානය ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තක් සඳහායි.
ඒ කියන්නේ කවුරු හරි මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කළ දෙයකට තමයි මට මේ සම්මානය හිමි වුණේ. ඒ නිසා මේ ලැබුණු සම්මානය මට ජීවිතයටත් වඩා වටිනවා. ලක්ෂපති වැඩසටහන කරන කාලයේදී අසීමිත ජනප්‍රියත්වයක් වගේම වැඩිම පිරිසක් නරඹන වැඩසටහනක් විදියට අපි වාර්තාවක් තිබ්බා.
ඒත් මොකක්දෝ දෙයකට වගේ වැඩසටහනෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් අද ඒ තිබුණු තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. යන යන තැන හැමෝම අය මැසිවිලි නඟන්නේ ලකී ඩයස් නැතුව අපි මේ වැඩසටහන නරඹන්නේ නෑ කියලයි.
ඒක එක්තරා විදියක දුකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් නැතිවාම නෙවෙයි. මොකද ඒ නිසාම වෙන්න ඇති මගේ තිබුණු අගය තේරුම් ගත්ත ජූූරියක් මට මේ සම්මානය ලබා දුන්නේ.’
‘සිරස රූපවාහිනියේ විකාශය වුණු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩසටහනේ ඔබ දැන් නැහැ. ඇයි එහෙම වුණේ?’
‘ඒ ගැන අපි කතා නොකර ඉමු. මේ කොහොම වුණත් මේ සම්මානය ලබා ගැනීමට මට උදව් කළ අය බොහොමයක් මේ සම්මානය පිටුපස ඉන්නවා. අපි ඔවුන් පිළිබඳ කතා කරමු. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට මගේ ස්තුතිය පළමුව හිමි විය යුතුයි.
මොකද මේ වැඩසටහනට මාව යොමු කළේ ඔහුයි. ඒ වගේම මේ වැඩ සටහන ලෝක ප්‍රසිද්ධ වැඩ සටහනක්. එංගලන්තයෙන් පැමිණි ඒ පිරිස වැඩසටහන මෙහෙයවීමට මා තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ටත් මා ස්තුති කළ යුතුයි. වැඩසටහන මෙහෙය වීමේදී තිරය පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටියා. මගේ කටයුතු සොයා බැලීමට වෙනම පිරිසක් යොදවලා තිබුණා.
වෙරෝනිකා ඒ වගේම ධනුෂ්ක කියන සම අධ්‍යක්ෂවරයා, විරාජ් වැලිවත්ත කියන අධ්‍යක්ෂවරයා ඇතුළු හැම දෙනාම මතක් කළ යුතුයි. මේ සම්මානය පිටුපස ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් තිබෙන බව කියන්නේ මම බොහොම කැමැත්තෙන්. ඒ වගේම මට සම්මානයක් ලබා දුන්න ජුරිය නිවේදකයෙක් ලෙස මා ඇරැඹූ ගමනේ සාර්ථකත්වය සනාථ කළා. මගේ ස්තුතිය ඔවුන්ටත් හිමි විය යුතුයි.’
සම්මාන පිළිබඳ මතකයට නැඟෙන විට අපේ සිතට පිවිසෙන්නේ අපූරු සිද්ධියක්.
ලකී පුංචි තිරයට ආවට පස්සේ දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණේ ඔහුගේ දක්ෂතාව අගයලා. ඒ වගේම ජනප්‍රියත්වයට.
‘මේ සම්මාන මටම ලැබිලා කොහොමද?’
ලකී ඩයස් කියන මේ හිත හොඳ රංගන ශිල්පියා තීරණයකට ආවා. ඔහු ලියුමක් ලිව්වා. ඒ සුමති සම්මාන උළෙලේ නියාමකතුමාට, තිලංග සුමතිපාල මහත්තයාට.
‘මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාගේ නිර්දේශිත නාමයන්ගෙන් මම ඉවත් වෙනවා.’
රංගන ශිල්පියෙකුගේ ඒ වගේ කැප කිරීමක්.හැමෝටම එහෙම හිතුණා.
‘අදත් ජනප්‍රිය නළුවා, නිළියට සම්මාන ලැබෙනවා. මොකද හිතෙන්නේ?’
‘ඒක බොහොම කාලයකට ඉස්සර සිද්ධ වුණු දෙයක්. යශෝරාවයෙන් පස්සේ දිගින් දිගටම රඟපාන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබුණා. මේ රඟපෑ ටෙලි නාට්‍යවල මගේ රංගනයට දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණා. ඒ වගේ එක් අවස්ථාවකදී යළිත් මගේ නම ජනප්‍රිය නළුවාට නිර්දේශ වී තිබුණා. ඒ අවස්ථාවේ මම ඉල්ලා අස් වෙන බව කියමින් තිලංග සුමතිපාල මහත්තයට ලියුමක් ලිව්වා.
දිගින් දිගටම මට සම්මාන හිමි වුණොත් අනෙත් දක්ෂ රංගන ශිල්පීන්ට සම්මානයක් ලැබෙන්නට තිබෙන අවස්ථාව නැති වීම පිළිබඳ මගේ සිතට ඇත්තටම ඇති වුණේ දුකක්. මම නිසා ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියන හැඟීම ඇති වුණා. ඒ නිසයි ඔහුට එවැනි ලියුමක් ලියා ඉල්ලීමක් කළේ. ඒ අතීතයේදී. නමුත් අද මේ තත්ත්වය හොඳටම වෙනස්.
අද ඉන්න සමහර නළු නිළියෝ ජනපි‍්‍රය නළු නිළියෝ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන අය සල්ලි තියෙන වයසට ගිය ගැහැනියක් හරි මිනිහෙක් හරි අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ සල්ලිවලින් පත්තරවලට කූපන් දමලා, නැත්නම් එස්. එම්. එස්. ගහලා ලස්සන සූට් එකක් ඇඳලා අත් දෙක උස්සලා සම්මානයක් ගන්නවා. මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. ඒ මදිවට ලංකාවටම පෙන්නන්න හදනවා මම තමයි ජනප්‍රිය නළුවා කියලා. ඒ වුණාට ප්‍රධාන චරිතයක්වත් රඟපාලා නැහැ. අන්න එහෙමයි අද ජනප්‍රිය නළු නිළියන් වෙන්නේ.’
කොහොම වුණත් නීටා ඩයස්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව සඵල නොවුණත් ලකී ඩයස් ලංකාවේම ජනතාව ආදරය කරන විශිෂ්ට රංගධරයෙක් වුණා. ඔහු රංගනයට පිවිසි කාලයේ රඟපාන බවක් නිවැසියෝ දැනගෙන සිටියේ නැති තරම්. කොහොම වුණත් පුතණ්ඩියා වරින්වර වෙනස් කරන රැවුලත්, කොණ්ඩයත් ගැන ඉස්කෝලෙ හාමිනේට තිබුණේ සැකයක්. අල්ලපු ගෙදර හිටිය මනුස්සයා ලකී ඩයස් රඟපෑව වජිරා ච්ත්‍රපටය බැලුවා.
‘ඉස්කෝලේ හාමිනේ ලකී ඊයේ පොලිස් චරිතයක් කළා නේද? ඒකද අර රැවුල එහෙම වෙනස් කරලා තිබුණේ.’
‘එහෙනනම් ඉතිං එයා කියනවනේ’
ලකීගේ අම්මා ගත් කටටම කිව්වා. අල්ලපු ගෙදර කෙනාට ලකීව අඳුන ගන්න බැරි වෙලා. ලකී හෙමින් ගෙදරින් ගියේ ඒ කතාව ඇසෙන්නේ නැති ගානට.
එතැනින් පටන් ගත්ත ලකීගේ රංගන ගමන නිරූපමාලා, හිමි අහිමි, ඇබෑර්තුව, ඉරට හඬන මල්, අහිංසා, සිරිමැදුර, අවරගිර, අනුරාගයේ අනන්තය, මධු සමය ආදී නිර්මාණ ඔස්සේ පුංචි තිරය, රිදී තිරය දක්වා විහිදුණා. යශෝරාවයේ බලදේවගේ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. ඔහු වැනි තරුණයෙකුගේ රංගනය විශිෂ්ට බව කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිතර කිව්වා. එතැනින් පස්සේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ලකී ඩයස්ට ගෙනාවේ ශක්තියක්.
‘මගේ ජීවිතයේ ඊළඟ ගුරුවරු වුණේ ගාමිණී ෆොන්සේකා කියන විශිෂ්්ට නළුවා. ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ඔවුන් දෙදෙනාගෙන් මගේ රංගන ජීවිතයට ලැබුණු උපදෙස්වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. ඔවුන් දෙදෙනා මට රංගන පාසලක්.’
‘සුවඳ ඔබයි අම්මේ’, ‘සිව් දිය දහර’ වගේ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පමණක් සීමා වී සිටි ඔහු අධ්‍යක්ෂණයටත් පිවිසියා. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කාලයක් ඔහුගේ ජීවිතය වුණා.
‘කාලයකින් ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයක් අපි දුටුවේම නැහැ.’
‘අලුතින් මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නෑ. ඒ අද ටෙලි නාට්‍ය කලාව බල්ලට ගිහින් නිසයි. ඒවායේ ගත යුත්තක් නෑ. අද චැනල්වලින් ගෙවන ගණන්වලට ටෙලි නාට්‍ය කරන්න බෑ. ටෙලි නාට්‍යවලට ගෙවන්න බැරි හේතු තිබෙනවා. ඒ ලංකාවේ වී ඇටය ද වැලි ඇටය ද දිනෙන් දින සත 50 කින් රුපියලකින් ඉහළ යද්දී කලාව විතරක් දහස් ගණනින් බාල්දු වෙන නිසයි.
මොකද තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න, තමන්ගේ සාක්කුව පුරව ගන්න අම්මා මුත්තත් විකුණන හැදිච්චකමක් නැති මිනිස්සු කලාවට ඇවිල්ලා. කිසිම ප්‍රමිතියක් නැති, කිසිම කතාවක් නැති, මුළු දරු පරපුරම විනාශයට ඇද දමන දේ තමයි මේ නාට්‍යව ලින් පෙන් වන්නේ. මේ නිර්මාණවල තිබෙන භාෂාව අන්තිමයි. මේ නාට්‍යවල තිර පිටපත් ලියන බොහෝ අය තමයි මේ වරද කරන්නේ. ඒ අය සමාජ අධ්‍යයනය කරලා නෑ. අයන්න, ආයන්නවත් ලියා ගන්න බැරි අය තමයි අද පිටපත් ලියන්නේ.
මේවා ලියන්න අනුබල දෙන්නේ කවුද නිෂ්පාදකවරු. ඒ බහුතරයේ ඉන්න නිෂ්පාදකවරු වෙන්නේ පාන් බේකරි කාරයෝ, අරක්කු තැබෑරුම් කාරයෝ. එහෙම නැත්නම් අධර්මිෂ්ටව මුදල් හොයා ගත්ත අයයි. ඔවුන් නිර්මාණයන්ට තම මුදල් යොද වන්නේ කලාවට තිබෙන ආදරය නිසාවත්, කලාකරුවන්ට තිබෙන ආදරය නිසාවත් නෙමෙයි. වෙන වෙන දේ බලාපොරොත්තුවෙන්.
ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කොහොම වුණත් මේ අතර හොඳ නිෂ්පාදකවරු, හොඳ පිටපත් රචකයන්, හොඳ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අය පිළිබඳ නෙමෙයි මා මේ කතා කළේ. අනිත් අය පිළිබඳයි. කලාව කියන්නේ උත්තරීතර ගෞරවනීය දෙයක්. ඒක ඔවුන් විනාශ කරනවා. මේක හරිම ඛේදවාචකයක්.’
කවුරු හරි ඇහුවොත් එහෙනම් ඔබත් මේ ටෙලි නාට්‍ය රඟපානවා නේද කියලා?
‘එහෙම නොවුණොත් අපේ ගෙදර බත් කන්නේ කොහොමද? මම ජීවත් වෙන්න සමාජ විරෝධී දේවල් කරන්නේ නෑනේ. කන්න, බොන්න, අඳීන්න, ගමනක් බිමනක් යන්න, යාළුවෙක් හමු වෙන්න, අසරණයකුට සලකන්න ඕන. මේ හැම දේටම මුදල් අවශ්‍යයි.
මුදල් හම්බු කරන්න මට සමාජ විරෝධී දේවල් කරන්න බෑ. අනිත් කාරණය තමයි මේ ටෙලි නාට්‍යවලට කතා කරන කොට කියන්නේ නෑනේ මේ ටෙලි නාට්‍යයට කතාවක් නෑනේ කියලා. මේක ලියන කෙනාට ලියන්න බැහැයි කියලා කියන්නේ නෑ.
ටිකක් දුර යන කොටනේ දැනෙන්නේ රේල් පීල්ල පැනලා කියලා. මගේ ගෙදරත් බත් කන්න ඕන නිසා රඟපානවා. සල්ලිවලට. මම මෙහෙම කියන්න ලැජ්ජා වෙන්නේ නෑ. පස්සේ හිතෙනවා සල්ලිවලට වුණත් මගේ ආත්මය පාවලා දෙන්න පුළුවන් ද? ඊට පස්සේ දමලා ගහලා යනවා.
මේ දවස්වල ඔබ අලුත්ම ටෙලි නිර්මාණයකට දායක වෙලා නේද?
‘ඇත්තටම කාලෙකට පස්සේ කරන හොඳ ටෙලි නාට්‍යයක්. මම වගේම මේ ටෙලි නාට්‍යයේ සබීතා, දිල්හානි, නිමන්ති, කාංචනා වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් රඟපානවා. මෙහි නිෂ්පාදිකාව කලාවට යමක් කිරීමට උවමනාව තිබෙන නෝනා මහත්මියක්. අධ්‍යක්ෂණය කරන්නේ සාරංග මෙන්ඩිස් කියන තරුණ අධ්‍යක්ෂවරයා. ඔහුත් හොඳ නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්.
‘මේ දවස්වල බොහොම කාලයකට පෙර රූගත කළ ‘අකුණු සැර’ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.27 ට විකාශය වෙනවා.
එහි මා රඟපාන්නේ විලී කියන දාමරික මනුස්සයකුගේ චරිතයක්. සරම් කෝට් අඳින මේ චරිතය ඔස්සේ මගේ රඟපෑමේ වෙනසක් දැකිය හැකියි.’
ඔහුගේ වේගවත් හඬ ගලා යන්නේ වේගවත් සැඩ පහරක් වගේ. කියන්නට තියන දේ කෙළින් කියන ඔහු අපූරු හිත හොඳ මනුස්සයෙක්. දයාබර මවකට දයාබර පුතෙක්.
‘ඒ පුතා ගැන අම්මා අද ගොඩක් ආඩම්බර වෙනවා.’
ලකී ඩයස් නම් ඒ විශිෂ්ටයා සිය මව්ගේ මතකය අතර සිර වෙලා. මේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ ඔහුට හොඳ නිර්මාණයකින් , අධ්‍යක්ෂණයකින් අප අතරට පැමිණෙන්නට අවකාශය හිමි වේවා යන්න සරසවියේ අපගේ ප්‍රාර්ථනයයි.

Friday, December 2, 2011

අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින්

සිංහයෙකුගේ පුනරාගමනය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මා නැරඹු වාර ගණන පිළිබඳ මට හරි මතකයක්‌ නැත. වසරකට නොව, මසකට දෙතුන් වතාව එය නැරඹු අවස්‌ථා ද ඇති බව නම් මට මතකය.

ඒ සෑම වතාවකම මා මවිතයට හා පරමානන්දයට පත් කළ නාටකීය චරිතය සිංහයා ය. මා සිංහබාහු රස විඳින කාලය වන විට සිංහයාගේ චරිතයට සිය අසමසම රංගන ප්‍රතිභාවේ අන්තිම බින්දුව දක්‌වා නිර්ලෝභීව කැප කළ අසහාය රංගධරයා වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත්ය.

ජය ශ්‍රී චන්ද්‍රජිත් නම් වේදිකා නාට්‍ය රංගනවේදියා මගේ හදවතේ ගැඹුරුම තැන අරක්‌ගත්තේ සිංහයා චරිතය නිසා ය. ඉන් පසුව ඔහුගෙන් මා දුටු අශෝක හඳගමගේ 'මාඝාත' ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'මකරාක්‍ෂයා' වැනි නාට්‍යවල අති විශිෂ්ට රඟපෑම් ඔහුව තව තවත් මා හද පතුලේ පැළ පදියම් කර තැබුවේය. ඒ හැරුණු විට වේදිකාවේ සිට ඔහු මා ආමන්ත්‍රණය කළ තව තවත් ලොකු කුඩා චරිත බොහෝ ය.

කාලයාගේ ඇවෑමෙන් ඔහු ඔස්‌ටේ්‍රලියාවේ පදිංචියට ගියේය. එදා පටන් අද දක්‌වා මා තවම සිංහබාහු නාට්‍ය නරඹා නැත. එදා ඔහු පෙන්නුම් කළ රංගන පෞරුෂය එතෙක්‌ මෙතෙක්‌ කාලය තුළ වේදිකාවේ කවර නළුවෙකුගෙන්වත් මා නම් දුටුවේ නැත.

එහෙත් පසුගිය දවසක හැන්දැ වැරුවේ හදිසියේම මම සිංහයා දුටුවෙමි. දවස ඉකුත් 22 වැනි අඟහරුවාදා ය. තැන කොළඹ බොරැල්ලේ ඊ.ඒ.පී. අවන්හලේ වායු සමනය කළ ශාලාවයි. මමත්, ලංකාවේ කලාව සාහිත්‍යය ගැන ලියන පත්තරකාරයෝ පිරිසකුත්, කලාකරුවෝ පිරිසකුත් එතැනට එක්‌ව සිටියේ ලබන මස අලුතින් අපට දක්‌නට ලැබෙන අලුත් වේදිකා නාට්‍යයක්‌ ගැන කතා බහ කරන්නටය. ඒ කතා බහේ ප්‍රධාන නළුවා වූයේද ජය ශ්‍රී චන්ද්‍රජිත් ය.

රාත්‍රිය තව තවත් අඳුරු වන විට භාවයන් සියුම් වූ සැවොම පැරැණි නාට්‍ය ගීතවල රස බලන්නට ද වූහ. සුපුරුදු කේසර සිංහයා යළි කරළියට ආවේ ඒ මොහොතේ ය.

ජය ශ්‍රී සිය හැඟුම්බර ස්‌ථාවර ගරු ගාම්භීර කටහඬ අවදි කරමින් සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ගීතය ගයන්නට පටන් ගත්තේය. සුපුරුදු සිංහයා දෑත් දෙපසට විහිදමින් උරහිස්‌ අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින් ඒ ජවසම්පන්න ගීය හැඟුම්බර ලෙස ගයනු දුටු මම ගල්ගැසී බලා සිටියෙමි. චන්ද්‍රසෝම බින්දුහේවා නිවැරැදි තාල නාද තබමින් ඩොලැක්‌කියක්‌ මද්දලය ලෙස වාදනය කරන්නට පටන් ගත්තේය. සංගීත ශිල්පී නවරත්න ගමගේ බලා සිටියේය. නලින් ප්‍රදීප් උඩවෙල නිලන්ති හීන්දෙණිය, µර්නි රෝෂණී, සුදර්ශන බණ්‌ඩාර, රංජිත් නාඔටුන්න, ආදීහු අත්වැල් ගායනා කරන්නට වූහ.

ගල්ලෙන බිඳලා ගීතය අතිශය හැඟුම්බරව සිංහයාගේ වැළපිල්ල දක්‌වාම ගායනා කරමින් ජය ශ්‍රී අංග වින්‍යාසය පෑ අපුරුව බලා සිටියේ මා පමණක්‌ නොව. ඊ.ඒ.පී. අවන්හලේ තැන් තැන්වල මධුවිත තොල ගාමින් සිටි බොහෝ දෙනෙක්‌ ඒ වන විට පැමිණ විදුරු බිත්ති අතරින් එබි එබී සිංහයාගේ වැළපිල්ල රස විඳින අයුරු මම දැක ගත්තෙමි.

සිංහයා යළිත් ලංකාවේ වේදිකාවට පුනරාගමනය කර ඇතැයි මට සිතිනි. අතීතයේ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ වේදිකාව මතින් ඇසුනු සිංහයාගේ වැළපිල්ලම වසර ගණනාවකට පසු යළිත් සජීවී ව අසා මා මන් මත් කළ ආශ්වාදය මෙසේ ලියා තබන්නට මා පෙළඹවූ බව කිව යුතුය.

අපි එදා එසේ එක්‌ රැස්‌ වූයේ ද ජයශ්‍රී චන්ද්‍රජිත් නිර්මාණය කර නිෂ්පාදනය කරන අලුත් නාට්‍යයක්‌ ගැන කතා බහ කරන්නටය. නාට්‍ය "උමතුසං වරුසාව" ය. සෝමපාල ගුණධීරයන්ගේ පිටපතක්‌ ඇසුරින් පද්මසීල ද සිල්වා අධ්‍යක්‍ෂණය කර 1973 දී මුල්වරට වේදිකාගත කළ උමතුසං වරුසාව එදා නොමද ප්‍රේක්‍ෂක සම්භාවනාවට බඳුන් වූ උසස්‌ නාට්‍යයකි. ජය ශ්‍රී ගේ පළමු නාට්‍ය අධ්‍යක්‍ෂණය ලෙස දොරට වඩින මෙම නාට්‍යය උමතුසං වරුසාවේ දෙවන නිෂ්පාදනයයි.

උමතුසං වරුසාවේ මංගල දැක්‌ම දෙසැම්බර් 7- 8 දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත වන්නේ සිංහල වේදිකා නාට්‍ය කලාවේ සිංහයාගේ අලුත් පුනරාගමනයක්‌ සමඟ බව නිසැකය.
බුලිත ප්‍රදීප් කුමාර

හැම දේටම වඩා මට වටින්නේ මගේ පවුලයි

සුනීතා විමලවීර

‘ගර්ලි නෝනේ . . . ගර්ලි නෝනේ’
ගර්ලිගේ නැන්දම්මා නිතරම ඇයව ඇමතුවේ එහෙමයි. මේ නම කොයි තරම් ජනපි‍්‍රය වුණාද කිව්වොත් ‘අමන්දා’ නරඹන හැමෝම වගේ ඈට ආමන්ත්‍රණය කළේ මේ නමින්මයි.
මෙන්න බොලේ ගර්ලි නෝනේ ගේට්ටුවෙන් මතු වුණා.
‘එන්න . . . එන්න, මම මේ මඟ බලාගෙන තමයි හිටියේ.’
හඳක් වගේ මුහුණේ හිනාව පිිරිලා ඉතිරිලා. නපුරුකම පේන්නවත් නැහැ.
‘බය වෙන්න එපා. මම ඔය නාට්‍යවල ඉන්න තරම් නපුරු කෙනෙක් නම් නෙමෙයි.’
ඈ කිව්වේ අපේ සිත ඉවෙන් මෙන් වටහා ගෙන වගේ. ඇගේ කියමනට නම් හිනා නොවී බැහැ. අපේ සිනා හඬ ඇහිලා දුවගෙන ආවේ ගර්ලිගේ බාලම පුතා.
‘දිවාන් ප්‍රේමතිලක
ඔබගේ ආදරය හිමි වෙලා තිබෙන සුනීතා විමලවීරට පුතාලම දෙන්නෙක්. ලොක්කා පවන් ප්‍රේමතිලක එයා නම් පේන මානයක නහැ.
‘මේ දෙන්නම ඉතිං හරිම දඟයි. දෙන්නාගේ රණ්ඩු බේරලා මට නිදහසක් නැති තරම්. ඇහෙනවා නේද ටී. වී. එකේ සද්දේ. ලොකු පුතා කාටුන් බලනවා. චුට්ටා නම් මගේ ඇඟේ එල්ලුණ ගමන්. මේ පේනේ නැද්ද?’
අම්මගේ ඒ කියමන ඇහුණ විතරයි චුට්ටා අපට නොපෙනෙන්න මූණ හංග ගත්තා.
‘ ‘අමන්දා’ කියන්නේ අවුරුදු පහ හයකට පස්සේ මම රඟපෑ ටෙලි නාට්‍යය තමයි. ඒත් ටික කාලයක් පුතාලා දෙන්න නිසා මම හිටියේ බොහොම නිහඬවයි. පුතාලා දැන් තරමක් ලොකුයි. මේ අතරෙදි තමයි අමන්දා ටෙලි නාට්‍යයට මට කතා කරන්නේ. මේ චරිතය රඟපාන්න භාර ගන්නා අවස්ථාවේ මට ඇති වුණේ බියක්. අවුරුදු කීපයක්ම ගෙදරට වෙලා හිටිය නිසා නරඹන්නන්ට මාව මතක ද කියන ප්‍රශ්නය මට ඇති වුණා. ඒත් ටික දවසයි ගත වුණේ. ගර්ලිට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ මම පුදුමයට පත් වුණා.’
නිපුන් පුතා දුවලා ගියේ අයියා හොයාගෙන.
‘මේ දෙන්න වාගේම නලින්ගෙන් තොර ලෝකයක් මට නැහැ. පුතාලා දෙන්නගේ හිනාව, කතාබහ අපේ හිත්වලට සතුට ගේනවා. ඒ විතරක් නෙමෙයි, අපේ පවුල සුන්දර කරන්නෙත් මේ දෙන්නා. පුතාලා දෙන්නගෙන් මිනිත්තුවක්වත් ඈත් වෙලා ඉන්න මට හිතක් නැහැ. මම උදේට රූගත කිරීම්වලට සහභාගි වුණත් ගෙදර එන වෙලාව එනකම් මම ඉන්නේ ඇඟිලි ගැන ගැන. කොහොමත් දුර පළාත්වල රූපගත කරන ටෙලි නාට්‍යවලට මම සහභාගි වෙන්නේ නැහැ. කොළඹ අවට රූගත කිරීම් තිබෙන ටෙලි නාට්‍යයකට විතරයි රංගනයෙන් දායක වෙන්නේ. ඒත් එක ටෙලි නාට්‍යයක වැඩ සම්පූර්ණයෙන්ම අවසාන වෙනකම් තවත් එකක් භාර ගන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් මට පුතාලා දෙන්නා ළඟ ඉන්න කාලය නැතිව යනවා. ඒ හැම දේකටම වඩා මට වටින්නේ මගේ සුන්දර පවුලයි.’
ඈ මේ කියන අතරේ සාලයේ නොපෙනෙන කොණක සිටින පුතාලා දෙන්නගේ පැත්තට එබිලා බලනවා. ලොක්කත්, චුට්ටත් එක පාරටම ස්පයිඩර් මෑන්ලා විදියට වෙස් අරගෙන
‘අම්මේ මේ ලස්සනද?’
‘අම්මේ මේක අලවන්නකෝ’
දෙන්නාගේ කතා ගොඩයි. නිතරම දුවන්නේ අම්මා ළඟටමයි.
‘මේ ගෙදර හැම කටයුත්තක්ම කෙරෙන්නේ මගේ දෑතින්. නිවෙස අස්පස් කරන කටයුත්තේ ඉඳලා උයන පිහින කටයුත්ත දක්වා හැම දෙයක්ම මම කරන්නේ හරිම ආසාවෙන්. විශේෂයෙන්ම කෑම සකස් කරන කොට පුතාලා දෙන්නගේ කැමැත්තට තමයි මුල් තැන හිමි වෙන්නේ. ඒ නිසා ඔවුන් කන්න කැමැති කෑම නිතර නිතර හදන්න මා උත්සාහ කරනවා. නලින් කොහොමත් කන්න කැමැති ගමේ කෑමවලට නිසා මට විශේෂයෙන් මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පුතාලා දෙන්නාටත් ඒ කෑම ටිකෙන් ටික හුරු කරන්න අපි වග බලා ගන්නවා. මේ දෙන්නගේ වැඩේ ඉතින් ගේ හැඩි කරන එකයි. මගේ වැඩේ ගේ අස්පස් කරන එකයි.’
මේ කොයි තරම් කාර්යබහුල වුණත් සුනීතා සුන්දර බිරිඳක්. මවක්. ඈ තවත් ලස්සන වෙලා.
කොහොමද ඔය තරමට ලස්සනට ඉන්නේ?
මා විමසුවේ ඒ රහස දැනගන්නා අටියෙන්.
‘විශේෂ දෙයක් කරන්න මට වෙලාවක් නැහැ. විශේෂ අවස්ථාවලදී පුංචි මේකප් එකක් කරනවා ඇරෙන්න ගෙදර ඉන්න වෙලාවට ලස්සන වෙන්න කියලා මම කිසිම දවසක රූපලාවන්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ. ගමේ කෑම ටිකක් හොඳට කාලා නිවිහැනහිල්ලේ විවේකයෙන් දවස ගෙවන නිසාදෝ මම තවම ලස්සනයි කියලා බොහෝ දෙනා කියනවා.’
‘අපූරු කුරුළු ජෝඩුවක්. පැටව් දෙන්නත් හරිම අපූරුයි.’
මේ සුන්දර පවුල දකින බොහොම දෙනෙක් දරන අදහසක්.
‘විවාහ වෙන්න ලේසියි. ඒත් ඒක පවත්වා ගෙන යන්න තමයි අමාරු. නිකරම ප්‍රශ්න ගොඩක්. අඳින්න, කන්න ගියත් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වගේම දෙන්නාට දෙන්නා හඳුනා ගැනීම හා ගරු කිරීමත් හරිම වැදගත්. ඒ තුළයි පවුල රැකෙන්නේ. මේ හැම කටයුත්තකටම නලින්ගෙන් ලැබෙන සහයෝගය හරිම අපූරුයි. එයා අංග රචනා ශිල්පියෙක් වුණත් ඔහුගෙන් ලැබෙන ඒ සහයෝගය අපේ පුංචි පවුලට ගේන්නේ සුන්දරත්වයක්.’
ආයෙත් පුංචි උන් දෙන්නා අම්මාව වට කරගෙන. ලොක්කා අතේ කතා පොතක්.
‘අම්මේ පුංචි සුරංගනාවිගේ කතාව කියලා දෙන්න.’
‘දැන් ඉතිං මට බේරුමක් නෑ’
මේ සුන්දර ලෝකයට පිවිසෙන ඔවුන්ගේ ලෝකයට ඉඩ දෙමින් අපි ඔවුන්ගෙන් සමු ගත්තේ සතුටින්.

Thursday, December 1, 2011

ඒ නම් අපේ බල්ලා

මෙ වර අපේ කතා නායකයා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර තුනේම හපන්කම් පෑ නළුවකු වූ නමුදු, ඔහුගේ කීර්තිය වඩාත් පැතිර ගියේ වේදිකාව මත ඔහු පෑ ප්‍රතිභාව හේතුවෙනි.
මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ප්‍රධාන ගෝලයකු වූ හේ සරච්චන්ද්‍රයන් ප්‍රධාන මෙරට බිහි වූ බොහෝ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ කීර්තිමත් නිර්මාණ රැසක ප්‍රමුඛ භූමිකාවන්ට පණ පෙවීය. ඒ අතරතුර නාට්‍ය නිෂ්පාදනයට ද පිවිසි හේ මේ වන විට සාර්ථක නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළ ප්‍රවීණයෙකි.
දිනක් ප්‍රසිද්ධ නාට්‍යයක් සඳහා කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශයකට ගිය හේ අතුරු සිදුරු නැතිව පිරී ගිය 6.30 දර්ශනයෙන් පසු නාට්‍ය සංවිධායකයන් රාත්‍රී භෝජනයට පෙර පැවැත් වූ සුහද සාදයේදී මධු බඳුන් කීපයකම රස බැලුවේ නාට්‍ය ගීත කීපයකින් එහි සිටි රසිකයන් ප්‍රබෝධමත් කරමිනි.
රාත්‍රී කෑමෙන් පසු බස් රථයට ගොඩ වූ අප කතා නායකයා තම සහෝදර නළු නිළියන් සමඟ එහිදී ගීතයක් දෙකක් ගැයුව ද ගමනාරම්භ කොට වැඩිදුරක් යාමට මත්තෙන් තම අසුන මත දිගා වී නින්දට වැටුණේ ‘මත’ වැඩිකමටය.
නාට්‍යකරුවන් රැගත් බස් රථය කොළඹට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ඉක්ම ගොස් හෝරා දෙකක් පමණ ගෙවී ගොස් තිබිණි. තැන තැන ශිල්පීන් රැසක් බැස්සවීමෙන් අනතුරුව බස් රථය කොළඹින් කිලෝ මීටර් හත අටක දුරකින් පිහිටි ප්‍රාදේශීය නගරයක් බලා පිටත් වූයේ තද නින්දකට වැටී සිටි අප කතානායකයා නිවසට හැරලීම පිණිසය.
නගරයේ කඩමණ්ඩිය පසු කොට මඳක් දුර ගොස් අතුරු පාරකට හැර වූ බස් රථය නාට්‍ය කණ්ඩායමේ ශිල්පියකුගේ මඟ පෙන්වීම අනුව එක් නිවෙසක් අසළ නතර විය. එම ශිල්පියා අප නළුවා වෙත ගොස් ඔහුගේ ඇඟට අත තබා මෙසේ කීවේය.
‘අයියේ ඔන්න ගෙදරට ආවා. දැන් බහින්ඩ.’
අප කතා නායකයා ඔහුගේ බසින් අවදි වන බවක් නොපෙනුණ බැවින් නාට්‍යයේ තවත් නළුවකු තම සගයා පසෙකට කොට නිදා සිටි නළුවා වෙත කිට්ටු කළේය.
‘ඒයි මචං, මේ අපි ඉන්නෙ උඹලගෙ ගේ දොරකඩ, ඉක්මනට බැහැපං. අපි ගෙදර යන්ඩත් එපායැ.’ ඔහු අපේ නළුවා සොලවමින් උස් හඬින් කීවේය. එහෙත් අපේ කථා නායකයා අවදි වන බවක් නොපෙනිණ.
මේ අතර නිවසේ අය අවදි වී ලයිට් දමා නිවසේ ප්‍රධාන දොර විවෘත කරනවා පෙනුණි. එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් වූ අපේ නළුවා දෑස් පිස දමමින් තම නිවෙස දෙස බලා, ‘මේ අපේ ගෙදර නෙමෙයි’ යනුවෙන් පවසා නැවතත් දිගා වී නිදන්නට විය.
මේ කලබලයට අප නළුවාගේ බිරිය නිවසේ ප්‍රධාන දොරෙන් මතු වී ඉදිරියට පැමිණ ගේට්ටුව හැර බස් රථය දෙස බලා සිටින්නට විය. ඒ බැව් දුටු එක් නාට්‍ය ශිල්පියකු අපේ කතා නායකයා වෙත ගොස් ඔහුගේ උරහිසට තට්ටු කොට මෙසේ කීවේය.
‘මචං මේ උඹලගෙ ගෙදර තමයි. අර උඹේ වයිෆ් බලා ඉන්නේ උඹ බහිනකං.’
අපේ නළුවා ආයෙත් නැඟිට සිටියේය. ඇස් පිස දමා තම නිවසේ ගේට්ටුව දෙස බලා ‘ඒ මගෙ ගෑනි නෙමෙයි’ යනුවෙන් පවසා හේ නැවතත් නිදන්නට විය.
මඳක් ඇල වෙන්නට හැකි තරම් ඉක්මනින් තම නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසු වූ සෙසු ශිල්පීහු කර කියා ගත හැකි දෙයක් නොමැතිව බලා සිටිද්දී අප නළුවාගේ නිවසේ සුරතලයට ඇති කළ බල්ලා මහ හඬින් බුරමින් ගේට්ටුව ළඟ කැරකෙන්නට පටන් ගත්තේය.
ඒ හඬින් අපේ නළුවා නැවත වරක් කෙළින් වූයේය. හොඳින් ඇස් පිස දමා තම නිවෙස දෙස බැලූ හේ ‘ඒ නම් අපේ බල්ලා!’ යනුවෙන් මහ හඬින් කියා තම බෑගය ද කරේ රුවා ගෙන බස් රථයෙන් බැස්සේය.

Tuesday, November 29, 2011

Outdoor Trailer එකක් සහිත ලංකාවේ පළමු වේදිකා නාට්‍යය - දොලහක් 12

මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම් ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොට දැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්... නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්‍යයක පෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...

ලංකාවේ අපිට නම් වේදිකා නාට්‍යයකට Trailer එකක් නිකුත් කිරීම තවමත් තරමක අළුත් අත්දැකීමක්...! කොහොම වුනත් අන්තර්ජාල තාක්ෂණයේ උදව්වත් අරගෙන අපේ වේදිකා නාට්‍ය කලාව අළුත් මානයකට යන එක ගැන නම් සතුටුයි. මේ වටිනා කලා මාධ්‍යය සජීවීව පවත්වා ගන්නට සිය නිර්මාණ දායකත්වය දෙන සම්පත් දායකයන් අතරින් කැපී පෙනෙන නාමයක් ලෙස අතුල පතිරණ හඳුන්වා දෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නාට්‍ය බොහෝමයකට දායක වූ ඔහු හොඳ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්...! ජනප්‍රිය වගේම කුසලතා පූර්ණ රංග ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් නිමවුනු දොලහක් 12 නමින් හඳුන්වන නවතම වේදිකා නාට්‍යය සඳහා තමයි ඉහත කියූ පෙරදැකුම (Trailer) සකස් කර තිබෙන්නේ. තරමක් වෙනස් කථා තේමාවක් සහිත, ප්‍රේක්ෂක කුතුහලය කුළු ගන්වන සුළු අපූර්ව වේදිකා නාට්‍ය නිර්මාණයක් ලෙසින් මේ ප්‍රයත්නය හඳුන්වා දෙන්න පුළුවන්.


Read more: http://chathucn.blogspot.com/2011/11/outdoor-trailer-12.html#ixzz1f7IOtqRw
Under Creative Commons License: Attribution Non-Commercial No Derivatives

12 'Dholahak'

12 'Dholahak'
Directed by Athula Pathirana


Wishvajith Gunasekera, W. Jayasiri, Lakshman Mendis, Dharmapriya Dias,
Chamindasampath Jayaweera, Thumindu Dodanthenne, Jagath Manuwarna
Pujitha De Mel, Sanjaya Hettiarachchi, Gihan De Chickera,
Saman Pushpa Liyanage, Gamini Wijesinghe & Dayadewa Edirisinghe





Thursday, November 10, 2011

Journalist covering the murder on the 12th Attacked!!!

Journalist covering the murder on the 12th Attacked!!!

For the full story visit Page 12



Friday, November 4, 2011

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි


ඈ ළෙන්ගතුය. ඒ ළෙන්ගතුකම සමඟ නැඟෙනා සිනාව කොතරම් සොඳුරුදැයි මට ඇය දුටු මොහොතක සිතට නැඟිණි.
‘දමයන්ති ෆොන්සේකා’
ඕ ඒ සුපුරුදු ළෙන්ගතුකම ද පුරවාගෙන සොඳුරු සිනහවෙන් අප පෙර මඟට ආවාය.
‘ආ . . . ඉතිං කොහොමද?’
ඇගේ ස්වරය ද ළෙන්ගතුය. මේ දවස්වල පුංචි තිරයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙන් සතියේ දින පහ පුරාම ඔබගේ නිවෙසට පැමිණෙන ඈ දිගු කලකට පසුව අප සමඟ සුහද කතාබහකට මුල පිරුවාය.
‘මම කොහොමත් අවුරුද්දකට දීර්ඝ ටෙලි නාට්‍යයකට වඩා රඟපාන්නට බාර ගන්නේ නැහැ. එක ටෙලි නාට්‍යයක රඟපාද්දී කොයි තරම් ටෙලි නාට්‍යවලට ආරාධනා තිබුණත් ඒ වැඩ කටයුතු භාර නොගන්න නිතරම මම ප්‍රවේශම් වෙනවා. සමහර අවස්ථාවලදී දීර්ඝ නොවන ටෙලි නාට්‍යයක වැඩ කටයුතු වුණත් භාර ගන්නේ අනෙක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කරදරයක් නොවෙන්නයි. ඒ වගේ අපූරු ටෙලි නාට්‍යයක් මට පසුගිය දිනවල ලැබුණා. ඒක වලව්වක කතාවක්. මව්පියන් අහිමි වීමෙන් පස්සේ වතුපිටි සියල්ල පාලනය කරන, බොහොම සමානාත්මතාවයෙන් කටයුතු කරන තරුණ කාන්තාවකගේ චරිතය මගේ රංගනයට අපූරු වෙනසක් එක් කරාවි. මේ දවස්වල විකාශය වන ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙහි මම රඟපාන චරිතයත් වෙනස්ම චරිතයක්.’
‘කාර්ය බහුලත්වයට බොහොම අකැමැති වගෙයි.’
අපට ඉබේම සිතිණි.
‘එක ටෙලි නාට්‍යයක රූගත කිරීමකින් තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට මාරු වෙන්න මම කැමැති නැහැ.’
ඈ සිය අප්‍රසාදය පළ කරන්නීය. මේ විදිහට කටයුතු කිරීමෙන් ලැබෙන විවේකය ගෙවෙන්නේ කොහොමද?
මගේ සිතට නැගුණේ පැනයකි.
‘ලැබෙන විවේකයේදී කරන්න වැඩ කටයුතු ඕන තරම් පෙළ ගැසිලා. ඒ වෙලාවේදී ගෙදර දොර කටයුතු වගේම ඉවුම් පිහුම් කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. ඒකෙන් කියන්නේ සියයට සියයක්ම මම සාම්ප්‍රදායික බිරිඳක් කියලා නෙමෙයි. සාම්ප්‍රදායික බිරිඳකගෙන් ඉටු විය යුතු යුතුකම් කරන්නට පුළුවන් හැම වෙලාවකම මම ඒ දේ කරනවා.’
මේ බිරිඳ සමහර වෙලාවට ගෘහණියකි. එවිට මුළුතැන්ගෙට වෙන ඇගේ අතින් පරිප්පු හොද්දක්, අල බැඳුමක් රසට පිසෙයි.
‘උයන එක කලාවක්. මේසය උඩ සියලුම ආම්පන්න ටික පිළිවෙළට තියලා එළවළු එහෙම කලාවට කපලා උයන්න මම කැමැතියි. මට රසට උයන්න පුළුවන්. එහෙම කිව්වම මට මතක් වෙන්නේ මගේ අම්මා. මොකද මේ විදියට රසට උයන්න පුළුවන් වුණේ ඈ පුංචි කාලයේදීම අපව ඒ පැත්තට නැඹුරු කළ නිසාමයි. මම කැමැති පරිප්පුවලටයි. ප්‍රසන්න කැමැති අලවලටයි. පැණි රසට ප්‍රසන්න ගොඩක් කැමැති වෙන කොට මම කැමැති කඩචෝරුවලටයි. මේ හැම දෙයකටම උදව් වෙන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට නැහැ. ඒ නිසා ලැබෙන පිළිවෙළට මම කටයුතුª කරන්නට පුරුදු වෙලා. මමත්, ප්‍රසන්නත් කලා කටයුතුවල නිරත වෙන නිසා අපි දෙන්න ගැන අපි දෙන්නට තියෙන්නේ හරිම අවබෝධයක්. ඒ අවබෝධය අපේ පවුල ලස්සන කරනවා.’
ඒ වගේම දමයන්ති ගෙවිලියකි.
‘අපූරුවට වැවුණු නිවිති වැලක්.’
කොළ පැහැයෙන් බබළන සරුවට වැවුණු නිවිති වැල ඇගේ දෑතේ පහස ලැබුණු බවට සාක්ෂියකි.
‘තරුණ කාලේ ඉඳලම මම හරිම කැමැතියි වගා කරන්න. මේ නිසාම මගේ ගෙවත්තේ රම්පේ, කරපිංචා, මිරිස්, ඉඟුරු වගේම රාබු, නිවිති කියන එළවළුත් තියෙනවා. ඊට අමරතව නමිනං, කටුආත, දොඩම්, අඹ වගේ පලතුරු ගස්වලින් අපේ වත්ත හැඩ වෙලා. මේ දවස්වල වම්බටු, තක්කාලි, දඹල වගේ එළවළු සිටවන්න මම සූදානම් වෙනවා.’
චුට්ටක්වත් කම්මැලි නැති දමයන්ති මේ සියලු කටයුතු අතර හොඳ චිත්‍රපටයක්, දෙකක් බලන්නීය. හොඳ පොතක් කියවන්නීය.
ඈ අත පොතකි.
‘මම මේ දවස්වල කවි කඳුර කියවනවා.’
ඒ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද සුනේත්‍රා රාජකරුණානායකගේ කවි කඳුර කෘතියය.
ඈ කවි කඳුර පොත පෙරළන්නීය.
ඇයට බාධා නොකළ යුතුය. අපි ඒ සොඳුරු කැදැල්ලෙන් පිට මං වීමු.
දමයන්ති තවමත් කෙල්ල වගෙයි. ඈ දකින බොහොම දෙනෙක් මෙහෙම කියන්නට ඈ ළඟ සැඟවුණු රහස මොකක්ද? අපි ඇගෙන් විමසුවෙමු.
‘රංගන ශිල්පිනියක් විදියට මමත් පුංචි මේකප් එකක් දමනවා. ඒ වුණත් මේකප් එක තැනේ හැටියට වෙනස් වෙනවා.
කෙනෙකුගේ රූපයේ සුන්දරත්වය ඔප් නැංවෙන්න බාහිර ලස්සන විතරක් මදි. ඕනෑම කෙනෙකුගේ අභ්‍යන්තරයේ තිබෙන සිතෙහි සිතුවිලිත් ඒ ලස්සනට බලපානවා. ඒ හින්ද වෙන්න ඇති මම ඔය කියන තරම්ම ලස්සන.’

Wednesday, October 26, 2011

මම කවදාවත් නොහිතුව අලුත්ම දෙයක්‌ නිසා මම කැමැති වුණා

අලුත් පරම්පරාව රසය හඳුනන්නේ නැහැ
- චමිලා පීරිස්‌
පවතින තත්ත්වය තුළ අපිත් වෙනස්‌ වෙනවා

ඇත්තටම මේ වෙද්දි අපේ ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව අන්තයටම පිරිහිලා. එයට හේතුව කලා ක්‍ෂේත්‍රය හැම අංශයකින් හොඳ නිර්මාණ බැහැරවෙලා. බොළඳ හරසුන් දේවල් රජයන්න පටන් අරන්. මේ වාතාවරණය තුළ අලුත් පරම්පරාව උසස්‌ රසයක්‌ තියෙන චිත්‍රපට, ගීත, ටෙලිනාට්‍ය හඳුනන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ නිරන්තයෙන් දකින්න ලැබෙන දේවල් තමයි හොඳ නිර්මාණ කියලා.

රංගන දිවියේ දශක එකහමාරක තරම් අත්දැකීම් සමුදායකින් පිරිපුන් චමිලා... හැමදාමත් නිර්මාණ සමග ජීවත් වන්නියක්‌. මේ ලිපිය ලියෑවෙන මොහොතේත් වේදිකා නාට්‍ය තුනක හා දැනට විකාශය වෙමින් පවතින ටෙලිනාට්‍ය පහක පමණ ඇගේ රංගනය අපට හමුවනවා. එයිනුත් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන "දූලි පින්තාරු" හා "ධවල කඩුල්ල" සුවිශේෂ වනවා. එබැවින් ඒ ඇසුරේම අපේ කතාබහේ ඇරඹුම සටහන් කරන්නට අපට සිත් වුණා.

චමිලා මේ දවස්‌වල ඔබ රඟපාන කත්‍රිනාගේ චරිතය වගේම නිලමේගේ දියණියගේ චරිතයත් බොහෝ අවධානයට ලක්‌වී තිබෙනවා.

"ඇත්තටම ඒ චරිත දෙකම නිර්මාණාත්මක පක්‍ෂයෙ කල්වේලා අරන් තිර පිටපත් හොඳින් අධ්‍යයනය කරල ඒවායේ නිර්මාණකරුවන් සමග කතාබහ කරමින් කරන්න ලැබුණ චරිත දෙකක්‌. මෑත කාලයේ මට ලැබුණ චරිත අතරින් මට බොහෝදුරට සෑහීමකට පත්වෙන්න ඉඩ ලැබුණ අවස්‌ථාවන් කීවොත් නිවැරැදියි.

ඔබ චරිත තෝරාගන්නේ කිසියම් ප්‍රමිතියකට යටත්ව ද?

කිසියම් ප්‍රමිතියකට යටත්ව චරිත තෝරාගන්න ලැබෙනවා නම් කැමැතියි. නමුත් වර්තමානයේ කෙරෙන නිර්මාණ තුළනෙ අපට ලැබෙන චරිත තීරණය වෙන්නෙ. ඉතින් අපි බලාපොරොත්තුවෙන මට්‌ටමේ චරිත ලියවෙන්නෙත්, නිර්මාණ කෙරෙන්නෙත් බොහෝම සීමිතව. ඒ නිසා අපට සිද්ධ වෙනව පවතින තත්ත්වය තුළ කෙරෙන නිර්මාණවල චරිත භාරගන්න.
අද හැදෙන්නෙ මිනිසුන්ට විඳින්නට වඩා විඳවන්න සිද්ධ වෙන ටෙලිනාට්‍ය කියල මම කීවොත්.
ඇත්තටම මේ වෙද්දි අපේ ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව අන්තයටම පිරිහිලා. එයට හේතුව කලා ක්‍ෂේත්‍රය හැම අංශයකින් හොඳ නිර්මාණ බැහැරවෙලා. බොළඳ හරසුන් දේවල් රජයන්න පටන් අරන්. මේ වාතාවරණය තුළ අලුත් පරම්පරාව උසස්‌ රසයක්‌ තියෙන චිත්‍රපට, ගීත, ටෙලිනාට්‍ය හඳුනන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ නිරන්තයෙන් දකින්න ලැබෙන දේවල් තමයි හොඳ නිර්මාණ කියලා.

නමුත් ජනප්‍රිය යන ලේබල අලවා ඇත්තේ මේ නිර්මාණ හා මේවායේ පෙනී සිටින නළු නිළියන්ට.

මම පෞද්ගලිකව ජනප්‍රියත්වය ගැන හිතන කෙනෙක්‌ නෙවෙයි. මම නිළියක්‌ කියල හිතන්නෙ වේදිකාව මත දී හෝ රංගන පසුතලයකදී පමණයි. එතනින් මිදුනම මමත් ඔබ වගේම සාමාන්‍ය ගැහැනියක්‌.

චමිලා පවසන්නෙ නිළියක්‌ වෙන්නේ අනෙක්‌ අය අතර කැපී පෙනෙන චරිතයක්‌වීමේ ආශාව නැතිව කියලද?

මම කවදාවත් නිළියක්‌ වෙන්න හිතුවෙ නැහැ. මට රංගනයේ පළමු අවස්‌ථාවට ඇරයුම් ලැබෙන්නේ හරිම අහම්බෙන්. මගේ මිතුරියක්‌ වන කෞෂි අක්‌ක (කෞෂල්‍යා ප්‍රනාන්දු) දවසක්‌ මගෙන් ඇහැව්ව රඟපාන්න කැමති ද කියල. මම කවදාවත් නොහිතුව අලුත්ම දෙයක්‌ නිසා මම කැමැති වුණා. එතනදී මට රඟපාන්න ලැබුණෙ ප්‍රවීණතම නිළියන් සමග. රඟපෑම කියන දෙය මට ලබාදුන්නේ අපූරු චමත්කාරයක්‌. මේ ක්‍ෂේත්‍රයේ දිගටම මා රඳවා තැබූ හේතුව වුණේ රංගනයේදී මට ලැබෙන ඒ තෘප්තියයි. අනික මම කවදාත් 8-5 කියන නියමිත රාමුවකට සිරවූ රැකියාවක්‌ කරන්න කැමැතිවෙලා හිටපු කෙනෙක්‌ නෙවෙයි. මේ කරුණු මිස ජනප්‍රියවීමේ අරමුණකින් මම මේ ක්‍ෂේත්‍රයට ආවේ නැහැ.

දීර්ඝ කාලයක්‌ රංගනයේ යෙදෙන ශිල්පිනියක්‌ විදිහට මේ විදිහට ස්‌ථාවරයක්‌ ගොඩනඟා ගන්න හේතු වෙන්නේ

ඕනෑම රංගන ශිල්පියකුට ශිල්පිනියකට වැදගත් වෙන්නේ දක්‍ෂතාවයි. දක්‍ෂතාව නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැදෙන්න අපහසුයි.

ඒත් බොහෝ දක්‍ෂතා ඇති ශිල්පීන් අද ක්‍ෂේත්‍රයෙන් මැකී ගිහින්.

තරුණ වයසෙදී ලැබෙන චරිත හා කරන්න පුළුවන් චරිත වැඩියි. ඒත් අපි වයසට යද්දී මොන තරම් දක්‍ෂතා තිබුණත් ඒ ඒ වයස්‌වලට ගැලපෙන චරිත ලියවෙන්නෙ අඩුවෙන්. ඕක ඕනම කෙනකුට මුහුණදෙන්න වෙන ඇත්තක්‌.

රංගන තලයෙන් මෙපිට ගෙවෙන චමිලාගේ ජීවිතය.

මගේ සැමියා නාමල් ජයසිංහ. ඔහු කලාවට සම්බන්ධයි. මගේ දුවට තවම අවුරුදු තුනහමාරයි. කලා කටයුතුවලින් මිදුනම මගේ දවස ගෙවෙන්නෙ ඔවුන් සමගයි.

චමිලා කලා ක්‍ෂේත්‍රයෙන්ම ජීවන සහකරු තෝරාගත්තේ...

එහෙම විශේෂයක්‌ හිතල නෙවෙයි. නමුත් අප නිතරම මුණගැහෙන්නෙ කතාබහ කරන්න ලැබෙන්නෙ මේ ක්‍ෂේත්‍රයේම අයනෙ. එක වගේ කුරුල්ලො එකට
රැඳෙනව වගේ ඉතින් මේ හැඳුනුකම් හා අවබෝධය අපට එක්‌ව ජීවත්වෙන්න ප්‍රමාණවත් කියලා හැඟුණා.

ධම්මිකා සුරංජි පතිරණ
Copy Rights - Divayina

Tuesday, October 25, 2011

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලි සයුරංගි කියූ විට රසිකයන් බොහෝ දෙනෙක් ඈ හඳුනාගත්තේ නිවේදිකාවක ලෙසයි. අද වනවිට ඇය අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල හිමාලි ඇගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ගැන හිමාලි කතාකරන්නේ බොහොම සතුටින්.
”මට නිවේදන කලාව නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන ’රණවිරු රියල් ස්ටාර්’ දෙවැනි අදියරට නිවේදිකාවක ලෙස මටත් එක්වන්නට වාසනාව ලැබුණා. ඇත්තටම, මම මීට පෙර රියැලිටි වැඩ සටහන්වල නිවේදිකාවක ලෙස කටයුතු කරලා නැහැ.
ඒ නිසා මේ ලැබුණු අවස්ථාව මගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් වේවි. කොහෙම වුණත් මේ වැඩසටහනේ නිවේදන කටයුතු සාර්ථකව කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හිමාලි පැවසුවේ නිහතමානීව.

Sunday, October 16, 2011

මගේ දැඟලිල්ල

මිනිස්සු හිනාවෙන්නේ මගේ දැඟලිල්ලට

ටෙනිසන් කුරේ

අටුවා ටීකා නොලිව්වාට ටෙනිසන් කුරේ කියු පමණින් ඔහුගේ රංගනයත් ස්වරූපයත් ඔබේ මතකයට නැඟෙන බව අපි දන්නවා. හාස්‍ය රංගනයෙන්ම පමණක් පේ‍්‍රක්ෂක ඔබට සමීප වූ ටෙනිසන් මේ දිනවල තිරගත වන ‘කිව්වද නහී නොකිව්වද නහී’ සිනමා පටයෙනුත් ඔබට මුණ ගැහෙනවා.

නැවතත් ඔබ අපට මේ දිනවල මුණ ගැහෙනවා ‘කිව්වද නහී නොකිව්වද නහී’ සිනමා පටයෙන්.

පැහැදිලිවම මම මේ සිනමාපටය හේතු කාරණා කිහිපයක් නිසා වැදගත් කියන එක කියන්න ඕන. ලාල් පි‍්‍රයදේව හොඳ අධ්‍යක්ෂවරයෙක්. කාලයකට පස්සේ ඔහු සමඟ වැඩ කරන්න ලැබුණා. ඒ වගේම රන්ජන් රාමනායක සමඟ වසර කිහිපයකටම පස්සේ රඟපාන්න ලැබුණා. සිනමාව කියන්නේ හරිම සුන්දර දෙයක්. ‘පාර්ලිමන්ට් ජෝක්’ වලින් පසුවයි රන්ජන් සමඟ එකට රඟපෑවේ. අද වගේ ලොකේෂන් එකට ආවා ගියා කියන නළුවෝ නෙමෙයි එදා හිටියේ. අද එනවා තමන්ගේ කොටස කරනවා, යනවා. නමුත් එදා ලොකු එකමුතුවක් තිබුණා. ඉතිං මට මේ චිත්‍රපටයේදී නැවතත් ඒ පැරණි පුරුදු සිහිපත් වුණා කියලයි හිතෙන්නෙ.

එදා වගේ නෙමෙයි අද ටෙනිසන් කුරේලට වැඩ අඩුයි ද?

නැහැ. කවුද එහෙම කියන්නෙ.

ඒත් දැන් අපි දකින්නේ ඉඳලා හිටලනේ.

මෙහෙමයි එක කාලයක් තිබුණා එක දිගටම චිත්‍රපට තිරගත වෙන, රූගත වෙන කාලයක්. දැන් විවිධ ප්‍රශ්න තියෙනවානේ. අද චිත්‍රපටයක් කරලා ප්‍රදර්ශනය වෙන්න දිග පෝලිමක ඉන්න ඕන. බෙදාහැරීම් ප්‍රශ්න තියෙනවා. එතකොට ඉතිං කාලය පැනලා ඉවරයි. අනෙක් දේ මම කියන්නේ චිත්‍රපටයක් නම් චිත්‍රපටයක් වෙන්න ඕන. එතනින් මම කියන්නේ නැහැ සම්භාව්‍ය චිත්‍රපට බිහි නොවිය යුතුයි කියලා.

අද අපි මොන තරාතිරමක හිටියත් කැමැතියි සතුටු වෙන්න. චිත්‍රපට ශාලාවකට එන්නේ මානසික ආතතිය හදා ගන්න නෙමෙයි මානසික ආතතිය දුරු කරලා සතුටු වෙන්න. ඒකයි අපි එදා කළ චිත්‍රපට අදටත් මිනිස්සුන්ට මතක. ඔය භූගෝල විද්‍යාව, අංක ගණිතය ඔය මොනවා දාලා චිත්‍රපට හැදුවත් වැඩක් නැහැ මිනිසුන්ට රසයක් නැත්නම්.

හැබැයි ඉතිං ඔබ හාස්‍ය රංගනයටම කොටුවුණා මිසක් එතනින් එහාට ගියේ නැහැ කියලා හිතෙනවා.

ඕක හරිම අපරාධ ප්‍රශ්නයක්. මොකද හාස්‍ය රංගනය කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. චරිතාංග රංගනය හාස්‍ය ඔය බෙදීමට මම කැමැති නැහැ. ජෝ අබේවික්‍රම මහත්මයත් හාස්‍ය රංගනයෙන් ආවේ.

හැබැයි ඔහු එතනින් එහා විවිධ පරාසවලට ගියා නේ.

ඇත්ත. හැබැයි ඔහු කියලා තිබුණ මිනිස්සු හිනස්සවන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා. චාලි චැප්ලින් ගත්තොත් චරිතාංග නළුවෙක් නෙමෙයි ද? මේ හිනස්සවන එක හැමෝටම කරන්න බැහැ. පුළුවන් නම් ඔය කියන අයට කරලා පෙන්නන්න කියන්නකෝ. කවුරුත් මේවා අගේ කරන්නේ නැහැ. හැබැයි ලෝකේ අනෙක් රටවල මෙහෙම නැහැ.

හාස්‍ය රංගනයෙන් මිදුණු යම් චරිතයක් ලැබුණොත් ඔබ එය භාර ගන්නව ද?

අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මම මුලිනුත් කිව්වේ ජෝ අයියා පටන් ගත්තේ හාස්‍යයෙන්. හැබැයි එතනින් පස්සේ චරිතයේ සියුම් තැන් හඳුනාගෙන ඔහු චරිත කළා. හාස්‍ය හැමෝටම කරන්න පුළුවන් දෙයක් ද? මේක පින්සිද්ධ වෙන වැඩක්. මිනිස්සු හිනස්සන්න පුළුවන්නම් ඒක මොන තරම් පිනක් ද?

මිනිස්සු හිනස්සන්න කියලා කුණුහරුප කියන එකවත් දෙපිට කැපෙන වචන කියන එක ද හාස්‍ය.

මට එල්ල වුණු ප්‍රබලම චෝදනාව ඔය දේනේ. හැබැයි සමහර නිර්මාණ ආවා වැඩිහිටි ලේබලය යටතේ. ඒවට මුකුත් කියන්නේ නැහැ. මම පිළිගන්නවා මගේ නාට්‍යවල දෙපිට කැපෙන වචන තියෙනවා, නැතුවාම නෙමෙයි. හැබැයි අපි කියන්න ඕන දේ ව්‍යංගයෙන් කියනවා. මිනිස්සු අවංක වෙන්න ඕන. හිත කැතවුණ තැනයි ඔය ප්‍රශ්නය එන්නේ.

එහෙට මෙහෙට ඇඹරිලා දැඟලිල්ලක් දැමු පමණින් එය හාස්‍ය රංගනයක් කියලා කියන්න පුළුවන් ද?

මම සිනමාවට ආවෙත් ඔය දැඟලිල්ල මට තිබුණ නිසා. ඒ නිසා මම ඉන්න නාට්‍යයක් හෝ සිනමා පටයකට මිනිස්සු එනවා බලන්න. මේ ලෝකේ කොහේ ගියත් මිනිස්සු හිනා වෙන්නෙ, සතුටු වෙන්නෙ ඔය දැඟලිල්ල මට තියෙන නිසානේ. සමහර දරාගන්න බැරි අය මට කැපිලි කෙටිලි දැම්මා. නමුත් මට උපතින් ලැබිලා තියෙනවා හැකියාවක්. ඒ මිනිසුන්ව සතුටු කරන්න. මොන දේ කළත් මම ළඟ ප්‍රතිපත්තියක් තියාගෙනයි මම වැඩ කරන්නේ. අර කතාවක් තියෙනවනේ උප්පත්තිය විපත්තිය අතර ප්‍රතිපත්තිය නැති තැන නස්පත්තිය ය කියලා.

කැප්ටන් කූල්, කුරුල්ලා, මෑන් ද මෑන්, ටාසන් ද බබා වැනි ඔබේ නාට්‍ය රැල්ලට මොකද වුණේ.

මම එක නාට්‍යයක් පෙන්නන්න ඇමරිකාවට ගියා. ඒ ගිය වෙලාවේ නාට්‍යයේ හිටපු එක හාදයෙක් හොරෙන් පැනලා ගියා. එතනින් පස්සේ මට නාට්‍ය එපාවෙලා නිකම්ම හිටියා. පස්සෙ ඔස්ට්‍රේලියාවේ පදිංචි මනෝ වෛද්‍යවරයකු වන ප්‍රසන්න මහත්මයා මාව දිරිමත් කළා එක මනුෂ්‍යයෙක් නිසා මිනිස්සු දහස් ගණනකගේ සතුට නැති කරන්න එපා කියලා. ඔහු කියූ දේට මම නැවතත් උනන්දු වෙලා නාට්‍යයක් කළා. තවත් දෙයක් කියන්න ඕන මගේ නාට්‍ය බලන්න විවිධ ක්ෂේත්‍රවල අය එන්නේ.

මහාචාර්යවරු, ඩොක්ටර්ස්ලා, ඉංජිනේරුවෝ, මේ අය මාව දිරි ගන්වනවා. මොකද මම කරන්නේ මිනිස්සුන්ව හිනස්සවලා ලේ පිරිසිදු කරන එක.

නමුත් හාස්‍ය රංගන ශිල්පියා අද ඇගැයීමට ලක්වෙලා තියෙනවා ද?

ඒ ගැන අහන්න පිළිතුරු දෙන්න මම රටට බාර කරනවා. අපි මිනිසුන්ව හිනස්සලා මොනතරම් පින් රැස්කරගෙන තියෙනව ද? බන්දු, මම ඉන්නවා කියලා දැනගත්තොත් අපි වටා මොනතරම් මිනිස්සු පේළි ගැහෙනව ද? නමුත් කිසිම සම්මාන උළෙලක ඇගැයීමක් නැහැ. නමුත් චාලි චැප්ලින්ට, මිස්ටර් බීන්ට අපේ අය ඔළුව නමාගෙන අගය කරනවා. ඔන්න ඕකයි යථාර්ථය.

අවසන් වශයෙන් ඔබේ වේදිකා නාට්‍යයත් කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ගැනත් කතා කරමු.

I am Sri Lanka මගේ නාට්‍යය දැන් වේදිකාගත වෙන්න පටන් අරන්. ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මෙතැනදි වෙනස්ම හාස්‍ය ශෛලියක් දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම ‘තෑන්ක් යූ බර්ටි’ මගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. මම හිතනවා එය සාර්ථක සිනමා පටයක් වෙයි කියලා.

විශේෂයෙන් ජගත් එම්. යාපා මෙහි නිෂ්පාදක සාර්ථක නිර්මාණයක් කරන්න මට ඉඩ සලසලා දුන්නා.

උපරීම තාක්ෂණය වගේම සියලු නළු නිළියන් ඉතාම හොඳින් සිය රංගන දායකත්වය ලබා දුන්නා.

බන්දු සමරසිංහ වසර පහකට පසුවයි මාත් සමඟ මේ සිනමාපටයේදී රංගනයෙන් දායක වුණේ. මම විශ්වාස කරනවා මෙම සිනමාපටය අපේ සිනමා පේ‍්‍රක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා.

වසන්ත ජයසිංහ ආරච්චි

ඡායාරූපය- ටෙනිසන් එදිරිසිංහ

Copy Rights - Silumina

ජයසේකර අපොන්සුගේ දිල්කා දේකා නිකුත් වේ

යසේකර අපොන්සුගේ දිල්කා දේකා නිකුත් වේ

ජයසේකර අපොන්සු තිර කතාව ලියා අධ්‍යක්ෂණය කළ දිල්කා දේකා ඩී. වී. ඩී. සිනමා පටය දැන් නිකුත්ව තිබේ.
මෙය චමින්ද රණසිංහගේ නිෂ්පාදනයකි. දිල්කා දේකා බොලිවුඩ් සිනමාවෙන් ලාංකේය සිනමා ක්ෂේත්‍රයට සිදු වන්නා වූ හොඳ සහ නරක පිළිබඳ කියවෙන හාස්‍යෝත්පාදක කතා පුවතකි.
ජයසේකර අපෝන්සු, අවන්ති අපොන්සු, අනුරාධා කුරුකුලසූරිය, තුසිත වීරසිංහ, වසන්ත කස්තුරි ආරච්චි, හසිත ශ්‍රී ගුණවර්ධන, ගාමිණී කුලසේකර, ලකී ධර්මදාස, ජයතිස්ස අතුලසිරි, මහාර්ඝා සිතුමිණි, නිහාල් බණ්ඩාර, ආනන්ද පොල්ගහවෙල සමඟ සුරංග මෙහි චරිත මවති.
කැමරාව මෙහෙයවීම සහ සංගීත නිර්මාණය ඩිලාන් ගුණවර්ධනගෙනි.

Saturday, October 8, 2011

අපොන්සුගෙන් අලුත් වැඩක්‌


ජයසේකර අපොන්සු බොහෝ විට අපට හුරුපුරුදු හාස්‍යය ගෙන දෙන රංගන ශිල්පියෙක්‌ ලෙසටයි. ඒ ඔහු එදා මෙදා තුර රඟපෑ බොහොමයක්‌ වේදිකා නාට්‍යය සහ ටෙලිනාට්‍යය චරිතවල ස්‌වරූපය ඒ හා සමාන නිසයි. රංගන ශිල්පියකුට අමතරව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙසටත් කටයුතු කරන ජයසේකර අපොන්සු රංගන වේදියා දිල්කා දේකා නමින් අලුත්ම සිනමා නිර්මාණයක්‌ ඩී. වී. ඩී. තැටියක්‌ ලෙස පසුගියදා එළිදැක්‌වූවා. දිනිත් එන්ට්‍රටේන්මන් නිෂ්පාදනයක්‌ ලෙසින් එළිදැක්‌වූ මෙම චිත්‍රපටය සඳහා කතාව තිර රචනය හා අධ්‍යක්‍ෂණය කළේ ජයසේකර අපොන්සු විසින්මය.

අලුත් අත්දැකීමක්‌ ප්‍රේක්‍ෂකයා වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් නිර්මාණය කර ඇති දිල්කා දේකා සඳහා අපොන්සු මූල බීජය ලෙසට ගෙන ඇත්තේ චිත්‍රපටයක්‌ රූගත කරන්න යන පිරිසකට මුහුණපාන්නට වුණු සිදුවීමක්‌ පසුබිම් කරගෙනය.

හාස්‍ය, කම්පනය, උපහාසය යන සෑම අංගයක්‌ම ස්‌මතු කරමින් හන්තාන ප්‍රදේශයේ රූගත කිරීම කළ මෙම අලුත් නිර්මාණයට හින්දි ගීත කිහිපයක්‌ ඇතුළත්. ප්‍රවීණ මෙන්ම නවක ශිල්පීන් කිහිප දෙනෙකුම රංගනයෙන් එක්‌වී සිටින දිල්කා දේකා ඩී. වී. ඩී. පටයක්‌ ලෙසින් එළිදැක්‌වීමේ අරමුණ වී ඇත්තේ සිනමා ශාලාවකට ගොස්‌ චිත්‍රපටයක්‌ නරඹනවාට වඩා වැඩි පිරිසක්‌ අද නිවසේදීම සංයුක්‌ත තැටි මගින් චිත්‍රපට නැරැඹීමට පෙළඹී ඇති නිසයි. 


Copy Rights - Divayina

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money