Showing posts with label චිත්‍රපටිය. Show all posts
Showing posts with label චිත්‍රපටිය. Show all posts

Friday, January 6, 2012

තිරයේ රජු ඔහුය.

තිරයේ රජු ඔහුය. ඔහු තිරයෙන් දකින්නට, දකින්නට ඔහුගේ වීරවික්‍රමාන්විත බව ද රසිකයන්ට දෙගුණ තෙගුණ වී පෙනෙයි. ‘දොන්’ පළමු චිත්‍රපටියෙන් අප ඔහු දුටුවේ වසර 2006 දීයි. වසර පහක ඇවෑමෙන් යළි අපි ඔහු දකිමු.
ඒ ‘දොන් 2’ ලෙසයි. 2011 දෙසැම්බර් 23 වැනි දින ද්විමාන, ත්‍රිමාන, මේ දෙආකාරයෙන්ම නරඹන්න ලැබෙන ‘දොන් 2’ රජු ජීවමාන කරන්නේ රිදී තිරයේ සැබෑම අභිමානවත් රජුවන ෂාරුක් ඛාන්මය. එහෙත් එහි මහා රජු සොයා අප 1978 තරම් ඈත ඉතිහාසයකට යා යුතුය.
2006 දී තිරගත වූ ‘දොන්’, 1978 තිරගත වූ ‘දොන්’ සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. එහි ‘දොන්’ වූයේ මෙගා තරුව, අමිතාබ් බච්චන්ය.
1978 දී තිරගත වූ ‘දොන්’ ඒ වසරේ දී බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබූ සිනමා පට අතර තුන්වැනි තැනට පත් වී තිබුණි. ‘දොන්’ සිනමා පටයට 1962 දී තිරගත වූ ‘චයිනා ටවුන්’ සිනමා පටයේ ආභාශය ලැබී ඇති බව ද කියවේ. කෙසේ වුවත් ‘දොන්’ කෙතරම් කතා මාලාවලින් පැමිණියත් ප්‍රේක්ෂකයන්ට නීරසවන පුද්ගලයකු බවට නම් පත් වී නැත. 2006 දී තිරගත වූ ‘දොන්’ සිනමා පටය එම වසරේදී පස්වෙනි තැනට වැඩිම ආදායම ලැබූ සිනමා පටයයි. ‘දොන් 2’ ද ඊට නොදෙවෙනි වාර්තාවකට හිමිකම් කියනු ඇති බවට බොහෝ දෙනා අදහස් පළ කරති. ඊට හේතු ගණනාවක්ම තිබේ.
මේ ත්‍රාසජනක සටන් සිනමා පටය ෆාරන් අක්තාර් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයන් වෙත ගෙනෙන්නේ වසර පහක නිහැඬියවකින් පසුවය. එහෙත් ඒ නිහැඬියාව පිටුපස ‘දොන් 2’ කඩිසර ලෙස ක්‍රියාත්මක වූ බව රහසක් නොවෙයි. ‘ඩර්’, ‘බාසිගර්’ වැනි සිනමා පටවලින් තිරයේ දුෂ්ඨයා වූ ෂාරුක් යළි තිරයේ දුෂ්ඨයකු ලෙසින් හමුවන්නේත් කාලයකට පසුවය. එපමණක් නොව ඔහුගේ දශක දෙකක වෘත්තීය ජීවිතයේ සිනමා පට මාලාවකට සම්බන්ධ වූ පළමු අවස්ථාවත් මෙයයි. ලොව පුරා රසිකයන්ට ප්‍රීතිමත් නත්තල අබියසදී මේ සුවිශේෂී ‘දොන්’ හින්දි බසින් පමණක් නොව ද්‍රවිඩ සහ තෙළිඟු භාෂාවලින් ද රස විඳීමට ඉඩ ලබා දී ඇත.
‘දොන් – නැවත සටන ඇරැඹෙයි’ තිරගත වූ පසු ෆාරන් අක්තාර්ට දෙවැන්නක් කිරීමේ සිතක් පහළ විණි. තමන් එසේ කරන බව ඔහු නිල වශයෙන් ද ප්‍රකාශ කළේය. එහෙත් එය වහා ක්‍රියාත්මක කිරීමට බාධා කිහිපයක්ම හේතුª විය. ෂාරුක්ගේ උරහිසේ සැත්කම එක් හේතුවකි. ඔහු ‘මයි නේම් ඊස් ඛාන්’, රබ් නෙ බනාඩි ජෝඩි’ සඳහා දින දී තිබුණි. මේ සියල්ල නිරාකරණය වූ පසු අක්තාර් 2010 දී සුබ පණිවුඩයක් රසිකයන්ට පැවසුවේය. ‘දොන් 2’ තිර රචනය ලිය වී ඇති බව සහ රූගත කරන තැන් තීරණය කර අවසන් බව ඒ සුබ ආරංචියයි.
පළමු සිනමා පටය ෆාරන් අක්තාර්ගේ පියාගේ රචනයක් වුවත් දෙවැන්න ලියන ලද්දේ පළමු සිනමා පටයෙන් උන්මාදයට පත් අමීත් සහ අම්රීෂ් නම් යෞවනයන් දෙදෙනෙකි. අක්තාර්ගේ සහ යෞවනයන්ගේ අපූරු සිතුවිලි සංකලනයකින් ‘දොන් 2’ රචනා වුණි.
නොවැම්බර් 15 වැනිදා සිනමා පටයේ තවත් වැදගත් දිනයකි. ඛාන් තමන්ගේ නමින් ටැටූ ලියාපදිංචි කළ පළමු කලාකරු බවට පත් විය. ඔහු සිනමා පටය අන් අය සොරා ගැනීම වැළැක්වීම සඳහා අතෙහි ‘ඩී’ යන ටැටූව තබා ගත්තේය. 2011 අගෝස්තුවේදී සිනමා පටය ත්‍රිමාන සිනමා පටයක් ලෙසින් ද එළි දැක්වෙන බව නිෂ්පාදකවරු කියා සිටියහ. මේ අදහස අක්තාර් ඇතුළු කණ්ඩායමට පහළ වී තිබෙන්නේ චිත්‍රපටය රූගත කරන අතරතුරේ සහ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - දෙවැනි කොටස නැරැඹූ පසුවයි.
රූගත කිරීම්
දොන් පළමු සිනමා පටයේ වීරයාගේ පෙම්වතිය වූ ප්‍රියංකා චොප්රාම දෙවැනි සිනමා පටයට ද රංගනයෙන් දායක වූවාය. අලුතින් එක් වූ චරිත වූයේ ලාරා දත්තා සහ කුනාල් කපූර්ය. 2010 ඔක්තෝබර් 10 වැනි දින මේ තරු කැල පළමු රූගත කිරීම සඳහා බර්ලිනයට ගියහ. ස්ව්ට්සර්ලන්තය වැනි සුරංගනා කතාවක පරිසරයට වඩා ‘දොන්’ ක්‍රියාදාම සිනමා පටයට බර්ලිනය ගැළපෙන බව ඔවුනගේ අදහස විය. බ්‍රැන්ඩන්බර්ග් ගේට්, ඔලිම්පියා ස්ටේඩියම්, ගැන්ඩර්ගේ මාර්කට්, ඊස්ට් සයිඩ් ගැලරි වැනි තැන්වල රූගත කිරීම් සිදු කෙරිණි. සිනමා පටය සඳහා ෂාරුක් මෙතෙක් රංගනයක් සඳහා පැන්න උසම පිම්ම ද පැන්නේ මෙහිදීය. ඔහු අඩි 300 ක් පහළට පනින ජවනිකාවක් රඟපෑවේය. දෙසැම්බරයේදී බර්ලිනයේ සියලු රූගත කිරීම් නිමාවට පත් විය. ෂාරුක් ජර්මනියේ රූගත කිරීමකට සාර්ථකව සහභාගි වූ පළමු ඉන්දියානු නළුවායි. ජර්මනිය අන්තර් ජාතික රූගත කිරීම් සඳහා එතරම් ඉල්ලුමක් ඇති රටක් නොවෙයි. එරට රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීම ද පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් ෂාරුක්ගේ අසීමිත ජනප්‍රියභාවය නිසා ඒ සියලු තහංචි බිඳ දමන්නට හැකි විය.
මීට පෙර ජර්මනියේ රූගත කිරීම් සඳහා අවසර ලැබූ නළුවන් වූයේ ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට්ය. ෂාරුක් ඒ දුලබ වාසනාව ලැබූ තෙවැනියායි. මැලේසියාව, ස්විස්ටර්ලන්තය යන රටවල ද ‘දොන් 2’ රූගත කෙරිණි. ‘දොන් 2’ රජ ගමනක් යන බවට පෙරනිමිති එහි ප්‍රවර්ධන කටයුතුවලින්ම සක්සුදක් සේ පැහැදිලිවේ. සිනමා පටයේ පළමු ප්‍රවර්ධන කටයුත්ත සිදු කිරීමට නියමිතව තිබුණේ ජූලි 13 වැනිදායි. එහෙත් මූම්බායි බෝම්බ ප්‍රහාරය නිසාඑය කල් ගියේය.
සිනමා පටය ඩුබායි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ දී පළමුවරට තිරගත කරන ලදී. බර්ලින් නුවර සංචාරය කිරීමට සහ ෂාරුක් ඛාන් හමුවීමට ‘මීට් ද දොන් : මිෂන් බර්ලින්’ නමින් පැවැත් වූ තරඟය ඉතා ජනප්‍රිය විය.
පළමු ‘දොන්’ සිනමා පටයේ සාර්ථකත්වයට දොන්ගේ කියුම් බලපෑවේය. එය ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂවරයා දෙවන සිනමා පටයේ දොන්ගේ කියුම් 10 ක් ප්‍රචාරය කරන ලදී. අද ඒ කියමන් ඉන්දියාවේ මෙන්ම ලෝකයේ ද ජනප්‍රිය ප්‍රකාශ බවට පත් වී ඇත.
සිනමා පටය නිසා හෙල්ලෙන හිසක් සහිත කුඩා බෝනික්කකු (බොබ්ල්හෙඩ්) බවට ද මේ වන විට ෂාරුක් පත් වී සිටියි. එවැන්නකු බවට පත් වූ පළමු බොලිවුඩ් තරුව ෂාරුක්ය. පසුගිය නත්තල් සති අන්තයේ තිරයට පැමිණි සුපුරුදු වීරයාගේ නොදුටු දස්කම්, ප්‍රේක්ෂකයන්ට නව වසර පුරාම මතකයෙහි රඳවා ගන්නට තරම් සොඳුරු මතකයක් වනවා නම් නිසැකයි.

Wednesday, January 4, 2012

ජනවාරි 21 වැනිදා සිනමාවේ උපන් දිනයට කුස පබා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුලුඳුල් චිත්‍රපටය ‘අනුපමා’ තිරගත වූයේ 1978 දෙසැම්බර් 22 වැනි දිනය. එය තිරගත වීමට මත්තෙන් තවත් චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහුට අවකාශ ලැබිණ.
එලෙස සිනමා නිර්මාණයෙහි යෙදුණ සුනිල් ආරියරත්නයන් මේ වනවිට චිත්‍රපට දහ අටක් තනා තිබේ. සිංහල සිනමාවට හැටපස් වසරක් සපිරෙන 2012 ජනවාරි 21 වැනිදා සිට ඔහු යළිත් ප්‍රේක්ෂකයා අතරට එක්වන්නේ සිය අභිනව චිත්‍රපටය ‘කුස පබා’ සමගිනි. සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන ‘කුස පබා’ පිටපත් පනහක් මුද්‍රණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වේ.
සුනිල් ආරියරත්නයන් සමඟ මෙම සංවාදය ගොඩ නැෙඟන්නේ එකී සුබ කටයුත්ත ප්‍රස්තුත කොට ගනිමිනි.
ඔබේ නවතම චිත්‍රපටය තිරගත වන්නේ අපේ සිනමාවට හැටපස් වසරක් සපිරෙන සුබ මොහොතේ. මුලින්ම ඒ පිළිබඳ යමක් කියන්න?
මම හිතනවා මම ඉතාම භාග්‍යසම්පන්නයි කියලා. මොකද පළමුවැනි කතානාද චිත්‍රපටය පෙන්වන කොට මම ඉපදිලාවත් නැහැ. ඒ චිත්‍රපටය ගැන තොරතුරු අපි දැනගත්තේ පැරැණි අය කියන දේවල්, තිස්ස නාගොඩවිතානයන් ගාව සංරක්ෂණය වෙලා තියෙන ‘කඩවුණු පොරොන්දුවේ’ කොටස් සහ විවිධ පර්යේෂණ කටයුතු සඳහා හතළිස් හතේ පත්තර පෙරළන කොට තිබුණ දැන්වීම් ආදියෙන්. සිනමාවට අවුරුදු හැටපහ පිරෙන කොට එදා ඉපදී හිටපු නැති මගේ චිත්‍රපටයක් ඒ උපන් දිනය නිමිත්තෙන් රට පුරා ප්‍රදර්ශනය කරන්න ලැබෙන එක ඇත්තෙන්ම මගේ භාග්‍යයක්.
එදා ‘කඩවුණු පොරොන්දුව’ කිංස්ලි සිනමා හලේ එක් පිටපතයි ප්‍රදර්ශනය කළේ. නමුත් ප්‍රථම වරට පිටපත් පනහක් මුද්‍රණය කරලා සිනමාහල් පනහක චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න එදාට අපට අවස්ථාව ලැබෙනවා.
ඔබට තවම වයස අවුරුදු හැට පහක් නෑ. එතකොට?
නැහැ, නැහැ. තවම මට එච්චර වයස නැහැ.
එදා අපේ චිත්‍රපට දෙවැනි, තුන්වැනි වටවල ප්‍රදර්ශනයෙන් ඉහළ ආදායමක් ලැබුවා. නමුත් වර්තමානයේ පළමු වටයෙන්ම පිටපත් වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඔබේ චිත්‍රපටයත් ඊට උදාහරණයක්?
ඇත්තෙන්ම ඉස්සර සිනමා මණ්ඩල පහක් තිබුණා. ඒවායෙහි තරගකාරී ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. අද සිනමා ශාලා විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙලා තියෙනවා. ජාතිවාදී කෝලාහල නිසා සමහරක් සිනමාහල් පුළුස්සා දැම්මා. සමහරක් ඒවා බංකොලොත් වීම නිසා වසා දැම්මා.
ඇත්තටම අපේ සිනමාවට ඉතාම නරක කාලයක් උදා වෙලා තිබුණා. ඒ කියන්නේ 71 කැරැල්ල. ඊට පස්සේ තිස් අවුරුදු යුද්ධය. මේ දේවල් නිසා අඳුරු සිනමා ශාලාවකට නරඹන්නෙක් ඇතුළු නොවන තත්ත්වයට පත්වෙලා තිබුණා. රටේ තිබුණ අවදානම් තත්ත්වය නිසා චිත්‍රපටයක් නරඹලා රාත්‍රියේ බස්වල යන්න මිනිස්සු කැමැති වුණේ නැහැ. රාත්‍රී 9.30 දර්ශන අවලංගු කළා. ඇරලා තිබුණ රෑ කඩ වසා දැම්මා. කොටින්ම මිනිස්සුන්ට නගරයේ රාත්‍රී කාලය අහිමි වුණා. මේ තත්ත්වය ආරම්භ වුණේ 71 කැරැල්ලත් එක්ක.
ඉන් පසු 89 කැරැල්ල. උතුරේ යුද්ධය මේ හේතූ®න් නිසා තවදුරටත් එකී මණ්ඩල පහ පැවැතුණේ නැහැ. ඒක නිසා පළමු වටෙන් පස්සේ, දෙවැනි වටයකට යන්න සිනමා ශාලා අඩු වෙලා තියෙනවා. සිනමා මණ්ඩල ප්‍රමාණයත් බැහැලා. අද දකින්න ලැබෙන්නේ මේ සිනමා මණ්ඩල අන්‍යෝන්‍ය සුහදතාවයෙන් යුක්තව එක් සිනමා මණ්ඩලයකින් තවත් සිනමා මණ්ඩලයක සිනමා ශාලා ණයට අරගෙන චිත්‍රපට පෙන්වීමේ සිරිතක්. ඒ අනුව තමයි ඊ. ඒ. පී. මණ්ඩලය සී. ඊ. එල්. සහ රිද්ම සිනමා මණ්ඩලත් සමඟ ඒකාබද්ධ වී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ.
බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරු නඟන මැසිවිල්ලක් තමයි තමන්ගේ චිත්‍රපටය නිසි කලට ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වීම. නමුත් රූගත කර ඉතාමත් කෙටි කලකින් ප්‍රදර්ශනය සඳහා ‘කුස පබා’ මුදා හැරෙනවා. ඒ අතිනුත් ඔබ වාසනාවන්තයි?
ඒ සම්බන්ධයෙන් ඊ. ඒ. පී. සිනමා මණ්ඩලයේ අධිපති අසංක එදිරිසිංහ මහතාට මා ස්තුතිවන්ත වෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තිබුණා සිනමාවට හැට පස් වසරක් පිරෙන අවස්ථාවේදී විශේෂ වූ සිනමා නිර්මාණයක් එළි දක්වන්න. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ මේ චිත්‍රපටය.
ඊට හේතුව මේ චිත්‍රපටය ඓතිහාසික කතාවක් හා දැවැන්ත චිත්‍රපටයක් පමණක්ම වීමම නොවේ. මෙය මේ රටේ සිනමා කරුවන්ගේ චිත්‍රපටයක් වීමයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය. මෙතෙක් අපේ සිනමා ඉතිහාසයේ මේ තරම් පිරිසක් එකතු වෙලා මේ තරම් ප්‍රබල සංවිධානයක් ගොඩ නගාගෙන තිබුණේ නැහැ චිත්‍රපට නිෂ්පාදනය පැත්තෙන්.
මේ පිරිස කොපමණ සංඛ්‍යාවක්ද?
අඩුම වශයෙන් සියයකට ආසන්න පිරිසක්. මේ රටේ ප්‍රවීණ, ජනප්‍රිය නිෂ්පාදක, අධ්‍යක්ෂවරු විශාල පිරිසක් මේ සංසදයේ සාමාජිකත්වය දරනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ගත්තොත් දොළොස් දෙනෙක්.
ඒ පිරිස හඳුන්වා දෙනවා නම්?
මෙහි විධායක නිෂ්පාදනයෙන් සෝමරත්න දිසානායක සහ රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායක වෙනවා. ඊට අමතරව ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී. ප්‍රනාන්දු, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රජිත ජිනසේන, ජස්ටින් බෙලගමගේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලෙස කටයුතු කරනවා.
මේක විවිධ තරාතිරමේ සිනමාකරුවන් නියෝජනය කරන චිත්‍රපටයක්. ඒ නිසා මම හිතනවා මෙතනදි අසංක එදිරිසිංහ මහතා ගෙන තිබෙන්නේ නිවැරැදි තීරණයක්කියා දින හතළිහකින් රූගත කිරීම් නිම කරලා, මාස කිහිපයකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇත්තෙන්ම මේ නිෂ්පාදක කණ්ඩායමේ එකමුතුව, සහයෝගය මතයි. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය නොකෙරෙන බවට අනාවැකි පළ කර තිබුණා.
දැන් චිත්‍රපටයේ ලාභය බෙදා ගැනීමේදී අවුලක් වෙන එකක් නැහැ?
නැහැ. මේක අපි ඇත්තටම ගිවිසුම් අස්සන් කරලා නීතිඥයෙක් ඉදිරිපිට, බොහොම විනිවිදභාවයෙන් යුක්තව තමයි සිදු කළේ. අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන් කපා හැරලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. නළු, නිළියන්, කාර්මික ශිල්පීන් මේ සියලුම දෙනා ඉතා හිතවත්ව මේ කටයුත්තට සහයෝගය ලබා දුන්නා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔබ තෝරා ගෙන තිබෙන්නේ ජැක්සන් ඇන්තනි සහ පූජා උමාශංකර්. ඒ ගැලපීම නිවැරැදියි කියා ඔබ සිතනවාද?
ඔව්. ලංකාවේ මම හිතන්නේ ‘කුස’ ගේ චරිතය නිරූපණය කරන්නට ජැක්සන් ඇන්තනි හැර වෙනත් නළුවකු ගැන මට කිසිසේත්ම කල්පනා වුණේ නෑ. මොකද මෙතෙක් ඔහු සිනමාවේ ඉදිරිපත් කළ රංගනයන්ගෙන් ඔප්පු කර තිබුණා ඔහු අති දක්ෂ නළුවකු බව. බොහෝ නළු නිළියන්ට වේදිකාවත්, සිනමාවත් සමතුලිතව පවත්වා ගැනීම අසීරුයි.
ඒ කිව්වේ වේදිකා නළු නිළියන් සිනමාවේදී අසාර්ථක වෙනවා. සිනමා නළු නිළියන් වේදිකාවේදී අසාර්ථක වෙනවා. නමුත් ජැක්සන් මේ දෙපැත්තම සමබරව පවත්වාගෙන ගිය අති දක්ෂ නළුවෙක්. ඔහු ඒ විශ්වාසය මේ චරිතය මගිනුත් තහවුරු කළා. ඒ වගේම මේ තිර නාටකය ලියන අවධියේ තිස්ස අබේසේකරයන් යෝජනා කළේ පබාගේ චරිතයට ගැළපෙනම නිළිය පූජා කියලා.
පූජාගේ රංගනය ගැන කතා කළොත්?
ඇය විදේශික නිළියක් හැටියට හඳුන්වා දෙන්නට මම කැමැති නැහැ. ඇය සිංහල, බෞද්ධ මවකගේ දැරියක් හැටියට මම දකින්නේ. ඒ වගේම ඇය අපේ සිනමාවට ලැබුණ දායාදයක්.
පූජාත්, ජැක්සන් වගේම මගේ විශ්වාසය තහවුරු කළා. ඇය මේ චිත්‍රපටයේ සියලුම සිංහල දෙබස් ඛණ්නඩ අකුරෙන් ලියාගෙන, ඊට පස්සේ වචනයක්, වචනයක් පාසා එහි තේරුම ඉංග්‍රීසි බසින් ලියාගෙන තමයි දෙබස් කැවීම් සිදු කළේ. ඇය මෙහි දීර්ඝ දෙබස් කියාගෙන යනවා. නමුත් කිසිම අවස්ථාවක එහි පෙළ මතක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඇය මුලු පිටපතම කට පාඩම් කරගෙනයි දර්ශන තලයට ආවේ.
ඇගේ ගති, පැවැතුම් ගැන ඔබට හැඟුණේ මොනවාද?
පූජා මේ චරිතයට සුවිශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවලදී ඇයට රූගත කිරීම් නැති අවස්ථාවලදී පවා දර්ශන තලයට ඇවිත් අනෙක් නිළියන්ගේ දහදිය පිස දමමින්, ඔවුන්ට තේ අල්ලමින්, සත්කාර කරමින්, ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් සකස් කරමින් සුවිශේෂ සහයක් ලබා දුන්නා. දර්ශන තලයේදී නිළියක් වුණා වගේම ඉන් පිටතදී ඇය නිෂ්පාදක කණ්ඩායමේ සහායිකාවක් හැටියට කටයුතු කළේ.
මම හිතන්නේ පූජාගේ ක්‍රියා පිළිවෙත අපේ ඇතැම් නිළියන්ට හොඳ ආදර්ශයක්?
මට චිත්‍රපට දහ අටක් අධ්‍යක්ෂණය කරලා අත්දැකීම් තියෙනවා. බොහෝ සිනමා නිළියන් දර්ශන තලයේ තමාගේ භූ®මිකාව නිරූපණය කළාට පස්සේ ආගන්තුකයන් බවට පත් වෙනවා තමන්ගේ කණ්ඩායමේ. මටත් එබඳු අය මුණ ගැසිලා තියෙනවා. මමත් හිතනවා පූජා ආදර්ශයක් කියලා එවැනි නිළියන්ට. මොකද සිනමාව කියන්නේ සාමුහික කලාවක්. එතනදි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමෙන් සිනමාකරුවාට හොඳ නිර්මාණයක් ලබා ගන්නට පුළුවන්.
‘කුස පබා’ ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ අවසන් තිර නාටකය. මෙය ඔහුගේ සමස්ත තිර නාටක අතරෙන් සුවිශේෂී වූවක් බව ඔබ වරෙක මා සමඟම ප්‍රකාශ කළා?
තිස්ස අබේසේකරයන් මේ තිර පිටපත රචනා කරද්දී විශාල අභියෝගයකට මුහුණ දුන්නා. මෙවැනි ජාතක කතාවක් මින් පෙර සිනමාවට නැඟී තිබුණේ නැහැ. මේක ‘කුස’ ජාතකය වුණාට ‘මහා පදරංග’ ජාතකය වගේ. අතිශය දීර්ඝ, සිදුවීම් ගහන කතන්දරයක්.
ජාතක කතාවේ එන සකලවිධ සිදුවීම් ඇතුළත් කරන්න සිදු වුණා නම් මේක පැය හයක පමණ දිග චිත්‍රපටයක් වෙනවා. තිස්සට තිබුණ ලොකුම අභියෝගය තමයි මෙය පැය දෙකක කාලයකට සංක්ෂිප්ත කිරීම.
ඔහු එම අභියෝගය ජය ගත්තා. ඔහු එය ජය ගන්නේ කතාව මැදින් පටන් අරන් අතීතයට පමණක් නෙවෙයි අනාගතයටත් ගමන් කරමින්. අතීතය, වර්තමානය සහ අනාගතය කියන කාල තුන හරහා ගමන් කරමින් තමයි මේ කතන්දරය ඔහු අනාවරණය කරන්නේ. ජාතක කතාවේ දුෂ්ට චරිතයක් බවට පත්කොට තිබෙන පබාවතිය එයින් ගලවා ගෙන ඇය කෙරෙහි නරඹන්නාගේ අනුකම්පාව යොමු කර ගැනීම තවත් අභියෝගයක්. ඔහු එයත් ජයගෙන තිබුණා.
මම හිතන්නේ තිස්ස අබේසේකරයන් තිර නාටකය ලියූ දැවැන්තම සිනමා නිර්මාණයත් මෙයයි?
මේ චිත්‍රපටය සඳහා ලක්ෂ අටසීයකට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. ඇත්තෙන්ම තිස්සත් සිනමාකරුවකු නිසා ඔහු දැනගෙන හිටියා මෙවැනි නිර්මාණයක් සඳහා අපට දරන්නට පුළුවන් පිරිවැය. ඊට සරිලන විදිහට තමයි ඔහු මේ තිර පිටපත ලිව්වේ. මේකෙ අලි, ඇත්තු ඉන්නවා. අශ්වයෝ ඉන්නවා. යුද්දෙ තියෙනවා.
මේ සේරමත් එක්ක අපට චිත්‍රපටය හොඳ නිමාවක් සහිතව ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්නට හැකි වන පරිදි තිර නාටකය සකස් කිරීමත් ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයක්. මම හිතන්නේ ජනප්‍රිය සම්ප්‍රදාය රැකගෙන ප්‍රශස්ත චිත්‍රපටයක් කරන්නයි ඔහුට අවශ්‍ය වුණේ. වී. ශාන්තරාම්ගේ සිනමා සම්ප්‍රදාය තමයි ‘කුස පබා’ තිර නාටකය ලියන අවධියේ ඔහුගේ මනසේ තිබුණේ.
මේ චිත්‍රපටයේ සංගීතය පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතු යැයි කියා මට හිතෙනවා?
රෝහණ වීරසිංහයන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු මීට ප්‍රථම මගේ ‘සුදු සෙවනැලි’ චිත්‍රපටයෙත් සංගීත නිර්මාණය කළා. මේ චිත්‍රපටයේ ගීත හයක් ඇතුළත්. එහි තනු නිර්මාණත් රෝහණගේ. නමුත් එහි සංගීත සංයෝජනය සහ සංගීත ශික්ෂණය කියන කාරණා දෙකට රෝහණ වීරසිංහයන්ම යෝජනා කළා අපි සුරේෂ් මාලියද්දේට මේ කටයුත්ත පවරමු කියලා.
රෝහණ හැම විටම දකිනවා සුරේෂ් ගේ තිබෙන දක්ෂතා. ඔහු ඒ දක්ෂතා හඳුනාගෙන සුරේෂ් සමඟ එකතු වෙලා මේ කටයුත්ත සිදු කළා. සුරේෂ්ගේ ශබ්දාගාරයේම තමයි අපි මේ පටිගත කිරීම් කළේ. මේ සඳහා අපි දැවැන්ත වාද්‍ය වෘන්දයක් යොදා ගත්තා. මම හිතන්නේ රෝහණගේත්, සුරේෂ්ගේත් සුසංයෝගයේ මේ සුබ ඵල ‘කුස පබා’ චිත්‍රපටය තිරගත වූ පසු දකින්නට ලැබේවි. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, හර්ෂණ දිසානායක, හේෂාන් ගමගේ සහ වැඩිහිටි පරම්පරාවේ එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර ගායනයෙන් මෙයට දායක වෙනවා.


Friday, December 2, 2011

මඩ ප්‍රචාරවලට බය නැතුව

මේ පියවර මං වෙනුවෙන් විතරක් නෙවෙයි

‘හොඳට නරකට දෙකට කටමයි’ අපේ මුතුන් මිත්තෝ මෙසේ කිව්වේ කට කහනවාට නම් නෙවෙයි. නමුත් වර්තමානයේදී මේ කියමන ‘හොඳට නරකට දෙකට තාක්ෂණය’ ලෙසින් භාවිත කිරීමටත් පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට අන්තර්ජාලය ආගන්තුක දෙයක් නෙවෙයි.
නව දැනුම වගේම අපේ අය ඕප දූප සොයා ගන්නෙත් දැන් අන්තර් ජාලයෙන්. විශේෂයෙන් දේශීයව හා විදේශීයව ජනප්‍රිය චරිත වටා ගෙතුනු නොයෙකුත් කතා වෙබ් අඩවි මඟින් ප්‍රසිද්ධියට පත් කරනවා. පසුගිය දිනක දමිතා අබේරත්න රංගන ශිල්පිනියත්, අත්තනෝමතික ලෙස ක්‍රියා කරන වෙබ් අඩවිවල තවත් එක් ඉලක්කයක් වුණා. එහෙත් වහාම ක්‍රියාත්මක වුණු දමිතා එම වෙබ් අඩවිලට විරුද්ධව නඩු මඟට යොමු වෙන්න පසුබට වුණේ නම් නැහැ.
දමිතා, මොකක්ද මේ නඩු හබය?
වෙබ් අඩවි දෙකක් මඟින් මං ගැන අසත්‍ය කතා පැතිරුවා. ඉතින් මම ඒවාට විරුද්ධව නඩු දැම්මා. මගේ බිස්නස්වලට වගේම ගේ හදන්නත් සල්ලි දුන්නේ සිවුරු හළ කෙනෙක්ලු.
මම එයාගේ ගෙදර ගිහින් ගොඩාක් වෙලා ඉන්නවා . . . වගේ අසත්‍ය කතා මං ගැන ප්‍රසිද්ධ කරලා තියෙනවා.
අද මට වුණා වගේ හෙට දවසේදී තවත් අහිංසක නිවැරැදි කලාකාරිනියකට ඔය දේම වෙන්න පුළුවන්.
ඒ වගේ දෙයක් නැවත වරක් කිසිම කෙනෙකුට සිදු නොවිය යුතු නිසයි මෙහිදී මම නීති මාර්ගයට යොමු වුණේ. අපේ රටේ ඒ වගේ වැරැදි කරන දෙතුන් දෙනෙක් ඉන්නවා.
නමුත් සියලුම දෙනා දෙස ඒ වගේ බලන එක හරිම අසාධාරණයි. හරිම වැරැදියි. ඒක පහත් ක්‍රියාවක්.
අපි දුක් මහන්සියෙන් කලාව වෙනුවෙන් නොයෙකුත් කැපවීම් කරලා හදා ගත්තු නම එක එක්කෙනාට කැත කරන්න දෙන්න බෑ. අනිත් එක තමයි මට ජීවත් වෙන්න කාගෙන්වත් උදව් අවශ්‍ය නෑ. මම, මගේ ගේ හදන්න ගල් පවා ඇද්ද කෙනෙක්.
ඔබ මෙම වෙබ් අඩවිවලට නඩු දැමීමෙන් බලාපොරොත්තු වන සාධාරණය කුමක්ද?
මම නඩු දැම්මේ වන්දි ඉල්ලලා. වන්දි අරගෙන අනාථ නිවාසෙකට ඒ සල්ලි දුන්නත් කමක් නෑ. ප්‍රසිද්ධ චරිතයන් ගැන මඩ ප්‍රචාර ප්‍රසිද්ධ කරලා ඒ පුද්ගලයන් විශාල ලෙස ආර්ථික වාසි ලබා ගන්නවා. ඒ වගේ දේවල් ඒ අයට හිතුමතේ කරන්න දීලා අපිට බලාගෙන ඉන්න බෑ.
මෙහිදී මම නීති මාර්ගයට යොමු වීමේ ප්‍රධානම අරමුණ වුණේ අසාධාරණ ලෙස ගෙන යන මඩ ප්‍රචාර නැවැත්වීමයි. රංගන ශිල්පිනියක් ලෙස මගේ රඟපෑම ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙක්ට අපේ පෞද්ගලික ජීවිතය විවේචනය කරන්න හෝ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන්න අයිතියක් නෑ.
මේ වගේ දේවල් මිට පෙරත් සිදු වෙලා තියෙනවා නේද?
නමුත් මට විරුද්ධව අසත්‍ය ප්‍රචාරයක් වෙබ් අඩවියක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ ප්‍රථම අවස්ථාව මේක. මම වැරැද්දක් නොකළ නිසා තමයි මම නොබියවම මේ තීරණය ගත්තේ. මේ වගේ සිදුවීම් සඳහා වගකිව යුතු පුද්ගලයන් මීට වඩා කාර්යක්ෂමව කටයුතු කරනවා නම් මේ වගේ දේවල් හැමදාම වෙන්නෙ නෑ.
අනිත් එක තමයි අපේ අය එකමුතු නම් එක එක්කෙනාට අවශ්‍ය විදිහට මඩ ප්‍රචාර ගෙනි යන්නත් බෑ. අපි අතර ඉන්න දෙතුන් දෙනෙකුත් මේ මඩ ප්‍රචාරවලට සම්බන්ධ වීමයි මට තියෙන කණගාටුව. කොහොම නමුත් වැඩි කාලයක් නොගොසින්ම සත්‍යය හෙළිදරව් වේවි.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට කියන්න විශේෂ දෙයක් තියෙනවාද?
ඔව්. මේ අසත්‍ය ප්‍රචාරයන්ට රැවටුණු සමහර ප්‍රේක්ෂකයෝ මට කෝල් කරලා චෝදනා කළා. හැබැයි ඊට පස්සේ සමහරු සත්‍යය දැනගෙන නැවතත් මට කතා කරලා වෙච්ච දේට සමා වෙන්නත් කිව්වා. මගේ හිත ධෛර්යමත් කළ ප්‍රේක්ෂකයිනුත් එමටයි.
ඒ බොහෝ දෙනා කිව්වේ මේ මඩ ප්‍රචාරවලට බය නැතුව මුහුණ දෙන්න කියලා. ඒ වගේම මං ගැන වැරැදි ප්‍රතිරූපයක් නෑ කියලත් ඒ අය කිව්වා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මම හැමදාමත් ආදරෙයි. ඒ අයගේ හිතේ මං ගැන තිබෙන විශ්වාසය මේ වගේ බාල වැඩවලින් විනාශ කරන්න බෑ.

Friday, November 18, 2011

සෙල්වම් - තැන්ක් යූ බර්ටි - එතුමයි මෙතුමයි

දිගු කාලයකට පසු එක් මසක් තුළ චිත්‍රපට ත්‍රිත්වයක් මේ නොවැම්බර් මස ප්‍රදර්ශනය ඇරැඹේ.
ටෙනිසන් කුරේගේ තැන්ක් යු බර්ටි, සංජය ලීලාරත්නගේ සෙල්වම්, නිශාන්ත වීරසිංහගේ එතුමයි මෙතුමයි එම චිත්‍රපට ත්‍රිත්වය වේ. වඩාත්ම විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපට ත්‍රිත්වයම අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් නිර්මාණ වීමය.
මේවා අතරින් සිනමාපට දෙකක් එකම දවසේ සිනමා ලෝලීන් හමුවට පැමිණෙයි. නොවැම්බර් 15 දා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාහල්වල නිශාන්ත වීරසිංහගේ එතුමයි මෙතුමයි ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.
ප්‍රියන්ත සෙනෙවිරත්න සහ රොඩ්නි වර්ණකුල ප්‍රධාන චරිත මවන හාස්‍යෝත්පාදක සිනමාපටයක් වූ එතුමයි මෙතුමයි හි ආනන්ද වික්‍රමගේ, මහින්ද පතිරගේ, රොනී ලීච්, දුලීකා මාරපන, ඇන්ටන් ජූඩ්, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, නිශාන්ත මුතුහෙට්ටිගම, ෂෙහාරා හේවදේව, චලනි බාලසූරිය, රුවන් වසන්ත චරිත මවති. එතුමයි මෙතුමයි නිල්වලා ෆිල්ම්ස් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ නිෂ්පාදනය කර තිබේ.
මෙම මස 25 වැනිදා සිට ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමා ශාලාවන් සරසන තැන්කි යූ බර්ටි, ටෙනිසන් කුරේගේ කුලුඳුල් සිනමා නිමැවුමයි. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, නිලන්ති ඩයස්, අනූෂා දමයන්ති, ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, සුසිලා කෝට්ටගේ, රොනී ලීච්, ප්‍රියංකර පෙරේරා, ටිරෝන් මයිකල්, ජනේෂ් සිල්වා, විමල් කුමාර ද කොස්තා, දොන් ගයි, සමන්ති ලැනරෝල්, සැනට් දික්කුඹුර, සිසිර කුමාරතුංග, කපිල සිගේරා, ආරියරත්න ගමගේ, මනුෂ දිසානායක (ලිට්ල් ස්ටාර්) ඇතුළු පිරිසෙහි රංගනයෙන් ඔපවත් වෙයි. මෙය ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි.
සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල සෙල්වම් ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ ද එදිනමය. ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, ශලනි තාරකා, චන්දික නානායක්කාර, ඩැනී අභිෂේක්, නඩරාජා සිවම්, ශාන්තිලිංගම් ගෝකුල්, ලකී රත්නායක, අනුරුද්ධිකා දිල්රුක්ෂි සමඟ සංජය ලීලාරත්න සෙල්වම් රංගනයෙන් හැඩ කරයි. සෙල්වම් මොහොමඩ් මුජාහිඩිගේ නිෂ්පාදනයකි.
සෙල්වම් සහ තැන්ක් යූ බර්ටි චිත්‍රපට යුගළම නළුවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට වේ.

ගාමනී තනද්දී අලියෙක්ගෙන් බේරුණේ පණ එපා කියල දුවලා

සම්මානනීය කලා අධ්‍යක්ෂක සුනිල් විජේරත්න


2007 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනුවේ සංකාරා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ සුනිල් විජේරත්නයි.
කවුද මේ සුනිල්? ඔහු සිංහල චිත්‍රපට පමණක් නොව විදෙස් චිත්‍රපට රැසක ද කටයුතු කළ අයකු බව දන්නේ ටික දෙනෙකි.
ඔහු සිනමාවට පිවිසෙනුයේ මෙරට ජීවත් වූ විශිෂ්ට කලා අධ්‍යක්ෂවරයකු වන ජේ. ඒ. වින්සන්ට් නම් කලා අධ්‍යක්ෂවරයා යටතේ අවුරුදු 41 කට පෙරය.
මේ දිනවල ප්‍රදර්ශනය වන ගාමනී මෙන්ම ද කොමන් මෑන් චිත්‍රපටයේ ද කලා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද සුනිල් විජේරත්නයන් සම්බන්ධ වූවේය.
සිනමාව නම් නොසිඳෙන ගංගාවට ඔබේ දායකත්වය දෙන්නට හැකි වුයේ කෙසේද?
මා 1964 දී ලංකා චිත්‍රගාරයට ගිය කාලයේ එහි කලා අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික ජේ. ඒ. වින්සන්ට් මහත්තයයි. පළමුව වින්සන්ට් මහත්තයා ළඟ මට ලැබුණෙ ෆිල්ම් කටවුට්වලට තීන්ත ගාන්න. පසුව කටවුට් අඳින්න. ක්‍රමක් ක්‍රමයෙන් මගේ දක්ෂතා හඳුනා ගත් වින්සන්ට් මහත්තයා පසු තළ නිර්මාණ කිරීමට අවස්ථාව උදා කර දුන්නා. සෑහෙන කාලයක් සහාය කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කර ලැබුණු අත්දැකීම් සමඟ තමයි කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්න ලැබුණේ.
විදේශීය හා දේශීය චිත්‍රපටවල වැඩ කරන කොට තිබෙන වෙනස්කම් මොනවාද?
විදේශ චිත්‍රපටවල වැඩ කරන්න පහසුයි. මොකද මීට වඩා තාක්ෂණය පැත්තෙන් දියුණුයි. ඊට අමතරව මෙහෙදි වගේ නෙමෙයි, නිෂ්පාදන සැලසුම්කරණ අධ්‍යක්ෂ යටතේ තමයි කලා අධ්‍යක්ෂ වැඩ කරන්නෙ. ඒක නිසා මට පැවරෙන කාර්යය සීමිතයි. මෙහෙදි එහෙම නෙමෙයි. පිටපත අතට ගත් වෙලාවේ සිට සෑම දෙයක්ම සොයන්න, එයට අවශ්‍ය දේ කරන්න වෙන්නෙ මට. ඒ නිසා මගෙ ඔලුවට සෑහෙන වෙහෙසයි. සිතීමේ නිදහස අඩුයි. මම වැඩියෙන් වැඩ කළේ විදේශ චිත්‍රපට සමඟ. ඒ නිසා දේශීය චිත්‍රපට සෑහෙන්න මඟ හැරුණා.
ඔබ වැඩ කළ පළමු චිත්‍රපටය මොකක්ද?
මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘රැම්පේජ්’ චිත්‍රපටයයි.
ඉදිරි දිනවලදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔබ දායක වූ චිත්‍රපට මොනවාද?
‘ද කොමන් මෑන්’, ‘කර්ම’, ‘සත්ත්‍යකාම’ හා තවත් කිහිපයක් ළඟදීම තිරගත වීමට නියමිතයි.
දෙස් විදෙස් අධ්‍යක්ෂවරු කී දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවාද?
27 දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවා. කලා අධ්‍යක්ෂක වගේම සහය කලා අධ්‍යක්ෂක ලෙසත් වැඩ කර තිබෙනවා.
බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළියේ සිට මෙතෙක් ආ ගමන ගැන කිව්වොත්?
චිත්‍රපට සිය ගණනක් වගේම ටෙලි නාටය 60 ක පමණ පසුතල නිර්මාණය කරන්න ලැබී තිබෙනවා. මෙය අමාරු කාර්යයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීම් ලබන්න පුළුවන් හොඳ රැකියාවක් කියල හිතෙනවා.
ඔබේ කලා ජීවිතය හරි රසවත් වගේ. එයට හේතුව කිව්වොත්?
චිත්‍රපටය හෝ ටෙලි නාට්‍යයක පිටපත ලැබුණු වෙලේ සිට මේ කටයුත්ත අවසන් වෙනකම් ලොකු වැඩ කොටසක් තිබෙනවා කරන්න. මට පැවරී තිබෙන්නෙ අධ්‍යක්ෂකගෙ පිටපතේ එන චරිතවලට හරි යන ආකාරයට පසුබිම නිර්මාණය කරන්නයි. ඒ සඳහා යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප්‍රථම පිටපතට අවශ්‍ය කරන පරිසරය සොයා ගත යුතුයි. ඒ සඳහා රට පුර යෑමට සිදු වෙනවා. කාටවත් සියැසින් දැක ගැනීමට අපහසු තැන්වලට යාමට අවස්ථාව උදා වෙනවා. රටේ, ලෝකයේ සුන්දර තැන් දකිනව. මෑතකදී මට යන්න ලැබුණ හිමාල කන්ද පාමුලටම. මගේ සියැසින් මෙවන් සුන්දර දසුන් නරඹන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස මා හිතනවා.
වෝටර්
මේ කටයුතුවලදී අමතක නොවන සිදුවීම් තිබේද?
සෑහෙන සිදුවීම් තිබෙනවා. මේ දිනවල සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙන ගාමණී චිත්‍රපටයේ කරුවලගස්වැව ප්‍රදේශයේ රූපගත කරද්දි එක පාරටම අලියෙක් ආවා. මොනව කරන්නද ඔක්කොම දමල ගහල කට්ටිය පන එපා කියල දිව්වා. සෑහෙන දුරක් පන්න ගෙන ආව අලිය ඊට පස්සෙ අපි වැඩ කරන තැනට ගිහිල්ල යන්නෙම නැහැ. මොනව කරන්නද රතිඤ්ඤ පත්තු කරල තමයි අලියව පැන්නුවෙ.
මීට වසර 38 කට විතර ඉස්සෙල්ල සිදුවුණු සිදුවීමක් තමයි, එච්. ඩී. ප්‍රේමරත්නගෙ ආදර හසුන රූගත කිරීම සඳහා බෝට්ටුවකින් සීනිගම දේවාලෙ පැත්තෙන් මුහුදට ගියා. ලොකු රැල්ලක් ඇවිත් බෝට්ටුව පෙරලුනා. මමයි වසන්තියි මුහුදට විසි වුණා. හැමෝම හිතුවෙ අපි දෙන්නම ඉවරයි කියල. අන්තිමට මොන රඟපෑමක් ද ජීවිතේ බේර ගෙන ගොඩ බිමට ආවා.
පසුතල නිර්මාණය යනුවෙන් හඳුන් වන්නේ කුමක්ද?
පිටපතට අනුව අධ්‍යක්ෂවරයාගේ මනසේ මැවී තිබෙන පරිසරය චිත්‍රපටයේ දර්ශනයට අවශ්‍ය පරිදි කෘත්‍රිමව නිර්මාණය කිරීම.
බර්ට්‍රම් නිහාල්ගෙ සෑම නිෂ්පාදන කටයුත්තකටම ඔබව සම්බන්ධ කර ගන්නවා ඒ ඇයි?
හුඟක් අයට බර්ට්‍රම් නිහාල් මහතා සමඟ වැඩ කරන්න බැහැ. මාව තෝර ගන්නෙ ඔහුගෙ හිතේ තිබෙන දේ නියම ලෙස මවල දෙන්න පුළුවන් එකම පුද්ගලයා මම නිසා.
චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව ඔබට සහය ලැබෙන්නේ කාගෙන්ද?
චිත්‍රපටයක් කිරීමේදී සැම දෙනාම එකමුතුව වැඩ කළ යුතුයි. තමන් කරන වැඩේ මෙන්ම අනෙක් අයගේ රාජකාරිය ගැනත් යම් අවබෝධයක් තිබීම වැඩ කටයුතුවලට පහසුයි. චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව මගේ කටයුතුවලට කැමරා අධ්‍යක්ෂකගේ සහයෝගය තියෙන්න ඕනේ.
ඔබ අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙකු සමඟ වැඩ කර තිබෙනවා. එයින් ඔබ සිත් ගත් අධ්‍යක්ෂකවරු කිහිප පලක් මතක් කළොත්?
සංකාරා
සෑහෙන අමාරු කාර්යයක්. හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලෙනින් මොරායස්, බර්ට්‍රම් නිහාල්, ප්‍රසන්න ජයකොඩි, අසෝක හඳගම, සෝමරත්න දිසානායක, චන්ද්‍රන් රත්නම්, සුනිල් කොස්තා වගේම විදේශිකයන් වන පීටර් ජේම්ස්, උබෙර්ටෝ පැසලෝනි, දීප මෙහ්තා, ෆැබ්බ්‍රීසියෝ කොස්තා, තමරා ස්පිට්සිං, මා වැඩ කළ අයගෙන් කිහිප දෙනෙකි.
පාසල් අවධිය ගැන මතකය අවධි කළොත්?
1962 දී පාසල් ජීවිතය අවසන් කළා. කෝට්ටේ ආනන්ද විද්‍යාලයට තමයි මම ගියේ. පාසල් පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් කළා. මගෙ සමකාලීනය තමයි මිල්ටන් මල්ලවආරච්චි.
පවුලේ විස්තර ගැන කිව්වොත්?
බිරිඳ ලීනා විජේරත්න, දුව නිලුකා චාමරී විජේරත්න. සැලොන් එකක් කරනවා.
මා සමඟ වැඩ කරන සියල්ලන් හට මා ස්තුතිය පුද කරනවා. මොකද මේ සියල්ලක්ම මගේ පවුලෙ අය වගේ එකමුතුව හොඳ අවබෝධයකින් වැඩ කරනවා.

තෑගි එපා ඇවිත් යන්න

හේමසිරි සෙල්ලප්පෙරුම

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ පසුගිය දවසක සරසවියට කතා කළේ ජනප්‍රිය චිත්‍රපට රැසක් කළ හේමසිරි සෙල්ලප්පෙරුම ගැන කියන්නටය. සිනමාවේ චිත්‍රපට රැසක් තැනූ සෙල්ලප්පෙරුම මේ දිනවල තරමක් රෝගාතුරව පසු වෙයි. අපි ඔහු සොයා ගියෙමු.
ඒ දෑස් යොමා හිඳින්නේ අනන්තය වෙතය. කලෙක මහා ආඩම්බරකමක් තැවරී තිබූ ඒ දෑස තුළ අද තැවරී තිබෙන්නේ හුදෙකලා බවේ පශ්චත්තාපයයි.
හේමසිරි සෙල්ලප්පෙරුම . . . වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපට රැසක අධ්‍යක්ෂවරයෙකි. එකල ඔහු පිරිවරාගෙන සිටියේ සිංහල සිනමාවේ ජනප්‍රිය තරුය.
සෙල්ලප්පෙරුම නිසා ජනප්‍රියත්වයට පත් නළු නිළි කැළකි. එකල ඔවුන්ට සෙල්ලප්පෙරුම නොදැක බැරි තරමට සමීපය.
මෙලෙස තරු පිරිවරා හිඳි සෙල්ලප්පෙරුම අද හුදෙකලා වී හිඳියි.
වසරකට ආසන්න කාලයක සිටම ඔහු අසනීපයෙනි. අංශබාගය හැදෙන්නට ඔන්න මෙන්න තිබියදී එය මඟ හැරුණේ ගීතාංජන මෙන්ඩිස්, නොයෙල් සෝමසුන්දර, භෞත චිකිත්සක අධිකාරි යන වෛද්‍යවරුන්ගේ පිහිටෙනි. මේ අසනීපයට මුල අප සමඟ පැවසුවේ සෙල්ලප්පෙරුමගේ ඥාති පුත් සංඛ ප්‍රසාද්ය.
ඔහු නව පරපුරේ රංගන ශිල්පියෙකි.
‘මාමා උතුර දකුණ ෆිල්ම් එකේ ෂූටිං කරද්දී ඇක්සිඩන්ට් වුණා. වම් අත උස්සගන්න බැරි තරමට ඒ ඇක්සිඩන්ට් එකෙන් හානි වුණා. කාලයක් යද්දි මාමාගෙ වම් අත වැඩිය පාවිච්චි වුණේම නැහැ. ඒ නිසා ඒ අතර සිංහල වෙදකම් කරන්න පටන් ගත්තා. රෝගය ගැන හොයන්නෙ නැතුව බෙහෙත් ගත්තෙ වාත අමාරුවට. ඒවයෙ තිබුණ අරිෂ්ටවලට සීනි වැඩි වුණා. ගිය සිංහල අවුරුද්දට කලින් දවසෙ මාමා හිනා වෙන කොට කට පැත්තට ගිහින් තිබුණා. ඒ වෙලාවෙම අපි ජයවර්ධන පුර රෝහලට මාමා ගෙනිච්චා. ඒ වෙලාවෙම ඇඩ්මිට් කරලා ප්‍රතිකාර දුන්නා. දැන් නවලෝක රෝහලෙන් බෙහෙත් ගන්නවා. දැන් නම් ගොඩක් හොඳයි.’
සංඛ කියාගෙන යද්දී සෙල්ලප්පෙරුම බලා හිඳියි. යමක් කියන්නට ඔහුට අවැසි බව හැඟුණි.
‘මම මත්පැන්, මස් මාළු කෑමෙන් වැළකුණ කෙනෙක්. එළවළුයි බතුයි තමයි කන්නෙ. එක පාරටම අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියා. දැන් නම් හොඳයි.
අසනීපයෙන් පසු ඔහුට එළිමහනේ ඇවිදින්නට නොහැකි විණි. නිවෙසටම වී හිඳින ඔහුගේ පාළුව මකන්නේ බුදු දහම හා චිත්‍රපට ගැන ලියැවුණු පත පොතය. ‘සනත්, රන්ජන්, අර්ජුන, සුරේනි සෙනරත් මාව බලන්න ආවා. කලා සංගම්වලින් බෝධි පූජා තිබ්බා.’
වෙන කවුද බලන්න ආවෙ?
මා ඇසූ සැණින් ඔහුගේ ඇහි පියන් වේගයෙන් සැලුනි.
‘කවුරුත් නැහැ. ඒ අයට වැඩ වැඩියිනෙ. ඒ නිසා එන්න විදිහක් නැතුව ඇති’ යැයි ඔහු කීවේ හඬමිනි.
මහා නළු ගාමිණී ෆොන්සේකාගේ පටන් අතිශය ජනප්‍රිය නළු නිළියන් මෙහෙයවමින් සිංහල සිනමාවේ දැවැන්තයෙකු වූ ඔහු කුඩා දරුවකු සේ ඉකි බිඳියි.
‘පුළුවන් වෙලාවට මාව බලන්න එනවනං මං කැමතියි’ ඔහු යළිත් පැවසීය.
සුවිසල් නිවෙසක, විසල් වූ ගෙමිදුලක සැරිසරන ඔහු බලා හිඳින්නේ දහසින් බැඳි පියලිවලින් උදව් ගන්නට නොවේ. තම හුදෙකලා බව මඳකට හෝ තුරන් කර ගන්නටය.
‘සංජානා’ සහ ‘ඉන්ස්පෙක්ටර් චම්පා ’ තිරගත වීමට නියමිත ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය.
‘අර්නස්ට් වඩුගේ මහත්තයත් ආවා මාව බලන්න. එයයි මායි අතරෙ තියෙන්නෙ අවුරුදු ගාණක බැඳීමක්.’
සෙල්ලප්පෙරුම මඳක් නිහඬ විණි. සංඛ නැවතත් සිය හඬ අවදි කරයි.
‘මාමාට ආර්ථික අපහසුකමක් නැති නිසා ගැටළුවක් නැහැ. මාමාට තියෙන්නෙ පාළුව. අසනීප වුණා කියලා විශේෂ සොයා බැලීමක් ක්ෂේත්‍රයෙන් වුණේ නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් ප්‍රවීණ ශිල්පීන්ට පවත්වපු උපහාර උළෙලෙ මාමාත් එක් කෙනෙක් වුණා. ඒ ඇරෙන්න විශේෂ මොකුත් නැහැ. ඇත්තටම මේ තත්ත්වය මේ ක්ෂේත්‍රයේ හැමෝටම පොදු මහා ඛේදනීය තත්ත්වයක්.

Thursday, November 10, 2011

ලක්නව්ගෙන් ලකා Vs Laka

ලක්නව්ගෙන් ලකා Vs  Laka

අපි ආවේ සංගණනයක් කරන්න. ඔබතුමාගේ නම කියනවාද?

ක්ලාක්.

නෑ, නෑ මම ඇහුවෙ රස්සාව නෙවෙයි.

නම.

නම තමයි මහත්තයෝ මම කිව්වෙ. මගේ නම ‘මයිකල් ක්ලාක්’.

වයස කීයද? ළමයි කීය ද?

43 ට 3 යි. ලොකු දුව දෝණි. දෙවෙනි දුව ගංගුලි. බාලයා බලාජි.

සිනා සාගරයේ ගිලෙමින් මේ ක්‍රිකට් පවුලේ තවත් විස්තර දැනගන්න නම් ඔබට ලක්නව් ටියෂාන් රූපසිංහගේ ලකා vs LAka   වීඩියෝ වැඩසටහන නරඹන්නම වෙනවා. මෙම වීඩියෝ වැඩසටහන ලක්නව් ටියෂාන්ගේ කුළුඳුල් කලා නිර්මාණය. කලාවට ආදරය කරන ලක්ෂාන් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ තෙවන වසරේ විද්‍යාර්ථියෙක්.

මම හැමදාමත් කලාවට ආදරය කරන කෙනෙක්. ලකා vs LAka   මගේ කුළුඳුල් වීඩියෝ වැඩසටහන. 14 වනදා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කළා. එහි තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා කැමරාකරණය යන සියල්ලම කළේ මම. මේ අවස්ථාවේදී මගේ අම්මා, තාත්තා, සහ මගේ යාළුවන්ගෙන් ලැබුණු සහයෝගය විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉදිරියේදී තවදුරටත් තාක්ෂණික ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ධනාත්මක චින්තනය ගැන අලුත් විදිහක වාර්තා වැඩ සටහනක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පහත දුරකථන අංකය ඔස්සේ ඔබත් ලක්නව් අමතා ඔහුගේ ඉදිරි ගමනට ආශිර්වාද කරන්න. 0716437310.

- නිශංකා

ඡායාරූපය ප්‍රසාද්

Copy Rights - Sarasaviya

Friday, November 4, 2011

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි

දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි


ඈ ළෙන්ගතුය. ඒ ළෙන්ගතුකම සමඟ නැඟෙනා සිනාව කොතරම් සොඳුරුදැයි මට ඇය දුටු මොහොතක සිතට නැඟිණි.
‘දමයන්ති ෆොන්සේකා’
ඕ ඒ සුපුරුදු ළෙන්ගතුකම ද පුරවාගෙන සොඳුරු සිනහවෙන් අප පෙර මඟට ආවාය.
‘ආ . . . ඉතිං කොහොමද?’
ඇගේ ස්වරය ද ළෙන්ගතුය. මේ දවස්වල පුංචි තිරයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙන් සතියේ දින පහ පුරාම ඔබගේ නිවෙසට පැමිණෙන ඈ දිගු කලකට පසුව අප සමඟ සුහද කතාබහකට මුල පිරුවාය.
‘මම කොහොමත් අවුරුද්දකට දීර්ඝ ටෙලි නාට්‍යයකට වඩා රඟපාන්නට බාර ගන්නේ නැහැ. එක ටෙලි නාට්‍යයක රඟපාද්දී කොයි තරම් ටෙලි නාට්‍යවලට ආරාධනා තිබුණත් ඒ වැඩ කටයුතු භාර නොගන්න නිතරම මම ප්‍රවේශම් වෙනවා. සමහර අවස්ථාවලදී දීර්ඝ නොවන ටෙලි නාට්‍යයක වැඩ කටයුතු වුණත් භාර ගන්නේ අනෙක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කරදරයක් නොවෙන්නයි. ඒ වගේ අපූරු ටෙලි නාට්‍යයක් මට පසුගිය දිනවල ලැබුණා. ඒක වලව්වක කතාවක්. මව්පියන් අහිමි වීමෙන් පස්සේ වතුපිටි සියල්ල පාලනය කරන, බොහොම සමානාත්මතාවයෙන් කටයුතු කරන තරුණ කාන්තාවකගේ චරිතය මගේ රංගනයට අපූරු වෙනසක් එක් කරාවි. මේ දවස්වල විකාශය වන ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙහි මම රඟපාන චරිතයත් වෙනස්ම චරිතයක්.’
‘කාර්ය බහුලත්වයට බොහොම අකැමැති වගෙයි.’
අපට ඉබේම සිතිණි.
‘එක ටෙලි නාට්‍යයක රූගත කිරීමකින් තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට මාරු වෙන්න මම කැමැති නැහැ.’
ඈ සිය අප්‍රසාදය පළ කරන්නීය. මේ විදිහට කටයුතු කිරීමෙන් ලැබෙන විවේකය ගෙවෙන්නේ කොහොමද?
මගේ සිතට නැගුණේ පැනයකි.
‘ලැබෙන විවේකයේදී කරන්න වැඩ කටයුතු ඕන තරම් පෙළ ගැසිලා. ඒ වෙලාවේදී ගෙදර දොර කටයුතු වගේම ඉවුම් පිහුම් කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. ඒකෙන් කියන්නේ සියයට සියයක්ම මම සාම්ප්‍රදායික බිරිඳක් කියලා නෙමෙයි. සාම්ප්‍රදායික බිරිඳකගෙන් ඉටු විය යුතු යුතුකම් කරන්නට පුළුවන් හැම වෙලාවකම මම ඒ දේ කරනවා.’
මේ බිරිඳ සමහර වෙලාවට ගෘහණියකි. එවිට මුළුතැන්ගෙට වෙන ඇගේ අතින් පරිප්පු හොද්දක්, අල බැඳුමක් රසට පිසෙයි.
‘උයන එක කලාවක්. මේසය උඩ සියලුම ආම්පන්න ටික පිළිවෙළට තියලා එළවළු එහෙම කලාවට කපලා උයන්න මම කැමැතියි. මට රසට උයන්න පුළුවන්. එහෙම කිව්වම මට මතක් වෙන්නේ මගේ අම්මා. මොකද මේ විදියට රසට උයන්න පුළුවන් වුණේ ඈ පුංචි කාලයේදීම අපව ඒ පැත්තට නැඹුරු කළ නිසාමයි. මම කැමැති පරිප්පුවලටයි. ප්‍රසන්න කැමැති අලවලටයි. පැණි රසට ප්‍රසන්න ගොඩක් කැමැති වෙන කොට මම කැමැති කඩචෝරුවලටයි. මේ හැම දෙයකටම උදව් වෙන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට නැහැ. ඒ නිසා ලැබෙන පිළිවෙළට මම කටයුතුª කරන්නට පුරුදු වෙලා. මමත්, ප්‍රසන්නත් කලා කටයුතුවල නිරත වෙන නිසා අපි දෙන්න ගැන අපි දෙන්නට තියෙන්නේ හරිම අවබෝධයක්. ඒ අවබෝධය අපේ පවුල ලස්සන කරනවා.’
ඒ වගේම දමයන්ති ගෙවිලියකි.
‘අපූරුවට වැවුණු නිවිති වැලක්.’
කොළ පැහැයෙන් බබළන සරුවට වැවුණු නිවිති වැල ඇගේ දෑතේ පහස ලැබුණු බවට සාක්ෂියකි.
‘තරුණ කාලේ ඉඳලම මම හරිම කැමැතියි වගා කරන්න. මේ නිසාම මගේ ගෙවත්තේ රම්පේ, කරපිංචා, මිරිස්, ඉඟුරු වගේම රාබු, නිවිති කියන එළවළුත් තියෙනවා. ඊට අමරතව නමිනං, කටුආත, දොඩම්, අඹ වගේ පලතුරු ගස්වලින් අපේ වත්ත හැඩ වෙලා. මේ දවස්වල වම්බටු, තක්කාලි, දඹල වගේ එළවළු සිටවන්න මම සූදානම් වෙනවා.’
චුට්ටක්වත් කම්මැලි නැති දමයන්ති මේ සියලු කටයුතු අතර හොඳ චිත්‍රපටයක්, දෙකක් බලන්නීය. හොඳ පොතක් කියවන්නීය.
ඈ අත පොතකි.
‘මම මේ දවස්වල කවි කඳුර කියවනවා.’
ඒ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද සුනේත්‍රා රාජකරුණානායකගේ කවි කඳුර කෘතියය.
ඈ කවි කඳුර පොත පෙරළන්නීය.
ඇයට බාධා නොකළ යුතුය. අපි ඒ සොඳුරු කැදැල්ලෙන් පිට මං වීමු.
දමයන්ති තවමත් කෙල්ල වගෙයි. ඈ දකින බොහොම දෙනෙක් මෙහෙම කියන්නට ඈ ළඟ සැඟවුණු රහස මොකක්ද? අපි ඇගෙන් විමසුවෙමු.
‘රංගන ශිල්පිනියක් විදියට මමත් පුංචි මේකප් එකක් දමනවා. ඒ වුණත් මේකප් එක තැනේ හැටියට වෙනස් වෙනවා.
කෙනෙකුගේ රූපයේ සුන්දරත්වය ඔප් නැංවෙන්න බාහිර ලස්සන විතරක් මදි. ඕනෑම කෙනෙකුගේ අභ්‍යන්තරයේ තිබෙන සිතෙහි සිතුවිලිත් ඒ ලස්සනට බලපානවා. ඒ හින්ද වෙන්න ඇති මම ඔය කියන තරම්ම ලස්සන.’

ගාමනී වැනසීමේ කුමන්ත්‍රණයක්

ගාමනී සිනමාපටයේ ව්‍යාජ පිටපත් කිසියම් පිරිසක් විසින් සමාජය අතරේ බෙදා හරිමින් පවතින බව ඊ. ඒ. පී. සමාගමේ මෙහෙයුම් විධායක ජයරත්න ගලගෙදර මහතා පවසයි.
ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය මත ලක්ෂ 750 කට වඩා ආදායමක් ලබමින් ගාමනී තිරගත වෙනවා. ඒ සාර්ථකත්වය උහුලා ගත නොහැකි කිහිප දෙනෙකු තමයි මේ පිළිකුල් වැඩේ කරලා තියෙන්නේ. කෙසේ හෝ වංචනික අන්දමින් චිත්‍රපටය පටිගත කොට ඩී. වී. ඩී තැටි මාර්ගයෙනුයි ඔවුන් මේවා මිනිසුන්ට ලබා දෙන්නේ. ඒ වගේම ඒ අය ගාමනී චිත්‍රපටය අන්තර් ජාලයට පවා ඇතුළත් කරලා.
මේ වන විට ඒ වංචනිකයින් පිරිසට දැඩි දඬුවම් ලබා දෙන්න අපි නීති මගින් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන් චිත්‍රපටයක් තිරගත වෙද්දී හෝ ඉන් පසුව නීත්‍යානුකූල නොවන අයුරින් මෙවැනි දෙයක් කිරීම අන්තිම පහත් දෙයක් හැටියටයි මං දකින්නේ. ක්‍රමයෙන් නැවතත් වර්ධනය වෙමින් තිබෙන සිංහල සිනමාවට මෙවැනි ක්‍රියාවන් තුළින් අකුල් හෙළන්න එපා කියලා මං ඉල්ලීමක් කරන්න කැමැතියි.

Tuesday, October 25, 2011

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලි සයුරංගි කියූ විට රසිකයන් බොහෝ දෙනෙක් ඈ හඳුනාගත්තේ නිවේදිකාවක ලෙසයි. අද වනවිට ඇය අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල හිමාලි ඇගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ගැන හිමාලි කතාකරන්නේ බොහොම සතුටින්.
”මට නිවේදන කලාව නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන ’රණවිරු රියල් ස්ටාර්’ දෙවැනි අදියරට නිවේදිකාවක ලෙස මටත් එක්වන්නට වාසනාව ලැබුණා. ඇත්තටම, මම මීට පෙර රියැලිටි වැඩ සටහන්වල නිවේදිකාවක ලෙස කටයුතු කරලා නැහැ.
ඒ නිසා මේ ලැබුණු අවස්ථාව මගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් වේවි. කොහෙම වුණත් මේ වැඩසටහනේ නිවේදන කටයුතු සාර්ථකව කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හිමාලි පැවසුවේ නිහතමානීව.

ටෙලිනාට්‍යයේ පූජා වූ අනුරාධා

‘මම වඩාත් කැමැති සිනමාවට’

‘කාව්‍යා’ ටෙලිනාට්‍යයේ පූජා වූ අනුරාධා කුරුකුලසූරිය


’කාව්‍යා’ ටෙලි නාට්‍යයෙහි ආ පූජා ඔබට මතකද? ඇය තමයි අනුරාධා කුරුකුලසූරිය. කුඩා කල සිටම රංගනයට තිබූ කැමැත්ත නිසාම මෙම ක්‍ෂේත්‍රයට එක්වූ අනුරාධා මේ වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක්.
අනුරාධා ඔබ රංගන ක්‍ෂේත්‍රයට පිවිස කොපමණ කලක් වෙනවාද?
දැනට වසර පහක් පමණ වෙනවා. අ.පො.ස. සා/පෙළ කරන කාලයේ ඉඳලා තමයි රංගනයට දායක වුණේ.
ඔබ රංගනයට පිවිසෙන්නේ චිත්‍රපටයකින්?
ඔව්. මගේ මුල්ම චිත්‍රපටය වුණේ නිශාන්ත වීරසිංහගේ ‘සඳ දෙව් දෝණි’ චිත්‍රපටයයි.
කොහොමද ඔබ එම චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මම පොඩි කාලේ ඉඳලම ජාතික තරුණ සේවා සභාවේ නර්තනය හැදෑරුවා. එහිදී තමයි නිශාන්ත වීරසිංහ හඳුනාගැනීමට ලැබුණේ.
ඉන්පසු රංගනයෙන් දායක වුණේ මොන වගේ නිර්මාණවලටද?
ටෙලි නාට්‍ය හතරකටත් චිත්‍රපට තුනකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වුණා.
ඔබ වඩාත් ජනප්‍රිය වුණේ කුමන නිර්මාණයක් හරහාද?
’කාව්‍යා’ හි පූජාගේ චරිතයෙන්. ඒ චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා.
ඔබ මෙතෙක් රඟපා තිබෙන චරිත ගැන කතා කළොත්?
මෙතෙක් වැඩිපුරම රඟපාලා තියෙන්නේ පෙම්වතියගේ චරිතය.
රඟපෑමට වඩාත් ප්‍රියකරන චරිතය?
ඕනෑම චරිතයකට කැමැතියි.
මෑතකදී රංගනයෙන් එක්වූ නිර්මාණ?
ජයසේකර අපොන්සු ගේ ‘දිල්කා දේ කා’ ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වුණා. මගේ මිතුරෙකු මාර්ගයෙන් තමයි එයට එක්වීමට අවස්ථාව ලැබුණේ. එහි මම රඟපාන්නේ මෙතෙක් කළා වූ චරිතවලට වඩා මඳක් වෙනස් චරිතයක්.
ඔබ කැමැති සිනමාවට ද? ටෙලි නාට්‍යවලට ද?
සිනමාවට මා වඩාත් කැමැති.
පවුලේ තොරතුරු ටිකකුත් කියමු නේද?
මගේ පවුලේ අම්මයි තාත්තයි මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා.
පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය?
මගේ දෙමාපියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ මව සෙවණැල්ලක් මෙන් මා ළඟම රැඳෙනවා.
තිරයේදී වැඩිපුරම පෙම්වතියක් වන ඔබට ආදරය ගැනත් කියන්න යමක් ඇති නේද?
ආදරය දැනෙන්න ඕන දෙයක්.
ඔබ සැබෑ ජිවිතයේ පෙම්වතියක්ද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.
ඉදිරි බලාපොරොත්තු?
වෘත්තීමය වශයෙන් හොඳ රංගන ශිල්පිනියක් වීම.


"ටයි නොදැමූ ටයි මහත්තයා"


2011 ඔක්තෝබර් මස 23 11:19:12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පුංචි මල් කැකුළු කලාවෙන් පුබුදුවා දිවි රඟමඬල අතැර ගිය "ටයි නොදැමූ ටයි මහත්තයා"

සිලියානා සෙට්ටිනායක මහත්මියටත් ටී.ජී.එම්.ජුලියස් ද සිල්වා මහතාටත් දාව 1929 අපේ‍්‍රල් 17 වැනිදා අපූරු කොලූපැටියෙක් මෙලොව එළිය දුටුවේය. ඒ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක ‘‘බඩ පිස්සා’’ ලෙසය. දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා ලෙස නම් තැබුණු මේ කොලූගැටයා පසුකාලීනව ටයිටස් තොටවත්ත යන නම භාවිත කළේය.කොළඹ ආනන්දාවෙන් සිප් සතර හැදෑරූ ඔහු පාසල් අවධියේදීම මරදානේ කාර්මික විදුහලෙන් කැමරාකරණයද, ‘‘හේවුඞ්’’ විද්‍යායතනයේ ජේ.ඞී.ඒ.පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහයන් යටතේ චිත‍්‍ර හා මූර්ති කලාවද ශේෂා පලිහක්කාර හා ෂු කේන්ද්‍ර යන ශිල්පීන් සමඟ නැටුම් කලාවද හැදෑරීය. පසුව ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන් සමඟ සංගීතයද ප‍්‍රගුණ කළේය.1952 දී රජයේ චිත‍්‍රපට අංශය පිහිටුවීමෙන් පසු වාර්තා චිත‍්‍රපට නිෂ්පාදනයට සම්බන්ධවීමෙන් කැමරාකරණය, ශබ්ද පරිපාලනය හා රසායනාගාර කටයුතු ගැන පුහුණුව ලැබූ අතර ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ සංස්කරණ ශිල්පය වෙතයි. 56 දී සිංහල සිනමාවේ පුනරුදය වෙනුවෙන් එවකට සමකාලීනයන් වූ ලෙස්ටර් හා විලී බ්ලේක් සමඟ එක්ව ‘‘රේඛාව’’ චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා රජයේ චිත‍්‍රපට අංශයෙන් ඉවත් විය. ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියාද වූයේ තොටවත්තයන්ය.
ඉන්පසු ‘දස්කොන්, සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට, චණ්ඩියා, පරසතු මල් සහ හාරලක්‍ෂය යන චිත‍්‍රපටවලට දායක වී සිංහල සිනමාවේ ප‍්‍රවීණතම සංස්කරණ ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය. 1958 දී තනිකඩ දිවියට ආයුබෝවන් කී ඔහු සුජාතා තොටවත්ත දිවිමගේ සහකාරිය කර ගත්තේය. ඔහුගේ මනස් විලේ පුංචි දරුවන් වෙනුවෙන් යම් නිර්මාණ කාර්යයන් ඉටුවිය යුතු යැයි වූ අදිටන මල්ඵල ගැන්වුණේ 1979 දී ‘‘හඳයා’’ ළමා චිත‍්‍රපටය සිනමාවේ දිග හැරීමත් සමඟය. එය 80 සරසවි සම්මාන උළෙලේදීද,  ඕ.සී.අයි.සී. උත්තමාචාර උළෙලේදීද, ජනාධිපති සම්මාන උළෙලේදීද සුවශේෂී සම්මානවලින් පිදුම් ලැබීය.1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්බන්ධවන ‘‘ටයි මහත්තයා’’ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වැඩසටහන් නිෂ්පාදනය හා රචනය කිරීමේ ආරම්භක පියවර තැබීම ඔහුගේ නිර්මාණ දිවියේ අලූත් පිටුවක් පෙරළීය. ඒ නිර්මාණ චාරිකාවට ඔහුට අපූරු සගයෙක් එකතුවිය. අදත් ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ ප‍්‍රධානියා ලෙස ‘‘ටයි මහත්තයාගේ” රාජකාරිය ඉදිරියට ගෙන යන අතුල රන්සිරිලාල් මහතා ‘‘ටයි මහත්තයා’’ පිළිබඳව මතක ගබඩාවක්ය.‘‘ටයි මහත්තයා මට හමුවුණේ 1984 ජාතික රූපවාහිනියේදී.
අප රූපවාහිනියට බැඳුණේ නිෂ්පාදන පුහුණුවන්නන් ලෙසයි. මේ කාලේ ‘‘දොස්තර හොඳහිත’’ කාටූන් වැඩසටහන් පෙළේ දෙබස් කවන්න ටයි මහත්තයා සූදානම් කර තිබුණා. මාත් එක්ක මේ වැඩවලට අනුර ජයසේකරත් හිටියා.’’‘‘ටයි මහත්තයා නිතරම කිව්වේ අපට පැහිච්ච එවුන් හදන්න බැහැ. පොඩි එවුන්ගෙන් පටන් ගමු. පොඩි එවුන් හදලා හරි පාරට ගත්තම, උන් මහ එවුන්ගේ වැරැදි හදාගෙන රට හදයි කියලයි. ඒ හින්දා දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, පිස්සු පූසා, බගලවතී, එළු නයිදේ, පඬිතුමා, යන කාටුන් චරිතවලට පුංචි දරුවෝ බොහෝම ආදරය කළා.ඒ වගේම 1956 සිට 80 දක්වා චිත‍්‍රපට සියගණනකට වඩා ඔහු අතින් සංස්කරණය වුණා. ‘‘අහල පහල’’, ‘‘ලොකු බාස් - පොඩි බාස්’’, රූපවාහිනී තිරයේ පළමු හඬකැවූ වැඩසටහන් පෙළ වුණා. ‘‘හා හා හරි හාවා’’, ‘‘ගලිවර්ගේ සුවිසැරිය’’ වැඩසටහන් පෙළත් පුංචි දරුවන් හොඳින් රස වින්දා.’’රන්සිරිලාල් මහතා ඒ අතීතය අදටත් සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයකිනි. විශේෂයෙන්ම ‘‘ටයි මහත්තයා සමඟ වැඩ කිරීම බොහෝ දෙනකුට එතරම් පහසු නොවුණේ දැඩි නීති රීති පැනවීමත්. තමන් කරන රාජකාරිය දේවකාරිය සේ සැලකීමත් නිසාය. එය වචනවලට පමණක් සීමා නොකොට ඉතාම ප‍්‍රායෝගිකව ඉටුකිරීමට තොටවත්තයන් තුළ වූයේ නිසග හැකියාවකි.’
’‘‘අපි රූපවාහිනියට බැඳෙන කාලේ ‘‘ටයි මහත්තයා’’ එක්ක වැඩකරන එක විශාල ගෞරවයක් වුණා වගේම අමාරු වැඩක් වුණා. ඒ නිසා නිෂ්පාදන සහකාරවරු බොහොමයක් මේ ඒකකයට එන එක දඬුවමක් විදියටයි සැලකුවේ. ඔන්න ඔය අතරේ ‘‘ලා තණකොළ පෙත්තාස්’’ ගීත කණ්ඩායම ‘‘දොස්තර හොඳ හිතට වුවමනා වුණා. මම ඒ වනවිට වාර්තා අංශයේ මඩවල රත්නායක මහතා ළඟ වැඩකළේ. නමුත් එහි ගීතවලට අවශ්‍ය හඬවල් මම කලූබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙන් හොයා දුන්නා. ඒ මම ඒ දහම් පාසලේ ගුරුවරයකු වූ නිසා. දීපිකා පි‍්‍රයදර්ශනී, රසාදරී පීරිස්, රවින්ද්‍ර මුණසිංහ හා අශිමි විලේගොඩ ඒ ගීත වලට දායක වූ අයයි. අදත් ඔවුන් දක්‍ෂයෝ.’’‘‘ටයි මහත්තයාගෙන්’’ ගෝලයන්ට ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණි. නියමිත වේලාවට නියමිත දේ කළ යුතුයි සේම තමන් කරන දේ තමන්ට අවංකව, පූර්ණ සූදානමක් ඇතුව කළ යුතුය යන්න ඔහු සතුවූ කදිම පාඩම්ය.‘‘උදේ පාන්දර 5.00 ට ‘‘ටයි මහත්තයා’’ බොරැල්ලේ ඉඳන් වැඩට එනවා. ගෝලයොත් ඒ වෙලාවට එන්න  ඕනෑ. ගෝලයෝ පරක්කු නම් විනාශයි. අනික ඔහු තැන තැන අනුන්ගේ දේවල් හොය හොයා කාලය නාස්ති කරන්නේ නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ආපුවැඬේ කරනවා. ඒ කාලේ මම දවසකට පැය 19-20 ක් විතර වැඩකරලා තියෙනවා.
‘‘ටයි මහත්තයාගෙන්’’ ඉගෙන ගන්න තියෙන දේ අපමණයි. ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයක්. අද විද්‍යුත් මාධ්‍ය කලාව කරන අය බොහොමයක් එන්නේ 8.30 යි 4.30 වැඩ කරලා යන්න. මේ අය ‘‘ටයි මහත්තයා” එක්ක වැඩ කළා නම් පැහැදිලිවම එළවනවා.‘‘ටයි මහත්තයා’’ ඔය හැමදේම කළේ නිර්භීතවයි. කාටවත් බය නැහැ. කියන දේ කෙළින් කියනවා. හඬ කැවීමේ ඒකකයට හොඳ අත්තිවාරමක් එතුමා හඳලා දුන්නා. අද වගේ මැදිරියක් එදා අපට තිබුණේ නැහැ. රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රාගාරය ඇරුණාම ‘‘ටයි මහත්තයා’’ තමයි අද අප වැඩකරන මැදිරිය හැදුවේ. එතුමා නොවෙන්න මම නම් හිතන්නේ නෑ ඒ වැඬේ වෙන අයෙක් කරයි කියලා. ලංකාවේ මුල්ම උපසිරැසි වැඩ සටහන කළෙත් එතුමයි. අපි සහායකයෝ. ඉතාම දුෂ්කර කාර්මික මාවතක් ඔස්සේ පටන් ගත්තත් පසුව අලූත් තාක්‍ෂණයක් ලැබුණා. මුල්ම උපසිරසි වැඩසටහන් පෙළ ‘‘රොබින් හුඞ්’’ දරුවන් හා වැඩිහිටියන් අතරේත් ජනපි‍්‍රය වුණා.’’‘‘ටයි මහත්තයා’’ සතු අපූර්ව හැකියා රැුසකි. ලිවීමේ හැකියාව, සංස්කරණ හැකියාව, අධ්‍යක්‍ෂණය, අලූත් දේ සිතීම වැනි කරුණු කාරණාවලදී ඔහු ඉදිරියෙන්ම සිටියේය. රූගත කිරීමේදී විටෙක පිටපත් යොදා නොගෙන අවශ්‍ය කරන දෙබස් තැනේ හැටියට අවශ්‍ය ලෙස යොදමින් පසුව සංස්කරණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුවිය. ඔහු රාජකාරිය දේවකාරිය සේ සැලකීමට කදිම නිදසුන් රන්සිරිලාල් මහතා සතුය.1989 දී ‘‘‘කොරා සහ අන්ධයා’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමවෙලා එතුමා ලෙඩවුණා. ඒත් චිත්ත ධෛර්ය හීන වුණේ නැහැ. මම ඔහු බලන්න ආසිරි රෝහලට ගිය මොහොතේ මගේ ඇඟට කඩන් පැන්නා. ‘‘උඹ මොකටද මෙහෙ ආවේ, උඔ දොස්තරයෑ, ගිහිං ඩෙක් එකයි ටී.වී.එකයි අරගෙන වරෙන්. ‘‘කුංෆු’’ ලියන්න තියෙනවා කියලා කිව්වා.
‘‘ටයි මහත්තයාගෙ ලෙඬේට බෙහෙත වුණේ ‘‘කුංෆු’’ පිටපත ලියන එක. පස්සේ අපූරුවට ගලපලා එතුමා ඒ වැඬේ කළා.’’මේ වන විට දෙබස් කැවීමේ හා උපසිරැුසි ගැන්වීමේ වැඩසටහන් 20,000 කට වඩා ‘‘ටයි මහත්තයා’’ දෙබස් කවා ඇති අතර අදටත් හඬ කැවීමේ කලාව එහි මූලධර්ම සහ ක‍්‍රමවේද මෙන්ම භාෂාවද නිවැරැුදිව යොදාගෙන කටයුතු කරන්නට ඔහු තරම් සමතකු මෙතෙක් බිහි වූයේ නැත. සැබැවින්ම අපේ රූපවාහිනී සම්ප‍්‍රදාය තුළ ඔහු පුරෝගාමී දැවැන්තයෙකි. ඔහු කාටුන් චිත‍්‍රපට කලාව පරතෙරටම ප‍්‍රගුණ කර තිබුණේය. විදෙස් වලින් ආනයනය කෙරුණු කාටුන රූපරාමුවලට දෙස බස මුසු කිරීමේදී ඔහු පෑවේ අපූරු ප‍්‍රාතිහාර්යයන්ය. ඒවා නැරඹූ කිසිවකුට වුවද කිසිම විදෙස් ගතියක් නොදැනුණේ ඔහුගේ ප‍්‍රතිභාව නිසාමය.ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ප‍්‍රථම සජීවි ටෙලිනාට්‍ය වූ ‘‘වැටත් නියරත්’’ රචනා කොට නිපදවා අධ්‍යක්‍ෂණය කරන ලද්දේද ‘‘ටයි මහත්තයා’’ විසිනි.‘‘ටයි මහත්තයා ඍජු මිනිහෙක්. රූපවාහිනියේ අදටත් හැමෝම ගරු කරන්නේ ඒකයි. ඒ වගේම දේශපාලනඥයෝ හෝ දේශපාලනයට මුල්තැනක් දුන්නේ නැහැ. දවසක් උදේ ටයි පටියක් බැඳගත්තු යස ඉලන්දාරියෙක් දොර හයියෙන් ඇරගෙන අපේ කාර්යාලයට ඇතුළු වුණා. ‘‘ටයි මහත්තයා ඉස්සරහම මේසේ ඉඳගෙන සිටියා. තරුණ කොලූවා. ‘‘ඔයාද ටයිටස් තොටවත්ත’’ කියලා අහපු සද්දේ ටයි මහත්තයාට ඇල්ලූවේ නැහැ. එතුමා පාඩුවේ තමන්ගේ වැඬේ කළා. විනාඩි 5 ක් විතර ඉඳලා ආයෙත් කොලූවා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ‘‘මං ආවේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. ටයි මහත්තයා ඉරියව්ව වෙනස් කරලා ‘‘ඒයි බලනවා මාර වැඩකාරයෙක්නේ. අපි නම් ආවේ අම්මලාගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. මිනිහා ආගිය අතක් නැතිවුණා.’’‘‘ඔහුට සොඳුරු බිරිඳක් හිටියා. එකම පුතා දමිත්ගේ වැඩකටයුතුත් බලාගෙන, ගෙදර දොරේ වැඩත් බලාගෙන ‘‘ටයි මහත්තයා’’ නිර්මාණ කටයුතුවලට සියයට සියයක්ම නිදහස් කළා. ඒක එතුමට විශාල පිටිවහලක් වුණා මේ දිගු ගමන එන්න. ඒ වගේම අන්තිම කාලේ ජාතික රූපවාහිනියේ මමත්, චර්චිල්, ශීලා කටුගම්පොළ, අනුර ජයසේකර, රංජිත් සිල්වා, අනුර ධර්මරත්න, චන්දන සෙනෙවිරත්න, කැලූම් පාලිත මහීරත්න හා සේනානි ගුණසේකර, අප හැමෝම ඔහු ළඟින් හිටියා.
අවසන් මොහොතේ සිටම ජාතික රූපවාහිනිය, ජාතික චිත‍්‍රපට සංස්ථාව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා ටවර් හෝල් පදනම විශාල වශයෙන් ඔහු ගැන සොයා බැලූවා. මරණය සැලවූ මොහොතේ එතුමාට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබා දෙන්න ඒ අය කටයුතු කළා. ‘‘ටයි මහත්තයා’’ කියන්නේ අපට ජීවිත කාලේ ආයේ කිසිදාක හමුනොවන අද්විතීය, ස්වර්ණමය කලාකරුවෙක්. වසර 17 ක් මට එතුමාගෙන් ලැබුණු දැනුම මහා සාගරය වගෙයි.’’පුංචි සිත් සතන් තුළ සේම, වැඩිහිටියා, මහල්ලා දක්වාම ඔවුන්ගේ චිත්ත සන්තානයේ සෞන්දර්යය වපුරවාලූ, නූපන් දරු පරපුර වෙනුවෙන්ද අතිශය සොඳුරු කලා නිර්මාණ ඉතිරිකර දිවි රඟමඩලින් සමුගත් යුගපුරුෂයාණනි, ඔබ ‘‘චණ්ඩියා’’ සිනමා පටයට අකුරු කළ දෙබස් කණ්ඩයකින් අපි මේ සටහන නිමා කරමු.‘‘ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී’’ ලෙඩට-දුකට-කරදර-පීඩාවලට අභියෝග වලට බය නොවී......‘‘ටයි මහත්මයාණනි- ඔබට නිවන් සුව!’’
සටහන දුෂ්‍යන්ත කුමාර

ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ අංශ ප‍්‍රධානී අතුල රන්සිරිලාල්

"එතුමයි - මෙතුමයි" මට සුන්දර අත්දැකීමක්

කලාව හා දේශපාලනය සමබරව කරනවා
2011 ඔක්තෝබර් මස 21 11:14:48 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
  අනර්කලී ආකර්ෂා ජයතිලක නම් වූ ඇය ජීවිතයේ ලාබාල අවධියකදී සාර්ථක අත්දැකීම් ගණනාවකට උරුමකම් කී භාග්‍යවන්තියකි. කලා ක්ෂේත‍්‍රය තුළ ඉතාමත් ශක්තිමත් පදනමක් සහිතව සිටියදී ඇය තම ජීවිතයේ වැදගත්ම අවධිය දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමට ස්ථානගත කර ඇත. මේ වන විට කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ නියැලෙමින් අතිශයින් කාර්ය බහුල සහ වගකීම් සහිත දිවියක් ගෙවන ඇය රසවින්දන හා සංවාදයකට එළැඹුනේ මෙලෙසිනි.
ඔබ කලාව අතහැරලා දේශපාලනයට යොමුවුණේ ඇයි?
මම කලාව අතහැරියේ නැහැ. දේශපාලනය තුළ නියැළුණත් කලාව තුළ දිගටම නියැලීමට මා අතින් සිදු වුණා. මම අද මේ ස්ථාවරයේ ඉන්නේ කලාව නිසයි. ඒ නිසා මගේ යුතුකම තමයි කලාව වෙනුවෙන් කටයුතු කිරීමත් ඒ සඳහා දායකවීමත්. මම දේශපාලනයට පැමිණියේ ජනතාව වෙනුවෙන්. මගේ අරමුණ කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ සමබර පැවැත්මක් ගෙන යෑමයි.
චරිතාංග නිළියක් විදියට ඉදිරියට යෑමේ හැකියාව දේශපාලනය නිසා ඔබට අහිමි වුණා නේද?
මම දේශපාලනයට එන්න කලිනුත් හුගාක් නිර්මාණවල විවිධ චරිත සඳහා දායකවීමේ අවස්ථාව ලැබුණා. මට ලැබුණු පලියට හැමදේම බාරගෙන රඟපාන කෙනෙක් නොවෙයි. ඒනිසා මට එහෙම දෙයක් දැනෙන්නෙ නැහැ.
කලාකරුවන් පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් දේශපාලනය තෝරගන්නව කියලා ඇතැම් අය තුළ මතයක් තිබෙනවා. මෙය ඔබට අදාලද?
නැහැ. මම අනිත් අය වගේ නොවෙයි. සමහර අයට මෙය අදාල ඇති. නමුත් මම මේ ස්ථාවරයේ නොවන නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ. අපේ පවුල්වල අය දේශපාලනය කළේ පෞද්ගලික දේපල මහජන යහපතට ලබාදීලා. උදාහරණයක් විදියට නාවලපිටිය ජාතික ක‍්‍රීඩාංගනය වූ ආර්.ඊ. ජයතිලක ක‍්‍රීඩාංගනය සඳහා ඉඩම ලබාදුන්නේ මගේ සීයා වන ආර්.ඊ. ජයතිලක මැතිතුමයි.
සිකුරු 07, කිං හන්තර්, එතුමයි - මෙතුමයි වැනි චිත‍්‍රපට තුළ රඟපෑම නිසා ඔබ විකට චිත‍්‍රපටවල ආකෘතියකට යට වෙලාද?
නැහැ. මම එහෙම දෙයක් දකින්නෙ නැහැ. අංජලිකා චිත‍්‍රපටයේ මාගේ රංගනයට 2004 වර්ෂයේදී ජනාධිපති සම්මානයට පවා පාත‍්‍ර වුණා.  මා රඟපෑ විකට චිත‍්‍රපටවල රඟපෑවේ එය මට සුන්දර අත්දැකීමක් වගේම පේ‍්‍රක්ෂකයාටත් එම සුන්දර අත්දැකීමම ලබා දීමටයි. මෙහිදී ළඟදී රඟපෑ ”එතුමයි-මෙතුමයි” චිත‍්‍රපටය මට සුන්දර අත්දැකීමක් ගෙන දුන් නිර්මාණයක්. එහිදී ආසාවෙන් රඟපෑවේ”
රොෂානි ගාල්ලගේ

Monday, October 24, 2011

නදීශා කාර් එකක ඩිකියේ හිරවෙලා

නදීශා කාර් එකක ඩිකියේ හිරවෙලා
 

නදීශා හේමමාලි වර්තමාන රංගන ක්‍ෂේත්‍රයේ සිsටින ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌. ඇය මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ඇත්කඳ ලිහිණියා ටෙලිනාට්‍යය තුළිsන් නිෂ්පාදිකාවක්‌ ලෙසට ක්‍ෂේත්‍රයට පිවිස සිටිනවා. එපමණක්‌ ද නොව නදීශා විසින් එලෙසින් නිෂ්පාදනය කර විකාශය කරන මෙම ටෙලිනාට්‍යය විශේෂ ප්‍රෙක්‍ෂක අවධානයකට ද ලක්‌ව තිබෙනවා. ඒ පැරැණි කතා තේමාවක්‌ ඔස්‌සේ ඇත්කඳ ලිහිණියා නිර්මාණය වී ඇති නිසයි.

එසේ රංගන ශිල්පිණියක්‌ ලෙසටත් නිෂ්පාදිකාවක්‌ ලෙසටත් ක්‍ෂේත්‍රයේ කටයුතු කරන නදීශාට රූපගත කිරීමකදී මුහුණපාන්න සිදුවූ භයානක සිදුවීමක්‌ පිළිබඳව අපට දැනගන්න ලැබුණා. ඒ සිදුවීම පිළිබඳ ඇය දැක්‌වූ අදහස්‌.

"මම සම නිෂ්පාදනයෙන් දායක වෙන ටේ්‍රන් ටූ කැන්ඩි චිත්‍රපටයේ රූගත කිරීම්වලදී තමයි මේ සිද්ධියට මුහුණ දෙන්න වුණේ. එදා ෂූට්‌ එක තිබුණේ ගල්කිස්‌ස ප්‍රදේශයේ. පැහැර ගැනීමක දර්ශනයක්‌ තමයි රූගත කරන්න තිබුණේ... පිටපත ලියවිලා තිබුණු හැටියට මාව පැහැරගෙන ගෙනියන්නේ කාර් එකක ඩිකියේ. මමයි තව පොඩි නංගි කෙනකුයි තමයි පැහැර ගන්නේ. ඒ වෙලාවේදී අපි දෙන්නව ඩිකියට දාලා දොර වැහුවට පස්‌සේ මට හුස්‌ම ගන්න බැරිව ගියා. විනාඩි දෙක තුනක්‌ම මාව එළියට ගන්න කියලා කෑ ගැහුවා. සමහර විට රාත්‍රී දර්ශනයක්‌ නිසා ඩිකිය වැහුවට පස්‌සේ මුකුත්ම පේන්න නැතිව ගිය නිසා කළුවරට බයවෙලා එහෙම වුණාද දන්නෙත් නැහැ.

කොහොම වුණත් මාත් එක්‌ක රඟපාපු අනෙක්‌ නංගිට නම් අපහසුවක්‌ දැනිලා තිබුණේ නැහැ. හොඳ වෙලාවට ෂූට්‌ එක දිහා විමසිලිමත්ව බලාගෙන හිටපු කෙනෙක්‌ දැකලා දෙර ඇරපු නිසා නොමැරී බේරුණා. ඒ සිද්ධිය නම් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් නම් එහි රූගත කිරීම් ඇතුළු වැඩ සියල්ලම අවසන්. මේ අවුරුද්දේ අවසානයේ හරි ලබන වසරේ මුල හරි ටේ්‍රන් ටූ කැන්ඩි චිත්‍රපටය තිරගත වෙයි.

ඒ හැරුණු කොට මේ දවස්‌වල නම් වෙන නිර්මාණවලට සම්බන්ධවෙලා නැහැ. රීල් ඇන්ඩ් ට්‍රැක්‌ මගේම නිෂ්පාදන ආයතනයේ ඊළඟ දෙවැනි ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතුවල තමයි නිරතවෙලා ඉන්නේ. ඒ නාට්‍යයත් ඇත්කඳ ලිහිණියා වගේ වෙනස්‌ම ආරක ප්‍රේක්‍ෂක රසාස්‌වාදයක්‌ ගෙන දෙන නිර්මාණයක්‌ වෙයි.


-ලක්‌මිණී

 Copy Rights - Divayina

Monday, October 3, 2011

ජෝ අබේවික්‍රම - රංගනයේ තීර්ථ යාත්‍රිකයා

පින්බර පුන්සඳ

දෑස නිසා - ශ්‍රියානි, ජෝ නිළියකට පෙම් කළෙමි - ශ්‍රියානි, ජෝ
ධීවරී එක් ටැම් ගේ – කොස්තා, මාලිනී, ජෝ
සාරවිට වැලිකතර - සුවිනීතා, ජෝ
සොල්දාදු උන්නැහේ තුෂාරා - බැප්ටිස්ට්, ජෝ
අවරගිර - අයිරාංගනී,ජෝ චෙරියෝ කැප්ටන් - ජෝ සහ ටෙනිසන් කුරේ
අස්වැසුම - ජෝ, ඩග්ලස් රණසිංහ සුදු අක්කා - ජෝ, සනෝජා
පරසතු මල් - ගාමිණි වරකාගොඩ ෂෙල්ටන් පෙරේරා
දහසක් සිතුවිලි - ජෝ, හෙන්රි පුංචි බබා
ළඳක මහිම - නීටා, ජෝ සිරිබෝ අයියා
අල්ලපු ගෙදර මලට නොඑන බඹරු – ජෝ, සුවිනීතා

ලොකු දුව

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money