Sunday, October 16, 2011

සුන්දර වෙරළ තීරෙන් ඇසෙන අසුන්දර කතා

සුන්දර වෙරළ තීරෙන් ඇසෙන අසුන්දර කතා
දර්ශනීය වූද මනස්‌කාන්ත වූද වෙරළ තීරයන්ගෙන් අපේ රට පොහොසත්ය. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මෙකී වෙරළ තීරයන් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ පාරාදීසයන්ය. විදෙස්‌ සංචාරකයන් බුරුතු පිටින් මෙරටට පැමිණෙන්නේ වෙරළ තීරයේ එහි සුන්දරත්වය මෙන්ම හිරු එළියේ පහස විඳ දරා ගැනීමටය. සැබැවින්ම මේ පුංචි දිවයින අනාදිමත් කාලයක සිටම විදෙස්‌ සංචාරකයන්ගේ ක්‍ෂේම භූමියකි. විදෙස්‌ සංචාරකයන් අපේ රටේ සුන්දරත්වයට වහ වැටී ඇත්තාහ. මෙරට තුළ නවීන සංචාරක ව්‍යාපාරය ආරම්භ වන්නේ හැටේ දශකයේ මැද භාගයේදී පමණය. එසේ වුවද මේ වන විට සංචාරක ව්‍යාපාරය අපේ රටට විදේශ විනිමය ගලාගෙන එන ධන උල්පතක්‌ බවට පත්ව ඇත්තේය.

සංචාරක මණ්‌ඩලයේ ගණන් හිලව්වලට අනුව 2010 වසරේදී මේ රටට පැමිණ ඇති විදෙස්‌ සංචාරකයන්ගේ සංඛ්‍යාව හයලක්‍ෂ පනස්‌හතර දහස්‌ හාරසිය හැත්තෑහයකි. 2011 වසරේ අගෝස්‌තු මාසය වන විට විදෙස්‌ සංචාරකයන් පන්ලක්‍ෂ තිස්‌ හත් දහස්‌ පන්සිය අසූහත්දෙනකු මෙරටට පැමිණ ඇත. විදෙස්‌ සංචාරකයන් වැඩි වශයෙන් මෙටට පැමිණෙන්නේ ද ඉදිරි මාස කිහිපය තුළදීය. මක්‌ නිසාද යත් ඉදිරියේ සංචාරක සමය ආරම්භ වන බැවිනි.

මෙරටට 2016 වසරේදී විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ විස්‌සක සංඛ්‍යාවක්‌ ගෙන්වා ගැනීම රජයේ අරමුණයි. සැබවින්ම අප රට තුළ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇත්තේ වැල්ලකරයේය. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට විසිපහක්‌ පමණ සංචාරක කලාපයන්ට අයත්ය. මෙරට ජනගහනයෙන් සියයට තිස්‌හතරක්‌ පමණ පදිංචිව සිටින්නේ ද මුහුදුකරයේය. ප්‍රධාන නගර වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ද වෙරළ කලාපය ආශ්‍රිතවයි. රට වටා ඇති වෙරළ තීරය කිලෝමීටර් 1520 කි. ඉන් සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇත්තේ කිලෝමීටර් 140 ක්‌ පමණ වූ වෙරළ කලාපය තුළය. මෙතරම් අටුවාටීකා ටිප්පනි යොදා සංචාරක ව්‍යාපාරය පිළිබඳ සඳහන් කළේ අප රට තුළ මෙකී ව්‍යාපාරයට හිමි වපසරිය සඳහා ගැන සඳහන් කිරීමටය. එහෙත් අප මේ කියන්නට යන්නේ සංචාරක ව්‍යාපාරය තුළ ඇති අසුන්දර පැතිකඩවල් ගැනය. සංචාරක කලාපවල සිදුවන අසුන්දර කටයුතු සොයා පසුගියදා අපි වැල්ලකරයේ සංචාරයක නිරත වීමු. සැබැවින්ම මේවායේ සිදුවන්නේ හරි අපූරු දේවල්ය. ඔහු අපි උක්‌කුවා ලෙස හඳුන්වමු. උක්‌කුවා වසර තිහක පමණ කාලයක සිට සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින අයෙකි.

මේ නිසා සුද්දන්ගේ කෙරුවාවල් ගැන මෙන්ම මෙම ව්‍යාපාරයේ නිරත අපේ ඇත්තන්ගේ කටයුතු ගැන ඔහු හොඳින් දන්නේය. උක්‌කුවා සුද්දන්ට ද අන්දවපු අයෙකි. ඒ මීට වසර කිහිපයකට පමණ ඉහතදීය. එහෙත් දැන් මෙරටට පැමිණෙන සුද්දන් ඇන්දවීමට අපහසුය. මක්‌නිසාදයත් අපේ අයගේ අලගුවලට හසු වී සුද්දන් අපේ ඇත්තන්ටත් වඩා තෙම්පරාදු වී ඇති බැවිනි.

ඔවුන් අන්තර්ජාලය හරහා අපේ රට ගැන දැනුවත් වී ඇත්තේය. මේ නිසා සුද්දන් දැන් අපේ අයගේ කපටි කයිරාටික වැඩවලට හසුවන්නේ නැත. එහෙත් මෙරටට පැමිණෙන ඇතැම් විදේශිකයන් සල්ලාලයන්ය. සමලිංගික සේවනයට ඇබ්බැහි වූ පුද්ගලයන්ය. සමලිංගික සේවනයට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ වයස අවුරුදු හැට හැත්තෑවේ වයස්‌ කාණ්‌ඩවල පසුවන නාකි සුද්දන්ය. සුන්දර යොවුන් වියේ ගැටවරයන් නාකි සුද්දන් විසින් දැලේ දමා ගන්නේ වැල්ලේදීය.

නැතිනම් ගෙයිපාටි වලදීය. ගෙයිපාටි පැවැත්වෙන්නේ ඉතා රහසිගතවය. ගෙයිපාටි සංවිධානය කිරීම සඳහා වෙනම පිsරිසක්‌ සිටිති. මේ සඳහා සහභාගි වන්නේ සුද්දන් පමණක්‌ නොවේ. ටයිපොලු දමාගත් වැදගත් මහත්වරු ද ගෙයිපාටිවලට සහභාගි වෙති. සංචාරක කලාපවල රාත්‍රියේදී පැවැත්වෙන ඩිස්‌කෝ ඩාන්ස්‌වලදී ද නාකි සුද්දන්ට අපේ කොලු ගැටව් සෙට්‌ වෙති. සුද්දන් වැඩි වශයෙන් මේ කර්මාන්තය සඳහා සහභාගි කරගන්නේ වයස අවුරුදු පහළොවේ තිහේ වයස්‌ කාණ්‌ඩවල පසුවන ගැටවරයන්ය.

එමෙන්ම මේ සඳහා සුද්දන්ට තරුණ ගැටව් සොයා දෙන පිරිසක්‌ ද වැල්ලේ සිටිති. වැල්ලේ භාෂාවෙන් මේ අය හඳුන්වන්නේ කර්මාන්ත ඇමැතිලා වශයෙනි. සුද්දන්ට සෙට්‌වුණු ඇතැම් ගැටවරයන් අද කෝටිපතියන්ය. ඔවුන්ට සුද්දන් විසින් නිවාස ඉඩකඩම් මෙන්ම යානවාහන ද මිලට ගෙන දී ඇත. ඇත්තටම මේ ගැටව් සුද්දන් සමඟ ගතකරන්නේ බැඳපු ජෝඩු වගේය. සුද්දා මෙරටට පැමිණෙන්නේ මාස තුන හතරකට පමණ සැරයක්‌ය. ඉන්පසු සුද්දා රට වටේ යන්නේ ඔහුට සෙට්‌වුණු කොලු ගැටයා සමඟය.

සුද්දන්ට සෙට්‌වුණු ඇතැම් ගැටවරයන් විවාහ වී සිටිති. එහෙත් සුද්දා මෙරටට පැමිණි පසු ඔහු තම බිරිඳ හා දරු පැටව් අත්හැර සුද්දා සමඟ සිටිය යුතුය. සුද්දන් සමග සමලිංගික සේවනයට ඇබ්බැහි වූ ගැටවරයන් විශාල පිරිසක්‌ මුහුදුකරයේ සිටිති. මුදලට ඇඟ විකුණා, දිවි ගෙවන මොවුන් වැඩි දෙනකු ගජ පොහොසතුන්ය. ඇතැම්හු සංචාරක හෝටල් හිමියන්ය. එසේ කෝටිපතියන් බවට පත්වූ ඇතැම් අය දැන් මේ කර්මාන්තය කරගෙන යන්නේ නැත. ඔවුන් සුද්දන්ට තරුණ ගැටව් සොයා දෙති. මේ සඳහා ඔවුන් යොදාගන්නේ හරි අපූරු උපක්‍රමයකි. පාටියක්‌ තිබෙන බවට ආරාධනා කොට තෝරාගත් තරුණයකු හෝටලයට ගෙන්වා ගනියි. ඉන්පසු සුද්දා ද හෝටලයට පැමිණෙයි. පසුව සියලු දෙනා කා බී විනෝද වෙති. ඉක්‌බිති සුද්දා තරුණයා සමඟ සෙට්‌ වන්නේය. අනික්‌ කාරණය වන්නේ මෙකී කලාපයන් තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්කුඩු ජාවාරමය. ඇතැම් විදේශිකයන් ද මත්කුඩුවලට ඇබ්බැහි වී සිටිති. මත්කුඩු ගෙන එන්නේ ද ඉතා සූක්‍ෂ්ම ආකාරයෙනි. ග්‍රෑම් පනහක මත්කුඩු පැකට්‌ටුවක්‌ අලෙවි වන්නේ රුපියල් තුන්දහසක පමණ මුදලකටය. සුද්දන්ට ගංජා හා මත්පෙති අලෙවි කරන්නේ වැල්ලේදීය. එය ඉතා රහසිගතව සිදුවන්නේය. අනික්‌ කාරණය වන්නේ සංචාරක කලාපයන් තුළ ඇති සම්භාහන මධ්‍යස්‌ථානයකදීය. ඇතැම් සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ නිසි ප්‍රමිතියකින් තොරවය. සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන මුවාවෙන් මේවායේ සිදුවන්නේ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ය. ඇතැම් මධ්‍යස්‌ථානවල සිටින්නේ පුහුණු ආයුර්වේද වෛද්‍යවරුන් නොවේ. හොර වෛද්‍යවරුය.

එමෙන්ම සුද්දන්ට වැල්ලේදී සම්භාහනය ලබාදෙන පිරිසක්‌ ද සිටිති. ඔවුන් සුද්දන්ගෙන් වැඩි මුදලක්‌ අයකරන්නේ නැත. සම්භාහනය ගැන මෙලෝ දෙයක්‌ මේ අය දන්නේ නැත. අය කරන්නේ රුපියල් දෙසීයක පමණ මුදලක්‌ය. මසාඡ් කිරීමට යොදාගන්නේ පොල්තෙල්ය. පොල්තෙල් ගල්වා සුද්දාගේ ඇඟ මසාඡ් කරන්නේය. සුද්දියන් මසාඡ් කරන්නේ වැල්ලේ රෙදි ආදිය විකුණන ගැහැනුන්ය. හෝටලයක්‌ තුළ මසාඡ් කර ගැනීම සඳහා විශාල මුදලක්‌ ගෙවිය යුතුය. දැන් මෙරටට පැමිණෙන සුද්දන් ඒ හැටි පොහොසතුන් නොවේ. ඔවුන් අත දිග හැර මුදල් වියදම් කරන්නේ ද නැත. මේ නිසා වැල්ලේදී අඩු මුදලකට මසාඡ් කර ගැනීමට ඔවුන් කැමතිය.

විදේශිකයන්ට වැඩි වශයෙන්ම හිරිහැර වන්නේ මෙකී කලාපවල සිටින ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන්ය. ඔවුන් බලා සිටින්නේ කුමන හෝ උප්පරවැට්‌ටියක්‌ දමා සුද්දන්ගෙන් ගානක්‌ කපා ගැනීමටය. සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය ගැන ඔවුන් සිතන්නේ නැත. කොග්ගල, මඩොල්දූව ආදී ස්‌ථාන නැරඹීමට යන විදේශිකයන්ගෙන් ත්‍රිරෝද රථ රියෑදුරන් අය කරන්නේ ගිනි ගණන්ය. බෝට්‌ටුකරුවන් අයකරන මුදල මෙන් දෙගුණයක්‌ මොවුන් විදේශිකයන්ගෙන් අයකර ගනිති. ඇතැම් විදේශිකයන් පලතුරු මිලදී ගැනීම සඳහා යන්නේ පලතුරු වෙළෙඳසල්වලටය. විදේශිකයන් පලතුරු මිලදී ගැනීමට යනතෙක්‌ ඇහැ ගසාගෙන සිටින පිරිසක්‌ ද සිටිති. ඔවුන් වෙළෙඳසල් අවට සිටින තැරැව්කරුවන්ය. පළතුරුවල මිල ගණන් කියන්නේ පලතුරු කඩයේ මුදලාලි නොව අර තැරැව්කරුවන්ය. වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා දෙතුන් ගුණයක මුදලක්‌ මොවුන් විදේශිකයන්ගෙන් අයකරති. පලතුරු මුදලාලිට යන්නේ නියම මුදලය. ඉතිරි මුදල යන්නේ තැරැව්කාරයන්ගේ සාක්‌කුවටය. වෙළෙ¹මෙන් ලාභ ලබන්නේ තැරැව්කරුවාය. කෙසේ වුවද එක්‌වරක්‌ පලතුරු කඩයට පැමිණි විදේශිකයකු ආපසු එම වෙළෙඳසලට පැමිණෙන්නේ නැත.

අනික්‌ කාරණය වන්නේ අබින් කියා තාර කුඩු සුදු පැහැති කොළවල ඔතා විදේශිකයන්ට විකිණීමය. සිගරැට්‌වල වැලි පුරවා විදේශිකයන්ට විකුණති. මැණික්‌ කියා වීදුරු ගල් කපා හොඳින් පොලිෂ් කොට විදේශිකයන්ට අලෙවි කිරීමය. දැන් මේවාට සුද්දන් හසුවන්නේ ඉතා අඩුවෙනි. එහෙත් මෙවැනි දේ නිසා පිරිහීමට ලක්‌වන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයයි. ඇතැම් විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ වැල්ලට වී නිදහසේ පොතක්‌ පතක්‌ කියවා වැල්ලේ අසිරිය විඳදරා ගැනීමටය. වැල්ලේ සිටින කොලු ගැටවුන්ගෙන් ඒ සඳහා විදේශිකයන්ට නිදහසක්‌ නැත.

තංගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයේ සමහරක්‌ විදේශීය සංචාරකයන් සැතපී සිටින්නේ මදුරු දැල් දමාගෙනය. ඒ ඩෙංගු මදුරුවන්ගෙන් බේරීම සඳහාය. සංචාරක හෝටල්වලින් පිටවන අපද්‍රව්‍ය බැහැර වන්නේ මහ මුහුදටය. එමෙන්ම මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා සුන්දර වෙරළ තීරයන් අසුන්දර ස්‌ථාන බවට පත්ව ඇත්තේය. හික්‌කඩුව හා උණවටුන වෙරළ තීරයන්වල අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් දැකගත හැකිය. නොයෙකුත් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නිසා මේ අවට මුහුදු තීරය ද දූෂණය වී ඇත.

අනික්‌ කාරණය වන්නේ වෙරළ තීරය තුළ සිදුවන ඉඩම් ජාවාරමයි. විදේශිකයන් විසින් මෙකී ඉඩම් මිලදී ගන්නේ කෝටි ප්‍රකෝටි ගණනක මුදලකටය. සුද්දන්ට ඉඩම් සොයාදීම සඳහා වෙනම තැරැව්කරුවන් පිරිසක්‌ ද සිsටිති. එමෙන්ම මෙකී ජාවාරමේ නිරත සුද්දන් ද සිටිති. උණවටුනේ පදිංචි එක්‌ විදේශිකයකු කලක පටන් මෙකී ජාවාරම කරගෙන යන්නේය. ඔහු වෙරළ තීරය අවටින් හා රට ඇතුළත සුන්දර ස්‌ථානවලින් ඉඩම් මිලදී ගෙන විදේශිකයන්ට අලෙවි කරන්නේය.

සුද්දන්ට ඉඩම් සොයාදීමෙන් අපේ අය ද විශාල මුදලක්‌ උපයති. දික්‌වැල්ල වෙරළ තීරයේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ විදේශිකයන් විසින් මිලදී ගෙනය. ඔවුන් එම ඉඩම්වල වැට මායිම් දමා වෙන් කරවාගෙන ඇත. මේ වනතෙක්‌ සංචාරක ව්‍යාපාරය සඳහා එකී ඉඩම් යොදවාගෙන නැත. ඒ විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති එම ඉඩම් සංචාරක ව්‍යාපෘති සඳහා යොදවන ලෙස දික්‌වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් දා දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගෙන් ඉල්ලීමක්‌ ද කළේය. ඒ ආණ්‌ඩුකාරතුමියගේ කාර්යාලයේ පැවැති රැස්‌වීමකදීය.

මීට අමතරව කොග්ගල කලපුව ආශ්‍රිත ප්‍රදේශවලින් ද විදේශිකයන් විසින් විශාල වශයෙන් ඉඩම් මිලදී ගෙන ඇත. අක්‌කරයක පමණ ඉඩමක්‌ මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලකටය. විදේශිකයන් විසින් මිලදී ගත් ඉඩම්වල සංචාරක හෝටල් මෙන්ම නිවාස ද ඉදිකොට තිබේ. කොග්ගල කලපුවේ ධීවර කාර්මිකයකු මා සමඟ ප්‍රකාශ කළේ අඩුම තරමින් කලපුවෙන් අල්ලන ඉස්‌සන් කකුළුවන් ආදී මසුන් පවා විදේශිකයන් විසින් තම හෝටල් සඳහා කලපුවේ ධීවරයන්ගෙන් මිලදී නොගන්නා බවය.

කෙසේ වුවද වෙරළ තීරය හා ඒ අවට ප්‍රදේශවලින් විදේශිකයන් විසින් ඉඩම් මිලදී ගැනීම නිසා පර්චසයක මිල රුපියල් ලක්‍ෂ තුන හා පහ යන මිල ගණන්වලට ඉඩම් මිල ඉහළ නැඟ ඇත. සැබවින්ම සංචාරක කලාපවල සිදුවන්නේ මෙවැනි අසුන්දර සිදුවීම්ය. සුද්දන්ගෙන් මෙන්ම අපේ ඇත්තන්ගෙන් ද මෙකී කටයුතු සිදුවෙති. සංචාරක කලාපවල ත්‍රිරෝද රථ රියෑදුරන් හා සංචාරක මඟපෙන්වන්නන් සුද්දන් දැලේ දමා ගැනීම සඳහා බලා සිටින්නේ මාළු ඇල්ලීම සඳහා පිත්තක්‌ දමාගෙන සිටින ධීවරයන් මෙන්ය.

ඉකුත් දිනක රාත්‍රියේ අපි උණවටුන සංචාරක කලාපයේ සංචාරයක ද නිරත වීමු. ඒ වෙරළ තීරය දිගේය. සංචාරක සමය තවමත් ආරම්භ වී නොමැති නිසා ඒ හැටි විදේශීය සංචාරකයන් පිරිසක්‌ දැකගත හැකිවූයේ නැත. කෙසේ වුවද වෙරළ තීරය රාත්‍රියට හරිම සුන්දරය. පාළු ස්‌ථානවලදී දැකගත හැකි වූයේ තරුණ ජෝඩුය. වෙරළ තීරයට වී මත්පැන් පානය කරන තරුණ පිරිස්‌ ද දැකගත හැකි විය.

මෙකී ප්‍රදේශයේ ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන බව අප සමඟ කීවේ උක්‌කුවාය. ඉකුත් දිනක උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි තරුණියක්‌ එම හෝටලයේ කළමනාකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසිනි. ඒ මෙම තරුණිය ගණිකා සේවයේ යෙදී සිටියදීය. සංචාරක කලාපවල නම් ගණිකා නිවාස පවත්වාගෙන යැම පුදුම විය යුතු දෙයක්‌ ද නොවේ. ත්‍රිරෝද රථ රියෑදුරකු අප සමඟ කීවේ රුපියල් තුන්දහසක මුදලකට ගණිකාවක සොයාදිය හැකි බවය. සැබවින්ම සංචාරක ව්‍යාපාරය කූට ව්‍යාපාරයක්‌ කරගත යුතු නැත. මෙය හරියාකාරව කළහොත් ඇති පදමට මුදල් උපයා ගත හැකි ව්‍යාපාරයකි. අපේ උදවියගේ හා ඇතැම් විදේශිකයන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක බව අඩු වෙමින් පවතින්නේය. මෙකී ව්‍යාපාරය ක්‍රමවත්ම පවත්වාගෙන යැම බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money