Sunday, February 26, 2012

අත් පා නැතිව ජීවිතය ජයගත් නික් යුගදිවියට

වෝ අච්ච් මහත්මියගේ එදා දවස ගෙවුණේ නම් තරමක් අපහසුවෙනි. කුමන් හෝ ශාරීරික වෙනසක් සිදු වනු ඇයට දැනෙන්නට විය. තම කුස තුළ සිටින සිඟිත්තා එළියට එන්න ද මේ සූදානම...
“මාස නමයක්ම මේ බඩ ගෙඩිය උස්සන් හිටිය මදැයි මේ චණ්ඩියාවත් ඇතුළේ තියාගෙන. ඔන්න පුතේ දැන් නම් එළියට එන්න වෙලාව හරි වගෙයි...” වොඅච්ච් මහත්මිය එසේ කිව්වේ තම සිඟිත්තා කෙරෙහි වූ උතුරා යන සෙනෙහසිනි. වේදනාව ද කෙමෙන් කෙමෙන් උත්සන්න වෙයි. තවත් කල්මැරිය නොහැකි ය. හොඳම දේ ඉක්මනින් රෝහල් ගත වීමයි. වෝඅච්චි මහත්මිය රෝහල් ගත වුණේ මහත් බලාපොරොත්තු ඇතිව ය.
ගත වන නිමේෂයන් පාසා වෝඅච්ච් මහතාට දැනුණේ වසර ගණනාවක් ගත වූවාක් ලෙසිනි. හෙද නෝනලා කලබලයෙන් කාමරයෙන් එහෙ මෙහෙ යති. ඔන්න! පුංචි පැටියකුගේ කෑගැහිල්ලක් ඇසුණු වහාම වෝඅච්චි මහතා කාමරේ දොර විවෘත කරගෙන ඇතුළු විය. ඔවුන්ගේ ලෝකයේ පැතුම් ඉටු කරමින් පුංචිම පුංචි පැංචෙක් ඔවුන්ගේ ලෝකයට එකතු වී තිබුණි. වෝඅච්චි මහත්මිය සිය සිඟිති පුතුව දෝතින් තුරුළු කරගන්නේ උතුරා යන සෙනෙහසිනි.
අනේ දෙවියනේ...! ඔවුන්ගේ සතුට පැවතුණේ නිමේෂයකි. තමන් ක්ලාන්ත වන බවක් මවට දැනෙන්නට විය. අත් පය නැති ඇඟ පමණක් හිමි පුංචි දරුවෙක්!!
මේ සියල්ල සිදු වූයේ 1982 දෙසැම්බර් 4 වැනි දින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පිහිටි රෝහලකදී ය. මේ වනවිට ලොව ප්‍රකට ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයකු වන නිකලස් ජේම්ස් වෝඅච්ච් උපත ලැබුවේ එලෙසිනි.
සියලු දුක් වේදනා දරා ගනිමින් සිය පුංචි පුතු තම පවුලට ආදරයෙන් භාරගත් දෙමහල්ලන් ඔහු ඇමතුවේ ‘නික්’ යනුවෙනි. නික්ට ඔහුගේ ජීවිතය අභියෝගයක් වූයේ ඔහු මෙලොවට බිහි වූ දා සිට ය. ඔහු උපතින් ම ‘ටෙට්රා ඇමේලියා’ නමැති දුර්ලභ රෝගී තත්ත්වයට ගොදුරු වී සිටියේ ය. දෑත් දෙපා අහිමි පුංචි නික්ගේ ලෝකය තුළ විටෙක දෙවියන් වහන්සේ තම එකම ගැලවුම් කාරයා ද තවත් විටෙක තරහකාරයා ද විය.
දෑත් දෙපා පිහිටා නැති තම කුලුඳුල් දරුවා අනාගතයට කෙසේ මුහුණ දේවිදැයි මව්පියෝ නිතරම පසුතැවුණේය. නමුත් මේ පුත්‍රයා කලකදී දස දහස් ගණනින් මිනිසුන් දිරිමත් කරන ඔවුන් ගේ ජීවිතවල සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දෙන දේශකයකු වේ යැයි ඔවුන් මදකුදු නොසිතන්නට ඇත.
ළමා කාලයේදී තම ආබාධිත තත්ත්වය නිසා නික් බොහෝ සේ පීඩා වින්දත් පසු කලකදී ජීවිතය දෙස කලකිරීමෙන් බලනවා වෙනුවට තම වැඩකටයුතු තනිව කරගැනීමට පුරුදු විය. ඔහුගේ සිරුරේ පිහිටා තිබුණු පුංචි දෙපා ඊට පිටිවහලක් විය. දත් මැදීම, කොණ්ඩය පීරීම, පිහිනීම මෙන් ම පරිගණක යතුරු පුවරුවල ටයිප් කිරීම වැනි කටයුතු කරගැනීමට ඔහුට ම ආවේණික වූ ක්‍රමයක් විය. පාසල් කාලයේදීත් බුද්ධිමත් සහ දිරිමත් සිසුවකු වූ නික් පාසල් දිවියට සමු දුන් පසුත් ඉගෙනීම අත් නොහළේ ය.
2005 වසරේදී ‘වසරේ ඕස්ට්‍රේලියානුවා’ සම්මානයෙන් නික් පිදුම් ලබද්දී. ඔහු ගණකාධිකරණ අංශයේ උපාධිධාරියෙකි. පසුව ආර්ථික කළමනාකරණය පිළිබඳ ද උපාධිදාරියෙක් විය.
නික් ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයකු වන්නේ ඔහුට වයස අවුරුදු 19 සපිරෙද්දී ය. අද වනවිට රටවල් 25 පමණ ගොස් සුබවාදී ආකල්ප පවත්වා ගැනීම පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත ජනයාට දේශන පවත්වා තිබේ. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, ව්‍යාපාරිකයන් වැනි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් සමඟ තම ජීවිත කතාව බෙදාගෙන තිබේ.
වරක් සිය දිවි පවා හානි කර ගැනීමට ගිය නික්ට තම ජීවිතය ජය ගැනීමට පිටිවහල් වුණේ ඔහුගේ මව්පියන් සහ දිනක් ඔහු පුවත්පතක කියවූ ලිපියකි. නික් පැවසූ අන්දමට ගොල්ෆ් ක්‍රීඩාවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත් කරගෙන තිබූ ආබාධිත පුද්ගලයකුගේ කතාව ඔහුගේ ජීවිතය කනපිට පෙරළුවේ ය.
“ඉතින් මම තීරණය කළා, මට නොමැති දේට දුක් වනවාට වඩා මට ඇති දේ පිළිබඳ සතුටු වී මගේ ජීවිතය අනෙක් මිනිසුන් දිරිමත් කිරීමට භාවිත කිරීමයි” ඔහුගේ දේශනවල මූලික හරය වූයේ ද ජීවිතයේ මුහුණ දෙන සෑම අපහසුතාවයකින් ම ජීවිතයට වැදගත් යමක් ලබාදෙන බවයි.
අභියෝගයක් වූ ජීවිතයට අභියෝග කරමින් මේ වනවිට නික් ගේ ජීවිතයේ 30 වැනි වියට ද ඔහු පිය නඟා ඇත. පසුගිය 12 වැනි දා ද ඔහුගේ ජීවිතයට අභියෝගයන් වූ තවත් කඩඉමක් පසු කිරීමට ඔහු සමත් විය. ඒ ඔහුගේ විවාහයයි.
මුදල් හා වෙනත් ලෞකික අවශ්‍යතාවන්ට මූලිකත්වය දෙන අද ලෝකයේ නික් වැනි ජීවිතය අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ආබාධිතයකු සිය ජීවිතයේ සහකරු කර ගැනීමට තරම් දිරිමත් තරුණියන් ද මේ ලෝකයේ ජීවත්ව සිටින බව අසන්නට ලැබීම සතුටකි. යථාර්ථයට නොබියව අභියෝග කරන ඇය සැබෑ වාසනාවන්තියකි. නික් ගේ අතගත් මේ වාසනාවන්තිය වූයේ කනේ මියහාරා නමැති සුන්දර තරුණියකි. සැබෑ ආදරවන්තයන් වූ මේ දෙපළගේ විවාහ උත්සවය පැවැත්වුණේ කැලැෆෝනියාවේ දී ය.
නොහැකියාව ජීවිතයේ ආශිර්වාදයක් කර ගත් නික් අපූරු තරුණයකි. දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලූ අත පය ඔහුට ලැබී නැත. එහෙත් දෙවියන් වහන්සේගෙන් ඔහුට ධෛර්යවත් සිතක් හිමි සාර්ථක ජීවිතයක් උරුම කර දී තිබේ. හඬා වැටීමට දස දහස් ගණනක් හේතු තිබියදී ඒ අභියෝග ජයගත් නික් අපේ කාලයේ මේ ලොව තුළ සැමට ආදර්ශයකි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money