Showing posts with label කාටූන්. Show all posts
Showing posts with label කාටූන්. Show all posts

Friday, October 28, 2011

ඒ මිහිරි සංගීතය ඇසෙන විට...............

ඒ මිහිරි සංගීතය ඇසෙන විට අපගේ ආදරණීය මෑණියන්ව සිහි වෙන තරමටම “ඔෂීන්” අපගේ හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස ඇත. එලෙස ලෝකයේ අනික් පැත්තේ බිහි වූ නිර්මාණයක් අපේම වුනේ කෙසේද කියා ඔබ මදක් සිතුවාද? ජපානයේ පිටිසර බද පෙදෙසක බෞද්ධ පරිසරයක සිටින අම්මා සහ සිංහල බෞද්ධ සමාජයේ අම්මා අතර වෙනසක් නොමැති තරම්ය. ඒ බව වටහාගත් නිසාදෝ ටයිටස් තොටවත්ත යන් විසින් එම ජපන් නිර්මාණය තුලට අපේම “මිහිරි කටහඬකින් යුත්” සිංහල බස් වහරකින් ඔෂීන්ව පණ ගන්වා අප බලාපොරොත්තු වෙන අම්මාගේ භූමිකාව ඔෂීන් තුළින් කුඩා තිරයේ දිගහැරුණි.
එහෙත් කණගා‍ටුවට කරුණ වන්නේ වර්තමාන සිංහල ටෙලි නාට්‍ය මගින් ප්‍රධාන චරිතය ලෙස පණගැන්වෙන්නේ අම්මාව නොව නැන්දම්මාවය. නැන්දම්මාගේ කුරිරු කම හමුවේ අම්මාගේ සතර මහා බ්‍රහ්ම විහරණයන් යටපත් වී ද්වේශ සහගතව, ගොරහැඬි බසින් නැන්දම්මා සමග වාග් සංග්‍රාමයක යෙදෙන අසෝබන දසුනකුයි ඔබ ටෙලි නාට්‍ය තුළින් වර්තමානයේදී දකින්නේ. ඉතින් ඔෂීන් වැනි විශිෂ්ට ගණයේ සිංහල නිර්මාණයක් බිහි කිරීමට තියා එවැන්නක් ‍තෝරාගෙන සිංහල බෞද්ධ මාතෘත්වය ඉස්මතු වෙන පරිදි හඬ කැවීමට පවා, පවත්නා ගැලරියට අප්පුඩි ගැස්සවීමේ ටෙලි නාට්‍ය රාමුවෙන් පිටත සිට බෞද්ධත්වය දෙස බැලීමට නිර්මාණකරුවාට සිදු වෙනු ඇත. එහෙත් එවැනි නිර්මාණකරුවන් අද කෝ?


ගලිවර්, හා හා හරි හාවා, රොබින් හුඩ්, වලස් මාමා, යනාදී විශිෂ්ට හඬ කැවීම් දොළොසක් පමණද ඊට අමතරව හඳයා, රන්මුතුදූව, හන්තානේ කතාව, මරුවා සමග වාසේ ආදී අද්විතීය සිංහල චිත්‍රපට විසි දෙකක් පමණද අධ්‍යක්ෂණයෙන් සහ කර්තෘත්වයෙන් ටයිටස් තොටවත්තයන් දායක වී ඇති අතර ඒවා ගැන මෙලෙස කෙටි ලිපියකින් කතා කළ නොහැකි වීම ගැන කණගා‍ටු වෙමි.
ඇපල් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ආදිය දෑහටවත් දැක නැති, ඒවා ගැනීමට සිතීමටවත් නොහැකි උදවිය ස්ටීව් ජොබ්ස්ගේ පින්තූර තම ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දාගෙන ඉකි ගසමින් හඬමින් සිටි අයුරු අපි පසුගිය කාලයේ දුටිමු. ඒත් කුඩා කාලයේ අපිව කුල්මත් කළ නිර්මාණ බිහි කළ ටයිටස් තොටවත්තයන් අන්ත්‍රා වුන එක ගැන ඒ උදවියගෙන්ම සමහරුන් දන්නේවත් නොමැති වීමෙන් පෙනෙන්නේ අප ජාතිය කොතරම් බටහිර ගැති වී තිබේද යන්නයි. බෞද්ධයෙක් වී තම දිවියට බුදු දහම එකතුකරගත් ස්ටීව් ජොබ්ස්ගෙන්, අපිට වුනේ මෙරට ජාතික ධනය තම රටට අද්දවාගැනීම පමණි. එනිසාම, දෙනෝදාහක් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම ජීවිතයම ගත කළ ටයි මාමා වෙනුවෙන් සුපුරුදු පරිදි මූනුපොත් පි‍ටුවේ සටහනක් තබා ශෝකය පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේයැයි සිතුණි.
තම හෙළ වදනින් පිට‍රැටියන්ගේ සැකිළි රූ අපේම කළ, පොඩි දරුවා ප්‍රමෝදයට පත් වෙද්දී වැඩිහිටියා එමගින් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නා නිර්මාණ බිහි කරමින් සිංහල කලා ලොව පුබුදුවාලූ මහා නිර්මාණකරුවාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා…! ජාතියේ සුවහසක් දරුවන්ගේ සිත් සතන් සතු‍ටු කළ පිනෙන්ම ඔබ නිර්වාණය අවබෝධ කරගන්නා තුරු සුගතගාමී වේවා…!
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

Tuesday, October 25, 2011

පිස්සු හුටං පූසෝ

 සමන් අතාවුදහෙට්ටි
(2008 වසරේ කිංකිණි ප්‍රකාශනයක් ලෙස පළ කෙරුණු ‘එය මෙසේ සිදු විය’ කෘතියෙන් උපටා ගැනිණි).

එක් දහස් නවසිය පනස් ගණන්වල රජයේ චිත්‍රපට අංශයෙන් එළියට බට හිතුවක්කාරයන් කීප දෙනා අතර ටයි මහත්තයා ද විය. එතැන් සිට මෙතුවක් කල් චිත්‍රපටය මෙන්ම රූපවාහිනිය ද හසුරුවමින් ඔහුගෙන් මෙරට කලා කටයුතු පෝෂණය කරලීමට සිදු වූ දායකත්වය අති මහත්ය.
විශේෂයෙන්ම චිත්‍රපට සංස්කරණ කලාවේදී ටයි මහත්තයා දැක් වූ ප්‍රතිභාව පිළිබඳ පොත් ගණනාවක් ලිවිය හැකිය. මෙරටට හුරු පුරුදුව තිබූ සාම්ප්‍රදායික සංස්කරණ රීතිය සහමුලින්ම කණපිට හැර වූයේ ඔහුය.
චිත්‍රපටයේ ආත්මය හා බැඳුණු සංස්කරණ රිද්මයක් ඊට කාවද්දන්නට ටයි මහත්තයා කටයුතු කළේය. හාරලක්සෙ, සිහසුන, හඳයා වැනි චිත්‍රපට ඊට උදාහරණ සපයයි.
හාරලක්සෙ චිත්‍රපටය සඳහා ටයි මහත්තයා නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටය ද සංස්කරණ කලාවේ ‘වැඩ - කිඩ’ පෙන් වූ එකකි. හාරලක්සෙ ගැන කතා කරද්දී සිහියට නැෙඟන්නේ චිත්‍රපටය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද ටයි මහත්තයා දැක් වූ අපූර්ව ශිල්ප ක්‍රමයි. හාරලක්සේ මංකොල්ලය පිළිබඳ පුවත් පළ වී ඇති යෝධ පත්තර පිටුවක් ඉරාගෙන එළියට ඇදෙන, මෝටර් රථයක් මරදාන හන්දියේ සකස් කොට තිබිණි.
එය මංකොල්ලයට සම්බන්ධ කර ගත් මෝටර් රථයට සමාන එකකි. මේ යෝධ ප්‍රචාරක පුවරුව නරඹමින් මෝටර් රථ එළැවීම නිසා රිය අනතුරු කිහිපයක් ද සිදු වුණු බව මම අසා ඇත්තෙමි. ‘සිහසුන’ චිත්‍රපටයේදී ඔහු කළේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මිත සිහසුන විවෘත ලොරියක පටවා මහත් ගාම්භීර අන්දමින් රට වටේ ප්‍රදර්ශනය කිරීමය.
තමාගේ නිර්මාණකාරියේදී තමාට පාලනය කළ නොහැකි බලවේගයන් හේතුවෙන් ඒ ඒ නිර්මාණයන්ට සිදු වූ හානි පිළිබඳ ටයි මහත්තයා අදත් ඉතා කණගාටුවෙන් කතා කරයි. ‘මරුවා සමඟ වාසේ’ ඔහු අතින් නිර්මාණිත විශිෂ්ටතම සිනමා කෘතිය යැයි මා පිළිගන්නා නමුදු අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබුණේ ටයි මහත්තයාගේ ‘මරුවා සමඟ වාසේ’ නොවේ. බාහිර බලවේගයන්ට නතු වී නිර්මාණය කෙරුණු වෙනම ම චිත්‍රපටයකි.
චිත්‍රපටය රට වටේ ප්‍රදර්ශනය කරද්දී බොහෝ හිත් වේදනාවන්ට පත් වූවන් අතර ටයි මහත්තයා ද විය. අන්තිමේදී චිත්‍රපටය නැවත සංස්කරණය කොට තමන්ට අවශ්‍ය පරිදි නිිර්මාණය කිරීමට ටයි මහත්තයා තීරණය කළේය. මුළු චිත්‍රපටයම යළි සංස්කරණය කළේය. අන්තර් ජාතික කතෝලික චිත්‍රපට පර්ෂදයේ අනුග්‍රහයෙන් එය රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේය. නමුත් එය නැරඹීමේ වාසනාව ලැබුණේ සීමිත පිරිසකට පමණි.
ටයි මහත්තයා රූපවාහිනියට නිර්මාණය කෙරුණු ‘රන් කහවණු’ප්‍රාසංගික නාට්‍යය ද ඔහු නැවත සංස්කරණය කළේය. පැය එකහමාරකට හෝ දෙකකට හෝ සංස්කරණය කෙරුණු ‘රන් කහවනු’ බලද්දී නම් එය ටයි මහත්තයාගේ නාට්‍යයක් ලෙස අපට හැඟුණි.
ටයි මහත්තයා සම්බන්ධයෙන් බොහෝ රස කතා ගෙතී තිබේ. ‘රන් කහවණු’ නාට්‍යය සඳහා වරායේ දර්ශනයක් රූගත කෙරිණි. මේ දර්ශනය විකාශය වූ සැණින් වරායේ සේවය කරන මිතුරෙක් මා ඇමතීය.
‘උඹලගේ රූපවාහිනියේ නාට්‍ය අංශය, ප්‍රවෘත්ති අංශයටත් වැඩිය දියුණුනේ බං’ ඔහු කීය.
‘අද හවස තොටවත්ත මහත්තයා වරායට ඇවිත් නාට්‍යයක දර්ශන වගයක් ගත්තා. එවා අද රෑ මේ පොඩ්ඩකට කලින් රන් කහවණු නාට්‍යයේ පෙන්නුවා. දැනට දවස් දෙකකට කලින් අපේ වරායේ අලුත් අංශයක් විවෘත කළා. ඒක තාමත් ප්‍රවෘත්තිවලට පෙන්නුවේ නෑ.’
ටයි මහත්තයා ඔහුගේ ‘හඳයා’ චිත්‍රපටය සඳහා ප්‍රංශ ජාතිකයකු සම්බන්ධ කර ගත්තේය. එවක මේ ප්‍රංශුවා සේවය කළේ මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේය. අප ඔහු දැන හඳුන ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි.
ඔහු අපේ විද්‍යාලයට පැමිණියේ ළමුනට ප්‍රංශ උගැන්වීමටය. මේ ප්‍රංශුවා අපට දුන් පාඩම් පොත් තවම මගේ පොත් පෙට්ටියේ තිබේ. මොකක්දෝ අහේතුවකට ඒ කාලයේ අපට ‘ප්‍රංශ රසය’ දැනුණේ නැත. ඒ නිසා කොල්ලෝ බොහෝ දෙනෙකු ප්‍රංශ පාඩමෙන් මග හැර ගියහ.
පසු කලෙක මේ ප්‍රංශුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියකුගේ භූමිකාව නිරූපණය කරමින් සිංහල සිනමාවට ද පිවිසියේය. ඔහුගේ නම ‘යාන් පියරේ ඔතෑන්’ය’ නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු ‘ඔතෑන්’ වුව ද එය ලියැවෙන අයුරින්, අපට හුරු පුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ ‘හුටං’ යනුවෙනි.
ටයි මහත්තා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතූයේ ‘හුටං’ කියාය. හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.
‘කෝ මේ පුංචි හුටං? එතකොට කෝ ලොකු හුටං . . . කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටංලා?’ බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය. සිංහල භාෂාවට ‘පිස්සු හුටං’ ය වදන එක් වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි.
ඒ දිනවල හුටං පවුල පදිංචිව සිටියේ බගතලේ පාර අසබඩය. රූගත කිරීම් සඳහා පුංචි හුටංව කැඳවාගෙන ඒමට ටයි මහත්තයා යන විට ඊටම එල්ලිලා යාමට අපේ පොඩි මනාපයක් විය. එසේ ගිය විට අපව උණුසුම් අන්දමින් පිළිගන්නේ හුටං මහත්මියයි.
ඇය සුන්දර දෙවඟනක් බඳු රූපශ්‍රියාවෙන් යුතු මිත්‍රශීලී යෞවනියකි. සැමවිටම අප සමඟ අල්ලාප සල්ලාපයට වැටෙන ඈ ලෙමන් ජින් වඩි කීපයකින් අප සන්තර්පණය කරන්නට ද අමතක නොකරන්නීය. මාගේ මේ සිද්ධිය සටහන් කළේ ටයි මහත්තයාගේ නිර්මාණ මෙන්ම ඒ පිටුපසත් බොහෝ සුන්දර සිද්ධීන් තිබෙන බව සිහිපත් කිරීමටය.
කෙසේ වෙතත් මාව නළුකමට ගෙන රූපවාහිනී නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ ඕනෑකමක් ටයි මහත්තයාට තිබිණි. ඒ පිළිබඳ අපි බොහෝ කාරණා කාරණා සාකච්ඡා කළෙමු. නමුත් එය සැබෑවක් බවට පත් කර ගැනීමට ඉඩකඩක් උදා වූයේ නැත. ටයි මහත්තයාට ‘මපට්’ලා හමු වුණේ ද ඔය වකවානුවේමය. මාව රඟපෑමට නො ගැනීමට එය ද හේතුª වන්නට ඇත. ටයි මහත්තයා චිත්‍රපට සංස්කරණය කරනු බලා සිටීම ද ඉතා සුන්දර අත්දැකීමකි. එහෙන් මෙහෙන් කපා දැමූ නෙගටිව් පටි රාශියක් බෙල්ල වටේ දමාගෙනය. දේශපාලනඥයෝ දැමූ මල් මාලා මෙනි. සංස්කරණ මේසයේ රීලය එහා මෙහා දුවවමින් එක්විටම එය නවතයි. කපයි. බෙල්ල වටේ ඇති නෙගටිව් මාලය දෙසවත් නොබලමින් එහි කෙළවරවල් අතරින් අතැඟිලි එහාට මෙහාට යවයි. ‘කිරිස්’ ගාමින් ඉන් එක් පටියක් එළියට අදියි. කැපූ තැනට එය අලවයි. ඇස්වහක් කටවහක් නෑ හරියටම හරි! මේ අන්දමේ අලුත් අලුත් තාලේ මැජික් වැඩවලට ටයි මහත්තයා දක්ෂය.
අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නගී’ ටයි මහත්තයාගේ තේමා පාඨයයි. විරිත් වැකියේ එන මේ අදහසට මෙන්ම එය ලියූ කුමරතු¼ගුන්ට ද ටයි මහත්තයා ගරු කරයි. චිත්‍රපටයට, රූපවාහිනියට හෙළ බස ගෙන ආයේ ටයි මහත්තයායි. එයත් එක්තරා අන්දමක අලුත් වැඩකි.
ජීවිතයේ එක්තරා යුගයක ඔහු සාමාන්‍ය ගමන් බිමන් සඳහා වාහන පාවිච්චි කළේ නැත. ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ගියේ පයිනි. වාහනයක ඉඩ කඩ තිබී ඇරයුම් ලද විටෙකත් ‘උඹල පලයල්ලා, මං එන්නං පයින්’ කියමින් පයින්ම ආයේය. ඒ කාලයේ පාන්දර හතරට හතර හමාරට පමණ ටයි මහත්තයා බොරැල්ල පැත්තේ පාර අද්දරදී අපට හමු වී තිබේ. ඒ ටයි මහත්තයා ‘මෝර්නිං වෝක්’ එක යන වෙලාවය!
මහා භාරතය, රාමායනය සේ අපේ මහාවංශය ඇසුරෙන් දැවැන්ත රූපවාහිනී නිර්මාණයක් කිරීමට ටයි මහත්තයා සැලසුම් කළේ මෑතකදී අප දුටු මහා භාරතය, රාමායනය නිර්මාණය කිරීමට ඔවුන් සිතන්නටත් පෙර කාලයකය.ෙ;ම් අදහස අදත් ටයි මත්තයාගේ සිත්හි පැසවමින්, පෝෂණය වෙමින් පවත්නා බැව් මම දනිමි.
කෙසේ වෙතත් මේ සටහන අවසන් කිරීමට පෙරාතුව ටයි මහත්තයා ගැන ඔබ නොදන්නා කරුණු කීපයක්ද සඳහන් කළ යුතුය. ඔහුට ගෝලයන් පිහිටන්නේ නැත. සහායකයින් ද පිහිටන්නේ නැත.
ඔහුගේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරු, ඊළඟ චිත්‍රපටයට සම්බන්ධ වූයේ නැත. ටයි මහත්තයාගේ සහායට වැඩ කිරීම සිරීපාදේ නැගීම වැනි වැඩකි. නැග්ගේ නැති මිනිහාත් මෝඩයෙකි. එක පාරට වඩා නගින මිනිහාත් මෝඩයෙකි.
බොහෝ සහායකයින් ටයි මහත්තයගෙන් සමුගනිද්දී නොසෑහෙන කාලයක් ඔහුගේ සහායට සිටිමින් වාර්තාවක් පිහිට වූවෙක් ද සිටී. ඒ රූපවාහිනියේ අතුල රන්සිිරිලාල්ය.
ටයි මහත්තයා ගැන බොහෝ අය නොදන්නා අනෙක් කාරණය නම්, ඔහු ඉතා හොඳ නැට්ටුවෙක් වීමයි. ටයි මහත්තයා නැටුම් කලාව ප්‍රගුණ කළේ චිත්‍රසේන, ශේෂා පලිහක්කාර වැන්නවුන් ඇසුෙර්ය.
ටයි මහත්තයා ගීත ද ගායනා කරයි. හැබැයි ඒ නා ගන්නා විට වතුර මල තදින් ඇරගෙන පිට කාටවත් නොඇසෙන පරිදිය.
නිර්මාණ කාර්යයේදී යෙදෙද්දී ද දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගොස් ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතයි. ටයි මහත්තයා ද එසේය. ටෙලි නාට්‍යයක් රූගත කරන විට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.
‘පුතා, උඹ කෑවද?’ ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.
‘ඔව් ටයි අන්කල්, කෑවා’ කැමරා ශිල්පියා උත්තර බැන්දේය.
‘ආ . . . උඹ කාපං . . . උඹ කැවොත් ඇති. අනිත් උන් බඩගින්නේ මළත් උඹ කාපන්’ ටයි මහත්තයා බැණ අඬගෑවේය. පසු දින ද ටයි මහත්තයා රවුම් ගසා ආවේය.
‘පුතා උඹ කෑවද?’ ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය. ඊයේ ‘කෑවා’ යැයි කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.
‘නෑ, ටයි අන්කල් . . . කෑවේ නෑ’ කැමරා ශිල්පියා කීය.
‘ආ . . . උඹ කන්න එපා . . . උඹ බලාගෙන හිටපන් කවුරු හරි කෑම එක අනලා ගෙනල්ලා උඹේ කටේ ඔබන කල්’ ටයි මහත්තයා බැණ අඬඟෑවේය.
ඒ ටයි මහත්තයාගේ හැටිය. ඔහුට උත්තර බැඳීය යුත්තේ ඔහුගේ හැටි හොඳ හැටි තේරුම් ගෙනය. නැත්නම් විනාශය! අපි තේරුම් ගෙන ඇති හැටියට ඒ වෙලාවේ උත්තර බඳින්නට තිබුණේ මෙහෙමය.
‘කෑවා මොකද – නොකෑවා මොකද . . . අපි ආවේ මේ වැඩේ කරන්නනේ . . . ඒක කරලා ඉම්මුකෝ.’
ඇමතිවරයකු පිළිබඳ කලකිරීමෙන් රූපවාහිනියේදී දිනක් ඔහු මෙසේ කීවේය.
‘අද ඇමති - හෙට නොමැති . . .’
වචන හරඹය සම්බන්ධයෙන් ඔහුගේ කුසලතාව අති මහත්ය. ඔහු සමඟ කටින් ජය ගත හැකි අය වෙතොත්, ඒ ඉතාම සුළු පිිරිසකි.
‘පිස්සූ පූසා’ රූපවාහිනී වැඩසටහන සඳහා නිර්මාණය කෙරුණු තේමා ගීතයේ මෙසේ සඳහන් විය.
‘පිස්සා මූ - පිස්සා මූ - පිස්සු පූසා මූ’
මෙය ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන වැඩසටහනක් නිසා ’මූ’ යන වචනය යෙදීම නුසුදුසු නොවේදැයි අපි විමසීමු.
‘මූ කියන්නේ නරක වචනයක්යැ . . . දැන් ඔය ඉන්නේ වි. ජ. මූ. එතකොට දී. මූ. ටයි මහත්තයා ලිස්සා යමින් කීය.

Copy Rigts - Sarasaviya

"ටයි නොදැමූ ටයි මහත්තයා"


2011 ඔක්තෝබර් මස 23 11:19:12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පුංචි මල් කැකුළු කලාවෙන් පුබුදුවා දිවි රඟමඬල අතැර ගිය "ටයි නොදැමූ ටයි මහත්තයා"

සිලියානා සෙට්ටිනායක මහත්මියටත් ටී.ජී.එම්.ජුලියස් ද සිල්වා මහතාටත් දාව 1929 අපේ‍්‍රල් 17 වැනිදා අපූරු කොලූපැටියෙක් මෙලොව එළිය දුටුවේය. ඒ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක ‘‘බඩ පිස්සා’’ ලෙසය. දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා ලෙස නම් තැබුණු මේ කොලූගැටයා පසුකාලීනව ටයිටස් තොටවත්ත යන නම භාවිත කළේය.කොළඹ ආනන්දාවෙන් සිප් සතර හැදෑරූ ඔහු පාසල් අවධියේදීම මරදානේ කාර්මික විදුහලෙන් කැමරාකරණයද, ‘‘හේවුඞ්’’ විද්‍යායතනයේ ජේ.ඞී.ඒ.පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහයන් යටතේ චිත‍්‍ර හා මූර්ති කලාවද ශේෂා පලිහක්කාර හා ෂු කේන්ද්‍ර යන ශිල්පීන් සමඟ නැටුම් කලාවද හැදෑරීය. පසුව ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන් සමඟ සංගීතයද ප‍්‍රගුණ කළේය.1952 දී රජයේ චිත‍්‍රපට අංශය පිහිටුවීමෙන් පසු වාර්තා චිත‍්‍රපට නිෂ්පාදනයට සම්බන්ධවීමෙන් කැමරාකරණය, ශබ්ද පරිපාලනය හා රසායනාගාර කටයුතු ගැන පුහුණුව ලැබූ අතර ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ සංස්කරණ ශිල්පය වෙතයි. 56 දී සිංහල සිනමාවේ පුනරුදය වෙනුවෙන් එවකට සමකාලීනයන් වූ ලෙස්ටර් හා විලී බ්ලේක් සමඟ එක්ව ‘‘රේඛාව’’ චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා රජයේ චිත‍්‍රපට අංශයෙන් ඉවත් විය. ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියාද වූයේ තොටවත්තයන්ය.
ඉන්පසු ‘දස්කොන්, සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට, චණ්ඩියා, පරසතු මල් සහ හාරලක්‍ෂය යන චිත‍්‍රපටවලට දායක වී සිංහල සිනමාවේ ප‍්‍රවීණතම සංස්කරණ ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය. 1958 දී තනිකඩ දිවියට ආයුබෝවන් කී ඔහු සුජාතා තොටවත්ත දිවිමගේ සහකාරිය කර ගත්තේය. ඔහුගේ මනස් විලේ පුංචි දරුවන් වෙනුවෙන් යම් නිර්මාණ කාර්යයන් ඉටුවිය යුතු යැයි වූ අදිටන මල්ඵල ගැන්වුණේ 1979 දී ‘‘හඳයා’’ ළමා චිත‍්‍රපටය සිනමාවේ දිග හැරීමත් සමඟය. එය 80 සරසවි සම්මාන උළෙලේදීද,  ඕ.සී.අයි.සී. උත්තමාචාර උළෙලේදීද, ජනාධිපති සම්මාන උළෙලේදීද සුවශේෂී සම්මානවලින් පිදුම් ලැබීය.1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්බන්ධවන ‘‘ටයි මහත්තයා’’ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වැඩසටහන් නිෂ්පාදනය හා රචනය කිරීමේ ආරම්භක පියවර තැබීම ඔහුගේ නිර්මාණ දිවියේ අලූත් පිටුවක් පෙරළීය. ඒ නිර්මාණ චාරිකාවට ඔහුට අපූරු සගයෙක් එකතුවිය. අදත් ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ ප‍්‍රධානියා ලෙස ‘‘ටයි මහත්තයාගේ” රාජකාරිය ඉදිරියට ගෙන යන අතුල රන්සිරිලාල් මහතා ‘‘ටයි මහත්තයා’’ පිළිබඳව මතක ගබඩාවක්ය.‘‘ටයි මහත්තයා මට හමුවුණේ 1984 ජාතික රූපවාහිනියේදී.
අප රූපවාහිනියට බැඳුණේ නිෂ්පාදන පුහුණුවන්නන් ලෙසයි. මේ කාලේ ‘‘දොස්තර හොඳහිත’’ කාටූන් වැඩසටහන් පෙළේ දෙබස් කවන්න ටයි මහත්තයා සූදානම් කර තිබුණා. මාත් එක්ක මේ වැඩවලට අනුර ජයසේකරත් හිටියා.’’‘‘ටයි මහත්තයා නිතරම කිව්වේ අපට පැහිච්ච එවුන් හදන්න බැහැ. පොඩි එවුන්ගෙන් පටන් ගමු. පොඩි එවුන් හදලා හරි පාරට ගත්තම, උන් මහ එවුන්ගේ වැරැදි හදාගෙන රට හදයි කියලයි. ඒ හින්දා දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, පිස්සු පූසා, බගලවතී, එළු නයිදේ, පඬිතුමා, යන කාටුන් චරිතවලට පුංචි දරුවෝ බොහෝම ආදරය කළා.ඒ වගේම 1956 සිට 80 දක්වා චිත‍්‍රපට සියගණනකට වඩා ඔහු අතින් සංස්කරණය වුණා. ‘‘අහල පහල’’, ‘‘ලොකු බාස් - පොඩි බාස්’’, රූපවාහිනී තිරයේ පළමු හඬකැවූ වැඩසටහන් පෙළ වුණා. ‘‘හා හා හරි හාවා’’, ‘‘ගලිවර්ගේ සුවිසැරිය’’ වැඩසටහන් පෙළත් පුංචි දරුවන් හොඳින් රස වින්දා.’’රන්සිරිලාල් මහතා ඒ අතීතය අදටත් සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයකිනි. විශේෂයෙන්ම ‘‘ටයි මහත්තයා සමඟ වැඩ කිරීම බොහෝ දෙනකුට එතරම් පහසු නොවුණේ දැඩි නීති රීති පැනවීමත්. තමන් කරන රාජකාරිය දේවකාරිය සේ සැලකීමත් නිසාය. එය වචනවලට පමණක් සීමා නොකොට ඉතාම ප‍්‍රායෝගිකව ඉටුකිරීමට තොටවත්තයන් තුළ වූයේ නිසග හැකියාවකි.’
’‘‘අපි රූපවාහිනියට බැඳෙන කාලේ ‘‘ටයි මහත්තයා’’ එක්ක වැඩකරන එක විශාල ගෞරවයක් වුණා වගේම අමාරු වැඩක් වුණා. ඒ නිසා නිෂ්පාදන සහකාරවරු බොහොමයක් මේ ඒකකයට එන එක දඬුවමක් විදියටයි සැලකුවේ. ඔන්න ඔය අතරේ ‘‘ලා තණකොළ පෙත්තාස්’’ ගීත කණ්ඩායම ‘‘දොස්තර හොඳ හිතට වුවමනා වුණා. මම ඒ වනවිට වාර්තා අංශයේ මඩවල රත්නායක මහතා ළඟ වැඩකළේ. නමුත් එහි ගීතවලට අවශ්‍ය හඬවල් මම කලූබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙන් හොයා දුන්නා. ඒ මම ඒ දහම් පාසලේ ගුරුවරයකු වූ නිසා. දීපිකා පි‍්‍රයදර්ශනී, රසාදරී පීරිස්, රවින්ද්‍ර මුණසිංහ හා අශිමි විලේගොඩ ඒ ගීත වලට දායක වූ අයයි. අදත් ඔවුන් දක්‍ෂයෝ.’’‘‘ටයි මහත්තයාගෙන්’’ ගෝලයන්ට ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණි. නියමිත වේලාවට නියමිත දේ කළ යුතුයි සේම තමන් කරන දේ තමන්ට අවංකව, පූර්ණ සූදානමක් ඇතුව කළ යුතුය යන්න ඔහු සතුවූ කදිම පාඩම්ය.‘‘උදේ පාන්දර 5.00 ට ‘‘ටයි මහත්තයා’’ බොරැල්ලේ ඉඳන් වැඩට එනවා. ගෝලයොත් ඒ වෙලාවට එන්න  ඕනෑ. ගෝලයෝ පරක්කු නම් විනාශයි. අනික ඔහු තැන තැන අනුන්ගේ දේවල් හොය හොයා කාලය නාස්ති කරන්නේ නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ආපුවැඬේ කරනවා. ඒ කාලේ මම දවසකට පැය 19-20 ක් විතර වැඩකරලා තියෙනවා.
‘‘ටයි මහත්තයාගෙන්’’ ඉගෙන ගන්න තියෙන දේ අපමණයි. ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයක්. අද විද්‍යුත් මාධ්‍ය කලාව කරන අය බොහොමයක් එන්නේ 8.30 යි 4.30 වැඩ කරලා යන්න. මේ අය ‘‘ටයි මහත්තයා” එක්ක වැඩ කළා නම් පැහැදිලිවම එළවනවා.‘‘ටයි මහත්තයා’’ ඔය හැමදේම කළේ නිර්භීතවයි. කාටවත් බය නැහැ. කියන දේ කෙළින් කියනවා. හඬ කැවීමේ ඒකකයට හොඳ අත්තිවාරමක් එතුමා හඳලා දුන්නා. අද වගේ මැදිරියක් එදා අපට තිබුණේ නැහැ. රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රාගාරය ඇරුණාම ‘‘ටයි මහත්තයා’’ තමයි අද අප වැඩකරන මැදිරිය හැදුවේ. එතුමා නොවෙන්න මම නම් හිතන්නේ නෑ ඒ වැඬේ වෙන අයෙක් කරයි කියලා. ලංකාවේ මුල්ම උපසිරැසි වැඩ සටහන කළෙත් එතුමයි. අපි සහායකයෝ. ඉතාම දුෂ්කර කාර්මික මාවතක් ඔස්සේ පටන් ගත්තත් පසුව අලූත් තාක්‍ෂණයක් ලැබුණා. මුල්ම උපසිරසි වැඩසටහන් පෙළ ‘‘රොබින් හුඞ්’’ දරුවන් හා වැඩිහිටියන් අතරේත් ජනපි‍්‍රය වුණා.’’‘‘ටයි මහත්තයා’’ සතු අපූර්ව හැකියා රැුසකි. ලිවීමේ හැකියාව, සංස්කරණ හැකියාව, අධ්‍යක්‍ෂණය, අලූත් දේ සිතීම වැනි කරුණු කාරණාවලදී ඔහු ඉදිරියෙන්ම සිටියේය. රූගත කිරීමේදී විටෙක පිටපත් යොදා නොගෙන අවශ්‍ය කරන දෙබස් තැනේ හැටියට අවශ්‍ය ලෙස යොදමින් පසුව සංස්කරණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුවිය. ඔහු රාජකාරිය දේවකාරිය සේ සැලකීමට කදිම නිදසුන් රන්සිරිලාල් මහතා සතුය.1989 දී ‘‘‘කොරා සහ අන්ධයා’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමවෙලා එතුමා ලෙඩවුණා. ඒත් චිත්ත ධෛර්ය හීන වුණේ නැහැ. මම ඔහු බලන්න ආසිරි රෝහලට ගිය මොහොතේ මගේ ඇඟට කඩන් පැන්නා. ‘‘උඹ මොකටද මෙහෙ ආවේ, උඔ දොස්තරයෑ, ගිහිං ඩෙක් එකයි ටී.වී.එකයි අරගෙන වරෙන්. ‘‘කුංෆු’’ ලියන්න තියෙනවා කියලා කිව්වා.
‘‘ටයි මහත්තයාගෙ ලෙඬේට බෙහෙත වුණේ ‘‘කුංෆු’’ පිටපත ලියන එක. පස්සේ අපූරුවට ගලපලා එතුමා ඒ වැඬේ කළා.’’මේ වන විට දෙබස් කැවීමේ හා උපසිරැුසි ගැන්වීමේ වැඩසටහන් 20,000 කට වඩා ‘‘ටයි මහත්තයා’’ දෙබස් කවා ඇති අතර අදටත් හඬ කැවීමේ කලාව එහි මූලධර්ම සහ ක‍්‍රමවේද මෙන්ම භාෂාවද නිවැරැුදිව යොදාගෙන කටයුතු කරන්නට ඔහු තරම් සමතකු මෙතෙක් බිහි වූයේ නැත. සැබැවින්ම අපේ රූපවාහිනී සම්ප‍්‍රදාය තුළ ඔහු පුරෝගාමී දැවැන්තයෙකි. ඔහු කාටුන් චිත‍්‍රපට කලාව පරතෙරටම ප‍්‍රගුණ කර තිබුණේය. විදෙස් වලින් ආනයනය කෙරුණු කාටුන රූපරාමුවලට දෙස බස මුසු කිරීමේදී ඔහු පෑවේ අපූරු ප‍්‍රාතිහාර්යයන්ය. ඒවා නැරඹූ කිසිවකුට වුවද කිසිම විදෙස් ගතියක් නොදැනුණේ ඔහුගේ ප‍්‍රතිභාව නිසාමය.ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ප‍්‍රථම සජීවි ටෙලිනාට්‍ය වූ ‘‘වැටත් නියරත්’’ රචනා කොට නිපදවා අධ්‍යක්‍ෂණය කරන ලද්දේද ‘‘ටයි මහත්තයා’’ විසිනි.‘‘ටයි මහත්තයා ඍජු මිනිහෙක්. රූපවාහිනියේ අදටත් හැමෝම ගරු කරන්නේ ඒකයි. ඒ වගේම දේශපාලනඥයෝ හෝ දේශපාලනයට මුල්තැනක් දුන්නේ නැහැ. දවසක් උදේ ටයි පටියක් බැඳගත්තු යස ඉලන්දාරියෙක් දොර හයියෙන් ඇරගෙන අපේ කාර්යාලයට ඇතුළු වුණා. ‘‘ටයි මහත්තයා ඉස්සරහම මේසේ ඉඳගෙන සිටියා. තරුණ කොලූවා. ‘‘ඔයාද ටයිටස් තොටවත්ත’’ කියලා අහපු සද්දේ ටයි මහත්තයාට ඇල්ලූවේ නැහැ. එතුමා පාඩුවේ තමන්ගේ වැඬේ කළා. විනාඩි 5 ක් විතර ඉඳලා ආයෙත් කොලූවා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ‘‘මං ආවේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. ටයි මහත්තයා ඉරියව්ව වෙනස් කරලා ‘‘ඒයි බලනවා මාර වැඩකාරයෙක්නේ. අපි නම් ආවේ අම්මලාගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. මිනිහා ආගිය අතක් නැතිවුණා.’’‘‘ඔහුට සොඳුරු බිරිඳක් හිටියා. එකම පුතා දමිත්ගේ වැඩකටයුතුත් බලාගෙන, ගෙදර දොරේ වැඩත් බලාගෙන ‘‘ටයි මහත්තයා’’ නිර්මාණ කටයුතුවලට සියයට සියයක්ම නිදහස් කළා. ඒක එතුමට විශාල පිටිවහලක් වුණා මේ දිගු ගමන එන්න. ඒ වගේම අන්තිම කාලේ ජාතික රූපවාහිනියේ මමත්, චර්චිල්, ශීලා කටුගම්පොළ, අනුර ජයසේකර, රංජිත් සිල්වා, අනුර ධර්මරත්න, චන්දන සෙනෙවිරත්න, කැලූම් පාලිත මහීරත්න හා සේනානි ගුණසේකර, අප හැමෝම ඔහු ළඟින් හිටියා.
අවසන් මොහොතේ සිටම ජාතික රූපවාහිනිය, ජාතික චිත‍්‍රපට සංස්ථාව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා ටවර් හෝල් පදනම විශාල වශයෙන් ඔහු ගැන සොයා බැලූවා. මරණය සැලවූ මොහොතේ එතුමාට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබා දෙන්න ඒ අය කටයුතු කළා. ‘‘ටයි මහත්තයා’’ කියන්නේ අපට ජීවිත කාලේ ආයේ කිසිදාක හමුනොවන අද්විතීය, ස්වර්ණමය කලාකරුවෙක්. වසර 17 ක් මට එතුමාගෙන් ලැබුණු දැනුම මහා සාගරය වගෙයි.’’පුංචි සිත් සතන් තුළ සේම, වැඩිහිටියා, මහල්ලා දක්වාම ඔවුන්ගේ චිත්ත සන්තානයේ සෞන්දර්යය වපුරවාලූ, නූපන් දරු පරපුර වෙනුවෙන්ද අතිශය සොඳුරු කලා නිර්මාණ ඉතිරිකර දිවි රඟමඩලින් සමුගත් යුගපුරුෂයාණනි, ඔබ ‘‘චණ්ඩියා’’ සිනමා පටයට අකුරු කළ දෙබස් කණ්ඩයකින් අපි මේ සටහන නිමා කරමු.‘‘ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී’’ ලෙඩට-දුකට-කරදර-පීඩාවලට අභියෝග වලට බය නොවී......‘‘ටයි මහත්මයාණනි- ඔබට නිවන් සුව!’’
සටහන දුෂ්‍යන්ත කුමාර

ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ අංශ ප‍්‍රධානී අතුල රන්සිරිලාල්

සම්මුඛ පරීක්‍ෂණ නිලධාරියාට බලවතෙක් අපූරු යෝජනාවක් ගෙනැත්

2011 ඔක්තෝබර් මස 25 09:31:24 | Copy Rights | පුෂ්පකුමාර මල්ලවආරච්චි
ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ.
ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්‍ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි.
”මොනවාද කරන්න පුළුවන්.”
‘‘ ඕනෑ දෙයක් පුළුවන්’’
”ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ
ලොරි වගේ ඒවා පදවන්න පුළුවන්ද?”
”ඒව නං බෑනේ”
”කොහොමද අද මෙහෙ එන්න පාර පෑදුණේ.”
”ඇයි අර... තුමා තමයි මට එන්න කිව්වේ.”
පසුගිය දිනවල ප‍්‍රබල චරිතයක් වූ දේශපාලකයකුගේ නම ඔහු පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
”එතුමා අඳුනන්නේ කොහොමද?”
”ඇයි සර්.දන්නෙ නැද්ද පසුගිය දවස්වල අපි වැඩ කළේ එතුමාට නේ.”
”එතකොට හදිසියකට මෙහෙ නිලධාරියෙක් එක්ක යන්න වුණොත් මෝටර් රියක් පදවන්න පුළුවනි නේද?”
”ඒවත් බෑනේ”
”එහෙමනම් කාර්යාලයකට පණිවිඩයක් ගෙනියන්න වුණොත් මෝටර් සයිකලෙන් යන්න බැරිද?”
”අයියෝ ඒකත් මට බෑනේ බොස්”
”එහෙනම් මොනවාද පුළුවන්.”
”අනේ මහත්තයා මට ලයිසනුත් නැහැ.
”හොඳයි විස්තර මං ලියා ගත්තා.
ඒ මහත්තයා හම්බවෙන්නකෝ.”
මෙසේ පිරිස සම්මුඛ පරීක්‍ෂණයට ලක් කළත් කිසිවෙකුගේ මූලික අධ්‍යාපන සහතිකයක් හෝ පරීක්‍ෂා කරනු නොලැබීම විශේෂත්වයක් විය.
පිළිවෙළකට ඇඳ පැළඳගත් තරුණයකුගේ වාරය උදාවිය.
වෘත්තිය සුදුසුකම් මොනවාද පරීක්‍ෂණ නිලධාරියා විමසීය.
පාප්ප ගාන්න, පෝස්ටර් අලවන්න හොඳට පුළුවන්. තව තවත් ඒවාත්  ඕන්නම් මට පුළුවන්. තරුණයා කීය.
මොකද ඔය සාක්කුව අල්ලගෙනම ඉන්නේ? තවත් පැනයක් පරීක්‍ෂක නිලධාරියාගෙනි.
ටයි එක සාක්කුවේ ඒත් ගැටේ ගහගන්න දන්නේ නෑ.
එහෙනම් ගෙනාවේ?
ජොබ් එක ලැබුණොත් කොහමහරි දාගන්න.
සම්මුඛ පරීක්‍ෂණය අතරමග නිමා කළ නිලධාරියා එය මෙහෙයවූ බලවන්තයා හමුවිය.
‘‘මුන් අතරේ වැඩ කරන්න පුළුවන් එකෙක්වත් නැහැ”යි වාර්තා කෙළේය. එහෙම කියලා බෑ. මුන්ට මොනවා හරි කරන්න වේවියි බලවතා කීවේය.

Tuesday, September 6, 2011

හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට

හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට ගැන ටයි මහත්තයා කියූ කතා


එය ටයිටස් තොටවත්ත ‘හඳයා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවල නිරතව සිටි අවදිය බව මට මතකය.
පසුකලෙක ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුත් මාත් ටයි මහත්තයා හමුවන්ට බොරැල්ල කොටා පාරේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවෙසට ගියේ අප දෙදෙනා පළකිරීමට සැලසුම් කරගෙන සිටි සිනමා සඟරාවට ළමා සිනමාව අළලා ටයි මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්ටය.
එය මා ටයිටස් තොටවත්තයන් සමඟ කළ මුල්ම සම්මුඛ සාකච්ඡාව වූවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සමඟ කළ ප්‍රථම පුවත්පත් සම්මුඛ සාකච්ඡාව ලෙස ද මට වැදගත්ය.
(ඒ වනවිට මම වෘත්තිමය වශයෙන් පුවත්පත් කලාවට සම්බන්ධව නොසිටියෙමි.)
එහෙත් නටපු තොවිලයකුත් නැත, ගහපු බෙරයකුත් නැතැයි කීවාක් සේ ක්‍රිස්ටිත් මාත් ළමා සිනමාව ගැන ලියපු ලිපියකුත් නැත. ගහපු සඟරාවකුත් නැත. සඟරාව පළ නොවුණේ ආරථික ප්‍රශ්න නිසාවෙනි.
පසුකලෙක මා සිනමා පුවත්පත් කලාවට අවතීර්ණ වීමෙන් ඉනික්බිතිව අවස්ථා කීපයකදීම මට ටයි මහත්තයා සමඟ සම්මුඛ සාකච්ඡා කොට ලිපි සකස් කිරීමේ භාග්‍යය ලැබිණි.
ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ සිනමා පුවත්පත වෙනුවෙන් මා ටයි මහත්තයා මුණගැසී කතාබහක යෙදුණු අවස්ථාවේ ඒ වන විට ප්‍රදර්ශනය වෙමින් පැවති චිත්‍රපට ගැන මම ඔහුගේ ආකල්පය කෙබඳුදැයි විමසීමි. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙපරිදිය.
”දැන් තියෙන්නේ හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට යන දෙක විතරයි. හැදිච්ච මිනිහා හැදිච්ච චිත්‍රපට හදනවා. නැහැදිච්ච මිනිහා නැහැදිච්ච චිත්‍රපට හදනවා... ඒ ගොල්ලෝ බෑන්ඩ් ගහනවා. බලන අය චූන් වෙනවා. නියම බෑන්චූන්.”
එකල ‘නැව ගිලුනත් බෑන්චූන්’ නමින් සිංහල චිත්‍රපටයක් තිරගත වූ අයුරු මට මතකය.
1993 දී ටයිටස් තොටවත්තයන්ගේ කලා ජීවිතයට 50 වසරක් පිරුණි. ඒ නිමිත්තෙන් මම ඔහු සමඟ ‘ලක්දිව’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. එහිදී මා ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ මෙවැන්නකි.
”ඔබේ පනස් වසරක කලා ජීවිතය දිහා ආපහු හැරී බලන විට පෙනෙන්නේ කුමක්ද?
ටයි මහත්තයා සෝපාහාස සිනාවක් නඟා මෙසේ පිළිතුරු දුන්නේය.
”හැරිලා බැලුවොත් පේන්නෙ බං හොල්මන්නේ. මගේ ඔය ආපහු හැරිලා බැලිල්ලක් නෑනේ කොල්ලෝ. මම කවදත් බලන්නෙ ඉස්සරහ.”
මම ටයි මහත්තයාගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීමි.
”ඔබේ කලා ජීවිතයට පනස් වසරක් පිරී තිබුණත් අපේ විචාරකයන් තවමත් ඔබේ නිර්මාණ කෙරෙහි පෘථුල අවධානයක් යොමුකර නැහැ. ඒ ඇයි?
ඊට ටයි මහත්තයා පිළිතුරු දුන්නේ පැරණි ගීතයක් සිහියට නඟමිනි.
”පුතා දන්නෙ නැහැ පුතා. හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ තමයි කෙරෙන්නේ”
ඒ ගීතය කුමක්දැයි මතකයට නංවා ගැන්මට මම උත්සාහ දැරීමි. එය කිංස්ලි ජයසේකර හා ප්‍රසිලා ඕපාත ගැයූ ‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ නම් වූ ගීතය බව මට සිහිපත් විය. එකී ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ප්‍රබන්ධයකි.
මඳ වෙලාවකින් ටයි මහත්තයා මගෙන්ද ප්‍රශ්නයක් ඇසුවේය.
”උඹ දන්නවද පුතා අපේ රටේ සිනමාව වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් ලබපු මුල්ම චිත්‍රපටය මොකක්ද කියලා. කියපන් බලන්න”
මට දෙසැරයක් කල්පනා කරන්ට වුවමනාවක් නොවීය. මම ‘ගම්පෙරළිය’ යැයි කීමි.
’දවල් ද?”
සැමුවෙල් රුද්‍රිගු ‘විනෝද සමය’ වැඩසටහනක අසන්නාක් සේ ටයි මහත්තයා සමච්චල් සිනාවක් පාමින් මගෙන් අසයි.
ඔහුම මට පිළිතුරක් දෙයි.
”මගේ ‘හඳයා’. ඒක තමයි අපිට ලැබුණු මුල්ම අන්තර්ජාතික සිනමා සම්මානය.”
1963 නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට රන මයුර (Golden Peacock) සම්මානය ලැබුණත් ඒ වන විට එම චිත්‍රපට උළෙල අන්තර්ජාතික මට්ටමට පත්ව නොතිබිණි. මා ඒ දිනවල මේ කරුණ තහවුරු කරගත්තේ තවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අමරනාත් ජයතිලක වෙතිනි.
1980 ඉතාලියේ සලානෝ (SALANO) ළමා හා යොවුන් චිත්‍රපට උළෙලේ දී ‘හඳයා’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තේය.
අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ ‘රස’ සිනමා පුවත්පතට මා ටයිටස් තොටවත්තයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ අවස්ථාවේ මෙසේ ඇසූ බවක් මතකයේ ඇත.
”ඔබේ චිත්‍රපටවල හා රූපවාහිනී වැඩසටහන්වල නිතරම දකින්න ලැබෙන්නේ අදියුරු, ඉසිඹුව, උපසිරැසි, හඬ දෙකැවීම් වගෙ වචන. ඒ මොකද?”
ඉන්පසු ටයි මහත්තයා ගත් කටටම:
”ඔන්න ඇහැව්වා ගොන් ප්‍රශ්නයක්. මේක තමයි නියම හෙළ බස. ඒක කොයි තරම් ලස්සන ද? හුඟ දෙනෙක් අද භාෂාව පාවිච්චි කරන්නේ වැරදියට. මං මේ ළඟදි දැක්කා එක වාක්‍යයක්.
”කුඩා කොණ්ඩය බැඳි මේසය මත නිදා සිටි මගේ මාමා”
”ඒක මාර වාක්‍යයක්. මට ඒකේ තේරුම හිතාගන්නටත් බැහැ. එතකොට කොණ්ඩෙ බැඳන් ඉඳලා තියෙන්නේ කවුද? මාමා ද? මේසේ ද? ඔන්න අපේ සිංහල”
අපේ අවාසනාවට ටයිටස් තොටවත්ත ලෙඩ ඇඳට වැටුණේය. අද ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම අසීරු ක්‍රියාවකි. ඔහු නීරෝගීව සිටියා නම් ඉහත සම්මුඛ සාකච්ඡාවලදී මෙන් ඉතාම වටිනා අදහස් රැසක් පාඨක ඔබ වෙනුවෙන් ගොනු කළ හැකිව තිබුණා නොවේද?
පසුගියදා (අප්‍රේල් 17) 82 වැනි වියට පා තැබූ ටයිටස් තොටවත්ත මහා කලාකරුවාණෙනි: ඔබට දීර්ඝායු.
Copy Rights - silumina

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money