Friday, October 14, 2011

මම බය නැතිව කියනවා එහෙම මඟුලක් ගත්තේ මම කියලා.

ගීතා කුමාරසිංහ අවධාරණයෙන් කියා සිටින්නීය

ඈ අපේ සිනමාවේ සදා නොමියෙන චරිත රැසකට ජීවය දුන් විශිෂ්ටතම නිළියකි. එමෙන්ම ජනකාන්ත සිනමා තාරකාවකි. ලාංකේය ස්ත්‍රීත්වයේ සියුම් පැතිකඩ සිය අපූර්ව රංග ප්‍රතිභාව හා මුසු කරමින් ඈ මතු කළ විවිධ ජීවන රිද්මයන් විටෙක සුන්දරත්වයෙන් ද තව වරෙක සංකීර්ණත්වයෙන් ද යුතු වූවාය.
ගීතා සමන්මලී කුමාරසිංහ හෙළ සිනමාවේ වාසනාවන්තම නිළිය වූයේ ප්‍රේක්ෂක හා විචාරක සම්භාවනාවට එක සේ පාත්‍ර වෙමිනි.
එහෙත් ගීතා අද වඩාත් කතාබහට ලක් වන්නේ දේශපාලන වේදිකාවේය. එදා රිදී තිරයෙන් පමණක් ජනතාවට සමීප වූ ඈ අද සැබැවින්ම ජනතාව අතරට පැමිණ ඔවුන් හා සෙනෙහසින් අත්වැල් බැඳ හිඳින්නීය.
ඇයි ඔබ මේ තරමටම දේශපාලනයට නැඹුරු වුණේ?
එහෙම වුණේ ඇත්තටම මමත් නොදැනීමයි. නමුත් දැන් දේශපාලනය කියන එක අතාරින්න බැරි තරමට මගේ හිතට කා වැදිලා. බෙන්තර – ඇල්පිටිය සංවිධායකවරිය හැටියට පත් වුණාට පස්සේ මම වැඩිපුරම හිටියේ ජනතාවත් එක්ක. අවුරුදු ගණනක් මන්ත්‍රීවරයෙක් නැතිව මේ ආසනේ විනාශ වෙලා තිබ්බේ. ජනතාව සීසීකඩ ගිහිල්ලා. ඔවුන්ගේ ප්‍රශ්නවලට සෘජුව මැදිහත් වෙන්න කෙනෙක් හිටියේ නෑ. ඒ අය අතරට ගියාමයි මම ඒ ප්‍රශ්න දුක් ගැහැට හඳුනා ගත්තේ.
මේ දවස්වල ආයෙත් දේශපාලන වේදිකාව ටිකක් උණුසුම්?
ගාල්ල නගර සභා ඡන්දය වෙනුවෙන් මම පසුගිය දවස්වල ගොඩක් වෙහෙසුනා. විශේෂයෙන්ම ගාල්ල හිටපු පුරපති මෙත්සිරි සිල්වා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනුයි ඒ කැපවීම් කළේ. ඔය තමයි මගේ දේශපාලන ජීවිතයේ අලුත්ම තත්ත්වය. ඒ කොහොම වුණත් මම දැන් වැඩි කාලයක් ගත කරන්නේ මගේ ගමේ. ඇත්තටම මම නිළියක් ද කියන එකත් දැන් මට මතක නැති ගාණයි.
දේශපාලනය කියන්නේ කලාව තරම් සුන්දර දෙයක් නෙවෙයිනේ?
ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබපු කෙනෙක් මම. ඇල්පිටියේ ආනන්දේ වගේ ඉස්කෝලෙක සංඝමිත්තා වගේ බාලිකාවක ඉගෙන ගෙන යන්තම් අවුරුදු දාහත වෙද්දී සිනමාවට ආපු මම පසු කළේ විශාල ගිරිදුර්ගයක්. ඒක රෝස මල් යහනාවක් වුණේ නැහැ මොන විදිහකින්වත්. අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට මට හැමදාම පුළුවන් වුණා. දේශපාලනයේදී එන අභියෝග සිනමාවට වඩා දහ ගුණයකින් විශාලයි. චරිත ඝාතන, මඩ ගැහිලි, බොරු ප්‍රචාර අනන්තයි. අපි යමක් කරන්න ගියාම විවේචකයෝ ඉන්නවා. ඒ විවේචකයෝ විසින් කුළු ගන්වන ජනතාව සමහර විට නොමඟ යනවා. අවසානයේදී ජනතාව හඳුනා ගන්නවා මෙයා අවංකකමට මේ වැඩේ කරන්න ආපු කෙනෙක් කියලා. එතකං තමන්ගේ වැඩේ හරියට කරන එකයි වෙන්න ඕනෑ.
සියලු අභියෝග මැද නොසැළී?
අරයා මෙහෙම කිව්වා. මෙයා මෙහෙම කිව්වා කියලා අපි ඒක පස්සේ දුවන්න ඕනෑ නෑ. ඊට වඩා ජනතාව වෙනුවෙන් අපට කරන්න බොහෝ දේවල් තියනවා.
ඇත්තටම ජනතාවට සේවය කරන්න ලැබීම පිනක්. පන්සල් දාහක් හදනවාට වඩා දුප්පත් අසරණයකුට උදවු කරන එක පිනක්. ඒ අහිංසක ඇස්වල දිළිසෙන කඳුළු බිංදු දැක්කම අපි කොහෙද හිටියේ කියලා මට හිතුණා. එවරස්ට් කන්ද බලන්න ගියාට, එහෙම නැතිනම් හිමාලය දිහා බලාගෙන ඒකෙ සෞන්දර්ය වින්ඳට මදි. මිනිසුන්ගේ දහදිය, ගඳ නෑ මට දැන්. කුණු, දූවිලි ගාගෙන ඉන්න දරුවෙක් මගේම දරුවෙක් වගේ වඩා ගන්න දැන් මට පුළුවන්.
ඒකත් එක්තරා රංගනයක් නෙවෙයිනේ?
කවදාවත් නැහැ. මොකද මම මුළු ජීවිත කාලේම රඟපෑවේ නෑ. මම හැම වෙලේම මට හිතිච්ච එක කළා. අතීතය දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. මම මොන තරම් රැඩිකල් ගැහැනියක් ද කියලා එතනින් හිතා ගන්න. ‘ලස්සන කෙල්ල’ වගේ චිත්‍රපටයකින් සිනමාවට ආවා. සිනමාවේ මහා දොරටු විවර වුණා. මාව පිළිගත්තා.
මම ආවේ රතු පාට කාපට් එකක් උඩින්. මට එපා කියලා හිතුණොත් ‘මේක මට කරන්න බෑ’ කියලා ප්‍රතික්ෂේප කරපු චිත්‍රපට අනන්ත තියෙනවා. කරන්න හිතුණොත් ඒ දේ මම කළා. ‘කරුමක්කාරයෝ’, ‘පෙම්බර මධූ’, ‘පාලම යට’ ඒ වගේ රැඩිකල් චරිත සිනමාවේ මම කළේ . නැත්නම් මටත් තිබුණා අහිංසක පෙම්වතියගේ චරිතම දිගටම කරගෙන ඉන්න. නමුත් ඒක ජීවිතය නෙවෙයි කියලා මම එදත් වටහා ගත්තා. සිනමාවට ඇවිත් අවුරුදු හතරෙන් මම විවාහ වුණා.
එයින් ජනප්‍රියත්වයට හානියක් වෙයි කියා සිතුණේ නැද්ද?
සිනමා නිළියෝ කවුරුත් ඒ කාලේ එහෙම කළේ නෑ. මම බය නැතිව කියනවා එහෙම මඟුලක් ගත්තේ මම කියලා. මම නව පරපුරට ඒකෙන් යම් ආදර්ශයක් දුන්නා. ඒ දීගේ නොපැවතියාට ඉතින් කරන්න දෙයක් නෑ. හැබැයි මම ඒ අභියෝගයට මුහුණ දුන්නේ මගේ ජනප්‍රිය කාලේ. ඒක මට ගාණක් වුණේ නෑ. අනෙක් එක සිනමාවේ මට කිරි පොවන්න, මාව හුරතල් කරලා, ප්‍රමෝට් කරන්න කවුරුවත් හිටියේ නෑ. ඩිරෙක්ටර්ගේ ඉඳන්, ආර්ට් ඩිරෙක්ටර්ට වෙනකල් වැඳ පුදාගෙන ඉන්න ඕනෑ යුගයක් ඒක. මම එහෙම වුණේ නැහැ. ඒක ඔබතුමා දන්නවා. අහලා බැලුවොත් ඕනෑ කෙනෙක් කියයි. කරන දේ මම හරියට කළා. සිනමාවත් මට සහමුලින්ම සුන්දර තැනක් වුණේ නැහැ. බොහෝ අභියෝග මැදයි මේ ගමන ආවේ.
නොයෙක් චෝදනා, අපවාද පවා ඔබට එල්ල වූ අවස්ථා තිබුණා?
අයියෝ මොන තරම් නම් කටකතා හැදුනද? හැබැයි අද හිතෙනවා ඒවයෙන් භාගයක්වත් කරලා තිබුණා නම් කමක් නෑ කියලා. අපරාදේ ඇත්තටම මට ඕවා කරන්න වෙලාවක් තිබුණෙත් නෑ.
සල්ලිත් ඇති තරම් හම්බ වුණා. ආපු අවුරුද්දේම කැලැන්ඩර්වලට පෙනී ඉඳල එක් ලක්ෂ ගාණක් ලැබුණා. කැලැන්ඩරවලට විතරක් ඉඳලා. රඟපාලා නොවේ. ඒ කාලේ ලක්ෂයක් කියන්නේ අද ලක්ෂයක් වගේ නෙවෙයි. සිනමාවට ඇවිත් අවුරුද්දෙන් කාරෙකක් ගත්තා, ගෙයක් ගත්තා කොළඹින්. නංගිලා, මල්ලිලාව ගෙනල්ලා කොළඹ තියෙන පාසල්වලට ඇරියා. ජීවිතේ මම ආරම්භ කළේ ඒ විදිහට. වෙන නිළියෝකරන්න බෑ කියපු චරිත මම කළා. ඉල්ලගෙන කළා.
සිනමාවේ ඔබ රඟපෑ චරිත අතරෙන් පෞද්ගලික ජීවිතයට වඩාත් සමීප චරිතයක් තියෙනවද?
පෞද්ගලික ජීවිතයට මම හිතන්නේ එකක්වත් සමීප නෑ. පුදුම වැඩක් ඒක. මගේ වගේ චරිතයක් මම කරලත් නෑ තාම. වෙන කවුරු කරලත් නෑ.
කාටවත් කරන්නත් බෑ?
කාටවත් කරන්න පුළුවන්ද බැරිද කියා මම දන්නේ නැහැ. ඒ නිසා ඒ අභියෝගය මම කරන්නේ නැහැ. නමුත් කරලා නැහැ කියලා මම දන්නවා. මම තනියම හැදිච්ච ගැහැනියක්. අදත් ඒ සටන තනියම ගෙනි යන්නේ.
අර ඇමැතිත් එක්ක යාළුයි. මෙහෙමයි කියලා නොයෙක් කතා කියනවා. ඒකේ ඇත්තක් නැත්තෙත් නැහැ. අර ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ වගේ. ඒත් ඔය කියන තරම් නෑ. අනෙක ඔය කාගෙන්වත් මම අල්පෙනෙති තුඩක දෙයක් අරගෙනත් නැහැ. නමුත් ඒ වගේ කතන්දරවලින් මට වෙච්ච පාඩුව නම් මහ මෙරකට වැඩියි. එහෙම තියෙද්දිත් මම ඒ යාළුකම් අත් හැරියේ නැහැ. ඒ මගේ හැටි. මට එහෙම චෝදනා කළ අය එක්කත් මගේ තියෙන සම්බන්ධකම් තාමත් එහෙමයි. ඉතින් ඒ වගේ රැඩිකල් ජීවිතයක් එක්කම තමයි මම පොර බැදුවේ මේ ජීවිත කාලයම.
දේශපාලනයට ඇවිත් ඔබ මැර තර්ජනවලට පවා ලක් වෙනවා. එහෙම වෙලාවට හිතෙන්නේ නැද්ද දේශපාලනයට ආපු එක මෝඩකමක් කියලා?
අදත් මට මරණ තර්ජන තියෙනවා. නොයෙකුත් බලපුළුවන්කාරකම් තියෙන මිනිස්සු ඉදිරියේ මම නොනැමී ජීවත් වෙනවා. මාත් එක්ක ඉන්නේ ජනතාව විතරයි. හැබැයි දේශපාලනයේ, සිනමාවේ නැති සුන්දරත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. සිනමාව සීනි බෝලයක් එක් විදිහකින්. අපි ගියා. චිත්‍රපටයක් කළා. හොඳම හෝටල්වල නවාතැන් ගන්නේ. ලස්සනම කාරෙකක යනවා. ලොකු මුදලක් හම්බ වෙනවා. ප්‍රිමියර් එක දවසේ මිනිස්සු අත්පොළසන් දෙද්දී ඒක වෙනම ලෝකයක් වෙනවා.
දේශපාලනයේදී එහෙම නැද්ද?
ජනතා ආකර්ෂණය වෙනම පැත්තකින් ලැබෙනවා. විශ්වාස කරන්න වෙනමම පිරිසක් අප වටා රොක් වෙනවා. ආදරය කරන්න පටන් ගන්නවා. වෙනම පිරිසක් අගය කරන්න පටන් ගන්නවා. ඒ මිනිසුන්ගේ පිළිගැනීමට සහ අගය කිරීමට මම හරි ආසයි. ඒ සමහරක් දෙනා සිනමාවේදී ගීතා කුමාරසිංහ දිහා ඇහැක් ඇරලා නොබලපු අය.
දේශපාලන ලෝකයේ ඒ පිළිගැනීම නිසා ද ඔබ සිනමාවෙන් ඈත් වුණේ?
නැහැ. එක පාරක් නළුවෙක් වුණොත් එයා සදහටම නළුවෙක් කියා කතාවක් තියෙනවනේ. මටත් ඒකෙන් අත් මිදෙන්න බෑ. ගිය අවුරුද්දේ හිතාගෙන හිටියා මොකක් හරි හොඳ වැඩකට දායක වෙනවා කියලා. නමුත් ඒක කර ගන්න බැරිව ගියා.
වෙලාව සොයා ගැනීම පුදුමාකාර අමාරු වැඩක්. මට හිතෙනවා මේ වෙලාව කලමණාකරණය කර ගන්න තවත් ටිකක් ක්‍රමවේද තිබුණොත් හොඳයි කියලා.
නමුත් බැහැ. දවස අවසන් වෙන කොට මාව හෙම්බත් වෙලා. කවුරු මොනවා කිව්වවත් මිනිසුන් වෙනුවෙන් මට කරන්න තියෙන යුතුකම් කොටස මම ඉෂ්ට කරනවා. ඒ වගේම සිනමාවට තිබෙන ආදරයත් මගෙන් කවදාවත් දුරස් වෙන්නේ නැහැ.
ඒත් සමහරු කියනවා ගීතා, දැන් සිනමාව අමතක කරලා කියලා?
සිංහයා තණකොල කන්නේ නැහැ කිව්වා වගේ මට මොන විදිහකින්වත් බාල චරිතයක් නම් කරන්න බැහැ. අවුරුදු දහයක් තිස්සේ මම රඟපෑවේ නැහැ. එක යුගයක් තියෙනවා මම අවුරුද්දට එක චිත්‍රපටයෙයි රඟපාලා තියෙන්නේ. ආපු ඔක්කොම මම බාර ගත්තේ නැහැ. ඒත් දැන් හිතෙනවා ටෙලි නාට්‍යයකවත් රඟපෑවා නම් හොඳයි කියලා ජනතාව අතරට යන්න. දේශපාලනය කරන්න ගියාම එහෙම ඉල්ලීම් කරන උදවියත් ඉන්නවා.
දේශපාලන උදවු ඉල්ලන අයත් ඇති?
අනන්තයි. මේ ළඟදී උපාධිධාරී තරුණියක් ඇවිත් මට කිව්වා කම්කරු රැකියාවක් හරි හොයලා දෙන්න කියලා. එදා මම හැඬුවා. ‘අම්මලා ඉඩකඩම් උගස් තියලා මට ඉගැන්නුවේ. දැන් අවුරුදු හයක් තිස්සේ මට රැකියාවක් නැතිව ඉන්නවා’ කියලා ඇය කිව්වම මම අඬන්න ගත්තා.
මම පොරොන්දු වුණා ඒ ගෑනු ළමයට කුමන හෝ රැකියාවක් සොයා දෙන්න. සමහර වෙලාවට මටම ලැජ්ජයි. සමහර ඇමැතිවරුන් පස්සෙන් යන්න මට සිදු වෙලා තියෙනවා ජනතාව වෙනුවෙන්.
ඔය ඇමැතිවරු දිහා මම හැරිලාවත් බලන්නේ නෑ. ඒත් දැන් අනේ, පනේ කියාගෙන පස්සෙන් යනවා. මේ සේරම මිනිස්සු ෙ වනුවෙන්. වඳින්නේ නැති ටික විතරයි. වෙලාවකට හිතෙනවා මේ මොන මස්තබාල්දු ජොබ් එකක්ද කියලත්.
ඔබ ජනතා වරම පතන්නේ ඔවුන් අතරට ගිහින්. ඕනෑ නම් ජාතික ලයිස්තුවෙන් පවා ඔබට පාර්ලිමේන්තුවට යන්න තිබුණා?
අනේ මම තවම ජවසම්සපන්න ගැහැනියක්. ඕනෑ අභියෝගයක් ඉදිරියට ගිහින් මුහුණ දෙන්න, දුවන්න, පනින්න කොල්ලෙකුට වැඩිය තාම පුළුවන් මට. ඒත් අද ඇතැම් වෙලාවට සිද්ධ වෙන්නේ ජනතාවට අවශ්‍ය දේ නෙවෙයිනේ.
දේශපාලන ලෝකයේ අපි දකින්නේ ගොඩක් වෙලාවට බොරු පොරොන්දු, රැවටිලි. ඇත්තටම ජනතාව වෙනුවෙන් ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මට ඕනෑ කරලා තියෙනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න සියළුම කාන්තාවන් වෙනුවෙන් ලොකු වැඩ සටහනක් දියත් කරන්න. මේ පැත්තේ කාන්තාවන්ට පිළිකා රෝගය සෑදීමේ අවදානම වැඩියි. අපේ පළාතේ මළ ගෙවල් දහයකට ගියොත් ඉන් අටක්ම පිළිකා රෝගයෙන් මිය ගිය අයගේ. මේ අය වෙනුවෙන් සායන පැවැත්වීම, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මම කටයුතු කරනවා. ඒ වගේම ස්වයං රැකියා අවස්ථා ලබා දීමට උදවු කරනවා.
මේක මට තනියෙන් කරන්න අමාරුයි. කාන්තා කටයුතු හා සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ සමඟ මම මේ ගැන කතා කරගෙන යනවා එකට ඒකාබද්ධ වෙලා ගමෙන් ගමට ගිහින් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් කරමු කියලා.
සමහර වෙලාවට නිලධාරිවාදයත් එක්ක හරි අමාරුයි වැඩක් කරන්න ගියාම. සමහරු වැඩක් කරන්න යන කොට අකුල් හෙළනවා. එක්කෝ ඒ අයට මම මේවා කරන කොට බලා ගෙන ඉන්න බෑ.
ගීතා කුමාරසිංහ කියන නිළිය හැටියට ද නැතිනම් මහජන නියෝජිතවරිය හැටියට ද ජනතාව ඔබ හඳුන්වනවාට වඩාත්ම කැමැති?
නිළියක් කියන එකට මම තවම ආසයි. නමුත් දේශපාලනයේදී රට වෙනුවෙන් අපට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමන් අපේ රටේ මේ සිදු කරන දැැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට අපේ දායකත්වයත් ලබා දෙන්න ඕනෑ. ඒක අපි හැමෝගෙම යුතුමක්, වගකීමක්. අද රටේ සංවර්ධන ක්‍රියාදාමය ගැන ඇත්තෙන්ම පුදුමයි. එහෙම බලන කොට ආසියාවේ ආශ්චර්ය බවට අනාගතයේදී අපේ රට පත් වෙන එක කාටවත් වලක්වන්න බැහැ.
දේශපාලනය නිසා අද ඔබ බොහෝ කාර්යබහුල වෙලා. නිදහස සීමා වෙලා. මොකද හිතෙන්නේ?
ඒක නම් ඇත්ත. මගේ ස්වීට්සර්ලන්තයේ ගෙදරට මම අවුරුද්දකින් ගියේ නෑ. මගේ අමෙරිකාවේ ඉන්න දුව බලන්න යන්නත් මේ පාර බැරි වුණා. මගේ අම්මත් ඉන්නේ අසනීපයෙන්. ඇය ගැන ඉස්සර වගේ සොයා බලන්න දැන් වෙලාවක් නෑ. ඒ ගැන නම් මට ඇත්තටම කනගාටුයි. දුකයි.


සංවාදය අසංක දේවමිත්‍ර පෙරේරා
Copy - Rights - Sarasaviya

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money