Showing posts with label Film. Show all posts
Showing posts with label Film. Show all posts

Thursday, December 15, 2011

බබා පුංචි කාලේ බිව්වෙ එළ කිරි නෙමෙයි, අලි කිරි

රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයි




පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති.
සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක.
මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ.
මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන.
පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට ළමයින්ට නලියන්නෙ නැතිව ඉන්න බෑ කියන්නෙත් නිකන් නෙවෙයි නේ.
අපේ බබා කියන විදිහට එයා පුංචි කාලේ බීලා තියෙන්නෙ එළ කිරි නෙවෙයි, අලි කිරි. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? පුතාලාට මම පොඩි කාලේ දුන්නෙ එළකිරි.
ඉතින් මම දවසක් එයාලට එලිෆන්ට් හවුස් එකෙන් එළකිරි ගෙනහල්ලා දුන්නා. ඒ කිරි බෝතලේ පිටතින් එලිෆන්ට් හවුස් කියලා වගේම ලාංඡනයේ ඉන්නේ අලියානේ.
ඒ නිසා බබා හිතලා තියෙන්නේ එයා බොන්නේ අලි කිරි කියලා. හිතලා විතරක් නතර වුණා නම් මදැයි. එයා බොන්නෙ අලි කිරි කියලා යාළුවන්ටත් කියලා.
හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා.
මෙයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හවසට අර අඹ ගහේ අත්තක ලනුවක් ගැට ගහනවා. ඊට පස්සේ ටාසන් වගේ පොකුණේ ඒ පැත්තටයි මේ පැත්තටයි ලනුවෙ එල්ලිලා කෑ ගගහා යනවා.
හැබැයි සේරම දඟ වැඩ ගෙදරදි තමයි. ඉස්කෝලෙදි නම් දඟ නෑ. කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉස්කෝලෙදී මොහොකටම හරි පුතාව තෝර ගත්තොත් ‘අනේ මට ලැජ්ජයි’ කියලා අයින් වෙනවා.
පුංචි කාලේ පිරිසක් ඉදිරියේ වේදිකාවකට නග්ගන්න නම් කොහෙත්ම බෑ. දවසක් බබාව ගායනා තරගෙකට ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා.
මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා.
හැමදාම පුහුණුවීම්වලට යන අතරවාරෙදි මගෙන් අහන්නෙම, ‘අම්මෙ කොහොමද මං සෙනඟ ගොඩාක් ඉස්සරහ සින්දු කියන්නේ? මට ලැජ්ජයි අම්මෙ, මම අසනීප වුණොත් මොකද වෙන්නේ’ වගේ දේවල්.
පස්සෙ ,පස්සෙ මටත් බය හිතුණා දරුවාට ගායන තරගෙ මානසික වදයක් වේවි කියලා. ඒ නිසා මගේ උනන්දුවත් ටික ටික අඩු වුණා. කොහොම හරි පුතාම හිතලා හිතලාම කැස්සක් හදා ගත්තා.
එතනින්ම එයාගේ ගායන තරගෙත් අවසන්. දැන් නළුවෙක් වුණාට පුංචි දවස්වල ඔය වගේ තමයි ඉදිරිපත් වීමේ හැකියාව. බබා පොඩි කාලේ නම් මම හිතුවෙ එයා කවදා හරි විද්‍යාඥයෙක් වේවි කියලා.
එයාට ඉස්කෝලේ යන කාලේ ගෙදර පුංචි විද්‍යාගාරයකුත් තිබුණා. එයයි තව එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විවිධ අත්හදා බැලීම් කරනවා විද්‍යාගාරයේදී.
පුතාගේ පුංචි විද්‍යාගාරය තිබුණේ අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. දවසක් මම කාමරේට ගිහාම දැක්කා ඇසිඩ් තියෙනවා. ඒක දැක්කාම මට හොඳටම බය හිතුණා.
පොඩි අයනේ, මොනවා හරි කරන්න ගිහිල්ලා ඇසිඩ් කාගේ හරි ඇඟකට වීසි වුණා නම් . . . නමුත් ඉතින් හැම දේම වෙන්නේ දෛවය අනුවනේ. පුංචි කාලේ සිංදුවක් කියන්නවත් ඉදිරිපත් නොවුණු මගේ ලොකු පුතා දැන් රටම දන්න, රටම ආදරය කරන නළුවෙක්. මට ඒ ගැන සන්තෝසයි.

Friday, December 2, 2011

අමීර් ඛාන්



1. සම්පූර්ණ නම – අමීර් හුසේන් ඛාන්
2. උපන් දිනය – 1965 මාර්තු 14
3. උපන් ස්ථානය – බන්ද්‍රා ප්‍රදේශයේ ශුද්ධ වූ පවුලේ රෝහල
4. පියා - චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ තහීර් හුසේන්
5. මව - සීනත් හුසේන්
6. සහෝදරයා - ෆයිසාල්
7. සහෝදරියන් – නිඛාට් සහ ෆාහඩ්
8. බිරිඳ – රීනා දත් (1986 විවාහවී 2002 දී වෙන්වීය.)
(මේ වනවිට විවාහ කරගෙන සිටින්නේ කිරන්රාඕ)
9. දරුවන් – ජුනයිඩ් (පුතා) ඊරා (දුව) පළමු විවාහයෙනි.
10. කුලුඳුල් සිනමා රංගනය – 1973 දී තිරගත වූ ‘යාසෙන් කි බාරාත්’ චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කිරීම.
(චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාමා කෙනෙකු වූ නසීර් හුසේන්)
11. ජනපි‍්‍රය වූ චිත්‍රපටය – 1988 දී තිරගතවූ ‘ක්්‍යාමත් සෙ
ක්්‍යාමත්ටක්’ චිත්‍රපටයේ රඟපෑමෙන්
12. මෙතෙක් රඟපා ඇති චිත්‍රපට - 43
13. නිෂ්පාදනය කළ චිත්‍රපට - 07
14. අධ්‍යක්ෂණය කළ චිත්‍රපට - 01
15. මෙතෙක් ලබා ඇති සිනමා සම්මාන - 09
16. නිෂ්පාදනය කළ ජනපි‍්‍රය චිත්‍රපට – ‘ලගාන්’ (2001) ’තාරෙ සමීන් පර්’ (2007)(මෙම චිත්‍රපට වෙනුවෙන් වසරේ හොඳම චිත්‍රපටවලට පිරිනැ මෙන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන හිමිවිය.)
17. ලිපිනය - 11 Bela Vista Apts., Palli Hill, Bandra, Mumbai 400 050

Tuesday, October 25, 2011

ජෝන්ගේ හිත විද්‍යාට?

“මම හරිම කැමැතියි විද්‍යා බාලන් එක්ක ආයෙමත් රඟපාන්න. ඒ අවස්ථාව උදාවෙනවා නම් මට ඊට වඩා සතුටක් නැහැ.” මේ ප්‍රකාශය කළේ තරුණ පරපුරේ ආදරය දිනූ ජෝන් ඒබ්‍රහම්. ඔහු විද්‍යාත් එක්ක රඟපාන්න මේ තරම් කැමති ඇයි...? ජෝන් ගේ ප්‍රකාශය දුටු බොහෝ දෙනකු ප්‍රශ්න කළා.
කරුණු දන්නා උදවියට නම් ජෝන් මෙහෙම කියන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්නයක් නොවෙයි. ඒකට හේතුව? ඒක රහසක්. ඇත්තටම දැන්නම් ඒ රහස හෙළිවෙලා. හෙළි වුණාය කියල ප්‍රශ්නයකුත් නැහැ. එය ප්‍රශ්නයක් වුණේ බිපාෂා බාසු, ජෝන් එක්ක පෙමින් වෙළී සිටින තුරු විතරයි. දැන් ඒ ප්‍රේමයට නැවතීමේ තිත වැටිලා. ඉතින්, විද්‍යා ගැන කතා කරන්න ජෝන්ට තහනමක් නැහැ.
මේ වගේ තහනමක් බිපාෂාගේ ඇසුර තිබුණු කාලයේ දී වලංගු වුණේ ඇයි...? ඔබ ‘සලාම් - ඊ - ඉෂ්ක්’ චිත්‍රපටය නැරඹුවා නම් එහි ජෝන් සහ විද්‍යා පෙම්වතුන් ලෙස රඟපෑවා ඔබට මතකද? (2007 දී මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද තිරගත වූවා) මේ චිත්‍රපටය රූපගත කළ කාලයේ දී ජෝන් සහ විද්‍යා අතර පෙම් පටලැවිල්ලක් ඇතිවෙලා. මේ කාරණය හෙළි වී තිබෙන්නේ මේ ළඟදීයි. නමුත්, බිපාෂාට නම් ඒ කාලයේ දී ම මේ ගැන ඉව වැටිලා. ඒ වනවිට ද ජෝන්ගේ පෙම්වතිය වුණේ බිපාෂායි.
ඇය මේ ගැන ජෝන් ගෙන් ප්‍රශ්න කළා. එවැනි සම්බන්ධයක් නැතැයි ඔහු බිපාෂාට දැඩිව කියා සිටියා. ඒත් බිපාෂා එය විශ්වාස කළේ නැහැ. ඇය මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී දෙදෙනා අතර මත ගැටුම් හටගත් බවයි පැවසෙන්නේ. කොහොම වෙතත්, ඉන් පසුව ජෝන්, විද්‍යා සමඟ කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැහැ. මේ වනවිට බිපාෂා ජෝන්ගෙන් වෙන්වී සිටින නිසා ජෝන් නැවතත් විද්‍යා ගැන හිතන්නට පටන් ගනීවි දැයි සමහරුන් තුළ සැකයක් මෝදුවෙලා.
විද්‍යා නම් මේ ගැන කිසිවක් ප්‍රකාශ කරලා නැහැ. ඇය පසුගිය සති දෙක තුළ ගත කළේ එතරම් සනීපයකින් නම් නොවෙයි. චිත්‍රපට රූපගත කිරීමක නොනවත්වා වැඩ කිරීම නිසා ඇය අසනීප වෙලා. මේ චිත්‍රපටය තමයි, ‘ද ඩර්ටි පික්චර්.’ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි ස්මිතා පටේල්ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වන මේ චිත්‍රපටයේ රූපගත කිරීම් බොහෝ දුරට නිමාවට පත්වෙලා. රූපගත කරන්නට ඉතිරිව තිබෙන්නේ තවත් දර්ශන කිහිපයක් විතරයි. මේ මොහොතේදියි විද්‍යා අසනීප වුණේ.

දීපිකා එක්ක ටජ්මහල් ආවේ කවුද?

දීපිකා එක්ක ටජ්මහල් ආවේ කවුද?


පසුගිය ඔක්තෝබර් 13 දා රාත්‍රියේ ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටි ඓතිහාසික ටජ්මහලය වෙත පැමිණි සංචාරකයන් අතර බොලිවුඩ් සුරූපිනියක් ද සිටියා.
සඳකැන් දහරින් ටජ් මහලය වෙලා ගනිද්දී ඊට තවත් සුන්දරත්වයක් එක් කරමින් පැමිණි ඇය තමයි, දීපිකා පදුකෝන්, සුදු සහ කළු ඇඳුමකින් ද රතු පැහැති උතුරු සළුවකින් ද සැරසී සිටි දීපිකා, එහි පැමිණ සිටියේ තවත් නාඳුනන තරුණයකු සමඟ බවයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ.
“දීපිකා ඇවිත් හිටියේ එයාගෙ පෞද්ගලික ආරක්ෂකයෙකුයි, තවත් නාඳුනන කෙනකුයි එක්ක. දීපිකා ගොඩක් උත්සාහ කළා, මේ තරුණයාව වට පිට හිටිය අයගේ අවධානයෙන් මග හරවන්න. ඒ තරුණයා මීට කලින් නම් අපි කවුරුවත් දැකලා නැහැ.” දීපිකා පැමිණි මොහොතේ ටජ් මහල දැක බලා ගන්නට පැමිණි තවත් අයෙකු එලෙස කියා තිබුණා.
දීපිකා, රන්බීර් කපූර් සමඟ පෙමින් බැඳී සිටිය වග රහසක් නොවෙයි. රන්බීර්ගේ ඇසුරින් ඈත්වූ දීපිකා ගේ ඊළඟ පෙම්වතා වුණේ සිද්ධාර්ත් මාල්යා ගේ පුත්‍රයායි. රන්බීර් සහ සිද්ධාර්ත් කවුරුත් හඳුනනවා. ඔවුන්ගේ හැඩරුව රසික රසිකාවියන්ටත් සෙසු අයටත් නුහුරු නැහැ. දීපිකාත් සමඟ ටජ් මහලට පැමිණියේ ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුවත් නොවෙයි. එහෙම නම් ඒ කවුරුන් ද?
තවත් ටික කලකින් ඒ ‘අදිසි මිනිසා’ කවුරුන්දැයි හෙළි වෙන්න ඉඩ තියෙන බවයි සමහරු පවසන්නේ.

Monday, October 17, 2011

‘ජොනී ඉංග්ලිෂ්’ ආයෙත් ඇවිදින් Jhonny English Reborn

‘ජොනී ඉංග්ලිෂ්’ ආයෙත් ඇවිදින් Jhonny English Reborn



වසර 2003 දී බ්‍රිතාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ ප්‍රහසනමය ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය වූයේය. එහි ජොනී ඉංග්ලිෂ් නමැති සුපිරි ඔත්තුකරුවාගේ චරිතය රඟපෑවේ විකට නළුවකු ලෙස ‘මිස්ටර් බීන්’ චරිතය රඟපාමින් ලොව පුරා ජනප්‍රිය වූ රෝවන් ඇට්කින්සන්ය. ඔහු ඊට දශක දෙකකට පෙර නිල වශයෙන් බොන්ඩ් චිත්‍රපට පෙළට ඇතුළත් නොවූවත්, බොන්ඩ් චිත්‍රපටයක් වූ ෂෝන් කොනරි ප්‍රධාන චරිතය රඟපෑ, ‘නෙවර් සේ - නෙවර් අගේන්’ චිත්‍රපටයේ ද රඟපා තිබිණි. ‘ජොනී ඉංග්ලිෂ්’ නමැති එම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඩොලර් ලක්ෂ 1600ක් ඉපැයුවේය.
එම චිත්‍රපටයේ දිගුවක් ලෙස නිර්මාණය වූ ‘ජොනී ඉංග්ලිෂ් රීබෝන්’ මේ වනවිට ශ්‍රී ලංකාවේ ද ලොව පුරා ද ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ජාත්‍යන්තර ඝාතකයන් පිරිසක් ලෝක නායකයකු මරා දමා මහත් විනාශයක් කිරීමට සැලසුම් කරති. බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ අරමුණ වූයේ එම විනාශය වැළැක්වීමය. මේ වනවිට MI 7 ඔත්තු සේවයේ සුපිරි ඔත්තුකරුවා වූ ශ්‍රීමත් ජොනී ඉංග්ලිෂ් ආසියාකරයේ පිටිසර ගම්මානයක විවේකීව කාලය ගත කරමින් සිටියි. එහෙත් ඔහුගේ නායකයන් වහා ඔහුව සේවයට කැඳවන්නේ ජාත්‍යන්තර ඝාතකයන් චීන අගමැතිවරයා ඝාතනය කිරීමට දරන තැත පරාජය කිරීම සඳහාය.
ජාත්‍යන්තර ඝාතකයන් කටයුතු කරන්නේ කේ.ජී.බී., සී.අයි.ඒ. සහ බ්‍රිතාන්‍යයේ MI 7 ඔත්තු සේවා අසරණ කරමිනි.
එහෙත් සම්මත ඔත්තු සේවා නිලධාරීන්ගේ උපක්‍රම හා දක්ෂතා පිළිබඳ විමසිලිමත්වන ඔවුන් අසම්මත ඔත්තුකරුවකුගේ මැදිහත්වීමක් කිසිසේත් අපේක්ෂා කරන්නේ නැත.
එම අසම්මත ඔත්තුකරුවා ශ්‍රීමත් ජොනී ඉංග්ලිෂ්ය.
රෝවන් ඇට්කින්ස් ගේම තිර රචනයක් වන ‘ජොනී ඉංග්ලිෂ් රීබෝන්’ ඔලිවර් පාකර් ගේ අධ්‍යක්ෂණයකි. රෝවන් ඇට්කින්සන්, ගිලියන් ඇන්ඩර්සන්, රොස්මන්ඩ් පයික්, මාෂා ෆට්සලාන්, ඩොමිනික් වෙස්ට් ඇතුළු නළු නිළියෝ මෙහි රඟපාති.
මිස්ටර් බීන් මෙන් ප්‍රකට රෝවන් ඇට්කින්සන්හට ජොනී ඉංග්ලිෂ් නමැති අසම්මත සුපිරි ඔත්තුකරුවා ලෙස ජාත්‍යන්තර ඝාතකයන් පරාජය කිරීමට හැකිවේද?
හාස්‍යය හා ත්‍රාසය නොමඳව ඇතුළත් ‘ජොනී ඉංග්ලිෂ් රී බෝන්’ පවුලේ සැමට එක්ව රස විඳිය හැකි චිත්‍රපටයකි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money