Showing posts with label Story. Show all posts
Showing posts with label Story. Show all posts

Saturday, September 10, 2011

දයාබර දුවේ ප්‍රාර්ථනාවක්‌ කරමු අපි

 http://sri-lanka.es/BilderArti1007/SILlady.JPG
"ඕනෑවට වඩා හොඳ වෙන්නත් එපා, ඕනෑවට වඩා නරක වෙන්නත් එපා, පන්තිනි අම්මා ගෙදරට වැඩියත් නැන්දම්මා කෙනෙක්‌ හොඳක්‌ දකින්නේ නැහැ" 

කියල දුවේ ඔයාගේ අම්මා පතිකුලයට යන දවසේ තාත්තත් එක්‌ක අම්මගේ මහ ගෙදරින් එළියට බහින කොට අම්මගේ අයියා, ඒ කියන්නේ දුවගේ ලොකු මාමා අම්මට කියපු කතාවක්‌ ඒ...

ඇත්තටම ඒක එහෙමම ද කියන කාරණාව හමුවේ අම්මට එදා හිතුණේ, නෑ මගේ නැන්දම්මා එහෙම වෙන එකක්‌ නැහැ. මගේම අම්මා වගේ ම වෙයි කියලයි.

ඒත් දුවේ.. දින සතිවලින් මාසවලට ගෙවෙද්දී, කාලය අවුරුදුවලින් පසුවෙද්දී ලොකු මාමා කියපු කතාව ටිකෙන් ටික ඇත්ත වෙන්නට වුණේ ජීවිතයට කලකිරීමක්‌ එකතු කරන ගමන්.

"වැඩියෙන් නරක වෙන්නත් එපා." කියලා ලොකු මාමා උපදෙස්‌ දුන්නත්, එහෙම නරකකමක්‌, නපුරුකමක්‌ අම්මා අතින් සිදු නොවුණත්, සිදුවුණු ප්‍රශ්න හමුවේ අම්මා බියට පත්වුණත් අම්මාගේ හිත සැහැල්ලු කර ගත්තේ ඔයාවයි, නංගිවයි කවදාවත් විවාහයෙන් පසු නිවසින් පිටට නොදී, අපේ ඉඩමේ ම වෙනම ගෙවල් දෙකක්‌ හදලා පදිංචි කරනවා කියන සිතුවිල්ල සිතෙහි රඳවා ගන්න නිසයි.

"අම්මත් කවදහරි දවසක මල්ලිට නෝනා කෙනෙක්‌ ගෙනාපුවහම අම්මා නැන්දම්මා කෙනෙක්‌"

දැනුම් තේරුම් තියෙන වයසක පසුවන නව යෞවනයේ දොරකඩ ළඟ පිපී හිනැහෙන මල් කැකුළක්‌ බඳු මගේ දුව එහෙම කියන්නේ අම්මත් කවදා හරි දවසක මල්ලිගේ ජීවිතයටත් ප්‍රශ්නයක්‌ වේවි කියන හැඟීම සිතේ රඳවාගෙන කියන කාරණාව අම්මා නොදන්නවා නෙවෙයි දුවේ.

අපේ පවුල් පසුබිම තුළ නැන්දම්මා, ලේලිය කියන ප්‍රශ්නය ඉදිරියේ නිමක්‌ නැතිව ගොඩගැසෙන ප්‍රශ්න හමුවේ, ඒ ප්‍රශ්නවලින් ඔයාලාගේ පුංචි සිත් පීඩාවට පත්වීම තුළ දුව ජීවිතය පිළිබඳ කලකිරුණු ස්‌වභාවයක්‌ ඇතිවෙලාද කියන තත්ත්වය ඇත්තෙන්ම අම්මට තවත් ප්‍රශ්නයක්‌ වෙලා.

පුත්තු ඉන්න සෑම අම්මලාම නැන්දම්මලා වුණත්, නැන්දම්මා කියන නම නාමයට පමණක්‌ තබාගෙන සැබෑම ලෙසින් අම්මලා ලෙස කටයුතු කරන නැන්දම්මලා මේ සමාජයේ නැතුවා නොවෙයි දුවේ.

ජීවිතය තේරුම් ගත්තු පුතෙකුගේ පවුල් ජීවිතයක ලස්‌සන, සතුට මෙන්ම සිනහව දකින්න කැමති අම්මලා නැහැයි කියන එක පිළිගන්න බැහැ. සමාජයට දෙනෙත් යොමු කිරීමේදී "ඔව් ඒක ඇත්ත තමයි" කියලා කියන්න පුළුවන් තත්ත්වයක්‌ අප අතර තියෙනවා දුවේ.

අම්මලා දුවලට ආදරෙයි. ඒ වගේම පුතාලටත් ආදරෙයි.

දියණිය සැප විඳිනවා දකින්න, දියණිය සතුටින් සිනහවෙන් ඉන්නවා දකින්න කැමති අම්මලා, බෑණලාට සලකන්නේ දියණියන්ට ඒ හරහා වැඩි සැලකිල්ලක්‌ ලබාදෙන්නයි කිව්වොත් ඒක බොරු කතාවක්‌ නෙමෙයි.

දුව ඒ කතාව අම්මත් එක්‌ක එහෙම කියන්නේ ආච්චිගේ ක්‍රියා පිළිවෙළ හොඳින් ම අවබෝධ කර ගත් නිසයි. ආච්චි එයාගේ දුවට දක්‌වන සැලකිලි සත්කාර නිසයි. ඒත් අම්මේ... අම්මලා පුතාලට ආදරේ වුණත්, ලේලිලාට ආදරේ නොවන්නේ ඇයි ද කියන දුව අහපු ප්‍රශ්නය හමුවේ අම්මා නිශ්ශබ්ද වුණේ අම්මා ළඟ ඊට පිළිතුරක්‌ නොවූ නිසයි.

"අම්මා කවදාකවත් නැන්දම්මා කෙනෙක්‌ වෙන්න එපා."

දුව ඔයා වයසින් එතරම් ලොකු වයසක නොවුවත්, අම්මගෙන් කළ ඉල්ලීම කෙතරම් සාධාරණ එකක්‌ දැයි අම්මා තේරුම් ගත්තේ දුවේ ඔයා මල්ලිට තියෙන දැඩි ආදරය නිසාවෙන්ම බව අම්මට තේරුම් ගැනීම අපසු වුණේ නැහැ.

අම්මා කවදාවත් ම නැන්දම්මා කෙනෙක්‌ වෙන්නේ නැහැ.

අම්මාගේ පිළිතුර හමුවේ දුවගේ මුවට සතුටු සිනහවක්‌ එක්‌වෙලා.

සෑම නැන්දම්මා කෙනෙක්‌ ම මවක්‌ වී සෑම ලේලියක්‌ ම දියනියක්‌ වෙන්න කියලා අපි ප්‍රාර්ථනාවක්‌ කරමු ද, දුව ඉල්ලීමක්‌ කරනවා.

එතකොට සෑම පවුලකම සතුට ඉතිරේවි, සිනහා හඬ රජයාවි.

අම්මා දුවගේ ඉල්ලීමට එකඟ වුණේ සතුට ඒ තරමටම හොඳ දෙයක්‌ නිසයි.

වසන්තා ශ්‍රියාකාන්ති

Copy Rights - Nawaliya

Tuesday, September 6, 2011

ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

මම තැපැල්හලට යමින් සිටියෙමි.
දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.
’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.
කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.
’අනේ මේ පැටිය අරං යන්ඩ!’
ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.
මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.
’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’
ඇය බළල් පැටවා මට දිගු කළා ය.
මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.
අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.
එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.
තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.
සති කිහිපයක් ගෙවී ගියේය.
රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.
කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.
බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.
විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.
බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.
දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.
කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.
මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.
මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?
කෙටි කලක් ගතවිය.
බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.
බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.
විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.
’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.
ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.
සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.

Copy Rights - Silumina

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money