Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

Tuesday, December 20, 2011

සිරිලක් අම්මා පිළිගැන්වූ දා

සිරිලක් අම්මා පිළිගැන්වූ දා

චාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.
මේ දෙදෙනාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරීන් වන අතර වෘත්තියෙන් රජයේ සංගීත ගුරුවරුන්ය. 2007 වසරේ ජාතික රූපවාහිනි සංස්ථාව මගින් පැවැත් වූ ස්වර්ණජෝති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ගායකයා සහ සංගීත කණ්ඩායම ලෙස ස්වර්ණ ජෝති සම්මානය හිමිවූයේ චාමර සහ ලාල් යන මේ දෙදෙනාටය.
චාමර රුවන්තිලක හා ලාල් රූපසිංහ තම ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටියේ පිටපතක් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Friday, December 2, 2011

අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ

මේ දිනවල ජනප්‍රියම ගීතය


ඒ සිරකරු තවමත් මේ ගීතය ලියුවේ ඔහු වෙනුවෙන් කියා දන්නේ නැහැ - භාචි සුසාන්


මගෙ යාළුවෙක් ඉන්නවා මිගමුව හිරගෙදර.ඔහු වැරැදි කිහිපයකටම හිරබත් කෑ පුද්ගලයෙක්. ඒ නිසා ජීවිතයෙන් සෑහෙන කාලයක් ඔහු ගත කළේ හිරගෙදර බිත්ති හතරට කොටු වෙලා.
වරක් මා ඔහුව දකින්නට ගියා. ඔහුගේ අසරණ මුහුණෙහි සටහන්ව ඇති සිතුම් එකිනෙක ඒ මනුස්සයා කියා පෑවා. මට දැනුණේ මාව පිච්චෙනවා වගේ.
ඇත්තටම ඒ වචන හරිම සංවේදියි. මොකක්දෝ අවාසනාවකටයි ඔහුට හිරගෙදර ලගින්නට සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඔහු හැදී වැඩුණු පරිසරය සහ ළමා කාලය ගත කළ අන්දම ඔහු මට කීවා.
එදා මං මිතුරාගෙන් සමුගෙන එතැනින් එළියට ආවේ සසල වූ මනසකින්. මෙවැනි මිනිසුන් තව කී දාහක් නම් ඇත්දැයි සිරගෙදර ඉදිරියේ මාවත දිගේ ඇවිදගෙන එද්දී මට සිතුණා.
තමන් ආදරය කරන මිනිසුන්, සතා සිවුපාවන්, ගහ කොළ, ගංගා, ඇලදොල දකින්නේ නැතිව හිරු එළියෙන්, සඳ එළියෙන් බිඳක් හෝ නොවිඳ ඒ අය ඉන්නේ කොහොමද යන වග මා කල්පනා කළා.
ඒ අදහස් ටික මං එවලේම පුංචි කොළ කැබැල්ලක කුරුටු ගෑවා. තනුවක් ද යොදා කාලයක් තිස්සේ මං ඒ වදන් පෙළ මුමුණ මුමුණ හිටියා. ඒත් ඒක රෙකෝඩ් කළේ නම් නැහැ.
දිනක් මං මගේ ගීත පටිගත කිරීමට ඉන්දියාවේ මුම්බායි නුවරට ගියා. එහෙ ඉන්නවා සුබේන් කියලා මගේ මිත්‍රයෙක්. සුබේන්ට ස්ටුඩියෝ එකක් තියනවා.
ඔහු මට පකිස්ථානු ගීත වගයක් අහන්නට සැලැස්වූවා. ඒ මගේ ඉල්ලීමක් මත. එ අතරේ තිබූ එක්තරා තනුවකට මගේ සිත වැඩියෙන් යොමු වුණා.
එය මා ඉකුත් දිනයකදී සිරගෙර මිනිසුන්ගේ සිතුම් පැතුම් මුසු කොට ලියූ වචනවලට වඩාත් සුදුසු එකක් බව මට වැටහුණා. ඒ තනුවත් මං නිර්මාණය කළ තනුවත් යම්තාක් දුරකට සමානයි.
ඒ ගීතයේ අදහස යම් යම් තැන්වලින් වෙනස් කොට පාකිස්ථානු තනුවට මං ගැලපුවා. නිකම්ම නිකම් සිරකරුවකුගේ අදහස් ටිකක් වෙනුවට පෝරකයට නියම වූ මිනිසෙකුගේ අන්තිම මිනිත්තු කිහිපය ඔහුට දැනෙන අන්දම පිළිබඳ කියවෙන අයුරින් මං පද පෙළෙහි වචන යළි මේ අන්දමින් ලිව්වා.

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ
මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ
නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ

මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ
අපිට කරදරයක් වුණාම නිතැතින්ම සිහියට එන්නේ ආදරයේ සංකේය බඳු අම්මාවයි. ඒක කොයි කාටත් පොදු කරුණක්. තව සුළු මොහොතකින් තමාගේ ගෙල එල්ලුම් ගසේ කඹයට හිර වී හුස්ම වාතලයේ සැඟවී යන බව දැනෙද්දී ඔහුට සිය අම්මා සිහියට පැමිණෙනවා. ඒත් සමඟම මා පෙර පැවසූ පරිදි ඔහුව සිරගෙදරට යන්නට හේතු වුණු වටපිටාව චිත්‍රයක් මෙන් මැවෙනවා. මොන වැරැද්ද කළත් අම්මා කෙනෙක් තම දරුවෙක් එළවන්නේ නැහැ, ආරක්ෂා කරනවා මිසක.
ඒ අදහසට වදන් පෙළ සකසා ලංකාවට ආ විගස මේ ගීතය රෙකෝඩ් කළා.
‘අවසාන මොහොත’ ගීතයේ වැඩ කටයුතු දැන් සියල්ලම හරි. නමුත් එය මා ළඟ වසර කිහිපයක් තියාගෙන සිටියා මිසක මං කිසිදු මාධ්‍යයකට දුන්නේ නැහැ. ලොකුකමකට එහෙම නෙවෙයි, මගේම වුවමනා නැතිකම නිසා.
එක්තරා දිනයක මගේ නිවසට මගේ මිත්‍ර සමාගමේ කෙනකු පැමිණියා. ඔහු මගෙන් ඇහැව්වා අලුත් සිංදු මොනවත් නැති ද කියලා. මං ‘අවසාන මොහොත’ ඇතුළු මගේ නව නිර්මාණ කිහිපයක් ඔහුට අසන්න සැලැස්සුවා. අනිත් ඒවා කෙසේ වෙතත් ‘අවසාන මොහොත’ ගීතය නම් ඔහු අහගෙන හිටියේ වශීීවෙලා වගේ. එය ඔහුගේ ජංගම දුරකතනයට ඇතුළත් කර දෙන්න යැයි ඉල්ලීමක් කළා. දෙවතාවක් හිතන්නේ නැතිව මං දුන්නා.
ඔහු ඔහුගේ යාළුවන්ටත් මේ සිංදුව පසුව ලබා දීලා. තවත් අයෙක් අන්තර් ජාලයට පවා ගීතය දාලා. සෑහෙන්න පිරිසක් ගීතය ඩවුන්ලෝඩ් කරලා. සමහරෙක් මෙයට වෙන රටවල වීඩියෝ එකතු කොට වීඩියෝවක් පවා හදලා. මේ අතරවාරයේ රේඩියෝ චැනල් එකක වැඩ කරන කෙනකුට මෙය අහන්න ලැබිලා ඔහු එය ප්‍රචාරය කොට තිබෙනවා. ගීතය ප්‍රචාරය වෙනකම්ම මම දන්නේ නැහැ. මේ ආකාරයෙන් තමයි ‘අවසාන මොහොත’ ජනප්‍රිය ගිතයක් වුණේ.
ගීතයට රූප රචනාවක් නිර්මාණය කළේ චමීන් ප්‍රනාන්දු. කැමරාකරණයෙන් දායක වූ ධම්මික රත්නායක හොඳ සහයක් වීඩියෝවට ලබා දුන්නා. කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගනයයි අපි දර්ශන තල විදිහට යොදා ගත්තේ. එක දවසින් රූගත කිරීම් නිම කළා. රංග සිංහාගේ සංස්කරණයෙන් එකතු වුණා.
‘අවසාන මොහොත’ ගැන අවසන් වශයෙන් සඳහන් කරනවා නම් මිත්‍රයන් දෙදෙනෙකු නිසා නිර්මාණය වූ සහ ජනප්‍රිය වූ ගීතයක්. එක් කෙනෙක් සිරගෙදර මිත්‍රයා.
අනෙක් කෙනා ගීතය මගෙන් මුලින්ම ජංගම දුරකතනයට දාගත්තු කෙනා. ඒ දෙන්නට පින් සිද්ධ වෙන්න අද මේ ගීතය අතිශය ජනප්‍රිය එකක් වෙලා තියනවා. සිරගෙදර මිත්‍රයා තවම සිරගෙදර. ඔහු තවම දන්නේ නැහැ ඔහුගේ සිතුම් පැතුම් බිඳක් නිසා තමයි මෙතරම් ජනප්‍රිය ගීයක් නිර්මාණය වුණේ කියලා.
මෙතෙක් වෙලා ඔබට කතා කළ මම භාචි සුසාන්.

Thursday, December 1, 2011

පුබුදු උපදිනකොටම ඇඟිල්ල ඉරුවා

පුබුදු චතුරංග ගේ අම්මා ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ

පු - පුලස්ති පරපුරෙන් පැවතෙන කෙනෙක්
බු - බුදු බණ
දු – දුවන්නට දක්ෂ
චතුරංග - රංගනයට දක්ෂ
චතුර කථිකයෙක්.
මෙහෙම තමයි වයස අවුරුදු තුනේදී පුබුදු චතුරංග පුංචි පුතා සිය නමේ තේරුම අනිත් අයට පැහැදිලි කළේ.
දැන් නම්, මෙලෙස පුලස්ති පරපුරෙන් පැවත එන බව පැවසූ පුබුදු චතුරංග සතියේ දිනවල රාත්‍රී 8.00 ට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නේ සිහින දේවනාරායන ලෙසින්. මේ සතියේදී බාලේ සොඳුරු මතකයන් ඔබට පෙළ ගස්වන්නේ යොවුන් රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය මෑණියන්. ඇය ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ මහත්මියයි.
පුබුදු පුංචි කාලේ හරිම පණ්ඩිතයි. පුංචි කාලේ කියලා කිව්වට මොකද? . . . ඉපදුණු දවසේ ඉඳලාම කළේ පණ්ඩිත වැඩ.
පුතා ඉපදුණු දවසේ ඩොක්ටර් මගේ අතට පුතාව දෙන කොට ඇඟිල්ල උරනවා.
සාමාන්‍යයෙන් ඉපදුණු හැටියේම බබෙක් ඇඟිල්ලක් උරන්නෙ නෑනේ. මට අද වගේ මතකයි එදා ඩොක්ටර්ත් කිව්වා ‘මෙයා නම් හරිම පණ්ඩිතයෙක් තමයි, ඉපදුණු හැටියේම ඇඟිල්ලත් උරනවා’ කියලා.
පුතා පණ්ඩිත වගේම දක්ෂයි. හැබැයි පුංචිකමට ‘චතුරංග’ කියන නම එයාට ගැළපෙනවා කියලා මට තේරුණේ පුතා පෙර පාසල් යන කාලෙදිමයි.
පුතා පෙර පාසලේ තිබුණ විවිධ ප්‍රසංගයේ අංග අටකට විතර හිටියා. කොහොම හරි පුතාට හරියටම විවිධ ප්‍රසංගයට දවස් දෙකකට කලින් උණ ගත්තා. ඒක දැනගත්තු පෙර පාසලේ සිස්ටර්ටත්, මැඩම්ටත් උණ අරගෙන.
රංගනයට විතරක් නෙවෙයි පුතා ඉගෙනීමටත් දක්ෂයි. එයා ඉස්කෝලේ ගියේ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයට. පුබුදු පහ වසරේදී ප්‍රාථමික අංශයේ දක්ෂතම ශිෂ්‍යයාත් වුණා. සාමාන්‍ය පෙළත් ච් 8 ක් අරගෙන සමත් වුණා.
ඒ වගේම පුතාට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. පුංචි කාලේදී ගෙදර එක බිත්තියක් එයාට හිතේ හැටියට චිත්‍ර අඳින්න වෙන් කරලා තිබුණේ. පුතා සමහර දවස්වලට ඇඳපු චිත්‍ර බිත්තියේ එල්ලලා අල්ලපු ගෙවල්වල යාළුවන්ව එක්ක ගෙන ඇවිත් පෙන්නනවා. පුතා ඒ කාලේ අපෙන් අපූරු ඉල්ලීමක් කළා. මොකක්ද දන්නවාද ඒ ඉල්ලීම.
ජනාධිපතිතුමාවත් අපේ ගෙදරට එක්කගෙන ඇවිත් එයාගේ චිත්‍ර පෙන්නන්න කියලා.
පුතා පොඩි කාලේ හරිම ක්‍රියාශීලී දරුවෙක්. හැබැයි ඒ වගේම තමයි හරිම දඟයි. එක මොහොතක් එක තැනක ඉන්න බෑ. පඩි පෙළක්, ගහක් හෝ මොකක් හරි ටිකක් උස තැනක් දැක්කොත් නඟින්නමයි හදන්නේ.
පුතා පුංචි කාලේ ‘ටාසන්’ බැලුවා. ඉතින් ඒ කාලේ එයාගේ ්වැඩේම කෑ ගගහා ගස් උඩ නඟින එකමයි. කොහොම හරි දරුවාගේ ආසාව නිසා අපිත් එයාගේ ටාසන් සෙල්ලමට උදව් කළා.
අපේ ගෙදර වත්තෙ අඹ ගහකුයි, තව දෙහි ගස් වගයකුයි එක ළඟ තිබුණා. හරියට පුංචි වදුලක් වගේ. අපි ඉතින් ඒ වදුලේ අඹ ගහේ පුතාට නඟින්න පුළුවන් විදිහට පැළකුත් හදලා දුන්නා. පුතා දුන්නකුයි ඊතලයකුයි හදාගෙන ඒ කාලේ හැමදාම ඒ පැළට නැඟලා සෙල්ලම් කරනවා.
අවුරුදු තුනේදී මගේ දඟ පැටියා කළ දඟ වැඩක් නිසා අපි හැමෝම බය වුණා. තාත්තා ඉස්සර වැඩට ගියේ මෝටර් බයික් එකකින්. ඉතින් දවසක් බයික් එක වෙනදා විදිහටම එළියේ නවත්තලා ගේ ඇතුළේ අපි කතා කර කර හිටියා. පුතා අපි හැමෝටම හොරෙන් බයික් එකට නැඟලා ස්ටාර්ට් කරගෙන ටිකක් ඉස්සරහට ගිහින්.
ගේට්ටුවේ මොකක්දෝ හයියෙන් වැදෙන සද්දයට තමයි අපි එළියට ආවේ. ඔය වගේ චණ්ඩි වැඩ කීපයක්ම පුංචි කාලේදී කළා. තවත් දවසක් බයිසිකල් උඩ ඉඳන් පහළට පදින්න පුළුවන් නම් පහළ ඉඳන් ඉහළටත් පදින්න පුළුවන් කියලා පඩි පෙළක පහළ ඉඳන් ඉහළට බයිසිකල් පදින්න ගිහින් වැටිලා තුවාල කර ගත්තා.
අවුරුදු තුන හමාරක් විතර ඇති පුතාට ඒ සිද්ධිය වෙන කොට. නමුත් තුවාලෙට මැහුම් පහක් ගහනකන් අඬන්නෙ නැතිව හිටියානේ. කෙහොම නමුත් දැන් නම් පුතා ඉස්සරට වඩා පරිස්සමින් වැඩ කරනවා.

Friday, November 4, 2011

නයිසලරාගේ ‘රන් සරය

රන් සරය

රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.
ජීවිතයේ සොඳුරු ප්‍රාර්ථනා රැසක් හදවත රුවා ගනිමින් සොඳුරු සමනළියක සේ ලොව දකින්නට පෙරුම් පුරනා නිෂාම් නයිසලරා දියණිය පසුගිය දිනක ‘සරසවිය’ට ගොඩ වැඳුණා. ඒ ඇගේ හදවත රැඳුනු බලාපොරොත්තු ගැන අපට කියන්නටයි.
‘රන් සරය කියන මේ සංයුක්ත තැටියට ගීත දොළහක් අඩංගුයි. සම්බුද්ධ ජයන්තිය මූලික කරගත් වගේම මව් ගුණ ගී, පිය ගුණ ගී, පරිසරය සම්බන්ධව ගයන ගීතත් මේ පටයට ඇතුළත්. කාලයක පටන් මගේ සිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවක් මේ විදියට මල්ඵල ගැනුණේ පසුගිය සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ වුණු කාලයේදීයි.
මේ සඳහා මාව වඩාත් උනන්දු කළේ මගේ අම්මා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ලෙස කටයුතු කරන ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු. මුලින්ම මගේ දක්ෂතාවයන් මොනවද කියන කාරණය පිළිබඳ ඈ හොඳ අවබෝධයකින් පසු වුණා. ඒ නිසාදෝ ඈ මාව මුලින්ම යොමු කළේ ගුවන් විදුලියේ විදුල ගුවන් විදුලියටයි.
එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි.
මේ ඔස්සේ දක්ෂතා එළි දැක්වීමට ජීවන ගමන් මගේ යෝධ ශක්තියක් වන්නේ මගේ අම්මා. ඈ සුවිසල් රුකක් සේ මා අභියසම ඉඳන් මා දිරිමත් කරනවා. ඒ අනුවයි ‘රන් සරය’ එළි දකින්නේ.
මේ සංයුක්ත තැටියේ අඩංගු ගීතවල පද රචනයෙන් හා සංගීතයෙන් ධම්මික පතිරාජ, සුජීව හෙට්ටිතන්ත්‍රී, දිලිප් නානායක්කාර, ධර්මප්‍රිය රණවක, අනූෂා ගෝකුළ, විජිත් කණුගල, සිසිර කුමාර මහගම කියන මාමලා වගේම චාන්දනී වර්ෂකෝන්, ජානක ෆොන්සේකා, ශාන්ත පීරිස්, කරුණාරත්න විජේවර්ධන, කීර්ති විදානගමගේ, කුමාර කොඩිතුවක්කු ඇතුළු ගොඩක් මාමලා මට උදව් කළා. ඒ කළ හැම දෙයක් වෙනුවෙන්ම මගේ අම්මාටත්, තාත්තාටත් ඒ හැමෝටමත් බොහොම ස්තුතිවන්ත වෙනවා.’
දඟකාර සමනලිය පවසන්නේ හද පිරි සතුට දෝරේ ගලන අතරතුරදියි. නිෂාම් දූ ගී කියන්න වගේම නිවේදනයට වගේම ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ‘මම ඉගෙන ගන්නේ වත්තල යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි කියන භාෂා තුනෙන්ම ගීත කියන්නත්, කතා කරන්නත් මට පුළුවන්. අනාගතයේදී හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙන්න මම කැමැතියි.’
ඈ කියන්නේ දහසක් බලාපොරොත්තු රැඳි දෙනෙතින්. නිෂාම් දුවේ නුඹට සුබ අනාගතයක්. සරසවිය වෙතින් නුඹට සුබ පැතුම්.

Thursday, October 27, 2011

සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි

සංගීතයට හා ගුවන්විදුලි සම්ප්‍රදායට නව මානයක්

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශකතාවට නැවුම් සම්ප්‍රදායක් එක් කළ “ලක්හඬ” ගුවන් විදුලිය නොවැ: 15 දිනට වසර 15ක් සපුරයි. දේශීය හර පද්ධතිය සුරකිමින් අපේකම හා මාධ්‍ය සදාචාරය ආරක්‍ෂා කරමින් යන ගමනේදී 15 වෙනි සාංවත්සරික සැමරුම ශ්‍රාවකයන්ගේ රස භාවයන් උද්දීපනය කිරීම සඳහා වෙන් කරන්නට ඔවුන් අදහස් කරති.
සිංහල ගීත සාහිත්‍යයේ වපසරිය පුළුල් කළ ප්‍රවීණ සංගීතවේදින් වන වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ ගායනයෙන්ද රෝහණ වීරසිංහ ස්වර සංකලනයෙන්ද ශ්‍රාවක සිත් පහන් කරන “සඳ රෑ සුවිසර” යුගාභිමානී ප්‍රසංගය නොවැ: 01 දින ප. ව. 6.30ට සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. පහත පළවන්නේ ගැයුමෙන්, වැයුමෙන් හා රැඟුමෙන් ඔපවත්වන එම විරල අත්දැකීම පිළිබඳ පූර්විකා සටහනකි.




සිංහල සංගීත ක්ෂේත්‍රයේ වික්ටර් රත්නායකගේ භූමිකාව මධුරය. මනෝහරය. 60 දශකයේ මුල් භාගයේ ගායක ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගී ලොවට පිවිස ඉතා කෙටි කාලයක් තුළදී රසිකයන් සිය වසඟයට ගැනීමට සමත්විය.
වික්ටර්ගේ ආගමනය සිංහල සංගීත ක්ෂේත්‍රයට දෙයාකාරයකින් වැදගත් වෙයි. අවර ගණයේ අනුකාරක ගීත ගොන්නක සිරවී සිටි තරුණ පරපුර එයින් මුදවාගෙන උත්තම ගණයේ සංගීතය රසවිඳිය හැකි ශ්‍රාවකයන් බවට පත් කරන්නට හැකිවීම එකකි.
වික්ටර් ලාංකේය සුභාවිත සංගීතයට ඉටුකළ අනෙක් මෙහෙය වන්නේ එයට අනාගතයක් තනා දෙමින් ඔහු අනුව යන්නට සංගීත පිරිවරක් තනා දීමය.
1973 ජූලි 20 දිනය, මෙරට සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි. වික්ටර්ගේ “ස” ප්‍රසංගය මුල් වරට ශ්‍රාවක සවන්පත් අතරට වැකුණේ එදිනය. මෙම දිනය අප සංගීත අඹරට තවත් අයුරකින් වැදගත් වෙයි.
ඒ සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවූ රෝහණ වීරසිංහයන්ගේ මුල්ම ගායනය සිදුවූ මොහොත ලෙසය. (පසුව සුනිල් එදිරිසිංහයන් ද ගායකයෙක් ලෙස මුල්වරට කලඑළි බසින්නේ 1975දී ‘ස’ ප්‍රසංගය හරහාය)
වික්ටර්, රෝහණ, සුනිල් සංයෝගය දිගු ඉතිහාසයකට දිව යන්නකි. වික්ටර්ට රෝහණ හමුවන්නේ සොයුරු සෝමපාල රත්නායකගේ මාර්ගයෙනි. සුනිලුන්ට වික්ටර් රත්නායකයන් හමුවන්නේ සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මඟිනි.
ගායකයෙක්ට සිය ප්‍රථම ගීයෙන්ම ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රයතාවයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. “සඳකඩපහණක කැටයම් ඔපලා” ගීතය සුනිල් එදිරිසිංහට එම භාග්‍යය උදා කළේය. මෙම ගීතය වික්ටර්හට වැදගත් වන්නේ එය ඔහු තනුව සැපයූ දහස් ගණනක් ගීත අතර එකක් වීම නිසා නොවේ. එය වික්ටර් කුළුදුලේ සංගීත අධ්‍යක්‍ෂණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “මාතර ආච්චි” චිත්‍රපටයේ ගීතයක් වීම නිසාය.
මේ තිදෙනා අතර සම්බන්ධය එක් මොහොතක ආකස්මිකව ඇතිවූවක් නොවේ. අතු ඉතිලා ලියලා ගිය සබඳතාවයකි.
සුනිල්ගේ මුල්ම සරල ගී වැඩ සටහන සඳහා ද තනු නිර්මාණයෙන් සහයව ඇත්තේ වික්ටර්ය. පසුව ඒ තැන හිමිකර ගත්තේ රෝහණය.
සුනිල් එදිරිසිංහට වැඩිපුරම තනු නිර්මාණය කළ රචකයා රෝහණ වීරසිංහය. එක් අතෙකින් මෙය විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නොවන්නේ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය නොකළ ජනපි‍්‍රය ගායකයෙක් මෙන්ම ඔහු තනු නිර්මාණය කළ ජනපි‍්‍රය නොවූ ගීතයක් සොයා ගැනීමද විරල නිසාය.
රෝහණට මේ කාර්යය කළ හැකි වූයේ ඒ ඒ ගායන ශිල්පියාගේ හඬෙහි තාරතාවය හා ස්වර පරිමාව දැනගෙන ඊට උචිත ලෙස තනු නිර්මාණය කිරීමට තිබූ හැකියාව නිසාය. ඒ සඳහා ඔහුට ආභාෂයක් “ස” ප්‍රසංගයට සම්බන්ධව සිටි අවධියේ වික්ටර්ගේ ‘ස්වර ලිපි’ සකස් කිරීමට උදව් වීමේදී ලැබෙන්නට ඇත. ඔවුන් එකිනෙකාට වෙනස් ස්වාධීන මාවත්වල ගමන් කළද වික්ටර්ගේ මියුරු ස්වර සංරචකයේ හා සංගීත සංයෝජනයේ ඡායාවක් රෝහණ තුළ ද දැකිය හැක. ඒ ඔවුන් දීර්ඝ කාලයක් සමීපව කටයුතු කිරීම නිසා ලැබූ දෙයක් විය හැක.
රෝහණ වීරසිංහ අප වඩාත් හඳුනන්නේ දක්‍ෂ තනු රචකයෙක් ලෙසිනි. නමුත් ඔහු ගයන ‘නෙළුම් මලේ’, ‘මියුරු කවියක්’ ඇතුළු සමහර ගීතයක තනු නිර්මාපකයා ඔහු නොව වික්ටර් රත්නායකය.
එලෙසම වික්ටර් ගයන “බනින්නෙපා පොඩි දෝණිට”, “තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” වැනි ගීතයක සංගීත සංරචනය සිදුව ඇත්තේ රෝහණ අතිනි.
වික්ටර් ගායන ශිල්පියෙක්ට අමතරව දක්‍ෂ තනු රචකයෙකි. සුනිල් එදිරිසිංහගේ ජනපි‍්‍රය ගීත බොහොමයක තනු රචනා අයිතිය බෙදී යන්නේ ඔහු හා රෝහණ අතරය.
වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ තිදෙනා යුග පරිවර්තනයක් අභිමුව “මාතර ආච්චි” (1973) චිත්‍රපටයට පසුව වසර 38 කට පසු එකම වේදිකාවකදී එකට හමුවෙයි.
සංගීත ක්ෂේත්‍රයේ සිය ලකුණු සටහන් කරගනිමින් විටෙක එක්වද, තවත් වරෙක තනිවමද ගමන්ගත් මෙම සංගීතඥයන් ත්‍රිත්වය එකම සංදර්ශනයකදී පළමුවරට ගායක සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ මෙදිනය. මෙය තවදුරටත් පැහැදිලි කළ යුත්තකි.
අඩසියවසකට සහ එයින් අඩ දශකයකට ආසන්න වික්ටර් හා සුනිල්, රෝහණ තිදෙනාගේ සංගීත දිවිය තුළ මෙවැනි සුසංයෝගයක් මෙයට පෙර සිදුව නැත.
“ලක්හඬ” ගුවන් විදුලිය ඔවුන්ගේ 15 වසරක මාධ්‍ය මෙහෙවර සමරන්නට මේ සබැඳියාව නිමිත්තක් කරගනී. මෙනයින් ඔවුන් දක්වන පරිදිම “සඳ රෑ සුවිසර” එළිදකින මොහොත යුගාභිමානයක්මය.
මෙම ත්‍රිමුර්තිය අතර ගෙවුණු ලබැඳි සංගීත දිවියේ මෙතෙක් අප නොදත් රසබර ඉසව් රැසක් ගීත අතරතුර ඔවුන් විසින්ම හෙළිදරව් කිරීමට කතිකා කරගෙන ඇත්තේ මෙම වැඩසටහනේ පූරකයන් ද ඔවුන්ම වන බැවිනි.
එහි පසුබිම් කථනයන් මොනවාදැයි අප නොදන්නා නමුත් සංවිධායකයන් පවසන පරිදි ගායන, සහය ගායන මෙන්ම සංගීත ශිල්පී භූමිකා අතරද වෙනස්කම් ද මේ ප්‍රසංගයේදී සිදුවිය හැක. ඒ ඉඟිය අප වටහා ගත යුත්තේ වික්ටර්ගේ ගීතයක් සුනිල්ගේ මියුරු හඬින් හෝ සුනිල්ගේ ගීයක් වික්ටර්ගේ මියුරු හඬින් ගායනා විය හැකි ලෙස පමණක් නොවේ. රෝහණ වීරසිංහයන් ගයන “මුතු කුඩ ඉහලන මල් වරුසාවේ” වැනි ගීතයක් වෙනත් හැඟුම් වරුසාවකට හසුවිය හැකි බවය.

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ පුරුදු ආකාසේ....

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ  පුරුදු ආකාසේ....
කිළිටි වූ ගී කෙත සෝදා පවිත්‍ර කරන්නට 'සඳරූ සුවිසර'



දිගු කාලයක්‌ නිහඬ වී සිටි නුඹ වගේ
අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ

ඇත්ත ...... අලුත්ම අලුත් වැස්‌සක්‌ උවමනාම මොහොතක.... අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසෙනවා.... පුහු පදමාලා බොල් සංගීතය.... විතරක්‌ද ..... කෝකිලයන් යෑයි සිතා ගී ගයන කපුටන් ද සේදිලා ගසාගෙන යන තරමේ අලුත් වැස්‌සක්‌ වසින්නටයි සූදානම..... මේ සිදුවන විපරිතයන් දැක ... වේදනා බරිතව දිගු කාලයක්‌ නිහඬව සිටි ආකාසය... අලුත් වැස්‌සක්‌ වස්‌සවන්නයි සූදානම ... මේ වැස්‌ස වහින්නේ කවදාද කියල බලාසිටි සද්ජනයා කැල ප්‍රීතියෙන් ඉපිල යන තරමට අලුත් වැස්‌සක්‌ වහින්නටයි සූදානම.

සුභාවිත ගී වරුසාවකින් මේ ගී කෙත සෝදා පිරිසිදු කිරීමේ කාලය එළැඹ ඇත. කපුටන් පළවා හැර කෝකිලයන්ට යළි මේ ගී කෙත පවරාදීමේ කාලය එළැඹ ඇත. එකරැයකින් කපුටන් බිහි වුවද උන් පළවා හරින්නට දැන් නම් එක රැයක්‌ ප්‍රමාණවත් නොවේ. ඒනිසා දිගින් දිගටම වැසි වට යුතුය.

ඒ වැස්‌සේ තෙමෙන්නට අපටත් වාසනාව උදාවේ. මෙම 01 වැනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ ශාලාවේදී සවස 6.30 ට ඒ වැස්‌ස වසී. "සඳරූ සුවිසර" ඒ වැස්‌සට තබා ඇති නමය.

"සඳරූ සුවිසර" සුභාවිත ගී වැස්‌ස ගෙන එන්නේ අප රටේ අද්විතීය සංගීතඥයන් ත්‍රිත්වයකි. ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැටුව රෝහණ වීරසිංහත් .. සුනිල් එදිරිසිංහත් .... "සඳ රෑ සුවිසර" සඳරූ සුවිසර කැටුව එන්නේ ලක්‌හඬ ගුවන් විදුලි නාලිකාව සමගින්.

රෝහණ, සුනිල් දෙපළ වික්‌ටර් රත්නායකයන් සලකන්නේ ගුරු කොටය. 'සඳරූ සුවිසර" ඒ ගුරුන් පුදන්නට ගෝලයන්ට ද ලැබෙන කදිම අවස්‌ථාවකි.

වික්‌ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ තිදෙනා නිර්මාණ කටයුත්තකට පළමුවරට එකට හමුවන්නේ මීට අවුරුදු තිස්‌ අටකට පෙරය.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුණු රසයක පැන ආ බුබුලක්‌
අකුරු වැළක්‌ දෙහදක ලියෑවී ....

සුනිල් එදිරිසිංහ ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ සොයුරු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ "මාතර ආච්චි" සිනමා පටයට ඒ ගීය ගයමිනි. ගීයේ තනුව නිර්මාණය කළේ විකටර් රත්නායකය. ගීය පසුබිමින් වැයෙද්දී සිනමා පටයේ එම දර්ශනයට පෙනී සිටින්නේ සතිස්‌චන්ද්‍රය. සතිස්‌ රඟපාද්දී ඔහු අසල සිතාර් වාදකයකු ලෙස රඟනුයේ රෝහණ වීරසිංහය.

ඉතින් .. අවුරුදු තිස්‌ අටකට පසු මේ තිදෙනා යළි එකම නිර්මාණ කටුත්තක ...... ඒ "සඳරූ සුවිසරය"

සඳරූ සුවිසර ප්‍රසංගයට වික්‌ටර් හැදූ ගීතනු සුනිල් එදිරිසිංහ ගයයි. රෝහණ වීරසිංහ හැදූ තනුවලට වික්‌ටර් සහ සුනිල් දෙදෙනාම ගයති. වික්‌ටර් ගැයූ ගී සුනිල් ද සුනිල් ගැයූ ගී වික්‌ටර් ද ගයනු ඇත. ඉතා විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක්‌ මේ ගී වැස්‌සේ තෙමෙන අපට දැක බලා ගැනීමට වාසනාව උදාවේ. දෙදෙනා ගී දොළහ බැගින් ගී විසිහතරක්‌ ගයති.

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ
සුවඳ මා ළඟින්

සිංහල සුභාවිත ගීයේ ස්‌වර්ණමය යුගයක මතක සටහන් සැබැවින්ම යළි අප ඉදිරියේදී මෙම 01 වැනිදා සවස මැවෙනු ඇත. එනම් හරිම කදිම... සොඳුරු වර්ෂාවක්‌මය.... ගී වරුසාවක්‌මය... අලුත් වැස්‌සක්‌මය.... මව්පිය ගුණ, ආදරය, වියෝව, දේශානුරාගය වික්‌ටර්, රෝහණ, සුනිල් අපේ සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත බලකණු තුනක්‌ අපට විඳින්නට අවස්‌ථාව ලැබදෙන්නට සූදානම්. අද ගුවන් විදුලි නාලිකාවන්ගේ බලහත්කාරය නිසා කුණු ගී රසයෙන විඳවමින් සිටින ශ්‍රාවකයාට ... සුභාවිත ගීයේ රසය විඳින්නට තවත් ගුවන් විදුලි නාලිකාවක්‌ ..... ඉඩ හසර ලබාදීම ... (ඒ ලක්‌හඬය) සතුටට කරුණකි.

එන්න .... අලුත් ගී වැස්‌සේ තෙමෙන්න.. කිළිටි වී ඇති ගී කෙත සෝදා පවිත්‍ර කරන්න නම් මේ වැස්‌සේ තෙමිය යුතුමය.

අජිත් අලහකෝන්
ඡායාරූප-දයාන් විතාරණ 


Copy Rights - Divayina

උත්තරීතර කුටුම්භය තුළ පතිනි භාව රකින්නී ඈ...

උත්තරීතර කුටුම්භය තුළ පතිනි භාව රකින්නී ඈ...

භාර්යාවෝ ඇරැඹුණු මොහොත



"භාර්යාවෝ" ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල පසුගියදා සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, ඉන්ද්‍රානී වීරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අත්විඳින ජීවිත අත්දැකීම් නූතන භාර්යාවන් විනිවිද නිර්මාණය වන මෙම ටෙලි වෘතාන්තයෙහි කතා සංකල්පය ශෂී වීරවංශගෙනි. අධ්‍යක්‍ෂණය සාරංග මෙන්ඩිස්‌a වෙතිනි. සුධර්මා නෙත්තිකුමාර භාර්යාවෝහි නිෂ්පාදිකාවයි.

ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, කාංචනා මෙන්ඩිස්‌, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, නිමන්ති පෝරගේ, ලකී ඩයස්‌, මේනකා රාජපක්‍ෂ, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, සහන් රන්වල රංගනයෙන් දායක වෙති.

නිරෝෂා විරාජිනි ගයන මෙහි එන ගීතය රචනා කර ඇත්තේ ශෂී වීරවංශ (ඇමැති විමල් වීරවංශ බිරිඳ) විසිනි. ප්‍රභාත් රොෂාන් කැමරාකරණයෙන්ද, ඊ. ඩබ්. විඡේසිංහ වෙස්‌ ගැන්වීමෙන්ද දායක වී ඇත.

"භාර්යාවෝ" ටෙලි වෘත්තාන්තයේ කතාව මෙන්ම එහි තේමා ගීතයද ලියනු ලැබූ ශෂී වීරවංශ ඊට පසුබිම් වූ කතාව පිළිබඳව අපට අදහස්‌ දක්‌වමින් මෙලෙස ප්‍රකාශ කළාය. "විවාහයෙන් පස්‌සේ අපි කවුරුත් වැඩිපුරම ඇසුරු කරන්නේ විවාහක බිරින්දෑවරු. මේ බිරින්දෑවරු කතා කරන විට අපට ඇසෙන ජීවිතය පිළිබඳ විවරණයන් ඉතා සංකීර්ණයි. විශේෂයෙන් නූතනයේ තාක්‌ෂණික පෙරළියත් සමග අපේ සමාජ හර පද්ධතීන් වලට මෙන්ම පවුල් ජීවිතවලට එල්ල කරන බලපෑම් විවිධාකාරය.

මේ නූතන පවුල් ජීවිත තුළ බිරින්දෑවරු මෙන්ම ස්‌වාමි පුරුෂයන්ද දරුමල්ලන්ද විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනවා. ඉතා යහපත් ස්‌වාමි පුරුෂයන් නිසා ඉතා සතුටින් පවුල් ජීවිත ගත කරන බිරින්දෑවරුත් අපට හමුවෙනවා. සමහර බිරින්දෑවරු නිසා දුක්‌විඳින ස්‌වාමිපුරුෂයන් විඳින ප්‍රශ්නත් අපට අසන්න ලැබෙනවා. මේ සියල්ල සමග බිරින්දෑවරුගේත්, ස්‌වාමි පුරුෂයන්ගේත් ජන්ම ගති පැවතුම් නිසා හැලහැප්පිලිවලට මුහුණ දෙමින් දරු මල්ලන් සමග ජීවිතය ගෙන යන භාර්යාවෝ අපට සමාජයේ හමුවෙනවා.
ආසියාතික ගැහැනිය ලෙස අප හඳුනන ජීවිත සීමා මායිම් තුළ සිරවී සියලු ප්‍රශ්න විඳ දරාගෙන දුක්‌ කම්කටොලු මැද දරුවන් උදෙසාම ජීවිතයට මුහුණ දෙන කාන්තාවන් භාර්යාවන් සියල්ල සිතින් විඳ දරාගෙන පිටට නොකියන සාමාජීය හා ආර්ථීක වෙනත් ප්‍රශ්න මැද ගතකරන ජීවිතය ගැන අප කතා කරන අවස්‌ථා විරලයි. ආසියාතික ගැහැනිය නමැති සීමා මායිම් වටා කොටුකර තිබෙන පවුරින් එහාට ගොස්‌ ඔවුන්ගේ ජීවිතය විනිවිද දකින්නයි "භාර්යාවෝ" ටෙලි වෘත්තාන්තය කරන්න මා උත්සහ කරන්නේ.
මගේ සිතේ උපන් මේ කතාව කලාත්මක නිර්මාණයකින් ජනතාව ඉදිරියට තබන්න මම සුධර්මා නෙත්තිකුමාර මහත්මියට යෝජනා කළ විට ඇය එක හෙළාම ඊට කැමැත්ත පළ කළා. ඇය ඒ වනවිට ටෙලි නාට්‍යක්‌ කරන්න කතා වස්‌තුවක්‌ සොයමින් සිටියා. "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තයක්‌ නිපදවූ ඇය ඉතා සතුටින් "භාර්යාවෝ" නිපදවන්න ඉදිරිපත් වීම මට පමණක්‌ නොව සමස්‌ත භාර්යාවන්ටම මහත් සතුටක්‌. භාර්යාවෝ හි එන අර්ථවත් තේමා ගීතය ශෂී වීරවංශ විසින් ලියා තිබේ. ශෂී සතු ප්‍රතිභාව පළකරමින් ඇය ලියූ නිරෝෂා විරාජිනී ගයන ගීතය සංගීතවත් කර ඇත්තේ නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතවේදියාණන් විසිනි. එම ගීතය ද මේ සමග දැක්‌වේ.

භාර්යාවෝ



දස පෙරුම් පුරා - පතිකුලය අරා
පෙරහැරේ යන්න - සුබ මඟුල් පතා
සොඳුරු ලලනාවී ඈ සොඳුරු ලලනාවී....

සත් ගුණෙන් යුතුව - මෙත් සිතින් බැඳෙන
යුග දිවිය පුරා - මිණි බඳුන
රකින ඈ
නාග කන්‍යාවී ඈ නාග කන්‍යාවී...

විඳින මනසට විඳින්නට හැර
කර්ම ද්වාරය හැර තබා
උත්තරීතර කුටුම්භය තුළ
පතිනිභාවය රකින්නී ඈ...
සසර පුරුදු ලෙස පෙරුම් පුරනා
යශෝදරාවී ඈ කින්නරා වී ඈ...

චෝර වධකය ස්‌වාමි වෙස්‌ගෙන
ජීවිතයෙ දොර අගුලු ලා
අන් සතු පෙම් උයන් වනසා...
එහිම නිරයක්‌ මවන්නී...
සතර අගතියෙ ගතිය මවනා
අපුල රුදුලිය ඈ...
කුරිරු රතැසිය ඈ...

මාතු භාර්යා, භගිනි භාර්යා, සකිනි භාර්යා, දාසි භාර්යා,
චෝර භාර්යා, වධක භාර්යා, ස්‌වාමි භාර්යා සප්ත භාර්යාවෝ///

පද රචනය - ශෂී වීරවංශ
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - නිරෝෂා විරාජිනී
ශෂී වීරවංශ

සටහන-කළ්‍යාණි පී නිශ්ශංක
පින්තූර- ධම්මික සල්වතුර 


Copy Rights - Divayina

Tuesday, October 25, 2011

ග‍්‍රීක ගාන්ධර්වයා ලංකාවේ

2011 ඔක්තෝබර් මස 25 10:16:57 | Copy Rights | දීපා අධිකාරී , ගුවන්තොටුපොළ
ලෝකප‍්‍රකට සම්මානලාභී ග‍්‍රීක සංගීතාඥ යානී ක‍්‍රීසෝමලීස් ලොව වටා සංචාරයක යෙදෙමින් සඳුදා රාත‍්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පුරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ මිනිත්තු 45ක් රැඳී සිටියේය. ඔහු පියානෝ වාදකයෙකි. ගීත රචකයෙකි. තනිවම සංගීතය උගෙන ගත් ඔහු ප්ලැට්නම් හා රන් සම්මාන 35ක් දිනා සිටී ඔහු රටවල් 20ක දෙකෝටියක් සංගීත ලෝලයන් ඉදිරියේ සජිව සංදර්ශන පවත්වා ඇත.ගුවන්තොටෙහි සෙරන්ඞ්බි මැදිරිය වෙත ඔහු කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර දැක්වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ඕමාන කලමනාකරු ලක්ෂ්මන් වීරසිංහ මහතා මුල්විය. ශ්‍රීලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය අනුව සුළුවේලාවක් රැඳී සිටිම දුකක් බව කී යානී යළි එන බව සඳහන් කෙළේය. 1954 වසරේ නොවැම්බර් 14 ග‍්‍රීකයේ කලමාටාහි උපන්නෙය.
ඔහුගේ ගීත ඇල්බම් ලොව වටා දෙකෝටියක් ජනතාව අතර අලෙවි වෙයි.
ඔලිම්පික් උළෙල මෙන්ම ලොව ජනප‍්‍රිය රූපවාහිනි නාලිකා රැසක් ඔහුගේ පසුබිම්  සංගීත වාදනය කරයි. ලංකාවට ද එය හුරුපුරුදුය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money