Showing posts with label ගොසිප්. Show all posts
Showing posts with label ගොසිප්. Show all posts

Friday, January 6, 2012

තිරයේ රජු ඔහුය.

තිරයේ රජු ඔහුය. ඔහු තිරයෙන් දකින්නට, දකින්නට ඔහුගේ වීරවික්‍රමාන්විත බව ද රසිකයන්ට දෙගුණ තෙගුණ වී පෙනෙයි. ‘දොන්’ පළමු චිත්‍රපටියෙන් අප ඔහු දුටුවේ වසර 2006 දීයි. වසර පහක ඇවෑමෙන් යළි අපි ඔහු දකිමු.
ඒ ‘දොන් 2’ ලෙසයි. 2011 දෙසැම්බර් 23 වැනි දින ද්විමාන, ත්‍රිමාන, මේ දෙආකාරයෙන්ම නරඹන්න ලැබෙන ‘දොන් 2’ රජු ජීවමාන කරන්නේ රිදී තිරයේ සැබෑම අභිමානවත් රජුවන ෂාරුක් ඛාන්මය. එහෙත් එහි මහා රජු සොයා අප 1978 තරම් ඈත ඉතිහාසයකට යා යුතුය.
2006 දී තිරගත වූ ‘දොන්’, 1978 තිරගත වූ ‘දොන්’ සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. එහි ‘දොන්’ වූයේ මෙගා තරුව, අමිතාබ් බච්චන්ය.
1978 දී තිරගත වූ ‘දොන්’ ඒ වසරේ දී බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබූ සිනමා පට අතර තුන්වැනි තැනට පත් වී තිබුණි. ‘දොන්’ සිනමා පටයට 1962 දී තිරගත වූ ‘චයිනා ටවුන්’ සිනමා පටයේ ආභාශය ලැබී ඇති බව ද කියවේ. කෙසේ වුවත් ‘දොන්’ කෙතරම් කතා මාලාවලින් පැමිණියත් ප්‍රේක්ෂකයන්ට නීරසවන පුද්ගලයකු බවට නම් පත් වී නැත. 2006 දී තිරගත වූ ‘දොන්’ සිනමා පටය එම වසරේදී පස්වෙනි තැනට වැඩිම ආදායම ලැබූ සිනමා පටයයි. ‘දොන් 2’ ද ඊට නොදෙවෙනි වාර්තාවකට හිමිකම් කියනු ඇති බවට බොහෝ දෙනා අදහස් පළ කරති. ඊට හේතු ගණනාවක්ම තිබේ.
මේ ත්‍රාසජනක සටන් සිනමා පටය ෆාරන් අක්තාර් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයන් වෙත ගෙනෙන්නේ වසර පහක නිහැඬියවකින් පසුවය. එහෙත් ඒ නිහැඬියාව පිටුපස ‘දොන් 2’ කඩිසර ලෙස ක්‍රියාත්මක වූ බව රහසක් නොවෙයි. ‘ඩර්’, ‘බාසිගර්’ වැනි සිනමා පටවලින් තිරයේ දුෂ්ඨයා වූ ෂාරුක් යළි තිරයේ දුෂ්ඨයකු ලෙසින් හමුවන්නේත් කාලයකට පසුවය. එපමණක් නොව ඔහුගේ දශක දෙකක වෘත්තීය ජීවිතයේ සිනමා පට මාලාවකට සම්බන්ධ වූ පළමු අවස්ථාවත් මෙයයි. ලොව පුරා රසිකයන්ට ප්‍රීතිමත් නත්තල අබියසදී මේ සුවිශේෂී ‘දොන්’ හින්දි බසින් පමණක් නොව ද්‍රවිඩ සහ තෙළිඟු භාෂාවලින් ද රස විඳීමට ඉඩ ලබා දී ඇත.
‘දොන් – නැවත සටන ඇරැඹෙයි’ තිරගත වූ පසු ෆාරන් අක්තාර්ට දෙවැන්නක් කිරීමේ සිතක් පහළ විණි. තමන් එසේ කරන බව ඔහු නිල වශයෙන් ද ප්‍රකාශ කළේය. එහෙත් එය වහා ක්‍රියාත්මක කිරීමට බාධා කිහිපයක්ම හේතුª විය. ෂාරුක්ගේ උරහිසේ සැත්කම එක් හේතුවකි. ඔහු ‘මයි නේම් ඊස් ඛාන්’, රබ් නෙ බනාඩි ජෝඩි’ සඳහා දින දී තිබුණි. මේ සියල්ල නිරාකරණය වූ පසු අක්තාර් 2010 දී සුබ පණිවුඩයක් රසිකයන්ට පැවසුවේය. ‘දොන් 2’ තිර රචනය ලිය වී ඇති බව සහ රූගත කරන තැන් තීරණය කර අවසන් බව ඒ සුබ ආරංචියයි.
පළමු සිනමා පටය ෆාරන් අක්තාර්ගේ පියාගේ රචනයක් වුවත් දෙවැන්න ලියන ලද්දේ පළමු සිනමා පටයෙන් උන්මාදයට පත් අමීත් සහ අම්රීෂ් නම් යෞවනයන් දෙදෙනෙකි. අක්තාර්ගේ සහ යෞවනයන්ගේ අපූරු සිතුවිලි සංකලනයකින් ‘දොන් 2’ රචනා වුණි.
නොවැම්බර් 15 වැනිදා සිනමා පටයේ තවත් වැදගත් දිනයකි. ඛාන් තමන්ගේ නමින් ටැටූ ලියාපදිංචි කළ පළමු කලාකරු බවට පත් විය. ඔහු සිනමා පටය අන් අය සොරා ගැනීම වැළැක්වීම සඳහා අතෙහි ‘ඩී’ යන ටැටූව තබා ගත්තේය. 2011 අගෝස්තුවේදී සිනමා පටය ත්‍රිමාන සිනමා පටයක් ලෙසින් ද එළි දැක්වෙන බව නිෂ්පාදකවරු කියා සිටියහ. මේ අදහස අක්තාර් ඇතුළු කණ්ඩායමට පහළ වී තිබෙන්නේ චිත්‍රපටය රූගත කරන අතරතුරේ සහ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝස් - දෙවැනි කොටස නැරැඹූ පසුවයි.
රූගත කිරීම්
දොන් පළමු සිනමා පටයේ වීරයාගේ පෙම්වතිය වූ ප්‍රියංකා චොප්රාම දෙවැනි සිනමා පටයට ද රංගනයෙන් දායක වූවාය. අලුතින් එක් වූ චරිත වූයේ ලාරා දත්තා සහ කුනාල් කපූර්ය. 2010 ඔක්තෝබර් 10 වැනි දින මේ තරු කැල පළමු රූගත කිරීම සඳහා බර්ලිනයට ගියහ. ස්ව්ට්සර්ලන්තය වැනි සුරංගනා කතාවක පරිසරයට වඩා ‘දොන්’ ක්‍රියාදාම සිනමා පටයට බර්ලිනය ගැළපෙන බව ඔවුනගේ අදහස විය. බ්‍රැන්ඩන්බර්ග් ගේට්, ඔලිම්පියා ස්ටේඩියම්, ගැන්ඩර්ගේ මාර්කට්, ඊස්ට් සයිඩ් ගැලරි වැනි තැන්වල රූගත කිරීම් සිදු කෙරිණි. සිනමා පටය සඳහා ෂාරුක් මෙතෙක් රංගනයක් සඳහා පැන්න උසම පිම්ම ද පැන්නේ මෙහිදීය. ඔහු අඩි 300 ක් පහළට පනින ජවනිකාවක් රඟපෑවේය. දෙසැම්බරයේදී බර්ලිනයේ සියලු රූගත කිරීම් නිමාවට පත් විය. ෂාරුක් ජර්මනියේ රූගත කිරීමකට සාර්ථකව සහභාගි වූ පළමු ඉන්දියානු නළුවායි. ජර්මනිය අන්තර් ජාතික රූගත කිරීම් සඳහා එතරම් ඉල්ලුමක් ඇති රටක් නොවෙයි. එරට රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීම ද පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් ෂාරුක්ගේ අසීමිත ජනප්‍රියභාවය නිසා ඒ සියලු තහංචි බිඳ දමන්නට හැකි විය.
මීට පෙර ජර්මනියේ රූගත කිරීම් සඳහා අවසර ලැබූ නළුවන් වූයේ ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට්ය. ෂාරුක් ඒ දුලබ වාසනාව ලැබූ තෙවැනියායි. මැලේසියාව, ස්විස්ටර්ලන්තය යන රටවල ද ‘දොන් 2’ රූගත කෙරිණි. ‘දොන් 2’ රජ ගමනක් යන බවට පෙරනිමිති එහි ප්‍රවර්ධන කටයුතුවලින්ම සක්සුදක් සේ පැහැදිලිවේ. සිනමා පටයේ පළමු ප්‍රවර්ධන කටයුත්ත සිදු කිරීමට නියමිතව තිබුණේ ජූලි 13 වැනිදායි. එහෙත් මූම්බායි බෝම්බ ප්‍රහාරය නිසාඑය කල් ගියේය.
සිනමා පටය ඩුබායි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ දී පළමුවරට තිරගත කරන ලදී. බර්ලින් නුවර සංචාරය කිරීමට සහ ෂාරුක් ඛාන් හමුවීමට ‘මීට් ද දොන් : මිෂන් බර්ලින්’ නමින් පැවැත් වූ තරඟය ඉතා ජනප්‍රිය විය.
පළමු ‘දොන්’ සිනමා පටයේ සාර්ථකත්වයට දොන්ගේ කියුම් බලපෑවේය. එය ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂවරයා දෙවන සිනමා පටයේ දොන්ගේ කියුම් 10 ක් ප්‍රචාරය කරන ලදී. අද ඒ කියමන් ඉන්දියාවේ මෙන්ම ලෝකයේ ද ජනප්‍රිය ප්‍රකාශ බවට පත් වී ඇත.
සිනමා පටය නිසා හෙල්ලෙන හිසක් සහිත කුඩා බෝනික්කකු (බොබ්ල්හෙඩ්) බවට ද මේ වන විට ෂාරුක් පත් වී සිටියි. එවැන්නකු බවට පත් වූ පළමු බොලිවුඩ් තරුව ෂාරුක්ය. පසුගිය නත්තල් සති අන්තයේ තිරයට පැමිණි සුපුරුදු වීරයාගේ නොදුටු දස්කම්, ප්‍රේක්ෂකයන්ට නව වසර පුරාම මතකයෙහි රඳවා ගන්නට තරම් සොඳුරු මතකයක් වනවා නම් නිසැකයි.

Wednesday, January 4, 2012

2012 මගේ විවාහ වසරයි

මුතු තරංගා
බොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.
මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?
සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.
විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?
මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.
ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?
මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්
ගෙන්. එල්ෆින්ස්ටන් එකේ දී මට මුණ ගැසුණා නික් ජයමහ කියන මෝස්තර නිරූපණ ගුරුවරයා. ඔහුගේ මඟ පෙන්වීම මත මෝස්තර නිරූපණය පිළිබඳව ඉගෙන ගෙන මෝස්තර නිරූපණයට සම්බන්ධ වුණා. ඉන්පසුව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි සෙනේශ් දිසානායක ගේ ‘පුලින ප්‍රාසාද’ කියන ටෙලිනාට්‍යය. ඒ; 2003 වසරේ. එම වසරේ ම මට ‘සෙව්වන්දි’ කියන චිත්‍රපටයට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටත් චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වෙලා තියනවා.
ඔබ ප්‍රේක්ෂකයින්ට වඩාත් ම ළං වුණේ කුමන ටෙලිනාට්‍යයෙන් ද?
මම හිතන විදියට ‘වසුදා’ ටෙලිනාට්‍යයෙන්. එහි මම නිරූපණය කළේ අහිංසක චරිතයක් නෙමෙයි. තම නැන්දම්මාට විරුද්ධව වැඩකරන සැර පරුෂ කාන්තාවකගේ චරිතයක්. වසුදා නැරඹූ ප්‍රේක්ෂකයින් මගේ චරිතය පිළිබඳව කතා කළේත් තරහින්. ඒ; මම එම චරිතය හොඳින් නිරූපණය කළ නිසා වෙන්න ඕන. වසුදා ටෙලිනාට්‍යයට වගේ ම සුදු හංසි ටෙලිනාට්‍යයේ මම කළ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
දැන් ඔබ අහිංසක චරිතවලටම කොටු වෙලා ද?
මටත් එහෙම හිතෙනව. හැබැයි මම රංගනයට පැමිණි මුල් කාලෙ මට විවිධ චරිත ලැබුණා. නමුත් පසුව මට අධ්‍යක්ෂවරු කතා කළේ අහිංසක චරිත රඟපාන්න. එන්න තියෙන මම රඟපෑ ටෙලිනාට්‍යවල මගේ විවිධ ආකාරයේ රංගන තියෙනව. ඒ ටෙලිනාට්‍ය තවම විකාශය නොවීම ගැන මම දුක් වෙනවා.
ගායනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම සංගීතය හදාරපු කෙනෙක්. යම් කිසි ගායන හැකියාවක් මට තියෙනව කියලත් මම දන්නවා. ඒ හැකියාව රටටම පෙන්වන්න අවස්ථාව ලැබුණේ ‘මෙගාස්ටාර්’ තරගාවලියෙන්. හැබැයි මගේ විදෙස් සංචාර කීපයක් ම ඒ තරගාවලිය නිසා මට අවලංගු කරන්න සිදු වුණා. මගේ ම ගීත කීපයක් නිර්මාණය කරන්න කියල බොහෝ දෙනෙක් කිව්වත් ඒ ගැන මම තවම හිතල නැ.
සංගීත ප්‍රසංග සඳහා ඔබ රටවල් කීයකට විතර මේ වනවිට ගිහිං තියෙනවද?
මේ වනවිට මම රටවල් 15 ක විතර පැවැත්වුණු සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනව. ලංකාව තුළත් මම එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරනව.
විදෙස් ප්‍රසංගවලදී මොනවගේ ප්‍රතිචාර ද ඔබට ලැබී තිබෙන්නේ?
හරිම පුදුමයි ඒ ගැන මතක් වනවිටත්. මට මේ වනතෙක් කිසිම සම්මානයක් හිමිවෙලා නෑ. නමුත් විදෙස් රටවල ප්‍රසංගවලට ගියාම එහි සිටින ලාංකික රසික රසිකාවියන් අපට දක්වන ආදරය ගෞරවය මට ලැබුණු හොඳම සම්මානය විදියට මම සලකනවා. සමහරු විවිධ කෑම වර්ග හදාගෙන ඇවිත් අපට දෙනවා. සිහිවටන ලෙස තෑගි බෝගත් දෙනවා. ඒ ප්‍රතිචාර මතක් වනවිට හරිම සතුටුයි.
ඔබ ‘ගාමණී’ චිත්‍රපටයට දායක වුණා නේද?
මම හිතන්නෙ ‘ගාමණි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම මම ලද වාසනාවක් කියලයි. මම රඟපෑ චරිතය විශාල පරාසයක දිවෙන චරිතයක් නොවුනත් මම හරිම තෘප්තියකින් ඒ චිත්‍රපටයේ රඟපෑවා. එය හොඳ තේමාවක් සහිත නිර්මාණයක්. එහි අධ්‍යක්ෂවරයා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේ ම එහි ප්‍රවීණ නළු නිළියන් රැසක් ම රඟපෑවා. ඒ නිසා ගාමණී චිත්‍රපටයට දායක වීම ගැන මට තියෙන්නෙ විශාල සතුටක්.
කලා ක්ෂේත්‍රය තුළ ඔබටත් කැපිලි කෙටිලි තිබෙනවාද?
අපොයි ඔව්. මුලදි නම් තිබුණේ නැහැ. ඒත් පසුව කැපිලි කෙටිලි හරියට ආවා. මට තේරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියල.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ අම්මයි තාත්තයි මමයි නංගියි තමයි පවුලේ අය. නංගි විවාහ වෙලා.
ඔබේ විවාහය ළඟදී සිදුවෙනවාද...?
ඔව්. බොහෝ දුරට ලබන අවුරුද්දෙ. 2012, මගේ විවාහය සිදුවේවි.
කවුද ඔබේ අත ගන්නෙ?
එයා නිශාන්ත අමුපිටිය. අපි හඳුනාගෙන දැන් අවුරුදු 8 ක් විතර වෙනවා. ඔහු මගේ සැමියා වීම මගේ වාසනාවක් ලෙසයි මම දකින්නෙ. ඔහු හොඳ අවබෝධයක් තියෙන මට උපරිම විදියට ආදරය රැකවරණය ලබාදෙන හොඳ කෙනෙක්. මගෙ යාළුවො නෑදෑයො දන්න කියන ගොඩක් දෙනා මට වඩා ආදරේ නිශාන්තට. ඒක මට හරිම සතුටක්.
විවාහයෙන් පසුවත් ඔබ රඟපානවද?
මම දිගටම රඟපානව. නිශාන්ත දැනුත් මාත් එක්ක ෂූටිංවලට එනව. එයා මගෙ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දක්වනවා.

ජනවාරි 21 වැනිදා සිනමාවේ උපන් දිනයට කුස පබා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුලුඳුල් චිත්‍රපටය ‘අනුපමා’ තිරගත වූයේ 1978 දෙසැම්බර් 22 වැනි දිනය. එය තිරගත වීමට මත්තෙන් තවත් චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහුට අවකාශ ලැබිණ.
එලෙස සිනමා නිර්මාණයෙහි යෙදුණ සුනිල් ආරියරත්නයන් මේ වනවිට චිත්‍රපට දහ අටක් තනා තිබේ. සිංහල සිනමාවට හැටපස් වසරක් සපිරෙන 2012 ජනවාරි 21 වැනිදා සිට ඔහු යළිත් ප්‍රේක්ෂකයා අතරට එක්වන්නේ සිය අභිනව චිත්‍රපටය ‘කුස පබා’ සමගිනි. සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන ‘කුස පබා’ පිටපත් පනහක් මුද්‍රණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වේ.
සුනිල් ආරියරත්නයන් සමඟ මෙම සංවාදය ගොඩ නැෙඟන්නේ එකී සුබ කටයුත්ත ප්‍රස්තුත කොට ගනිමිනි.
ඔබේ නවතම චිත්‍රපටය තිරගත වන්නේ අපේ සිනමාවට හැටපස් වසරක් සපිරෙන සුබ මොහොතේ. මුලින්ම ඒ පිළිබඳ යමක් කියන්න?
මම හිතනවා මම ඉතාම භාග්‍යසම්පන්නයි කියලා. මොකද පළමුවැනි කතානාද චිත්‍රපටය පෙන්වන කොට මම ඉපදිලාවත් නැහැ. ඒ චිත්‍රපටය ගැන තොරතුරු අපි දැනගත්තේ පැරැණි අය කියන දේවල්, තිස්ස නාගොඩවිතානයන් ගාව සංරක්ෂණය වෙලා තියෙන ‘කඩවුණු පොරොන්දුවේ’ කොටස් සහ විවිධ පර්යේෂණ කටයුතු සඳහා හතළිස් හතේ පත්තර පෙරළන කොට තිබුණ දැන්වීම් ආදියෙන්. සිනමාවට අවුරුදු හැටපහ පිරෙන කොට එදා ඉපදී හිටපු නැති මගේ චිත්‍රපටයක් ඒ උපන් දිනය නිමිත්තෙන් රට පුරා ප්‍රදර්ශනය කරන්න ලැබෙන එක ඇත්තෙන්ම මගේ භාග්‍යයක්.
එදා ‘කඩවුණු පොරොන්දුව’ කිංස්ලි සිනමා හලේ එක් පිටපතයි ප්‍රදර්ශනය කළේ. නමුත් ප්‍රථම වරට පිටපත් පනහක් මුද්‍රණය කරලා සිනමාහල් පනහක චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න එදාට අපට අවස්ථාව ලැබෙනවා.
ඔබට තවම වයස අවුරුදු හැට පහක් නෑ. එතකොට?
නැහැ, නැහැ. තවම මට එච්චර වයස නැහැ.
එදා අපේ චිත්‍රපට දෙවැනි, තුන්වැනි වටවල ප්‍රදර්ශනයෙන් ඉහළ ආදායමක් ලැබුවා. නමුත් වර්තමානයේ පළමු වටයෙන්ම පිටපත් වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඔබේ චිත්‍රපටයත් ඊට උදාහරණයක්?
ඇත්තෙන්ම ඉස්සර සිනමා මණ්ඩල පහක් තිබුණා. ඒවායෙහි තරගකාරී ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. අද සිනමා ශාලා විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙලා තියෙනවා. ජාතිවාදී කෝලාහල නිසා සමහරක් සිනමාහල් පුළුස්සා දැම්මා. සමහරක් ඒවා බංකොලොත් වීම නිසා වසා දැම්මා.
ඇත්තටම අපේ සිනමාවට ඉතාම නරක කාලයක් උදා වෙලා තිබුණා. ඒ කියන්නේ 71 කැරැල්ල. ඊට පස්සේ තිස් අවුරුදු යුද්ධය. මේ දේවල් නිසා අඳුරු සිනමා ශාලාවකට නරඹන්නෙක් ඇතුළු නොවන තත්ත්වයට පත්වෙලා තිබුණා. රටේ තිබුණ අවදානම් තත්ත්වය නිසා චිත්‍රපටයක් නරඹලා රාත්‍රියේ බස්වල යන්න මිනිස්සු කැමැති වුණේ නැහැ. රාත්‍රී 9.30 දර්ශන අවලංගු කළා. ඇරලා තිබුණ රෑ කඩ වසා දැම්මා. කොටින්ම මිනිස්සුන්ට නගරයේ රාත්‍රී කාලය අහිමි වුණා. මේ තත්ත්වය ආරම්භ වුණේ 71 කැරැල්ලත් එක්ක.
ඉන් පසු 89 කැරැල්ල. උතුරේ යුද්ධය මේ හේතූ®න් නිසා තවදුරටත් එකී මණ්ඩල පහ පැවැතුණේ නැහැ. ඒක නිසා පළමු වටෙන් පස්සේ, දෙවැනි වටයකට යන්න සිනමා ශාලා අඩු වෙලා තියෙනවා. සිනමා මණ්ඩල ප්‍රමාණයත් බැහැලා. අද දකින්න ලැබෙන්නේ මේ සිනමා මණ්ඩල අන්‍යෝන්‍ය සුහදතාවයෙන් යුක්තව එක් සිනමා මණ්ඩලයකින් තවත් සිනමා මණ්ඩලයක සිනමා ශාලා ණයට අරගෙන චිත්‍රපට පෙන්වීමේ සිරිතක්. ඒ අනුව තමයි ඊ. ඒ. පී. මණ්ඩලය සී. ඊ. එල්. සහ රිද්ම සිනමා මණ්ඩලත් සමඟ ඒකාබද්ධ වී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ.
බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරු නඟන මැසිවිල්ලක් තමයි තමන්ගේ චිත්‍රපටය නිසි කලට ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වීම. නමුත් රූගත කර ඉතාමත් කෙටි කලකින් ප්‍රදර්ශනය සඳහා ‘කුස පබා’ මුදා හැරෙනවා. ඒ අතිනුත් ඔබ වාසනාවන්තයි?
ඒ සම්බන්ධයෙන් ඊ. ඒ. පී. සිනමා මණ්ඩලයේ අධිපති අසංක එදිරිසිංහ මහතාට මා ස්තුතිවන්ත වෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තිබුණා සිනමාවට හැට පස් වසරක් පිරෙන අවස්ථාවේදී විශේෂ වූ සිනමා නිර්මාණයක් එළි දක්වන්න. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ මේ චිත්‍රපටය.
ඊට හේතුව මේ චිත්‍රපටය ඓතිහාසික කතාවක් හා දැවැන්ත චිත්‍රපටයක් පමණක්ම වීමම නොවේ. මෙය මේ රටේ සිනමා කරුවන්ගේ චිත්‍රපටයක් වීමයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය. මෙතෙක් අපේ සිනමා ඉතිහාසයේ මේ තරම් පිරිසක් එකතු වෙලා මේ තරම් ප්‍රබල සංවිධානයක් ගොඩ නගාගෙන තිබුණේ නැහැ චිත්‍රපට නිෂ්පාදනය පැත්තෙන්.
මේ පිරිස කොපමණ සංඛ්‍යාවක්ද?
අඩුම වශයෙන් සියයකට ආසන්න පිරිසක්. මේ රටේ ප්‍රවීණ, ජනප්‍රිය නිෂ්පාදක, අධ්‍යක්ෂවරු විශාල පිරිසක් මේ සංසදයේ සාමාජිකත්වය දරනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ගත්තොත් දොළොස් දෙනෙක්.
ඒ පිරිස හඳුන්වා දෙනවා නම්?
මෙහි විධායක නිෂ්පාදනයෙන් සෝමරත්න දිසානායක සහ රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායක වෙනවා. ඊට අමතරව ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී. ප්‍රනාන්දු, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රජිත ජිනසේන, ජස්ටින් බෙලගමගේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලෙස කටයුතු කරනවා.
මේක විවිධ තරාතිරමේ සිනමාකරුවන් නියෝජනය කරන චිත්‍රපටයක්. ඒ නිසා මම හිතනවා මෙතනදි අසංක එදිරිසිංහ මහතා ගෙන තිබෙන්නේ නිවැරැදි තීරණයක්කියා දින හතළිහකින් රූගත කිරීම් නිම කරලා, මාස කිහිපයකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇත්තෙන්ම මේ නිෂ්පාදක කණ්ඩායමේ එකමුතුව, සහයෝගය මතයි. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය නොකෙරෙන බවට අනාවැකි පළ කර තිබුණා.
දැන් චිත්‍රපටයේ ලාභය බෙදා ගැනීමේදී අවුලක් වෙන එකක් නැහැ?
නැහැ. මේක අපි ඇත්තටම ගිවිසුම් අස්සන් කරලා නීතිඥයෙක් ඉදිරිපිට, බොහොම විනිවිදභාවයෙන් යුක්තව තමයි සිදු කළේ. අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන් කපා හැරලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. නළු, නිළියන්, කාර්මික ශිල්පීන් මේ සියලුම දෙනා ඉතා හිතවත්ව මේ කටයුත්තට සහයෝගය ලබා දුන්නා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔබ තෝරා ගෙන තිබෙන්නේ ජැක්සන් ඇන්තනි සහ පූජා උමාශංකර්. ඒ ගැලපීම නිවැරැදියි කියා ඔබ සිතනවාද?
ඔව්. ලංකාවේ මම හිතන්නේ ‘කුස’ ගේ චරිතය නිරූපණය කරන්නට ජැක්සන් ඇන්තනි හැර වෙනත් නළුවකු ගැන මට කිසිසේත්ම කල්පනා වුණේ නෑ. මොකද මෙතෙක් ඔහු සිනමාවේ ඉදිරිපත් කළ රංගනයන්ගෙන් ඔප්පු කර තිබුණා ඔහු අති දක්ෂ නළුවකු බව. බොහෝ නළු නිළියන්ට වේදිකාවත්, සිනමාවත් සමතුලිතව පවත්වා ගැනීම අසීරුයි.
ඒ කිව්වේ වේදිකා නළු නිළියන් සිනමාවේදී අසාර්ථක වෙනවා. සිනමා නළු නිළියන් වේදිකාවේදී අසාර්ථක වෙනවා. නමුත් ජැක්සන් මේ දෙපැත්තම සමබරව පවත්වාගෙන ගිය අති දක්ෂ නළුවෙක්. ඔහු ඒ විශ්වාසය මේ චරිතය මගිනුත් තහවුරු කළා. ඒ වගේම මේ තිර නාටකය ලියන අවධියේ තිස්ස අබේසේකරයන් යෝජනා කළේ පබාගේ චරිතයට ගැළපෙනම නිළිය පූජා කියලා.
පූජාගේ රංගනය ගැන කතා කළොත්?
ඇය විදේශික නිළියක් හැටියට හඳුන්වා දෙන්නට මම කැමැති නැහැ. ඇය සිංහල, බෞද්ධ මවකගේ දැරියක් හැටියට මම දකින්නේ. ඒ වගේම ඇය අපේ සිනමාවට ලැබුණ දායාදයක්.
පූජාත්, ජැක්සන් වගේම මගේ විශ්වාසය තහවුරු කළා. ඇය මේ චිත්‍රපටයේ සියලුම සිංහල දෙබස් ඛණ්නඩ අකුරෙන් ලියාගෙන, ඊට පස්සේ වචනයක්, වචනයක් පාසා එහි තේරුම ඉංග්‍රීසි බසින් ලියාගෙන තමයි දෙබස් කැවීම් සිදු කළේ. ඇය මෙහි දීර්ඝ දෙබස් කියාගෙන යනවා. නමුත් කිසිම අවස්ථාවක එහි පෙළ මතක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඇය මුලු පිටපතම කට පාඩම් කරගෙනයි දර්ශන තලයට ආවේ.
ඇගේ ගති, පැවැතුම් ගැන ඔබට හැඟුණේ මොනවාද?
පූජා මේ චරිතයට සුවිශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවලදී ඇයට රූගත කිරීම් නැති අවස්ථාවලදී පවා දර්ශන තලයට ඇවිත් අනෙක් නිළියන්ගේ දහදිය පිස දමමින්, ඔවුන්ට තේ අල්ලමින්, සත්කාර කරමින්, ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් සකස් කරමින් සුවිශේෂ සහයක් ලබා දුන්නා. දර්ශන තලයේදී නිළියක් වුණා වගේම ඉන් පිටතදී ඇය නිෂ්පාදක කණ්ඩායමේ සහායිකාවක් හැටියට කටයුතු කළේ.
මම හිතන්නේ පූජාගේ ක්‍රියා පිළිවෙත අපේ ඇතැම් නිළියන්ට හොඳ ආදර්ශයක්?
මට චිත්‍රපට දහ අටක් අධ්‍යක්ෂණය කරලා අත්දැකීම් තියෙනවා. බොහෝ සිනමා නිළියන් දර්ශන තලයේ තමාගේ භූ®මිකාව නිරූපණය කළාට පස්සේ ආගන්තුකයන් බවට පත් වෙනවා තමන්ගේ කණ්ඩායමේ. මටත් එබඳු අය මුණ ගැසිලා තියෙනවා. මමත් හිතනවා පූජා ආදර්ශයක් කියලා එවැනි නිළියන්ට. මොකද සිනමාව කියන්නේ සාමුහික කලාවක්. එතනදි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමෙන් සිනමාකරුවාට හොඳ නිර්මාණයක් ලබා ගන්නට පුළුවන්.
‘කුස පබා’ ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ අවසන් තිර නාටකය. මෙය ඔහුගේ සමස්ත තිර නාටක අතරෙන් සුවිශේෂී වූවක් බව ඔබ වරෙක මා සමඟම ප්‍රකාශ කළා?
තිස්ස අබේසේකරයන් මේ තිර පිටපත රචනා කරද්දී විශාල අභියෝගයකට මුහුණ දුන්නා. මෙවැනි ජාතක කතාවක් මින් පෙර සිනමාවට නැඟී තිබුණේ නැහැ. මේක ‘කුස’ ජාතකය වුණාට ‘මහා පදරංග’ ජාතකය වගේ. අතිශය දීර්ඝ, සිදුවීම් ගහන කතන්දරයක්.
ජාතක කතාවේ එන සකලවිධ සිදුවීම් ඇතුළත් කරන්න සිදු වුණා නම් මේක පැය හයක පමණ දිග චිත්‍රපටයක් වෙනවා. තිස්සට තිබුණ ලොකුම අභියෝගය තමයි මෙය පැය දෙකක කාලයකට සංක්ෂිප්ත කිරීම.
ඔහු එම අභියෝගය ජය ගත්තා. ඔහු එය ජය ගන්නේ කතාව මැදින් පටන් අරන් අතීතයට පමණක් නෙවෙයි අනාගතයටත් ගමන් කරමින්. අතීතය, වර්තමානය සහ අනාගතය කියන කාල තුන හරහා ගමන් කරමින් තමයි මේ කතන්දරය ඔහු අනාවරණය කරන්නේ. ජාතක කතාවේ දුෂ්ට චරිතයක් බවට පත්කොට තිබෙන පබාවතිය එයින් ගලවා ගෙන ඇය කෙරෙහි නරඹන්නාගේ අනුකම්පාව යොමු කර ගැනීම තවත් අභියෝගයක්. ඔහු එයත් ජයගෙන තිබුණා.
මම හිතන්නේ තිස්ස අබේසේකරයන් තිර නාටකය ලියූ දැවැන්තම සිනමා නිර්මාණයත් මෙයයි?
මේ චිත්‍රපටය සඳහා ලක්ෂ අටසීයකට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. ඇත්තෙන්ම තිස්සත් සිනමාකරුවකු නිසා ඔහු දැනගෙන හිටියා මෙවැනි නිර්මාණයක් සඳහා අපට දරන්නට පුළුවන් පිරිවැය. ඊට සරිලන විදිහට තමයි ඔහු මේ තිර පිටපත ලිව්වේ. මේකෙ අලි, ඇත්තු ඉන්නවා. අශ්වයෝ ඉන්නවා. යුද්දෙ තියෙනවා.
මේ සේරමත් එක්ක අපට චිත්‍රපටය හොඳ නිමාවක් සහිතව ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්නට හැකි වන පරිදි තිර නාටකය සකස් කිරීමත් ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයක්. මම හිතන්නේ ජනප්‍රිය සම්ප්‍රදාය රැකගෙන ප්‍රශස්ත චිත්‍රපටයක් කරන්නයි ඔහුට අවශ්‍ය වුණේ. වී. ශාන්තරාම්ගේ සිනමා සම්ප්‍රදාය තමයි ‘කුස පබා’ තිර නාටකය ලියන අවධියේ ඔහුගේ මනසේ තිබුණේ.
මේ චිත්‍රපටයේ සංගීතය පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතු යැයි කියා මට හිතෙනවා?
රෝහණ වීරසිංහයන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු මීට ප්‍රථම මගේ ‘සුදු සෙවනැලි’ චිත්‍රපටයෙත් සංගීත නිර්මාණය කළා. මේ චිත්‍රපටයේ ගීත හයක් ඇතුළත්. එහි තනු නිර්මාණත් රෝහණගේ. නමුත් එහි සංගීත සංයෝජනය සහ සංගීත ශික්ෂණය කියන කාරණා දෙකට රෝහණ වීරසිංහයන්ම යෝජනා කළා අපි සුරේෂ් මාලියද්දේට මේ කටයුත්ත පවරමු කියලා.
රෝහණ හැම විටම දකිනවා සුරේෂ් ගේ තිබෙන දක්ෂතා. ඔහු ඒ දක්ෂතා හඳුනාගෙන සුරේෂ් සමඟ එකතු වෙලා මේ කටයුත්ත සිදු කළා. සුරේෂ්ගේ ශබ්දාගාරයේම තමයි අපි මේ පටිගත කිරීම් කළේ. මේ සඳහා අපි දැවැන්ත වාද්‍ය වෘන්දයක් යොදා ගත්තා. මම හිතන්නේ රෝහණගේත්, සුරේෂ්ගේත් සුසංයෝගයේ මේ සුබ ඵල ‘කුස පබා’ චිත්‍රපටය තිරගත වූ පසු දකින්නට ලැබේවි. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, හර්ෂණ දිසානායක, හේෂාන් ගමගේ සහ වැඩිහිටි පරම්පරාවේ එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර ගායනයෙන් මෙයට දායක වෙනවා.


මාළුන්ට සබන් දාලා හෝදලා පවුඩර් දැම්මා

මේනක රාජපක්ෂ ගැන අම්මා සරීනා ගේ මතකය

චූටි පුතා ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම සපත්තු දෙක නම් ගලවන්න ඕන තාත්තාමයි. ඊට පස්සෙ ඉතින් මම හරි, තාත්තා හරි පුංචි පුතාව උස්ස ගෙන යන්නෙ නාන කාමරයට. පුතා චූටි කාලේ ඉඳන්ම හරිම ආසයි මාළුන්ට.
ඒ නිසා තාත්තා එයාට මාළු ටැංකියකුත් ගෙනත් දීලා තිබුණේ. දවසක් චූටි පුතා නාන අතරෙදි මගෙන් ඇහුවා ’අම්මෙ මං වගේ මාළු නාන්නෙ නැද්ද?’ කියලා. මාත් ඉතින් එච්චරම එයාගේ ප්‍රශ්නෙ හිතට ගත්තෙත් නෑ. හැබැයි පහුවෙනිදා උදේ තමයි මට තේරුණේ චූටි පුතාම එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන බව.
පුතා එදා හවස මාළුන්ව සබන් දාලා හෝදලා. ඊට පස්සෙ එයාට මම පවුඩර් දාන නිසා මාළු ටැංකියේ වතුර එකට පවුඩර් හලලා. පහුවෙනිදා උදේ වෙන කොට අනේ ! මාළු ඔක්කොම මැරිලා.
මේ පුංචි දඟයාගේ දඟ කතාව කියාගෙන යන මොහොතේ ඇයගේ මුවින් ඉකි බිඳුමක් ද, සසුමක් සමඟ වා තලයට මුසු වුණා. ඒ එදා දඟකාරකම් කළ චූටි පුතාගේ දීප්තිමත් වර්තමානය දකින්න ආදරණීය පියාණන් ඔහු ළඟ නොමැති නිසා. මෙවර අපි ඔබට කියන්නේ ඔබේ ආදරණීය යොවුන් රංගන ශිල්පී මේනක හේමාල් රාජපක්ෂගේ පුංචි දවස්වල සොඳුරු මතකයන්. මේනකගේ පුංචි දවස්වලට ඔබව කැටුව යන්නේ ඔහුගේ සෙනෙහෙබර මෑණියන්. ඇය සරීනා රාජපක්ෂ.
පුතා චූටි කාලේ නොදන්නකමට කළ සමහර දේවල් නම් හිතන්නත් බයයි මට. ඉස්සර මම අල්මාරියේ තියෙන ඇඳුම් කාවෝ කන නිසා අල්මාරියට කපුරු බෝල දැම්මා. කපුරු බෝල සුදු පාටට ලස්සනට, සුවඳට තියෙනවානේ. ඉතින් අපේ චූටි පුතාට කපුරු බෝලවල රස බලන්න හිතිලා අල්මාරියේ තිබුණු කපුරු බෝල කාලා.
කොහොම හරි මම දැක්කා පුතාගේ කටේ මොනවදෝ තියෙනවා. මම පුතාගෙන් ඇහුවාම කිව්වෙ ‘අල්මාරියේ අම්මා දාලා තිබුණ බෝල’ කියලා. එතකොටම මට දෙලොව සිහි වුණා. මම පුතා ළඟට අරගෙන වමනෙ කෙරෙව්වා.
එයාට පොල් කිරිත් පෙව්වා. ඒ හැම දේම මම කළා නෙවෙයි. ඇත්තටම කෙරුණා. මගේ කලබලෙයි, මල්ලි වමනෙ දානවයි දැකලා දු හොඳටම අඬන්න ගත්තා. මම කොහොම හරි පුතාව බලන ගමන්ම දුවගේ බය නැති කරන්න ඕන හින්දා දුවට කිව්වා ‘පුතේ බය වෙන්න එපා. මල්ලිට මුකුත් වෙන්නේ නෑ. මගේ පුතා අඬන්නෙ ඇයි?’ කියලා. දුවත් එතකොට පොඩියි. හැබැයි දුව දුන්නේ මට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ උත්තරයක්.
ඒක ඇත්තටම උත්තරයක් නෙවෙයි, ප්‍රශ්නයක්. එයා මොකක්ද දන්නවාද මගෙන් ඇහුවෙ? ‘අම්මෙ මිනී පෙට්ටි ගොඩක් ගණන් ද?’ කියලා. හැබැයි එදා නම් දුවට මගෙන් හොඳ පාරවල් දෙක තුනක් වැදුණා. ඔය සිද්ධිය වෙන කොට පුතාට අවුරුදු තුනක් විතර ඇති.
ජීවිතය කියන්නේ නම් ඇත්තටම හරිම පුදුම දෙයක්. සමහර හොඳ දේවල් අපිට මුලින්ම එන්නේ කරදරයක් විදිිහට. මම එහෙම කියන්නේ චූටි පුතා පුංචි කාලේ ලබපු අත්දැකීම් ගැන හිතලා. ඉස්සර අපි, පුතයි දුවයි පුංචි කාලේ නිවාඩු දවස්වලට කොහේ හරි ඇවිදින්න යනවා.
පුතා හරිම ආසයි මුහුදට. ඒ නිසාම අපි දවසක් හැන්දෑවේ බීච් ගියා. පොඩිකමට පුතා මගෙත් අත අතැරලා දුවගෙන ගිහින් රැල්ල පෑගුවා. ටික ටිකම පුතා මුහුද පැත්තට ගියා. ටික වෙලාවකින් මට තේරුණා පුතාව මුහුදට ගහගෙන යනවා කියලා. මම හයියෙන් කෑගැහුවා.
කොහොම හරි පූරුවේ වාසනාවකට පුතා එදා බේරුණා. ඒ සිදුවීම නිසා අපි තීරණය කළා පුතාට පිහිනුම් උගන්වන්න. මේනක 1997 පිහිනුම්වලින් ජාතික මට්ටමෙන් වාර්තාවක් තිබ්බා. එතකොට එයාට අවුරුදු 13 යි.
නමුත් දෛවය අනුව තමයි හැමදේම, හැමදාම වෙන්නේ. පීනන්න බැරි පුතා පිහිනුම් ශූ®රයෙක් වුණා. පිහිනුම්වලින්ම ඉදිරියට යයි කියලා හිතුවට අවසානයේදී හිතුවෙවත් නැති විදිහකට එයා කලාවට යොමු වුණා. මගේ චූටි පුතාගේ අනාගතයත් වර්තමානය වගේම දීප්තිමත් වන බවට නම් සැකයක් නෑ.

 

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.
2012 ජනවාරි 04 බදාදා- පෙරවරු 08:39
තිරගත වූ චිත‍්‍රපට දෙකම අති සාර්ථක වෙච්ච සතුටත් එක්කයි ෂාරුක් ඛාන් අලූත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම ඔහු අවුරුදු නිවාඩුව ගත කළේ පවුලේ අයත් එක්ක ඩුබායිවලදි. කොච්චර හොඳට නිවාඩුව ගත කලාද කිව්වොත් ෂාරුක් අසනීප වෙලා. ඔහු පාපන්දු කී‍්‍රඩාවට ගොඩක් කැමතිනේ. දුවයි, පුතයි එක්ක සෙල්ලම් කර කර ඉන්න කොට ෂාරුක්ගෙ ඉග ඇට ප‍්‍රදේශයේ ඇදීමක් ඇති වෙලා. ඒ නිසා දැන් ඔහුට හයියෙන් හිනාවෙන්න බැහැලූ. මොකද හිනාවෙන කොටයි හුස්මගන්න කොටයි රිදෙනවා කියලයි ෂාරුක් කියන්නේ.

Tuesday, December 20, 2011

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තා

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තාස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න ඕනේ...
 - බියංකා

වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩවැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආµaටර් නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා. විටෙක නිවේදිකාවක්‌ ලෙසත් තවත් විටෙක නිර්මාණ රැසකින් රංගන ශිල්පිනියක ලෙසත් ඔබ හමුවට එන බියංකාගේ සැබෑ තොරතුරු මොනවාද කියා මේ වෙලාවේ ඔබ විමසනවා ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.

බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?

මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල.

එතකොට කොහොමද නිළියක්‌ වුණේ ?

මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2002 වසරේ නිරූපණ ශිල්පිනියක්‌ විදිහට. ඊට පසුව 2007 වසරේ සහාය අධ්‍යක්‍ෂ ප්‍රසන්න වනසිංහගේ බිරිඳගෙන් ආරාධනාවක්‌ ලැබුණා ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එතකොට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ රඟපාන්න. ඇයගේ බලකිරීම නිසා මට හිතුණා එක ටෙලිනාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා. අයි ලව් යූ ජෙනී කියන ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.

ඔබට ලැබුණ මුල් අවස්‌ථාවෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා.

දැන් ස්‌ථාවරයි කියල ද හිතන්නේ ?

අපොයි එහෙම ස්‌ථාවරයි කියලා හිතන්නේ නැහැ. ස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න තිබෙනවා.

ඒ මොනවාද?

මම හිතන්නේ තවම මම නවකයි කියලා. චරිතයකට සුදුසුයි කියා මාව තෝරාගන්න අධ්‍යක්‍ෂවරයාට හා ඒ චරිතයට සාධාරණයක්‌ වෙන්න චරිත නිරූපණය කළ යුතුයි. ඒ තුළින් ජනතාවගේ ප්‍රසාදය දිනාගත හැකියි.

අද කාලේ නිළියන් ක්‍ෂේත්‍රයට එන්නේ වැරදි පාරෙන් කියලා ගොඩක්‌ දෙනා කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?

ක්‍ෂේත්‍රයට ලෙහෙසියෙන් ගොඩවෙන්න බොහෝ දෙනා විවිධ දේවල් අනුගමනයකරනවා. එහෙම ඇවිත් මේකෙ වැඩිකල් රැඳෙන්න අමාරුයි. දක්‍ෂතාව හා හැකියාව මත ක්‍ෂේත්‍රයට ආපු අයට තමයි කාලයක්‌ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඉතිං මමත් බොහොම හෙමින් ගමනක්‌ යන්නේ. තවම මුල් අවධියේ නිසා තව ගොඩක්‌ දුර යන්න තිබෙනවා.

නිළියක්‌ වෙන්න ඔබ ගත්තු තීරණය හරි කියලා හිතනවාද?

ඇත්තටම මම ගත්තු තීරණය හරි කියලයි හිතන්නේ. ඒකට හේතුව මම නිර්මාණයකට රංගනයෙන් ලබාදෙන දායකත්වය අනුව අධ්‍යක්‍ෂවරයා ඊට දක්‌වන ප්‍රසාදය. ඒත් එක්‌කම මම පෞද්ගලිකවම වාසනාවන්තයි නිළියක්‌ වෙන්න ලැබීම.

පුංචි කාලේ හීන දැක්‌කේ අනාගතයේ කවුරු වෙන්නද?

වෛද්‍යවරියක්‌ වෙන්න තමයි පුංචි කාලේ හීන මැව්වේ.

එතකොට නිළියක්‌ වුණේ ?

නිළියක්‌ වුණේ අහම්බයෙන්. හැබැයි අහම්බයෙන් නිළියක්‌ වුණත් ඒක මට හිමිවුණේ වාසනාවටයි.

මෙතැනට එන්න හැදෑරීමක්‌ කරලා තිබෙනවාද?

විශේෂ හැදෑරීමක්‌ කරලා නැහැ. හැදෑරීම කරන්නේ මම දැන් රංගනයේ යෙදෙන නිර්මාණය තුළිනුයි. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් සමග වැඩකරද්දී ඔවුන්ගෙන් යම් ගුරුහරුකම් ලබාගන්නවා.

හැදෑරීමක්‌ නැතිව කොහොම ද රඟපාන්නේ ?

හැදැරීමක්‌ අවශ්‍ය නැහැ. නමුත් හැදෑරීමක්‌ කර තිබෙනවා නම් වඩාත් පහසුයි. උපතින්ම පොඩි හැකියාවකුත් ඇති.

බියංකාගේ පවුලේ කට්‌ටිය කිව්වොත් ?

අක්‌කලා දෙන්නයි. තාත්තයි. මගේ අම්මා නැහැ.

මේ ක්‍ෂේත්‍රයේදී ඕනෑම චරිතයක්‌ රඟපාන්න සූදානම්ද ?

ලැබෙන ඕනෑම චරිතයක්‌ කියන්න බැහැ. මට සුදුසුයි කියා හිතෙන චරිත ලැබුණොත් විතරයි රඟපාන්නේ.

නිළියකගේ හැදියාවට ඇඳුම බලපාන්නේ නැතිද?

තැනට සුදුසු විදිහට ඇඳුම ගලපගන්නවා නම් ඒකෙ වැරැද්දක්‌ මම දකින්නේ නැහැ. අනික නිළියක්‌ වුණහම තැනට සුදුසු විදිහට ටිකක්‌ කැපිලා පෙනෙන්න ඇඳීම වැරැද්දක්‌ නැහැ කියලයි මට හිතෙන්නේ.

ඔබ අඳින්නේ පළඳින්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?

එහෙම හිතලා විලාසිතා කරන්නේ නැහැ. හැබැයි ලස්‌සනට අඳින්න මමත් ආසයි.

ඔබ කැමැති නැතිද තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න ?

කැමැතියි. ඒකට කවුරුත් කැමැතිනේ.

දැන් ඉතිං ඔබට වැඩිපුර ආකර්ෂණය වුණ තරුණයන් එහෙමත් ඇති නේද?

ඔව් ඉන්නවා. දුරකථන ඇමතුම් වගේම අන්තර්ජාලය හරහා මගේ විස්‌තර අහලා කතාබහ කරනවා. ඒ හින්දා ආකර්ෂණයක්‌ තිබෙනවා කියලා හිතනවා.
දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ
පසුතලය - සන් රිසෝට්‌
පිළියන්දල.

Copy Rights - Divayina

රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි.

ශ්‍රීමාලි කරුණානායක වන ඇය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය අරුන්දතී ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසියාය. වැස්ස නුඹ වගේ, පූජනීයයි, උත්පලා සහ විකාශයවීමට නියමිත ලොබ නොසිදේයා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.
තිලක් ගුණවර්ධන මහතා යටතේ ඈ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඇය එමඟින් අධිෂ්ඨානය පමණක් නොව හැදෑරීමකුත් තිබිය යුතු වග පසක් කළාය.
කුරුණෑගල මලියදේව බාලිකාවේ ඉගෙන ගන්න කාලේ ඇගේ ගුරුවරියන් සිතුවේ ඇය ලේඛිකාවක් වනු ඇත යනුවෙනි.
දැනටමත් මම තිර පිටපතක් ලියලයි තියෙන්නේ. එය රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි. ඇය පවසයි.
ඇගේ ඉදිරි බලාපොරොත්තු රංගනයෙන්ම ඉදිරියට යෑම සහ පිටපත් රචනයෙහි යෙදීමයි.
සිරිතුංග පෙරේරා, කපිල කුමාර සමරකෝන්, මංගල කොඩිතුවක්කු, නිරෝෂා තලගල, විශ්වනාත් විජේසුරිය, සුනෙත් මාලිංග, මේ අයට විශේෂයෙන්ම තුති පුදනවා. ඇය පවසන්නීය.

කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි




පුංචි පා තබමින් සිනා කැට අහුරු විසුරුවමින් ගේ පුරා දුව පනින දූ සිඟිත්තිය ‘අ’ යනු ‘ආ’ යනු කියන දිනය උදා වනතුරු මාපියන් පුළ පුළා බලා සිටියේ සතුටත් තුරුළු කරගත් නොඉවසීමකින්.
දු පැටික්කියගේ කේන්ද්‍රයත් බලා අකුරු කියවීමේ මංගල්ලයට සුබ දිනයක් යොදා ගත් අම්මා අකුරු කියවන්න ගෙනා පොත් අල්මාරියේ හැංගුවේ දෝණි නැකතට පෙර අකුරු කියයි කියන සැක සිතින්.
කොහොම නමුත් දවසක් අහම්බෙන් දූගේ අතට වෙසක් කාඩ් එකක් ලැබුණා. එහා පැත්ත මෙහා පැත්ත හරවමින් ඇස් කරකව කරකවා වෙසක් කාඩ්පතෙහි අසිරිය බැලූ දෝණිගේ නෙත ගැටුණේ පප්පා. දෝණි පප්පා කියන්නේ නම් සීයාට.
රටක් රාජ්‍යයක් තමන් සතු වුණා වගේ සතුටකින් දෝතින්ම වෙසක් කාඩ් එක රැගෙන පප්පාගේ අතට දුන්නේ ටිකිරි සිනාවකින් ද පුංචි මූණ හැඩ කරගෙනමයි. දෝණි කරන්න යන දේ ගැන හරි හැටි අවබෝධයක් පප්පාටත් තිබුණෙ නෑ. වෙසක් කාඩ්පත පප්පාගේ අතට දුන් දෝණි කිව්වේ ‘පප්පෙ, ‘අ’ යන්න කියන්න ‘අ’යන්න කියන්න’ කියලා. දෝණිගේ කරදරය නිසාම පප්පා දෝණිට අකුරු කියෙව්වා.
හැබැයි වෙච්ච දේ නම් දැනන් සිටියේ පප්පයි, මිනිබිරියයි විතරමයි. අකුරු කියවීමේ උත්සවයට දවස් කිහිපයකට කලින් දෝණිගේ අම්මයි තාත්තායි උත්සවය ගැන බරටම සාකච්ඡාව.
අසල සිටි පප්පාගෙනුත් යමක් දැනගන්නට සූදානම් වුණේ දෝණිගේ තාත්තා ඒ කියන්නේ සුනිල් වික්‍රමසිංහ මහතා.
මම තාත්තා පැත්තට හැරෙන කොටම කිව්ව දේ ගැන මට විශ්වාස කර ගන්නත් බැරි වුණා. ‘දැන් ඔයගොල්ලෝ උත්සවවලට ලෑස්ති වෙලා වැඩක් නෑ.
මගේ මිනිබිරිය අකුරු කියෙව්වා. ඒ කියෙව්වෙත් නිකන්ම නිකන් වෙලාවකත් නෙවෙයි. සරස්වතී යෝගය තිබුණු වෙලාවක. අපිට ඒ වෙලාවෙ ඇතිවුණ හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ.
එක පැත්තකින් අපේ සූදානම, බලාපොරොත්තුව, ගඟට කැපූ ඉනි වගේ වුණා. අනිත් පැත්තෙන් සුබම මොහොතක තමයි දන්නෙ නැතිවම හරි අකුරු කියෙව්වේ. ඔන්න ඔහොම තමයි උමයංගනා අකුරු කියෙව්වේ.
ඊට පස්සේ ඉතින් අල්මාරියේ හංගපු පොත් ටිකත් එයාගේ අතට දීලා අපි ඒ වෙලාවේ ගෙනහල්ලා තිබුණු රසකැවිලිවල රසත් බැලුවා.
මේ සතියේදී පුංචි දවස්වල විශේෂාංගයෙන් සරස්වතී යෝගයෙන් අකුරු කිය වූ ඔබේ ආදරණීය යොවුන් රංගන ශිල්පිනී උමයංගනා වික්‍රමසිංහගේ ළමා වියේ මතකයන් ආවර්ජනය කරන්නේ ඇයගේ ආදරණීය පියාණන්.
පුංචි කාලේදී එයා හරි අපූරු අපූරු කවි ගෙතුවා.එයා දවසෙන් වැඩිපුර කාලයක් ගත කරන්නේ එයාගේ පප්පත් එක්ක. දවසක් පප්පා එක්ක පාරේ යනකොට පප්පාට අමුතු කවියක් කියලා තියෙනවා.
අයියා එනා එනා
පප්පා එනා එනා
අම්මා එනා එනා
. . . . . . . .
හරිම වැඩේ, කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි. දැන් ඉතින් දස අතේ කල්පනා කරනවා ඊළඟ පදේට මොකක්ද කියන්නේ කියලා. ඔය අතරෙදි දැකලා තියෙනවා ලස්සන බලු පැටියෙක් එයා ඉන්න පැත්තට එනවා. දැන් ඉතින් වැඩේ හරි. හතර වෙනි පදේ විදිහට කිව්වේ මොකක්ද දන්නවාද?
බව්වා එනා එනා.
ඕන්න ඔහොමයි අපේ පුංචි කවිකාරි අවුරුදු තුනාමාරේදී කවි කිව්වේ.
පුංචිම කාලේ දූ හරි අපූරු වැඩක් කළා. දූ චුටි කාලේ එයාගේ හොඳම යාළුවා කවුද දන්නවාද ඒ තමයි එයාගේ මාපට ඇඟිල්ල.
ඉස්සර අපි එයාව තොටිල්ලෙන් තියලා එයාට මාපට ඇඟිල්ලෙ පුංචි නූල් කෑල්ලක් ගැට ගහනවා. ඔන්න ඉතින් ඒ වෙලාවේ ඉඳන් දූ එයාගේ පුංචි ඇඟිල්ලත් එක්ක බර කතාව. ඒ වෙලාවට එයාට කවුරුවත් ඕනේ නෑ. මුලු දවසක්ම වුණත් ඉඳීවි අපි කවුරුවත්ම නැතුව.
අක්කාගෙයි මල්ලිගෙයි ජීවිත ගලවා ගැනිමේ මහා මෙහෙයුම ගැන කිව්වෙ නැත්නම්, ඒක ලොකු අඩුවක්. ඉස්සරම උදේ නවය දහය වෙන කොට අක්කයි මල්ලියි දෙන්නා සද්ද නැතුව මිදුලට යනවා. හරියට මීයට පිම්බා වගේ තමයි දෙන්නා ඒ වෙලාවට.
හෙමින් හෙමින් වත්තේ ගස් පීර පීර දෙන්නත් එක්ක මකුළු දැල්වල පැටළුණු පුංචි සත්තු හොයනවා. සමහර වෙලාවට මකුළුවා පුංචි සතෙක්ව දැලේ පටලවනකන් හොරෙන් බලන් ඉන්නවා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ තියෙන්නේ.
ඊළගට දෙන්නත් එක්ක මකුළු දැල්වල පැටළුණු පුංචි පුංචි සත්තුන්ව සාලේ පඩිය උඩට ගෙනහල්ලා කටුවක් අරගෙ මකුළුවගේ නූල ලිහනවා. පුංචි කාලේ අක්කාගෙයි මලයගෙයි උදේ වරුවේ රාජකාරිය ඕක තමයි. ඒ සත්තු බේරිලා යන දිහා දෙන්නා බලාගෙන ඉන්නෙත් හරිම සන්තෝසයෙන්.
පුංචි කාලේ අක්කා කෙසේ වෙතත් මල්ලි නම් හරිම දඟයි. දවසක් දූට ඕන වුණා මල්ලිව වඩා ගන්න. එතකොට මල්ලි අත දරුවා කාලේ. පව්නේ ඉතින් පොඩි කෙල්ලගේ ආසාවනේ කියලා මල්ලිව එයාගේ අතට දුන්නා.
කොහොම හරි ටික වෙලාවකින් මල්ලි දඟලලා දූගේ අතින් මල්ලිව බිමට වැටුණා. ඒ සැනින්ම අපි පුතාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. පුතාට නම් කිසිම ප්‍රශ්නයක් නම් නෑ. අපි බය වුණේ දුව ගැන. එයා හොඳටම බය වෙලා.
මුළු දවසෙම මුල්ලකට වෙලා ඇඬුවා. වචනයක්වත් කතා කළේ නෑ. අපි හොඳටම බය වුණා, දුවට ආයිත් කවදාවත්ම කතා කරන්න බැරි වේවි කියලා. වාසනාවකට එහෙම වුණේ නෑ.
අපි දූ පුංචි කාලේ ඉඳන්ම එයාව යොමු කළේ අධ්‍යාපනයට. නමුත් එයා රංගන ශිල්පිනියක් වුණා. සමහර විට එහෙම වුණේ සරස්වතී යෝගය නිසාත් වෙන්න ඇති. කොහොම නමුත් දූගේ අතීතය, වර්තමානය වගේම අනාගතයක් දූ වගේම ලස්සන වේවි කියලා මම විශ්වාස කරනවා.
Copy Rights - sarasaviya

Thursday, December 15, 2011

අපි ඒ ගැන කතා නොකර ඉමු

ලකීට සම්මාන ගෙනා ‘ලක්ෂපති’ ට මොකද වුණේ?
 

අපි ඒ ගැන කතා නොකර ඉමු

දහසක් දරුවන්ගේ දෙනෙත් පාදපු නීටා ඩයස් ඉස්කෝලේ හාමිනේ දහ අතේ කල්පනා කළා.
‘අපේ පුතාව මොන ඉස්කෝලෙටද යවන්නේ?’
ඒ කතාවට හූමිටි තිබ්බේ වොලී ඩයස්. ලක්ෂ්මන් ඩයස්ගේ තාත්තා. ලකීගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.
‘කොළඹ ආනන්ද විද්‍යාලය හොඳා’
වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.
‘මෙකද ඉතිං අපට දරුවෝ දහ දෙනෙක් ඉන්නවා කියලයැ, මේකා විතරයිනේ.’
නීටා ඩයස් ගේ හිතේ මල් පිපුණා. ලකී ඉපදුණ දා ඉඳලා ඈට ඕන වුණේ තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් කරන්නයි. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක්. මේ කොයි කවුරු වුණත් කමක් නෑ. පියෙන් පිය තබලා ඇවිදින ලකී පුතාගෙ මුහුණ බලාගෙන ඈ නොයෙක් වර හීන මැව්වා.
ලකී ගම්පහ පුරවරයෙන් කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ එහෙමයි.
‘අපූරු හුරුබුහුටි කොලු පැටියා’
දවසින් දවස උස් මහත් වන ලකීව දකින ගමේ හැමෝම කිව්වා. ලකීගේ ඒ අපූරු හුරුබුහුටිකමත් සමඟම තිබුණේ දඟකාර බවක්. කිසිම අඩු පාඩුවක් නැතුව හැදුණු වැඩුණු ලකීගේ දඩබ්බරකමට වෙලාවක් තිබුණේ නෑ. දඩබ්බරයන් රොත්තකට නායකයා වුණු ලකී කාටත් හොරා ආනන්දයේ වැට පැන්නේ චොප්පෙ කියන චණ්ඩියා බලන්න. ඊළඟ දවසේ 10.30 ට බොරැල්ලේ රිස්ට් එකේ මැටිනි ෂෝ එකක්. ඊට පස්සේ කොලු රංචුව නැග්ගේ පුංචි කෝච්චියේ රවුමක් යන්න.
ලකීගේ මේ කොලුකම් ගැන ඇහැ ගහගෙන හිටිය අපූරු කෙනෙක් ආනන්දයේ හිටියා.
‘කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ’
ඔහු ලකීට අපූරු දඬුවමක් දුන්නා. ඒ ශිෂ්‍ය නායක පදවියක්. ඒ තමයි ලකීගේ මුල් ගුරුතුමා. දෙවැන්නා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා. ලකී ජීවිතේ පිළිබඳ අපූරු පාඩම් කිහිපයක්ම ඉගෙන ගත්තේ මේ ගුරුතුමාගෙන්. කාලයක් රාජ්‍ය ඇමැති වෙලා හිටිය මෙතුමාත් ලකීත් අතරතිබුණේ අපූරු බැඳීමක්. ඒ බැඳීම කොයි තරම් දුර දිග ගියාද කිව්වොත් ලකී නැවතුණේ රටක් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙලා.
‘මා අද දක්වා පැමිණි ගමනේදී ලබාගත් ජයග්‍රහණයන් පසුපස ඔවුන්ගේ ආශිර්වාදය සැමදා තිබෙන බව නිසැකයි.’
ලකී ඩයස් කියන ඒ විශිෂ්ට රංගන ශිල්පියාගේ ස්වරය මාව රැගෙන ගියේ අතීතයට. කාලෙකට පස්සේ ඒ ආරිය සිංහල ඇඳුම ඇන්ද බලදේව මුණ ගැහෙන්න අපි ගියා ඔහුගේ නිවෙසට. ‘
මේ චරිතයෙන් මතු වෙන්නේ සේකරගේ චරිතය. ඒ නිසා රැවුල කපන්නම වෙනවා.’
පරාක්‍රම නිරිඇල්ල කිව්වේ ලකීව ඉහළ සිට පහළට නිරීක්ෂණය කරන ගමන්. සෝමවීර සේනානායකත් ඒ අදහස පිළිගත්තේ ඔළුව වනලා.
‘මට මේ චරිතය නොලැබුණත් ඒක නම් කරන්න බෑ.’
පරාක්‍රම නිරිඇල්ලත්, සෝමවීර සේනානායකත් මුහුණෙන් මුහුණ බලා ගත්තා. ඒ මේ ඉළන්දාරියාගේ කීමට. අන්තිමට මේ දෙන්න තීරණයකට ආවා. බලදේවගේ රැවුල නොකපන්න. බලදේවගේ මුහුණේ රැඳුණු ඒ රැවුල අද ලකීගේ මුහුණෙන් අතුරුදන්. එක කාලයක මුළු රටක්ම ආදරය කළ බලදේවගේ ඒ සිනාව නම් කාටවත් උදුර ගන්න බැරි වෙලා වගෙයි. කාලයක් බලදේව සර්ට ආදරය කළ අපට එහෙම සිතුණා.
‘ඉතිං බලදේව සර්’
ඔහුගේ සිනහව කට දෙකොනට විහිදුණා. ඒ සිනහවේ අපූරු කතාවක් හැංගිලා.
‘ළඟදි ලැබුණු සම්මානය ගැනවත්ද?’
‘පසුගිය දවස්වල තිබුණු සුමති සම්මාන උළෙලේදී මට ලැබුණේ ප්‍රශස්ථ ඇගයීම් සම්මානයක්. ඒ ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති කියන වැඩ සටහන මෙහෙයවීම සම්බන්ධයෙන්. මේ ලැබුණු ලක්ෂපති සම්මානය මට මෙතෙක් ලැබුණු සියලු සම්මාන අභිබවා ගිහින්. මගේ ජීවිතයේ ලොකුම සම්මානය බවට පත් වුණා කියලා කිව්වොත් නිවැරැදියි.
මම එහෙම කියන්නේ මෙතෙක් ලැබුණු බොහෝ සම්මාන මට ලැබිලා තියෙන්නේ රංගනයට, අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට කියන රංගනයට අදාළ කටයුතු සඳහායි. නමුත් මේ සම්මානය ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තක් සඳහායි.
ඒ කියන්නේ කවුරු හරි මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කළ දෙයකට තමයි මට මේ සම්මානය හිමි වුණේ. ඒ නිසා මේ ලැබුණු සම්මානය මට ජීවිතයටත් වඩා වටිනවා. ලක්ෂපති වැඩසටහන කරන කාලයේදී අසීමිත ජනප්‍රියත්වයක් වගේම වැඩිම පිරිසක් නරඹන වැඩසටහනක් විදියට අපි වාර්තාවක් තිබ්බා.
ඒත් මොකක්දෝ දෙයකට වගේ වැඩසටහනෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් අද ඒ තිබුණු තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. යන යන තැන හැමෝම අය මැසිවිලි නඟන්නේ ලකී ඩයස් නැතුව අපි මේ වැඩසටහන නරඹන්නේ නෑ කියලයි.
ඒක එක්තරා විදියක දුකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් නැතිවාම නෙවෙයි. මොකද ඒ නිසාම වෙන්න ඇති මගේ තිබුණු අගය තේරුම් ගත්ත ජූූරියක් මට මේ සම්මානය ලබා දුන්නේ.’
‘සිරස රූපවාහිනියේ විකාශය වුණු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩසටහනේ ඔබ දැන් නැහැ. ඇයි එහෙම වුණේ?’
‘ඒ ගැන අපි කතා නොකර ඉමු. මේ කොහොම වුණත් මේ සම්මානය ලබා ගැනීමට මට උදව් කළ අය බොහොමයක් මේ සම්මානය පිටුපස ඉන්නවා. අපි ඔවුන් පිළිබඳ කතා කරමු. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට මගේ ස්තුතිය පළමුව හිමි විය යුතුයි.
මොකද මේ වැඩසටහනට මාව යොමු කළේ ඔහුයි. ඒ වගේම මේ වැඩ සටහන ලෝක ප්‍රසිද්ධ වැඩ සටහනක්. එංගලන්තයෙන් පැමිණි ඒ පිරිස වැඩසටහන මෙහෙයවීමට මා තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ටත් මා ස්තුති කළ යුතුයි. වැඩසටහන මෙහෙය වීමේදී තිරය පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටියා. මගේ කටයුතු සොයා බැලීමට වෙනම පිරිසක් යොදවලා තිබුණා.
වෙරෝනිකා ඒ වගේම ධනුෂ්ක කියන සම අධ්‍යක්ෂවරයා, විරාජ් වැලිවත්ත කියන අධ්‍යක්ෂවරයා ඇතුළු හැම දෙනාම මතක් කළ යුතුයි. මේ සම්මානය පිටුපස ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් තිබෙන බව කියන්නේ මම බොහොම කැමැත්තෙන්. ඒ වගේම මට සම්මානයක් ලබා දුන්න ජුරිය නිවේදකයෙක් ලෙස මා ඇරැඹූ ගමනේ සාර්ථකත්වය සනාථ කළා. මගේ ස්තුතිය ඔවුන්ටත් හිමි විය යුතුයි.’
සම්මාන පිළිබඳ මතකයට නැඟෙන විට අපේ සිතට පිවිසෙන්නේ අපූරු සිද්ධියක්.
ලකී පුංචි තිරයට ආවට පස්සේ දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණේ ඔහුගේ දක්ෂතාව අගයලා. ඒ වගේම ජනප්‍රියත්වයට.
‘මේ සම්මාන මටම ලැබිලා කොහොමද?’
ලකී ඩයස් කියන මේ හිත හොඳ රංගන ශිල්පියා තීරණයකට ආවා. ඔහු ලියුමක් ලිව්වා. ඒ සුමති සම්මාන උළෙලේ නියාමකතුමාට, තිලංග සුමතිපාල මහත්තයාට.
‘මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාගේ නිර්දේශිත නාමයන්ගෙන් මම ඉවත් වෙනවා.’
රංගන ශිල්පියෙකුගේ ඒ වගේ කැප කිරීමක්.හැමෝටම එහෙම හිතුණා.
‘අදත් ජනප්‍රිය නළුවා, නිළියට සම්මාන ලැබෙනවා. මොකද හිතෙන්නේ?’
‘ඒක බොහොම කාලයකට ඉස්සර සිද්ධ වුණු දෙයක්. යශෝරාවයෙන් පස්සේ දිගින් දිගටම රඟපාන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබුණා. මේ රඟපෑ ටෙලි නාට්‍යවල මගේ රංගනයට දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණා. ඒ වගේ එක් අවස්ථාවකදී යළිත් මගේ නම ජනප්‍රිය නළුවාට නිර්දේශ වී තිබුණා. ඒ අවස්ථාවේ මම ඉල්ලා අස් වෙන බව කියමින් තිලංග සුමතිපාල මහත්තයට ලියුමක් ලිව්වා.
දිගින් දිගටම මට සම්මාන හිමි වුණොත් අනෙත් දක්ෂ රංගන ශිල්පීන්ට සම්මානයක් ලැබෙන්නට තිබෙන අවස්ථාව නැති වීම පිළිබඳ මගේ සිතට ඇත්තටම ඇති වුණේ දුකක්. මම නිසා ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියන හැඟීම ඇති වුණා. ඒ නිසයි ඔහුට එවැනි ලියුමක් ලියා ඉල්ලීමක් කළේ. ඒ අතීතයේදී. නමුත් අද මේ තත්ත්වය හොඳටම වෙනස්.
අද ඉන්න සමහර නළු නිළියෝ ජනපි‍්‍රය නළු නිළියෝ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන අය සල්ලි තියෙන වයසට ගිය ගැහැනියක් හරි මිනිහෙක් හරි අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ සල්ලිවලින් පත්තරවලට කූපන් දමලා, නැත්නම් එස්. එම්. එස්. ගහලා ලස්සන සූට් එකක් ඇඳලා අත් දෙක උස්සලා සම්මානයක් ගන්නවා. මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. ඒ මදිවට ලංකාවටම පෙන්නන්න හදනවා මම තමයි ජනප්‍රිය නළුවා කියලා. ඒ වුණාට ප්‍රධාන චරිතයක්වත් රඟපාලා නැහැ. අන්න එහෙමයි අද ජනප්‍රිය නළු නිළියන් වෙන්නේ.’
කොහොම වුණත් නීටා ඩයස්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව සඵල නොවුණත් ලකී ඩයස් ලංකාවේම ජනතාව ආදරය කරන විශිෂ්ට රංගධරයෙක් වුණා. ඔහු රංගනයට පිවිසි කාලයේ රඟපාන බවක් නිවැසියෝ දැනගෙන සිටියේ නැති තරම්. කොහොම වුණත් පුතණ්ඩියා වරින්වර වෙනස් කරන රැවුලත්, කොණ්ඩයත් ගැන ඉස්කෝලෙ හාමිනේට තිබුණේ සැකයක්. අල්ලපු ගෙදර හිටිය මනුස්සයා ලකී ඩයස් රඟපෑව වජිරා ච්ත්‍රපටය බැලුවා.
‘ඉස්කෝලේ හාමිනේ ලකී ඊයේ පොලිස් චරිතයක් කළා නේද? ඒකද අර රැවුල එහෙම වෙනස් කරලා තිබුණේ.’
‘එහෙනනම් ඉතිං එයා කියනවනේ’
ලකීගේ අම්මා ගත් කටටම කිව්වා. අල්ලපු ගෙදර කෙනාට ලකීව අඳුන ගන්න බැරි වෙලා. ලකී හෙමින් ගෙදරින් ගියේ ඒ කතාව ඇසෙන්නේ නැති ගානට.
එතැනින් පටන් ගත්ත ලකීගේ රංගන ගමන නිරූපමාලා, හිමි අහිමි, ඇබෑර්තුව, ඉරට හඬන මල්, අහිංසා, සිරිමැදුර, අවරගිර, අනුරාගයේ අනන්තය, මධු සමය ආදී නිර්මාණ ඔස්සේ පුංචි තිරය, රිදී තිරය දක්වා විහිදුණා. යශෝරාවයේ බලදේවගේ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. ඔහු වැනි තරුණයෙකුගේ රංගනය විශිෂ්ට බව කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිතර කිව්වා. එතැනින් පස්සේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ලකී ඩයස්ට ගෙනාවේ ශක්තියක්.
‘මගේ ජීවිතයේ ඊළඟ ගුරුවරු වුණේ ගාමිණී ෆොන්සේකා කියන විශිෂ්්ට නළුවා. ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ඔවුන් දෙදෙනාගෙන් මගේ රංගන ජීවිතයට ලැබුණු උපදෙස්වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. ඔවුන් දෙදෙනා මට රංගන පාසලක්.’
‘සුවඳ ඔබයි අම්මේ’, ‘සිව් දිය දහර’ වගේ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පමණක් සීමා වී සිටි ඔහු අධ්‍යක්ෂණයටත් පිවිසියා. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කාලයක් ඔහුගේ ජීවිතය වුණා.
‘කාලයකින් ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයක් අපි දුටුවේම නැහැ.’
‘අලුතින් මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නෑ. ඒ අද ටෙලි නාට්‍ය කලාව බල්ලට ගිහින් නිසයි. ඒවායේ ගත යුත්තක් නෑ. අද චැනල්වලින් ගෙවන ගණන්වලට ටෙලි නාට්‍ය කරන්න බෑ. ටෙලි නාට්‍යවලට ගෙවන්න බැරි හේතු තිබෙනවා. ඒ ලංකාවේ වී ඇටය ද වැලි ඇටය ද දිනෙන් දින සත 50 කින් රුපියලකින් ඉහළ යද්දී කලාව විතරක් දහස් ගණනින් බාල්දු වෙන නිසයි.
මොකද තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න, තමන්ගේ සාක්කුව පුරව ගන්න අම්මා මුත්තත් විකුණන හැදිච්චකමක් නැති මිනිස්සු කලාවට ඇවිල්ලා. කිසිම ප්‍රමිතියක් නැති, කිසිම කතාවක් නැති, මුළු දරු පරපුරම විනාශයට ඇද දමන දේ තමයි මේ නාට්‍යව ලින් පෙන් වන්නේ. මේ නිර්මාණවල තිබෙන භාෂාව අන්තිමයි. මේ නාට්‍යවල තිර පිටපත් ලියන බොහෝ අය තමයි මේ වරද කරන්නේ. ඒ අය සමාජ අධ්‍යයනය කරලා නෑ. අයන්න, ආයන්නවත් ලියා ගන්න බැරි අය තමයි අද පිටපත් ලියන්නේ.
මේවා ලියන්න අනුබල දෙන්නේ කවුද නිෂ්පාදකවරු. ඒ බහුතරයේ ඉන්න නිෂ්පාදකවරු වෙන්නේ පාන් බේකරි කාරයෝ, අරක්කු තැබෑරුම් කාරයෝ. එහෙම නැත්නම් අධර්මිෂ්ටව මුදල් හොයා ගත්ත අයයි. ඔවුන් නිර්මාණයන්ට තම මුදල් යොද වන්නේ කලාවට තිබෙන ආදරය නිසාවත්, කලාකරුවන්ට තිබෙන ආදරය නිසාවත් නෙමෙයි. වෙන වෙන දේ බලාපොරොත්තුවෙන්.
ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කොහොම වුණත් මේ අතර හොඳ නිෂ්පාදකවරු, හොඳ පිටපත් රචකයන්, හොඳ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අය පිළිබඳ නෙමෙයි මා මේ කතා කළේ. අනිත් අය පිළිබඳයි. කලාව කියන්නේ උත්තරීතර ගෞරවනීය දෙයක්. ඒක ඔවුන් විනාශ කරනවා. මේක හරිම ඛේදවාචකයක්.’
කවුරු හරි ඇහුවොත් එහෙනම් ඔබත් මේ ටෙලි නාට්‍ය රඟපානවා නේද කියලා?
‘එහෙම නොවුණොත් අපේ ගෙදර බත් කන්නේ කොහොමද? මම ජීවත් වෙන්න සමාජ විරෝධී දේවල් කරන්නේ නෑනේ. කන්න, බොන්න, අඳීන්න, ගමනක් බිමනක් යන්න, යාළුවෙක් හමු වෙන්න, අසරණයකුට සලකන්න ඕන. මේ හැම දේටම මුදල් අවශ්‍යයි.
මුදල් හම්බු කරන්න මට සමාජ විරෝධී දේවල් කරන්න බෑ. අනිත් කාරණය තමයි මේ ටෙලි නාට්‍යවලට කතා කරන කොට කියන්නේ නෑනේ මේ ටෙලි නාට්‍යයට කතාවක් නෑනේ කියලා. මේක ලියන කෙනාට ලියන්න බැහැයි කියලා කියන්නේ නෑ.
ටිකක් දුර යන කොටනේ දැනෙන්නේ රේල් පීල්ල පැනලා කියලා. මගේ ගෙදරත් බත් කන්න ඕන නිසා රඟපානවා. සල්ලිවලට. මම මෙහෙම කියන්න ලැජ්ජා වෙන්නේ නෑ. පස්සේ හිතෙනවා සල්ලිවලට වුණත් මගේ ආත්මය පාවලා දෙන්න පුළුවන් ද? ඊට පස්සේ දමලා ගහලා යනවා.
මේ දවස්වල ඔබ අලුත්ම ටෙලි නිර්මාණයකට දායක වෙලා නේද?
‘ඇත්තටම කාලෙකට පස්සේ කරන හොඳ ටෙලි නාට්‍යයක්. මම වගේම මේ ටෙලි නාට්‍යයේ සබීතා, දිල්හානි, නිමන්ති, කාංචනා වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් රඟපානවා. මෙහි නිෂ්පාදිකාව කලාවට යමක් කිරීමට උවමනාව තිබෙන නෝනා මහත්මියක්. අධ්‍යක්ෂණය කරන්නේ සාරංග මෙන්ඩිස් කියන තරුණ අධ්‍යක්ෂවරයා. ඔහුත් හොඳ නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්.
‘මේ දවස්වල බොහොම කාලයකට පෙර රූගත කළ ‘අකුණු සැර’ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.27 ට විකාශය වෙනවා.
එහි මා රඟපාන්නේ විලී කියන දාමරික මනුස්සයකුගේ චරිතයක්. සරම් කෝට් අඳින මේ චරිතය ඔස්සේ මගේ රඟපෑමේ වෙනසක් දැකිය හැකියි.’
ඔහුගේ වේගවත් හඬ ගලා යන්නේ වේගවත් සැඩ පහරක් වගේ. කියන්නට තියන දේ කෙළින් කියන ඔහු අපූරු හිත හොඳ මනුස්සයෙක්. දයාබර මවකට දයාබර පුතෙක්.
‘ඒ පුතා ගැන අම්මා අද ගොඩක් ආඩම්බර වෙනවා.’
ලකී ඩයස් නම් ඒ විශිෂ්ටයා සිය මව්ගේ මතකය අතර සිර වෙලා. මේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ ඔහුට හොඳ නිර්මාණයකින් , අධ්‍යක්ෂණයකින් අප අතරට පැමිණෙන්නට අවකාශය හිමි වේවා යන්න සරසවියේ අපගේ ප්‍රාර්ථනයයි.

බබා පුංචි කාලේ බිව්වෙ එළ කිරි නෙමෙයි, අලි කිරි

රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයි




පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති.
සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක.
මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ.
මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන.
පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට ළමයින්ට නලියන්නෙ නැතිව ඉන්න බෑ කියන්නෙත් නිකන් නෙවෙයි නේ.
අපේ බබා කියන විදිහට එයා පුංචි කාලේ බීලා තියෙන්නෙ එළ කිරි නෙවෙයි, අලි කිරි. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? පුතාලාට මම පොඩි කාලේ දුන්නෙ එළකිරි.
ඉතින් මම දවසක් එයාලට එලිෆන්ට් හවුස් එකෙන් එළකිරි ගෙනහල්ලා දුන්නා. ඒ කිරි බෝතලේ පිටතින් එලිෆන්ට් හවුස් කියලා වගේම ලාංඡනයේ ඉන්නේ අලියානේ.
ඒ නිසා බබා හිතලා තියෙන්නේ එයා බොන්නේ අලි කිරි කියලා. හිතලා විතරක් නතර වුණා නම් මදැයි. එයා බොන්නෙ අලි කිරි කියලා යාළුවන්ටත් කියලා.
හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා.
මෙයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හවසට අර අඹ ගහේ අත්තක ලනුවක් ගැට ගහනවා. ඊට පස්සේ ටාසන් වගේ පොකුණේ ඒ පැත්තටයි මේ පැත්තටයි ලනුවෙ එල්ලිලා කෑ ගගහා යනවා.
හැබැයි සේරම දඟ වැඩ ගෙදරදි තමයි. ඉස්කෝලෙදි නම් දඟ නෑ. කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉස්කෝලෙදී මොහොකටම හරි පුතාව තෝර ගත්තොත් ‘අනේ මට ලැජ්ජයි’ කියලා අයින් වෙනවා.
පුංචි කාලේ පිරිසක් ඉදිරියේ වේදිකාවකට නග්ගන්න නම් කොහෙත්ම බෑ. දවසක් බබාව ගායනා තරගෙකට ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා.
මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා.
හැමදාම පුහුණුවීම්වලට යන අතරවාරෙදි මගෙන් අහන්නෙම, ‘අම්මෙ කොහොමද මං සෙනඟ ගොඩාක් ඉස්සරහ සින්දු කියන්නේ? මට ලැජ්ජයි අම්මෙ, මම අසනීප වුණොත් මොකද වෙන්නේ’ වගේ දේවල්.
පස්සෙ ,පස්සෙ මටත් බය හිතුණා දරුවාට ගායන තරගෙ මානසික වදයක් වේවි කියලා. ඒ නිසා මගේ උනන්දුවත් ටික ටික අඩු වුණා. කොහොම හරි පුතාම හිතලා හිතලාම කැස්සක් හදා ගත්තා.
එතනින්ම එයාගේ ගායන තරගෙත් අවසන්. දැන් නළුවෙක් වුණාට පුංචි දවස්වල ඔය වගේ තමයි ඉදිරිපත් වීමේ හැකියාව. බබා පොඩි කාලේ නම් මම හිතුවෙ එයා කවදා හරි විද්‍යාඥයෙක් වේවි කියලා.
එයාට ඉස්කෝලේ යන කාලේ ගෙදර පුංචි විද්‍යාගාරයකුත් තිබුණා. එයයි තව එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විවිධ අත්හදා බැලීම් කරනවා විද්‍යාගාරයේදී.
පුතාගේ පුංචි විද්‍යාගාරය තිබුණේ අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. දවසක් මම කාමරේට ගිහාම දැක්කා ඇසිඩ් තියෙනවා. ඒක දැක්කාම මට හොඳටම බය හිතුණා.
පොඩි අයනේ, මොනවා හරි කරන්න ගිහිල්ලා ඇසිඩ් කාගේ හරි ඇඟකට වීසි වුණා නම් . . . නමුත් ඉතින් හැම දේම වෙන්නේ දෛවය අනුවනේ. පුංචි කාලේ සිංදුවක් කියන්නවත් ඉදිරිපත් නොවුණු මගේ ලොකු පුතා දැන් රටම දන්න, රටම ආදරය කරන නළුවෙක්. මට ඒ ගැන සන්තෝසයි.

Friday, December 2, 2011

නංගියෙක් හරි මල්ලිනයක් හරි ගෙනාවද කියල බලන්න

ඕෂි හැමදාම හැන්දෑවට බෑග් එක බලන්නේ

පවුලේ එකම දරුවා නිසා දෝණි හැදුණේම අම්මාගේ තුරුලේමයි. අම්මාත් හැම වෙලාවේම දෝණිව තමන් ළඟින්ම තියා ගන්නත් අමතක කළේ නෑ.
දවසක් පුංචි දෝණි අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා ටවුමට ගියා. එතකොට මේ පුංචි කෙල්ලට යාන්තම් අවුරුදු දෙකක් විතර ඇති.
එක පාරටම මේ හුරතලීගේ ඇහැ නැවතුණේ රතු පාට ඉංග්‍රීසි අකුරින් ලියා තිබූ නාම පුවරුවක් ළඟ. මේ කෙලි පැටික්කි දෙවරක් නොසිතා හයියෙන් බී, ඒ. ටී. ඒ කියා කෑ ගැසුවා. ඒ හඬට ඇයත් මවත් දෙස හැරී නොබැලූ කෙනෙක් නොමැති තරම්.
අපහසුතාවයට පත් අම්මා නම් දූ සිඟිත්තිය සමඟ ඊට පසුව පාරේ ඇවිදගෙන යන විට ඇතැම් අවස්ථාවලදී දෝණිගේ කට සියතින් වැසුවේ යළිත් පෙර සිදු වූ වැන්නක් යළිත් නොවන්නට වග බලා ගනිමින්.
මේ කතාව මා සමඟ පැවසුවේ සරලා අමරසිරි ගුණවර්ධන මහත්මියයි. මේ සතියේ පුංචි දවස්වල විශේෂාංගයෙන් අතීත මතකයන් පෙළ ගස්වන්නේ ඕෂධී හේවාමද්දුම නම් යොවුන් රංගන ශිල්පිනියගේ ආදරණීය මෑණියන්.
දුවට චූටි කාලේ එයාගේ වයසේ අනිත් ළමයින්ට වඩා හොඳට කියවන්න පුළුවන්.
දවසක් දූගේ පෙර පාසලේ මිස්ගේ දුව උම්මග්ග ජාතකය ගෙනහල්ලා. එයා දුවට වඩා වැඩිමල් දරුවෙක්.
අපගේ දූ ඒ දරුවා ළඟින් දුවන ගමන් උම්මග්ග ජාතකයේ තිබුණ වචනයක් කියලා.
මිස්ටත් හරිම පුදුම හිතිලා. ඇත්තටම පෙර පාසල් යන සමහර දරුවෝ හැමදාම කියලා දෙන වචනයක වුණත් අකුරු අමුණගෙන කියවන්නෙ හරිම අමාරු වෙන්නේ.
දුව පුංචි කාලේ ඉඳන්ම හරිම කැමැතියි පොත් කියවන්න. එයා ශිෂ්‍යත්වෙන් ලකුණු 182 ක් අරගෙන සමත් වුණා. ඉස්සර එයා කිව්වෙ කවදා හරි එයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.
දූ ඉගෙනීමටත් දක්ෂ නිසා මමත් හිතුවා එහෙම වෙයි කියලා. ඉතින්, දුව පුංචි කාලේ අපේ අම්මා හිටියෙත් අපේ ගෙදර.
අම්මාට දියවැඩියාව තිබුණ නිසා ගෙදරදී අම්මාට ඉන්සියුලින් ඉන්ජක්සන් එකක් දෙනවා.
මම දවසක් නිදාගෙන ඉන්න කොට මොකෙක්දෝ මගේ අත කනවා වගේ දැනිලා නැගිටලා බැලින්නම් මගේ පුංචි දොස්තර නෝනා එයාගේ ලේයි මගේ ලේයි එක පාටද කියලා බලන්න අපේ අම්මාට බෙහෙත් විදින සිලින්ජරයක් අරගෙන ඇවිත් මට විදිනවා.
පුංචි දොස්තර නෝනා හැදුනෙම තනියම. ඉස්සර අපිත් එක්ක රංඩු කරනවා නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන කියලා.
දූ හැමදාම හවසට තාත්තා ගෙදර ආවාම තාත්තා නංගියෙක් හරි මල්ලියෙක්ව ගෙනහල්ලා ඇතයි කියලා බෑග් එක අවුස්සනවා.
ආ . . . මට දුව ගැන බය හිතුණු දවස ගැන නම් කියන්නම ඕන. ඉස්සර ‘ඉරට අඬන මල්’ ටෙලි නාට්‍යය රූගත කළේ අපේ ගෙවල් ළඟ. ඉතින් ඒ කාලේ අපේ ගෙදර තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ දුව සෙල්ලම් කළේ.
ඒ දුවත් ඕෂිගේ වයසෙමයි. දවසක් දුවලා දෙන්නාම පඩි පෙළේ සෙල්ලම් කර කර හිටියා. මමත් ඒ අතරවාරයේ මගේ වැඩක් කළා.
එක පාරටම දුවලා දෙන්නම හයියෙන් කෑගහලා අඬනවා ඇහුණා. මම හොඳටම බය වෙලා දුවගෙන ගියා.
ඕෂිගේ කටේ ලේ පිරිලා. අනිත් දුවගේ කටිනුත් ලේ එනවා. ඊට පස්සේ මම දෙන්නාවම ඩොක්ටර් ළඟට එක්ක ගෙන ගිහින් බෙහෙත් දැම්මා.
ඊට පස්සෙ මම ඇහුවා දෙන්නාගෙන් මොකද වුණේ කියලා. දන්නවද මොකද වෙලා තියෙන්නේ කියලා? ආදරේ වැඩිකමට ඕෂි අනිත් දරුවාව වඩාගෙන.
ඊට පස්සේ ඒ දරුවාව මෙයාගේ ඇඟ උඩට වැටිලා. ආදරේ නිසා තව පොඩ්ඩෙන් ඕෂධීට දතුත් නැති වෙනවා.
පුංචි කාලේ දූ එච්චරම දඟ නෑ. හැබැයි චණ්ඩි පැටියා කිසිම දේකට බය නෑ.
මම මොනවා හරි දේකට බය වුණාම දූ මං ළඟට ඇවිත් කියනවා ‘අම්මා බය වෙන්න එපා මං ඉන්නවානේ’ කියලා.
එදා මගේ තනියට හිටපු දෝණි ගැන මම දැන් වෙනදාටත් වඩා හොයලා බලනවා.
පුංචි කාලේ ඉඳන්ම අද වෙනකන් හෙවනැල්ල වගේ හැම වෙලාවෙම මම හිටියේ දුව ළඟමයි. දොස්තර කෙනෙක් නොවුණත් දුව අද ඉන්න තැන ගැන මම වගේම දූගෙ තාත්තාත් සතුටුයි.

අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ

මේ දිනවල ජනප්‍රියම ගීතය


ඒ සිරකරු තවමත් මේ ගීතය ලියුවේ ඔහු වෙනුවෙන් කියා දන්නේ නැහැ - භාචි සුසාන්


මගෙ යාළුවෙක් ඉන්නවා මිගමුව හිරගෙදර.ඔහු වැරැදි කිහිපයකටම හිරබත් කෑ පුද්ගලයෙක්. ඒ නිසා ජීවිතයෙන් සෑහෙන කාලයක් ඔහු ගත කළේ හිරගෙදර බිත්ති හතරට කොටු වෙලා.
වරක් මා ඔහුව දකින්නට ගියා. ඔහුගේ අසරණ මුහුණෙහි සටහන්ව ඇති සිතුම් එකිනෙක ඒ මනුස්සයා කියා පෑවා. මට දැනුණේ මාව පිච්චෙනවා වගේ.
ඇත්තටම ඒ වචන හරිම සංවේදියි. මොකක්දෝ අවාසනාවකටයි ඔහුට හිරගෙදර ලගින්නට සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඔහු හැදී වැඩුණු පරිසරය සහ ළමා කාලය ගත කළ අන්දම ඔහු මට කීවා.
එදා මං මිතුරාගෙන් සමුගෙන එතැනින් එළියට ආවේ සසල වූ මනසකින්. මෙවැනි මිනිසුන් තව කී දාහක් නම් ඇත්දැයි සිරගෙදර ඉදිරියේ මාවත දිගේ ඇවිදගෙන එද්දී මට සිතුණා.
තමන් ආදරය කරන මිනිසුන්, සතා සිවුපාවන්, ගහ කොළ, ගංගා, ඇලදොල දකින්නේ නැතිව හිරු එළියෙන්, සඳ එළියෙන් බිඳක් හෝ නොවිඳ ඒ අය ඉන්නේ කොහොමද යන වග මා කල්පනා කළා.
ඒ අදහස් ටික මං එවලේම පුංචි කොළ කැබැල්ලක කුරුටු ගෑවා. තනුවක් ද යොදා කාලයක් තිස්සේ මං ඒ වදන් පෙළ මුමුණ මුමුණ හිටියා. ඒත් ඒක රෙකෝඩ් කළේ නම් නැහැ.
දිනක් මං මගේ ගීත පටිගත කිරීමට ඉන්දියාවේ මුම්බායි නුවරට ගියා. එහෙ ඉන්නවා සුබේන් කියලා මගේ මිත්‍රයෙක්. සුබේන්ට ස්ටුඩියෝ එකක් තියනවා.
ඔහු මට පකිස්ථානු ගීත වගයක් අහන්නට සැලැස්වූවා. ඒ මගේ ඉල්ලීමක් මත. එ අතරේ තිබූ එක්තරා තනුවකට මගේ සිත වැඩියෙන් යොමු වුණා.
එය මා ඉකුත් දිනයකදී සිරගෙර මිනිසුන්ගේ සිතුම් පැතුම් මුසු කොට ලියූ වචනවලට වඩාත් සුදුසු එකක් බව මට වැටහුණා. ඒ තනුවත් මං නිර්මාණය කළ තනුවත් යම්තාක් දුරකට සමානයි.
ඒ ගීතයේ අදහස යම් යම් තැන්වලින් වෙනස් කොට පාකිස්ථානු තනුවට මං ගැලපුවා. නිකම්ම නිකම් සිරකරුවකුගේ අදහස් ටිකක් වෙනුවට පෝරකයට නියම වූ මිනිසෙකුගේ අන්තිම මිනිත්තු කිහිපය ඔහුට දැනෙන අන්දම පිළිබඳ කියවෙන අයුරින් මං පද පෙළෙහි වචන යළි මේ අන්දමින් ලිව්වා.

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනිලා පාරේ
මඩ වතුර බිව්වා
ගලන ලේ කිරි වුණේ
නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ

මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමඟ ඇසුරේ
ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ
මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බැහැනේ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ
අපිට කරදරයක් වුණාම නිතැතින්ම සිහියට එන්නේ ආදරයේ සංකේය බඳු අම්මාවයි. ඒක කොයි කාටත් පොදු කරුණක්. තව සුළු මොහොතකින් තමාගේ ගෙල එල්ලුම් ගසේ කඹයට හිර වී හුස්ම වාතලයේ සැඟවී යන බව දැනෙද්දී ඔහුට සිය අම්මා සිහියට පැමිණෙනවා. ඒත් සමඟම මා පෙර පැවසූ පරිදි ඔහුව සිරගෙදරට යන්නට හේතු වුණු වටපිටාව චිත්‍රයක් මෙන් මැවෙනවා. මොන වැරැද්ද කළත් අම්මා කෙනෙක් තම දරුවෙක් එළවන්නේ නැහැ, ආරක්ෂා කරනවා මිසක.
ඒ අදහසට වදන් පෙළ සකසා ලංකාවට ආ විගස මේ ගීතය රෙකෝඩ් කළා.
‘අවසාන මොහොත’ ගීතයේ වැඩ කටයුතු දැන් සියල්ලම හරි. නමුත් එය මා ළඟ වසර කිහිපයක් තියාගෙන සිටියා මිසක මං කිසිදු මාධ්‍යයකට දුන්නේ නැහැ. ලොකුකමකට එහෙම නෙවෙයි, මගේම වුවමනා නැතිකම නිසා.
එක්තරා දිනයක මගේ නිවසට මගේ මිත්‍ර සමාගමේ කෙනකු පැමිණියා. ඔහු මගෙන් ඇහැව්වා අලුත් සිංදු මොනවත් නැති ද කියලා. මං ‘අවසාන මොහොත’ ඇතුළු මගේ නව නිර්මාණ කිහිපයක් ඔහුට අසන්න සැලැස්සුවා. අනිත් ඒවා කෙසේ වෙතත් ‘අවසාන මොහොත’ ගීතය නම් ඔහු අහගෙන හිටියේ වශීීවෙලා වගේ. එය ඔහුගේ ජංගම දුරකතනයට ඇතුළත් කර දෙන්න යැයි ඉල්ලීමක් කළා. දෙවතාවක් හිතන්නේ නැතිව මං දුන්නා.
ඔහු ඔහුගේ යාළුවන්ටත් මේ සිංදුව පසුව ලබා දීලා. තවත් අයෙක් අන්තර් ජාලයට පවා ගීතය දාලා. සෑහෙන්න පිරිසක් ගීතය ඩවුන්ලෝඩ් කරලා. සමහරෙක් මෙයට වෙන රටවල වීඩියෝ එකතු කොට වීඩියෝවක් පවා හදලා. මේ අතරවාරයේ රේඩියෝ චැනල් එකක වැඩ කරන කෙනකුට මෙය අහන්න ලැබිලා ඔහු එය ප්‍රචාරය කොට තිබෙනවා. ගීතය ප්‍රචාරය වෙනකම්ම මම දන්නේ නැහැ. මේ ආකාරයෙන් තමයි ‘අවසාන මොහොත’ ජනප්‍රිය ගිතයක් වුණේ.
ගීතයට රූප රචනාවක් නිර්මාණය කළේ චමීන් ප්‍රනාන්දු. කැමරාකරණයෙන් දායක වූ ධම්මික රත්නායක හොඳ සහයක් වීඩියෝවට ලබා දුන්නා. කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගනයයි අපි දර්ශන තල විදිහට යොදා ගත්තේ. එක දවසින් රූගත කිරීම් නිම කළා. රංග සිංහාගේ සංස්කරණයෙන් එකතු වුණා.
‘අවසාන මොහොත’ ගැන අවසන් වශයෙන් සඳහන් කරනවා නම් මිත්‍රයන් දෙදෙනෙකු නිසා නිර්මාණය වූ සහ ජනප්‍රිය වූ ගීතයක්. එක් කෙනෙක් සිරගෙදර මිත්‍රයා.
අනෙක් කෙනා ගීතය මගෙන් මුලින්ම ජංගම දුරකතනයට දාගත්තු කෙනා. ඒ දෙන්නට පින් සිද්ධ වෙන්න අද මේ ගීතය අතිශය ජනප්‍රිය එකක් වෙලා තියනවා. සිරගෙදර මිත්‍රයා තවම සිරගෙදර. ඔහු තවම දන්නේ නැහැ ඔහුගේ සිතුම් පැතුම් බිඳක් නිසා තමයි මෙතරම් ජනප්‍රිය ගීයක් නිර්මාණය වුණේ කියලා.
මෙතෙක් වෙලා ඔබට කතා කළ මම භාචි සුසාන්.

ඒ ලොකේෂන් එකයි - මේ ලොකේෂන් එකයි

ඒ නිල්මිණියි – මේ නිල්මිණියි සිහින පියාපත් දර්ශන තලයේ රසමුසු කතන්දර

ම න්දාකිණිගේ සිහිනවලට තටු ඇවිත්ය. ඇය සිටියේ ඉපිළ ගිය සතුටකින්. ඇගේ ඇස් නිතරම සෙව්වේ ඔහුය.
නම පුර්ණයි. මන්දාකිණි ඉගෙන ගන්නා වෛද්‍ය විද්‍යාලයේම ශිෂ්‍යයකු වූ පූර්ණ කඩවසම් තරුණයෙකි.
පූර්ණ, මන්දාකිණිට හරිම ආදරෙයි. මන්දාකිණිත් පූර්ණට දෙවැනි නැහැ. පෙර දවසක පූර්ණ මන්දාකිණිගේ සිත් පවුරේ ඇළ වූ ස්නේහවන්ත වදන් ඇය දවසට දෙතුන් වතාවක් කියෙව්වේ නිමිහිම් නැතිවය. ගත වූයේ සුලු මොහොතකි. මන්දාකිණිගේ මේ සතුට, සොම්නස ක්ෂණයකින් කෙනෙකු උදුරා ගත්තාය. ඔහු මන්දාකිණි සිටි තැනට ඇවිත් යම් කිසි උපදෙස් වගයක් දුන්නේය. මන්දාකිණි ද හිස සලමින් එයට අවනත විය. ඔහු කවුද? ඒ ටෙලි නාට්‍යය සහ චිත්‍රපට අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාය. මා සිටින්නේ ඔහුගේ නවතම ටෙලි නාට්‍ය වන සිහින පියාපත් රූගත කෙරෙන භූමියෙයි. සතියේ සෑම දිනකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සිහින පියාපත් සඳුන්ගේ තෙවැනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයයි. ඉතින් මට අවසරයි, ආදරණීය චංචලා යන ටෙලි නාට්‍ය සහ උත්තරා සිනමාපටය ඔහු මීට ප්‍රථම නිර්මාණය කොට තිබිණි.
හිස් අහස දෙස බලාගෙන මන්දාකිණි කල්පනාවකය. මම ඇයගේ දැහැන බිඳ දැමුවෙමි. උදාරි වර්ණකුලසූරිය සිහින පියාපත් හි මන්දාකිණි වන්නීය.
කට්ටිය උදාරිට පොඩි මඩක් ගැහැව්වා.
ඒ මොකක්ද?
ලොකේෂන් එකට ආපු වෙලාවේ ඉඳලා ඉවක් බවක් නැතිව ඈනුම් යවනවා කියලා.
ඔව් අනේ මාර කේස් එක. ඒක දැන් පුරුද්දකට ගිහිල්ලා. ලොකේෂන් එකට ඇවිත් සීන් එකක් ඉවර වුණාට පස්සේ වැඩිපුර විවේකයක් ලැබුණොත් හරිම කම්මැලියිනේ. ඒ නිසා වෙන්න ඇති.
උදාරි, ඇත්ත තතු පැහැදිලි කළාය.
මොකද මේනක පේන්න නැත්තේ?
සඳුන්ගෙන් මම ඇසුවෙමි.
සාමාන්‍යයෙන් වෙලාවට එන්න ඕනේ. ඒත් අද ටිකක් පරක්කුයිනේ.
ඒ සමඟම සඳුන්ට දුරකතන ඇමතුමක්. ඒ කතාබහේදී මේනකගේ නම දෙතුන් වතාවක් පිට විණ.
නියම වැඩක් වෙලා තියෙන්නේ. මගේ ආදරණීය චංචලා එකත් මේ දවස්වල ෂූට් කරනවනේ. මේනකව ලොකේෂන් එකට ගේන්න කියපුවහම ඩ්‍රයිවර් මහත්තයා මේ ලොකේෂන් එක වෙනුවට චංචලා ලොකේෂන් එකට ගෙනහිල්ලා. සෑහෙන්න වෙලාවක් එතන ඉඳලා වටපිටාවේ කවුරුවත් නැති හින්දලු කතා කළේ. මේනකත් වෑන් එකේ නිදිලු. මං කිව්වා ඒ ලොකේෂන් එක නෙවෙයි සිහින පියාපත් ලොකේෂන් එකට එන්න කියලා.
ඔය වගේම තව වැඩක් වුණානෙ. සඳුන් තවත් රස කතාවකට මුල පිරුවේය.
සිහින පියාපත් නාට්‍යයේ නිල්මිණිලා දෙන්නෙක් රඟපානවා. ඒ නිල්මිණි තෙන්නකෝන් හා නිල්මිණි බුවනෙකයි. නිල්මිණි බුවනෙකව ගේන්න වාහනේ යැව්වා. අපි සීන් එකට රෙඩි වෙලා බලාගෙන ඉන්නවා ඉන්නවා වාහනේ නැහැ. බැලින්නම් වාහනේ ගිහිල්ලා තියෙන්නේ නිල්මිණි තෙන්නකෝන්ගේ ගෙදරට. අපෙත් වැරැද්ද. කිව්වේ නිල්මිණිව ගේන්න මිසක් මොන නිල්මිණි ද කියලා කිව්වේ නැහැනේ.
ස්වල්ප වේලාවකින් මේනක සහ ශලනි තාරකා පැමිණියහ. අයිරාංගනී සේරසිංහ, විල්සන් ගුණරත්න, නිල්මිණි තෙන්නකෝන්, ප්‍රියන්ත සෙනෙවිරත්න, ජනක කුඹුකගේ දර්ශන තලයේය.
ප්‍රියන්ත , සිහින පියාපත් හී ප්‍රධාන චරියක් වන කුලසේකර යුවළෙහි නිවස බලා කියා ගන්න විලියම්ය. කුලසේකර මහත්මිය ලෙස රඟන නිල්මිණි තෙන්නකෝන්ගේ සහ ප්‍රියන්ත රඟපෑ රාත්‍රී දර්ශනයක් රූ ගැන් වූයේ පෙර දවසකය.
මිසිස් කුලසේකර රාජකාරී නිමා වී සිය වාහනයෙන් නිවසට පැමිණෙයි. විලියම් පැමිණ නිවසේ ගේට්ටුව විවෘත කරයි. ප්‍රියන්ත, නිල්මිණිට පුංචි විහිලුවක් කිරීමේ අදහසක් පහළ විය. දර්ශනය මඳකට නැවතුණ තැන නිල්මිණි වාහනයෙන් බැස ගිය ඇසිල්ලේ ප්‍රියන්ත කාටත් හොරා එම වාහනේ පිටුපස දොර ඇරගෙන එයට රිංගා ගත්තේය.
එහි ඉතිරිය ප්‍රියන්තටම පවසන්නට මම ඉඩ දුන්නෙමි.
ආයේ සීන් එක ගනිද්දී නිල්මිණි වාහනයට නැග්ගා. මම එක පාරම ටිකක් සැර කට හඬකින් ‘නෝ . . .නා’ කිව්වා. නිල්මිණි කොච්චර බය වුණා ද කිව්වොත් ඇය කෑගහපු සද්දෙට මම නිල්මිණිට වඩා බය වුණානේ.
නිල් අහස වගේ සදරැල් පිරී
ඇස්වහක් නොවී හසරැල් නිතී
පෙනි පෙනි නොපෙනී යන ඔබ කවුදෝ
ඔබ කවුදෝ මන්දාකිණියේ
සමනල් සිහිනෙන් අවදි වුණා
ඔබෙ ආදර දෙව්දූ
සිහින පියාපත් ආදරණීයයි . . .
මා සිහින පියාපත් දර්ශන තලයෙන් සමුගෙන යන්නට හදද්දී කාගෙදෝ දුරකතනයකින් සිහින පියාපත්හී තේමා ගීතය වාදනය වනු ඇසිණ.
සිහින පියාපත්හි සෙසු නළු නිළි පිරිවර:
සනත් විමලසිරි, අංජලී ලියනගේ, ධර්මපි‍්‍රය ඩයස්, පුබුදු ගමගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, කුසුම් පෙරේරා, උදයංගනී සමන් කුමාරි, සංජුල දිවාරත්න, ඉරේෂා සඳමිණි.
අධ්‍යක්ෂ - සඳුන්

නිෂ්පාදන කණ්ඩායම:
කැමරාකරණය - මංජුල රෙෂාන්
කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි
සහය අධ්‍යක්ෂණය – නුවන් ප්‍රියන්ත
සංස්කරණය - සමීර මධු කිඳෙල්පිටිය
නිෂ්පාදන විධායක – ලලිත් වසන්ත, නීල් රුක්මන්, චන්න ජයනාත්
රචනය - සනත් සමරනායක
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
නිෂ්පාදනය – නිල්වලා එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money