Tuesday, October 25, 2011

පිස්සු හුටං පූසෝ

 සමන් අතාවුදහෙට්ටි
(2008 වසරේ කිංකිණි ප්‍රකාශනයක් ලෙස පළ කෙරුණු ‘එය මෙසේ සිදු විය’ කෘතියෙන් උපටා ගැනිණි).

එක් දහස් නවසිය පනස් ගණන්වල රජයේ චිත්‍රපට අංශයෙන් එළියට බට හිතුවක්කාරයන් කීප දෙනා අතර ටයි මහත්තයා ද විය. එතැන් සිට මෙතුවක් කල් චිත්‍රපටය මෙන්ම රූපවාහිනිය ද හසුරුවමින් ඔහුගෙන් මෙරට කලා කටයුතු පෝෂණය කරලීමට සිදු වූ දායකත්වය අති මහත්ය.
විශේෂයෙන්ම චිත්‍රපට සංස්කරණ කලාවේදී ටයි මහත්තයා දැක් වූ ප්‍රතිභාව පිළිබඳ පොත් ගණනාවක් ලිවිය හැකිය. මෙරටට හුරු පුරුදුව තිබූ සාම්ප්‍රදායික සංස්කරණ රීතිය සහමුලින්ම කණපිට හැර වූයේ ඔහුය.
චිත්‍රපටයේ ආත්මය හා බැඳුණු සංස්කරණ රිද්මයක් ඊට කාවද්දන්නට ටයි මහත්තයා කටයුතු කළේය. හාරලක්සෙ, සිහසුන, හඳයා වැනි චිත්‍රපට ඊට උදාහරණ සපයයි.
හාරලක්සෙ චිත්‍රපටය සඳහා ටයි මහත්තයා නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටය ද සංස්කරණ කලාවේ ‘වැඩ - කිඩ’ පෙන් වූ එකකි. හාරලක්සෙ ගැන කතා කරද්දී සිහියට නැෙඟන්නේ චිත්‍රපටය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද ටයි මහත්තයා දැක් වූ අපූර්ව ශිල්ප ක්‍රමයි. හාරලක්සේ මංකොල්ලය පිළිබඳ පුවත් පළ වී ඇති යෝධ පත්තර පිටුවක් ඉරාගෙන එළියට ඇදෙන, මෝටර් රථයක් මරදාන හන්දියේ සකස් කොට තිබිණි.
එය මංකොල්ලයට සම්බන්ධ කර ගත් මෝටර් රථයට සමාන එකකි. මේ යෝධ ප්‍රචාරක පුවරුව නරඹමින් මෝටර් රථ එළැවීම නිසා රිය අනතුරු කිහිපයක් ද සිදු වුණු බව මම අසා ඇත්තෙමි. ‘සිහසුන’ චිත්‍රපටයේදී ඔහු කළේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මිත සිහසුන විවෘත ලොරියක පටවා මහත් ගාම්භීර අන්දමින් රට වටේ ප්‍රදර්ශනය කිරීමය.
තමාගේ නිර්මාණකාරියේදී තමාට පාලනය කළ නොහැකි බලවේගයන් හේතුවෙන් ඒ ඒ නිර්මාණයන්ට සිදු වූ හානි පිළිබඳ ටයි මහත්තයා අදත් ඉතා කණගාටුවෙන් කතා කරයි. ‘මරුවා සමඟ වාසේ’ ඔහු අතින් නිර්මාණිත විශිෂ්ටතම සිනමා කෘතිය යැයි මා පිළිගන්නා නමුදු අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබුණේ ටයි මහත්තයාගේ ‘මරුවා සමඟ වාසේ’ නොවේ. බාහිර බලවේගයන්ට නතු වී නිර්මාණය කෙරුණු වෙනම ම චිත්‍රපටයකි.
චිත්‍රපටය රට වටේ ප්‍රදර්ශනය කරද්දී බොහෝ හිත් වේදනාවන්ට පත් වූවන් අතර ටයි මහත්තයා ද විය. අන්තිමේදී චිත්‍රපටය නැවත සංස්කරණය කොට තමන්ට අවශ්‍ය පරිදි නිිර්මාණය කිරීමට ටයි මහත්තයා තීරණය කළේය. මුළු චිත්‍රපටයම යළි සංස්කරණය කළේය. අන්තර් ජාතික කතෝලික චිත්‍රපට පර්ෂදයේ අනුග්‍රහයෙන් එය රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේය. නමුත් එය නැරඹීමේ වාසනාව ලැබුණේ සීමිත පිරිසකට පමණි.
ටයි මහත්තයා රූපවාහිනියට නිර්මාණය කෙරුණු ‘රන් කහවණු’ප්‍රාසංගික නාට්‍යය ද ඔහු නැවත සංස්කරණය කළේය. පැය එකහමාරකට හෝ දෙකකට හෝ සංස්කරණය කෙරුණු ‘රන් කහවනු’ බලද්දී නම් එය ටයි මහත්තයාගේ නාට්‍යයක් ලෙස අපට හැඟුණි.
ටයි මහත්තයා සම්බන්ධයෙන් බොහෝ රස කතා ගෙතී තිබේ. ‘රන් කහවණු’ නාට්‍යය සඳහා වරායේ දර්ශනයක් රූගත කෙරිණි. මේ දර්ශනය විකාශය වූ සැණින් වරායේ සේවය කරන මිතුරෙක් මා ඇමතීය.
‘උඹලගේ රූපවාහිනියේ නාට්‍ය අංශය, ප්‍රවෘත්ති අංශයටත් වැඩිය දියුණුනේ බං’ ඔහු කීය.
‘අද හවස තොටවත්ත මහත්තයා වරායට ඇවිත් නාට්‍යයක දර්ශන වගයක් ගත්තා. එවා අද රෑ මේ පොඩ්ඩකට කලින් රන් කහවණු නාට්‍යයේ පෙන්නුවා. දැනට දවස් දෙකකට කලින් අපේ වරායේ අලුත් අංශයක් විවෘත කළා. ඒක තාමත් ප්‍රවෘත්තිවලට පෙන්නුවේ නෑ.’
ටයි මහත්තයා ඔහුගේ ‘හඳයා’ චිත්‍රපටය සඳහා ප්‍රංශ ජාතිකයකු සම්බන්ධ කර ගත්තේය. එවක මේ ප්‍රංශුවා සේවය කළේ මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේය. අප ඔහු දැන හඳුන ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි.
ඔහු අපේ විද්‍යාලයට පැමිණියේ ළමුනට ප්‍රංශ උගැන්වීමටය. මේ ප්‍රංශුවා අපට දුන් පාඩම් පොත් තවම මගේ පොත් පෙට්ටියේ තිබේ. මොකක්දෝ අහේතුවකට ඒ කාලයේ අපට ‘ප්‍රංශ රසය’ දැනුණේ නැත. ඒ නිසා කොල්ලෝ බොහෝ දෙනෙකු ප්‍රංශ පාඩමෙන් මග හැර ගියහ.
පසු කලෙක මේ ප්‍රංශුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියකුගේ භූමිකාව නිරූපණය කරමින් සිංහල සිනමාවට ද පිවිසියේය. ඔහුගේ නම ‘යාන් පියරේ ඔතෑන්’ය’ නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු ‘ඔතෑන්’ වුව ද එය ලියැවෙන අයුරින්, අපට හුරු පුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ ‘හුටං’ යනුවෙනි.
ටයි මහත්තා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතූයේ ‘හුටං’ කියාය. හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.
‘කෝ මේ පුංචි හුටං? එතකොට කෝ ලොකු හුටං . . . කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටංලා?’ බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය. සිංහල භාෂාවට ‘පිස්සු හුටං’ ය වදන එක් වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි.
ඒ දිනවල හුටං පවුල පදිංචිව සිටියේ බගතලේ පාර අසබඩය. රූගත කිරීම් සඳහා පුංචි හුටංව කැඳවාගෙන ඒමට ටයි මහත්තයා යන විට ඊටම එල්ලිලා යාමට අපේ පොඩි මනාපයක් විය. එසේ ගිය විට අපව උණුසුම් අන්දමින් පිළිගන්නේ හුටං මහත්මියයි.
ඇය සුන්දර දෙවඟනක් බඳු රූපශ්‍රියාවෙන් යුතු මිත්‍රශීලී යෞවනියකි. සැමවිටම අප සමඟ අල්ලාප සල්ලාපයට වැටෙන ඈ ලෙමන් ජින් වඩි කීපයකින් අප සන්තර්පණය කරන්නට ද අමතක නොකරන්නීය. මාගේ මේ සිද්ධිය සටහන් කළේ ටයි මහත්තයාගේ නිර්මාණ මෙන්ම ඒ පිටුපසත් බොහෝ සුන්දර සිද්ධීන් තිබෙන බව සිහිපත් කිරීමටය.
කෙසේ වෙතත් මාව නළුකමට ගෙන රූපවාහිනී නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ ඕනෑකමක් ටයි මහත්තයාට තිබිණි. ඒ පිළිබඳ අපි බොහෝ කාරණා කාරණා සාකච්ඡා කළෙමු. නමුත් එය සැබෑවක් බවට පත් කර ගැනීමට ඉඩකඩක් උදා වූයේ නැත. ටයි මහත්තයාට ‘මපට්’ලා හමු වුණේ ද ඔය වකවානුවේමය. මාව රඟපෑමට නො ගැනීමට එය ද හේතුª වන්නට ඇත. ටයි මහත්තයා චිත්‍රපට සංස්කරණය කරනු බලා සිටීම ද ඉතා සුන්දර අත්දැකීමකි. එහෙන් මෙහෙන් කපා දැමූ නෙගටිව් පටි රාශියක් බෙල්ල වටේ දමාගෙනය. දේශපාලනඥයෝ දැමූ මල් මාලා මෙනි. සංස්කරණ මේසයේ රීලය එහා මෙහා දුවවමින් එක්විටම එය නවතයි. කපයි. බෙල්ල වටේ ඇති නෙගටිව් මාලය දෙසවත් නොබලමින් එහි කෙළවරවල් අතරින් අතැඟිලි එහාට මෙහාට යවයි. ‘කිරිස්’ ගාමින් ඉන් එක් පටියක් එළියට අදියි. කැපූ තැනට එය අලවයි. ඇස්වහක් කටවහක් නෑ හරියටම හරි! මේ අන්දමේ අලුත් අලුත් තාලේ මැජික් වැඩවලට ටයි මහත්තයා දක්ෂය.
අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නගී’ ටයි මහත්තයාගේ තේමා පාඨයයි. විරිත් වැකියේ එන මේ අදහසට මෙන්ම එය ලියූ කුමරතු¼ගුන්ට ද ටයි මහත්තයා ගරු කරයි. චිත්‍රපටයට, රූපවාහිනියට හෙළ බස ගෙන ආයේ ටයි මහත්තයායි. එයත් එක්තරා අන්දමක අලුත් වැඩකි.
ජීවිතයේ එක්තරා යුගයක ඔහු සාමාන්‍ය ගමන් බිමන් සඳහා වාහන පාවිච්චි කළේ නැත. ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ගියේ පයිනි. වාහනයක ඉඩ කඩ තිබී ඇරයුම් ලද විටෙකත් ‘උඹල පලයල්ලා, මං එන්නං පයින්’ කියමින් පයින්ම ආයේය. ඒ කාලයේ පාන්දර හතරට හතර හමාරට පමණ ටයි මහත්තයා බොරැල්ල පැත්තේ පාර අද්දරදී අපට හමු වී තිබේ. ඒ ටයි මහත්තයා ‘මෝර්නිං වෝක්’ එක යන වෙලාවය!
මහා භාරතය, රාමායනය සේ අපේ මහාවංශය ඇසුරෙන් දැවැන්ත රූපවාහිනී නිර්මාණයක් කිරීමට ටයි මහත්තයා සැලසුම් කළේ මෑතකදී අප දුටු මහා භාරතය, රාමායනය නිර්මාණය කිරීමට ඔවුන් සිතන්නටත් පෙර කාලයකය.ෙ;ම් අදහස අදත් ටයි මත්තයාගේ සිත්හි පැසවමින්, පෝෂණය වෙමින් පවත්නා බැව් මම දනිමි.
කෙසේ වෙතත් මේ සටහන අවසන් කිරීමට පෙරාතුව ටයි මහත්තයා ගැන ඔබ නොදන්නා කරුණු කීපයක්ද සඳහන් කළ යුතුය. ඔහුට ගෝලයන් පිහිටන්නේ නැත. සහායකයින් ද පිහිටන්නේ නැත.
ඔහුගේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරු, ඊළඟ චිත්‍රපටයට සම්බන්ධ වූයේ නැත. ටයි මහත්තයාගේ සහායට වැඩ කිරීම සිරීපාදේ නැගීම වැනි වැඩකි. නැග්ගේ නැති මිනිහාත් මෝඩයෙකි. එක පාරට වඩා නගින මිනිහාත් මෝඩයෙකි.
බොහෝ සහායකයින් ටයි මහත්තයගෙන් සමුගනිද්දී නොසෑහෙන කාලයක් ඔහුගේ සහායට සිටිමින් වාර්තාවක් පිහිට වූවෙක් ද සිටී. ඒ රූපවාහිනියේ අතුල රන්සිිරිලාල්ය.
ටයි මහත්තයා ගැන බොහෝ අය නොදන්නා අනෙක් කාරණය නම්, ඔහු ඉතා හොඳ නැට්ටුවෙක් වීමයි. ටයි මහත්තයා නැටුම් කලාව ප්‍රගුණ කළේ චිත්‍රසේන, ශේෂා පලිහක්කාර වැන්නවුන් ඇසුෙර්ය.
ටයි මහත්තයා ගීත ද ගායනා කරයි. හැබැයි ඒ නා ගන්නා විට වතුර මල තදින් ඇරගෙන පිට කාටවත් නොඇසෙන පරිදිය.
නිර්මාණ කාර්යයේදී යෙදෙද්දී ද දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගොස් ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතයි. ටයි මහත්තයා ද එසේය. ටෙලි නාට්‍යයක් රූගත කරන විට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.
‘පුතා, උඹ කෑවද?’ ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.
‘ඔව් ටයි අන්කල්, කෑවා’ කැමරා ශිල්පියා උත්තර බැන්දේය.
‘ආ . . . උඹ කාපං . . . උඹ කැවොත් ඇති. අනිත් උන් බඩගින්නේ මළත් උඹ කාපන්’ ටයි මහත්තයා බැණ අඬගෑවේය. පසු දින ද ටයි මහත්තයා රවුම් ගසා ආවේය.
‘පුතා උඹ කෑවද?’ ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය. ඊයේ ‘කෑවා’ යැයි කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.
‘නෑ, ටයි අන්කල් . . . කෑවේ නෑ’ කැමරා ශිල්පියා කීය.
‘ආ . . . උඹ කන්න එපා . . . උඹ බලාගෙන හිටපන් කවුරු හරි කෑම එක අනලා ගෙනල්ලා උඹේ කටේ ඔබන කල්’ ටයි මහත්තයා බැණ අඬඟෑවේය.
ඒ ටයි මහත්තයාගේ හැටිය. ඔහුට උත්තර බැඳීය යුත්තේ ඔහුගේ හැටි හොඳ හැටි තේරුම් ගෙනය. නැත්නම් විනාශය! අපි තේරුම් ගෙන ඇති හැටියට ඒ වෙලාවේ උත්තර බඳින්නට තිබුණේ මෙහෙමය.
‘කෑවා මොකද – නොකෑවා මොකද . . . අපි ආවේ මේ වැඩේ කරන්නනේ . . . ඒක කරලා ඉම්මුකෝ.’
ඇමතිවරයකු පිළිබඳ කලකිරීමෙන් රූපවාහිනියේදී දිනක් ඔහු මෙසේ කීවේය.
‘අද ඇමති - හෙට නොමැති . . .’
වචන හරඹය සම්බන්ධයෙන් ඔහුගේ කුසලතාව අති මහත්ය. ඔහු සමඟ කටින් ජය ගත හැකි අය වෙතොත්, ඒ ඉතාම සුළු පිිරිසකි.
‘පිස්සූ පූසා’ රූපවාහිනී වැඩසටහන සඳහා නිර්මාණය කෙරුණු තේමා ගීතයේ මෙසේ සඳහන් විය.
‘පිස්සා මූ - පිස්සා මූ - පිස්සු පූසා මූ’
මෙය ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන වැඩසටහනක් නිසා ’මූ’ යන වචනය යෙදීම නුසුදුසු නොවේදැයි අපි විමසීමු.
‘මූ කියන්නේ නරක වචනයක්යැ . . . දැන් ඔය ඉන්නේ වි. ජ. මූ. එතකොට දී. මූ. ටයි මහත්තයා ලිස්සා යමින් කීය.

Copy Rigts - Sarasaviya

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money