රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයිපුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති. සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක. මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ. මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන. පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට ළමයින්ට නලියන්නෙ නැතිව ඉන්න බෑ කියන්නෙත් නිකන් නෙවෙයි නේ. අපේ බබා කියන විදිහට එයා පුංචි කාලේ බීලා තියෙන්නෙ එළ කිරි නෙවෙයි, අලි කිරි. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? පුතාලාට මම පොඩි කාලේ දුන්නෙ එළකිරි. ඉතින් මම දවසක් එයාලට එලිෆන්ට් හවුස් එකෙන් එළකිරි ගෙනහල්ලා දුන්නා. ඒ කිරි බෝතලේ පිටතින් එලිෆන්ට් හවුස් කියලා වගේම ලාංඡනයේ ඉන්නේ අලියානේ. ඒ නිසා බබා හිතලා තියෙන්නේ එයා බොන්නේ අලි කිරි කියලා. හිතලා විතරක් නතර වුණා නම් මදැයි. එයා බොන්නෙ අලි කිරි කියලා යාළුවන්ටත් කියලා. හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා. මෙයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හවසට අර අඹ ගහේ අත්තක ලනුවක් ගැට ගහනවා. ඊට පස්සේ ටාසන් වගේ පොකුණේ ඒ පැත්තටයි මේ පැත්තටයි ලනුවෙ එල්ලිලා කෑ ගගහා යනවා. හැබැයි සේරම දඟ වැඩ ගෙදරදි තමයි. ඉස්කෝලෙදි නම් දඟ නෑ. කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉස්කෝලෙදී මොහොකටම හරි පුතාව තෝර ගත්තොත් ‘අනේ මට ලැජ්ජයි’ කියලා අයින් වෙනවා. පුංචි කාලේ පිරිසක් ඉදිරියේ වේදිකාවකට නග්ගන්න නම් කොහෙත්ම බෑ. දවසක් බබාව ගායනා තරගෙකට ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා. මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා. හැමදාම පුහුණුවීම්වලට යන අතරවාරෙදි මගෙන් අහන්නෙම, ‘අම්මෙ කොහොමද මං සෙනඟ ගොඩාක් ඉස්සරහ සින්දු කියන්නේ? මට ලැජ්ජයි අම්මෙ, මම අසනීප වුණොත් මොකද වෙන්නේ’ වගේ දේවල්. පස්සෙ ,පස්සෙ මටත් බය හිතුණා දරුවාට ගායන තරගෙ මානසික වදයක් වේවි කියලා. ඒ නිසා මගේ උනන්දුවත් ටික ටික අඩු වුණා. කොහොම හරි පුතාම හිතලා හිතලාම කැස්සක් හදා ගත්තා. එතනින්ම එයාගේ ගායන තරගෙත් අවසන්. දැන් නළුවෙක් වුණාට පුංචි දවස්වල ඔය වගේ තමයි ඉදිරිපත් වීමේ හැකියාව. බබා පොඩි කාලේ නම් මම හිතුවෙ එයා කවදා හරි විද්‍යාඥයෙක් වේවි කියලා. එයාට ඉස්කෝලේ යන කාලේ ගෙදර පුංචි විද්‍යාගාරයකුත් තිබුණා. එයයි තව එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විවිධ අත්හදා බැලීම් කරනවා විද්‍යාගාරයේදී. පුතාගේ පුංචි විද්‍යාගාරය තිබුණේ අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. දවසක් මම කාමරේට ගිහාම දැක්කා ඇසිඩ් තියෙනවා. ඒක දැක්කාම මට හොඳටම බය හිතුණා. පොඩි අයනේ, මොනවා හරි කරන්න ගිහිල්ලා ඇසිඩ් කාගේ හරි ඇඟකට වීසි වුණා නම් . . . නමුත් ඉතින් හැම දේම වෙන්නේ දෛවය අනුවනේ. පුංචි කාලේ සිංදුවක් කියන්නවත් ඉදිරිපත් නොවුණු මගේ ලොකු පුතා දැන් රටම දන්න, රටම ආදරය කරන නළුවෙක්. මට ඒ ගැන සන්තෝසයි. |
0 comments:
Post a Comment