Friday, January 6, 2012

සීනි බෝලයක් වෙන්න මට ඕනැ නැහැ

උද්දික ප්‍රේමරත්න
නවරත්න පරම්පරාවේ කොටස්කාරයකු වන ‘භූපති නවරත්න’ අපි හිතන ජාතියේ මිනිසෙකු නම් නෙමෙයි. කරන්න පුළුවන් හැම සටකපටි වැඩක්ම කරමින් භූපතිගේ උත්සාහය දියුණු වෙන්න. භූපතිට ඔය තරම් කොයි කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද?
”ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක ප්‍රශ්නාර්ථයක් විදිහටම කියමු. මොකද භූපති කියන්නේ නවරත්න පරම්පරාවේ අංකුර සාමාජිකයෙක්. ඒ වගේම රාජකීය මාන්නයක් ඔළුවේ තියාගෙන භූපති ඉන්නේ. නිදන්වස්තු ගැනත් මිනිහා හරි උනන්දුයි. ඒත් භූපතිට මොනවා වෙයිද කියන එක අපි බලන් ඉඳිමු.”
මේ දිනවල රාත්‍රි 9 වෙනකොට භූපති රටවටා කරක් ගසන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබටත් මුණගැහෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔහු මොනවද කරන්නේ කියලා ටිකක් ඇහැගහගෙන ඉන්න. කවුද මේ භූපති කියලා විපරම් කරන අතරේ දවසක් අපිට භූපති මුණගැහුණා.
”මට ඔය තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ පරම්පරාවේ බූදලයත් මාන්නයත් හින්දා. අපේ පරම්පරාව ලෙහෙසි පහසු පරම්පරාවක් නෙමෙයි. නවරත්න පරම්පරාව කිව්වම කා අතරත් අපි කවුද කියලා දෙපාරක් අහන්න අවශ්‍ය නැහැ. ඒත් ඔය තත්වයට මාව ඇදගෙන වැටුණේ විමලරත්න අධිකාරිත් කේ.බී. හේරත් යන දෙදෙනා නිසයි.
පැහැදිලිවම මට කියන්න ඔබ රංගන ශිල්පියෙක් ද?
ඔව්.
එහෙම නම් රංගනය පිළිබඳ ඔබට පූර්වාදර්ශ වුණේ කවුද කියලා ඇහැව්වොත්?
මේ මුළු විශ්වයම මට පූර්වාදර්ශ සපයනවා. අපේ රටේ මිනිසුන්, පිටරට මිනිසුන් මේ විශ්වයම ඒකට ගෝචරයි. ඔය භූපති වගේ මිනිස්සු කොයි තරම් අපි අතරේ ඉන්නවද? මම ඔවුන්ව පැහැදිලි කරගන්නවා. අපිට ඇකඩමියක් අවශ්‍යයි. රංගනයට ඇකඩමියක් අවශ්‍ය වුණත් ඊට වඩා මේ මුළු විශ්වයේ තියෙන ප්‍රායෝගික දැනුම අප සොයා යා යුතුයි. රංගන ශිල්පියෙක් නිරන්තරයෙන් සොයායාම් කළ යුතුයි. පාඨමාලාවකින් එය සොයනවට වඩා සමාජය අධ්‍යනය කිරීමෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.
දැන් ඔබ ජනපි‍්‍රය චරිතයක්ද?
මම හිතන්නේ මම ජනපි‍්‍රය නැහැ.
ඇයි ඔබ එහෙම කියන්නේ.
ජනපි‍්‍රයත්වය කියන දේට වඩා මම හිතන්න කැමැතියි මම කරන චරිතය පිළිබඳව. ඒ පිළිබඳ උනන්දුව විතරයි මට තියෙන්නේ. එහි ප්‍රතිඵලය සියයට ගණනකින් වැඩිකරගන්නයි මම උත්සාහ කරන්නේ. ඒ හැර ජනපි‍්‍රයත්වය ගැන මට ඒ හැටි තැකීමක් නැහැ. එය තාවකාලික දෙයක් විතරයි.
ඔබේ පරම්පරාවේ අනාගතය පිළිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
ඔබ අහන්නේ රංගනය පිළිබඳවද?
ඔව්?
ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා මට බයක් හැකක් නැතිව කියන්න පුළුවන්. උදාහරණ වුණත් අරගෙන කියන්න පුළුවන්. නමුත් වර්තමානයේ පවතින ටෙලිනාට්‍ය කලාවත් එක්ක අපිට කෙළින් පිළිතුරක් දෙන්න බැහැ. නමුත් අපේ කලින් පරම්පරාව ගත්තම විශාල පිරිසක් ඉන්නවා. ඒකට හේතුව හොඳ නිර්මාණ බිහිවුණා ඒ අයට. දැන් අපේ පරම්පරාව ගත්තත් ඉතාම දක්‍ෂයි. නමුත් අපට හොඳ නිර්මාණ නැහැ. තියෙනවා නම් තියෙන්නේ අතළොස්සයි.
හොඳ නිර්මාණ බිහිනොවෙන්න මොකක්ද හේතුව?
මේක පැහැදිලිවම බිස්නස් එකක් කරගෙන ඒකයි.
තමන්ට ලැබෙන ඕනැම චරිතයක් භාරගන්න ඔබ සූදානම්ද?
නැහැ කොහෙත්ම මම ඒකට සූදානම් නැහැ.
නමුත් ඔබ රංගන ශිල්පියෙක්නේ?
ඔව් ඒක ඇත්ත. යථාර්ථයට අනුගත වෙන්න පුළුවන් චරිත, මේ ලෝකේ පවතින චරිත ප්‍රතිනිර්මාණය කරන්න මම ආසයි. එහෙම නැතුව සීනි බෝලයක් වෙන්න මට ඕන නැහැ.
එළැඹුණු 2012 වර්ෂයේ ඔබේ නැවුම් බලාපොරොත්තු ගැන කතා කරමුද?
මගේ ජීවිතයේ සුවිශේෂි වසරක් වෙයි. විශේෂයෙන්ම මගේ, ළඟ චූන් නැහැ. ඒ නිසා සාධාරණව හොඳ ගමනක් යන්න මට අවශ්‍යයි. මේ වසරේ සිනමාවට ලොකු දායකත්වයක් මගෙන් ලැබෙයි කියලා මම කියන්න ඕන.
මීට ටිකකට කලින් අප කතා කළ භූපති නවරත්නගෙන්ම මේ කතාබහ අවසන් කරමු.
ඔව් උද්දික ප්‍රේමරත්න කියන මම මේ දිනවල කාටත් සමීප භූපති නවරත්න විදිහට. ඇත්තටම මා කළ හොඳ චරිතයක් ‘ඉසිවර රණකෙළි’ ටෙලි නාට්‍යයේ භූපති. ඒ සඳහා අධ්‍යක්‍ෂක විමලරත්න අධිකාරි වගේම පිටපත් රචක කේ.බී. හේරත් මහත්වරුන්ට මම කෘතගුණ විය යුතුයි. කලකට පසු ජාතික නාලිකාවට එක්වුනු නැවුම් කතා පුවතක් විදිහටයි මම ‘ඉසිවර රණකෙළි’ ටෙලිනාට්‍යය දකින්නේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money