Wednesday, January 4, 2012

ජනවාරි 21 වැනිදා සිනමාවේ උපන් දිනයට කුස පබා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුලුඳුල් චිත්‍රපටය ‘අනුපමා’ තිරගත වූයේ 1978 දෙසැම්බර් 22 වැනි දිනය. එය තිරගත වීමට මත්තෙන් තවත් චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහුට අවකාශ ලැබිණ.
එලෙස සිනමා නිර්මාණයෙහි යෙදුණ සුනිල් ආරියරත්නයන් මේ වනවිට චිත්‍රපට දහ අටක් තනා තිබේ. සිංහල සිනමාවට හැටපස් වසරක් සපිරෙන 2012 ජනවාරි 21 වැනිදා සිට ඔහු යළිත් ප්‍රේක්ෂකයා අතරට එක්වන්නේ සිය අභිනව චිත්‍රපටය ‘කුස පබා’ සමගිනි. සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන ‘කුස පබා’ පිටපත් පනහක් මුද්‍රණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වේ.
සුනිල් ආරියරත්නයන් සමඟ මෙම සංවාදය ගොඩ නැෙඟන්නේ එකී සුබ කටයුත්ත ප්‍රස්තුත කොට ගනිමිනි.
ඔබේ නවතම චිත්‍රපටය තිරගත වන්නේ අපේ සිනමාවට හැටපස් වසරක් සපිරෙන සුබ මොහොතේ. මුලින්ම ඒ පිළිබඳ යමක් කියන්න?
මම හිතනවා මම ඉතාම භාග්‍යසම්පන්නයි කියලා. මොකද පළමුවැනි කතානාද චිත්‍රපටය පෙන්වන කොට මම ඉපදිලාවත් නැහැ. ඒ චිත්‍රපටය ගැන තොරතුරු අපි දැනගත්තේ පැරැණි අය කියන දේවල්, තිස්ස නාගොඩවිතානයන් ගාව සංරක්ෂණය වෙලා තියෙන ‘කඩවුණු පොරොන්දුවේ’ කොටස් සහ විවිධ පර්යේෂණ කටයුතු සඳහා හතළිස් හතේ පත්තර පෙරළන කොට තිබුණ දැන්වීම් ආදියෙන්. සිනමාවට අවුරුදු හැටපහ පිරෙන කොට එදා ඉපදී හිටපු නැති මගේ චිත්‍රපටයක් ඒ උපන් දිනය නිමිත්තෙන් රට පුරා ප්‍රදර්ශනය කරන්න ලැබෙන එක ඇත්තෙන්ම මගේ භාග්‍යයක්.
එදා ‘කඩවුණු පොරොන්දුව’ කිංස්ලි සිනමා හලේ එක් පිටපතයි ප්‍රදර්ශනය කළේ. නමුත් ප්‍රථම වරට පිටපත් පනහක් මුද්‍රණය කරලා සිනමාහල් පනහක චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න එදාට අපට අවස්ථාව ලැබෙනවා.
ඔබට තවම වයස අවුරුදු හැට පහක් නෑ. එතකොට?
නැහැ, නැහැ. තවම මට එච්චර වයස නැහැ.
එදා අපේ චිත්‍රපට දෙවැනි, තුන්වැනි වටවල ප්‍රදර්ශනයෙන් ඉහළ ආදායමක් ලැබුවා. නමුත් වර්තමානයේ පළමු වටයෙන්ම පිටපත් වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඔබේ චිත්‍රපටයත් ඊට උදාහරණයක්?
ඇත්තෙන්ම ඉස්සර සිනමා මණ්ඩල පහක් තිබුණා. ඒවායෙහි තරගකාරී ලෙස චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. අද සිනමා ශාලා විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙලා තියෙනවා. ජාතිවාදී කෝලාහල නිසා සමහරක් සිනමාහල් පුළුස්සා දැම්මා. සමහරක් ඒවා බංකොලොත් වීම නිසා වසා දැම්මා.
ඇත්තටම අපේ සිනමාවට ඉතාම නරක කාලයක් උදා වෙලා තිබුණා. ඒ කියන්නේ 71 කැරැල්ල. ඊට පස්සේ තිස් අවුරුදු යුද්ධය. මේ දේවල් නිසා අඳුරු සිනමා ශාලාවකට නරඹන්නෙක් ඇතුළු නොවන තත්ත්වයට පත්වෙලා තිබුණා. රටේ තිබුණ අවදානම් තත්ත්වය නිසා චිත්‍රපටයක් නරඹලා රාත්‍රියේ බස්වල යන්න මිනිස්සු කැමැති වුණේ නැහැ. රාත්‍රී 9.30 දර්ශන අවලංගු කළා. ඇරලා තිබුණ රෑ කඩ වසා දැම්මා. කොටින්ම මිනිස්සුන්ට නගරයේ රාත්‍රී කාලය අහිමි වුණා. මේ තත්ත්වය ආරම්භ වුණේ 71 කැරැල්ලත් එක්ක.
ඉන් පසු 89 කැරැල්ල. උතුරේ යුද්ධය මේ හේතූ®න් නිසා තවදුරටත් එකී මණ්ඩල පහ පැවැතුණේ නැහැ. ඒක නිසා පළමු වටෙන් පස්සේ, දෙවැනි වටයකට යන්න සිනමා ශාලා අඩු වෙලා තියෙනවා. සිනමා මණ්ඩල ප්‍රමාණයත් බැහැලා. අද දකින්න ලැබෙන්නේ මේ සිනමා මණ්ඩල අන්‍යෝන්‍ය සුහදතාවයෙන් යුක්තව එක් සිනමා මණ්ඩලයකින් තවත් සිනමා මණ්ඩලයක සිනමා ශාලා ණයට අරගෙන චිත්‍රපට පෙන්වීමේ සිරිතක්. ඒ අනුව තමයි ඊ. ඒ. පී. මණ්ඩලය සී. ඊ. එල්. සහ රිද්ම සිනමා මණ්ඩලත් සමඟ ඒකාබද්ධ වී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ.
බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරු නඟන මැසිවිල්ලක් තමයි තමන්ගේ චිත්‍රපටය නිසි කලට ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වීම. නමුත් රූගත කර ඉතාමත් කෙටි කලකින් ප්‍රදර්ශනය සඳහා ‘කුස පබා’ මුදා හැරෙනවා. ඒ අතිනුත් ඔබ වාසනාවන්තයි?
ඒ සම්බන්ධයෙන් ඊ. ඒ. පී. සිනමා මණ්ඩලයේ අධිපති අසංක එදිරිසිංහ මහතාට මා ස්තුතිවන්ත වෙනවා. ඔහුට අවශ්‍ය වෙලා තිබුණා සිනමාවට හැට පස් වසරක් පිරෙන අවස්ථාවේදී විශේෂ වූ සිනමා නිර්මාණයක් එළි දක්වන්න. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ මේ චිත්‍රපටය.
ඊට හේතුව මේ චිත්‍රපටය ඓතිහාසික කතාවක් හා දැවැන්ත චිත්‍රපටයක් පමණක්ම වීමම නොවේ. මෙය මේ රටේ සිනමා කරුවන්ගේ චිත්‍රපටයක් වීමයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය. මෙතෙක් අපේ සිනමා ඉතිහාසයේ මේ තරම් පිරිසක් එකතු වෙලා මේ තරම් ප්‍රබල සංවිධානයක් ගොඩ නගාගෙන තිබුණේ නැහැ චිත්‍රපට නිෂ්පාදනය පැත්තෙන්.
මේ පිරිස කොපමණ සංඛ්‍යාවක්ද?
අඩුම වශයෙන් සියයකට ආසන්න පිරිසක්. මේ රටේ ප්‍රවීණ, ජනප්‍රිය නිෂ්පාදක, අධ්‍යක්ෂවරු විශාල පිරිසක් මේ සංසදයේ සාමාජිකත්වය දරනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ගත්තොත් දොළොස් දෙනෙක්.
ඒ පිරිස හඳුන්වා දෙනවා නම්?
මෙහි විධායක නිෂ්පාදනයෙන් සෝමරත්න දිසානායක සහ රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායක වෙනවා. ඊට අමතරව ධම්මික සිරිවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී. ප්‍රනාන්දු, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රජිත ජිනසේන, ජස්ටින් බෙලගමගේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ලෙස කටයුතු කරනවා.
මේක විවිධ තරාතිරමේ සිනමාකරුවන් නියෝජනය කරන චිත්‍රපටයක්. ඒ නිසා මම හිතනවා මෙතනදි අසංක එදිරිසිංහ මහතා ගෙන තිබෙන්නේ නිවැරැදි තීරණයක්කියා දින හතළිහකින් රූගත කිරීම් නිම කරලා, මාස කිහිපයකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇත්තෙන්ම මේ නිෂ්පාදක කණ්ඩායමේ එකමුතුව, සහයෝගය මතයි. බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය නොකෙරෙන බවට අනාවැකි පළ කර තිබුණා.
දැන් චිත්‍රපටයේ ලාභය බෙදා ගැනීමේදී අවුලක් වෙන එකක් නැහැ?
නැහැ. මේක අපි ඇත්තටම ගිවිසුම් අස්සන් කරලා නීතිඥයෙක් ඉදිරිපිට, බොහොම විනිවිදභාවයෙන් යුක්තව තමයි සිදු කළේ. අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන් කපා හැරලා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. නළු, නිළියන්, කාර්මික ශිල්පීන් මේ සියලුම දෙනා ඉතා හිතවත්ව මේ කටයුත්තට සහයෝගය ලබා දුන්නා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔබ තෝරා ගෙන තිබෙන්නේ ජැක්සන් ඇන්තනි සහ පූජා උමාශංකර්. ඒ ගැලපීම නිවැරැදියි කියා ඔබ සිතනවාද?
ඔව්. ලංකාවේ මම හිතන්නේ ‘කුස’ ගේ චරිතය නිරූපණය කරන්නට ජැක්සන් ඇන්තනි හැර වෙනත් නළුවකු ගැන මට කිසිසේත්ම කල්පනා වුණේ නෑ. මොකද මෙතෙක් ඔහු සිනමාවේ ඉදිරිපත් කළ රංගනයන්ගෙන් ඔප්පු කර තිබුණා ඔහු අති දක්ෂ නළුවකු බව. බොහෝ නළු නිළියන්ට වේදිකාවත්, සිනමාවත් සමතුලිතව පවත්වා ගැනීම අසීරුයි.
ඒ කිව්වේ වේදිකා නළු නිළියන් සිනමාවේදී අසාර්ථක වෙනවා. සිනමා නළු නිළියන් වේදිකාවේදී අසාර්ථක වෙනවා. නමුත් ජැක්සන් මේ දෙපැත්තම සමබරව පවත්වාගෙන ගිය අති දක්ෂ නළුවෙක්. ඔහු ඒ විශ්වාසය මේ චරිතය මගිනුත් තහවුරු කළා. ඒ වගේම මේ තිර නාටකය ලියන අවධියේ තිස්ස අබේසේකරයන් යෝජනා කළේ පබාගේ චරිතයට ගැළපෙනම නිළිය පූජා කියලා.
පූජාගේ රංගනය ගැන කතා කළොත්?
ඇය විදේශික නිළියක් හැටියට හඳුන්වා දෙන්නට මම කැමැති නැහැ. ඇය සිංහල, බෞද්ධ මවකගේ දැරියක් හැටියට මම දකින්නේ. ඒ වගේම ඇය අපේ සිනමාවට ලැබුණ දායාදයක්.
පූජාත්, ජැක්සන් වගේම මගේ විශ්වාසය තහවුරු කළා. ඇය මේ චිත්‍රපටයේ සියලුම සිංහල දෙබස් ඛණ්නඩ අකුරෙන් ලියාගෙන, ඊට පස්සේ වචනයක්, වචනයක් පාසා එහි තේරුම ඉංග්‍රීසි බසින් ලියාගෙන තමයි දෙබස් කැවීම් සිදු කළේ. ඇය මෙහි දීර්ඝ දෙබස් කියාගෙන යනවා. නමුත් කිසිම අවස්ථාවක එහි පෙළ මතක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඇය මුලු පිටපතම කට පාඩම් කරගෙනයි දර්ශන තලයට ආවේ.
ඇගේ ගති, පැවැතුම් ගැන ඔබට හැඟුණේ මොනවාද?
පූජා මේ චරිතයට සුවිශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවලදී ඇයට රූගත කිරීම් නැති අවස්ථාවලදී පවා දර්ශන තලයට ඇවිත් අනෙක් නිළියන්ගේ දහදිය පිස දමමින්, ඔවුන්ට තේ අල්ලමින්, සත්කාර කරමින්, ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් සකස් කරමින් සුවිශේෂ සහයක් ලබා දුන්නා. දර්ශන තලයේදී නිළියක් වුණා වගේම ඉන් පිටතදී ඇය නිෂ්පාදක කණ්ඩායමේ සහායිකාවක් හැටියට කටයුතු කළේ.
මම හිතන්නේ පූජාගේ ක්‍රියා පිළිවෙත අපේ ඇතැම් නිළියන්ට හොඳ ආදර්ශයක්?
මට චිත්‍රපට දහ අටක් අධ්‍යක්ෂණය කරලා අත්දැකීම් තියෙනවා. බොහෝ සිනමා නිළියන් දර්ශන තලයේ තමාගේ භූ®මිකාව නිරූපණය කළාට පස්සේ ආගන්තුකයන් බවට පත් වෙනවා තමන්ගේ කණ්ඩායමේ. මටත් එබඳු අය මුණ ගැසිලා තියෙනවා. මමත් හිතනවා පූජා ආදර්ශයක් කියලා එවැනි නිළියන්ට. මොකද සිනමාව කියන්නේ සාමුහික කලාවක්. එතනදි කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමෙන් සිනමාකරුවාට හොඳ නිර්මාණයක් ලබා ගන්නට පුළුවන්.
‘කුස පබා’ ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ අවසන් තිර නාටකය. මෙය ඔහුගේ සමස්ත තිර නාටක අතරෙන් සුවිශේෂී වූවක් බව ඔබ වරෙක මා සමඟම ප්‍රකාශ කළා?
තිස්ස අබේසේකරයන් මේ තිර පිටපත රචනා කරද්දී විශාල අභියෝගයකට මුහුණ දුන්නා. මෙවැනි ජාතක කතාවක් මින් පෙර සිනමාවට නැඟී තිබුණේ නැහැ. මේක ‘කුස’ ජාතකය වුණාට ‘මහා පදරංග’ ජාතකය වගේ. අතිශය දීර්ඝ, සිදුවීම් ගහන කතන්දරයක්.
ජාතක කතාවේ එන සකලවිධ සිදුවීම් ඇතුළත් කරන්න සිදු වුණා නම් මේක පැය හයක පමණ දිග චිත්‍රපටයක් වෙනවා. තිස්සට තිබුණ ලොකුම අභියෝගය තමයි මෙය පැය දෙකක කාලයකට සංක්ෂිප්ත කිරීම.
ඔහු එම අභියෝගය ජය ගත්තා. ඔහු එය ජය ගන්නේ කතාව මැදින් පටන් අරන් අතීතයට පමණක් නෙවෙයි අනාගතයටත් ගමන් කරමින්. අතීතය, වර්තමානය සහ අනාගතය කියන කාල තුන හරහා ගමන් කරමින් තමයි මේ කතන්දරය ඔහු අනාවරණය කරන්නේ. ජාතක කතාවේ දුෂ්ට චරිතයක් බවට පත්කොට තිබෙන පබාවතිය එයින් ගලවා ගෙන ඇය කෙරෙහි නරඹන්නාගේ අනුකම්පාව යොමු කර ගැනීම තවත් අභියෝගයක්. ඔහු එයත් ජයගෙන තිබුණා.
මම හිතන්නේ තිස්ස අබේසේකරයන් තිර නාටකය ලියූ දැවැන්තම සිනමා නිර්මාණයත් මෙයයි?
මේ චිත්‍රපටය සඳහා ලක්ෂ අටසීයකට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. ඇත්තෙන්ම තිස්සත් සිනමාකරුවකු නිසා ඔහු දැනගෙන හිටියා මෙවැනි නිර්මාණයක් සඳහා අපට දරන්නට පුළුවන් පිරිවැය. ඊට සරිලන විදිහට තමයි ඔහු මේ තිර පිටපත ලිව්වේ. මේකෙ අලි, ඇත්තු ඉන්නවා. අශ්වයෝ ඉන්නවා. යුද්දෙ තියෙනවා.
මේ සේරමත් එක්ක අපට චිත්‍රපටය හොඳ නිමාවක් සහිතව ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්නට හැකි වන පරිදි තිර නාටකය සකස් කිරීමත් ඔහුගේ සුවිශේෂ දක්ෂතාවයක්. මම හිතන්නේ ජනප්‍රිය සම්ප්‍රදාය රැකගෙන ප්‍රශස්ත චිත්‍රපටයක් කරන්නයි ඔහුට අවශ්‍ය වුණේ. වී. ශාන්තරාම්ගේ සිනමා සම්ප්‍රදාය තමයි ‘කුස පබා’ තිර නාටකය ලියන අවධියේ ඔහුගේ මනසේ තිබුණේ.
මේ චිත්‍රපටයේ සංගීතය පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතු යැයි කියා මට හිතෙනවා?
රෝහණ වීරසිංහයන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු මීට ප්‍රථම මගේ ‘සුදු සෙවනැලි’ චිත්‍රපටයෙත් සංගීත නිර්මාණය කළා. මේ චිත්‍රපටයේ ගීත හයක් ඇතුළත්. එහි තනු නිර්මාණත් රෝහණගේ. නමුත් එහි සංගීත සංයෝජනය සහ සංගීත ශික්ෂණය කියන කාරණා දෙකට රෝහණ වීරසිංහයන්ම යෝජනා කළා අපි සුරේෂ් මාලියද්දේට මේ කටයුත්ත පවරමු කියලා.
රෝහණ හැම විටම දකිනවා සුරේෂ් ගේ තිබෙන දක්ෂතා. ඔහු ඒ දක්ෂතා හඳුනාගෙන සුරේෂ් සමඟ එකතු වෙලා මේ කටයුත්ත සිදු කළා. සුරේෂ්ගේ ශබ්දාගාරයේම තමයි අපි මේ පටිගත කිරීම් කළේ. මේ සඳහා අපි දැවැන්ත වාද්‍ය වෘන්දයක් යොදා ගත්තා. මම හිතන්නේ රෝහණගේත්, සුරේෂ්ගේත් සුසංයෝගයේ මේ සුබ ඵල ‘කුස පබා’ චිත්‍රපටය තිරගත වූ පසු දකින්නට ලැබේවි. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, හර්ෂණ දිසානායක, හේෂාන් ගමගේ සහ වැඩිහිටි පරම්පරාවේ එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර ගායනයෙන් මෙයට දායක වෙනවා.


ජන කරළියෙන් ගුරු සැමරුමක්


ජන කරළියේ තරුණ නාට්‍ය ශිල්පීන් විසින් සිදු කරනු ලබන ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ සහ එච්. ඒ. පෙරේරා යන නාට්‍යවේදීන්ගේ නාට්‍ය හා රංග කලා සේවාව ඇගයීමේ සමරු වැඩසටහනක් ජනවාරි මස 04 වැනිදා පස්වරු 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.
සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයකු සහ කවියෙකු ලෙස සම්මානයට පාත්‍ර වූ ආරියවංශ රණවීර විසිනි.
ඇන්ටන් චෙකෝව්ගේ ‘ද බූර්’ ආශ්‍රයෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ ‘පෝරිසාදයා’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය පාලිත අබේලාල් ධර්මසේන ගෙනි.
රොනකා චාමලී, සුනෙත් ශාන්තප්‍රිය සහ රාසයියා ලෝහානන්දන් එහි චරිත නිරූපණය කරති. ඇඳුම් නිර්මාණය සුවිනීතා සුබසිංහගෙනි.
ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ දමිළ පරිවර්තනය ‘පයනිහල්’ ලෙස ද එදිනම වේදිකාවට නැඟේ. පයනිහල් රාසයියා ලෝහානන්දන්ගේ දමිළ පරිවර්තනයකි.
රොනකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී අධ්‍යක්ෂණය කරන ලද මෙම වේදිකා නාට්‍යයේ තියාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන් චරිත මවති.
ඇඳුම් නිර්මාණ සහ වේදිකා පරිපාලනය ඉනෝකා ලංකාපුරගෙනි. අජන්ත ශාන්තකුමාර් නාට්‍ය දෙකෙහිම රංගාලෝකය මෙහෙයවනු ලබයි.

ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ සහ එච්.ඒ. පෙරේරා යන නාට්‍යවේදීන්ගේ නාට්‍ය හා රංග කලා සේවාව අගයමින් ඔවුන්ගෙන් පැවත එන නව පරපුරට අයත් ජනකරළියේ තරුණ නාට්‍ය ශිල්පීන් විසින් මෙම මස 04 වැනි දින සවස 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී සමරු වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇත.
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කරමින් අගනා සිසු පරපුරක් බිහි කළ යථෝක්ත ප්‍රවීණ නාට්‍යවේදීන් අගයමින් මෙදින සමාරම්භක සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන ආරියවංශ රණවීර විසිනි.
ඉන්පසු “පෝරිසාදයා” සහ “පයනිහල්” යන නාට්‍ය දෙක රංගගත වෙයි. “පෝරිසාදයා” මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලද ඇන්ටන් චෙකොව් ගේ “බූර්” නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. ධම්ම ජාගොඩයන් විසින් 1968 දී එය කරළියට ගෙන එන ලදී.
“පෝරිසාදයා” නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරන ලද්දේ පාලිත අබේලාල් ධර්මසේන විසිනි.
”පයනිහල්” 1971 දී ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද “කොරා සහ අන්ධයා” නාට්‍යයේ දෙමළ පරිවර්තනයයි. “කොරා සහ අන්ධයා” නාට්‍යයද එම වසරේ දී ධම්ම ජාගොඩයන් විසින් අධ්‍යක්ෂණය කොට කරළියට ගෙන එන ලදුව මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද නාට්‍යයකි. 2012 නවදිල්ලි අන්තර් ජාතික නාට්‍ය උලෙළ නියෝජනය කිරීමට තෝරාගෙන තිබෙන “පයනිහල්” රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයකි. එහි චරිත තියාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන් විසින් නිරූපණය කරනු ලබයි.
සිංහල ප්‍රේක්ෂකයින් හට තේරුම් ගැනීමේ පහසුව තකා “පයනිහල් නාට්‍යය සිංහල උපශීර්ෂ සහිතව රංග ගත කරනු ඇත.

වේදිකා නාට්‍ය වේශ නිරූපණ ශිල්පියකු, රංග භූමි අලංකරණ ශිල්පියකු වන හේමපාල ගොඩගේ පසුගියදා සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතා වෙතින් කලාභූෂණ සම්මානය ලද
අවස්ථාව. පසෙකින් ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය කාලෝෆොන්සේකා ද වෙයි.

වසන්ත ඔබේසේකරයන් පිළිබඳ වෙබ් අඩවියක්


සම්මානනීය සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳ වෙබ් අඩවියක් අන්තර් ජාලයට මුදා හැරෙ


වූ එය එම්. ආර්. එම්. ලංකා සොලියුෂන් ආයතනයේ නිර්මාණයකි.
ඔබේසේකරයන්ගේ නිර්මාණයන් හි සියලු තොරතුරු එයට ඇතුළත් වෙයි.
සත් සමුදුර චිත්‍රපටයේ සම තිර රචකයා ලෙස සිනමාවට පිවිසි වසන්ත ඔබේසේකරගේ පළමු අධ්‍යක්ෂණය වෙස් ගත්තෝ විය. අනතුරුව දියමන්ති, වල්මත් වූවෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, සෙව්වන්දි, සළෙලු වරම, ආගන්තුකයා ඇතුළු අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක්ම නිර්මාණය කළේය.
වසර කිහිපයකදීම හොඳම අධ්‍යක්ෂ වශයෙන් සරසවිය සම්මානයට පාත්‍ර වූ හෙතෙම මෙරට සිටින විශිෂ්ට චිත්‍රපටකරුවන් අතර ප්‍රමුඛයෙකි. අදට යෙදෙන වසන්ත ඔබේසේකරගේ උපන් දිනය වෙනුවෙන් සරසවිය ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි.

Sarasaviya

මාළුන්ට සබන් දාලා හෝදලා පවුඩර් දැම්මා

මේනක රාජපක්ෂ ගැන අම්මා සරීනා ගේ මතකය

චූටි පුතා ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම සපත්තු දෙක නම් ගලවන්න ඕන තාත්තාමයි. ඊට පස්සෙ ඉතින් මම හරි, තාත්තා හරි පුංචි පුතාව උස්ස ගෙන යන්නෙ නාන කාමරයට. පුතා චූටි කාලේ ඉඳන්ම හරිම ආසයි මාළුන්ට.
ඒ නිසා තාත්තා එයාට මාළු ටැංකියකුත් ගෙනත් දීලා තිබුණේ. දවසක් චූටි පුතා නාන අතරෙදි මගෙන් ඇහුවා ’අම්මෙ මං වගේ මාළු නාන්නෙ නැද්ද?’ කියලා. මාත් ඉතින් එච්චරම එයාගේ ප්‍රශ්නෙ හිතට ගත්තෙත් නෑ. හැබැයි පහුවෙනිදා උදේ තමයි මට තේරුණේ චූටි පුතාම එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන බව.
පුතා එදා හවස මාළුන්ව සබන් දාලා හෝදලා. ඊට පස්සෙ එයාට මම පවුඩර් දාන නිසා මාළු ටැංකියේ වතුර එකට පවුඩර් හලලා. පහුවෙනිදා උදේ වෙන කොට අනේ ! මාළු ඔක්කොම මැරිලා.
මේ පුංචි දඟයාගේ දඟ කතාව කියාගෙන යන මොහොතේ ඇයගේ මුවින් ඉකි බිඳුමක් ද, සසුමක් සමඟ වා තලයට මුසු වුණා. ඒ එදා දඟකාරකම් කළ චූටි පුතාගේ දීප්තිමත් වර්තමානය දකින්න ආදරණීය පියාණන් ඔහු ළඟ නොමැති නිසා. මෙවර අපි ඔබට කියන්නේ ඔබේ ආදරණීය යොවුන් රංගන ශිල්පී මේනක හේමාල් රාජපක්ෂගේ පුංචි දවස්වල සොඳුරු මතකයන්. මේනකගේ පුංචි දවස්වලට ඔබව කැටුව යන්නේ ඔහුගේ සෙනෙහෙබර මෑණියන්. ඇය සරීනා රාජපක්ෂ.
පුතා චූටි කාලේ නොදන්නකමට කළ සමහර දේවල් නම් හිතන්නත් බයයි මට. ඉස්සර මම අල්මාරියේ තියෙන ඇඳුම් කාවෝ කන නිසා අල්මාරියට කපුරු බෝල දැම්මා. කපුරු බෝල සුදු පාටට ලස්සනට, සුවඳට තියෙනවානේ. ඉතින් අපේ චූටි පුතාට කපුරු බෝලවල රස බලන්න හිතිලා අල්මාරියේ තිබුණු කපුරු බෝල කාලා.
කොහොම හරි මම දැක්කා පුතාගේ කටේ මොනවදෝ තියෙනවා. මම පුතාගෙන් ඇහුවාම කිව්වෙ ‘අල්මාරියේ අම්මා දාලා තිබුණ බෝල’ කියලා. එතකොටම මට දෙලොව සිහි වුණා. මම පුතා ළඟට අරගෙන වමනෙ කෙරෙව්වා.
එයාට පොල් කිරිත් පෙව්වා. ඒ හැම දේම මම කළා නෙවෙයි. ඇත්තටම කෙරුණා. මගේ කලබලෙයි, මල්ලි වමනෙ දානවයි දැකලා දු හොඳටම අඬන්න ගත්තා. මම කොහොම හරි පුතාව බලන ගමන්ම දුවගේ බය නැති කරන්න ඕන හින්දා දුවට කිව්වා ‘පුතේ බය වෙන්න එපා. මල්ලිට මුකුත් වෙන්නේ නෑ. මගේ පුතා අඬන්නෙ ඇයි?’ කියලා. දුවත් එතකොට පොඩියි. හැබැයි දුව දුන්නේ මට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ උත්තරයක්.
ඒක ඇත්තටම උත්තරයක් නෙවෙයි, ප්‍රශ්නයක්. එයා මොකක්ද දන්නවාද මගෙන් ඇහුවෙ? ‘අම්මෙ මිනී පෙට්ටි ගොඩක් ගණන් ද?’ කියලා. හැබැයි එදා නම් දුවට මගෙන් හොඳ පාරවල් දෙක තුනක් වැදුණා. ඔය සිද්ධිය වෙන කොට පුතාට අවුරුදු තුනක් විතර ඇති.
ජීවිතය කියන්නේ නම් ඇත්තටම හරිම පුදුම දෙයක්. සමහර හොඳ දේවල් අපිට මුලින්ම එන්නේ කරදරයක් විදිිහට. මම එහෙම කියන්නේ චූටි පුතා පුංචි කාලේ ලබපු අත්දැකීම් ගැන හිතලා. ඉස්සර අපි, පුතයි දුවයි පුංචි කාලේ නිවාඩු දවස්වලට කොහේ හරි ඇවිදින්න යනවා.
පුතා හරිම ආසයි මුහුදට. ඒ නිසාම අපි දවසක් හැන්දෑවේ බීච් ගියා. පොඩිකමට පුතා මගෙත් අත අතැරලා දුවගෙන ගිහින් රැල්ල පෑගුවා. ටික ටිකම පුතා මුහුද පැත්තට ගියා. ටික වෙලාවකින් මට තේරුණා පුතාව මුහුදට ගහගෙන යනවා කියලා. මම හයියෙන් කෑගැහුවා.
කොහොම හරි පූරුවේ වාසනාවකට පුතා එදා බේරුණා. ඒ සිදුවීම නිසා අපි තීරණය කළා පුතාට පිහිනුම් උගන්වන්න. මේනක 1997 පිහිනුම්වලින් ජාතික මට්ටමෙන් වාර්තාවක් තිබ්බා. එතකොට එයාට අවුරුදු 13 යි.
නමුත් දෛවය අනුව තමයි හැමදේම, හැමදාම වෙන්නේ. පීනන්න බැරි පුතා පිහිනුම් ශූ®රයෙක් වුණා. පිහිනුම්වලින්ම ඉදිරියට යයි කියලා හිතුවට අවසානයේදී හිතුවෙවත් නැති විදිහකට එයා කලාවට යොමු වුණා. මගේ චූටි පුතාගේ අනාගතයත් වර්තමානය වගේම දීප්තිමත් වන බවට නම් සැකයක් නෑ.

 

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.
2012 ජනවාරි 04 බදාදා- පෙරවරු 08:39
තිරගත වූ චිත‍්‍රපට දෙකම අති සාර්ථක වෙච්ච සතුටත් එක්කයි ෂාරුක් ඛාන් අලූත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම ඔහු අවුරුදු නිවාඩුව ගත කළේ පවුලේ අයත් එක්ක ඩුබායිවලදි. කොච්චර හොඳට නිවාඩුව ගත කලාද කිව්වොත් ෂාරුක් අසනීප වෙලා. ඔහු පාපන්දු කී‍්‍රඩාවට ගොඩක් කැමතිනේ. දුවයි, පුතයි එක්ක සෙල්ලම් කර කර ඉන්න කොට ෂාරුක්ගෙ ඉග ඇට ප‍්‍රදේශයේ ඇදීමක් ඇති වෙලා. ඒ නිසා දැන් ඔහුට හයියෙන් හිනාවෙන්න බැහැලූ. මොකද හිනාවෙන කොටයි හුස්මගන්න කොටයි රිදෙනවා කියලයි ෂාරුක් කියන්නේ.

මනොරත්නයන් නාට්‍ය තුනක් මේ සති අන්තයේ.

ප‍්‍රවීන නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්නයන් රගපාන නාට්‍ය 03ක් මේ සති අන්තයේ දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මේ මාසේ 05 වැනිදා බූරුවා මහත්තයත්, 06 වැනිදා සුද්දෙක් ඔබ අමතයි සහ 07 වැනිදා අන්දරේලා නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි. මනෝරත්නයන් කිව්වේ කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේදී පස්වරු 6.30ට මෙම නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි කියලා.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money