දමයන්ති ෆොන්සේකා අනාවරණය කරයි
ඈ ළෙන්ගතුය. ඒ ළෙන්ගතුකම සමඟ නැඟෙනා සිනාව කොතරම් සොඳුරුදැයි මට ඇය දුටු මොහොතක සිතට නැඟිණි.
‘දමයන්ති ෆොන්සේකා’
ඕ ඒ සුපුරුදු ළෙන්ගතුකම ද පුරවාගෙන සොඳුරු සිනහවෙන් අප පෙර මඟට ආවාය.
‘ආ . . . ඉතිං කොහොමද?’
ඇගේ ස්වරය ද ළෙන්ගතුය. මේ දවස්වල පුංචි තිරයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙන් සතියේ දින පහ පුරාම ඔබගේ නිවෙසට පැමිණෙන ඈ දිගු කලකට පසුව අප සමඟ සුහද කතාබහකට මුල පිරුවාය.
‘මම කොහොමත් අවුරුද්දකට දීර්ඝ ටෙලි නාට්‍යයකට වඩා රඟපාන්නට බාර ගන්නේ නැහැ. එක ටෙලි නාට්‍යයක රඟපාද්දී කොයි තරම් ටෙලි නාට්‍යවලට ආරාධනා තිබුණත් ඒ වැඩ කටයුතු භාර නොගන්න නිතරම මම ප්‍රවේශම් වෙනවා. සමහර අවස්ථාවලදී දීර්ඝ නොවන ටෙලි නාට්‍යයක වැඩ කටයුතු වුණත් භාර ගන්නේ අනෙක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කරදරයක් නොවෙන්නයි. ඒ වගේ අපූරු ටෙලි නාට්‍යයක් මට පසුගිය දිනවල ලැබුණා. ඒක වලව්වක කතාවක්. මව්පියන් අහිමි වීමෙන් පස්සේ වතුපිටි සියල්ල පාලනය කරන, බොහොම සමානාත්මතාවයෙන් කටයුතු කරන තරුණ කාන්තාවකගේ චරිතය මගේ රංගනයට අපූරු වෙනසක් එක් කරාවි. මේ දවස්වල විකාශය වන ‘නිල් අහස’ ටෙලි නාට්‍යයෙහි මම රඟපාන චරිතයත් වෙනස්ම චරිතයක්.’
‘කාර්ය බහුලත්වයට බොහොම අකැමැති වගෙයි.’
අපට ඉබේම සිතිණි.
‘එක ටෙලි නාට්‍යයක රූගත කිරීමකින් තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට මාරු වෙන්න මම කැමැති නැහැ.’
ඈ සිය අප්‍රසාදය පළ කරන්නීය. මේ විදිහට කටයුතු කිරීමෙන් ලැබෙන විවේකය ගෙවෙන්නේ කොහොමද?
මගේ සිතට නැගුණේ පැනයකි.
‘ලැබෙන විවේකයේදී කරන්න වැඩ කටයුතු ඕන තරම් පෙළ ගැසිලා. ඒ වෙලාවේදී ගෙදර දොර කටයුතු වගේම ඉවුම් පිහුම් කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. ඒකෙන් කියන්නේ සියයට සියයක්ම මම සාම්ප්‍රදායික බිරිඳක් කියලා නෙමෙයි. සාම්ප්‍රදායික බිරිඳකගෙන් ඉටු විය යුතු යුතුකම් කරන්නට පුළුවන් හැම වෙලාවකම මම ඒ දේ කරනවා.’
මේ බිරිඳ සමහර වෙලාවට ගෘහණියකි. එවිට මුළුතැන්ගෙට වෙන ඇගේ අතින් පරිප්පු හොද්දක්, අල බැඳුමක් රසට පිසෙයි.
‘උයන එක කලාවක්. මේසය උඩ සියලුම ආම්පන්න ටික පිළිවෙළට තියලා එළවළු එහෙම කලාවට කපලා උයන්න මම කැමැතියි. මට රසට උයන්න පුළුවන්. එහෙම කිව්වම මට මතක් වෙන්නේ මගේ අම්මා. මොකද මේ විදියට රසට උයන්න පුළුවන් වුණේ ඈ පුංචි කාලයේදීම අපව ඒ පැත්තට නැඹුරු කළ නිසාමයි. මම කැමැති පරිප්පුවලටයි. ප්‍රසන්න කැමැති අලවලටයි. පැණි රසට ප්‍රසන්න ගොඩක් කැමැති වෙන කොට මම කැමැති කඩචෝරුවලටයි. මේ හැම දෙයකටම උදව් වෙන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට නැහැ. ඒ නිසා ලැබෙන පිළිවෙළට මම කටයුතුª කරන්නට පුරුදු වෙලා. මමත්, ප්‍රසන්නත් කලා කටයුතුවල නිරත වෙන නිසා අපි දෙන්න ගැන අපි දෙන්නට තියෙන්නේ හරිම අවබෝධයක්. ඒ අවබෝධය අපේ පවුල ලස්සන කරනවා.’
ඒ වගේම දමයන්ති ගෙවිලියකි.
‘අපූරුවට වැවුණු නිවිති වැලක්.’
කොළ පැහැයෙන් බබළන සරුවට වැවුණු නිවිති වැල ඇගේ දෑතේ පහස ලැබුණු බවට සාක්ෂියකි.
‘තරුණ කාලේ ඉඳලම මම හරිම කැමැතියි වගා කරන්න. මේ නිසාම මගේ ගෙවත්තේ රම්පේ, කරපිංචා, මිරිස්, ඉඟුරු වගේම රාබු, නිවිති කියන එළවළුත් තියෙනවා. ඊට අමරතව නමිනං, කටුආත, දොඩම්, අඹ වගේ පලතුරු ගස්වලින් අපේ වත්ත හැඩ වෙලා. මේ දවස්වල වම්බටු, තක්කාලි, දඹල වගේ එළවළු සිටවන්න මම සූදානම් වෙනවා.’
චුට්ටක්වත් කම්මැලි නැති දමයන්ති මේ සියලු කටයුතු අතර හොඳ චිත්‍රපටයක්, දෙකක් බලන්නීය. හොඳ පොතක් කියවන්නීය.
ඈ අත පොතකි.
‘මම මේ දවස්වල කවි කඳුර කියවනවා.’
ඒ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද සුනේත්‍රා රාජකරුණානායකගේ කවි කඳුර කෘතියය.
ඈ කවි කඳුර පොත පෙරළන්නීය.
ඇයට බාධා නොකළ යුතුය. අපි ඒ සොඳුරු කැදැල්ලෙන් පිට මං වීමු.
දමයන්ති තවමත් කෙල්ල වගෙයි. ඈ දකින බොහොම දෙනෙක් මෙහෙම කියන්නට ඈ ළඟ සැඟවුණු රහස මොකක්ද? අපි ඇගෙන් විමසුවෙමු.
‘රංගන ශිල්පිනියක් විදියට මමත් පුංචි මේකප් එකක් දමනවා. ඒ වුණත් මේකප් එක තැනේ හැටියට වෙනස් වෙනවා.
කෙනෙකුගේ රූපයේ සුන්දරත්වය ඔප් නැංවෙන්න බාහිර ලස්සන විතරක් මදි. ඕනෑම කෙනෙකුගේ අභ්‍යන්තරයේ තිබෙන සිතෙහි සිතුවිලිත් ඒ ලස්සනට බලපානවා. ඒ හින්ද වෙන්න ඇති මම ඔය කියන තරම්ම ලස්සන.’
0 comments:
Post a Comment