Friday, November 18, 2011

ගාමනී තනද්දී අලියෙක්ගෙන් බේරුණේ පණ එපා කියල දුවලා

සම්මානනීය කලා අධ්‍යක්ෂක සුනිල් විජේරත්න


2007 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනුවේ සංකාරා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ සුනිල් විජේරත්නයි.
කවුද මේ සුනිල්? ඔහු සිංහල චිත්‍රපට පමණක් නොව විදෙස් චිත්‍රපට රැසක ද කටයුතු කළ අයකු බව දන්නේ ටික දෙනෙකි.
ඔහු සිනමාවට පිවිසෙනුයේ මෙරට ජීවත් වූ විශිෂ්ට කලා අධ්‍යක්ෂවරයකු වන ජේ. ඒ. වින්සන්ට් නම් කලා අධ්‍යක්ෂවරයා යටතේ අවුරුදු 41 කට පෙරය.
මේ දිනවල ප්‍රදර්ශනය වන ගාමනී මෙන්ම ද කොමන් මෑන් චිත්‍රපටයේ ද කලා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද සුනිල් විජේරත්නයන් සම්බන්ධ වූවේය.
සිනමාව නම් නොසිඳෙන ගංගාවට ඔබේ දායකත්වය දෙන්නට හැකි වුයේ කෙසේද?
මා 1964 දී ලංකා චිත්‍රගාරයට ගිය කාලයේ එහි කලා අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික ජේ. ඒ. වින්සන්ට් මහත්තයයි. පළමුව වින්සන්ට් මහත්තයා ළඟ මට ලැබුණෙ ෆිල්ම් කටවුට්වලට තීන්ත ගාන්න. පසුව කටවුට් අඳින්න. ක්‍රමක් ක්‍රමයෙන් මගේ දක්ෂතා හඳුනා ගත් වින්සන්ට් මහත්තයා පසු තළ නිර්මාණ කිරීමට අවස්ථාව උදා කර දුන්නා. සෑහෙන කාලයක් සහාය කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කර ලැබුණු අත්දැකීම් සමඟ තමයි කලා අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්න ලැබුණේ.
විදේශීය හා දේශීය චිත්‍රපටවල වැඩ කරන කොට තිබෙන වෙනස්කම් මොනවාද?
විදේශ චිත්‍රපටවල වැඩ කරන්න පහසුයි. මොකද මීට වඩා තාක්ෂණය පැත්තෙන් දියුණුයි. ඊට අමතරව මෙහෙදි වගේ නෙමෙයි, නිෂ්පාදන සැලසුම්කරණ අධ්‍යක්ෂ යටතේ තමයි කලා අධ්‍යක්ෂ වැඩ කරන්නෙ. ඒක නිසා මට පැවරෙන කාර්යය සීමිතයි. මෙහෙදි එහෙම නෙමෙයි. පිටපත අතට ගත් වෙලාවේ සිට සෑම දෙයක්ම සොයන්න, එයට අවශ්‍ය දේ කරන්න වෙන්නෙ මට. ඒ නිසා මගෙ ඔලුවට සෑහෙන වෙහෙසයි. සිතීමේ නිදහස අඩුයි. මම වැඩියෙන් වැඩ කළේ විදේශ චිත්‍රපට සමඟ. ඒ නිසා දේශීය චිත්‍රපට සෑහෙන්න මඟ හැරුණා.
ඔබ වැඩ කළ පළමු චිත්‍රපටය මොකක්ද?
මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘රැම්පේජ්’ චිත්‍රපටයයි.
ඉදිරි දිනවලදී ප්‍රදර්ශනය වීමට නියමිත ඔබ දායක වූ චිත්‍රපට මොනවාද?
‘ද කොමන් මෑන්’, ‘කර්ම’, ‘සත්ත්‍යකාම’ හා තවත් කිහිපයක් ළඟදීම තිරගත වීමට නියමිතයි.
දෙස් විදෙස් අධ්‍යක්ෂවරු කී දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවාද?
27 දෙනෙක් සමඟ වැඩ කර තිබෙනවා. කලා අධ්‍යක්ෂක වගේම සහය කලා අධ්‍යක්ෂක ලෙසත් වැඩ කර තිබෙනවා.
බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළියේ සිට මෙතෙක් ආ ගමන ගැන කිව්වොත්?
චිත්‍රපට සිය ගණනක් වගේම ටෙලි නාටය 60 ක පමණ පසුතල නිර්මාණය කරන්න ලැබී තිබෙනවා. මෙය අමාරු කාර්යයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීම් ලබන්න පුළුවන් හොඳ රැකියාවක් කියල හිතෙනවා.
ඔබේ කලා ජීවිතය හරි රසවත් වගේ. එයට හේතුව කිව්වොත්?
චිත්‍රපටය හෝ ටෙලි නාට්‍යයක පිටපත ලැබුණු වෙලේ සිට මේ කටයුත්ත අවසන් වෙනකම් ලොකු වැඩ කොටසක් තිබෙනවා කරන්න. මට පැවරී තිබෙන්නෙ අධ්‍යක්ෂකගෙ පිටපතේ එන චරිතවලට හරි යන ආකාරයට පසුබිම නිර්මාණය කරන්නයි. ඒ සඳහා යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප්‍රථම පිටපතට අවශ්‍ය කරන පරිසරය සොයා ගත යුතුයි. ඒ සඳහා රට පුර යෑමට සිදු වෙනවා. කාටවත් සියැසින් දැක ගැනීමට අපහසු තැන්වලට යාමට අවස්ථාව උදා වෙනවා. රටේ, ලෝකයේ සුන්දර තැන් දකිනව. මෑතකදී මට යන්න ලැබුණ හිමාල කන්ද පාමුලටම. මගේ සියැසින් මෙවන් සුන්දර දසුන් නරඹන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස මා හිතනවා.
වෝටර්
මේ කටයුතුවලදී අමතක නොවන සිදුවීම් තිබේද?
සෑහෙන සිදුවීම් තිබෙනවා. මේ දිනවල සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙන ගාමණී චිත්‍රපටයේ කරුවලගස්වැව ප්‍රදේශයේ රූපගත කරද්දි එක පාරටම අලියෙක් ආවා. මොනව කරන්නද ඔක්කොම දමල ගහල කට්ටිය පන එපා කියල දිව්වා. සෑහෙන දුරක් පන්න ගෙන ආව අලිය ඊට පස්සෙ අපි වැඩ කරන තැනට ගිහිල්ල යන්නෙම නැහැ. මොනව කරන්නද රතිඤ්ඤ පත්තු කරල තමයි අලියව පැන්නුවෙ.
මීට වසර 38 කට විතර ඉස්සෙල්ල සිදුවුණු සිදුවීමක් තමයි, එච්. ඩී. ප්‍රේමරත්නගෙ ආදර හසුන රූගත කිරීම සඳහා බෝට්ටුවකින් සීනිගම දේවාලෙ පැත්තෙන් මුහුදට ගියා. ලොකු රැල්ලක් ඇවිත් බෝට්ටුව පෙරලුනා. මමයි වසන්තියි මුහුදට විසි වුණා. හැමෝම හිතුවෙ අපි දෙන්නම ඉවරයි කියල. අන්තිමට මොන රඟපෑමක් ද ජීවිතේ බේර ගෙන ගොඩ බිමට ආවා.
පසුතල නිර්මාණය යනුවෙන් හඳුන් වන්නේ කුමක්ද?
පිටපතට අනුව අධ්‍යක්ෂවරයාගේ මනසේ මැවී තිබෙන පරිසරය චිත්‍රපටයේ දර්ශනයට අවශ්‍ය පරිදි කෘත්‍රිමව නිර්මාණය කිරීම.
බර්ට්‍රම් නිහාල්ගෙ සෑම නිෂ්පාදන කටයුත්තකටම ඔබව සම්බන්ධ කර ගන්නවා ඒ ඇයි?
හුඟක් අයට බර්ට්‍රම් නිහාල් මහතා සමඟ වැඩ කරන්න බැහැ. මාව තෝර ගන්නෙ ඔහුගෙ හිතේ තිබෙන දේ නියම ලෙස මවල දෙන්න පුළුවන් එකම පුද්ගලයා මම නිසා.
චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව ඔබට සහය ලැබෙන්නේ කාගෙන්ද?
චිත්‍රපටයක් කිරීමේදී සැම දෙනාම එකමුතුව වැඩ කළ යුතුයි. තමන් කරන වැඩේ මෙන්ම අනෙක් අයගේ රාජකාරිය ගැනත් යම් අවබෝධයක් තිබීම වැඩ කටයුතුවලට පහසුයි. චිත්‍රපට අධ්‍යක්ෂකට අමතරව මගේ කටයුතුවලට කැමරා අධ්‍යක්ෂකගේ සහයෝගය තියෙන්න ඕනේ.
ඔබ අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙකු සමඟ වැඩ කර තිබෙනවා. එයින් ඔබ සිත් ගත් අධ්‍යක්ෂකවරු කිහිප පලක් මතක් කළොත්?
සංකාරා
සෑහෙන අමාරු කාර්යයක්. හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලෙනින් මොරායස්, බර්ට්‍රම් නිහාල්, ප්‍රසන්න ජයකොඩි, අසෝක හඳගම, සෝමරත්න දිසානායක, චන්ද්‍රන් රත්නම්, සුනිල් කොස්තා වගේම විදේශිකයන් වන පීටර් ජේම්ස්, උබෙර්ටෝ පැසලෝනි, දීප මෙහ්තා, ෆැබ්බ්‍රීසියෝ කොස්තා, තමරා ස්පිට්සිං, මා වැඩ කළ අයගෙන් කිහිප දෙනෙකි.
පාසල් අවධිය ගැන මතකය අවධි කළොත්?
1962 දී පාසල් ජීවිතය අවසන් කළා. කෝට්ටේ ආනන්ද විද්‍යාලයට තමයි මම ගියේ. පාසල් පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් කළා. මගෙ සමකාලීනය තමයි මිල්ටන් මල්ලවආරච්චි.
පවුලේ විස්තර ගැන කිව්වොත්?
බිරිඳ ලීනා විජේරත්න, දුව නිලුකා චාමරී විජේරත්න. සැලොන් එකක් කරනවා.
මා සමඟ වැඩ කරන සියල්ලන් හට මා ස්තුතිය පුද කරනවා. මොකද මේ සියල්ලක්ම මගේ පවුලෙ අය වගේ එකමුතුව හොඳ අවබෝධයකින් වැඩ කරනවා.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money