Friday, December 2, 2011

මඩ ප්‍රචාරවලට බය නැතුව

මේ පියවර මං වෙනුවෙන් විතරක් නෙවෙයි

‘හොඳට නරකට දෙකට කටමයි’ අපේ මුතුන් මිත්තෝ මෙසේ කිව්වේ කට කහනවාට නම් නෙවෙයි. නමුත් වර්තමානයේදී මේ කියමන ‘හොඳට නරකට දෙකට තාක්ෂණය’ ලෙසින් භාවිත කිරීමටත් පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට අන්තර්ජාලය ආගන්තුක දෙයක් නෙවෙයි.
නව දැනුම වගේම අපේ අය ඕප දූප සොයා ගන්නෙත් දැන් අන්තර් ජාලයෙන්. විශේෂයෙන් දේශීයව හා විදේශීයව ජනප්‍රිය චරිත වටා ගෙතුනු නොයෙකුත් කතා වෙබ් අඩවි මඟින් ප්‍රසිද්ධියට පත් කරනවා. පසුගිය දිනක දමිතා අබේරත්න රංගන ශිල්පිනියත්, අත්තනෝමතික ලෙස ක්‍රියා කරන වෙබ් අඩවිවල තවත් එක් ඉලක්කයක් වුණා. එහෙත් වහාම ක්‍රියාත්මක වුණු දමිතා එම වෙබ් අඩවිලට විරුද්ධව නඩු මඟට යොමු වෙන්න පසුබට වුණේ නම් නැහැ.
දමිතා, මොකක්ද මේ නඩු හබය?
වෙබ් අඩවි දෙකක් මඟින් මං ගැන අසත්‍ය කතා පැතිරුවා. ඉතින් මම ඒවාට විරුද්ධව නඩු දැම්මා. මගේ බිස්නස්වලට වගේම ගේ හදන්නත් සල්ලි දුන්නේ සිවුරු හළ කෙනෙක්ලු.
මම එයාගේ ගෙදර ගිහින් ගොඩාක් වෙලා ඉන්නවා . . . වගේ අසත්‍ය කතා මං ගැන ප්‍රසිද්ධ කරලා තියෙනවා.
අද මට වුණා වගේ හෙට දවසේදී තවත් අහිංසක නිවැරැදි කලාකාරිනියකට ඔය දේම වෙන්න පුළුවන්.
ඒ වගේ දෙයක් නැවත වරක් කිසිම කෙනෙකුට සිදු නොවිය යුතු නිසයි මෙහිදී මම නීති මාර්ගයට යොමු වුණේ. අපේ රටේ ඒ වගේ වැරැදි කරන දෙතුන් දෙනෙක් ඉන්නවා.
නමුත් සියලුම දෙනා දෙස ඒ වගේ බලන එක හරිම අසාධාරණයි. හරිම වැරැදියි. ඒක පහත් ක්‍රියාවක්.
අපි දුක් මහන්සියෙන් කලාව වෙනුවෙන් නොයෙකුත් කැපවීම් කරලා හදා ගත්තු නම එක එක්කෙනාට කැත කරන්න දෙන්න බෑ. අනිත් එක තමයි මට ජීවත් වෙන්න කාගෙන්වත් උදව් අවශ්‍ය නෑ. මම, මගේ ගේ හදන්න ගල් පවා ඇද්ද කෙනෙක්.
ඔබ මෙම වෙබ් අඩවිවලට නඩු දැමීමෙන් බලාපොරොත්තු වන සාධාරණය කුමක්ද?
මම නඩු දැම්මේ වන්දි ඉල්ලලා. වන්දි අරගෙන අනාථ නිවාසෙකට ඒ සල්ලි දුන්නත් කමක් නෑ. ප්‍රසිද්ධ චරිතයන් ගැන මඩ ප්‍රචාර ප්‍රසිද්ධ කරලා ඒ පුද්ගලයන් විශාල ලෙස ආර්ථික වාසි ලබා ගන්නවා. ඒ වගේ දේවල් ඒ අයට හිතුමතේ කරන්න දීලා අපිට බලාගෙන ඉන්න බෑ.
මෙහිදී මම නීති මාර්ගයට යොමු වීමේ ප්‍රධානම අරමුණ වුණේ අසාධාරණ ලෙස ගෙන යන මඩ ප්‍රචාර නැවැත්වීමයි. රංගන ශිල්පිනියක් ලෙස මගේ රඟපෑම ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙක්ට අපේ පෞද්ගලික ජීවිතය විවේචනය කරන්න හෝ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන්න අයිතියක් නෑ.
මේ වගේ දේවල් මිට පෙරත් සිදු වෙලා තියෙනවා නේද?
නමුත් මට විරුද්ධව අසත්‍ය ප්‍රචාරයක් වෙබ් අඩවියක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ ප්‍රථම අවස්ථාව මේක. මම වැරැද්දක් නොකළ නිසා තමයි මම නොබියවම මේ තීරණය ගත්තේ. මේ වගේ සිදුවීම් සඳහා වගකිව යුතු පුද්ගලයන් මීට වඩා කාර්යක්ෂමව කටයුතු කරනවා නම් මේ වගේ දේවල් හැමදාම වෙන්නෙ නෑ.
අනිත් එක තමයි අපේ අය එකමුතු නම් එක එක්කෙනාට අවශ්‍ය විදිහට මඩ ප්‍රචාර ගෙනි යන්නත් බෑ. අපි අතර ඉන්න දෙතුන් දෙනෙකුත් මේ මඩ ප්‍රචාරවලට සම්බන්ධ වීමයි මට තියෙන කණගාටුව. කොහොම නමුත් වැඩි කාලයක් නොගොසින්ම සත්‍යය හෙළිදරව් වේවි.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට කියන්න විශේෂ දෙයක් තියෙනවාද?
ඔව්. මේ අසත්‍ය ප්‍රචාරයන්ට රැවටුණු සමහර ප්‍රේක්ෂකයෝ මට කෝල් කරලා චෝදනා කළා. හැබැයි ඊට පස්සේ සමහරු සත්‍යය දැනගෙන නැවතත් මට කතා කරලා වෙච්ච දේට සමා වෙන්නත් කිව්වා. මගේ හිත ධෛර්යමත් කළ ප්‍රේක්ෂකයිනුත් එමටයි.
ඒ බොහෝ දෙනා කිව්වේ මේ මඩ ප්‍රචාරවලට බය නැතුව මුහුණ දෙන්න කියලා. ඒ වගේම මං ගැන වැරැදි ප්‍රතිරූපයක් නෑ කියලත් ඒ අය කිව්වා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මම හැමදාමත් ආදරෙයි. ඒ අයගේ හිතේ මං ගැන තිබෙන විශ්වාසය මේ වගේ බාල වැඩවලින් විනාශ කරන්න බෑ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money