Thursday, October 27, 2011

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ පුරුදු ආකාසේ....

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ  පුරුදු ආකාසේ....
කිළිටි වූ ගී කෙත සෝදා පවිත්‍ර කරන්නට 'සඳරූ සුවිසර'



දිගු කාලයක්‌ නිහඬ වී සිටි නුඹ වගේ
අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ

ඇත්ත ...... අලුත්ම අලුත් වැස්‌සක්‌ උවමනාම මොහොතක.... අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසෙනවා.... පුහු පදමාලා බොල් සංගීතය.... විතරක්‌ද ..... කෝකිලයන් යෑයි සිතා ගී ගයන කපුටන් ද සේදිලා ගසාගෙන යන තරමේ අලුත් වැස්‌සක්‌ වසින්නටයි සූදානම..... මේ සිදුවන විපරිතයන් දැක ... වේදනා බරිතව දිගු කාලයක්‌ නිහඬව සිටි ආකාසය... අලුත් වැස්‌සක්‌ වස්‌සවන්නයි සූදානම ... මේ වැස්‌ස වහින්නේ කවදාද කියල බලාසිටි සද්ජනයා කැල ප්‍රීතියෙන් ඉපිල යන තරමට අලුත් වැස්‌සක්‌ වහින්නටයි සූදානම.

සුභාවිත ගී වරුසාවකින් මේ ගී කෙත සෝදා පිරිසිදු කිරීමේ කාලය එළැඹ ඇත. කපුටන් පළවා හැර කෝකිලයන්ට යළි මේ ගී කෙත පවරාදීමේ කාලය එළැඹ ඇත. එකරැයකින් කපුටන් බිහි වුවද උන් පළවා හරින්නට දැන් නම් එක රැයක්‌ ප්‍රමාණවත් නොවේ. ඒනිසා දිගින් දිගටම වැසි වට යුතුය.

ඒ වැස්‌සේ තෙමෙන්නට අපටත් වාසනාව උදාවේ. මෙම 01 වැනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ ශාලාවේදී සවස 6.30 ට ඒ වැස්‌ස වසී. "සඳරූ සුවිසර" ඒ වැස්‌සට තබා ඇති නමය.

"සඳරූ සුවිසර" සුභාවිත ගී වැස්‌ස ගෙන එන්නේ අප රටේ අද්විතීය සංගීතඥයන් ත්‍රිත්වයකි. ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැටුව රෝහණ වීරසිංහත් .. සුනිල් එදිරිසිංහත් .... "සඳ රෑ සුවිසර" සඳරූ සුවිසර කැටුව එන්නේ ලක්‌හඬ ගුවන් විදුලි නාලිකාව සමගින්.

රෝහණ, සුනිල් දෙපළ වික්‌ටර් රත්නායකයන් සලකන්නේ ගුරු කොටය. 'සඳරූ සුවිසර" ඒ ගුරුන් පුදන්නට ගෝලයන්ට ද ලැබෙන කදිම අවස්‌ථාවකි.

වික්‌ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ තිදෙනා නිර්මාණ කටයුත්තකට පළමුවරට එකට හමුවන්නේ මීට අවුරුදු තිස්‌ අටකට පෙරය.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුණු රසයක පැන ආ බුබුලක්‌
අකුරු වැළක්‌ දෙහදක ලියෑවී ....

සුනිල් එදිරිසිංහ ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ සොයුරු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ "මාතර ආච්චි" සිනමා පටයට ඒ ගීය ගයමිනි. ගීයේ තනුව නිර්මාණය කළේ විකටර් රත්නායකය. ගීය පසුබිමින් වැයෙද්දී සිනමා පටයේ එම දර්ශනයට පෙනී සිටින්නේ සතිස්‌චන්ද්‍රය. සතිස්‌ රඟපාද්දී ඔහු අසල සිතාර් වාදකයකු ලෙස රඟනුයේ රෝහණ වීරසිංහය.

ඉතින් .. අවුරුදු තිස්‌ අටකට පසු මේ තිදෙනා යළි එකම නිර්මාණ කටුත්තක ...... ඒ "සඳරූ සුවිසරය"

සඳරූ සුවිසර ප්‍රසංගයට වික්‌ටර් හැදූ ගීතනු සුනිල් එදිරිසිංහ ගයයි. රෝහණ වීරසිංහ හැදූ තනුවලට වික්‌ටර් සහ සුනිල් දෙදෙනාම ගයති. වික්‌ටර් ගැයූ ගී සුනිල් ද සුනිල් ගැයූ ගී වික්‌ටර් ද ගයනු ඇත. ඉතා විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක්‌ මේ ගී වැස්‌සේ තෙමෙන අපට දැක බලා ගැනීමට වාසනාව උදාවේ. දෙදෙනා ගී දොළහ බැගින් ගී විසිහතරක්‌ ගයති.

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ
සුවඳ මා ළඟින්

සිංහල සුභාවිත ගීයේ ස්‌වර්ණමය යුගයක මතක සටහන් සැබැවින්ම යළි අප ඉදිරියේදී මෙම 01 වැනිදා සවස මැවෙනු ඇත. එනම් හරිම කදිම... සොඳුරු වර්ෂාවක්‌මය.... ගී වරුසාවක්‌මය... අලුත් වැස්‌සක්‌මය.... මව්පිය ගුණ, ආදරය, වියෝව, දේශානුරාගය වික්‌ටර්, රෝහණ, සුනිල් අපේ සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත බලකණු තුනක්‌ අපට විඳින්නට අවස්‌ථාව ලැබදෙන්නට සූදානම්. අද ගුවන් විදුලි නාලිකාවන්ගේ බලහත්කාරය නිසා කුණු ගී රසයෙන විඳවමින් සිටින ශ්‍රාවකයාට ... සුභාවිත ගීයේ රසය විඳින්නට තවත් ගුවන් විදුලි නාලිකාවක්‌ ..... ඉඩ හසර ලබාදීම ... (ඒ ලක්‌හඬය) සතුටට කරුණකි.

එන්න .... අලුත් ගී වැස්‌සේ තෙමෙන්න.. කිළිටි වී ඇති ගී කෙත සෝදා පවිත්‍ර කරන්න නම් මේ වැස්‌සේ තෙමිය යුතුමය.

අජිත් අලහකෝන්
ඡායාරූප-දයාන් විතාරණ 


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money