පුබුදු චතුරංග ගේ අම්මා ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ
පු - පුලස්ති පරපුරෙන් පැවතෙන කෙනෙක්
බු - බුදු බණ
දු – දුවන්නට දක්ෂ
චතුරංග - රංගනයට දක්ෂ
චතුර කථිකයෙක්.
මෙහෙම තමයි වයස අවුරුදු තුනේදී පුබුදු චතුරංග පුංචි පුතා සිය නමේ තේරුම අනිත් අයට පැහැදිලි කළේ.
දැන් නම්, මෙලෙස පුලස්ති පරපුරෙන් පැවත එන බව පැවසූ පුබුදු චතුරංග සතියේ දිනවල රාත්‍රී 8.00 ට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නේ සිහින දේවනාරායන ලෙසින්. මේ සතියේදී බාලේ සොඳුරු මතකයන් ඔබට පෙළ ගස්වන්නේ යොවුන් රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය මෑණියන්. ඇය ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ මහත්මියයි.
පුබුදු පුංචි කාලේ හරිම පණ්ඩිතයි. පුංචි කාලේ කියලා කිව්වට මොකද? . . . ඉපදුණු දවසේ ඉඳලාම කළේ පණ්ඩිත වැඩ.
පුතා ඉපදුණු දවසේ ඩොක්ටර් මගේ අතට පුතාව දෙන කොට ඇඟිල්ල උරනවා.
සාමාන්‍යයෙන් ඉපදුණු හැටියේම බබෙක් ඇඟිල්ලක් උරන්නෙ නෑනේ. මට අද වගේ මතකයි එදා ඩොක්ටර්ත් කිව්වා ‘මෙයා නම් හරිම පණ්ඩිතයෙක් තමයි, ඉපදුණු හැටියේම ඇඟිල්ලත් උරනවා’ කියලා.
පුතා පණ්ඩිත වගේම දක්ෂයි. හැබැයි පුංචිකමට ‘චතුරංග’ කියන නම එයාට ගැළපෙනවා කියලා මට තේරුණේ පුතා පෙර පාසල් යන කාලෙදිමයි.
පුතා පෙර පාසලේ තිබුණ විවිධ ප්‍රසංගයේ අංග අටකට විතර හිටියා. කොහොම හරි පුතාට හරියටම විවිධ ප්‍රසංගයට දවස් දෙකකට කලින් උණ ගත්තා. ඒක දැනගත්තු පෙර පාසලේ සිස්ටර්ටත්, මැඩම්ටත් උණ අරගෙන.
රංගනයට විතරක් නෙවෙයි පුතා ඉගෙනීමටත් දක්ෂයි. එයා ඉස්කෝලේ ගියේ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයට. පුබුදු පහ වසරේදී ප්‍රාථමික අංශයේ දක්ෂතම ශිෂ්‍යයාත් වුණා. සාමාන්‍ය පෙළත් ච් 8 ක් අරගෙන සමත් වුණා.
ඒ වගේම පුතාට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. පුංචි කාලේදී ගෙදර එක බිත්තියක් එයාට හිතේ හැටියට චිත්‍ර අඳින්න වෙන් කරලා තිබුණේ. පුතා සමහර දවස්වලට ඇඳපු චිත්‍ර බිත්තියේ එල්ලලා අල්ලපු ගෙවල්වල යාළුවන්ව එක්ක ගෙන ඇවිත් පෙන්නනවා. පුතා ඒ කාලේ අපෙන් අපූරු ඉල්ලීමක් කළා. මොකක්ද දන්නවාද ඒ ඉල්ලීම.
ජනාධිපතිතුමාවත් අපේ ගෙදරට එක්කගෙන ඇවිත් එයාගේ චිත්‍ර පෙන්නන්න කියලා.
පුතා පොඩි කාලේ හරිම ක්‍රියාශීලී දරුවෙක්. හැබැයි ඒ වගේම තමයි හරිම දඟයි. එක මොහොතක් එක තැනක ඉන්න බෑ. පඩි පෙළක්, ගහක් හෝ මොකක් හරි ටිකක් උස තැනක් දැක්කොත් නඟින්නමයි හදන්නේ.
පුතා පුංචි කාලේ ‘ටාසන්’ බැලුවා. ඉතින් ඒ කාලේ එයාගේ ්වැඩේම කෑ ගගහා ගස් උඩ නඟින එකමයි. කොහොම හරි දරුවාගේ ආසාව නිසා අපිත් එයාගේ ටාසන් සෙල්ලමට උදව් කළා.
අපේ ගෙදර වත්තෙ අඹ ගහකුයි, තව දෙහි ගස් වගයකුයි එක ළඟ තිබුණා. හරියට පුංචි වදුලක් වගේ. අපි ඉතින් ඒ වදුලේ අඹ ගහේ පුතාට නඟින්න පුළුවන් විදිහට පැළකුත් හදලා දුන්නා. පුතා දුන්නකුයි ඊතලයකුයි හදාගෙන ඒ කාලේ හැමදාම ඒ පැළට නැඟලා සෙල්ලම් කරනවා.
අවුරුදු තුනේදී මගේ දඟ පැටියා කළ දඟ වැඩක් නිසා අපි හැමෝම බය වුණා. තාත්තා ඉස්සර වැඩට ගියේ මෝටර් බයික් එකකින්. ඉතින් දවසක් බයික් එක වෙනදා විදිහටම එළියේ නවත්තලා ගේ ඇතුළේ අපි කතා කර කර හිටියා. පුතා අපි හැමෝටම හොරෙන් බයික් එකට නැඟලා ස්ටාර්ට් කරගෙන ටිකක් ඉස්සරහට ගිහින්.
ගේට්ටුවේ මොකක්දෝ හයියෙන් වැදෙන සද්දයට තමයි අපි එළියට ආවේ. ඔය වගේ චණ්ඩි වැඩ කීපයක්ම පුංචි කාලේදී කළා. තවත් දවසක් බයිසිකල් උඩ ඉඳන් පහළට පදින්න පුළුවන් නම් පහළ ඉඳන් ඉහළටත් පදින්න පුළුවන් කියලා පඩි පෙළක පහළ ඉඳන් ඉහළට බයිසිකල් පදින්න ගිහින් වැටිලා තුවාල කර ගත්තා.
අවුරුදු තුන හමාරක් විතර ඇති පුතාට ඒ සිද්ධිය වෙන කොට. නමුත් තුවාලෙට මැහුම් පහක් ගහනකන් අඬන්නෙ නැතිව හිටියානේ. කෙහොම නමුත් දැන් නම් පුතා ඉස්සරට වඩා පරිස්සමින් වැඩ කරනවා.
0 comments:
Post a Comment