Thursday, October 27, 2011

සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි

සංගීතයට හා ගුවන්විදුලි සම්ප්‍රදායට නව මානයක්

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශකතාවට නැවුම් සම්ප්‍රදායක් එක් කළ “ලක්හඬ” ගුවන් විදුලිය නොවැ: 15 දිනට වසර 15ක් සපුරයි. දේශීය හර පද්ධතිය සුරකිමින් අපේකම හා මාධ්‍ය සදාචාරය ආරක්‍ෂා කරමින් යන ගමනේදී 15 වෙනි සාංවත්සරික සැමරුම ශ්‍රාවකයන්ගේ රස භාවයන් උද්දීපනය කිරීම සඳහා වෙන් කරන්නට ඔවුන් අදහස් කරති.
සිංහල ගීත සාහිත්‍යයේ වපසරිය පුළුල් කළ ප්‍රවීණ සංගීතවේදින් වන වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ ගායනයෙන්ද රෝහණ වීරසිංහ ස්වර සංකලනයෙන්ද ශ්‍රාවක සිත් පහන් කරන “සඳ රෑ සුවිසර” යුගාභිමානී ප්‍රසංගය නොවැ: 01 දින ප. ව. 6.30ට සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. පහත පළවන්නේ ගැයුමෙන්, වැයුමෙන් හා රැඟුමෙන් ඔපවත්වන එම විරල අත්දැකීම පිළිබඳ පූර්විකා සටහනකි.




සිංහල සංගීත ක්ෂේත්‍රයේ වික්ටර් රත්නායකගේ භූමිකාව මධුරය. මනෝහරය. 60 දශකයේ මුල් භාගයේ ගායක ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගී ලොවට පිවිස ඉතා කෙටි කාලයක් තුළදී රසිකයන් සිය වසඟයට ගැනීමට සමත්විය.
වික්ටර්ගේ ආගමනය සිංහල සංගීත ක්ෂේත්‍රයට දෙයාකාරයකින් වැදගත් වෙයි. අවර ගණයේ අනුකාරක ගීත ගොන්නක සිරවී සිටි තරුණ පරපුර එයින් මුදවාගෙන උත්තම ගණයේ සංගීතය රසවිඳිය හැකි ශ්‍රාවකයන් බවට පත් කරන්නට හැකිවීම එකකි.
වික්ටර් ලාංකේය සුභාවිත සංගීතයට ඉටුකළ අනෙක් මෙහෙය වන්නේ එයට අනාගතයක් තනා දෙමින් ඔහු අනුව යන්නට සංගීත පිරිවරක් තනා දීමය.
1973 ජූලි 20 දිනය, මෙරට සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි. වික්ටර්ගේ “ස” ප්‍රසංගය මුල් වරට ශ්‍රාවක සවන්පත් අතරට වැකුණේ එදිනය. මෙම දිනය අප සංගීත අඹරට තවත් අයුරකින් වැදගත් වෙයි.
ඒ සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවූ රෝහණ වීරසිංහයන්ගේ මුල්ම ගායනය සිදුවූ මොහොත ලෙසය. (පසුව සුනිල් එදිරිසිංහයන් ද ගායකයෙක් ලෙස මුල්වරට කලඑළි බසින්නේ 1975දී ‘ස’ ප්‍රසංගය හරහාය)
වික්ටර්, රෝහණ, සුනිල් සංයෝගය දිගු ඉතිහාසයකට දිව යන්නකි. වික්ටර්ට රෝහණ හමුවන්නේ සොයුරු සෝමපාල රත්නායකගේ මාර්ගයෙනි. සුනිලුන්ට වික්ටර් රත්නායකයන් හමුවන්නේ සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මඟිනි.
ගායකයෙක්ට සිය ප්‍රථම ගීයෙන්ම ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රයතාවයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. “සඳකඩපහණක කැටයම් ඔපලා” ගීතය සුනිල් එදිරිසිංහට එම භාග්‍යය උදා කළේය. මෙම ගීතය වික්ටර්හට වැදගත් වන්නේ එය ඔහු තනුව සැපයූ දහස් ගණනක් ගීත අතර එකක් වීම නිසා නොවේ. එය වික්ටර් කුළුදුලේ සංගීත අධ්‍යක්‍ෂණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “මාතර ආච්චි” චිත්‍රපටයේ ගීතයක් වීම නිසාය.
මේ තිදෙනා අතර සම්බන්ධය එක් මොහොතක ආකස්මිකව ඇතිවූවක් නොවේ. අතු ඉතිලා ලියලා ගිය සබඳතාවයකි.
සුනිල්ගේ මුල්ම සරල ගී වැඩ සටහන සඳහා ද තනු නිර්මාණයෙන් සහයව ඇත්තේ වික්ටර්ය. පසුව ඒ තැන හිමිකර ගත්තේ රෝහණය.
සුනිල් එදිරිසිංහට වැඩිපුරම තනු නිර්මාණය කළ රචකයා රෝහණ වීරසිංහය. එක් අතෙකින් මෙය විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නොවන්නේ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය නොකළ ජනපි‍්‍රය ගායකයෙක් මෙන්ම ඔහු තනු නිර්මාණය කළ ජනපි‍්‍රය නොවූ ගීතයක් සොයා ගැනීමද විරල නිසාය.
රෝහණට මේ කාර්යය කළ හැකි වූයේ ඒ ඒ ගායන ශිල්පියාගේ හඬෙහි තාරතාවය හා ස්වර පරිමාව දැනගෙන ඊට උචිත ලෙස තනු නිර්මාණය කිරීමට තිබූ හැකියාව නිසාය. ඒ සඳහා ඔහුට ආභාෂයක් “ස” ප්‍රසංගයට සම්බන්ධව සිටි අවධියේ වික්ටර්ගේ ‘ස්වර ලිපි’ සකස් කිරීමට උදව් වීමේදී ලැබෙන්නට ඇත. ඔවුන් එකිනෙකාට වෙනස් ස්වාධීන මාවත්වල ගමන් කළද වික්ටර්ගේ මියුරු ස්වර සංරචකයේ හා සංගීත සංයෝජනයේ ඡායාවක් රෝහණ තුළ ද දැකිය හැක. ඒ ඔවුන් දීර්ඝ කාලයක් සමීපව කටයුතු කිරීම නිසා ලැබූ දෙයක් විය හැක.
රෝහණ වීරසිංහ අප වඩාත් හඳුනන්නේ දක්‍ෂ තනු රචකයෙක් ලෙසිනි. නමුත් ඔහු ගයන ‘නෙළුම් මලේ’, ‘මියුරු කවියක්’ ඇතුළු සමහර ගීතයක තනු නිර්මාපකයා ඔහු නොව වික්ටර් රත්නායකය.
එලෙසම වික්ටර් ගයන “බනින්නෙපා පොඩි දෝණිට”, “තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” වැනි ගීතයක සංගීත සංරචනය සිදුව ඇත්තේ රෝහණ අතිනි.
වික්ටර් ගායන ශිල්පියෙක්ට අමතරව දක්‍ෂ තනු රචකයෙකි. සුනිල් එදිරිසිංහගේ ජනපි‍්‍රය ගීත බොහොමයක තනු රචනා අයිතිය බෙදී යන්නේ ඔහු හා රෝහණ අතරය.
වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ තිදෙනා යුග පරිවර්තනයක් අභිමුව “මාතර ආච්චි” (1973) චිත්‍රපටයට පසුව වසර 38 කට පසු එකම වේදිකාවකදී එකට හමුවෙයි.
සංගීත ක්ෂේත්‍රයේ සිය ලකුණු සටහන් කරගනිමින් විටෙක එක්වද, තවත් වරෙක තනිවමද ගමන්ගත් මෙම සංගීතඥයන් ත්‍රිත්වය එකම සංදර්ශනයකදී පළමුවරට ගායක සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ මෙදිනය. මෙය තවදුරටත් පැහැදිලි කළ යුත්තකි.
අඩසියවසකට සහ එයින් අඩ දශකයකට ආසන්න වික්ටර් හා සුනිල්, රෝහණ තිදෙනාගේ සංගීත දිවිය තුළ මෙවැනි සුසංයෝගයක් මෙයට පෙර සිදුව නැත.
“ලක්හඬ” ගුවන් විදුලිය ඔවුන්ගේ 15 වසරක මාධ්‍ය මෙහෙවර සමරන්නට මේ සබැඳියාව නිමිත්තක් කරගනී. මෙනයින් ඔවුන් දක්වන පරිදිම “සඳ රෑ සුවිසර” එළිදකින මොහොත යුගාභිමානයක්මය.
මෙම ත්‍රිමුර්තිය අතර ගෙවුණු ලබැඳි සංගීත දිවියේ මෙතෙක් අප නොදත් රසබර ඉසව් රැසක් ගීත අතරතුර ඔවුන් විසින්ම හෙළිදරව් කිරීමට කතිකා කරගෙන ඇත්තේ මෙම වැඩසටහනේ පූරකයන් ද ඔවුන්ම වන බැවිනි.
එහි පසුබිම් කථනයන් මොනවාදැයි අප නොදන්නා නමුත් සංවිධායකයන් පවසන පරිදි ගායන, සහය ගායන මෙන්ම සංගීත ශිල්පී භූමිකා අතරද වෙනස්කම් ද මේ ප්‍රසංගයේදී සිදුවිය හැක. ඒ ඉඟිය අප වටහා ගත යුත්තේ වික්ටර්ගේ ගීතයක් සුනිල්ගේ මියුරු හඬින් හෝ සුනිල්ගේ ගීයක් වික්ටර්ගේ මියුරු හඬින් ගායනා විය හැකි ලෙස පමණක් නොවේ. රෝහණ වීරසිංහයන් ගයන “මුතු කුඩ ඉහලන මල් වරුසාවේ” වැනි ගීතයක් වෙනත් හැඟුම් වරුසාවකට හසුවිය හැකි බවය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money