Friday, November 4, 2011

සමාජයේ දූෂිත අංශයන් කිහිපයක්‌ ගැන

'මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම
කලාකරුවා සතු යුතු කමක්‌'
- 'තැන්ක්‌ යූ බර්ටි' ගෙන එමින් ටෙනිසන් කුරේ කියයි






මිනිසුන් වූ අප, නිතරම සතුටින් සිනහවෙන් දිවි ගෙවීමට කැමතිය. "සිනහව යනු" ශරීරයේ "ලේ" පිරිසිදුව තබන මිලක්‌ නොගෙවිය යුතු ඖෂධයකි. සිනහව උත්පාදනය කළ හැකි ක්‍රමෝපායන්ද රැසකි. කලාකරුවා යනු මිනිසුන් සතුටු කළ හැකි පුද්ගලයෙකි. බොහෝ කලාකරුවෝ එය ඔවුන්ගේ යුතුකම ලෙස දකිති. අද අප කතා නායකයාද එවැන්නෙකි. දශක තුනකටත් වැඩි වූ ඔහුගේ කලා දිවිය තුළදී, වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරයද සිය රංගනයෙන් ආලෝකවත් කළ ඔහු හාස්‍ය උත්පාදන රංගනයට උපන්ගෙයි හපනෙකි. 80 දශකයේ රිදී තිරයේ දිග හැරුණු "නොම්මර එකයි" චිත්‍රපටයේ නොම්මර එකේ රංගනයක නියෑළුණු ඔහු "පෙරළිකාරයෝ, වරදට දඬුවම්" ඇතුළු සිනමා සිත්තම් 100 කදී පමණ සිය රංගන දක්‍ෂතා නිසාවෙන් ප්‍රේක්‍ෂකයා අමන්දානන්දයට පත් කළ බව ලිවිය යුතුව නැත. "කුරුල්ලා, මෑන්ද මෑන්, කැප්ටන් කූල්, ටාසන් ද බබා" යන වේදිකා නාට්‍ය නිර්මාණ ඔස්‌සේ ප්‍රබල සමාජ මෙහෙවරක යෙදුණු ඔහු සිය නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "අයි ඈම් ශ්‍රී ලංකා" ප්‍රේක්‍ෂක අභිමුවට ගෙන එමින් සමාජයේ දූෂිත අංශයන් කිහිපයක්‌ ගැන හාස්‍ය ඔස්‌සේ ප්‍රබල ලෙස වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌ කරයි.

මේ මස 18 වැනිදා සිකුරාදා රිදී තිරයේ දිග හැරීමට නියමිත, "තැන්ක්‌ යූ බර්ටි" සිනමා සිත්තම අප කතා නායකයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණයයි. එසේනම් තවත් අටුවාටීකා හෝ ටිප්පනි, ඔහු වෙනුවෙන් ලිවිය යුතුව නැතැයි සිතමි. හේ වෙනින් කිsසිවකු නොව තිර පිටපත් රචකයකු, රංගන ශිල්පියකු සහ අධ්‍යක්‍ෂවරයකුද වන ජනප්‍රිය සහ ප්‍රවීණ කලා ශිල්පී ටෙනිසන් කුරේයි.

"තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය ප්‍රදර්ශනයට තවත් දින කිහිපයක්‌ ඉතිරිව ඇති මේ මොහොත ඔහුට කොතරම් කාර්යබහුල වුවත්, "දිවයින සිනමා කලා" වෙතට අදහස්‌ ප්‍රකාශ කිරීමට මේ සුන්දර නිහතමානී කලාකරුවා නොපැකිළුණු බවද මෙහිලා සටහන් කරමු.

"අයි ඈම් ශ්‍රී ලංකා" වේදිකා නාට්‍යය හරහා
ඔබ මේ දිනවල සමාජගත කිරීමට උත්සුක වන
පණිවිඩයට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවාද...?

සත්තකින්ම... මා උත්සහ දරන්නේ හාස්‍ය තුළින් ප්‍රේක්‍ෂකයාට රසයක්‌ ඇතිකරලීමටයි. එය විශාල සතුටක්‌ වගේම පිනක්‌. නමුත් මේ නාට්‍ය හාස්‍ය රසයට පමණක්‌ සීමා වූවක්‌ නොවෙයි. සමාජයේ සිදුවෙමින් පවතින යම් යම් අසාධාරණ ක්‍රියා පිළිවෙත් වගකිවයුත්තන්ට පෙන්වාදීමක්‌ සිදුකරනවා. පුද්ගලිකව මටත් මෙවැනි අවස්‌ථා රැසකට මුහුණ දීමට සිදුවුණා. එවැනි දේ ඒ අයුරින්ම නැවත නැවත සිදුනොවීමට මෙවැනි වූ නාට්‍ය නිර්මාණ හරහා යම් දෙයක්‌ කළ හැකි බව මගේ විශ්වාසයයි. මම අහල තියනවා අපේ ජනාධිපතිතුමා රජයේ නිලධාරීන්ට කියනවා, ජනතාව රස්‌තියාදු නොකර නිසි ලෙස ඔවුනට සේවය සපයන්න කියලා. නමුත් ඒ දේ ඒ අයුරින්ම සිදුවෙනවාද කියා ප්‍රශ්නයක්‌ අප හමුවේ තිබෙනවා. කළ නොහැක්‌කක්‌, කෙසේ හෝ කරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මීට වඩා මහජනයාට සේවය සැලසීමේදී සානුකම්පිත විය යුතු බව පැවසිය යුතුමයි.

ඔබ නිතරම කියනවා මිනිසුන් සතුටින් තැබීම
ඔබේ සතුට කියලා. ඔබේ නිර්මාණ හරහා එය සිදුකරන
ආකාරය පිළිබඳව තවදුරටත් විග්‍රහ කළ හැකිද...?

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" යන උතුම් කියමනට මා තුළ ඇත්තේ ඉහළ ගෞරවයක්‌. සැබැවින්ම කලා ශිල්පියා යනු මිනිසුන් සතුටින් තැබිය හැකි පුද්ගලයකු විය යුතුයි. මිනිසුන් සතුටින් තබන්නට නම් මූලිකවම ඔවුන්ගේ මානසික සුවය සැදිය යුතුයි. මානසික සුවය ළඟා කර දීමට නම් සිනහව උත්පාදනය කළ යුතුයි. මේ නිසා හාස්‍ය ගැබ්වුණු නාට්‍යයකට හෝ සිනමා පටයකට කළ හැකිදේ බොහෝයි. මගේම වූ නිර්මාණ තුළින් යන මා රංගන දායකත්වය ලබාදෙන කලා නිර්මාණ ඔස්‌සේ සැමවිටම ඒ දෙය ලබා දෙන්නට මා උත්සුක වනවා. ක්‍ෂේත්‍රයේ පිරිසටත් වඩා පරිබාහිර ක්‍ෂේත්‍රවල පිරිස්‌ මගේ නිර්මාණ අගයනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයන්ත ලියනගේ, හෘද රෝග විශේෂඥ ඩී. බී. අතුකෝරල, වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්‌පති පූජිත විජයසුන්දර, මනෝ විද්‍යාඥ ප්‍රසන්න පණ්‌ඩිතරත්න, තිනියාවල පාලිත හිමි, පානදුරේ පඤ්Æලෝක හිමි මා නිරතුරුව දිරිමත් කරන්නේ එම නිසයි.

ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය
"තැන්ක්‌ යූ බර්ටි" පිළිබඳව සඳහන් කළොත්...

අපේ රටේ ඇතැමුන් මගේ නාට්‍ය විවේචනය කරමින් මට දොස්‌ පැවරුවත් ඒ නාට්‍ය නිර්මාණ හරහා ප්‍රේක්‍ෂකයන් දිනා ගනිමින් යම් පෙරළියක්‌ සිදුකරලීමට මට හැකියාව ලැබුණා. ඒ ප්‍රේක්‍ෂක ආදරය නිරතුරුවම මට ලැබෙන නිසා. මා ද පෙරළා ඔවුනට ආදරය කළ යුතුයි. මගේ කලා දිවියේ වසර ගණනක අත්දැකීම් උපයෝගී කොට ගනිමින් සිනමා පටයක්‌ නිර්මාණය කරමින් මා සූදානම් වන්නේ ඒ කෘතවේදීත්වය මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයාට ලබාදීමටයි.

"තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය සඳහා එක්‌වුණු
ඔබේ සහෝදර කලා ශිල්පීන් පිළිබඳවත් යමක්‌ පැවසුවොත්...

මේ චිත්‍රපටය, ත්‍රාසය, භීතිය, කුතුහලය ගැබ්වුණු හාස්‍ය පිරුණු කලා නිර්මාණයක්‌. මෑත භාගයේ විශාල නළු නිළි පිරිසක්‌ එක්‌වුණේ "තැන්ක්‌ යූ බර්ටි" චිත්‍රපටය සඳහායි. වසර පහකට පසුව අපේ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහත් මාත් ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙන්නේ මේ චිත්‍රපටය හරහායි. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් රැසක්‌ එක්‌ව රඟපාන චිත්‍රපටයත් මෙයයි. දිල්හානි ඒකනායක, නිලන්ති ඩයස්‌, ආනන්ද වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, මානෙල් වානගුරු, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, මහින්ද පතිරගේ, ප්‍රියංකර පෙරේරා, අනුෂා දමයන්ති ආදීන් සේම ප්‍රවීණ සහ නවක ශිල්පීන් රැසක්‌ම මීට දායකත්වය සැපයුවා. සංගීත අධ්‍යක්‍ෂණයෙන් සෝමපාල රත්නායක, සටන් අධ්‍යක්‍ෂණයෙන් වසන්ත කුමාරවිලත් මා කෙරෙහි විශ්වාසයෙන් යුතුව "තැන්ක්‌ යූ බර්ටි" අධ්‍යක්‍ෂණය සහ තිර රචනය සිදුකරලීමට මා දිරිගැන්වූ නිෂ්පාදක ජගත් එම්. යාපාවත් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කර ගැනීමට කැමතියි. හාස්‍ය උත්පාදන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්‍ෂක හදවතේ ලැගුම්ගත් ඔහු අධ්‍යක්‍ෂවරයකු ලෙසින්ද පෙරළිකාර චරිතයක්‌ වනු ඇති බව අපේ විශ්වාසයයි. ප්‍රේක්‍ෂකයා රස ගඟුලක සහ සිනහ සයුරක ගිල්වා මේ මස 18 වැනිදා සිකුරාදා ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවන්හි දී ප්‍රදර්ශනය අරඹන, "තැන්ක්‌ යූ බර්ටි" සිනමාපටය එයට නිදසුන් සපයන බවට නිසැකය. එය ඔහුගේ ඉදිරි නිර්මාණයන්ට තවත් අත්වැල් සැපයීමක්‌ වනු ඇත. ටෙනිසන් කුරේ නම් වූ ප්‍රවීණ කලා ශිල්පියාණන්ටත්, ඔහුගේ ඉදිරි කලා දිවියටත් සුබ පතන අප ඔහුට චිර ජීවනයද ප්‍රාර්ථනා කරමු.

සාකච්ඡා කළේ - සුජීව තත්සර


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money