ඕෂි හැමදාම හැන්දෑවට බෑග් එක බලන්නේ

දවසක් පුංචි දෝණි අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා ටවුමට ගියා. එතකොට මේ පුංචි කෙල්ලට යාන්තම් අවුරුදු දෙකක් විතර ඇති.
එක පාරටම මේ හුරතලීගේ ඇහැ නැවතුණේ රතු පාට ඉංග්‍රීසි අකුරින් ලියා තිබූ නාම පුවරුවක් ළඟ. මේ කෙලි පැටික්කි දෙවරක් නොසිතා හයියෙන් බී, ඒ. ටී. ඒ කියා කෑ ගැසුවා. ඒ හඬට ඇයත් මවත් දෙස හැරී නොබැලූ කෙනෙක් නොමැති තරම්.
අපහසුතාවයට පත් අම්මා නම් දූ සිඟිත්තිය සමඟ ඊට පසුව පාරේ ඇවිදගෙන යන විට ඇතැම් අවස්ථාවලදී දෝණිගේ කට සියතින් වැසුවේ යළිත් පෙර සිදු වූ වැන්නක් යළිත් නොවන්නට වග බලා ගනිමින්.

දුවට චූටි කාලේ එයාගේ වයසේ අනිත් ළමයින්ට වඩා හොඳට කියවන්න පුළුවන්.
දවසක් දූගේ පෙර පාසලේ මිස්ගේ දුව උම්මග්ග ජාතකය ගෙනහල්ලා. එයා දුවට වඩා වැඩිමල් දරුවෙක්.
අපගේ දූ ඒ දරුවා ළඟින් දුවන ගමන් උම්මග්ග ජාතකයේ තිබුණ වචනයක් කියලා.
මිස්ටත් හරිම පුදුම හිතිලා. ඇත්තටම පෙර පාසල් යන සමහර දරුවෝ හැමදාම කියලා දෙන වචනයක වුණත් අකුරු අමුණගෙන කියවන්නෙ හරිම අමාරු වෙන්නේ.
දුව පුංචි කාලේ ඉඳන්ම හරිම කැමැතියි පොත් කියවන්න. එයා ශිෂ්‍යත්වෙන් ලකුණු 182 ක් අරගෙන සමත් වුණා. ඉස්සර එයා කිව්වෙ කවදා හරි එයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.

අම්මාට දියවැඩියාව තිබුණ නිසා ගෙදරදී අම්මාට ඉන්සියුලින් ඉන්ජක්සන් එකක් දෙනවා.
මම දවසක් නිදාගෙන ඉන්න කොට මොකෙක්දෝ මගේ අත කනවා වගේ දැනිලා නැගිටලා බැලින්නම් මගේ පුංචි දොස්තර නෝනා එයාගේ ලේයි මගේ ලේයි එක පාටද කියලා බලන්න අපේ අම්මාට බෙහෙත් විදින සිලින්ජරයක් අරගෙන ඇවිත් මට විදිනවා.

දූ හැමදාම හවසට තාත්තා ගෙදර ආවාම තාත්තා නංගියෙක් හරි මල්ලියෙක්ව ගෙනහල්ලා ඇතයි කියලා බෑග් එක අවුස්සනවා.
ආ . . . මට දුව ගැන බය හිතුණු දවස ගැන නම් කියන්නම ඕන. ඉස්සර ‘ඉරට අඬන මල්’ ටෙලි නාට්‍යය රූගත කළේ අපේ ගෙවල් ළඟ. ඉතින් ඒ කාලේ අපේ ගෙදර තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ දුව සෙල්ලම් කළේ.
ඒ දුවත් ඕෂිගේ වයසෙමයි. දවසක් දුවලා දෙන්නාම පඩි පෙළේ සෙල්ලම් කර කර හිටියා. මමත් ඒ අතරවාරයේ මගේ වැඩක් කළා.

ඕෂිගේ කටේ ලේ පිරිලා. අනිත් දුවගේ කටිනුත් ලේ එනවා. ඊට පස්සේ මම දෙන්නාවම ඩොක්ටර් ළඟට එක්ක ගෙන ගිහින් බෙහෙත් දැම්මා.
ඊට පස්සෙ මම ඇහුවා දෙන්නාගෙන් මොකද වුණේ කියලා. දන්නවද මොකද වෙලා තියෙන්නේ කියලා? ආදරේ වැඩිකමට ඕෂි අනිත් දරුවාව වඩාගෙන.

පුංචි කාලේ දූ එච්චරම දඟ නෑ. හැබැයි චණ්ඩි පැටියා කිසිම දේකට බය නෑ.
මම මොනවා හරි දේකට බය වුණාම දූ මං ළඟට ඇවිත් කියනවා ‘අම්මා බය වෙන්න එපා මං ඉන්නවානේ’ කියලා.
එදා මගේ තනියට හිටපු දෝණි ගැන මම දැන් වෙනදාටත් වඩා හොයලා බලනවා.
පුංචි කාලේ ඉඳන්ම අද වෙනකන් හෙවනැල්ල වගේ හැම වෙලාවෙම මම හිටියේ දුව ළඟමයි. දොස්තර කෙනෙක් නොවුණත් දුව අද ඉන්න තැන ගැන මම වගේම දූගෙ තාත්තාත් සතුටුයි.
0 comments:
Post a Comment