ලකීට සම්මාන ගෙනා ‘ලක්ෂපති’ ට මොකද වුණේ?
අපි ඒ ගැන කතා නොකර ඉමු
දහසක් දරුවන්ගේ දෙනෙත් පාදපු නීටා ඩයස් ඉස්කෝලේ හාමිනේ දහ අතේ කල්පනා කළා.
‘අපේ පුතාව මොන ඉස්කෝලෙටද යවන්නේ?’
ඒ කතාවට හූමිටි තිබ්බේ වොලී ඩයස්. ලක්ෂ්මන් ඩයස්ගේ තාත්තා. ලකීගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.
‘කොළඹ ආනන්ද විද්‍යාලය හොඳා’
වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.
‘මෙකද ඉතිං අපට දරුවෝ දහ දෙනෙක් ඉන්නවා කියලයැ, මේකා විතරයිනේ.’
නීටා ඩයස් ගේ හිතේ මල් පිපුණා. ලකී ඉපදුණ දා ඉඳලා ඈට ඕන වුණේ තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් කරන්නයි. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක්. මේ කොයි කවුරු වුණත් කමක් නෑ. පියෙන් පිය තබලා ඇවිදින ලකී පුතාගෙ මුහුණ බලාගෙන ඈ නොයෙක් වර හීන මැව්වා.
ලකී ගම්පහ පුරවරයෙන් කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ එහෙමයි.
‘අපූරු හුරුබුහුටි කොලු පැටියා’
දවසින් දවස උස් මහත් වන ලකීව දකින ගමේ හැමෝම කිව්වා. ලකීගේ ඒ අපූරු හුරුබුහුටිකමත් සමඟම තිබුණේ දඟකාර බවක්. කිසිම අඩු පාඩුවක් නැතුව හැදුණු වැඩුණු ලකීගේ දඩබ්බරකමට වෙලාවක් තිබුණේ නෑ. දඩබ්බරයන් රොත්තකට නායකයා වුණු ලකී කාටත් හොරා ආනන්දයේ වැට පැන්නේ චොප්පෙ කියන චණ්ඩියා බලන්න. ඊළඟ දවසේ 10.30 ට බොරැල්ලේ රිස්ට් එකේ මැටිනි ෂෝ එකක්. ඊට පස්සේ කොලු රංචුව නැග්ගේ පුංචි කෝච්චියේ රවුමක් යන්න.
ලකීගේ මේ කොලුකම් ගැන ඇහැ ගහගෙන හිටිය අපූරු කෙනෙක් ආනන්දයේ හිටියා.
‘කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ’
ඔහු ලකීට අපූරු දඬුවමක් දුන්නා. ඒ ශිෂ්‍ය නායක පදවියක්. ඒ තමයි ලකීගේ මුල් ගුරුතුමා. දෙවැන්නා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා. ලකී ජීවිතේ පිළිබඳ අපූරු පාඩම් කිහිපයක්ම ඉගෙන ගත්තේ මේ ගුරුතුමාගෙන්. කාලයක් රාජ්‍ය ඇමැති වෙලා හිටිය මෙතුමාත් ලකීත් අතරතිබුණේ අපූරු බැඳීමක්. ඒ බැඳීම කොයි තරම් දුර දිග ගියාද කිව්වොත් ලකී නැවතුණේ රටක් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙලා.
‘මා අද දක්වා පැමිණි ගමනේදී ලබාගත් ජයග්‍රහණයන් පසුපස ඔවුන්ගේ ආශිර්වාදය සැමදා තිබෙන බව නිසැකයි.’
ලකී ඩයස් කියන ඒ විශිෂ්ට රංගන ශිල්පියාගේ ස්වරය මාව රැගෙන ගියේ අතීතයට. කාලෙකට පස්සේ ඒ ආරිය සිංහල ඇඳුම ඇන්ද බලදේව මුණ ගැහෙන්න අපි ගියා ඔහුගේ නිවෙසට. ‘
මේ චරිතයෙන් මතු වෙන්නේ සේකරගේ චරිතය. ඒ නිසා රැවුල කපන්නම වෙනවා.’
පරාක්‍රම නිරිඇල්ල කිව්වේ ලකීව ඉහළ සිට පහළට නිරීක්ෂණය කරන ගමන්. සෝමවීර සේනානායකත් ඒ අදහස පිළිගත්තේ ඔළුව වනලා.
‘මට මේ චරිතය නොලැබුණත් ඒක නම් කරන්න බෑ.’
පරාක්‍රම නිරිඇල්ලත්, සෝමවීර සේනානායකත් මුහුණෙන් මුහුණ බලා ගත්තා. ඒ මේ ඉළන්දාරියාගේ කීමට. අන්තිමට මේ දෙන්න තීරණයකට ආවා. බලදේවගේ රැවුල නොකපන්න. බලදේවගේ මුහුණේ රැඳුණු ඒ රැවුල අද ලකීගේ මුහුණෙන් අතුරුදන්. එක කාලයක මුළු රටක්ම ආදරය කළ බලදේවගේ ඒ සිනාව නම් කාටවත් උදුර ගන්න බැරි වෙලා වගෙයි. කාලයක් බලදේව සර්ට ආදරය කළ අපට එහෙම සිතුණා.
‘ඉතිං බලදේව සර්’
ඔහුගේ සිනහව කට දෙකොනට විහිදුණා. ඒ සිනහවේ අපූරු කතාවක් හැංගිලා.
‘ළඟදි ලැබුණු සම්මානය ගැනවත්ද?’
‘පසුගිය දවස්වල තිබුණු සුමති සම්මාන උළෙලේදී මට ලැබුණේ ප්‍රශස්ථ ඇගයීම් සම්මානයක්. ඒ ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති කියන වැඩ සටහන මෙහෙයවීම සම්බන්ධයෙන්. මේ ලැබුණු ලක්ෂපති සම්මානය මට මෙතෙක් ලැබුණු සියලු සම්මාන අභිබවා ගිහින්. මගේ ජීවිතයේ ලොකුම සම්මානය බවට පත් වුණා කියලා කිව්වොත් නිවැරැදියි.
මම එහෙම කියන්නේ මෙතෙක් ලැබුණු බොහෝ සම්මාන මට ලැබිලා තියෙන්නේ රංගනයට, අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට කියන රංගනයට අදාළ කටයුතු සඳහායි. නමුත් මේ සම්මානය ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තක් සඳහායි.
ඒ කියන්නේ කවුරු හරි මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කළ දෙයකට තමයි මට මේ සම්මානය හිමි වුණේ. ඒ නිසා මේ ලැබුණු සම්මානය මට ජීවිතයටත් වඩා වටිනවා. ලක්ෂපති වැඩසටහන කරන කාලයේදී අසීමිත ජනප්‍රියත්වයක් වගේම වැඩිම පිරිසක් නරඹන වැඩසටහනක් විදියට අපි වාර්තාවක් තිබ්බා.
ඒත් මොකක්දෝ දෙයකට වගේ වැඩසටහනෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් අද ඒ තිබුණු තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. යන යන තැන හැමෝම අය මැසිවිලි නඟන්නේ ලකී ඩයස් නැතුව අපි මේ වැඩසටහන නරඹන්නේ නෑ කියලයි.
ඒක එක්තරා විදියක දුකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් නැතිවාම නෙවෙයි. මොකද ඒ නිසාම වෙන්න ඇති මගේ තිබුණු අගය තේරුම් ගත්ත ජූූරියක් මට මේ සම්මානය ලබා දුන්නේ.’
‘සිරස රූපවාහිනියේ විකාශය වුණු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩසටහනේ ඔබ දැන් නැහැ. ඇයි එහෙම වුණේ?’
‘ඒ ගැන අපි කතා නොකර ඉමු. මේ කොහොම වුණත් මේ සම්මානය ලබා ගැනීමට මට උදව් කළ අය බොහොමයක් මේ සම්මානය පිටුපස ඉන්නවා. අපි ඔවුන් පිළිබඳ කතා කරමු. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට මගේ ස්තුතිය පළමුව හිමි විය යුතුයි.
මොකද මේ වැඩසටහනට මාව යොමු කළේ ඔහුයි. ඒ වගේම මේ වැඩ සටහන ලෝක ප්‍රසිද්ධ වැඩ සටහනක්. එංගලන්තයෙන් පැමිණි ඒ පිරිස වැඩසටහන මෙහෙයවීමට මා තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ටත් මා ස්තුති කළ යුතුයි. වැඩසටහන මෙහෙය වීමේදී තිරය පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටියා. මගේ කටයුතු සොයා බැලීමට වෙනම පිරිසක් යොදවලා තිබුණා.
වෙරෝනිකා ඒ වගේම ධනුෂ්ක කියන සම අධ්‍යක්ෂවරයා, විරාජ් වැලිවත්ත කියන අධ්‍යක්ෂවරයා ඇතුළු හැම දෙනාම මතක් කළ යුතුයි. මේ සම්මානය පිටුපස ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් තිබෙන බව කියන්නේ මම බොහොම කැමැත්තෙන්. ඒ වගේම මට සම්මානයක් ලබා දුන්න ජුරිය නිවේදකයෙක් ලෙස මා ඇරැඹූ ගමනේ සාර්ථකත්වය සනාථ කළා. මගේ ස්තුතිය ඔවුන්ටත් හිමි විය යුතුයි.’
සම්මාන පිළිබඳ මතකයට නැඟෙන විට අපේ සිතට පිවිසෙන්නේ අපූරු සිද්ධියක්.
ලකී පුංචි තිරයට ආවට පස්සේ දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණේ ඔහුගේ දක්ෂතාව අගයලා. ඒ වගේම ජනප්‍රියත්වයට.
‘මේ සම්මාන මටම ලැබිලා කොහොමද?’
ලකී ඩයස් කියන මේ හිත හොඳ රංගන ශිල්පියා තීරණයකට ආවා. ඔහු ලියුමක් ලිව්වා. ඒ සුමති සම්මාන උළෙලේ නියාමකතුමාට, තිලංග සුමතිපාල මහත්තයාට.
‘මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාගේ නිර්දේශිත නාමයන්ගෙන් මම ඉවත් වෙනවා.’
රංගන ශිල්පියෙකුගේ ඒ වගේ කැප කිරීමක්.හැමෝටම එහෙම හිතුණා.
‘අදත් ජනප්‍රිය නළුවා, නිළියට සම්මාන ලැබෙනවා. මොකද හිතෙන්නේ?’
‘ඒක බොහොම කාලයකට ඉස්සර සිද්ධ වුණු දෙයක්. යශෝරාවයෙන් පස්සේ දිගින් දිගටම රඟපාන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබුණා. මේ රඟපෑ ටෙලි නාට්‍යවල මගේ රංගනයට දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණා. ඒ වගේ එක් අවස්ථාවකදී යළිත් මගේ නම ජනප්‍රිය නළුවාට නිර්දේශ වී තිබුණා. ඒ අවස්ථාවේ මම ඉල්ලා අස් වෙන බව කියමින් තිලංග සුමතිපාල මහත්තයට ලියුමක් ලිව්වා.
දිගින් දිගටම මට සම්මාන හිමි වුණොත් අනෙත් දක්ෂ රංගන ශිල්පීන්ට සම්මානයක් ලැබෙන්නට තිබෙන අවස්ථාව නැති වීම පිළිබඳ මගේ සිතට ඇත්තටම ඇති වුණේ දුකක්. මම නිසා ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියන හැඟීම ඇති වුණා. ඒ නිසයි ඔහුට එවැනි ලියුමක් ලියා ඉල්ලීමක් කළේ. ඒ අතීතයේදී. නමුත් අද මේ තත්ත්වය හොඳටම වෙනස්.
අද ඉන්න සමහර නළු නිළියෝ ජනපි‍්‍රය නළු නිළියෝ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන අය සල්ලි තියෙන වයසට ගිය ගැහැනියක් හරි මිනිහෙක් හරි අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ සල්ලිවලින් පත්තරවලට කූපන් දමලා, නැත්නම් එස්. එම්. එස්. ගහලා ලස්සන සූට් එකක් ඇඳලා අත් දෙක උස්සලා සම්මානයක් ගන්නවා. මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. ඒ මදිවට ලංකාවටම පෙන්නන්න හදනවා මම තමයි ජනප්‍රිය නළුවා කියලා. ඒ වුණාට ප්‍රධාන චරිතයක්වත් රඟපාලා නැහැ. අන්න එහෙමයි අද ජනප්‍රිය නළු නිළියන් වෙන්නේ.’
කොහොම වුණත් නීටා ඩයස්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව සඵල නොවුණත් ලකී ඩයස් ලංකාවේම ජනතාව ආදරය කරන විශිෂ්ට රංගධරයෙක් වුණා. ඔහු රංගනයට පිවිසි කාලයේ රඟපාන බවක් නිවැසියෝ දැනගෙන සිටියේ නැති තරම්. කොහොම වුණත් පුතණ්ඩියා වරින්වර වෙනස් කරන රැවුලත්, කොණ්ඩයත් ගැන ඉස්කෝලෙ හාමිනේට තිබුණේ සැකයක්. අල්ලපු ගෙදර හිටිය මනුස්සයා ලකී ඩයස් රඟපෑව වජිරා ච්ත්‍රපටය බැලුවා.
‘ඉස්කෝලේ හාමිනේ ලකී ඊයේ පොලිස් චරිතයක් කළා නේද? ඒකද අර රැවුල එහෙම වෙනස් කරලා තිබුණේ.’
‘එහෙනනම් ඉතිං එයා කියනවනේ’
ලකීගේ අම්මා ගත් කටටම කිව්වා. අල්ලපු ගෙදර කෙනාට ලකීව අඳුන ගන්න බැරි වෙලා. ලකී හෙමින් ගෙදරින් ගියේ ඒ කතාව ඇසෙන්නේ නැති ගානට.
එතැනින් පටන් ගත්ත ලකීගේ රංගන ගමන නිරූපමාලා, හිමි අහිමි, ඇබෑර්තුව, ඉරට හඬන මල්, අහිංසා, සිරිමැදුර, අවරගිර, අනුරාගයේ අනන්තය, මධු සමය ආදී නිර්මාණ ඔස්සේ පුංචි තිරය, රිදී තිරය දක්වා විහිදුණා. යශෝරාවයේ බලදේවගේ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. ඔහු වැනි තරුණයෙකුගේ රංගනය විශිෂ්ට බව කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිතර කිව්වා. එතැනින් පස්සේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ලකී ඩයස්ට ගෙනාවේ ශක්තියක්.
‘මගේ ජීවිතයේ ඊළඟ ගුරුවරු වුණේ ගාමිණී ෆොන්සේකා කියන විශිෂ්්ට නළුවා. ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ඔවුන් දෙදෙනාගෙන් මගේ රංගන ජීවිතයට ලැබුණු උපදෙස්වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. ඔවුන් දෙදෙනා මට රංගන පාසලක්.’
‘සුවඳ ඔබයි අම්මේ’, ‘සිව් දිය දහර’ වගේ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පමණක් සීමා වී සිටි ඔහු අධ්‍යක්ෂණයටත් පිවිසියා. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කාලයක් ඔහුගේ ජීවිතය වුණා.
‘කාලයකින් ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයක් අපි දුටුවේම නැහැ.’
‘අලුතින් මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නෑ. ඒ අද ටෙලි නාට්‍ය කලාව බල්ලට ගිහින් නිසයි. ඒවායේ ගත යුත්තක් නෑ. අද චැනල්වලින් ගෙවන ගණන්වලට ටෙලි නාට්‍ය කරන්න බෑ. ටෙලි නාට්‍යවලට ගෙවන්න බැරි හේතු තිබෙනවා. ඒ ලංකාවේ වී ඇටය ද වැලි ඇටය ද දිනෙන් දින සත 50 කින් රුපියලකින් ඉහළ යද්දී කලාව විතරක් දහස් ගණනින් බාල්දු වෙන නිසයි.
මොකද තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න, තමන්ගේ සාක්කුව පුරව ගන්න අම්මා මුත්තත් විකුණන හැදිච්චකමක් නැති මිනිස්සු කලාවට ඇවිල්ලා. කිසිම ප්‍රමිතියක් නැති, කිසිම කතාවක් නැති, මුළු දරු පරපුරම විනාශයට ඇද දමන දේ තමයි මේ නාට්‍යව ලින් පෙන් වන්නේ. මේ නිර්මාණවල තිබෙන භාෂාව අන්තිමයි. මේ නාට්‍යවල තිර පිටපත් ලියන බොහෝ අය තමයි මේ වරද කරන්නේ. ඒ අය සමාජ අධ්‍යයනය කරලා නෑ. අයන්න, ආයන්නවත් ලියා ගන්න බැරි අය තමයි අද පිටපත් ලියන්නේ.
මේවා ලියන්න අනුබල දෙන්නේ කවුද නිෂ්පාදකවරු. ඒ බහුතරයේ ඉන්න නිෂ්පාදකවරු වෙන්නේ පාන් බේකරි කාරයෝ, අරක්කු තැබෑරුම් කාරයෝ. එහෙම නැත්නම් අධර්මිෂ්ටව මුදල් හොයා ගත්ත අයයි. ඔවුන් නිර්මාණයන්ට තම මුදල් යොද වන්නේ කලාවට තිබෙන ආදරය නිසාවත්, කලාකරුවන්ට තිබෙන ආදරය නිසාවත් නෙමෙයි. වෙන වෙන දේ බලාපොරොත්තුවෙන්.
ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කොහොම වුණත් මේ අතර හොඳ නිෂ්පාදකවරු, හොඳ පිටපත් රචකයන්, හොඳ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අය පිළිබඳ නෙමෙයි මා මේ කතා කළේ. අනිත් අය පිළිබඳයි. කලාව කියන්නේ උත්තරීතර ගෞරවනීය දෙයක්. ඒක ඔවුන් විනාශ කරනවා. මේක හරිම ඛේදවාචකයක්.’
කවුරු හරි ඇහුවොත් එහෙනම් ඔබත් මේ ටෙලි නාට්‍ය රඟපානවා නේද කියලා?
‘එහෙම නොවුණොත් අපේ ගෙදර බත් කන්නේ කොහොමද? මම ජීවත් වෙන්න සමාජ විරෝධී දේවල් කරන්නේ නෑනේ. කන්න, බොන්න, අඳීන්න, ගමනක් බිමනක් යන්න, යාළුවෙක් හමු වෙන්න, අසරණයකුට සලකන්න ඕන. මේ හැම දේටම මුදල් අවශ්‍යයි.
මුදල් හම්බු කරන්න මට සමාජ විරෝධී දේවල් කරන්න බෑ. අනිත් කාරණය තමයි මේ ටෙලි නාට්‍යවලට කතා කරන කොට කියන්නේ නෑනේ මේ ටෙලි නාට්‍යයට කතාවක් නෑනේ කියලා. මේක ලියන කෙනාට ලියන්න බැහැයි කියලා කියන්නේ නෑ.
ටිකක් දුර යන කොටනේ දැනෙන්නේ රේල් පීල්ල පැනලා කියලා. මගේ ගෙදරත් බත් කන්න ඕන නිසා රඟපානවා. සල්ලිවලට. මම මෙහෙම කියන්න ලැජ්ජා වෙන්නේ නෑ. පස්සේ හිතෙනවා සල්ලිවලට වුණත් මගේ ආත්මය පාවලා දෙන්න පුළුවන් ද? ඊට පස්සේ දමලා ගහලා යනවා.
මේ දවස්වල ඔබ අලුත්ම ටෙලි නිර්මාණයකට දායක වෙලා නේද?
‘ඇත්තටම කාලෙකට පස්සේ කරන හොඳ ටෙලි නාට්‍යයක්. මම වගේම මේ ටෙලි නාට්‍යයේ සබීතා, දිල්හානි, නිමන්ති, කාංචනා වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් රඟපානවා. මෙහි නිෂ්පාදිකාව කලාවට යමක් කිරීමට උවමනාව තිබෙන නෝනා මහත්මියක්. අධ්‍යක්ෂණය කරන්නේ සාරංග මෙන්ඩිස් කියන තරුණ අධ්‍යක්ෂවරයා. ඔහුත් හොඳ නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්.
‘මේ දවස්වල බොහොම කාලයකට පෙර රූගත කළ ‘අකුණු සැර’ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.27 ට විකාශය වෙනවා.
එහි මා රඟපාන්නේ විලී කියන දාමරික මනුස්සයකුගේ චරිතයක්. සරම් කෝට් අඳින මේ චරිතය ඔස්සේ මගේ රඟපෑමේ වෙනසක් දැකිය හැකියි.’
ඔහුගේ වේගවත් හඬ ගලා යන්නේ වේගවත් සැඩ පහරක් වගේ. කියන්නට තියන දේ කෙළින් කියන ඔහු අපූරු හිත හොඳ මනුස්සයෙක්. දයාබර මවකට දයාබර පුතෙක්.
‘ඒ පුතා ගැන අම්මා අද ගොඩක් ආඩම්බර වෙනවා.’
ලකී ඩයස් නම් ඒ විශිෂ්ටයා සිය මව්ගේ මතකය අතර සිර වෙලා. මේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ ඔහුට හොඳ නිර්මාණයකින් , අධ්‍යක්ෂණයකින් අප අතරට පැමිණෙන්නට අවකාශය හිමි වේවා යන්න සරසවියේ අපගේ ප්‍රාර්ථනයයි.
0 comments:
Post a Comment