සිංහයෙකුගේ පුනරාගමනය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මා නැරඹු වාර ගණන පිළිබඳ මට හරි මතකයක් නැත. වසරකට නොව, මසකට දෙතුන් වතාව එය නැරඹු අවස්‌ථා ද ඇති බව නම් මට මතකය.
ඒ සෑම වතාවකම මා මවිතයට හා පරමානන්දයට පත් කළ නාටකීය චරිතය සිංහයා ය. මා සිංහබාහු රස විඳින කාලය වන විට සිංහයාගේ චරිතයට සිය අසමසම රංගන ප්‍රතිභාවේ අන්තිම බින්දුව දක්‌වා නිර්ලෝභීව කැප කළ අසහාය රංගධරයා වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත්ය.
ජය ශ්‍රී චන්ද්‍රජිත් නම් වේදිකා නාට්‍ය රංගනවේදියා මගේ හදවතේ ගැඹුරුම තැන අරක්‌ගත්තේ සිංහයා චරිතය නිසා ය. ඉන් පසුව ඔහුගෙන් මා දුටු අශෝක හඳගමගේ 'මාඝාත' ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'මකරාක්‍ෂයා' වැනි නාට්‍යවල අති විශිෂ්ට රඟපෑම් ඔහුව තව තවත් මා හද පතුලේ පැළ පදියම් කර තැබුවේය. ඒ හැරුණු විට වේදිකාවේ සිට ඔහු මා ආමන්ත්‍රණය කළ තව තවත් ලොකු කුඩා චරිත බොහෝ ය.
කාලයාගේ ඇවෑමෙන් ඔහු ඔස්‌ටේ්‍රලියාවේ පදිංචියට ගියේය. එදා පටන් අද දක්‌වා මා තවම සිංහබාහු නාට්‍ය නරඹා නැත. එදා ඔහු පෙන්නුම් කළ රංගන පෞරුෂය එතෙක් මෙතෙක් කාලය තුළ වේදිකාවේ කවර නළුවෙකුගෙන්වත් මා නම් දුටුවේ නැත.
එහෙත් පසුගිය දවසක හැන්දැ වැරුවේ හදිසියේම මම සිංහයා දුටුවෙමි. දවස ඉකුත් 22 වැනි අඟහරුවාදා ය. තැන කොළඹ බොරැල්ලේ ඊ.ඒ.පී. අවන්හලේ වායු සමනය කළ ශාලාවයි. මමත්, ලංකාවේ කලාව සාහිත්‍යය ගැන ලියන පත්තරකාරයෝ පිරිසකුත්, කලාකරුවෝ පිරිසකුත් එතැනට එක්‌ව සිටියේ ලබන මස අලුතින් අපට දක්‌නට ලැබෙන අලුත් වේදිකා නාට්‍යයක් ගැන කතා බහ කරන්නටය. ඒ කතා බහේ ප්‍රධාන නළුවා වූයේද ජය ශ්‍රී චන්ද්‍රජිත් ය.
රාත්‍රිය තව තවත් අඳුරු වන විට භාවයන් සියුම් වූ සැවොම පැරැණි නාට්‍ය ගීතවල රස බලන්නට ද වූහ. සුපුරුදු කේසර සිංහයා යළි කරළියට ආවේ ඒ මොහොතේ ය.
ජය ශ්‍රී සිය හැඟුම්බර ස්‌ථාවර ගරු ගාම්භීර කටහඬ අවදි කරමින් සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ගීතය ගයන්නට පටන් ගත්තේය. සුපුරුදු සිංහයා දෑත් දෙපසට විහිදමින් උරහිස් අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින් ඒ ජවසම්පන්න ගීය හැඟුම්බර ලෙස ගයනු දුටු මම ගල්ගැසී බලා සිටියෙමි. චන්ද්‍රසෝම බින්දුහේවා නිවැරැදි තාල නාද තබමින් ඩොලැක්‌කියක් මද්දලය ලෙස වාදනය කරන්නට පටන් ගත්තේය. සංගීත ශිල්පී නවරත්න ගමගේ බලා සිටියේය. නලින් ප්‍රදීප් උඩවෙල නිලන්ති හීන්දෙණිය, µර්නි රෝෂණී, සුදර්ශන බණ්‌ඩාර, රංජිත් නාඔටුන්න, ආදීහු අත්වැල් ගායනා කරන්නට වූහ.
ගල්ලෙන බිඳලා ගීතය අතිශය හැඟුම්බරව සිංහයාගේ වැළපිල්ල දක්‌වාම ගායනා කරමින් ජය ශ්‍රී අංග වින්‍යාසය පෑ අපුරුව බලා සිටියේ මා පමණක් නොව. ඊ.ඒ.පී. අවන්හලේ තැන් තැන්වල මධුවිත තොල ගාමින් සිටි බොහෝ දෙනෙක් ඒ වන විට පැමිණ විදුරු බිත්ති අතරින් එබි එබී සිංහයාගේ වැළපිල්ල රස විඳින අයුරු මම දැක ගත්තෙමි.
සිංහයා යළිත් ලංකාවේ වේදිකාවට පුනරාගමනය කර ඇතැයි මට සිතිනි. අතීතයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාව මතින් ඇසුනු සිංහයාගේ වැළපිල්ලම වසර ගණනාවකට පසු යළිත් සජීවී ව අසා මා මන් මත් කළ ආශ්වාදය මෙසේ ලියා තබන්නට මා පෙළඹවූ බව කිව යුතුය.
අපි එදා එසේ එක් රැස් වූයේ ද ජයශ්‍රී චන්ද්‍රජිත් නිර්මාණය කර නිෂ්පාදනය කරන අලුත් නාට්‍යයක් ගැන කතා බහ කරන්නටය. නාට්‍ය "උමතුසං වරුසාව" ය. සෝමපාල ගුණධීරයන්ගේ පිටපතක් ඇසුරින් පද්මසීල ද සිල්වා අධ්‍යක්‍ෂණය කර 1973 දී මුල්වරට වේදිකාගත කළ උමතුසං වරුසාව එදා නොමද ප්‍රේක්‍ෂක සම්භාවනාවට බඳුන් වූ උසස් නාට්‍යයකි. ජය ශ්‍රී ගේ පළමු නාට්‍ය අධ්‍යක්‍ෂණය ලෙස දොරට වඩින මෙම නාට්‍යය උමතුසං වරුසාවේ දෙවන නිෂ්පාදනයයි.
උමතුසං වරුසාවේ මංගල දැක්‌ම දෙසැම්බර් 7- 8 දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත වන්නේ සිංහල වේදිකා නාට්‍ය කලාවේ සිංහයාගේ අලුත් පුනරාගමනයක් සමඟ බව නිසැකය.
බුලිත ප්‍රදීප් කුමාර
-
0 comments:
Post a Comment