Sunday, October 16, 2011

මගේ දැඟලිල්ල

මිනිස්සු හිනාවෙන්නේ මගේ දැඟලිල්ලට

ටෙනිසන් කුරේ

අටුවා ටීකා නොලිව්වාට ටෙනිසන් කුරේ කියු පමණින් ඔහුගේ රංගනයත් ස්වරූපයත් ඔබේ මතකයට නැඟෙන බව අපි දන්නවා. හාස්‍ය රංගනයෙන්ම පමණක් පේ‍්‍රක්ෂක ඔබට සමීප වූ ටෙනිසන් මේ දිනවල තිරගත වන ‘කිව්වද නහී නොකිව්වද නහී’ සිනමා පටයෙනුත් ඔබට මුණ ගැහෙනවා.

නැවතත් ඔබ අපට මේ දිනවල මුණ ගැහෙනවා ‘කිව්වද නහී නොකිව්වද නහී’ සිනමා පටයෙන්.

පැහැදිලිවම මම මේ සිනමාපටය හේතු කාරණා කිහිපයක් නිසා වැදගත් කියන එක කියන්න ඕන. ලාල් පි‍්‍රයදේව හොඳ අධ්‍යක්ෂවරයෙක්. කාලයකට පස්සේ ඔහු සමඟ වැඩ කරන්න ලැබුණා. ඒ වගේම රන්ජන් රාමනායක සමඟ වසර කිහිපයකටම පස්සේ රඟපාන්න ලැබුණා. සිනමාව කියන්නේ හරිම සුන්දර දෙයක්. ‘පාර්ලිමන්ට් ජෝක්’ වලින් පසුවයි රන්ජන් සමඟ එකට රඟපෑවේ. අද වගේ ලොකේෂන් එකට ආවා ගියා කියන නළුවෝ නෙමෙයි එදා හිටියේ. අද එනවා තමන්ගේ කොටස කරනවා, යනවා. නමුත් එදා ලොකු එකමුතුවක් තිබුණා. ඉතිං මට මේ චිත්‍රපටයේදී නැවතත් ඒ පැරණි පුරුදු සිහිපත් වුණා කියලයි හිතෙන්නෙ.

එදා වගේ නෙමෙයි අද ටෙනිසන් කුරේලට වැඩ අඩුයි ද?

නැහැ. කවුද එහෙම කියන්නෙ.

ඒත් දැන් අපි දකින්නේ ඉඳලා හිටලනේ.

මෙහෙමයි එක කාලයක් තිබුණා එක දිගටම චිත්‍රපට තිරගත වෙන, රූගත වෙන කාලයක්. දැන් විවිධ ප්‍රශ්න තියෙනවානේ. අද චිත්‍රපටයක් කරලා ප්‍රදර්ශනය වෙන්න දිග පෝලිමක ඉන්න ඕන. බෙදාහැරීම් ප්‍රශ්න තියෙනවා. එතකොට ඉතිං කාලය පැනලා ඉවරයි. අනෙක් දේ මම කියන්නේ චිත්‍රපටයක් නම් චිත්‍රපටයක් වෙන්න ඕන. එතනින් මම කියන්නේ නැහැ සම්භාව්‍ය චිත්‍රපට බිහි නොවිය යුතුයි කියලා.

අද අපි මොන තරාතිරමක හිටියත් කැමැතියි සතුටු වෙන්න. චිත්‍රපට ශාලාවකට එන්නේ මානසික ආතතිය හදා ගන්න නෙමෙයි මානසික ආතතිය දුරු කරලා සතුටු වෙන්න. ඒකයි අපි එදා කළ චිත්‍රපට අදටත් මිනිස්සුන්ට මතක. ඔය භූගෝල විද්‍යාව, අංක ගණිතය ඔය මොනවා දාලා චිත්‍රපට හැදුවත් වැඩක් නැහැ මිනිසුන්ට රසයක් නැත්නම්.

හැබැයි ඉතිං ඔබ හාස්‍ය රංගනයටම කොටුවුණා මිසක් එතනින් එහාට ගියේ නැහැ කියලා හිතෙනවා.

ඕක හරිම අපරාධ ප්‍රශ්නයක්. මොකද හාස්‍ය රංගනය කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. චරිතාංග රංගනය හාස්‍ය ඔය බෙදීමට මම කැමැති නැහැ. ජෝ අබේවික්‍රම මහත්මයත් හාස්‍ය රංගනයෙන් ආවේ.

හැබැයි ඔහු එතනින් එහා විවිධ පරාසවලට ගියා නේ.

ඇත්ත. හැබැයි ඔහු කියලා තිබුණ මිනිස්සු හිනස්සවන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා. චාලි චැප්ලින් ගත්තොත් චරිතාංග නළුවෙක් නෙමෙයි ද? මේ හිනස්සවන එක හැමෝටම කරන්න බැහැ. පුළුවන් නම් ඔය කියන අයට කරලා පෙන්නන්න කියන්නකෝ. කවුරුත් මේවා අගේ කරන්නේ නැහැ. හැබැයි ලෝකේ අනෙක් රටවල මෙහෙම නැහැ.

හාස්‍ය රංගනයෙන් මිදුණු යම් චරිතයක් ලැබුණොත් ඔබ එය භාර ගන්නව ද?

අනිවාර්යයෙන්ම භාර ගන්නවා. මම මුලිනුත් කිව්වේ ජෝ අයියා පටන් ගත්තේ හාස්‍යයෙන්. හැබැයි එතනින් පස්සේ චරිතයේ සියුම් තැන් හඳුනාගෙන ඔහු චරිත කළා. හාස්‍ය හැමෝටම කරන්න පුළුවන් දෙයක් ද? මේක පින්සිද්ධ වෙන වැඩක්. මිනිස්සු හිනස්සන්න පුළුවන්නම් ඒක මොන තරම් පිනක් ද?

මිනිස්සු හිනස්සන්න කියලා කුණුහරුප කියන එකවත් දෙපිට කැපෙන වචන කියන එක ද හාස්‍ය.

මට එල්ල වුණු ප්‍රබලම චෝදනාව ඔය දේනේ. හැබැයි සමහර නිර්මාණ ආවා වැඩිහිටි ලේබලය යටතේ. ඒවට මුකුත් කියන්නේ නැහැ. මම පිළිගන්නවා මගේ නාට්‍යවල දෙපිට කැපෙන වචන තියෙනවා, නැතුවාම නෙමෙයි. හැබැයි අපි කියන්න ඕන දේ ව්‍යංගයෙන් කියනවා. මිනිස්සු අවංක වෙන්න ඕන. හිත කැතවුණ තැනයි ඔය ප්‍රශ්නය එන්නේ.

එහෙට මෙහෙට ඇඹරිලා දැඟලිල්ලක් දැමු පමණින් එය හාස්‍ය රංගනයක් කියලා කියන්න පුළුවන් ද?

මම සිනමාවට ආවෙත් ඔය දැඟලිල්ල මට තිබුණ නිසා. ඒ නිසා මම ඉන්න නාට්‍යයක් හෝ සිනමා පටයකට මිනිස්සු එනවා බලන්න. මේ ලෝකේ කොහේ ගියත් මිනිස්සු හිනා වෙන්නෙ, සතුටු වෙන්නෙ ඔය දැඟලිල්ල මට තියෙන නිසානේ. සමහර දරාගන්න බැරි අය මට කැපිලි කෙටිලි දැම්මා. නමුත් මට උපතින් ලැබිලා තියෙනවා හැකියාවක්. ඒ මිනිසුන්ව සතුටු කරන්න. මොන දේ කළත් මම ළඟ ප්‍රතිපත්තියක් තියාගෙනයි මම වැඩ කරන්නේ. අර කතාවක් තියෙනවනේ උප්පත්තිය විපත්තිය අතර ප්‍රතිපත්තිය නැති තැන නස්පත්තිය ය කියලා.

කැප්ටන් කූල්, කුරුල්ලා, මෑන් ද මෑන්, ටාසන් ද බබා වැනි ඔබේ නාට්‍ය රැල්ලට මොකද වුණේ.

මම එක නාට්‍යයක් පෙන්නන්න ඇමරිකාවට ගියා. ඒ ගිය වෙලාවේ නාට්‍යයේ හිටපු එක හාදයෙක් හොරෙන් පැනලා ගියා. එතනින් පස්සේ මට නාට්‍ය එපාවෙලා නිකම්ම හිටියා. පස්සෙ ඔස්ට්‍රේලියාවේ පදිංචි මනෝ වෛද්‍යවරයකු වන ප්‍රසන්න මහත්මයා මාව දිරිමත් කළා එක මනුෂ්‍යයෙක් නිසා මිනිස්සු දහස් ගණනකගේ සතුට නැති කරන්න එපා කියලා. ඔහු කියූ දේට මම නැවතත් උනන්දු වෙලා නාට්‍යයක් කළා. තවත් දෙයක් කියන්න ඕන මගේ නාට්‍ය බලන්න විවිධ ක්ෂේත්‍රවල අය එන්නේ.

මහාචාර්යවරු, ඩොක්ටර්ස්ලා, ඉංජිනේරුවෝ, මේ අය මාව දිරි ගන්වනවා. මොකද මම කරන්නේ මිනිස්සුන්ව හිනස්සවලා ලේ පිරිසිදු කරන එක.

නමුත් හාස්‍ය රංගන ශිල්පියා අද ඇගැයීමට ලක්වෙලා තියෙනවා ද?

ඒ ගැන අහන්න පිළිතුරු දෙන්න මම රටට බාර කරනවා. අපි මිනිසුන්ව හිනස්සලා මොනතරම් පින් රැස්කරගෙන තියෙනව ද? බන්දු, මම ඉන්නවා කියලා දැනගත්තොත් අපි වටා මොනතරම් මිනිස්සු පේළි ගැහෙනව ද? නමුත් කිසිම සම්මාන උළෙලක ඇගැයීමක් නැහැ. නමුත් චාලි චැප්ලින්ට, මිස්ටර් බීන්ට අපේ අය ඔළුව නමාගෙන අගය කරනවා. ඔන්න ඕකයි යථාර්ථය.

අවසන් වශයෙන් ඔබේ වේදිකා නාට්‍යයත් කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ගැනත් කතා කරමු.

I am Sri Lanka මගේ නාට්‍යය දැන් වේදිකාගත වෙන්න පටන් අරන්. ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මෙතැනදි වෙනස්ම හාස්‍ය ශෛලියක් දැකබලා ගන්න පුළුවන්. ඒ වගේම ‘තෑන්ක් යූ බර්ටි’ මගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. මම හිතනවා එය සාර්ථක සිනමා පටයක් වෙයි කියලා.

විශේෂයෙන් ජගත් එම්. යාපා මෙහි නිෂ්පාදක සාර්ථක නිර්මාණයක් කරන්න මට ඉඩ සලසලා දුන්නා.

උපරීම තාක්ෂණය වගේම සියලු නළු නිළියන් ඉතාම හොඳින් සිය රංගන දායකත්වය ලබා දුන්නා.

බන්දු සමරසිංහ වසර පහකට පසුවයි මාත් සමඟ මේ සිනමාපටයේදී රංගනයෙන් දායක වුණේ. මම විශ්වාස කරනවා මෙම සිනමාපටය අපේ සිනමා පේ‍්‍රක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා.

වසන්ත ජයසිංහ ආරච්චි

ඡායාරූපය- ටෙනිසන් එදිරිසිංහ

Copy Rights - Silumina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money