සුනීතා විමලවීර
‘ගර්ලි නෝනේ . . . ගර්ලි නෝනේ’
ගර්ලිගේ නැන්දම්මා නිතරම ඇයව ඇමතුවේ එහෙමයි. මේ නම කොයි තරම් ජනපි‍්‍රය වුණාද කිව්වොත් ‘අමන්දා’ නරඹන හැමෝම වගේ ඈට ආමන්ත්‍රණය කළේ මේ නමින්මයි.
මෙන්න බොලේ ගර්ලි නෝනේ ගේට්ටුවෙන් මතු වුණා.
‘එන්න . . . එන්න, මම මේ මඟ බලාගෙන තමයි හිටියේ.’
හඳක් වගේ මුහුණේ හිනාව පිිරිලා ඉතිරිලා. නපුරුකම පේන්නවත් නැහැ.
‘බය වෙන්න එපා. මම ඔය නාට්‍යවල ඉන්න තරම් නපුරු කෙනෙක් නම් නෙමෙයි.’
ඈ කිව්වේ අපේ සිත ඉවෙන් මෙන් වටහා ගෙන වගේ. ඇගේ කියමනට නම් හිනා නොවී බැහැ. අපේ සිනා හඬ ඇහිලා දුවගෙන ආවේ ගර්ලිගේ බාලම පුතා.
‘දිවාන් ප්‍රේමතිලක
ඔබගේ ආදරය හිමි වෙලා තිබෙන සුනීතා විමලවීරට පුතාලම දෙන්නෙක්. ලොක්කා පවන් ප්‍රේමතිලක එයා නම් පේන මානයක නහැ.
‘මේ දෙන්නම ඉතිං හරිම දඟයි. දෙන්නාගේ රණ්ඩු බේරලා මට නිදහසක් නැති තරම්. ඇහෙනවා නේද ටී. වී. එකේ සද්දේ. ලොකු පුතා කාටුන් බලනවා. චුට්ටා නම් මගේ ඇඟේ එල්ලුණ ගමන්. මේ පේනේ නැද්ද?’
අම්මගේ ඒ කියමන ඇහුණ විතරයි චුට්ටා අපට නොපෙනෙන්න මූණ හංග ගත්තා.
‘ ‘අමන්දා’ කියන්නේ අවුරුදු පහ හයකට පස්සේ මම රඟපෑ ටෙලි නාට්‍යය තමයි. ඒත් ටික කාලයක් පුතාලා දෙන්න නිසා මම හිටියේ බොහොම නිහඬවයි. පුතාලා දැන් තරමක් ලොකුයි. මේ අතරෙදි තමයි අමන්දා ටෙලි නාට්‍යයට මට කතා කරන්නේ. මේ චරිතය රඟපාන්න භාර ගන්නා අවස්ථාවේ මට ඇති වුණේ බියක්. අවුරුදු කීපයක්ම ගෙදරට වෙලා හිටිය නිසා නරඹන්නන්ට මාව මතක ද කියන ප්‍රශ්නය මට ඇති වුණා. ඒත් ටික දවසයි ගත වුණේ. ගර්ලිට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ මම පුදුමයට පත් වුණා.’
නිපුන් පුතා දුවලා ගියේ අයියා හොයාගෙන.
‘මේ දෙන්න වාගේම නලින්ගෙන් තොර ලෝකයක් මට නැහැ. පුතාලා දෙන්නගේ හිනාව, කතාබහ අපේ හිත්වලට සතුට ගේනවා. ඒ විතරක් නෙමෙයි, අපේ පවුල සුන්දර කරන්නෙත් මේ දෙන්නා. පුතාලා දෙන්නගෙන් මිනිත්තුවක්වත් ඈත් වෙලා ඉන්න මට හිතක් නැහැ. මම උදේට රූගත කිරීම්වලට සහභාගි වුණත් ගෙදර එන වෙලාව එනකම් මම ඉන්නේ ඇඟිලි ගැන ගැන. කොහොමත් දුර පළාත්වල රූපගත කරන ටෙලි නාට්‍යවලට මම සහභාගි වෙන්නේ නැහැ. කොළඹ අවට රූගත කිරීම් තිබෙන ටෙලි නාට්‍යයකට විතරයි රංගනයෙන් දායක වෙන්නේ. ඒත් එක ටෙලි නාට්‍යයක වැඩ සම්පූර්ණයෙන්ම අවසාන වෙනකම් තවත් එකක් භාර ගන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් මට පුතාලා දෙන්නා ළඟ ඉන්න කාලය නැතිව යනවා. ඒ හැම දේකටම වඩා මට වටින්නේ මගේ සුන්දර පවුලයි.’
ඈ මේ කියන අතරේ සාලයේ නොපෙනෙන කොණක සිටින පුතාලා දෙන්නගේ පැත්තට එබිලා බලනවා. ලොක්කත්, චුට්ටත් එක පාරටම ස්පයිඩර් මෑන්ලා විදියට වෙස් අරගෙන
‘අම්මේ මේ ලස්සනද?’
‘අම්මේ මේක අලවන්නකෝ’
දෙන්නාගේ කතා ගොඩයි. නිතරම දුවන්නේ අම්මා ළඟටමයි.
‘මේ ගෙදර හැම කටයුත්තක්ම කෙරෙන්නේ මගේ දෑතින්. නිවෙස අස්පස් කරන කටයුත්තේ ඉඳලා උයන පිහින කටයුත්ත දක්වා හැම දෙයක්ම මම කරන්නේ හරිම ආසාවෙන්. විශේෂයෙන්ම කෑම සකස් කරන කොට පුතාලා දෙන්නගේ කැමැත්තට තමයි මුල් තැන හිමි වෙන්නේ. ඒ නිසා ඔවුන් කන්න කැමැති කෑම නිතර නිතර හදන්න මා උත්සාහ කරනවා. නලින් කොහොමත් කන්න කැමැති ගමේ කෑමවලට නිසා මට විශේෂයෙන් මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පුතාලා දෙන්නාටත් ඒ කෑම ටිකෙන් ටික හුරු කරන්න අපි වග බලා ගන්නවා. මේ දෙන්නගේ වැඩේ ඉතින් ගේ හැඩි කරන එකයි. මගේ වැඩේ ගේ අස්පස් කරන එකයි.’
මේ කොයි තරම් කාර්යබහුල වුණත් සුනීතා සුන්දර බිරිඳක්. මවක්. ඈ තවත් ලස්සන වෙලා.
කොහොමද ඔය තරමට ලස්සනට ඉන්නේ?
මා විමසුවේ ඒ රහස දැනගන්නා අටියෙන්.
‘විශේෂ දෙයක් කරන්න මට වෙලාවක් නැහැ. විශේෂ අවස්ථාවලදී පුංචි මේකප් එකක් කරනවා ඇරෙන්න ගෙදර ඉන්න වෙලාවට ලස්සන වෙන්න කියලා මම කිසිම දවසක රූපලාවන්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ. ගමේ කෑම ටිකක් හොඳට කාලා නිවිහැනහිල්ලේ විවේකයෙන් දවස ගෙවන නිසාදෝ මම තවම ලස්සනයි කියලා බොහෝ දෙනා කියනවා.’
‘අපූරු කුරුළු ජෝඩුවක්. පැටව් දෙන්නත් හරිම අපූරුයි.’
මේ සුන්දර පවුල දකින බොහොම දෙනෙක් දරන අදහසක්.
‘විවාහ වෙන්න ලේසියි. ඒත් ඒක පවත්වා ගෙන යන්න තමයි අමාරු. නිකරම ප්‍රශ්න ගොඩක්. අඳින්න, කන්න ගියත් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වගේම දෙන්නාට දෙන්නා හඳුනා ගැනීම හා ගරු කිරීමත් හරිම වැදගත්. ඒ තුළයි පවුල රැකෙන්නේ. මේ හැම කටයුත්තකටම නලින්ගෙන් ලැබෙන සහයෝගය හරිම අපූරුයි. එයා අංග රචනා ශිල්පියෙක් වුණත් ඔහුගෙන් ලැබෙන ඒ සහයෝගය අපේ පුංචි පවුලට ගේන්නේ සුන්දරත්වයක්.’
ආයෙත් පුංචි උන් දෙන්නා අම්මාව වට කරගෙන. ලොක්කා අතේ කතා පොතක්.
‘අම්මේ පුංචි සුරංගනාවිගේ කතාව කියලා දෙන්න.’
‘දැන් ඉතිං මට බේරුමක් නෑ’
මේ සුන්දර ලෝකයට පිවිසෙන ඔවුන්ගේ ලෝකයට ඉඩ දෙමින් අපි ඔවුන්ගෙන් සමු ගත්තේ සතුටින්.
0 comments:
Post a Comment