Saturday, September 17, 2011

හරූන්ගේ ජනප්‍රියම ගීත 20ක් තැටි නිෂ්පාදකයෙක් දෙදහට කොල්ලකෑවා

හරූන්ගේ ආදරණීය බිරිය කියයි

සුළං කුරුල්ලෝ -
හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ -
දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ...!

(පද – ධර්මසිරි ගමගේ)

ඒ කෝකිල කූජනයෙන් මන්මත් නොවුණු ගීත ලෝලියකු වේද? එහෙත් තවමත් ඒ ගී රාවයෙන් රසය ලබන අප වෙනුවෙන් නැවුම් ගී ගයන්නට දැන් ඔහුට වරම් නැත. ඔහුගේ මුව ගොළු වී සේ වුවත් ඔහු අමතක කර හිඳින්නට අපට නොහැකිම ය.

ඔහු හරූන් කුමාර් ලන්ත්‍රා ය.

පසුගිය දෙවැනි දා හරූන්ගේ හැත්තෑදෙවැනි උපන් දිනය ය. උදෑසන සිටම ඔහුට සුබ ප්‍රාර්ථනා ගලා එන්නට විය. හරූන්ගේ බිරිය (අතාරිත්) දුරකතන සම්බන්ධීකරණ ශිල්පිනියකගේ කාර්යය ඉටුකරමින් ඔහුට සහාය වෙන්නට වුවාය. හරූන් ද තමාට සුබපැතූ බොහෝ දෙනකු හට සිය ඇසෙන නොඇසෙන සිහින් ස්වරයෙන් ස්තුති කරන්න මැලි වූවේ නැත. ‘රසඳුන’ වෙනුවෙන් අපි ද ඔහුට සුබ පැතුවෙමු. ඔහු අපට ද ‘ස්තුතියි’ කීවේය.

එහෙත් මේ සුමිහිරි ලෝකයේ ඔහුගේ ඒ දුක්බර සිහින් ස්වරය තව කවුරුන් හෝ ඇසුවේ නම් ඉන් කම්පනය වන්නේම ය. එය මහත් දුකකි. කෝකිලයකුගේ මධුර හඬ අසරණ වී අප සිත් කම්පනය කරවන සුලු විය. හරූන් කතා කරන්නට වෑයම් කළේය. එය ඔහුට වෙහෙසකර ක්‍රියාවකි. එහෙයින් ඔහු වෙනුවෙන් කතාබහ කරන්නට අපි ඔහුගේ ආදරණීය බිරිය අතාරිත් ලන්ත්‍රාට ඉඩ දෙමු.

”වෙනදා වගේම අදත් මාස්ටර්ට සුබ පැතුම් නම් අඩුවක් වුණේ නැහැ. (ඈ ඔහුව හඳුන්වන්නේ ‘මාස්ටර්’ නමින්ය.) ඒත් කෑම බීම, බේත් හේත්, ලයිට්, ටැලිපෝන්වලට වියදම් කරන්න මුදල් නැතුව අපි හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ටවර් හෝල් පදනමෙන් ලැබෙන රුපියල් දෙදාහයි, සමෘද්ධියෙන් ලැබෙන රුපියල් තුන්සීයයි හැරුණාම මාස්ටර්ගේ යාළුවන්ගෙන් ලැබෙන උදව්වක් විතරමයි අපිට ජීවත්වෙන්න තියෙන්නේ. ඒ වුණාට දැන් එහෙම යාළුවෙක්වත් අපිව බලලා යන්න හරි එන්නේ කලාතුරකින්. මගේත් හරියට ඇස් පේන්නේ නැති වුණත් මට පුළුවන් තරමට මාස්ටර්ට මොනවා හරි කන්න බොන්න පිළියෙල කරලා දෙනවා මං.”

ඇගේ වදන් අසා සිටිද්දී හරූන් “හැංගි හොරා” චිත්‍රපටයේ ගැයූ ගීතයක රාවය අපේ මතකයේ රැව් නැඟෙන්නේය.

හංස රාණී ආදරේ
මදාරා පරසතු විලේ
මී විතේ – මදිරා බොනු
මගේ සිත උදුරා ගනු...!

(පද - ශ්‍රී නිහාල් ඒ.ජයසිංහ)

”ආනන්ද මේ රෑ හරී හැඩයි නේ...” (සුදු දුව), “මගෙ නාමලී බැඳි ආදරේ” (ගොපලු හඬ), “හඳපානේ මල් පිපුණා” (හිතට හිත) වැනි හරූන් ගැයූ සුමියුරු ගී අපේ මතකයෙන් කිසිදාක බැහැර නොවෙනු ඇත. එහෙත් අද මේ වනවිට ඒ හඬ අසරණය. “සොබාදම් දිනිතිය ඔහුට මෙතරම් අකාරුණික වූවේ ඇයි?” කියා අපට නොහැඟේ. අපි ඒ ගැන හරූන්ගේ සෙවණැල්ල සේ ඔහු සමඟ රැඳී සිටින ‘අතාරිත්’ ගෙන්ම විමසමු.

වෛද්‍ය ප්‍රතිකාරයකින් හරූන්ගේ මේ දුබලතාව සුවපත් කළ නොහැකිද?

”පුළුවන්. ඒත් කවුද ඒකට වියදම් කරන්නේ? ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් කිව්වා ශල්‍යකර්මයකින් මේ තත්ත්වය සුව කළ හැකි බව. ඒ වුණත් දැන් මමත් පෞද්ගලිකව අකැමැතියි මාස්ටර්ව ශල්‍යකර්මවලට ලක් කරනවාට. ඒ නිසා මාස්ටර් කැමැතිත් නැහැ.”

උද්ගත වී ඇති තත්ත්වය පැහැදිලිය. වියපත්ව සිටින හරූන් සැත්කමකට ලක් කෙරෙනවාට ඔහුගේ බිරිය අතාරිත් අකැමැති වෙන්නේ සාධාරණ බියකින් ඇගේ සිත සැළෙන නිසා ය. ‘මොහිදින් බෙග් මාස්ටර් අපෙන් වියෝ වූවෙත් ඇසක සැත්කමකට ලක්වීමට ගොස් නේද?’ යන වග ඇගේ සිතෙහි ප්‍රශ්නයක්ව පැන නඟිනවා විය හැකිය. දුක සැප බෙදාගෙන හරූන් මේ තත්ත්වයෙන් වුවද කාලයක් තමා සමඟ ජීවත් වෙනවාට ඈ කැමැති ඇතුවා විය යුතුය.

ගීතලෝලී අපට හරූන්ව අගේය. එහෙත් අපට ඔහු අයිති නැත. ඔහු අයිති ඇයටය. එමෙන්ම ඒ ඔවුන් දෙදෙනාගේ ආදරය ය. හරූන් ගායනා කළ අයුරින්ම සිතමු නම් ඒ මෙලෙසින් ය.

හඳපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුණා
අප දෙන්නා ඒ වගේ
බැඳුණි ආදරේ...!

(පද- ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

ඔවුන්ගේ ආදරය නිසා ඔවුන් එක්ව ජීවත් වුවද දිවි බරින් පීඩිතව ගෙවන හැම දවසක් ම ඔවුන්ට දුක්බරව ඇත. “හරූන්ට පුළුවන් කාලේ ඔහු ගත කළ සැහැල්ලු විනෝදකාමී ජීවිතය” ගැන පවසමින් හරූන් යුවළගේ දුක නොඅසා හිඳින්නට අපට නොහැකිය. තවද අපව රසවත් කළ කලාකරුවකු පිළිබඳ එලෙස සිතීම සාධාරණ නොවන්නේ ම ය. හරූන්ට මෙවැනි කල දවසක් උදාවුණේ ඔහුගේ ‘හිත හොඳ වැඩිකම’ නිසා බවද බොහෝ දෙනකු දන්නා කරුණකි.

”එක්තරා තැටි නිෂ්පාදකයෙක් මාස්ටර් ගේ ජනප්‍රියම ගීත විස්සක් රුපියල් දෙදාහක් දීලා අරගෙන ගියා. ඒ ගීතවලින් තෝරා ගත්ත ගීත යොදා ගෙන ඔහු සංයුක්ත තැටියක් නිෂ්පාදනය කරලා සල්ලි හම්බ කරනවා අදටත්”

කවුද ඔහු... මොකක්ද ඒ ගී තැටිය...?

අපි අසමු. එහෙත් හරූන් වෙනුවෙන් ඊට පිළිතුරු දීමට ඇය නොදනී. ඇය හරූන්ගෙන් විමසා පිළිතුරු දීමට ගත් වෑයම ද සාර්ථක නොවීය. මන්ද හරූන්ට සිය ගීත මංකොල්ල කෑ පුද්ගලයා කවුරුන්දැයි නිශ්චිතව පවසන්නට තරම් මතකය අවදි කර ගත නොහැකි නිසාය. මෙතරම්ම අසරණ වී හිඳින අහිංසක යුවළක් රවටා ඔවුන් කුසගින්නේ සිටිනා විට ඔවුන්ගේ දේපළ විකුණාගෙන කෑමට තරම් අධම වූ අප අතර හිඳින එම මංකොල්ලකරු නම් මිනිසෙකු විය නොහැකිය.

”ඉස්සර කාලේ වුණත් වැඩි දෙනෙක් කෙරුවේ මාස්ටර්ව රවට්ටන එක. ඒ අය අතර ප්‍රසිද්ධ කැසට් නිෂ්පාදකයින්, සංගීත සංදර්ශන සංවිධායකයින් අනන්තවත් ඉන්නවා. මාස්ටර්ගේ හිත හොඳකම හින්දා ඒ කාටවත් කිසි දෙයක් නොකියා මෙයාම විඳ දරාගෙන උන්නා. ඒත් අද අපි මෙච්චර අසරණ වෙලා ඉන්නා විටදිත් මෙහෙම කරන්නේ මොන හිත්වලින් ද මන්දා.”

අතාරිත් ලන්ත්‍රා ඔවුන්ගේ දුක කියාගෙන යන්නට වූවේ හැඬුම්බරවය. අපි ඇයට ඉඩ දෙමු. මන්ද ඇය පවසන්නේ එදා අපේ සිත්ගත් ගී ගැයූ කෝකිලයාගේ සිතේ සිරවී ඇති සිතුවිලි විය හැකි නිසාය.

”දැන් මාස්ටර්ට සින්දු කියන්න බැහැ. ඒ වුණාට පුළුවන් කාලේ මේ රටේ ජනතාව වෙනුවෙන් මෙයා සින්දු කිව්වේ. මාස්ටර් ජීවත් වුණේ මේ රටේ මෙයාගේ සින්දු අහන රසිකයෝ වෙනුවෙනුයි. ඒත් දැන් උන්නද මළාද බලන්න කවුරුවත් නැහැ.”

”මේ රටේ – කලාකරුවන් විශේෂයෙන් ගායක ගායිකාවන් එකමුතු වී සංවිධානය වූ ආයතන තිබෙනවාලු. ඒ කිසි සංගමයක මාස්ටර් සාමාජික වෙලා නැහැ. එහෙමවත් සාමාජික වෙලා උන්නා නම් ආධාර ලැබෙන්න තිබුණා. අපි ඒවා ගැන දන්නෙත් නැහැ.”

”මාස්ටර්ට සම්මාන රාශියක් ලැබිලා තියෙනවා. ප්‍රණාම, උපහාර, කලාභූෂණ සම්මාන ඒ අතර තිබෙනවා. ඒත් අපි දෙන්නා ජීවත් වෙන්න විඳින දුක දන්නේ කවුද? මට ඕනේ එදා මේ රටේ මිනිස්සුන්ව නළවපු මේ මනුස්සයාව දුකක් නොදී ජීවත් කරවන්න විතරයි.”

”සිනමා නළු සනත් ගුණතිලක මහතාට ස්තුතිවන්ත වෙන්න අපිට ඉන්න ගෙයක් ලැබුණා. ඔහු මාස්ටර්ගේ අසනීපයටත් වියදම් කළා. තවත් යාළුවෝ කිහිප දෙනකු උදව් කළා. ඒත් අනේ, අපි එක දවසක් දෙකක් ද ජීවත්වෙන්න ඕනේ. මියැදෙනකම් ජීවත් වෙන්න කන්න බොන්න, බේත් හේත් ගන්න, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් ගෙවන්න තියෙනවා. මේ රටේ ඉන්න මාස්ටර්ගේ රසිකයින්ට ඇහෙන්න මේ දුක කියනවා ඇරෙන්න අපි වෙන කාට කියන්නද?”

”අනේ, අපේ මේ දුක පත්තරේට ලියලා අපිට ජීවත් වෙන්න උදව් කරන්න පුළුවන් අයට එන්න අපේ ගෙදර ලිපිනය පළ කරන්න. දුරකතන අංකයත් පළ කරන්න. කෙළින්ම අපේ අතටම කරන උපකාරයක් ලබා දෙන්න කියන්න. මැරුණාට පස්සේ මොනවා කෙරුවත් ඇති වැඩක් නැහැ. ජීවත් වෙන්නයි උදව් වෙන්න ඕනේ.”

අපි ඔවුන්ගේ දුක අසා සිටියෙමු. අකුරු කෙරුවෙමු. මීට වසර එකහමාරකට පමණ ඉහත ද මෙලෙසම ‘රසඳුන’ මඟින් අපි හරූන්ගේ දුක කියෙව්වෙමු. “මෙවන් අසරණ කලාකරුවන් ජීවත් කරවීම සඳහා ක්‍රමවත් අරමුදලක් පිහිටුවන්නේ නම් ඒ සඳහා මේ හොඳම කාලය යි” අපි එදා යෝජනා කළෙමු. අද එම යෝජනාව යළිදු සිහි ගන්වමින් හරූන්ගේ දුක ඇසූ ඔහුට උපකාර කිරීමට කැමැති ඔබ වෙනුවෙන් ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකය පහත සටහන් කරමු.

දුරකතන අංකය - 0114927000

ලිපිනය - F42, නිවාස සංකීර්ණය, පොල්හේනවත්ත, කැලණිය.

ජෝජ් රොබ්සන් ද සිල්වා

Copy Rights -Silumina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money