Sunday, September 18, 2011

හායි...බායි කියා සුද්දන් දැලේ දාගන්නා ගයිඩ්ලා

"ගුඩ් මෝර්නිං...... සර්...... වට්‌ ඩූ.. යූ.. වෝන්ට්‌" සර්... දිස්‌ ඊස්‌... ශ්‍රී ලන්කන් මේඩ්... මෙලෙස පවසමින් විදේශ සංචාරකයන් හිතවත් කරගෙන කීයක්‌ හෝ හම්බුකරගන්න උත්සාහ කරන විදේශ සංචාරක මග පෙන්වන්නෝ එසේත් නැතිනම් අප සාමාන්‍යයෙන් පවසන "ටුවර් ගයිඩ්"ලාට නැවතත් හොඳ කලදසාවක්‌ උදාවෙමින් පවතී.

කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී වාතාවරණය මත යුරෝපා රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දැන් බහුලවන්නට පටන්ගෙන ඇත.

සුද්දෙක්‌ මාට්‌ටු කරගෙන කීයක්‌ හරි හම්බුකරගන්නා පුද්ගලයන් ලෙස "ටුවර් ගයිඩ්" ලා, පිළිබඳව බොහෝදෙනා අතර පවතින මතයකි. ඇත්තටම එවැනි "ගයිඩ්"ලාත් සිටිති. නමුත් මෙය වෘත්තියකි.

"ටුවර් ගයිඩ්" කෙනෙකුවීමට හොඳින් ඉංග්‍රීසි සහ තවත් භාෂාවන් කතා කිරීමේ හැකියාව තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සංචාරක ප්‍රදේශ පිළිබඳ දැනුමක්‌ තිබිය යුතුය. එවැනි 'ගයිඩ්' ලා වෘත්තිකයන් ලෙස සංචාරක ආයතන වල සේවය කරති. ඒ අතර යාන්තමට ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවන් කිහිපයක්‌ කතා කිරීමට හැකි තරුණයන්ද ගයිඩ්ලා ලෙස එදා වේල සොයා ගැනීමට සුද්දෙක්‌ දැලේ දා ගැනීමට උත්සාහ කරති.

'ටුවර් ගයිඩ්' ලාත් මැණික්‌ පතල් හාරන්නන් වැනිය. ඉල්ලමක්‌ හමුවුණොත් සරුය. නැතිනම් අතින් කයිට්‌ය.

දැන් ලංකාවට එන සමහර සුද්දො හොඳට තෙම්පරාදුවෙලා ඉන්නෙ. අපිට වඩා ලංකාව ගැන දන්නවා. අපි තැනක්‌ කියන කොට එයාලා එහි ඉතිහාසයත් කියනවා. ඒ හින්දා සමහර සුද්දන්ගෙන් ගතමනාවක්‌ ගන්න හරිම අමාරුයි. 'ටුවර් ගයිඩ්'ලාගේ ජීවිතය ගැන පවසමින් එහි නිරතවන්නෙක්‌ මට පැවැසීය.

ජපන් කාරයෝ හරිම අමාරු කාරයෝ. එයාලා අපව හොඳට රවටනවා. අරක අරන් දෙන්නම් මේක අරන් දෙන්නම් ජපන් අරන් යන්නම් කියනවා. හැබැයි ගමන ගිහින් ආවට පස්‌සෙ සද්ද නැතිවම ලංකාවෙන් පිටවෙලා යනවා. මෙච්චර දවසක්‌ උදව් කරපු අපට කියලවත් නොවෙයි යන්නෙ. මා හිතවත් ගයිඩ් මිතුරා සංචාරකයන් ගැන පවසන අතර අපූරු අත්දැකීමක්‌ද පැවැසීය.

ඔන්න දවසක්‌ ජපන් කෙල්ලො දෙන්නෙක්‌ සීගිරි දඹුලු යන්න ආවා. මම සේවය කරන සංචාරක ආයතනයෙන් ඒ දෙන්න මට බාරදුන්නා. දවස්‌ පහක සංචාරයක්‌. ඔවුන් නතරවන්නේ කණ්‌ඩලම හෝටලයෙ.

ගමන යනකම් ඇඟේ එල්ලිලා හුරතල් වෙවී ගියා. ජපන් අරගෙන යන්නම් කිව්වා. හැබැයි මට තේරුණා මෙයාලා රඟපෑමක්‌ කරන්නෙ කියලා. මොකද කණ්‌ඩලම හෝටලයේදී එයාල කනවා බොනවා මම පැත්තකට වෙලා ඉන්නවා. නිකන්වත් මගෙන් උඹ කෑවද කියල ඇහුවේ නැහැ.

අපට කොහොමත් හෝටලයකට ගියවිට කාමරයක්‌ කෑම බීම ලැබෙනවා. ඒත් මම එනකොට ඇහුවා ඇයි උඹලා මට නොදී කෑවේ බිව්වෙ කියලා.

එතකොට කියනවා.... ඇයි උඹ අපිත් එක්‌ක කන්න ආවේ නැත්තෙ කියලා. ආරාධනාවක්‌ නැතිව යන්න බැහැනෙ.

කොහොමහරි එනගමන් මට කියලා අඩුවට බඩු මුට්‌ටු ගත්තා. ලංකාවෙන් එයාලා යන්න ඉස්‌සෙල්ලා හෝටලයට ඇවිත් හමුවෙන්න කිව්වා.

කොයිකටත් මම කියපු දවසේ හෝටලයට ගිහින් හොයල බැලුවා. මට එන්න කිව්ව දවසට පෙර දවසේ එයාලා ලංකාවෙන් ගිහින්.

හැබැයි හොඳ අයත් ඉන්නවා. දවසක්‌ ප්‍රංශ මහාචාර්යවරු දෙන්නෙක්‌ එක්‌ක මම නුවර ගියා. එයාලා නවාතැන් ගත් හෝටලයේ මම ගයිඩ්ලාට දෙන කාමරයේ නවතින්න ගියා. උඹ ඉන්නෙ කොහෙද කියලා මගෙන් ඇහැව්වා. මම ඉන්න කාමර ගැන පැවසූ විට නැහැ උඹත් අපි වෙන්කරගත්ත වගේ කාමරයක ඉන්න ඕනෙ කියලා කිව්වා. කාමර බිල එයාලා ගෙවන්නම් කිව්වා. මටත් එයාලා සමඟ කන්න බොන්න දුන්නා. උඹල දියුණුවෙන්නෙ නැත්තෙ ඔයවගේ පංති බේද හින්දා කියල, එම මහාචාර්යවරු දෙන්නා මට පැවසුවා. ලංකාවෙන් යනකොට මට යුරෝ දෙදහක්‌ (රුපියල් තිස්‌ දහසක්‌) දීලත් ගියා.

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක්‌ නොව යුරෝපා රටවලටද බලපා තිබෙන බව එන බොහෝ සංචාරකයන්ගෙන් දැනගත හැකියි.

දැන් බොහෝ දෙනා එන්නේ තනි තනිව හෝ පවුලක්‌ ලෙස නොවෙයි. කණ්‌ඩායමක්‌ ලෙසයි. ඒක හරිහට අපේ අය දඹදිව යනවා වගෙයි. දඹදිව යන නඩයක පුද්ගලයකුගෙන් ඒ සඳහා ගාස්‌තුව ගත් පසු තව කාටවත් වියදම් කරන්න ඕනෙ නැහැනෙ. අවශ්‍ය සියලු පහසුකම් නඩය සංවිධානය කරන පුද්ගලයන් ලබාදෙනවා. ඒ වගේ නඩ දැන් යුරෝපයේ සිට ලංකාවට එනවා. ඔවුන් ලංකාවට රැගෙන එන අය අවශ්‍ය සියලු පහසුකම් සඳහා ඔවුන්ගෙන් මුදල් අයකරගෙන තිබෙනවා. ඒනිසා එවැනි නඩ සමඟ ගියවිට අපට කීයක්‌වත් ලැබෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් අපට සංචාරකයෙක්‌ තෑගි භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා යම් යම් වෙළෙඳ සල්වලට රැගෙනගිය විට කොමිස්‌ මුදලක්‌ අදාළ වෙළෙඳ සලෙන් ලැබෙනවා. මෙවැනි නඩ එන සංචාරකයෝ අප කියන තැන්වලට යන්නෙ නැහැ. එයාලා සැලසුම් කරගෙන පැමිණි තැන්වලට පමණයි යන්නෙ. ඔවුන් මිලදී ගන්න භාණ්‌ඩවල මිලත් දන්නවා. අපට තියෙන්නෙ නිකන් බලාගෙන ඉන්න විතරයි.

ටුවර් ගයිඩ්ලා ගැන අප සමාජයේ විවිධ මත තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ. මගේ ගයිඩ් මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒක ගයිඩ්ගේ චර්යාව අනුව සහ ටුවරිස්‌ගේ චාර්යාව අනුව තමයි තීරණය වන්නෙ. සමහර සංචාරකයෝ ලංකාවට එන්නෙ ලංකාවේ පරිසරය දැකබලාගෙන විනෝදවන්න. තවත් සමහරු ඒ අතර වෙනත් දේවල් වලිනුත් විනෝද වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම විනෝද වෙන අයට සලකන්නත් අපේ අය ඉන්නවා.

ඒ වගේම තමයි හොඳට හිතවත් වෙන සංචාරකයෝ නැවත ලංකාවට එනවිට ඒ ගයිට්‌වම තමයි හොයන්නෙ.

ඒ වගේ සංචාරකයෝ කිහිපදෙනෙක්‌ මටත් ඉන්නවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි යන රටවල සංචාරකයෝ කිහිපදෙනෙක්‌ දැන් අවුරුදු දහයක පමණ සිට සෑම වසරකම ලංකාවට එනවිට මට කතා කරනවා, මම තමයි එයාලව බලාගන්නෙ.

හායි... සර්... බායි... සර්..... කම්..... සර්.... යෑයි පවසමින් සුද්දන් දැලේ දාගන්නා ගයිඩ්ලාත්, සර්.... යූ ආර් අවර් ගෙස්‌ට්‌.... (ඔබ අපේ සංචාරකයෝ) යෑයි ගරුසරු ඇතිව පවසමින් සුද්දන්ට මග පෙන්වන ගයිඩ්ලාත් සිටිති. මේ ඔක්‌කෝම සුද්දන්ගේ මිතුරෝය.

උපාලි ද සේරම්


Copy Rights - Divayina
 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money