Sunday, September 18, 2011

විවාහ ජීවිතයෙන් සමුගත්තා

වැරැද්ද කොතැනද කියා හිතාගන්න බැහැ
අපේ නොගැලපීම් ගොඩක්‌ තිබුණා...

විවාහ ජීවිතයෙන් සමුගත්තා

මෑත කාලයේ විවිධ විලාසිතා මවමින් බොහෝ දෙනා අතර කතා බහට ලක්‌වුණු නව පරපුරේ රංගන ශිල්පියකු වන සාලිය සත්‍යජිත්ගේ පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක්‌ වුණා කියලා අපට ආරංචියක්‌ ලැබුණා. ඒ ගැන සාලියට ආදරය කරපු රසිකයන්ව දැනුවත් කරන්න ඕනෑ කියලා ඔහු අපට කිව්වා. එනිසා අප සාලියත් සමග කතාබහ කරන්න අදහස්‌ කළා.

සාලිය මොකක්‌ද මේ පෞද්ගලික ජීවිතයේ ඇතිවුණාය කියන වෙනස?

මගේ පෞද්ගලික ජීවිතයේ වෙනස්‌කම් හැමදාම සිදුවෙනවා. දැන් ටික කාලයකට කලින් පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක්‌ සිද්ධ වුණා.

ඒ මොකක්‌ද?

මම විවාහ ජීවිතයෙන් සමුගත්තා. ඒ ගැන මගේ රසික රසිකාවියන් දැනගන්න ඕනෑ කියලා මට හිතුණා. ජීවිතයේ පෞද්ගලික කාරණා මිනිස්‌සු වසන් කරනවා. නමුත් මාව මෙතැනට ගෙන ආවේ මගේ රසික රසිකාවියන්. ඒ හින්ද මගේ ජීවිතයේ සිදුවන සත්‍ය ඔවුන් දැනගත යුතුයි කියලා මට හිතුණා.

මේ වෙනසට හේතුව මොකක්‌ද?

මටත් තවම හිතාගන්න බැහැ කොතැනද වැරැද්ද සිදුවුණේ කියලා. කාලය මේ හැම දෙයකටම උත්තර සපයාවි කියලා හිතනවා.

ඔබ නීත්‍යනුකූලවත් වෙන්වුණාද?

මුලින්ම වෙන්වෙලා හිටියට නීති මාර්ගයෙන් වෙන්වන්න සූදානමක්‌ තිබුණේ නැහැ. මොකද එහෙම දෙයක්‌ මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැති නිසා. මගේම කටින් හොඳයි කියපු කෙනෙක්‌ව නැවත මගේම කටින් නරකයි කියන එක සාදාචාරාත්මක නැහැ. අන්තිමේ කොහොම හරි නීතියෙන් වෙන්වෙන්න සිදුවුණා.

මෙය ඔබේ ජනප්‍රියත්වයට බාධාවක්‌ නොවෙයිද?

ඒක තීරණය කරන්නෙ මට ආදරය කරන මිනිස්‌සු. මම කවදාවත් මේ රටේ මිනිස්‌සුන්ට බොරු කරන්න කැමැති නැහැ. මොකද එයින් අන්තිමේදී විඳවන්නෙත් මමනේ.

ඔබ දෙපළ වෙන්වුණාට පසුව ඇය ඔබට කතා කළේ නැතිද?

මේ වෙන්වීම සිදුවුණේ එකවර නොවෙයි. අපි දෙන්නාගේ නොගැලපීම් ගොඩක්‌ දුරට තිබුණා. මම කීපවරක්‌ම මේ වෙන්වීම ප්‍රතික්‌ෂේප කළා. මොකද ඒ වෙන්වීම තුළ ගොඩක්‌ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මම. අන්තිමේ කාලය විසින් හැම දෙයක්‌ම වෙනස්‌ කළා.

අද කාලේ නළු නිළියන් දික්‌කසාද වීම විලාසිතාවක්‌ කරගෙන කිව්වොත් ?

මේක විලාසිතාවක්‌ නම් නොවෙයි. කලාකරුවන්ට මෙවැනි ප්‍රශ්නයක්‌ ඇතිවුණහම රටට ලෝකයට පෙනෙන ප්‍රමාණය වැඩියි. නමුත් සාමාන්‍ය ජනතාව අතරත් වෙන්වෙන සිදුවීම් ඇතිවෙනවා. ඒ වුණාට කලාකරුවාට එවැනි දෙයක්‌ වුණහම මහ ලොකුවට කතාබහ වෙනවා.

රඟපෑමටත් සමුදෙන්න ද සූදානම?

රංගනයෙන් සමුගන්න කොහෙත්ම සූදානමක්‌ නැහැ. ගොඩක්‌ වෙලාවට මම උත්සාහ කරන්නේ මේ රටට අලුත් දෙයක්‌ නිර්මාණය කරන්න. කොහොමටත් මම එකතැන පල්වෙන්න සූදානම් කලාකරුවෙක්‌ නෙවෙයි.

එහෙනම් ඇයි ඔබ රස්‌සාවක්‌ කරන්නේ ?

මට පෞද්ගලික ආයතනයකින් ආරාධනාවක්‌ ලැබුණා වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරියෙක්‌ විදිහට කටයුතු කරන්න කියලා. ඉතිං මම හිතුවා කලා කටයුතුවලට කාලය වැය කරනවා වගේම මගේ ජීවිතයේ වෙනසකටත් එක්‌ක එවැනි දෙයකුත් කරන්න. ඒක මගේ ආර්ථික පැත්තටත් හොඳයිනේ.

එතකොට බාහිර පෙනුම වෙනස්‌ කළේ ?

මම කොහොමටත් මෝස්‌තර නිරූපණයට කැමැති කෙනෙක්‌. දැන් පොඩ්ඩක්‌ වෙනස්‌වෙලා තියෙන්නේ ඉදිරියේ ලොකු වැඩකට සූදානම් වෙන නිසා. ඒ ගැනත් ප්‍රේක්‍ෂකයන්ට වෙලාව ආවහම කියනවා.

පසුගිය කාලයේ ඔබ කරපු විලාසිතා විවාහ ජීවිතයට බලපෑවේ නැතිද ?

මගේ සෑම විලාසිතාවක්‌ම සිදුවුණේ ඇය අතින්. මම ගොඩක්‌ වෙලාවට අධ්‍යයනය කළේ ගොතික්‌ කියන සංස්‌කෘතිය. ඒ රටාව අඳුරගත්තු කෙනෙක්‌ මේ විලාසිතා ගැන දන්නවා. නමුත් ලංකාවට නම් මේ විලාසිතා ටිකක්‌ නුපුරුදුයි.

ඉදිරියේදී ඔබේ විලාසිතාවලට කවුද උදව්කරන්නේ ?

ඒ ගැන හිතපුවහම මම තවමත් එක තැනක නැවතිලයි ඉන්නේ. ඉදිරියේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා. ඇයගේ ශක්‌තිය නොමැතිවීම මට යම්තාක්‌ දුරට පාඩුවක්‌. නමුත් යථාර්ථයට මුහුණදෙන්න මට සිදුවුණා.

ඔබ ඔය කරන විලාසිතා පෞරුෂයට බලපෑවේ නැතිද ?

පෞරුෂය කියන්නේ ප්‍රතිනිර්මාණය කරගත් හෝ මවාගත් දෙයක්‌ නොවෙයි කියලයි මට හැඟෙන්නේ. ඒක කෙනකුගේ ඇතුළාන්තයෙන් ගොඩනැඟෙන දෙයක්‌. මතුපිට රූපය බලා කෙනකු තේරුම්ගන්න බැහැ. මොකද රූපය කියන දෙය නිතර නිතර වෙනස්‌ වන නිසා. පෞරුෂය ගොඩනැඟෙන්නේ කෙනකුගේ හදවතින්. එහෙමත් නැතිනම් ඇතුළාන්තයෙන්.

ඒ වුණාට ඔබේ විලාසිතා නිසා මිනිස්‌සු සාලිය කියන චරිතය ගැන වපර ඇසින් බලන්නත් ගත්තා ?

මට ඒක නවත්වන්න බැහැ. මම ගොඩක්‌ වෙලාවට ජීවත්වෙන්නේ ගොතික්‌ සංස්‌කෘතිය තුළ. ඔය විලාසිතා ආරම්භ වුණේ ස්‌වර්ණවාහිනියේ මෙගා ස්‌ටාර් වැඩසටහනින්. මම ගොඩක්‌ වෙලාවට බටහිර නිර්මාණ වටල කැමති කෙනෙක්‌. මම මේ ලෝකෙ හරි කියලා දෙයක්‌ තිබෙනවා නම් එය කරනවා. මිනිස්‌සු ඇඟිල්ල දික්‌කරන එක වළක්‌වන්න බැහැ.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money