Thursday, September 15, 2011

අලුත් ජීවිතයකට කාලය හරි





  ජනප්‍රිය චිත්‍රපට නිළි පූජා උමාශංකර්

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක ව ඇත. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟය. එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු ආසයි මං පියාඹන්න, යහළුවෝ හා සුවඳ දැනුනා ජීවිතේ යන චිත්‍රපටවලටද සම්බන්ධ විය. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වූවාය. මේ එම චිත්‍රපටය ගැන හා ඇගේ රංගන ජීවිතය ගැන ඇය හා කළ සංවාදයකි.

* ඔබ සිනමාවෙන් ඉවත්වෙන්න ගෙන තිබුණු තීරණය වෙනස් කළා ද?
මම සිනමාවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණයේ වෙනසක් නැහැ. මගේ අන්තිම චිත්‍රපටය ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඒක කරලා ඉවරයි. නමුත් මම ‘කුස පබා’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ශ්‍රී ලාංකීය සිනමාවට ගරු කිරීමක් හැටියටයි.
මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ වගේ ලංකාවේ සිනමාවේ දැවැන්තයන් කිහිපදෙනෙක්ම ඉල්ලා සිටියා. ඔවුන්ගේ ඉල්ලීමට කන් නොදුන්නා නම් මම ගරු නොකරන්නේ ඔවුන්ට පමණක් නොවෙයි.

* ඔබ රංගනයෙන් දායක වන චිත්‍රපටවලට ඉන්දියාව වගේ ම ලංකාවෙත් හොඳ ප්‍රතිචාර තිබෙනවා, එවැනි අවස්ථාවක සිනමාවෙන් ඉවත්වීමට හේතුව කුමක් ද?
මම අවුරුදු අටක් සිනමාවෙ රැඳී සිටියා. දැන් මට අලුත් ජීවිතයක් පටන් ගන්න කාලය ඇවිල්ලා. නියමිත කාලයේ දී ඒ දේවල් කළ යුතුයි. උදෑසන ආහාරය දහවලේ දී ගැනීම තේරුමක් නැහැ. එහෙම කළොත් සියල්ලම අවුල් වේවි. ප්‍රීතිදායක අවසානයකට යන්න පුළුවන්වීම ගැන මම සතුටු වෙනවා. මේක දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවෙත් කවුරුත් දන්න කතාවක රඟපාන්න ලැබුණ එක මගේ පිනක්.

* ඔබට වඩාත් ප්‍රිය කරන රසිකයින් සිටින්නේ දෙරටින් කොයි රටේ ද?
එහෙම නැහැ. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය තීරණය වන්නේ චරිතය අනුවයි. රංගන ශිල්පීන්සේ පෙනී සිටීමෙන් පමණක් ඔවුන් සෑහීමකට පත් වෙනව කියලා කියන්න බැහැ. හොඳ චරිතයක් සාර්ථකව කළොත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙයි. ඒ චරිතයම නරකට කළොත් මිනිස්සු අපිට හොඳට ප්‍රතිචාර දක්වන එකක් නැහැ. මේ චිත්‍රපටය ලබන අවුරුද්දේ මැද රටවල් දෙකේ ම පෙන්වාවි. ඔවුන් මගේ රඟපෑම ගැන කියන්නේ මොකක් ද කියලා එතකොට මට විවේකීව ගෙදර ඉඳන් දැකගන්න පුළුවන්.

* සිංහල චිත්‍රපට සඳහා ඔබගේ දායකත්වය ඉන්දීය රසිකයින් අගය කරන්නේ කොහොමද?
අවාසනාවට වගේ විශේෂ අවස්ථාවල දී හැරෙන්න මම ර¼ඟපාපු චිත්‍රපට ඉන්දියාවේ ප්‍රදර්ශනය කර නැහැ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරීස්ගේ ‘යහළුවෝ’ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කළ අවස්ථාවට මමත් සහභාගි වුණා. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
ඊට අමතරව මා රඟපෑ සිංහල චිත්‍රපට වරින්වර බටහිර රටවල පෙන්වූවා. ඒ අවස්ථාවලට මම සහභාගි නොවුණත් ඒ රටවල රසිකයන් මගේ පැමිණීම අපේක්ෂා කරන බවට මට තොරතුරු ලැබුණා. ඒ ගැන මම සතුටුයි.
* දකුණු ඉන්දියාවේ සිනමාකරුවන් ලංකාවේ ජාතික ප්‍රශ්නයට විටින් විට රළු ප්‍රතිචාර දක්වනවා. ඔවුන්ගෙන් ඔබට සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන විරෝධයක් එල්ල වූවාද?
නැහැ මට එහෙම කිසිම බලපෑමක් ආවෙ නැහැ. අඩුම ගණනේ නිර්නාමික දුරකථන ඇමතුමක්වත් ආවේ නැහැ.

* ඔබගෙන් පසුව දකුණු ඉන්දීය ශිල්පීන් සිනමාවට සම්බන්ධවීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සිනමාවට කොහොම බලපාවිද?
ඕනෑම රටක සිනමා කර්මාන්තය ගොඩනැගෙන්න නම් චිත්‍රපට තැනෙන්න ඕන. ඒ වගේ ම ප්‍රේක්ෂකයන් ඒවා වැලඳ ගන්න ඕන. විදේශ රටක ශිල්පීන් යොදා ගත් පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේ නැහැ. හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය පිළිගත්තොත් ආදායම් අතින් සාර්ථක වේවි. එවිට තව තවත් චිත්‍රපට නිර්මාණය වේවි.

* ඔබ සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද ? පවුලේ කවුරුන් හෝ සිනමාවට සම්බන්ධව සිටියාද ?
මම සිනමාවට සම්බන්ධ වුණේ අහඹු සිදුවීමක් නිසා. මම විද්‍යාලයේ අවසාන විභාගය (ර්ඕඒ) කරන කාලේ අධ්‍යාපන නිවාඩුවක් ආවා. මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ඇඳුම් ගන්න ගියා. ඒ තැනදි දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ජීවා මහතා මාව දැකලා ඔහුගේ අලුත් චිත්‍රපටයට ආරාධනා කළා.
මම ඉගෙන ගන්න තියෙනවයි කියලා බැහැයි කිව්වා. නමුත් ඔහු කිව්වා දින 15 යි රූගත කිරීම් තියෙන්නේ ඉගෙනීමට බාධාවක් නැහැ එන්න කියලා. ඔය විදිහටයි මම “උල්හම් කේතුගම්” චිත්‍රපටය සම්බන්ධ වුණේ. නොහිතපු විදිහට චිත්‍රපටය ජනප්‍රිය වුණා. ඒ නිසා දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා.
ලොකේ කොහේ මට රසිකයින් සිටියත් තාත්තා මම නිළියක් වුණ එක ගැන අසතුටෙන් හිටියේ. ඔහු මට නිතරම කිව්වෙ ඔයා ඉගෙන ගන්න කෙනෙක් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කියලයි.

* මෙම චිත්‍රපටයේ ඔබට රඟපෑමට ලැබී ඇත්තේ වෙනස්ම චරිතයක්. ඔබ එය වටහා ගත්තේ කොහොමද ?
මට ලොකු වුවමනාවක් තිබුණා ඓතිහාසික චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. මට ඉන්දියාවේදී රඟපාන්න ලැබුණේ ගැමි චරිත හා නවීන තරුණියන්ගේ චරිත. ඒ වගේම ළමයින් සමඟ කරන චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න වුවමනාවක් තිබුණා. ඒ නිසා මම නිළියක් හැටියට බලාපොරොත්තු ගොඩක් ඉටු කර ගත්තේ සිංහල සිනමාවෙන්.
අනිත් අතට පොඩි කාලේදීම අම්මා අපිට මේ කතාව කියලා දීලා තිබුණා. ජාතක කතා අතර තිබුණ වෙනස්ම විදිහෙ කතාවක් නිසා මම ඒ කතාවට හුඟක් කැමතියි. මේ කතාව කියන කොට ඊට පෙර ඇය කියා දුන් ‘Beauty and the Beast’ සුරංගනා කතාව අතර සමාන කමක් දැනුණා. ඒ දෙකේම තියෙන්නේ අවලස්සන කුමාරයෙක් ගැනයි. නමුත් ඒ ලස්සන කුමාරි වෙන්න මට පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.

* ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස කුමක්ද ?
මම ලංකාවෙ කරපු හැම චිත්‍රපටයක් ගැනම සෑහීමකට පත් වෙනවා. ඒ ගත කරපු කාලය හරිම සුන්දරයි. හැම දෙනාම මට උදව් කළා. එහෙම නොකළ නම් මට වෙනත් බසකින් කරන චිත්‍රපටයක් සාර්ථකව කරන්න ලැබෙන්නේ නැහැ.
මේක මම අවස්ථාවක් කර ගන්නවා ලංකාවේ සිනමා කර්මාන්තයේ නියැලී සිටින ලොකු කුඩා සැමට ස්තූති කරන්න. ලංකාවේ මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න ශිල්පීන් හරියට පවුලක සාමාජිකයෝ වගේ. කලබලයක් නැහැ. ඒ නිසා ආතතියක් නැහැ. ඉන්දියාවෙ තත්ත්වය ඒ වගේ නෙවෙයි. දැන් මේ චිත්‍රපටයම බලන්න, එය නිෂ්පාදනය කරන්න කී දෙනෙක් උදව් කරනවාද. එය හොඳ දෙයක්.
ඒ වගේම ලංකාව සුන්දර රටක්. ඉන්දියාවේ මිථ්‍ය කතාව කියනවා කේරලය සුරලොවේ කොටසක් කියලා. මම නම් හිතන්නේ ඒක ගැලපෙන්නේ ලංකාවටයි. මේ රටේ සුන්දර ස්ථාන සොයන්න ඇවිදින්න වුවමනා නැහැ. අපේ රටේ සිනමාකරුවෙක්ට කිවුවා ඔබ ලංකාවේ ඕනෑම තැනක කැමරාව තියන්න. එතැන ඔබට සුන්දර දර්ශන හමුවේවි කියලා. ඔහු කිවුවා “පූජා ඔයා පිස්සුද” කියලා නමුත් ඔහු ලංකාවට ආවයින් පස්සේ මගේ කතාව පිළිගත්තා.
මම සිනමාවෙන් ඈත් වුණත් ලංකාව සමග තිබෙන සම්බන්ධය නවතින්නේ නැහැ. ඒ නිසා මම ලංකාවට ට්ධධඤ ඡරඥ කියන්න කැමති නැහැ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money