Saturday, September 17, 2011

අවුරුදු දෙකකින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ

අවුරුදු දෙකකින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ


ජයලත් මනෝරත්න සමඟ කතාබහක්

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න කලාකරුවා ප්‍රසිද්ධ වේදිකාවට පිවිස පන්සාලිස් වසක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කලා දිවිය ඇගයීමේ උළෙලක් හා ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ බූරුවා මහත්තයා’ රංග ගත කිරීම මේ මස 24 දා (සෙනසුරාදා) සවස 3.30 ට සහ 6.30 ට මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් ගේ ගැමි දරුවෝ සංවිධානය අනුග්‍රහයෙන් පැවැත්වේ.
මෙම උලෙළේ මුඛ්‍ය දේශනය පවත්වනුයේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසිනි. අනතුරුව මනෝ රත්නයන්ගේ සේවය ඇගයීමේ හේතු පාඨය ඉදිරිපත් කිරීම ප්‍රවීණ කලාකරු නිශ්ශංක දිද්දෙණිය විසින් සිදුකෙරේ. සවස 3.30 පාසල් දර්ශනය වෙනුවෙන් හැඳින්වීමේ දේශනය පවත්වනුයේ කලා විචාරක සුගත් වටගෙදර විසිනි. මනෝරත්න රංගාභිෂේක අභිනන්දන සමරු සංග්‍රහය ද එදින නිකුත් කරන අතර නාට්‍ය දර්ශනවලින් ලැබෙන ලාභය වරප්‍රසාද අවම දරුවන්ගේ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සඳහා බැර කෙරේ.

ඔහු වේදිකාව මත පෙරළිකාරයෙක්. ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්න ඇත්තේ වේදිකාව මත. කාලය කොච්චර ද කිව්වොත් පන්සාලිස් වසක්. ඒ කියන්නේ වසර 45 ක්. හිතාගන්නත් බැරි තරම්. එච්චර කාලයක් ඔහු නොසැලී මේ ගමන ආවා. අද ආපස්සට හැරෙත්දී අප්‍රමාණ සතුටක් ඇති. ඒත් ඒ සතුට ඔහුට වඩා දැනෙන්නේ අපට. ප්‍රේක්ෂකයෝ විදියට පුරා දශක පහකට ආසන්න කාලයක් ඔහු අපව පිනෙව්වා. ඒ නිකම්ම නිකං වේදිකාව මත පිණුම් ගහල නොවෙයි. ප්‍රේක්ෂකයන් ඥානනය කිරීමේ මහඟු කර්තව්‍යයට උරදීලා. ඒ හින්දයි අදත් අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ.
ඔහු ජයලත් මනෝරත්න. දැන් කවුරුත් ආදරේට කියන්නේ මනෝ කියලා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් වූ සොඳුරු ගම් පියසේ ජන්ම ලාබය ලැබූවෙක්. දෙහිපේ ප්‍රාථමික පාඨශාලාවෙන් පොරමඩුල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියට එන මනෝරත්න ප්‍රේක්ෂකයින්ට තිළිණ වෙන්නේ එතැන්දි. ඒ අතීතය මතක් කරන්න කරන්න සුන්දරයි. මනෝ කියනවා.
“මම කලා ජීවිතේ පටන් ගන්නේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලමයි. නමුත් 1966 දී පේරාදෙණිය සරසවියට සම්බන්ධ වුණා ම මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණ ගැසෙනවා. එතනදී තමයි මම ඔහුගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඒක තමයි මගේ පළවැනි නාට්‍යය හැටියට ගැනෙන්නේ. මුලින් ම සරච්චන්ද්‍රයන් සෙවණට වැටුණු නිසා අපට කිසියම් ස්ථාවර පදනමක් ලැබුණා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන්නේ එවකට විශ්ව විද්‍යාලයේ අපේ සිංහල ගුරුවරයා. එතුමා පාඩමත් සමඟම භාෂාව පිළිබඳ සාහිත්‍යය පිළිබඳ රසවිඳීම පිළිබඳවත් එතුමාගේ ගුරු හරුකම් අපිට ලබා දුන්නා. මේ පාඩමට අමතරව තමයි අපි නාට්‍යවලට සම්බන්ධ වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඕන කළේ දේශීය නාට්‍ය කලාවේ අලුත් විදියක් ආරම්භ කර එය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ අත්හදා බැලීම් කරන්නයි. අපිත් ඒවට සහභාගි වුණේ ඒ ඉගෙන ගැනීමත් එක්කමයි. ඉන් පස්සෙ එතුමා කරපු ‘වෙස්සන්තර’, ‘මහාසාර’ ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කදා වළලු’ වැනි නාට්‍යවල මම ප්‍රධාන චරිත රඟපෑවා. මේ වනවිට මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණ කෙනෙක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර මනෝරත්න නම් වූ නාට්‍ය කරුවාට බෙහෙවින් බලපානවා. මේ ඇසුර ලබන්නට තවත් භාග්‍යවත් වූ බව අදත් ඔහු සිහිපත් කරන්නේ කිසියම් වූ ගෞරවය මුසු භක්තියෙන්.
සමහරවිට සරච්චන්ද්‍ර සර් හමු නොවුණා නම් නාට්‍ය කරන්න පුළුවන් වුණාට අපට ලැබුණු පදනම මේ තරම් ශක්තිමත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ වනවිට එතුමා දීර්ඝ කාලීන පර්යේෂණ කරලා. මනමේ නාට්‍යය නිෂ්පාදනය කරලා නව යුගයක ඇරැඹුම සටහන් කරලා තිබුණේ. එතුමා යටතේ ඉන්නවා කියන්නේ, රංග කලාව පිළිබඳ අපට අදහසක් ලැබුණා ඔහුගේ විශිෂ්ට වූ භාෂා ඥානය, කාව්‍යාත්මක ගුණය, සාහිත්‍යය පිළිබඳ තිබුණ පරිචය, දෙස් විදෙස් නාට්‍යවල තිබුණ ගවේෂණශීලී බව අපිට දැනගන්න ලැබුණා. ඔහු ළඟ ඉන්නවා කියන්නේ විශ්වවිද්‍යාලයක ඉන්නවා වගේ තමයි. ඒක අපි නාට්‍ය ලියනකොට, නාට්‍ය නිෂ්පාදනය කරන කොට අපිට ශක්තිමත් අත්තිකාරමක් වුණා.
සරච්චන්ද්‍රයන්ගෙන් පසුව මෙරට නාට්‍ය ඉතිහාසයේ අති දක්ෂ නාට්‍යවේදීන් රැසක් සමඟ කටයුතු කරන්නට මනෝරත්නට අවස්ථාව හිමි වෙනවා. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි මෙරට පුරෝගාමී නාට්‍යකරුවන්ගේ මුණ ගැසීම සහ ඔවුන්ගේ නාට්‍යයන්හි රංගනයට එක්වීමට ලැබීම එක් අතකින් ඔහු ලැබූ භාග්‍යයක්.
අපේ රටේ පුරෝගාමී නාට්‍ය කරුවන් පස්දෙනා යටතේ ම මම රඟපෑවා. මේ අය නාට්‍ය සඳහා උපයෝගී කර ගත්තේ විවිධ ශෛලීන්. සුගතපාල ද සිල්වා සම්පූර්ණ වෙනස් ශෛලියක් භාවිතා කරපු කෙනෙක්. හෙන්රි ජයසේන ඊට වෙනස්. දයානන්ද ගුණවර්ධන ජන නාට්‍ය ඇසුරු කරපු කෙනෙක්. මේ විදියට විවිධ නාට්‍ය කරුවන් යටතේ විවිධ ශෛලීන් හදාරද්දී අපේ දැනුම සහ අත්දැකීම් පුළුල් වෙනවා. පසුකාලීනව මම නාට්‍යය ලියන්නට පෙලඹෙනකොට භාෂාව වගේ දෙයකට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ ඇසුරත් ජන රංගනය කියන කොට දයානන්ද ගුණවර්ධනයන්ගේ ඇසුරත් මට බලපෑවා.
අනෙක් අතට හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති වැනි නාට්‍යකරුවන් නාට්‍යකරණය පිළිබඳ අතිශය පුළුල් දැනුමක් ඇති අය. ඒ අයත් දෙස් විදෙස් දෙකෙහිම නාට්‍ය පිළිබඳ හදාරපු අය. මේ අයගේ ආලෝකයත් අපට විශාල වශයෙන් බලපෑවා. කෙනෙකුටමුල වැරදුණොත් එතැනින් එහා ඉදිරි ගමන ගැන ශක්තිවන්ත බවක් නෑනේ. නමුත් අපට මුල් අඩිතාලම ඉතාම ශක්තිමත්ව ලැබුණා. අද වගේ දවසක ආපස්සට හැරිලා බලද්දී මේ ශක්තිමත් භාවය තමයි අපිට ඉදිරියට අරන් ආවේ. තවමත් අපි මෙතැන රැඳිලා ඉන්නේ ඒ හින්දයි”.
මනෝරත්න කියන්නේ නළුවෙක් විතරක් ම නොවෙයි. ඔහු ඉතාම දක්ෂ නාට්‍ය රචකයෙක්. නාට්‍ය නිෂ්පාදකවරයෙක්. කෙටිකතා රචකයෙක්. කවියෙක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මේ සියලු භූමිකාවන්හි එකිනෙක පරයා නොයන කුසලතාවයක් ඔහු ප්‍රකට කරනවා. අස්සගුඩුං, සිංහබාහු, මඟුල් ප්‍රස්ථාව, ප්‍රේමතෝ ජායතී සෝකෝ, මකරා, චූලෝදර මහෝදර, දුන්න දුනු ගමුවේ, අසාත මන්තරේ, හිරු නැති ලොව, රතු හැට්ටකාරී, ගජමන් පුවත, නරි බෑණා. ජසයා සහ ලෙංචිනා, අංගාරා ගඟ ගලා බසී.
මා වැනි බිලින්දා, තවත් උදෑසනක්. තාරාවෝ ඉඟිලෙති. සිහින සාප්පුව, තල මල පිපිලා, සොක්‍රටීස්, නාග ගුරුලා, ද්විත්ව, මේඝ, ගුරු තරුව, මේ ආදී වශයෙන් ඔහුගේ නාට්‍ය ලැයිස්තුවට තවත් බොහෝ නම් එකතු විය යුතුය. නාට්‍ය නිෂ්පාදනය පැත්තෙන් ගතහොත් මේ දිනවල ඔහු රංග ගත කරනුයේ සිය 11 වැනි නාට්‍ය නිර්මාණය වූ ‘බූරුවා මහත්තයා’, ‘තලමල පිපිලා’, ‘අන්දරේලා’ ‘ගුරු තරුව‘, ‘සඳගිර’, ‘කනේරු මල්’ ආදිය ද මේ ලැයිස්තුවට ඉහළින් ම ඇතුළත් විය යුතු ය. ‘අන්දරේලා’ 1996 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙසත් සම්මාන දිනා ගත්තා අපට මතකය.
“ලංකාව වැනි රටක නළුවකුට පර්යේෂණ කරන්න, අත්හදා බැලීම් කරන්න තිබෙන එකම තැන වේදිකාව කියලයි මම හිතන්නේ. අනිත් මාධ්‍යවල එවැනි අවස්ථාවක් අපට ලබා ගන්න බෑ. නළුවෙක් විදියට වේදිකාව තුළ දී දවසින් දවස, මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද අපි අලුත් වෙනවා. වේදිකාවෙන් ඒ ලැබුණු පන්නරය තමයි පසු කලෙක ටෙලිනාට්‍ය සහ සිනමාව වෙනුවෙනුත් මා යොදා ගත්තේ. මා පෞද්ගලිකව විශ්වාස කරන පරිදි රූපවාහිනි නාට්‍යයේ පටන් ගත්තට පස්සේ මේ මාධ්‍යය තුළින් කලාත්මක භාවිතාවක් කරන්න පුළුවන් ද කියල තමයි මුලින් පර්යේෂණ කළේ.
ධම්ම ජාගොඩ වැන්නන් එසේ කළ හැකියි කියා සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තා. අපිට නළුවෝ විදියට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. නමුත් මුල් කාලේ එහෙම තිබුණාට දැන් අපට පෙනී යන කාරණාව තමයි ඒ අදහස රූපවාහිනී මාධ්‍යයෙන් ගිලිහෙනවා. දැන් රූපවාහිනී මාධ්‍යයට තිබෙන්නේ ව්‍යාපාරික අරමුණු, මූල්‍යමය අරමුණු, ජනප්‍රියත්වය, ප්‍රචාරණය වැනි කාරණා තමයි. ඒ නිසා මගේ නම් අදහස එතනින් වැඩි ඵල ප්‍රයෝජනයක් ගන්න බෑ කියලයි. වර්තමානය වන විට මම රූපවාහිනියෙන් වැඩිය දකින්න නැත්තේ ඒ නිසා.
මම හරියටම අවුරුදු දෙකකින් ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මම අන්තිමට රඟපෑවේ ‘අරුංගල්’ ටෙලි නාට්‍යයේ. ඒකට මට හොඳම නළුවා සම්මානයත් ලැබුණා.
ඊට පස්සේ නොයෙක් දේවල් වලට කතා කරනවා. අද වන විට හඳුන්වා දී තිබෙනවා දීර්ඝ ටෙලිනාට්‍ය. මේවා හරි ඉක්මනින් සහ අය වැය එක්ක වැඩ කෙරෙන්නේ. නිර්මාණය නොවෙයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපට හිතන්න බෑ තෘප්තිමත් විදියකට මේ කටයුතුවල නියැළෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඊට වඩා හොඳයි පොතක් පතක් කියවගෙන ඉන්න එක.”
මනෝරත්න ගැන කියත්දී සිනමාව හා සමඟ ඔහුගේ බැඳුණු සබැඳියාව ද අපට අමතක කරන්න නෑ. ඔහුගේ සිනමා ජීවිතය ඇරඹෙන්නේ ‘සිරි බෝ අයියා’ චිත්‍රපටයෙන්. පසු කලෙක ඔහු හොඳම සහාය නළුවා වැනි සම්මාන ද සිනමාව වෙනුවෙන් දිනාගත්තා. එතෙක් එදා මෙදා තුර ඔහුගේ රංගන චාරිකාව තුළ සිනමාව වෙනුවෙන් ඔහුගෙන් ලබා ගත් දායකත්වය ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය අප තුළ පැන නඟිනවා.
“අවුරුදු ගණන බැලුවොත් 70 දශකයේ තමයි මම මුලින් ම සිනමා රංගනයට ආවේ. මේ කාලය ඇතුළත ඉතා ම සුළු ප්‍රමාණයක් තමයි සිනමා රංගනයට අවස්ථාව ලැබුණේ. එයිනුත් උප ප්‍රධාන චරිත තමයි නිතර ලැබුණේ. සහාය නළුවා වැනි සම්මාන තමයි අපිට හිමි වුණේ. මෑත භාගයේ මම චිත්‍රපට 2 ක ප්‍රධාන චරිත දෙකක් රඟපෑවා. සරත් ධර්මසිරි ගේ ‘සූවිසි විවරණ’ සහ වී සිවදාසන්ගේ ‘දරුවනේ’ ළමා චිත්‍රපටයේත් රඟපෑවා. ඒකට හේතුව මොකක්ද කියලා අපට හිතාගන්න අමාරුයි.
මනෝරත්නයන්ගේ නවතම නාට්‍ය නිෂ්පාදනය ‘බූරුවා මහත්තයා’ මේ දිනවල රට වටා වේදිකාගත වෙමින් පවතිනවා. ඔහු මීට ප්‍රථම කළ සියලුම නිර්මාණ මේ ආකාරයෙන් ම ජනප්‍රිය වූවා. ඒවා ප්‍රේක්ෂකාගාරය ප්‍රමෝදයට පත් කිරීමට පත් කිරීමට පමණක් නිර්මාණය වූ ඒක නොවේ.
මේ සෑම නාට්‍යයක් ඇතුළතට පුළුල් සමාජ දේශපාලන දැක්මක් ඔහු ඉදිරිපත් කළා. ‘බූරුවා මහත්තයා’ ඔස්සේත් ඔහු කරන්නේ එවැනි ම දෙයක්.
“මේ නාට්‍යය මම කළේ ඉන්දියානු නවකතාවක් ඇසුරින්. මගේ මතකයේ හැටියට නම් මීට ප්‍රථම නවකතාවකින් නාට්‍යයක් කරපු එකක් ගැන මතකයට එන්නේ නෑ. සමහරවිට කෙරිලා ඇති. ‘Mr donky’s outobiography’ කියන පොත ක්‍රිෂන් චන්ද්‍රන් කියන උර්දු ලේඛකයාගේ නවකතාවක්. මේක ගුණතිලක මැටියගනේ විසින් ‘සද්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වයංලිඛිත චරිතාපදානය’ කියලා සිංහලට පරිවර්තනය කළා.
මේ පොත කියවද්දී මට හිතුණා. ඒකෙන් හොඳ නාට්‍ය පිටපතක් ලියන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි බූරුවා මහත්තයා නාට්‍ය පිටපත මම ලිව්වේ. යටි පෙළ අරුතින් ගැඹුරු දේශපාලනමය පසුබිමක් කතා කරනවා. මේක වර්තමාන ලංකාවටත් හොඳින් ගැලපෙනවා.
කලා දිවියේ හතළිස් පස් වසරක් සමරන මනෝරත්නයන් අදටත් සක්‍රියව වේදිකාව වෙනුවෙන් සිය බලය, ශ්‍රමය, ධනය කැප කරනවා. වෙනත් කිසිදු මාධ්‍යයකින් මිදිය නොහැකි උත්තම වින්දනයත් ඔහු එයින් ලබනවා ඇති. මිනිසෙක් ඒ තරමට ම වේදිකාවට ආදරය කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
ජීවිතේ ආපස්සට හිතත්දී ඔහුගේ කලා දිවිය ගැන ඔහුට සතුටු වන්නට කාරණා බොහෝ ය. සොම්නසින් සිහිපත් කරන්නට කාරණා බොහෝ ය. මේ කලා ජීවිතය මෙසේ නොකරන්නට ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සහකාරිය ජයන්ති සේම පුතු භානුකත්, දියණියත් ලබා දුන් නොවෙනස් සෙනෙහස හා ශක්තිය, ධෛර්යය අප්‍රමාණය. අද ඒ සියල්ල වෙනුවෙන් ඔහු අප්‍රමාණ භක්තියත් ඔවුන් වෙනුවෙන් පුද කරන්නේ. මේ සියල්ල සිත් තුටින් කර ගැනීමට නිරවුල් මනසක් නිර්මාණය කර ගැනීමට ඔවුන් සැමදා සහාය වූ හෙයින්.
තවත් බොහෝ කලක් වේදිකාවට ආදරය කරමින් ප්‍රේක්ෂකයන් පිනවන, ප්‍රේක්ෂකයින් ඥානනය කරන නිර්මාණ බිහි කරන්නට ඔහුට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමු.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money