Saturday, September 10, 2011

සැප්තැම්බරය ඇඹරේ

88 සිනමා කවය පිහිටවනු ලැබුයේ 1988 වසරේදීය.ඒ එම වසරේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පැවැත්වූ සිනමාකරණ පාඨමාලාව හැදැරූ සිසුන්ගෙන් සමන් විත පිරිසකගේ එකතුවකිනි.
මේ සිනමාකරණ පාඨමාලාව මෙහෙයවීමට මෙරට සිනමාවේ පතාක යොධයන් කිහිප දෙනෙකු මෙන්ම එවකට සෝවියට් දේශයට අයත්ව තිබූ එස්තෝනියාවේ සිනමාකරුවකුව සිටි අර්වෝ ඉහෝ ද දායක වූහ. ඉහෝ ස්මයිල් ඹන් බේබි සහ දි ඔබ්සර්වර් යන චිත්‍රපට අධ්‍යක්ෂනය කර තිබිණ. එමෙන්ම ඔහු ලොව සිනමාවේ මුනිවරයකු ලෙස සැලකෙන අන්ද්‍රේ තර්තොව්ස්කිගේ ද මිරර් චිත්‍රපටයේ ද කටයුතු කෙරූවෙකි.
මේ සිනමාකරණ පාඨමාලාවේ සාර්ථකවීම සඳහා එවකට සංස්ථවේ නිළධාරින් ව සිටි රංජිත් නිව්ටන් ප්‍රනාන්දු,අයිවන් වීරක්කොඩි,වයලා දයාරත්න මහත් කැප වීමෙන් කටයුතු කළ බැව් අද ද මම සිහිපත් කරමි. මේ සිනමා කවය මගින් එවකට සෑම මසකම මුල් ඉරිදා සිනමා දැක්මක් පැවැත්වූයේ විද්වත් දේශනයක් සමගය.
එක් සැප්තැම්බරයක දේශනය පැවැත්වූයේ මහාචාර්යතුමෙකි.ඔහුගේ මාතෘකාව වූයේ සිනමාව සහ සාහිත්‍යය යි.ඉතා වැදගත් දෙසුමක් පැවැත්වූ මහැදුරු තුමා එහි එක් අවස්ථාවකදී සමහර නවකතා සිනමාවට නැගිය නොහැකි බැව් තරයේ කියා සිටියේය.ඔහු එහි දී උදාහරණයක් කොට ගත්තේ ෆාන්ස් කෆ්කාගේ කෘතින්ය.
ඒ වනතෙක් ේදශනය නිසොල්මනේ අසා සිටි මම එක්වරම නැගිට දැඩි විරෝධයක් පළ කළෙමි. මම දන්නා තරමින් කෆ්කාගේ නවකතාවන් පාදක කොට ගෙන චිත්‍රපට නිර්මාණය වූ බව කියා පෑවෙම්. මා වැනි දුහුනෙකුගේ අවලාදය ඉවත ලනු රිසි වූ එතුමන් මා අවඥාවට ලක් කරමින් එය කිසිසේත් විය නොහැකි බව කියා සිටියේය. කළා නම් එය අසාර්ථක චිත්‍රපටයක් බැව් පැහැදිලිවම සභාවට කියාපෑවේය.
මා ද ලේසියෙන් පසුබාන්නට කිසිසේත් කැමැති නැත. අන්බෙයරබල් ලයිට්නස් ඔෆ් බීන්ග් නමින් එයට පෙර වසරේ නිර්මාණය වූ චිත්‍රපටය කෆ්කාගේ නිර්මාණයක් පාදක කොට ගත්තක් බැව් මම උදාහරණයක් කොට ගතිමි. එහෙත් මහාචාර්යතුමා ද ඇරියේ නැත. නොඅනුමානවම එය කසිකබල් චිත්‍රපටයක් විය යුතු බැව් එතුමාගේ අදහස විය. මම ද වාදයෙහි රිසි වීමි.
නැතහොත් මහාචාර්යතුමන් අවුස්සන රිසි වීමි. එහෙම කොහොමද කියන්නේ?මේ චිත්‍රපටය කාන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතරක් දිනා ගත් බවත් එයට අමතරව ඒ වෙලාවේ මට මතක් වූ ජාත්‍යන්තර සම්මාන උළෙලයන් කිහිපයකගේ නම් ද එක් කරමින් ඒ සෑම තැනකම මේ සිනමා කෘතිය සම්මානයට පාත්‍ර වූ අන්දම ද කියා පෑවෙමි. එය කාන් උළෙලේ සම්මාන දිනීම හෝ සෙසු සම්මාන උළෙලයන්ගේ සම්මාන දිනීම ගජබින්නයකි. එය මා පවසන ලද්දේ මගේ තර්කය ඔප්පු කිරීමට පමණක් බැව් මෙහිලා සඳහන් කරමි.
කෙසේ වෙතත් එවර නම් මහාචාර්යතුමන් තරමක් සැර බාල කළේය. එවර එතුමා අන්බෙයරබල් ලයිට්නස් ඔෆ් බීන්ග් නවකතාව තමන් එංගලන්ත සවාරියක දී මිලයට ගත් අන්දමත් එයින් තමා විඳී චමත්කාරයත් විග්‍රහ කළේය. එපමණක් නොව එම ග්‍රන්ථය තම පොත් අතර ආරක්ෂා සහිතව තිබෙන අන්දමත් ආඩම්බරයෙන් යුතුව පැවසුවේය.
කෙසේ වෙතත් එය පාදක කරගෙන තැනූ චිත්‍රපටය පිළිබඳ තමා නොදන්නා බව හෙතෙම අවංකවම පිළිගත්තේය. එයින් සෑහිමකට පත් වූ මම ජයග්‍රාහී ලීලාවෙන් අසුන් ගත්තා පමණී. මට සමීපයේ සිටියේ වර්තමානයේ සරසවිය කර්තෘ මණ්ඩලයේ සේවය කරන මනුබන්දු විද්‍යාපතිය. මනු 88 සිනමා කවයේ සාමාජිකයකු නොවූවද එමගින් පැවැත්වූ චිත්‍රපට දැක්මක් වැරැද්දුවේ නැත.මනු හීන්සීරුවේ මා ඇමතුවේය. "ඇයි බං උඹට පිස්සුද?අන්බෙයරබල් ලයිට්නස් බීන්ග් කෆ්කාගේ නෙවේ. මිලාන් කුන්දේරාගේ."
මට හීන් දාඩිය දැම්මේය. හොඳ වෙලාවට එංගලන්තයේ දී මිළයට ගත් පොත පිළිබඳ මහාචාර්යතුමන් තව දුරටත් කතා කළේ නැත.එහෙත් බැරි වෙලාවත් මහාචාර්යතුමන් මගේ වැරැද්ද වටහා ගත්තා නම් අද මේ වන තුරාවට මට නිවනක් නැත.වාසනාවට මේ වාදය කළේ එදා මා සමගයැයි එතුමන්ට මතකයක් නැත.
සැප්තැම්බරය සමග මට මේ අලකලංචිය මතක් වනුයේ ඒ සමග ඇති වන සාහිත්‍ය කලබැගෑනිය නිසාය. කුඩා කළ මගේ වීරයන් වූයේ සිනමාකරුවන් නොව සාහිත්‍යකරුවන්ය. එයට හේතුව මා උපන් පළාතේ සිනමා හලක් නොවීමය. ඒ නිසා තාත්තා මට හැමවිටම පොතක් ගෙනත් දුන්නේය. මේ නිසාම පොත් කියැවීමේ ඇබ්බැහිය මට ඇති වුනේ ළමා වියේ පටන්ය. එහෙත් සිනමාවට පෙම් බඳීන්නට පටන් ගත් කළ මගේ වඩා නැඹුරුව ඇතිවූයේ සිනමාව දෙසටය. එකල ද සැප්තැම්බරය වන විට පොත් පිළිබඳ අපේ උනන්දුව ඇති
වනුයේ ඒ වන විට පොත් මිළ අඩු වන බැව් දැන උන් නිසාය. මගේ මව්පියෝ එකල ද සැප්තැම්බරයේ පොත් අරන් දුන්හ. කෙසේ වෙතත් මගේ මතකය හරි නම් 1980 ගනන් වන විට සාහිත්‍ය පිළිබඳ මිනිසුන්ගේ උනන්දුව තරමක් අඩුවූයේය. බොහෝ පොත් සාප්පු වේලෙන්නට විය. එකල මරදානේ පැවැති ඇතැම් පොත් ප්‍රකාශන ආයතනයක් හොර රහසේම වැසී ගියේය. මට මතක හැටියට අතීතයේ බොහෝ පොත් සාප්පු තිබුනේ යැයි පැවසුණු දකුණු පලාතෙන් පොත් සාප්පුවක් සොයා ගැනීම කළුනික සොයන්නක් වැනි විය. එහෙත් මේ තත්වය ඊළඟ දශකයේ දී වෙනස් ව ගියේය. පොත් ව්‍යාපාරය වඩා තරගකාරී අන්දමින් මුහුණ දෙන්නට පටන් ගත්තේය.
අලුත් ව්‍යාපාරිකයෝමෙන්ම පැරණි ව්‍යාපාරිකයෝ ද තරගයට මුහුණ දුන්හ. මේ අභියෝගය හමුවේ පැවැති එක් වැදගත් මෙහෙයක් වූයේ පොත් ප්‍රකාශන සඳහා රාජ්‍ය ආධාර ලැබීමය. නැතහොත් පුස්තකාල සේවා මණ්ඩලයේ ආධාර ලැබීමය. එය මෙරට පොත් පිළිබඳ අලුත් ප්‍රබෝධයක මූලාරාම්භය වූයේය. දෙවැන්න නම් කොළඹ පොත් ප්‍රදර්ශනයයි. මේ පොත් ප්‍රදර්ශනය තිස් වසරක් මුළුල්ලේ සිංහල චිත්‍රපට සම්බන්ධව ඇති කර ගත නොහැකි එකක් වූයේය.
සැප්තැම්බරය ඉලක්ක කර ගනිමින් පොත් කියා මොකක් හෝ එළි දැක්වීමේ වැඩ පිලිවෙලක් ද පටන් ගත්තද මෙතෙක් පසුගිය වසර දහය ඇතුළත සැප්තැම්බරය පොත් වසන්තයක් වූ වග නම් අවිවාදාත්මකය.
අද බොහෝ පොත ලෝලින්ගේ එක් සිහිනයක්ව ඇත්තේ වසරකට වරක් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය වෙත යෑමය. ඒ අතරවාරයේ පැවැත්වෙන විවිධ සාහිත්‍ය සම්මානඋත්සව මෙහි උනන්දුව දෙගුණ තෙගුණ කළේය. එහි වඩා අවධානය යොමුව ඇත්තේ ස්වර්ණ පුස්තක සම්මානය නිසාවෙනි. වසර ගණනාවක් මුළුල්ලේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට නැති උනන්දුවක් ඒ පිළිබඳ ඇත්තේ එහි පිදෙන මුදල් ත්‍යාගය නිසාමයැයි මම නොසිතමි.
එය වඩා ආකර්ශණීය ලෙස ඉදිරිපත් කිරීමට එහි සංවිධායකයන් දක්වන හැකියාව,කැපවීම සහ උනන්දුව එයට හේතුවයි. විශේෂයෙන්ම පොත් පමණක් නොව අද සියලු කලාවන් පවතිනුයේ ඒ හරහා යෙදෙන ප්‍රචාරක ව්‍යාපෘති ඔස්සේය.
මේ නිසාම රාජ්‍ය සාහිත්‍ය උළෙල නොලබන ආකර්ශණයක් එය නිතැනින්ම ලබා ගනී, එහෙත් එයට සාපේක්ෂව පල ලැබීමට මෙරට සාහිත්‍ය වේදින් සමත් වන්නේ ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. මෑත භාගයේ සාහිත්‍ය කතිකාවත එකිනෙකා පරයා තම වත උලුප්පා නිරුවත පෙන්වා දෙන ජාතියේ බැණ අඬ ගසා ගැනීම් විනා හරවත් සංවාදයකට බඳූන් නොවූයේය.
පසුගිය වසරේ මේ තත්වය කෙතරම් ද යත් මට පෞද්ගලිකව හිතුනේ අපේ සිනාමකරුවන් මේ අතින් කෙතරම් නම්බු කාරයන් ද යන්නයි. කවර සම්මාන උළෙලක දී වුව ඇතැමෙකු තමන්ට සම්මාන නොලැබීමේ පෘතග්ජන ආකල්ප වලට ගොදුරු වෙති. එහෙත් ඒ කිසි කලක ඔවුහු උළෙලේ සංවිධායකයන්ට බැණ වැදුනද සම්මාන ලාභි සගයා හා උරණ වන වගක් පළ වන්නේ නැත හිත යටින් කොයි හැටි වෙතත් හිත උඩින්වත් තම සංවරය පළ කර සිටිති. එහෙත් පසු ගිය වසරේ සාහිත්‍ය සම්මාන නිමාවත් සමග ඇති වූ ආරෝව හුදු සංවාදයක් නොවේ. එය එකිනෙකා පරයා අමු තිත්ත කතාවෙන් බැණ අඬ ගසා ගැනීමක් වූයේය. එහෙත් එය හරවත් සංවාදයකට යොමු නොකර ගත්තේ අදාළ සාහිත්‍ය පාර්ශවයන්ම පමණි.
පාඨකයන් වූ අප නම් කළේ මේ තිත්ත කුණුහරුප අසමින් හා කියවමින් වින්දනයක් ලැබීම පමණී.මගේ ඇතැම් සාහිත්‍ය වීරයන් පිළිබඳ ආකල්ප නිකම්ම හෝදා පාළුවට ලක් වන්නට එයම ප්‍රමාණවත් වූයේය. මා විස්වාස කරන අන්දමට දෙඤ්ඤං බැටේ විචාරකයන්ගේ කර්තව්‍ය නිර්මාණකරුවන් බාර ගන්නේ නම් ඔවුන් සුදුසු කැලෑ පත්තර ලිවීමේ රාජකාරිය බාර ගැනීමයි.
කෙසේ වෙතත් මෙයට පහලොස් වසරකට මත්තෙන් මම වරක් මදුරාසියේදී එහි තිබූ ජාත්‍යන්තර පොත් දැක්මක් නැරඹීමට ගියෙමි. මා එයට කැටුව ගියේ ශ්‍රී ලාංකික සිනමාකරු ටී.අර්ජුනය. එදවස මා හීන දැක්කේ මෙරට ද එබන්දක් දැක ගත හැකි වීම ගැනය.වැඩි දවසක් මත්තෙන් මගේ සිහිනය එළි දුටුවේය. මුල්ම පොත් දැක්ම පැවැතියේ කලාභවන භූමියේය.
එය කෙතරම් සාර්ථක වීද යත් ඊළඟ වතාවේ පටන් එය වඩා ඉඩ කඩැති බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ භූමියට ගියේය. මා මුල්ම පොත් දැක්ම බලන්නට ගියේ එවකට සරසවිය කතුවර තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සමගය. ඊළඟ වතාවේ මම තනිවම ගියෙමි. අනතුරුව මා එහි ගියේ මගේ බිරින්දෑ සමගය. ඊළඟ අවුරුද්දේ සැප්තැම්බරයේ අප දෙදෙනා පොත් ප්‍රදර්ශනයට යන විට බිරින්දෑ ගැබිනියක වූවාය.
ඊළඟ වසරේ අප සමග දියනිය ද උන්නාය. එතැන් පටන් එය අපේ වාර්ෂික පවුලේ චාරිකාවක් බඳූව ඇත්තේය. පොත් ප්‍රදර්ශනයක අසිරිය විඳීන මම එ සමඟ කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක් පිළිබඳ ව සිහින දකිමි. එහෙත් එය නම් තවමත් සිහිනයක් පමණී.

Copy Rights - Sarasaviya

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money