Monday, September 12, 2011

අවසන් තරගෙට මුහුණ දුන්නේ දිනනවාමයි කියලා හිතාගෙන

සිරස කිරුළ දිනූ තිසර චානක

සිරස සුපර් ස්ටාර් ජෙනරේෂන් 4 පසුගියදා රත්මලාන සිරස මැදිරි සංකීර්ණයේදී නිමාව දුටුවේ මෙවර සුපිරි කිරුළ සියනෑ පුරවරයෙන් තරග කළ ‘තිසර චානකට’ හිමිකර දෙමින්. සුපිරු තරු මාවතේ එක්ලක්ෂ හතළිස් හත්දහසකට අධික තරගකරුවන් අතරින් තිසර මෙම සුපිරි කිරුළට හිමිකම් කියද්දි ඔහුට හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකුත්, මෝටර් සයිකල් දෙකකුත් මුදලින් රුපියල් මිලියනයකුත් ලබන්නට වාසනාවන්ත වුණා.
“ඇත්තටම මම ජෙනරේෂන් 4 තරගය සඳහා සහභාගි වෙද්දි කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් අවසන් හයදෙනා අතරට එන විට මෙම සුපිරි කිරුළට සමීප වීමේ බලාපොරොත්තුවක් මට තිබුණා. නමුත් පසුගිය 26 දා අවසන් තරගයට මම සහභාගි වුණේ පුදුමාකාර විශ්වාසයකින්. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා සිරස සුපර් ස්ටාර් වෙනවාමයි කියලා. ඇත්තටම මම මේ වෙලාවේ මගේ පුංචි අම්මගේ දුව හෂිනි පෙරේරා නංගිව මතක් කරන්න ඕන. නංගි තමයි මේ ජෙනරේෂන් 4 තරගයට මගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මේ.”
“එදා ඉඳලා මම සහභාගිවුණ හැම වටයකදීම හොඳින් තරග කරනවා කියන බලාපොරොත්තුව විතරයි මට තිබුණේ. නමුත් මම හිතුවටත් වඩා ගම්පහ ජනතාවගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. ඇත්තටම ඒ ශක්තිය මට මේ කිරුළට ළඟාවෙන්න බලපෑවා කියලත් හිතෙනවා. ඒ වගේම සමහර කිහිප දෙනෙකුගෙන් පුංචි පුංචි කෙනෙහෙළිකම් නොතිබුණා නෙමෙයි. හැබැයි ඒකත් මට ලොකු ශක්තියක් වුණා.”
“විශේෂයෙන්ම අවසන් තරගයේදී විශේෂ දෙයක් කරන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ‘සිතුම් පැතුම් පොදි හා ‘සරා සඳේ’ ගීත දෙකයි මම තෝරාගත්තේ මේ අවසන් තරගයට. ඒ සඳහා මට ලැබුණු විනිශ්චයත් මම අගය කරන්න ඕන. අවසන් තරගයට පෙර භාතිය සන්තුෂ් හා නදික ගුරුගේ හරහා සිරස ආයතනය අපිට විශේෂ හඬ පුහුණුවක් දුන්නා. එයත් ලොකු බලපෑමක් වුණා කියලයි මට හිතෙන්නේ.”
“සිරස සුපිරි තරු මාවතේ සිව්වන කිරුළ මට හිමිවෙනකොට දැන් මගේ සංගීත ගමනට අලුත් ජවයක් එක්වුණා කියලා මට හිතෙන්නේ. දැන් මගේ ලොකුම බලාපොරොත්තුව මගේම ගීත ඇල්බමයක් නිකුත් කරන එක. ඒ සඳහා හොඳ සූදානම් වීමක් අවශ්‍යයි. ඉදිරියට මම කාලය වෙන් කරන්නේ ඒ වෙනුවෙන්. අද වෙනකොට රටක් ලෝකයක් අපිව දන්නේ සිරස ආයතනය අපි වෙනුවෙන් කළ මෙහෙවර නිසා. ඒ ගැන මම සිරසට හදවතින්ම කෘතගුණ වෙනවා. ඒ වගේම මගේ අම්මා මට ශක්තියක් වුණා හැමදාකම. මාගේ නැදෑයින් ඥාති හිතමිත්‍රාදින් ඒ වගේම ගම්පහ ජනතාවත් මා වෙනුවෙන් කෙටි පණිවුඩ එවපු සියලුම ජනතාවටත් මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් සංගීත ලෝකයට හොඳ යහපත් දෙයක් කරන්නයි මගේ එකම බලාපොරොත්තුව.”
රියැලිටි තරු මාවතේ සිරස සුපර් ස්ටාර් ජෙනරේෂන් 4 ජයගනිමින් සුපිරි කිරුළ හිමිකරගත් ගම්පහ තිසර චානකට රසඳුන අපෙන් සුබ පැතුම්.



Copy Rights - silumina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money