Monday, September 12, 2011

වැඩිහිටි නොවූ ස්වීට් ඒන්ජල්

© Copy Rights - Dinamina


“සුරඟනකට පෙම් බැඳි සමනලයෙක්” කිව් පමණින් අපට හැගෙනුයේ මායාව හා සැහැල්ලුවයි. සුරඟන වනාහි හුදු මායාවක්ම පමණි. සමනලයා යනු අහිංසක සිත සනහන දැකුම්කළු, වර්ණවත් ස්පර්ශ වූ සැනින් ජීවිතක්ෂයට පත්වන කෘමි සත්වයෙකි. එරංග සේනාරත්නගේ සිනමා ෆැන්ටසිය වූ ස්වීට් ඒන්ජල් හි තේමා පාඨය නම් කොට ඇත්තේ මා ඉහතින් සඳහන් කළ පරිදිය. ඇත්තෙන්ම එය චිත්‍රපටයට උචිත වූ තේමා පාඨයකි. ෆැන්ටසි යනු මනඞකල්පිත අරුම පුදුම යන්නයි. එරංග සේනාරත්න ෆැන්ටසි සිනමාව යනුවෙන් හුවා දක්වන්නේ මෙවන් අරුම පුදුම කතාවක් මේ පොළෝ තලය මත සිදුවිය නොහැකි යැයි ඔහු විශ්වාස කරන නිසාය.
ඔහුගේ මෙම චිත්‍රපටය වානිජ සිනමාවේ පැවතිය හැකි සියලුම අංගෝපාංගවලින් සමන්විතය. මනහර දර්ශන තල. මනහර ගීතමය ජවනිකා හා මනහර සංගීතය මේ සඳහා උපරිමයෙන් දායක කරගෙන ඇත. උදයකාන්ත වර්ණසූරියගේ චැලෙන්ජර්ස් චිත්‍රපටය හා සසඳන කල එරංග සේනාරත්නගේ ස්වීට් ඒන්ජල් චිත්‍රපටය ඉදිරියෙන් සිටින බව මගේ මතයයි. කාන්තාවගේ ආදරණීය හැඟීම් පුරුෂාධිපත්‍යය හමුවේ වෙන්දේසි වීම චැලෙන්ජර්ස් මගින් පෙන්වන අතර කාන්තාව තම ස්වාධීනත්වය රැක ගනිමින් විශ්වාසයෙන් ආදරය පිරිපුන් හදවතින් විෂම වූ පුරුෂයන් හා ගැටී තම අභිමතාර්ථය මුදුන් පමුනුවා ගැනීම ස්වීට් ඒන්ජල් මගින් විදහා දක්වයි. මෙහි අවසානය පේ‍්‍රක්ෂකයා කිසිදු ආකරයකින් අපේක්ෂා නොකල ධනාත්මක චින්තනය පෙරදැරිව වූ නිමාවකි.
සිනමා ශාලාව තුළට පැමිණි ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිවිරුද්ධව සිතෙන දේ ඒ මොහොතේම බිඳ වැටෙන මොහොතින් මොහොත වෙනස් වූ සිද්ධි සමූහයක් මේ තුළින් දිගහැරෙයි. නමුත් එය ප්‍රේක්ෂකයා කුල්මත් කිරීමට සමත් වෙයි. තිර කතා රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් එරංග සේනාරත්න ඔහුගේ නිර්මාණ දක්ෂතාවය මැනවින් ඉටුකරයි.
නමුත් ඔහුගෙන් ප්‍රේක්ෂකයාට බලවත් වරදක් සිදු වී ඇත. එය ඔහු හිතාමතා කළ දෙයක්ද එසේ නැතිනම් රැගුම් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති උ සහතිකය. (අසීමිත මහජන ප්‍රදර්ශන සහතිකය) නිසා සිදුවූවක් දැයි නොදනිමි. මන්දයත් එරංග සේනාරත්න චිත්‍රපටය ප්‍රචාරණය සඳහා යොදා ගන්නේ පවුලේ සැමට එකට රසවිදිය හැකි චිත්‍රපටයක් බවයි.
නමුත් මා චිත්‍රපට ශාලාවේ සිටියදී සමහර දර්ශන නිසා ළමුන් සමඟ පැමිණි දෙමාපියන් පත්වූ අසීරුතාවය නොකියාම බැරිය. හඳුන්වාදෙන ඉන්දීය නිලිය වූ දීපා චන්දිගේ අඩනිරුවත් උඩුකය පෙන්වන අවස්ථාවද ඇය හා සුරේෂ් ගමගේ රඟපාන නිදියහනේ දර්ශනයද පෙන්වද්දී දෙමාපියන් ළමුන්ගේ ඇස් වසනු මා දුටිමි.
එසේම එදෙස නොබලා වෙනත් දෙයක් කෙරේ අවධානය යොමු කරවීමට බොරු කතා ගොතන බවද මට ඇසුනි. මෙයින් පෙනී යන්නේ පවුල් සංස්ථාවට මෙය උචිත නොවන බවයි. එසේ නම් අනිවාර්යයෙන්ම මෙය වැඩිහිටි ලේබලය සහිත චිත්‍රපටයක් වියයුතුව තිබුණි. එසේ නම් මෙවැනි අපහසුතාවයන්ට දෙමාපියන් පත් වීමට තිබූ අවස්ථාව මගහැරී යනු ඇත. මෙයට වගකිවයුත්තේ රැගුම් පාලක මණ්ඩලය දෝ කියා මට සිතේ.
අධ්‍යක්ෂකවරයා තම චිත්‍රපටය කුමන ප්‍රේක්ෂකයින් අරමුණු කොටගෙන නිපදවූවා දැයි මා නොදනී. නමුත් අධ්‍යක්ෂකවරයාට වගේම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයටත් මේ චිත්‍රපටය වඩාත් සුදුසු වන්නේ කුමන ප්‍රේක්ෂක පරාසයක් තුළද යන්නට විචිකිච්ඡාවක් ඇති වී තිබූ බව පෙනේ. මේ නිසා අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වූ පරිදි මහජනයා අතරට ඔහුගේ ෆැන්ටසි සිනමාව ගියාදැයි මට කුතුහලයකි. මන්ද යත් පවුල් සංස්ථාව මෙය පිළිගනියිද ? එමෙන්ම වැඩිහිටි ලේබලයට ආවඩන ප්‍රේක්ෂකයින් මෙය ප්‍රතික්ෂේප කරයිද ? මෙය සිතා බැලිය යුතු වැදගත් කරුණකි.
කාම රැල්ලේ වැඩිහිටි, චිත්‍රපට වලින් තම සිනමා අත්පොත තැබූ සිනමා නළු සුරේෂ් ගමගේට මෙය කදිම අභියෝගයකි. මා දුටු ඔහුගේ හොඳම රඟපෑම මෙය වන අතර එරංග සේනාරත්න සිනමාවට තවත් අළුත් ප්‍රේමවන්තයකු හඳුන්වා දෙයි. සුරේෂ් ගමගේ ඔහුගේ භූමිකාවට ඉතාම හොද සාධාරණයක් ඉෂ්ඨ කරයි. වර්තමානයේ සැබෑ යෞවනය, සුරේෂ් ගමගේ ගෙන් මනාව ඉස්මතු වෙයි. සීමිත චිත්‍රපට ප්‍රේමවන්තයින්ට අභියෝගය ක් ලෙස සුරේෂ් තම කාර්ය කරනුයේ තමාද ඔවුනොවුන් හා සම තත්ත්වයේ සලකා සිතීමට අපව පොළඹවමින්ය. එසේම ඔහුගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයද විශිෂ්ටය රැ¼ගුම්මෙන්ද ගායන යෙන්ද ඉදිරි අනාගතයේදී මීටත් වඩා යමක් කලහැකි බව ඔබට පෙන්වා දිය හැකි නම් එරංග සේනාරත්නගේ අත්හදා බැලීම අති සාර්ථක වීම නොඅනුමානය.
ශ්‍රී ලාංකේය සිනමාවට තවත් ඉන්දීය ආභාෂය ලත් නිලියක් පැමිණ සිටියි. දීපා චන්දි වූ ඇය ඉතා සුරූපි හා දක්ෂ ලෙස තම කාර්ය නිමකර ඇත. මංජරිගේ චරිතයට ඇයට හැකි උපරිමයෙන් සාධාරණය ඉටුකිරීමට ඇය පොහොසත්ය. රොනෙත් සමඟ පාසල් යන දර්ශනය හා නිවසේදී රොනෙත් සමග සෙල්ලමෙන් ගත කරන රූප රාමුද විවිධ ගීතමය ජවනිකාද ඊට නිදසුන්ය. ඈ කිසි පැකිලීමකින් තොරව ස්වකැමැත්තෙන්ම නිර්මාණ කාර්යයේ යෙදී සිටි බව පැහැදිලිව දැකගත හැකිය.
එසේම සාලිය චරිතයට ජීවය දෙමින් චිත්‍රපටයේ නිෂ්පාදක වූ සුසාන් ටී. ප්‍රනාන්දුට වචනයක් නොකියාම බැරිය. සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටය ඔහුගේ හත්වන චිත්‍රපට නිෂ්පාදනය බවත් පෙර නිපද වූ සියලුම චිත්‍රපට මූල්‍යමය වශයෙන් අසාර්ථක වූ බවත්ය. අත්තෙන්ම එය කනගාටුවට කරුණකි. ස්විට් ඒන්ජල් චිත්‍රපටය අති සාර්ථක වේවායි මම පතමි. ඒ ඔබ නිෂ්පාදකවරයකු වශයෙන් රැකුනොත් ඉදිරි සිනමා කර්මාන්තයටද සෙතක් වන බැවිනි. නිෂ්පාදකවරයකු වශයෙන් ඔබ නිෂ්පාදකවරයකු ලෙස බැබලෙනු විනා නළුවකු ලෙස බැබලීමට අපේක්ෂා නොකරන්නේ නම් ඔබට සාර්ථක නිෂ්පාදකවරයකු වීමට ඇති අවස්ථාව වැඩිය. සාලිය චරිතයට ඔබගේ රගපෑම හොඳය. නමුත් වෙනත් දක්ෂ නළුවකුගේ රඟපෑම ඔබ ලබාගත්තේ නම් හොදා.....ය.
සුරයහන ගිනිගනී නම් වූ සමලිංගික චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි එරංග සේනාරත්න ගිනිගත් මධුසමය හා රෝස පැටික්කි නම් වැඩිහිටි චිත්‍රපටද ඊට හාත්පසින් වෙනස් වූ ඉතාම සෞන්දර්යාත්මකව ‘සිනාසුනා ආදරෙන්’ නම් වූ මා ඔහුගේ අධ්‍යක්ෂනයන්ගෙන් කැමතිම චිත්‍රපටය නිපදවමින්ද ෆැන්ටසියක් වූ ස්වීට් ඒන්ජල් නිර්මාණය කරමින්ද ඔහුගේ නිර්මාණකාර්යයේ පුළුල් පරාසයන් අපට දැකගැනීමට සලසන ලදී. මම ඔබට අභියෝග කරමි. පුළුවන් නම් ළමා චිත්‍රපටයක් ද නිර්මාන ය කර පෙන්වන්න. ඇත්තෙන්ම එය අභියෝගයක් නොව යෝජනාවකි. ඔබ ගේ විවිධ වූ වැඩිහිටි රැඩිකල් චින්තනය පසෙක ලා ළමුන් උදෙසා හරවත් ළමා නිර්මානයක් කරනු දැකීමට කැමැත්තෙමි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money