විජය – කුවේණි දර්ශන තලයේ සිට දුලානි කුවේණි වෙයි
මම විජය රජු හමුවීමට තීරණය කළෙමි. තනිවම නොවේ.විජය රජු ලංකාවට පා තැබූ වහාම මුණ ගැසුණේ කාන්තාවකි. මේ චාරිකවේදී මට ද කුලුඳුලේ මුණ ගැසුණේ කාන්තාවකි. පුදුමය වනුයේ විජය රජතුමාට පළමුව හමු වූ කත සහ මට හමු වූ ඇය දෙදෙනෙකු නොව එක් අයකුම වීමයි.
ඇය කුවේණියයි.
කුවේණිය සමඟ වචනයක් දෙකක් තෙපලන්නට ආසා වූ නමුදු මසිතෙහි උපන්නේ චකිතයකි. ඇය මාව හඳුනා ගනියිද?
ඔව්, ඇය මා හඳුනා ගත්තාය.
අප කතාබහ කරන්නට හැදුවා පමණි, කවුදෝ කෙනෙකු පැමිණ ඇයව රැගෙන ගියේය. කුව්ණිය කැටුව ගිය තැනැත්තාගේ ස්වරූපය මෙන්ම හැඳ පැළඳ සිටි ආකාරය 21 වැනි සියවසට ගැළපෙන බව පසක් වෙයි.
ඒ සිතුවිලි සිත්හී දරාගෙන මම ඔවුන් දෙපොළව ලුහු බැන්දෙමි.
ඔවුන් නතර වූ තැන මහත් පිරිසකි. අතීතයේත් වර්තමානයේත් ජීවත් වූ මනුෂ්‍ය කොට්ඨාශයන්ගේ සංකලනයකි. පසෙකින් කැමරාවකි. මේ අයව මෙහෙය වන කෙනකුද සිටියි. ඔහු සුගත් සමරකෝන්ය. මේ සුගත්ගේ දෙවැනි සිනමා නිමැවුම විජය කුවේණි හී දර්ශන තලයයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ඒ සඳහා යොදා ගෙන තිබේ.
විජය රජතුමාගේ මාලිගය මේ තුළ ඉදි වී තිබේ.
කෝ විජය රජතුමා? මම ඔහුව සෙව්වෙමි. එයාගේ සීන් එක පටන් ගන්න තව ටිකක් වෙලා තියෙනවා. ඒක නිසා ජීප් එකේ නැගලා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඇති.
ස්වල්ප මොහොතකින් විජය රජු පැමිණියේය. විජය රජු ලෙස අංග රචනයට පත්ව ඇත්තේ රොජර් සෙනෙවිරත්නයි.
රොජර් අයියේ කොහෙද ගියේ?
මං පොඩ්ඩක් කඩේට ගිහිල්ලා එන්න ගියා.
මේකප් පිටින්.?
අපෝ ඔව්. මට ගාණක් නැහැ. ඒත් සමහරක් මනුස්සයො පුදුම වෙනවා රජ කෙනෙක් වාහනයකින් බැහැලා එද්දී.
ඇක්ෂන් . . . සුගත්ගේ ඒ විධානය කුවේණි සිටින දර්ශනයක් ඇරැඹීම සඳහාය.
ඇය සිය දරු දෙදෙනා රැගෙන ඉබාගාතේ ඇවිදියි.
කට් . . . කට් . . . කට් . . . සුගත් අතරමග දී එය නැවැත්වීය.
ඇයි සුගත් අයියේ, මොකද අප්සට් එක?
නෑ. එක දරුවකුගේ අතේ පුංචි මුද්දක් තියනවා. ඒක කාලානුරූපී නැහැ. මුද්ද අයින් කරමු. ඉතිහාස කතාවක් ප්‍රති නිර්මාණය කරද්දී ඒ වගේ සූක්ෂම තැන් හිතන්න ඕනෑ.
සුගත් පවසයි.
මේ අතරතුරදී මම කුවේණිය හඳුනා ගත්තෙමි. ඇය දුලානි අනුරාධා වන්නීය.
දුලානි එහෙනම් කුවේණි වුණා නේද?
මගෙන් පැනයක්.
ඇත්තටම ඉතිහාසගත අමරණීය චරිතයක් වූ කුවේණිය මට ජීවමාන කරන්න ලැබීම මහත් භාග්‍යක්.
මේ චිත්‍රපටයෙන් පස්සේ දුලානිගේ නම වෙනස් කරන්නලු ඉන්නේ?
ඒ කවදත් විහිලුවට බර රොජර්.
මොකක් කියලද?
කුවේණි අනුරාධා කියලා.
කාටවත් හානියක් නොවූ ඒ බස සියල්ලන්ගේම මුහුණෙහි සිනහවක් සනිටුහන් කළෝය.
සරත් දික්කුඹුර මෙතැනට පා ඔසවනු පෙනින. විජය කුවේණී හි රූප ගත කිරීමක් වැරැදී සරත් ඇතුළු තවත් කිහිප දෙනෙකුª තුවාල ලැබූ බව පසුගිය කාලේ පැතිර ගිය ආරංචියකි.
කතාව නම් ඇත්ත. මට නම් බරපතල හානියක් වුණේ නැහැ. ඒත් අනිත් දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබනවා. ඒ දෙන්නා ගහපු කරනමක් වැරැදුනා.
ඇයි මාවත් ගල් තලාවකින් වැටුණනේ. පෙරලිලා පෙරලිලා පහළට ආවා මිසක් වාසනාවට කිසිදු අනතුරක් වුණේ නැහැ.
රොජර් ද හඬ අවදි කළේය.
අන්න උපතිස්ස බ්‍රාහ්මණයයි, පුරෝහිතතුමයි මේ පැත්තට එනවා. ඒ චරිතයන් රඟන්නේ ක්ලීටස් මෙන්ඩිස් සහ බුද්ධදාස විතානාච්චියි. දෙදෙනාම බැලූ බැල්මට කෙසේවත් හඳුනා ගත නොහැකිය.
විජය රජු ඇතුළු රාජ සභාවේ දර්ශනයක් සඳහා වට පිටාව සකස් කෙරෙමින් පවතියි.
මං අවුරුදු ගණනක් පර්යේෂණයන් රැසක් කරලා ලියපු පිටපතක් මේක. මේ හරහා ඉතිහාසය නොදන්නා පිරිස බොහෝ දේ ඉගෙන ගනීවි. ‘විජය කුවේණි’ කියන්නේ මහාවංශය නොකියූ අපේ වංශයේ කතාවටයි.
සමු ගන්නට මත්තෙන් සුගත් සමරකෝන් පැවසූ වදන් පෙළ එසේ වන්නේය.
විජය කුවේණී සෙසු නළු නිළි පිරවර:
විල්සන් කරුණාරත්න, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායත, අනුර ධර්මසිරිවර්ධන, කපිල සිගේරා, වසන්ත කුමාරසිරි, රින්ස්ලි වීරරත්න, නිහාල් ද සිල්වා, අජිත් කුමාර, සරෝෂනී ඉබ්‍රහම්, රෝහිත බී. පෙරේරා, සංජය සමරකෝන්, රුපුන් රණධීර, පවිත්‍රා වික්‍රමසිංහ, අමන්දි ප්‍රිය සංජනා (ළමා) සුමිත් මුදන්නායක, ගාමිණී ජයලත්, සුදත් විජේසේකර, නෝමන් පළිහවඩන, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න.
නිෂ්පාදන කණ්ඩායම:
නිෂ්පාදනය – රුපන්් ෆිල්ම්ස් වෙනුවෙන් ගයාන් රණධීර.
කැමරාව - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි.
අංග රචනය – වසන්ත විට්ටච්චි.
සංගීතය – නදීක ගුරුගේ.
කළා අධ්‍යක්ෂණය – ධම්මික ප්‍රියන්ත.
සහය අධ්‍යක්ෂණය - විජයසිරි මල්ලිකාරච්චි, සුනෙත් රසාංග.
ඇඳුම් නිර්මාණය - ප්‍රියාන් අනුර ශ්‍රී.
විශේෂ ප්‍රයෝග සහ සජීවීකරණය - වික්‍රම දීගල්ල.
ගීත රචනය - සුගත් සමරකෝන්.
නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ.
ගායනා - අමරසිරි පීරිස්, දිමිත්‍රා රත්නායක.
සටන් අධ්‍යක්ෂණය – අජන්ත මහන්තආරච්චි .
0 comments:
Post a Comment