Monday, September 12, 2011

සමහරු මට ලණු දෙනවා

සමහරු මට ලණු දෙනවා


දින ගණනාවක පටන් ඇද වැටුණු වැස්ස නිමා වී ඇතුගල් පුරවරයට අලුත් ඉරක් පෑව්වා. ඇතුගල අස්සෙන් මතු වුණු හිරුගේ කිරණ එහි සිට සැතපුම් 8 ක් පමණ දුරින් පිහිටලා තිබෙන කෙළිමුණේ ගමට අමුතු සිරියක් ගෙනාවා.
අමුඩයක් ගසාගෙන, උදැල්ලක් කරට ගත් ගොවිරාළ කෙනෙක් කුඹුරට යනවා.
නැවුම් දවසක්.
නැවුම් බලාපොරොත්තු රැසක් පොඳි බැඳ ගත් මිනිස්සුන්ගේ මුහුණු අතර අපූරු මුහුණක් පොල් අතු සෙවිළි කළ වරිච්චි බිත්ති ගැසූ පැල් කොටයෙන් මතු වුණා.
‘ආං . . . බලන්නකෝ අංකුටු නිළමේ’
ගැමියෝ කිහිප දෙනෙක් කෑ ගැසුවා.
‘ආ . . . සිරිදාස අයියේ . . .’
අංකුටු නිළමේගේ හඬ ඇසුණු සැනින් අප ඒ දෙසට ගමන් කළා.
‘අංකුටු නිළමේ’
අඩි තුනයි අඟල් අටක් පමණ උස මේ සොඳුරු මිනිසාට පට බැඳුණු අපූරු නමයි.
ඉතිං කොහොමද?
‘මේ දවස්වල ‘ඇත්කඳ හිණියා’ ටෙලි නාට්‍යය නිසා මට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නෑ. ඒ විතරක් නෙවෙයි වැරැදිලාවත් මට පාරේ බැහැලා ඇවිදින්න බෑ. බාල, මහලු කියලා වෙනසක් නැතිව හැමෝම මාව වට කර ගන්නවා. ඒ විතරක් නම් මොකද, මාව උස්සගෙනත් යනවා.’
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ ඉරිදා, සෙනසුරාදා දිනවල රාත්‍රී 9.00 ට විකාශය වන සරත් ධර්මසිරිගේ ‘ඇත්කඳ ලිහිණියා’ ටෙලි නාට්‍යය නරඹන ඔබට අංකුටු නිළමේ කියන චරිතයට පණ පොවන අපූරු මිනිසා අරුමයක් නොවෙයි. ඒ අංකුටු නිළමේ සොයා ගෙන අප පසුගිය දිනක ඔහුගේ ගං මණ්ඩියට ගියා.
‘සුන්දර දිසානායක’
කවුද මේ සුන්දර?
‘මගේ සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ සුන්දර බණ්ඩාර. මම ඒක කෙටියෙන් සුන්දර දිසානායක කියලා නිර්මාණවලට පාවිච්චි කළා. ගමේ කවුරුවත් මේ නමින් මාව දන්නෙ නෑ. එහෙම වුණත් අංකුටු නිළමේ කියන නම නම් බොහොම ජනප්‍රියයි. ගමේ අය දැන් මට ඒ නමින් කතා කළත් ඉස්සෙල්ලා කතා කළේ පොඩි මාමා, පොඩි ආතා වගේ නම්වලින්.’
මේ සුන්දර හරිම දක්ෂයා. ඒ දක්ෂකම් ඔහු රැගෙන ආවේ උපතින්මයි. මුලින්ම පාසල් ගියේ ගමේම තිබුණ ඉස්කෝලෙට. ඊට පස්සේ වාරියපොළ, මහ කෙළිය මහා විද්‍යාලයට.
ඊට පස්සේ?
‘ඕලෙවල් දක්වා මං ඉගෙන ගත්තා. ඉස්කෝලේ යන කාලෙත් මං රඟපාන්න, සිංදු කියන්න හරිම දක්ෂයා. ඉස්කෝලේ තියෙන උත්සවවලදී නාට්‍යය රඟපාලා පෙන්වනවා. මේ නාට්‍යවල අධ්‍යක්ෂවරයා වෙන්නෙත් මමයි. කවදාවත්ම පිටපතක් ලියන්නේ නෑ. පිටපත තියෙන්නේ හිතෙයි. ඒ හිතේ තියෙන පිටපතට මං නළු නිළියෝ හසුරුවනවා. ඒ විදියට පෙන්වන නාට්‍යවලට ගුරුවරුන්ගෙන් මට ලැබෙන ප්‍රශංසාවලින් නිමක් නැහැ. බොහොම ඉස්සර අපේ ගමේ තිබෙන සල්පිල්වල නාට්‍ය රඟ දක්වනවා. ඒ සල්පිල්වල තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න දෙබස් මිශ්‍රිත ගීත නාට්‍ය පෙන්වන්නත් අමතක කරන්නේ නැහැ. මේ නාට්‍ය කණ්ඩායම්වලට ඒ කාලේ කිව්වේ ජහුටා කියලයි. මේ ගැන සරච්චන්ද්‍ර මහත්තයා පර්යේෂණයක් පවා කරලා තිබෙනවා. මේ නාට්‍යවල මමත් රඟපෑවා. ඒ හුරුව මට තිබුණා.’
මෙහෙම ඉන්න අතරතුර ඔහුට අපූරු වාසනාවක් පෑදුණා.
මොකක්ද ඒ?
‘ආර්. එම්. දිසානායක කියන මහත්තයගේ සර්කස් කණ්ඩයමේ විකටයෙක් වෙන්නයි. ඒ අතරතුර පෑදුණු අනිත් වාසනාව තමයි මේ අංකුටු නිළමේ. මම දවසක් උවමනාවකට ටවුමට යන්න පාරට ගියා.
මෙන්න කවුදෝ කෙනෙක් වාහනයක් නතර කරලා ටෙලි නාට්‍යයක රඟපාන්න කැමැතිද කියලා මාත් එක්ක කතා කළා. ඒ විදියටයි සරත් ධර්මසිරි කියන දක්ෂ අධ්‍යක්ෂවරයා මට මුණ ගැසුණේ. ඔහුගේ ඊළඟ ටෙලි නාට්‍යයත් මේ දවස්වල රූපගත කරනවා. ඒ ටෙලි නාට්‍යයේ මං රඟපාන්නේ තේ කඩයක තේ හදන මිනිහා විදියටයි. ඒකත් මට අලුත් අත්දැකීමක්.’
සුන්දර කොයි තරම් දක්ෂ ද කිව්වොත් සුන්දර රඟපාන්න පිටපත බලන්නෙ එක පාරයි. එතන වෙන්න ඕන මේ වගේ දෙයක් කියලා අධ්‍යක්ෂවරයා දැනුවත් කරන එක විතරයි.
ඒක ඇත්තද?
‘මට පටන් ගන්න තැන කියලා අවසාන තැන ගැන ඉඟියක් දෙන්න ඕන. ඒ අතර කාලයේ අධ්‍යක්ෂවරයාට ඕන විදියට මම චරිතයට ගැළපෙන්න දෙබස් කියලා රඟපානවා. පිටපත බලන්නේ එක පාරයි. මම හිතන්නේ පළමුවෙනි වටයෙන්ම අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් වෙන්න තරම් රඟපාන්න මට පුළුවන්. මම හිතන්නේ දෙපාරක් රඟපෑ අවස්ථා මගේ ජීවිතයේ නැති තරම්.’
පනස් එක් වන වියේ පසුවන සුන්දර දිසානායකට ඉන්නේ අක්ක කෙනෙක්. ඒ වගේම අම්ම තවමත් ඉන්නේ සුන්දරගේ ගෙපැලේ.
‘මාව ලංකාවටම හඳුන්වලා දුන්න සරත් ධර්මසිරි මහත්තයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔහු තමයි මට අලුත් පණක් දුන්නේ. රූපගත කිරීම්වලට සහභාගි වුණු හැමෝම මට සහාය වුණා.
ඒ හැමෝටම ස්තුතියි. ඒ වගේම අකැමැත්තෙන් වුණත් තවත් දෙයක් කියන්න ඕන. සමහර අය මට ලණු දෙනවා. සමහරු ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ නම කියලා කතා කරනවා. අතනට එන්න කියනවා. එත් ගිහින් බලන කොට එහෙම කෙනෙක් එතැන නැහැ.
මේ වගේ වැඩ කරන මිනිස්සු නිසා දැන් මාව සම්බන්ධ කර ගන්න කැමැති කෙනෙක් මගේ ගෙදරටම පැමිණිය යුතුයි.’ සුන්දර හදවතක් හිමි සුන්දර දිසානායක සමුගන්නට මත්තෙන් අපට කිව්වා. ඒ හදවත රැඳුණු පුංචි දුකක් තුරුළු කරගෙන.
‘මමත් ඉතිං දැන් යන්න ඕන.’
ඒ කොහේද?
‘වෙන කෙහෙද ඉතිං කුඹුරට මිසක්’
සුන්දර කඩිමුඩියේ පිටත් වුණේ අප එන්නට පෙර කතා කළ ගැමියන් අතරට පිවිසෙන්නටයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money