මහනුවර රූකඩ කලාව රැකගැනීමේ ප්‍රයත්නයක්
පෙට්ටගමෙන් මතු වූ රූකඩ පණ ලබයි
මින් ‘රූකඩ’ කලාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.
මෙරට නාඩගම් කලාවට සියවස් තුනක පමණ ඉතිහාසයක් තිබුණත්, රූකඩ කලාවට සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “සිංහල ගැමි නාටකය” නම් කෘතිය මගින් පෙන්වා දෙයි.
1950 දශකයේ දී මෙම කෘතිය සම්පාදනය කරන අවධියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූකඩ සංදර්ශන කණ්ඩායම් පහක් සිටි බවත්, ඊට බොහෝ කලකට පෙර මහනුවර ප්‍රදේශයේ ඉතා දියුණු රූකඩ කලාවක් තිබූ බවත් මහාචාර්යවරයා සඳහන් කරයි. එහෙත් සියවස් ගණනාවක් ලාංකීය ජනතාව ජීවිතාවබෝධය ලබමින් රසවිඳි රූකඩ කලාව මේ වනවිට සමාජය තුළින් ක්‍රමයෙන් ඈත්වන බවක් දක්නට ඇත.
වර්තමානයේ නව නිර්මාණ ලෙසින් කරළියට ආ ගැමි නාට්‍ය විශේෂ අතර රූකඩ නාට්‍ය මාලාව ද ශ්‍රී ලංකාවේ දකුණු පළාතට ආවේණික වූ සුවිශේෂී නාට්‍ය විශේෂයකි.
මිනිස් චරිත ගැබ් වූ මිනිස් සළු පිළි හැඳගත් මිනිස් ස්වරූප ගත් රූකඩ කිහිපයකි.
මේ රූකඩ හසුරුවනු ලබන්නේ තිරයකින් පිටුපස සිටින ශිල්පීන් විසින් රූකඩවල අඟ පසඟවලට සම්බන්ධ කරන ලද ‘නූල්’ ක්‍රියාත්මක කිරීම තුළිනි. රූකඩ නූල් මගින් ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරිපත් කෙරෙන මෙම රංගන ශෛලිය කලාවක් පමණක් නොව එක්තරා තාක්ෂණික ශිල්ප ක්‍රමයක් ලෙස ද සැලකිය හැක.
එමෙන් ම මෙහිදී මිනිස් රූප ලෙසින් රූකඩ නිර්මාණය කිරීම, වෙස් ගැන්වීම හා නූල් කැබලි මගින් හැසරවීම ද විශේෂිත වූ කලා ක්‍රමයකි.
මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ ඉපැරැණි රූකඩ කලාව අභාවයට යමින් පවතින යුගයක, මහනුවර ප්‍රදේශයේ වසර සියයකට පමණ ඉහතදී තිබුණේ යැයි කියන රූකඩ කලාවට නැවත නව පණක් ලබාදී අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ හරන්කහව අඹරුප්ප ග්‍රාම නිලධාරි බී.පී.ජී. ජයසිංහ මහතා විසින් ‘දේශානි’ කලායතනය නමින් කලායතනයක් ආරම්භ කොට පවත්වාගෙන යයි.
හාරිස්පත්තුවේ අඹරුප්ප ග්‍රාමයේ පදිංචිව සිට නැසී ගිය බී.ජී. සිංහපේලි වෙදදුරු මහතා මීට වසර 100 කට පමණ පෙර සිය වෙද පරපුරේ තරුණ තරුණියන් රැසක් ඒකරාශි කරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ, කැප්පෙටිපොල නිලමේ, සිරි සඟබෝ, වීරපුරන් අප්පු යන චරිත ආශ්‍රිත රූකඩ නිමවා ප්‍රදේශයේ පන්සල්වල රූකඩ සංදර්ශන පවත්වා ඇති බවට ජනප්‍රවාද පවතී.
ඔහු එම දිරාපත් වී ගිය රූකඩ පිළිසකර කර ඇඳුම් මෙවලම් සකස් කර රූකඩ කලා ශිල්පීන් රැසක් ද පුහුණු කරමින් තම කලායතනය පවත්වාගෙන යයි.
කවදත් බෞද්ධකම, සිංහලකම, සංස්කෘතික වටිනාකම් ඇති දේවල් මෙන් ම පැරැණි කලා රසාංග ද අගය කරන ජයසිංහ මහතා අභාවයට යන කලාවන් වෙනුවෙන් යමක් කරන්නට කාලය එළඹ ඇතැයි සිතා දැනට වසර තුනක පමණ කාලයක සිට ඒ සඳහා අවශ්‍ය මූලික උපාංග සම්පාදනය කරගත් බව පවසයි.
උඩරටින් අභාවයට ගිය මෙම අගනා කලා මාධ්‍යය යළි ජනප්‍රිය කරවීමටත්, එය සංරක්ෂණය කොට අනාගත පරපුරට දායාද කරවීමටත් ‘දේශානි’ කලායතනය දරන ප්‍රයත්නය සැමගේ ප්‍රශංසාවට ලක් විය යුතු ය.
මහානාම ගලහිටියාව
Copy Rights - Silumina
0 comments:
Post a Comment