Monday, September 12, 2011

බෙගාස්‌ටාර්ස්‌ලා!

බොක්‌කට කතා කරලා
බොක්‌කම සුද්ද කරන බෙගාස්‌ටාර්ස්‌ලා!

බස්‌ රථයකට ගොඩවී ගීතයක්‌ කියා එසේත් නැත්නම් විරුදුවක්‌ කියා මගීන්ගෙන් කීයක්‌ හෝ ඉල්ලා ගන්නා පුද්ගලයන් බස්‌ රථවල, දුම්රියවල ගමන් කරන මගීන්ට එතරම් අරුමයක්‌ නොවේ. එසේ විවිධ ලෙඩ රෝග ගැන පවසමින් මුදල් ආධාර ඉල්ලා ගන්නා පුද්ගලයන් පිළිබඳව දුම්රිය බස්‌රථ මගීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. මෙලෙස හිඟමන් යදින බොහෝ දෙනා තරුණ විය ඉක්‌මවමින් සිටින්නෝ හෝ මැදිවියේ සිටින්නෝය. එනිසා බොහෝ දෙනා මොවුනට තමන්ට හැකි අයුරින් මුදල් ආධාර කරන්නේ අනුකම්පා සිතිනි. ඇතැම් විට මෙම පුද්ගලයන් පවසන්නේ අමූලික බොරුය. නමුත් ඔවුන් ගැන අනුකම්පාවෙන් කීයක්‌ හරි දෙන්නේ තමුන් මොවුනට වඩා කොතරම් වාසනාවන්ත ද යන සිතුවිල්ලෙනි.

කුඩා දරුවන් වඩාගෙන සිඟමන් යදින ඇතැම් කාන්තාවන්ගේ ඇස්‌වලින් කබ ගලන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති නිසාය.

වෛද්‍ය වාර්තා පෙන්වමින් රෝගීන් ලෙස සිඟාකන පුද්ගලයන්ගේ එම වෛද්‍ය වාර්තා සොයා බැලුවහොත් එවැනි වෛද්‍යවරු නොමැත. නැතිනම් ඒවා වෙනත් අයකුගේ වෛද්‍ය වාර්තාවන්ය.

මේ අතර අවංකවම සිඟමන් යදින පුද්ගලයෝද සිටිති. ඒ ඉතා සුළු පිරිසකි. ඔව්හු පෙර දැක්‌වූ ගණයට අයත් නොවෙති. මන්ද යත් ඔවුන්ට කොළඹ නගරයේ බස්‌රථවල හෝ දුම්රිය තුළ සිඟමන් යදින්නට අවසර නැති හෙයිනි. කොළඹ නරගයේ සිඟමන් යදින්නට අවසරය ඇත්තේ සිඟමන ව්‍යාපාරයක්‌ බවට පත්කර ගෙන ඇති පාතාල නායකයන්ගේ ගෝල බාලයන්ට පමණක්‌ බව ද කියති.

පොදු මගී ප්‍රවාහන රථවල සිඟමන් යදින පුද්ගලයන් ගැන අප අවධානය යොමු වූයේද විශේෂ හේතුවක්‌ නිසාය. ඒ මේ දිනවල බස්‌වල, දුම්රියවල නෙත ගැටෙන අමුතුම තාලේ යාචකයන් පිරිසක්‌ නිසාය. බැලූ බැල්මට අන් අයට පේන අඩුවක්‌, ආබාධයක්‌ නැත. වැරහැලි හෝ අපිළිවෙලට හැඳගත් ඇඳුම් ද නොවේ. මේ සමහරු සුපිරි තරු ගණයට අයත් වෙතැයි සිතෙන ආකර්ෂණීය පෙනුමෙන් යුතු අයයි. මනාව පීරන ලද හිසකෙස්‌වල ක්‍රීම් හා ජෙල් තිබේ. මදින ලද ඇඳුම හරි පිළිවෙළකට තිබේ. සිංහල මෙන්ම සමහරුන්ට ඉංග්‍රීස sද හුරුය. කොටින්ම මේ සමහර දෙනා "රියෑලිටි ෂෝ" එකකට යන අයෙක්‌ දැයි සිතෙන තරමට "මොඩ්" වී සිටිති. මගී ජනයා අබියස ඉතා ආචාරශීලීව තමන් මුහුණ දී සිටින ගැටලුව හෝ දුක ඔවුහු විස්‌තර කරති. සමහරුන් අත රෝහල්වලින් දුන් වගකිවයුතු ලියුම්ය. සැත්කම් සඳහා වැයවන ගණන් හිලව් පිළිබඳ ලේඛනය. ඒවා ඕනෑම මගියෙකුට පරීක්‍ෂා කළ හැකි සත්‍ය ඒවා බව ද හැඟේ.

පසුගිය දිනෙක බොරැල්ල ළමා රෝහල අසලින් බස්‌ රථයකට ගොඩවූ මෙවැනි එක්‌ තරුණයෙක්‌, අපූරු කථාවක්‌ මගීන්ට ප්‍රකාශ කළේය. මේ එහි හරයයි.

"සමාවෙන්න මගෙන් ඔය නෝනාවරු මහත්වරුන්ට කරදරයක්‌ වෙනවා නම්. මං සිඟන්නෙක්‌ නොවෙයි. මගේ ගම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැකිරාව ප්‍රදේශයේ. අපට කුඹුරු තිබෙනවා. වතුපිටි තිබෙනවා. මගේ අම්මා විශ්‍රාමික විදුහල්පතිවරියක්‌. තාත්තා ගොවිතැන් කටයුතු කිරීම සහ ව්‍යාපාර කටයුතු කළා. දැන් තාත්තා මිය ගිහිල්ලා මා උසස්‌ පෙළ සමත්ව සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉන්නේ. දෙවන වසරේ. මගේ නංගි තවම උසස්‌ පෙළ හදාරනවා. මල්ලි සාමාන්‍ය පෙළ මේ වර ලිව්වා. මගේ අම්මා පිළිකා රෝගියෙක්‌. ඇගේ ගර්භාෂයේ පිළිකාව හැදුණු බව මේ විශේෂඥ වෛද්‍ය සහතිකය අරන් බලන ඔබට පෙනේවි. රු. ලක්‍ෂ දහයක්‌ යනව ඇයට ප්‍රතිකාර ලබාදීමට අපට ජනාධිපති අරමුදලින් ආධාර ලැබුණා. මෙන්න ඊට අදාළ ලිපිය. (එසේ පවසමින් තරුණයා ජනාධිපති අරමුදලේ ලිපියක්‌ මගීන්ට පෙන්වීය) මට ඕනේ මගේ අම්මාගේ පිළිකාව හොඳ කරගන්න. අම්මා කෙනෙක්‌ වෙනුවෙන් පුතෙකුට මොනවද කරන්න බැරි. මෙහි අම්මලා ඉන්නවා. තාත්තලා ඉන්නවා. දරුවො ඉන්නවා මගේ වයසේ තරුණ තරුණියන් ඉන්නවා. අප හැම දෙනාම මවකගේ දරුවො. අම්මා ලෝකයේ මිහිරිම වදන. මං මේ ඔබට ආයාචනා කරන්නේ ලොව නිවාලන ඒ මාතෘත්වය වෙනුවෙන් අම්මා වෙනුවෙන්.

ඔහුගේ ඉදිරිපත් කිරීම මගේ ද හද සසල කළේය. මගීහුද කම්පා වූහ. ගතවූයේ මොහොතකි. කවුරුත් මුදල් පසුම්බි අතට ගත්හ. ඇතැම් අයගේ දෑස්‌වල කඳුලුය. රුපියල් දහයේ සිට පන්සියය දක්‌වා නෝට්‌ටු ඔහුගේ දෑතට වැටුණි.

මුදල් ලබාදුන්, නොදුන් සියලු දෙනාට පිං දුන් තරුණයා බස්‌ රථයෙන් බිමට බැස පදික වේදිකාව දිගේ මඳ දුරක්‌ ගොස්‌ නොපෙනී ගියේය.

ඔහු මුදල් ආධාර ඉල්ලීමේදී එක්‌ කළ ප්‍රකාශයක්‌ වූයේ තමා කොළඹ නගරයේ මාර්ග ගැන හරිහැටි නොදන්නා බවය. එසේ පැවැසූ තරුණයා බේස්‌ලයින් මාර්ගයේ අතුරු මාර්ගයක්‌ ඔස්‌සේ කඩිනමින් ගමන් කරන අයුරු මම දිටිමි. ඒ කොළඹ හොඳ පුරුදුකාරයකු ලෙසය. සැබැවින්ම මගීහු මුළාවූවෝද?

එදා සවස කාර්යාලයට පැමිණි මම මෙම "මොඩ් හිඟන්නා" පිළිබඳව කීවෙමි. පුදුමයකි. එදා මා ඇසූ දුක්‌ ගැනවිල්ල මගේ කාර්යාල සඟයෝද මට කීහ. කෙනෙක්‌ මට සරදම් ස්‌වරයකින් කියා සිටියේ මාද ඔහුට අසුවී ඇති බවය.

තුවාලයක්‌ පෙන්වා, දරුවකුගේ අසනීපයක්‌ පවසමින් වැරැහැලි ඇඳගෙන සිඟමන් යදින පුද්ගලයන්ට ලැබෙන්නේ රුපියල දෙක හෝ උපරිම අයුරින් රුපියල් දහයක්‌ වැනි මුදලක්‌ පමණි. එහෙත් මේ නවීන සුපිරි හිඟන්නන්ට ලැබෙන්නේ දහස්‌ ගණනින්ය. මේ අයගෙන් ප්‍රවේශම් වීමට ඔබ මතක තබා ගන්න. කරුණාව, මෛත්‍රිය, දානය, පරිත්‍යාගය හොරුන්ට දීම කුසලයක්‌ නොවේ. එය මුළාවකි.

උපාලි ද සේරම්


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money