2011 නොවැම්බර් මස 27 14:15:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
වේදිකාව තාරුණ්‍යයේ ජවයෙන් පෝෂණය කිරීමට වෙහෙසෙන තවත් චරිතයක් ලෙස ඔහු නම් කළ හැකිය. අතුල පතිරණ නැමැති ඔහු තවත් එක් නාට්‍යකරුවෙකු හෝ රංග ශිල්පියෙකු නොවන වග පැහැදිලි කර ගැනීමට දැන් ඔබට අවස්ථාවක් උදා වී තිබේ. ඒ මෙතෙක් කෙටි නාට්‍ය සමග වේදිකාවේ හරඹ පෑ අතුල තමාගේ ප‍්‍රථම දීර්ඝ වේදිකා නාට්‍ය වන ‘දොළහක්’ වේදිකාවට දායද කර ඇති නිසාය.
විශ්වජිත් ගුණසේකර, ඩබ්ලිව්. ජයසිරි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ධර්මප‍්‍රිය ඩයස්, සම්පත් ජයවීර, තුමිඳු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, පූජිත ද මෙල්, ගාමිණී විජේසිංහ, ගිහාන් ද චිකේරා, සමන් ලියනගේ, සංජය හෙට්ටිආරච්චි යන වේදිකාවේ රංගනයෙන් හරඹ පාන ශිල්පීන් දොළොස් දෙනාගේ රංගනයෙන් ඔපවත් වූ මෙම නාට්‍යය මුල්වරට වේදිකාගත වන්නේ දෙසැම්බර් 01 වෙනිදා සහ 02 වෙනිදා සවස 6.45 ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාවේදීය. මෙය ඇමරිකානු ජාතික පිටපත් රචක රෙජිනෝල්ඞ් රෝස් විසින් රචිත වඩාත් ප‍්‍රසිද්ධියට පත් ‘ටුවෙල් ඇන්ග‍්‍රි මෙන්’ (Twelve Angry Men) නැමැති කෘතියෙහි පරිවර්තනයකි. ලෝකයේ විවිධ සම්මාන උළෙල වලදී විවිධ
සම්මානයෙන් පිදුම් ලද මෙය පසු කලෙක සිනමා කෘතියක් බවට ද පෙරලූණි. ඇමරිකානු ටෙලිවිෂන් මාලා නාට්‍ය ස්වර්ණමය යුගය වෙතින් බිහි වූ විශිෂ්ට නාට්‍ය රචකයෙකු ලෙස පිළිගැනෙන රෝස්ගේ මෙම කෘතිය සිංහල වේදිකාවට පරිවර්තනය කර ඇත්තේ සමන් පුෂ්පවර්ණ විසිනි.
අතුල පතිරණ ගැන
92 දී වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වූ අතුල 98 දී පමණ නාට්‍ය නිර්මාණකරවෙකු ලෙස ‘විභව අන්තර’ කෙටි නාට්‍යය ඉදිරිපත් කළේය. එතැන් සිට කෙටි නාට්‍ය පහක් පමණ කළ හේ අවසන් වරට කළ කෙටි නාට්‍යය වන්නේ සිරිදාසගේ කතාවයි. මාතලේ උපන් අතුල, ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ඒ වතගොත සමග දොළහක් (12) නාට්‍යයේ කතා සාරාංශය දෙස බලමු.
දොළහක් (12) - කතා සාරාංශය
‘දොළොස් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක එකොළොස් දෙනෙක්ම එකඟ වූ තීන්දුවක්, සාධාරණ සැකය මත පදනම්ව විරුද්ධව ඡුන්දය පළ කළ එක් තනි සභිකයෙකුගේ පෙළඹ වීම නිසා යළි සලකා බැලීමක් කෙරෙන ආකාරය මෙම නාට්‍යය තුළින් පිළිඹිබු වෙයි. ඝාතන නඩු විභාගයක් අවසානයේ දී විනිශ්චයකාරවරයා විසින් තීන්දුවක් දී මෙම වගකීම ජූරි සභාව වෙත පවරන අවස්ථාවෙන් කතාව ආරම්භ වෙයි’
අතුල ඔබ මෙවැන්නක් කිරීමට හේතු වුණේ සහ ඇයි මෙවැනි තේමාවක් තෝරා ගත්තේ යන ප‍්‍රශ්නයට පිළිතුරු දුන්නොත්?
ඇත්තෙන්ම මේ පිටපත අතපතගාමින්, එය විමර්ශනය කරමින් අවුරුදු 5 ක් විතර කටයුතු කළා. ඒ සියල්ල අවසන කාලීනව පවතින මතවාදයට ගැලපෙන්නක් බව ඒත්තු යාම නිසා මෙය වේදිකාවට ගෙන ඒමට තීරණය කළා.
ඇයි ඔබ පරිවර්තනයකට අත ගැසුවේ?
98 සිට 2002 දක්වා කළ සියලූම කෙටි නාට්‍ය ස්වතන්ත‍්‍ර ඒවා. මෙහි දී මගේ ප‍්‍රථම වේදිකා නාට්‍යය වන මේ සඳහා පිටපත තෝරා ගත්තේ මීට තියෙන කෑදරකම, ලෝභකම නිසයි. ඒ හැරත් රෙජිනෝල්ඞ් රෝස්ගෙ කෘතියක් පාදක කරගෙන සිංහල වේදිකාවට එන ප‍්‍රථම නිර්මාණය මෙයයි. මෙහි අනුවර්තනය සමන් පුෂ්ප ලියනගේ ඉතා අපූරුවට කර තිබෙනවා.
වත්මන් ශ්‍රී ලාංකික වේදිකාවට මෙය සමීප වේවිද?
අද අප ජීවත් වන්නේ බහුතර මතවාදයක් තියෙන සමාජයක. අද අපි මුහුණ දෙන්නෙ තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට හෝ වෙනස ඇති කළ හැකිය යන ගැඹුරු සාකච්ඡාවක.
මෙම පිටපත තෝරා ගැනීමට කාරණා දෙකක් හේතු වුණා. එකක් රෙජිනෝල්ඞ් රෝස්ගේ මතවාදය. ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජීවන රටාව මෙන්ම ඊට එහා ගිය හුදු ශුද්ධ ශාස්ත‍්‍රීය කලා රසවින්දනය උපදවන භාවිතයෙන් ඔබ්බට ගිය විවේචනාත්මක කලා පරිහරණයකට මෙම කෘතිය රුකුල් දීම නිසයි. එය අද්‍යතනය විනිවිද දැකීමට පහසුවක් වන බව මගේ හැඟීමයි.
ප‍්‍රවීණ සහ වේදිකාවේ ප‍්‍රකට රංග ශිල්පීන් සෑහෙන පිරිසක් මීට දායක වෙනවා. මෙලෙසින් රංගන ශිල්පීන් වේදිකා නිර්මාණයකට දායක කරවාගැනීම අසීරු බව සමහරු කියනවා. ඔබ ඒ අසීරුතාවට මුහුණ පෑවේ නැද්ද?
එහෙම වෙන්නෙ අපි තෝරා ගන්නේ කවුද යන ප‍්‍රශ්නය එක්කයි. නමුත් අද වේදිකාවේ තියෙන ප‍්‍රශ්නය එය නෙවෙයි. පේ‍්‍රක්‍ෂකාගාරය එක්රැස් කිරීමට තියෙන අසීරුතාවයි. එසේම පුහුණුවීම් සඳහා ඇති පහසුකම් අවම වීමයි. ලංකාවේ තවම නාට්‍ය බිහිවෙන්නෙ ආර්ථික පසුබිම් මත නෙවෙයි. බොහෝ විට නාට්‍යකරුවන් තමුන්ගේ පෞද්ගලික ගිණුම් හිස්කර ගනිමින් පවා මේ කටයුත්ත කරනවා. නමුත් ඒ ක‍්‍රියාදාමය ඇතුළෙදි අපි වෙහෙස වෙන්න ඕන ඊට වඩා පොහොසත්කමක් නාට්‍ය වේදිකාවට ලබා දීමටයි. ඊට වඩා එහා ගිය සංකල්පයක් ලබාදීමටයි.
මේ නළු නිළි කණ්ඩායම හසුරුවා ගන්න ඔබට අපහසු වුණේ නැද්ද?
මේ සඳහා රංගන ශිල්පීන් තෝරා ගැනීම සිදු කළේ අපේ‍්‍රල් මාසයටත් පෙර සිටයි. සමහර විට එම චරිත සඳහා නම් කළ අය වෙනස් කරමින්, ඒ ගැන හිතමින් කාලය ගත කළා. ටික දුරක් එද්දී සමහර චරිත වෙනස් වුණා. (සටහන් කරගත් පරිදි) නමුත් මෙතැනදී මා දකින වැදගත්ම දේ මේ පෙර පුහුණුවීම් කාලය ඉවසා දරා සිටීමයි. එය මගේ හිතවත්කම් හැරුණු කල පෙළ මත ඇති විශ්වාසය බව මා තරයේම විශ්වාස කරන දෙයක්.
වේදිකාවේ බොහෝ ශිල්පීන් රඟපාන්නේ මුදල් බලාගෙනම නෙවෙයි නේද?
එය බොහෝ විට නිවැරදියි. වේදිකාව මුදල මූලික කරගත් තැනක් නෙවෙයි. නමුත් පුහුණුවීම් කරන කාලයේ හැරුණු කල රංගන ශිල්පීන්ට හොඳ ගෙවීමක් කළ යුතුය යන මතයේ තමයි මම සිටින්නේ. අපි හිතමු නාට්‍ය කණ්ඩායම ත‍්‍රිකුණාමලය වැනි ඈත දුරකට ගියා කියල. එවිට අපට වැයවන වියදම ලබන දේට වඩා වැඩි විය හැකියි. ඒ වෙනසටත් අපට මුහුණ දෙන්න වෙනවා.
දොළහක් - 12 නාට්‍යයේ රඟපාන්නෙ පිරිමි චරිත විතරයි. එහෙම නේද?
රඟපාන්නෙ පිරිමි රංගන ශිල්පීන් විතරයි. තනි මතවාදයේ හැඩය ගැනීමට මේ අංශ දෙකෙන් එකක් යොදාගෙන කිරීම වැදගත් යයි මම හිතනවා. එවිට මූලික අරුත දැනවිය හැකි බව මගේ හැඟීමයි.
අතුලගේ ඒ අදහස්වලට අනුව ශ්‍රී ලාංකීය වේදිකාව හැඩ කරන මේ දොළහක් - 12 නාට්‍යයේ මතය කුමක් වේ ද? දෙසැම්බර් 01 සහ 02 සවස 6.45 ට ලයනල් වෙන්ට්ඞ් ශාලාවට පැමිණෙන ඔබට එය වටහාගත හැකි වේවි.
0 comments:
Post a Comment