Thursday, December 1, 2011

ලෙඩ සනත්ගේ රූපය ආරෝග්‍යා කවරයට

සුනිල් ටී. ගේ 53 වැනි චිත්‍රපටයේ මුහුරත් උළෙල දා සනත් ගුණතිලකගේ හෙළිදරව්වක්


සැ න්දෑව තවමත් තරුණය. වැහිබර ලකුණු දැන් පහව ගොසිනි. සැන්දෑව අතින් ගත් සහෘදයෝ එකිනෙකා රාජගිරියේ සවරින් හෝටලය වෙත ගොඩ වූයේ සුනිල් ටී. ප්‍රනාන්දු නම් සහෘද හිතැත්තාගේ ආරාධනයෙනි.
* සනත්, රන්ජන් සතුටු සිනා මැද

නිමිත්ත සුනිල් ගේ පනස් තුන් වැනි චිත්‍රපටයේ සමාරම්භක උත්සවයයි. ජීවිතේ ලස්සනයි ලෙස නම් කොට තිබෙන මේ චිත්‍රපටය ඇරැඹීම පිළිබඳ ආරංචිය ලද මොහොතේ සිට සවරින් හෝටලය හිස් ගොඩක් දක්වා පිරෙන මොහොත තෙක් සුනිල් ද බලා උන්නේ නොඉවසිල්ලෙනි.
හැන්දෑවට අරඅඳීන අහස් වියල යට සියලු දෙනා එක් වී බලා උන්නේ මේ සුබ කටයුත්ත ඇරැඹෙන තෙක්ය. ජීවන් කුමාරතුංග අමාත්‍යතුමාගේ පැමිණීම සුබ කටයුත්ත ඇරැඹීමට ආශිර්වාදයක්ම වූයේය. ඔහු මෙම කටයුත්ත සඳහා සහභාගී වූයේ දේශපාලකකු ලෙස නොව සුනිල්ගේ හිතවත්ම කලාකරුවකු ලෙස බව සභාවේ උන් සියලු දෙනා දැන උන්නෝය.
පහන්සිළු දල්වමින් ජීවිතේ ලස්සනයි ඇරැඹිණි. මාධ්‍යවේදීන්, කලාකරුවන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම සුනිල්ගේ පෞද්ගලික හිතවතුන් කිහිප දෙනකු ද මේ උත්සවයට ඇරැයුම් ලබා තිබුණි.
ඉදිරි මේසයේ ඈඳි ගත්තේ ප්‍රධාන කලා තරු කිහිපයකි. සුනිල්, ජීවන්, රන්ජන්, සනත්, ඇන්ටන් ජූඩ්, රොබින් ප්‍රනාන්දු, සුසිලා කෝට්ටගේ මෙන්ම ටෙනිසන් කුරේ ද ඒ අතර වූයේය.
* මේ ජීවිතේ ලස්සනයි ඇරැඹුමයි. සනත් ගුණතිලක, ජයන්ත ධර්මදාස, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග සහ සුනිල් ටී.

පළමුවෙන්ම සභාව ඇමතීමේ ආරාධනා ලැබුවේ සනත් ගුණතිලකටය.
සනත් කවදත් මාධ්‍යයට හිතවතෙකි. ඔහු මාධ්‍යවේදීන් පිළිබඳව හාස්‍යජනක කතා ගොතන්නෙකි. සනත් කතාව අරඹා විනාඩි කිහිපයකින් කතා බහ කරනු ලැබුවේ මාධ්‍යවේදීන් පිළිබඳවය.
ඩේලිමිරර් පුවත්පතේ රමේෂ් උවයිස්ව තරුණියන් හඳුන් වන්නේ කරන් ජොහාර් ලෙස යයි කී සනත්, සන්ඩේ ලීඩර් පුවත්පතේ තුසිත හැඳින් වූයේ බ්‍රාහ්මන පුතා ලෙසිනි.
මාධ්‍යවේදීන් සිනහවේ ගිල්වමින් කතාව තවදුරටත් ව්‍යාප්ත කළ සනත් ඉන් පසුව හැරුණේ ආරොග්‍යා පුවත්පතේ ප්‍රධාන කතුවරිය වන දීප්ති ෆොන්සේකා දෙසටය.
සුනිල් ටී. මුලින්ම ආවේ රඟපාන්න – ජීවන්

‘බලන්න දැන් දීප්ති ආරෝග්‍යා පත්තරේ කතෘතුමිය. මම මේ ළඟදී හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා. දීප්ති කතා කරල මගෙන් අහනවා හොස්පිටල් එකේ ඉන්න පින්තූරයක් ගන්න බැරිද කියලා ආරෝග්‍යා එකේ පිට කවරෙට දාන්න.
’ සනත් එසේ කීවේ සභාව සිනහවේ ගිල්වමිනි. ඉන් පසුව හේමාලි විජේරත්න දෙසට හැරණු සනත් අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහට ද අත දිගු කොට විහිළුවක් කිරීමට අමතක නොකළේය.
මාධ්‍යවේදීන් සියලු දෙනා පිළිබඳ කතා කළ සනත් තමාගේ කතාවට ජීවන්ගේ කාලයෙන් ද ටිකක් ඉල්ලා ගත්තේය. රන්ජන්ගේ කාලයෙන් මඳක් ද සනත්ට හිමි වූයෙන් ඔහුගේ කෙටි කතාව දිග හාස්‍ය පිරුණු රසවත් එකක් වූයේය.
සනත්ට පසුව සභාව ඇමතීමේ ආරාධනාව ලැබුවේ ජීවන් කුමාරතුංගටය. ජීවන් මඳක් කල්පනාකාරීව බොහෝ දිගු රසවත් අතීතයකට ගියේ ක්ෂණයෙනි.
* සහන් විජේසිංහ, මේනකා, මහේෂි, නෙතු, පහන් දල්වමින්

‘මට මතකයි සුනිල් මුලින්ම ආවේ රඟපාන්න. එදා කොට කලිසමක් ඇඳ ගත්තු ඒ තරුණයා හිටිය හැටි මට තවම මතකයි. කොහොම හරි ඒ සුනිල් රඟපෑව චිත්‍රපටය තවමත් ආවේ නැහැ. ඒක වැරැදිච්ච නිසා තමයි මේ සුනිල් චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ.
ජීවන් අතීතයෙන් වර්තමානයට පැමිණ කෙටි කතාව නිමාවට පත් කළේ සුනිල්ට සුබපතමිනි. ඊළඟ වාරය රන්ජන්ටය.
රන්ජන් තමාගේ ගැඹුරු හඬ අවදි කරමින් නිෂ්පාදකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ මේ චිත්‍රපටය සඳහා සනත් සහ ජීවන් යන ප්‍රවීණයන් දෙදෙනා ගරු රඟපෑමකට එක්කර ගන්නා ලෙස කළ ඉල්ලීමයි.
* සුදේශ් වසන්ත පීරිස් හඬ අවදි කළ මොහොත

තමාගේ රංගන ගමනට මහා රුකුලක් වූ සුනිල් ටී. ඉතා ගෞරවයෙන් සිහිපත් කළ රන්ජන් සභාව ඇමතීමේ වාරය ලබා දුන්නේ ටෙනිසන් කුරේටය. ටෙනිසන්ගේ කතාව අතරතුර සුසිලා ටෙනී දෙස බලා උන්නේ කුමක් කියාවිදැයි සැක මුසු කර ගත් දෑසිනි.
‘මට කියන්න ඉතිං දෙයක් ඉතුරු වෙලා නෑනෙ. ඔක්කොම වගේ මේ අය කිව්වා.’ ටෙනී විනෝදාත්මක කෙටි කතාව නිමා කළේය.
මේ අතරතුරදී වී. සිවදාසන් උත්සව භූමියට පැමිණියේය. සනත් තමාගේ කතාවේදී සිවා පිළිබඳව කළ සටහන නැවතත් ඔහු පැමිණි පසු තැබුවේය.
‘මේ ළඟදි දවසක සිවා මට හම්බ වුණා කෝවිලකදී. මං ඇහුවා දරුවනේ කොංහොමද කියල. සිවා කිව්වා කරන කොට නං දරුවනේ තමයි, පෙන්නන්න ගියහම තමයි ඉතිං . . . ඔහු ඉතිරිය කීවේ ව්‍යංගයෙනි. කතාවාර සියල්ල අවසන් වූ තැන ප්‍රධාන මේසයට ප්‍රශ්න ලියූ කොළ කැබැල්ලක් පැමිණියේ මාධ්‍යවේදීන් දෙසිනි. ‘සනත් මොකටද කෝවිල් ගියේ?’
එහි සඳහන්ව තිබුණේ එසේය.
රන්ජන් එය හඬ නඟා සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ සනත් දෙසට හැරෙමිනි.
‘මගේ පෞද්ගලික දේවල් මං පස්සෙ කියන්නං’
* ජීවිතේ ලස්සනයි පිරිවර

සනත් පිළිතුරු දුන්නේ මාධ්‍ය කණ්ඩායමේ මේසය වෙත හැරී හිනාවක් පාමිනි.
මේ උත්සවයේ නිවේදන කටයුතු මෙහෙය වූයේ එන්. කේ. විමානය. විමාන එම්. පී. අයි. ප්‍රදර්ශක සමාගමේ කළමණාකාර අධ්‍යකෂකය . විමාන ද කලාවට හුරු පුරද්දක් ඇති අපේ සහෘදයකි. විමාන එක දිගට නිවේදන කටයුතු කරමින් සිටි විට සිංහල වචන කිහිපයක් වැරැදිනි. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වාරයේ දෙවැනි ප්‍රශ්නය කොළයක ලියා පැමිණියේ විමානටය.
‘විමාන මහතා සිංහල ඉගෙන ගත්තෙ කොහෙන්ද?’
ඒ පැනයට විමානගෙන් පිළිතුරක් නොලැබිණි. ඒ තරමටම විමාන උන්නේ හිනාවෙමිනි.
ඉන් අනතුරුව චිත්‍රපට පෝලිම පිළිබඳ ඇති වූ ප්‍රශ්න පිළිබඳව කතා බහකට උත්සව සභාව විවර වූ අතර මේ අතරතුර නැගී උන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සුදේශ් වසන්ත පීරිස් සභාව ඇමතුවේ ඉතා කෙටියෙනි.
මේ කතාබහ අතරතුර කාලය නොදැනුවත්ව ගෙවී ගියේය. හැන්දෑවේ සාදය රස විඳින්නට පැමිණි සියලු දෙනා හැඳුනුම්කම් අළුත් කර ගනිමින් විවිධ කතා බහකය.
රාත්‍රිය තවමත් තරුණය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money