Thursday, December 1, 2011

රියැලිටි වැඩසටහන්වලදී අපේ නිළියන් විකිණෙනවා

රියැලිටි වැඩසටහන්වලදී අපේ නිළියන් විකිණෙනවා

කාංචනා මෙන්ඩිස්
කාංචනා මෙන්ඩිස් අපට සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහා කලාවට පිවිසි ඇය මේ වනවිට පුංචි තිරය සහ රිදී තිරය ඉතාම සාර්ථක ලෙස ජය ගෙන ඇත.
මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන “මේ වසන්ත කාලයයි” ටෙලිනාට්‍යයේ පවිත්‍රා ඇයයි. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වන්නේ කාංචනා සමඟ කළ කතා බහ වෙනුවෙනි.
කාංචනා කොහොමද තොරතුරු?
හොඳින් ඉන්නව. ජාතික රූපවාහිනිය මගින් නිර්මාණය කරන මංජුල සිංහපෘථුවි අධ්‍යක්ෂණය කරන ‘සල්මල් ලන්ද’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට මේ දවස්වල සහභාගි වෙනව. ඒ රූපගත කිරීම් කෙරෙන්නෙ වාරියපොළ තඹුත්තේගම කියන ප්‍රදේශවල. ඊට අමතරව ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලටත් සහභාගි වෙනව.
දැන් පුතාට වයස කීයද?
පුතාගෙ වයස දැන් අවුරුදු දෙකයි. එයාගෙ වැඩ ගොඩක් දුරට කෙරෙන්නෙ මා අතින්මයි. පුතාගෙ වැඩකටයුතු පහසු වෙන විදියට තමයි එම රූපගත කිරීම්වලට සහභාගි වෙන්නෙ.
ඔබේ සැමිය රොෂාන් මේ දිනවල ඉන්නෙ...?
රොෂාන් ඉන්නෙ එංගලන්තයෙ. ඒත් පුතා ගැනත් මා ගැනත් තොරතුරු හැමදාම කතා කරල අහල බලනව.
“මේ වසන්ත කාලයයි” ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ටෙලිනාට්‍යයේ පිටපත කියවපු දවසෙම මට මෙහි රඟපාන්න ආශාවක් ඇති වුණා. ඒ වගේ ම මට දැනුණා මේකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බව. මේක කොටස් 75 ක ටෙලිනාට්‍යයක්. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තමයි අධ්‍යක්ෂණය කළේ. මෙහි කතාව හරිම ප්‍රබලයි. සාමාන්‍ය කතාවකට වඩා මෙහි තේමාව වෙනස්. බොහෝ ටෙලිනාට්‍යවල තියෙන ආදර කතාවලට වඩා වෙනස් කතාවක් තමයි මෙහි තිබෙන්නෙ. මෙහි මම රඟපාන්නෙ පවිත්‍රා කියන යුවතියගෙ චරිතය. ඇය උගත් තරුණියක්. සමාජය පිළිබඳ අවබෝධයක් තියෙන චරිතයක්. මේ චරිතයට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි.
මේ වනවිට ඔබේ රංගන හැකියාව හොඳින් පෙන්වන්න අවස්ථාව ලැබිල තියෙනවද?
රංගනයේ උපරිමය තියෙන්නෙ සිනමාවෙ. මම කලාත්මක වාණිජ චිත්‍රපට දෙවර්ගයේ ම රඟපාල තියෙනව. මගෙ මුල්ම චිත්‍රපටය ‘රාජ්‍ය සේවය පිණිසයි.” එහි මගේ රංගනයට ජනාධිපති සම්මාන හිමි වුණා. ඕනෑම ක්ෂේත්‍රයක කලක් නියැළී සිටින විට තමයි එම විෂය පිළිබඳ අත්දැකීම් ලැබෙන්නෙ; ඒ විෂයේ පරිණත පුද්ගලයෙක් වෙන්නෙ. එම රංගනයට පිවිසි මුල් අවධියේට වඩා අද මට රංගනය ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ නිසා ඉදිරියේදී හොඳ රඟපෑම් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබෙයි කියල හිතනව.
ඔබේ මතයට අනුව නිළියකට වඩාත්ම අවශ්‍ය වන්නේ රූපය ද රංගන හැකියාවද?
වඩාත්ම අවශ්‍ය රංගන හැකියාවයි. හැබැයි නිළියකට හොඳ රූප සම්පත්තියක් තිබීම වාසනාවක්.
ඔබ ඔබේ රූපය හොඳින් පවත්වාගෙන යන්න විශේෂ සැලකිල්ලක් දක්වනවද?
නිරෝගීකම ගැන ගොඩක් දුරට මම හිතනව. ඒ හැර රූපය ගැන විශේෂ උනන්දුවක් දක්වන්නෙ නෑ.
නර්තනය ඔබේ ප්‍රියතම විෂයක් වුණත් පසුගිය කාලෙ විවිධ රූපවාහිනී නාලිකා සංවිධානය කළ රියැලිටි නර්තන වැඩසටහන්වලට ඔබ සහභාගි නොවුණේ ඇයි?
ඒ වැඩසටහන් වලට මට ආරාධනා ලැබුණා. නමුත් මම ඒ ආරාධනා ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මගෙ මතය මේකයි. රටේ ජනප්‍රිය කලා ශිල්පීන් ශිල්පිනියන් එවැනි රියැලිටි වැඩසටහන්වලට සහභාගි වීම නුසුදුසුයි කියන එකයි මගෙ මතය. එම තරග වලදී අපේ ජනප්‍රිය ශිල්පීන් විකිණෙන බවයි මගේ හැඟීම. අලුතෙන් කලා ක්ෂේත්‍රයට එන අයට එම රියැලිටි තරග සුදුසු වුණත් ප්‍රවීණයින්ට ඒවා ගැළපෙන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය.
කලාව තුළ ඔබට තිබෙන්නෙ මොනවගේ බලාපොරොත්තු ද?
මගෙ මූලික අරමුණ හොඳ චරිතාංග නිළියක් බවට පත්වීම. ඒ වගේ ම කවදා හරි ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක මා තුළ තිබෙන ආශාවක්. ඒ ආශාව ඉටු කරගන්න නම් ඒ පිළිබඳ හොඳින් හදාරන්න ඕන. ඒ ආශාව ඉටුවන විට මට වයස අවුරුදු 60 ක් වෙන්නත් පුළුවනි.
මොනවද ඔබේ පෞද්ගලික ජීවිතයේ බලාපොරොත්තු?
මගෙ ලොකුම අරමුණ තමයි, මගෙ පුතා හොඳ මිනිසකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීම. ඒ වෙනුවෙන් රොෂානුත් මමත් ගොඩක් වෙහෙසෙනවා.
ඔබේ සැමියාගෙන් ඔබේ රංගන කටයුතුවලට ලැබෙන සහයෝගය...?
ඒ ගැන මම සඳහන් කළ යුතුමයි. පුතාගෙ වැඩ කටයුතු නිසා රංගන කටයුතු බාරගන්න බෑ කියන මතයට මම ආවත්, රොෂාන් කියන්නෙ හොඳ නිර්මාණවලට ඔයා යන්න කියලයි.
ඒ වගේ ම එයා කියන්නෙ රංගන හැකියාව කලාව හැමෝටම පිහිටන්නෙ නැති නිසා ඔයා රංගනයෙන් ඉවත් වෙන්න එපා කියලයි. රොෂාන්ගෙ ඒ දිරි ගැන්වීමම මට පුදුම ශක්තියක්. එයාට කලාව ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ ගැන මට හරිම සතුටුයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money