Friday, December 2, 2011

බීල හිටියනම් මම මෙහෙම නෙමෙයි කතාකරන්නෙ

ජින්ජර්ව ඇතිකළා වගේම
නැති කරන්නෙත් මමමයි

බීල හිටියනම් මම
මෙහෙම නෙමෙයි කතාකරන්නෙ


බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ප්‍රසංග වේදිකාවේ ගිනිsසිළුව කියලා. සැබවින්ම ඇය ප්‍රසංග වේදිකාවේ දී වෙනස්‌ම වූ ශෛලියක්‌ තමයි අනුගමනය කරන්නේ. යෞවන යෞවනියන් ඇය වේදිකාවට ගොඩ වූ විට කියන්නේ ගින්දර වගෙයි කියලා. ඒ තරමටම ඇය යෞවන යෞවනියන් අතර ජනප්‍රියයි. ප්‍රසංග වේදිකාවේ වෙනස්‌ම රටා මවන ඇය නමින් ජින්ජර්. කලකට පසුව අපි ජින්ජර් සමග කතාබහ කරන්න අදහස්‌ කළේ ඇය ගැන ඔබ නොදන්න තොරතුරු ටිකක්‌ ඔබට කියන්න.


ජින්ජර් මොනවද අලුත් වැඩකටයුතු ?

මම හැමදාම අලුත් වෙන්නේ වේදිකාවේදී. කොහොමත් මම රසිකයන්ට ගායනය විතරක්‌ නොමෙයි ප්‍රාසාංගික අත්දැකීමකුත් ලබාදෙනවා. ඒ නිසා මගේ අලුත් වැඩකටයුතු කියන්නේ ජනතාවට නරඹන්න යමක්‌ ලබාදීම. මම සංයුක්‌ත තැටි නිකුත් කරන්න බලාපොරොත්තුවක්‌ නැහැ. ප්‍රාසාංගික අත්දැකීම් එක්‌ක මගේ ගීත ප්‍රසංග වේදිකාවේ තමයි එළිදක්‌වන්නේ.

ඔබ වේදිකාවේ බොහොම කලබලකාරී ශෛලියක්‌ අනුගමනය කරන කෙනෙක්‌. මේක සාර්ථකද?

අනිවාර්යෙන්ම. මොකද මම හිතන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත සහ ප්‍රසංග වේදිකාව එකිනෙකට වෙනස්‌. ඒක මම හරියාකාරව අවබෝධ කරගත්තු කෙනෙක්‌. අනික මම මෙතැනට ආවේ වේදිකාවෙන්. වේදිකාව කියන්නේ මිනිස්‌සුන්ට බලන්න යමක්‌ ලබාදෙන තැනක්‌. මගේ කලබලකාරී ශෛලිය ආන්දෝලනයක්‌ ඇතිකළා කියලයි මම හිතන්නේ.

ඔබේ ශෛලියට විවේචන තිබෙනවා නේද?

විවේචන නැතිනම් මගේ ශෛලය සාර්ථක නැහැ. විවේචන තිබුණොත් තමයි මම දන්නේ මෙය සාර්ථකයි කියලා. ලෝකයේ ඕනෑම කෙනෙක්‌ තවත් කෙනෙකුගේ හොඳ නොවෙයි දකින්නේ. නරක තමයි කතාබහ කරන්නේ. විඳින්න දන්නේ නැති අය තමයි මම ගැන වැරදියට කතාබහ කරන්නේ. යමක්‌ විඳින්න දන්න ජනතාව ඇත්තටම මට ආදරය කරනවා. මොකද මම සමාජයට පණිවිඩයක්‌ ලබාදෙන ගායිකාවක්‌.

සමහරු කියනවා නැටුවට දැඟලුවට ඔබට සින්දු කියන්න බැහැ කියලා ?

මම ඔය කතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ. මගේ දිනපොත බැලුවනම් ඔය කියන අය මට සින්දු කියන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරාවි.

ජින්ජර් ඇයි මේ වෙනස්‌ම විලාසිතාවක්‌ අනුගමනය කරන්නේ ?

මම කරන මේ විලාසිතා පැරණි චිත්‍රපටවලදී පවා දකින්න ලැබෙනවා. මගේ කිසිදෙයක්‌ අලුත්වෙලා නැහැ. මම හිතන්නේ ආයෙත් මම ගමන් කරන්නේ අතීතයට. අලුත්වෙලා තියෙන එකම දෙය තමයි මගේ ශෛලිය.

මේ කාලේ ගීත ජනප්‍රිය කරගන්න නම් රූපය සහ නිරූපණයට මුල්තැනක්‌ හිමිවෙලා තියෙනවා නේද?

ඇත්තම කියනවා නම් වේදිකාවේ සාර්ථක වෙන්න බැරි කෙනෙක්‌ තමයි ඔය කියන නිරූපණය සහ රූපයට මුල්තැනක්‌ දෙන්නේ. ඒ වගේ කට්‌ටිය මමත් රූපවාහිනියෙන් නම් ගොඩක්‌ වෙලාවට දැකලා තිබෙනවා. මගේ තැන වේදිකාව, ඉතිං මම හිතන්නේ නැහැ මට විෂුවල් ඕනෑ කියලා. මොකද මමම විෂුවල් එකක්‌. මම වේදිකාවේ වීඩියෝ එකක්‌ වගේ තමයි.

සැමියා බනින්නේ නැතිද මේ කරන විලාසිතාවලට?

අපොයි නැහැ. එයා තමයි මාව දිරිගන්වන්නේ. ඇත්තම කියනවා නම් එයා ජොලියට බර මනුස්‌සයෙක්‌. හරි විනෝදයෙන් තමයි ඉන්නේ. මට බාල, තරුණ, මහලු අය ජනප්‍රියයි. ප්‍රසංගයකදී මුලින්ම එන්නේ පොඩි අය. ඊට පස්‌සේ තමයි කොල්ලෝ ටික එන්නේ. මම නටනකොට අපේ සීයලත් නටනවා. මගේ සැමියා මගේ විචාරකයෙක්‌. එයා තමයි මාව වැඩියෙන්ම විවේචනය කරන්නේ. ඒකට මම කැමැතියි.

පවුල් ජීවිතයේත් ළඟදී ලොකු වෙනසක්‌ වුණා නේද? ඒ ගැනත් කියමු ?

අවුරුදු 13 කට පසුව මට දෙවැනි බබා ලැබුණා. ඒකට හේතුව වේදිකාවේ දී තිබෙන කාර්යබහුලත්වය. මම හිතන්නේ මම ලොකු වැරැද්දක්‌ කළා. මීට කලින් තමයි මම දෙවැනි වරට අම්මා කෙනෙක්‌ වෙන්න තිබුණේ.

දැන් ඉස්‌සරට වැඩිය වගකීම් වැඩියි. හිතෙන්නේ නැතිද වේදිකාවෙන් සමුගත්තා නම් හොඳයි කියලා ?

ළමයි කියන්නේ අපේ ජීවිතයෙන් කොටසක්‌. වගකීම් වැඩි වෙන්නේ දරුවෝ උස්‌ මහත් වුණාට පස්‌සේ. ඒ වගකීම් හරි සරලයි.

ඔබට දැන් ලොකු පුතෙක්‌ ඉන්නවා. ඔය විදිහට වේදිකාවේ නටල දඟලන එක හරිද?

අම්මෝ පුතා තමයි මාව දිරිගන්වන්නේ. මම හරිම සරලව හිතන පතන කෙනෙක්‌. එයා වුණත් කැමැතිනේ අම්මා විනෝදයෙන් ඉන්නවාට. පුතාගේ වගකීමත් ඉටුකරනවා. පුතා මට අම්මා කියනවාට වඩා අක්‌කා කියලා තමයි කියන්නේ.

ජින්ජර්ගේ සැබෑ නමත් මේ කතාබහේදී කියමු නේ ?

සැබෑ නම ඕනෑ නැහැනේ. පරණ නමින් නෙවෙයිනේ මම ජනප්‍රිය වුණේ. ඒ හින්ද මම ඒ නමට කැමැති නැහැ.

ගීත ඇල්බමයක්‌ කරන්න අදහසක්‌ නැතිද ?

ගීත ඇල්බම් නම් හතරක්‌ කළා. මම දන්නේ නැහැ ඒවා මාධ්‍ය තුළින් කොච්චර දුරට සාර්ථක වුණාද කියලා. නමුත් වේදිකාව තුළදී සාර්ථක වුණා කියලා නම් මම දන්නවා.

ඔබ වේදිකාවේ හැසිරෙන විදිහ ගැන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා විරුද්ධයි කිව්වොත් ?

අනිවාර්යෙන් විරුද්ධයි. මොකද එයාලට ඒ දේ කරන්න බැහැනේ. ඒකයි ගැටලුව. මට පුළුවන් සාරියක්‌ ඇඳන් සින්දු කියන්න. නමුත් මට බනින අයට බැහැනේ වේදිකාවේ නටලා දඟලලා රසිකයන්ට පොඩි විනෝදයක්‌ ලබාදෙන්න.

තවත් සමහරු කියනවා ඔබ වේදිකවාට ගොඩවෙන්නේ මත්පැන් පානය කරලද දන්නේ නැහැ කියලත් ?

මත්පැන් පානය කරලා වේදිකාවට ගොඩවුණා නම් ඔහොම නොවෙයි කතා කරන්නේ. මම හිතනවා ඊට වඩා දරුණු විදිහට කතා කරයි. ඔය වගේ කතා කියන අය මම දැකලා තිබෙනවා විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වේදිකාවට ගොඩවෙනවා. කෙනෙකුට දැක්‌ක නම් තේරෙනවා මම වේදිකාවේ අනුගමනය කරන්නේ ප්‍රාසාංගික බවක්‌ කියලා. නිකං උඩපැනලා, දඟලන්නේ නැහැ. ගොඩක්‌ අය හිතනවා මම නටනවා කියලා. මම නටන්නේ නැහැ. වේදිකාවේ මම කරන්නෙ ව්‍යායාමයක්‌. මත්පැන් පානය කරලා එහෙම දේවල් කරන්න බැහැනේ.

මේ සියල්ල අතරේ ගැවසෙන ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?

ජින්ජර් කියන්නේ එක චරිතයක්‌ පමණයි. ජින්ජර්ව සැබෑ ජීවිතයේ දකින්න පුළුවන් කෙනෙක්‌ නෙවෙයි. මේ චරිතයට පණ දුන්නේ මම. කවදා හරි දවසක මේ නම නැතිකරලා දාන්නෙත් මමයි. මේ චරිතය වෙන කාටවත් නැතිකරන්න බැහැ. නැතිකරන්න පුළුවන් මට විතරයි. කවුරුත් ජින්ජර්ව එපා කියනකං මම ඉන්නේ නැහැ. මොකද මමනේ ජින්ජර්ව ගෙනාවේ. කවුරු හරි එපා කියන්න කලින් මම ජින්ජර්ව අරගෙන යනවා. ඒ දවස කවදාද කියන්න බැහැ. මම වේදිකාවේ ආන්දෝලනයක්‌ ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විඳින්න පුළුවන් නම් ජින්ජර්ව විඳින්න.


දිනේෂ් විතාන
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත



Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money