Thursday, December 15, 2011

‘ආයෙත් ලංකාව දාලා නම් යන්නේ නෑ’

ආදරණීය ටයි මහත්තයා අප අතහැර ගොස් දෙමසක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින සතකි. මේ සොඳුරු නාමය සැමදා අප අතර රැෙඳන අපූරු නිර්මාණ බොහොමයක් අපට ඉතිරි කර ඔහු යන්නට ගියේය.
සිංහල සිනමාවේ නොමියෙන මතකයක් වන ‘හඳයා’ චිත්‍රපටය පිළිබඳ යළිත් කතාබහ කිරීමට පසුගියදා අපට දුලභ අවස්ථාවක් උදා විය. ඒ එහි රඟපෑ සූප්පුවා, සේන , සුද්දා, උක්කුවාත් මුණ ගැසීමටය. 1979 වසරේදී බොහොම කුඩා ළමුන් ලෙස හඳයා චිත්‍රපටයට එක් වූ ඔවුන් අද ළමා ළපටින් සිටින වැඩිමහල්ලන් බවට පත් වී ඇත. පසුගිය දිනක ඔවුන් යළි මුණ ගැසුණු ඒ සොඳුරු යාමයේ හඳයා හා සම්බන්ධ අතීත සිදුවීම් අප හා පැවසුවේ ටයි අංකල් යන ආදරණීය නාමය ද සිහි කරමිනි.
‘හඳයා’ හි හොඳ හා නරක යන ළමයින් දෙපිරිසකි. නරක වැඩ කරන ළමයින් අතර නායකයා ඔහුය.
‘සූප්පුවා’
කිත්සිරි මෙවන් ජයසේන.
එකම නිවෙසක සොහොයුරන් ලෙස හැදී වැඩුණු ප්‍රදීප් රොෂාන්, කසුන් මධුරසිංහත්, දර්ශන පනංගලත් අද අප අසලය. ඔවුන්ගේ ඒ අතීතය හා බැඳුණු රසමුසු සිදුවීම් අප හා කිව්වේ යම් දුකක් හදවත පොර බඳද්දී වග අපට වැටහිණ. මේ ලිපිය සැකසෙන්නේ ඒ අතීතය සමගිනි.
කිත්සිරි ඒ කාලේ ගජ ඉළන්දාරියා. විශ්වවිද්‍යාලයේ යන කාලයේ ඉඳන්ම නාහෙට නාහන මේ කොල්ලා සයිමන් නවගත්තේගමගේ ගජ මිතුරෙක්. කිත්සිරිට ටයි මහත්තයා මුණ ගැහෙන්න පාර කපන්නේ මේ මිතුරුකමයි. මේ වෙන කොටත් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වී හිටිය කිත්සිරි,
‘මට රු: 2.50 ක් දීපන්’
කියලා යාළුවෙකුට කිව්වේ අතේ සතයක්වත් නොතිබුණු නිසා. යාළුවාගෙන් ලැබුණු රු: 2.50 ත් අරන් ඔහු ගියේ ටයි මහත්තයා මුණ ගැහෙන්නයි. එතැන රෙක්ස් කොඩිප්පිලි කියන අපේ නළුවත් හිටියා.
තමා ළඟට ආව මේ කොල්ලගේ විදිය ටයි මහත්තයාට අල්ලලා වගෙයි. ඔහු කිත්සිරිගේ කේදාන්තයේ සිට පාදාන්තය දක්වා බැලුවේ විමසිල්ලෙන්.
‘ඒ චරිතයට උඹ නම් කියාපු බඩුව’
ඔහු කිව්වේ ඉඳහිට මුහුණේ රැඳෙනා මඳ සිනහවෙන්.
අන්න එහෙමයි කිත්සිරිමෙවන් සූප්පුවා වුණේ.
දඩබ්බර සූප්පුවාගේ රූගත කිරීම් ආරම්භ වුණා.
‘කිරි ටින් එකට තට්ටු කර කර ගිහින් හරියටම මෙතනින් නතර වෙන්න ඕන’
ටයිටස් තොටවත්ත මහත්තයා සූප්පුවාට කිව්වා.
ඔළුව වනලා පිළිගත්ත සූප්පුවා ටිකක් දුර ගියා විතරයි අධ්‍යක්ෂවරයා කිව්ව දේ අමතක කළා.
ආයෙත් රූප රාමුව රූගත කළා. දෙවැනි වරටත් සූප්පුවට අමතක වුණා.
සූප්පුවා ළඟට ආවේ ටයි මහත්තයා. වැඩි වෙලාවක් ගියේ නෑ ඔහුගේ අත සූප්පුවාගේ කන හරහා යන්න. සූප්පුවට තරු වීසි වුණා.
ඊළඟට දර්ශනය හොඳට රූගත වුණා.
ඒත් සූප්පුවගේ හිතේ ඇති වුණේ තරහක්.
‘මම මොකටද කාගෙන්වත් ගුටි කන්නේ’
මෙහෙම හිතුව සූප්පුවා හිතෙන් ටයි මහත්තයට බනින්න පටන් ගත්තා. ඒ් වුණත් ඒ කනේ පාර දුන්නේ තමන්ට හැදෙන්න කියලා සූප්පුවා තේරුම් ගත්තේ පස්සේ කාලයේ. කොහොම වුණත් කිත්සිරිත්, ටයි මහත්තයත් අතර තිබුණේ අපූරු ළෙන්ගතුකමක්. ඒත් කිත්සිරිගේ විෂය වුණේ චිත්‍ර අඳින එකයි. ටයි මහත්තයත් චිත්‍රවලට බොහොම කැමැතියි. මේ දෙන්නා අතර හිතවත්කමක් ලියලන්න ඒ කාරණයත් හේතුª වුණා.
‘ටයි මහත්තයාගේ ඇසුර හරිම සුන්දරයි.’
එහෙම දැනුණෙ ඔහුට ළං වුණු නිසා. කාලයකදී කිත්සිරි විදේශ ගත වුණා. ඔහු ලංකාවට ආවේ අම්මගේ අවම¼ගුලට.
‘මෙන්න තවත් සමු ගැනිමක්’ ටයි මහත්තයාගේ අවසාන ගමන ගැන කිත්සිරිගේ හිතේ මහා විශාල දුකක් ඇති වුණා.
‘ආයෙත් ලංකාව දාලා නම් යන්නේ නෑ’
කිත්සිරි තීරණය කළා.
ඊළගට අප ඉදිරියට ආවේ ප්‍රදීප් රොෂාන්.
ප්‍රදීප්ට ටයි මහත්තහා මුණ ගැහෙන්නේ විජය කුමාරතුංග නිසා. විජය කුමාරතුංග කියන්නේ ප්‍රදීප්ගේ මාමා කෙනෙක්. තලකොටුවේ නැවතිලා හිටිය ප්‍රදීප්ට පියසේන අහංගමගේ නෑකම මස්සිනා. මේ නිසා තලකොටුවට කලා ක්ෂේත්‍රයේ බොහොම දෙනෙක් ආවා ගියා. දයා තෙන්නකෝන්, ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි, සෝමසිරි දෙහිපිටිය වගේ කලාකරුවෝ. සමහරු ඒ අවටම නැවතිලා හිටියේ. ප්‍රදීප් ට ඔවුන් සමඟ තිබුණේ ළඟ ඇසුරක්. ඒ වෙනකොට ප්‍රදීප් ඕලෙවල් කරලවත් නෑ. මේ අතරයි ‘හඳයා’ කියලා ළඟදී රූගත කරන්නට නියමිත චිත්‍රපටයට ප්‍රදීප් ටයි අංකල් ළඟට ගියේ හරිම බයෙන්. කොහොම වුණත් ප්‍රදීප් හඳයා චිත්‍රපටයට තේරුණා. ඒ ලොකු අයියගේ (සේන) චරිතයට. හඳයා චිත්‍රපටයේදී සූප්පුවත්, සේනත් කඩු ෆයිට් එකක්.
‘ප්‍රදීප් එතනදි එක පාරටම වැටෙන්න ඕන.’ ටයි මහත්තයා ප්‍රදීප්ට උපදෙස් දුන්නා. එක පාරක් කළා. දෙපාරක් කළා. හරි යන පාටක් පේන්න නෑ. ඊළඟ පාර ටයි මහත්තයා ප්‍රදීප්ව තල්ලු කළා. රූගත කිරීම නියමෙට වුණා. කසුන් මදුරසිංහ තෝර ගත්තේ පවුලේ දෙවැනියාට චුට්ටේගේ චරිතයට. එතකොට කසුන් ඉගෙන ගත්තේ 5 ශ්‍රේණියේ මහානාම විද්‍යාලයේ. එදා තිබුණු විවිධ ප්‍රසංගයට අමුත්තෙක් ඇවිත් හිටියා. ඒ ටයි මහත්තයා. කසුන් වේදිකාවේ කළ රංගනය ටයි මහත්තයගේ හිතට ඇල්ලුවා. ඊට පස්සේ ඔහු හඳයා චිත්‍රපටයේ රඟපෑවා.
පිටකොටුවේ බෝ ගහ ළඟ සපත්තු මදිනවා. එක මහත්තයෙක් ආවා මේ පුංචි ළමයා ළඟට. සපත්තුව ඇල්ලුවා. චුට්ටෙ සපත්තුව මැද්දා.
‘හරියට සපත්තුව මදින්නවත් බෑ’
ඔහු බැණ බැණ ගියේ චුට්ටෙට.
මේ දර්ශනයත් රූගත වුණා. පිටපතේ ඒ දර්ශනය නොතිබුණත් ඒ මහත්තයා කසුන් මේ කරන්නේ රඟපෑමක් කියලා දැනගෙන නෙමෙයි එහෙම කළේ. ඒ වුණාට දර්ශනය ඉස්තරම්.
ඊළඟ රූගත කිරීම් තිබුණේ දර්ශන පනංගල උක්කුවගේ චරිතයට පණ පොවන දර්ශන. පනංගල ඒ කාලේ පුංචි කොලු පැටියෙක්. දර්ශනගේ බාප්පා ටයි අංකල්ගේ ගෙදර ගියා. මේ පුංචි කොලු පැටියා බාප්පගේ අතේ එල්ලුනේ ටයි අංකල්ගේ ගෙදරට යන්න. ‘අපූරු කොලු පැටියෙක්’
ටයි අංකල් එහෙම කියලා දර්ශන පුතාගේ ඔළුව අත ගෑවා.
‘ඒ චරිතය මට ලැබුණේ වාසනාවට’
දර්ශන අද එහෙම හිතනවා. දර්ශන සිය අතීතයට ගියා. ඒ කාලේ දර්ශන කියන පුංචි කොල්ලට රඟපාන්න තිබුණේ හෙන්රි ජයසේන කියන අපේ ප්‍රවීණ නාට්‍යකරුවත් සමඟයි.
‘තාත්තේ’
හෙන්රි අංකල්ට අමතන ඒ දසුන දැක්ක විතරයි දර්ශනගේ අම්මා අඬනවා. ටයි අංකල්ට ප්‍රහේළිකාවක්.
‘තාත්තා නැති වෙනකොට පුතා හරිම පුංචියි. අද තමයි පුතා තාත්තා කියනවා කනට ඇහුණේ.’
ටයි අංකල් මේ පුංචි කොල්ලාව උස්සලා තමන්ගේ පපුවට තුරුලු කර ගත්තා.
‘හරිම සුන්දර තාත්තා කෙ නෙක්’
සමුගන්නට මත්තෙන් කිත්සිරි, ප්‍රදීප්, කසුන්, දර්ශන යන සිව්දෙනාගේ මුව විවර වුණේ සොඳුරු පද වැලක් වගේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money