Friday, December 2, 2011

අර්ධ වැම්පයර් දැරියක්

ස් ටෙෆනි මයර්ස් ලියූ ට්වයිලයිට් පොත් මාලාවේ ජනප්‍රියතාව ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව මුළු ලොව පුරාම උන්මාදයක් මෙන් පැතිර ගියේ එය ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හැරී පොටර්ට පමණක් දෙවැනි වෙමින්.
ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ හැරී පොටර් කතා මාලා දෙකම ෆැන්ටසි වූ අතර එයින් යම් දුරකට වෙනස් වෙමින් ට්වයිලයිට් කතා මාලාව ආදර කතාවක් මූලික කර ගත් තරමක් දුරට ෆැන්ටසි ස්වරූපයක් රැගත් තවත් ආකර්ෂණීය කතා පුවතක්.
2010 ඔක්තෝබර් වන විට මේ පොත් මාලාව ලොව පුරා මිලියන 116 ක් අලෙවි වී තිබුණා පමණක් නොව එය භාෂා 38 කට පරිවර්තනය වී ද තිබුණා.
මම ලිපිය කියවන පාඨකයන්ගේ මතකය අලුත් වන්නට එක්ක මා මුල් චිත්‍රපට තුනේ කතා සාරාංශය මෙහි සැකෙවින් දක්වන්නම්.
Twilight චිත්‍රපටය (2008) අධ්‍යක්ෂණය – කැතරින් හෙඩ්වික්
කතා නායිකාව වන බෙලා ස්වෝන් ගේ දෙමව්පියන් දික්කසාද වී සිටින්නේ. ඇය තාත්තාත් සමඟ ජීවත් වීමට වොෂින්ටන් ජනපදයේ ෆෝරක්ස් නැමැති කුඩා නගරයට බෙලා පැමිණෙන්නේ ඇයගේ අම්මා අලුත් සැමියාත් සමඟ නිදහසේ කාලය ගත කරන්නට ඉඩ සලසමින්. එහිදී ඉතා කඩවසම් යෞවනයෙක් ඇයගේ හිත දිනා ගන්නවා. ඔහුගේ නම එඩ්වඩ් කලන්.
එඩ්වඩ් මිනිසුන්ගේ ලේ වෙනුවට සතුන්ගේ ලේ පමණක් බොන වැම්පයර් පවුලකට අයිති කෙනෙක් බව බෙලා දැනගන්නවා. එඩ්වඩ් සහ බෙලා ආදරයෙන් බැඳෙනවා. නමුත් ජේම්ස් නැමැති මිනිස් ලේ බොන පවුලක වැම්පයරයෙක් බෙලාව නැසීමේ අභිප්‍රායෙන් ඇය පසුපස එනවා. අවසානයේ ද්වන්ද සටනකින් පසු එඩ්වඩ් සහ ඔහුගේ පවුල ජේම්ස් මරා බෙලාව බේරා ගන්නවා.
New Moon - (2009) අධ්‍යක්ෂණය – ක්‍රිස් වයිට්ස්
එඩ්වඩ් සහ ඔහුගේ වැම්පයර් පවුල ෆෝර්ක්ස් නගරය හැර යන්නේ ඔවුන් එහි සිටීමෙන් බෙලා ගේ ජීවිතයට අනතුරක් වේ යැයි සිතු නිසායි. එඩ්වඩ් නැති පාළුවෙන් විෂාදයට පත්වෙන බෙලා ජේකබ් බ්ලැක් නැමැති තවත් කඩවසම් යොවුන් තරුණයකු සමඟ කිට්ටුච මිත්‍රත්වයෙන් බැඳෙනවා. ඔහු තමාගේ ශරීර ස්වභාවය වෘකයකුගේ ශරීරයට වෙනස් කළ හැකි මිනිස් / වෘකයකු (Werewolf) බව ඈ දැනගන්නවා.
පළමු ට්ත්‍රපටයේ එඩ්වඩ්ලා මරා දැමූ ජේම්ස් ගේ පෙම්වතිය වූ වික්ටෝරියා නැමැති තවත් මිනිස් ලේ බොන වැම්පයර්වරියක් බෙලා මරා දැමීමට උත්සාහ කරනවා. ජේකබ් සහ ඔහුගේ වෘක පවුල බෙලාව එම ආන්තරාවෙන් රැක ගැනීමට සටන් කරන්නට ඉදිරිපත් වෙනවා. නමුත් එඩ්වඩ්ට දැනගන්නට ලැබෙන්නේ බෙලා මැරුණු බවයි. එම නිසා ඔහු සිය දිවි නසා ගන්නට ඉතාලියේ වෝල්ටෙරා නම් පෙදෙසට යනවා.
එහෙත් අවසාන මොහොතේදී බෙලා එහි පැමිණ ඔහුව නවත්වනවා. ඇයට ඒ සඳහා සහාය දෙන්නේ එඩ්වඩ්ගේ සොයුරිය වූ ඇලිස්. ඔවුන්ට ඉතාමත් බලසම්පන්න වැම්පයර් නායකයකු වන වොල්ටුරි මුණ ගැසීමට සිදු වෙනවා. ඉතා මෑත අනාගතයේදී බෙලා වැම්පයරයකු බවට පරිවර්තනය කිරීමේ පොරොන්දුව මත ඔවුන්ට ගැල වී යාමට වොල්ටුරි ඉඩ දෙනවා. නැවතත් එකතු වන බෙලා එඩ්වඩ් ෆෝර්ක්ස් නගරයට ආපසු එන්නේ ඔහුගේ වැම්පයර් පවුලත් සමඟයි.
Eclipse ඉක්ලිප්ස් (2010) - අධ්‍යක්ෂණය - ඩේවිඩ් ස්ලේඩ්
වික්ටෝරියා (ජේම්ස් ගේ පෙම්වතිය) වැම්පයර් හමුදාවක් සාදාගෙන සිටින්නේ අලුත ඉපදුනු වැම්පයර්ලා රොත්තක් එකට එක් කර ගනිමින්. ඇයගේ අරමුණ වන්නේ එඩ්වඩ්ගේ වැම්පයර් පවුල විනාශ කර බෙලාව මරා දමා ජේම්ස්ගේ මරණයට පලි ගැනීමයි.
මේ අතර බෙලාට එඩ්වඩ්ගේ ආදරයත් ජේකබ් ගේ මිත්‍රත්වයත් අතර දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වෙනවා. ඇය ඒ සඳහා හිත හදා ගනිමින් සිටින අතරේ එඩ්වඩ්ගේ වැම්පයර් පවුලත් ජේකබ්ගේ වෘක හවුලත් එකතු වී සටන් කොට වික්ටෝරියා සහ ඇගේ හමුදාව නසා දමනවා. අවසානයේ බෙලා එඩ්වඩ්ගේ ආදරය තෝරා ගන්නේ ඔහු සමඟ විවාහ වීමට පොරොන්දු වෙමින්.
Breaking Dawn (2011) අධ්‍යක්ෂණය – බිල් කොන්ඩන්
මෙතනට එන්නට තමා මං පළමු චිත්‍රපට තුන ගැන සුළුවෙන් මතක් කළේ. ඔබ නරඹන්නට සැරසෙන බ්‍රේකින් ඩෝන් හි කතාව ගොඩ නැගෙන්නේ මෙසේයි. දැන් බෙලා සහ එඩ්වඩ් විවාහ වෙලා.
නමුත් ඔවුන්ගේ මධුසමය අතරමග නවතින්නේ බෙලා ඇය ගැබ්ගෙන ඇති බව දැන ගැනීම නිසයි. ඇයගේ ගැබ සාමාන්‍ය ගැහැනියකගේ මෙන් නොව ඉතා වේගයෙන් මෝරා එන්නේ ඇයව ඉතාමත් දුර්වල කරමින්. ඇය අර්ධ මනුෂ්‍ය / අර්ධ වැම්පයර් දැරියක් බිහි කරනවා. එම දැරියගේ නම රෙනෙස්මි. දරු ප්‍රසූතියේදී මරණාසන්න වන බෙලාට එඩ්වඩ් ඔහුගේ විෂ ඇතුළු කරනවා.
ඇය වැම්පියර්වරියක් බවට පත් වෙනවා. මේ අතර ඔවුන්ගේ දැරිය දකින තවත් වැම්පයර්වරියක් එම දැරිය අමරණීය යැයි සිතා එය වැම්පයර් නායක වොල්ටුරිට දැනුම් දෙනවා. මේ සමඟම මුළු වැම්පයර් ලෝකයම කැලඹෙන්නේ ඔවුන්ගේ රහස ලොවට එළිවේදැයි බියෙන්. එම නිසා මේ දැරිය පිළිබඳ පියවරක් ගැනීමට ඔවුන් තීරණය කරනවා.
ඉතින් බෙලාට සහ එඩ්වඩ්ට තම දියණිය ආරක්ෂා කර ගන්නට පුළුවන් වෙයිද? ඔවුන්ගේ අනාගතය කුමක් වෙයිද? වොල්ටුරි ඔවුන් හට පාඩුවේ ජීවත් වෙන්නට ඉඩ දෙයිද? මිතුරු ජේකබ් මේ සියලු දේ මැද කුමක් කරයිද? මේ සියලු තොරතුරු කොටස් දෙකකින් ඔබ හමුවට එන බ්‍රේකින් ඩෝන් නරඹා රසික ඔබට (පොත් නොකිය වූ) දැනගත හැකියි.
යථාර්ථය අමතක කොට මේ චිත්‍රපට රස විඳිය හැකි තරමටම රසවත්ව නිර්මාණය කරන්නට අධ්‍යක්ෂවරුන් සතර දෙනා සමත් වී තිබෙනවා. පළමු චිත්‍රපට තුන තිරගත කිරීමෙන් පමණක් ලොව පුරා ලැබූ ූආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක්. වැම්පයරන් මිනිස් වෘකයන් මැජික්(හැරී පොටර්)
සහ මායාකාරයන් (ලෝඩ් ඔෆ් ද රිංග්ස්) තරමටම ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වන බව මේ බොක්ස් ඔෆිස් ප්‍රතිඵල පෙන්වා දී තිබෙනවා. බ්‍රේකින් ඩෝන්, ට්වයිලයිට් පොත්වලට පෙම් බැඳී රසික බලාපොරොත්තු කඩ නොකරමින් ඔවුන්ගේ ප්‍රියතම චරිතවලට සාධාරණයක් ඉටු කරමින් නිර්මාණය වුණු හොඳ ෆැන්ටසියක් බව සැකයකින් තොරව සඳහන් කළ හැකියි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money