Friday, December 2, 2011

විඳින්න ඕනෙ උපරිමය මම විඳලා තියෙනවා

අභිෂේකා විමලවීර
ඇය සුභාෂිණී අභිෂේකා විමලවීර. බොහෝ දෙනෙක් ඇයව හඳුන්වනු ලබන්නේ අභිෂේකා නමින්. අභිෂේකා කලා පරපුරක එක් පුරුකක්. පුංචි අවධියේම ස්වාධීන රූපවාහිනී සේවයේ “ළහිරු මඬළ” ළමා වැඩසටහන මෙහෙයවමින් කලා ලොවට පිවිසුණු ඇය; මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ දුරක් ඇවිදින්. “අද තරුවක් සමග වරුවක්” විශේෂාංගය වෙන්වන්නේ අභිෂේකා සමග කළ කතාබහ වෙනුවෙන්.
අභිෂේකා ඔබේ පවුලේ තොරතුරු මුලින්ම කතා කළොත්...?
මගෙ තාත්තා සුනිල් විමලවීර. අම්මා දමයන්ති විමලවීර. තාත්තා ගීත රචකයෙක්. ඒ වගේ සිනමාවට සම්බන්ධ කෙනෙක්. මගෙ අම්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින කෙනෙක්. මගෙ ලොකු තාත්තා සරත් විමලවීර. ඔහුත් ජනපි‍්‍රය ගීත රචකයයෙක්; ඒ වගේම දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙක්. අපේ පවුලේ එකම දරුවා මම.
ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද?
මම පාසල් ගියේ ගාල්ලේ ශ්‍රී ගාර්හා කන්‍යාරාමයට සහ ශාන්ත පාවුළු බාලිකා විදුහලට. පාසල් යන කාලෙත් මම ගීත ගායනයට කැමැතියි; තරමක් දක්ෂයි. ඒ අභාසය මට ලැබුණෙ දෙමව්පියන්ගෙන්. මගෙ දෙමව්පියන්ට ගීත ගයන්න පුලුවනි. සනත් නන්දසිරි සර් යටතේ මම සංගීතය වැඩිදුරටත් ඉගෙන ගත්තා. සංගීත විශාරද විභාගයත් මම කළා.
කලා ක්ෂේත්‍රයට එන්න පුංචි කාලෙ ආශාවක් තිබුණද?
මගේ පවුලෙ වැඩිහිටියන්ගේ කලා හැකියාවන් මට උපතින්ම උරුම වෙලා තියෙනව කියල හිතෙනවා. පුංචි කාලෙ මගෙ ආශාව වුණේ වෛද්‍යවරියක් වෙන්න. උසස් පෙළට මම තෝරාගත්තෙ ජීව විද්‍යා විෂයන්. උසස් පෙළ පන්තියෙ අවුරුදු දෙකෙන් පළමු අවුරුද්ද ජීව විද්‍යා විෂයයන් ඉගෙනගෙන දෙවැනි අවුරුද්දෙ මම කලා විෂයයන් කළා. විභාගයට මම ඉදිරිපත් වුණේ කලා විෂයන්ගෙන්. එකවරම මට විශ්ව විද්‍යාලයට යන්න ලැබුණා. කොළඹ විශ්ව විද්‍යාලයෙන් මම සාමාන්‍ය උපාධිය පසුගිය දවස්වල ලබාගත්තා.
එතකොට ඔබ නිවේදිකාවක් වුණේ?
එක දවසක් ගෙදර ඉන්නවිට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරණයවුණු දැන්වීමක් දැක්කා ළමා නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා කියල. ඒකට ඉල්ලුම් පත්‍රයක් දමල මම ඒ ගැන තාත්තාට කිව්ව. තාත්ත තමයි මගෙ අතින් අල්ලගෙන ස්වාධීන රූපවාහිනියට එක්කගෙන ගියේ. ඒ පරීක්ෂණයෙන් මම සමත් වුණා. ‘ළහිරු මඬල’ තමයි මම මුලින්ම ඉදිරිපත් කළ වැඩසටහන. ඊට පසුව සමනල උයන, සෙල්ලම් ගෙදර, හැඩකාර හැන්දෑව, දේදුනු හැන්දෑව, ලස්සන ගෙදර වැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට දායක වුණා. මගේ කලා දිවියේ මහගෙදර තමයි ස්වාධීන රූපවාහිනිය.
ගායිකාවක් ලෙස මේ වන විට ඔබ කොතෙක් දුරක් පැමිණ තිබෙනවාද?
මගෙම ගීත කීපයක් ම මේ වන විට මම ගයල තියෙනව. උදයකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්‍ෂණය කළ ‘චැලෙන්ජර්’ චිත්‍රපටයේ ගීතයක් ගයන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම “අමා” ටෙලි නාට්‍යයේ, “චරිතයකට පාට දෙන්න” සිරස රූපවාහිනියේ ‘රැජින’ ටෙලි නාට්‍යයේත් තේමා ගීත ගයන්න මේ වන විට මට අවස්ථාව ලැබිල තියෙනව. ‘අමා’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය මගේ ගායන දිවියේ සන්දිස්ථානයක්. ඒකට මාව තෝරා ගැනීම ගැන සාන්ත සොයිසා මහතාට සහ ළහිරු අයියට ස්තුති වන්ත වෙනවා. මීට මාස කීපයකට පෙර ”සීමා නෑ” නමින් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පවත්වන්න මට හැකි වුණා. ඒක තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ.
ඒ ප්‍රසංගය සාර්ථක වුණාද?
හිතුවාටත් වැඩිය හොඳට ඒක සාර්ථක වුණා. මට ඕනෑ කළා විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න ඉස්සර වෙලා කලා අංශයෙන් යමක් කරන්න. ඒ අරමුණයි, “සීමා නෑ” ප්‍රසංගය පැවැත්වීමෙන් මම ඉටු කරගත්තේ. විශ්ව විද්‍යාලයෙන් පිට වුණාට පස්සෙ විශ්ව විද්‍යාලය ඇතුලේ සංගීත ප්‍රසංගයක් පවත්වන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒ ප්‍රසංගය පවත්වන්න මට ගොඩක් දෙනෙක් උපකාර කළා. ලංකාවේ විශ්ව විද්‍යාල බොහොමයකින් ප්‍රසංගය බලන්න ආව. නව පරපුරේ කලා ශිල්පීන් වගේම ප්‍රවීණ කලා ශිල්පීන් රැසක්ම මගෙ ප්‍රසංගය නරඹන්න ආව. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.
මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?
මේ දවස්වල නිවේදන කටයුතුවලට වඩා මම වැඩි අවධානයක් යොමු කරන්නෙ ගායන කටයුතුවලට. ‘සංහිඳ’ වැඩසටහනේ ගීත ගයනව. ඒ වගේම මගේ “සීමා නෑ” ගීතය සඳහා රූපරචනාවක් කරන්න මේ දිනවල සූදානම් වෙනවා.
රංගනයට යොමුවෙන්න බලාපොරොත්තුවක් නැතිද?
කොහෙත්ම නෑ.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන ඔබේ ආකල්පය...?
මගේ අම්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇය භාවිතා කරන්නෙ ඉන්දියානු රූපලාවණ්‍ය ශිල්පීය ක්‍රම. එය වෙනමම හදාරන්න ඕන විෂයක්. මගෙ ආශාවක් තියෙනව ඒ විෂයත් ඉන්දියාවට ගිහිං ඉගෙනගන්න.
ඔබ පොතකුත් එළිදැක්වූවා නේද?
නිසඳැස් ලියන්න මම හරිම කැමැතියි. මම ලියපු නිසඳැස් කිහිපයක් තමයි ”නොහිමි” නමින් එළි දැක්වුණේ.
යෞවන ප්‍රේමය ඔබට සමීපද?
ඇත්තෙන්ම ඔව්. පුංචි කාලෙ ඉඳලම මම ඒ ඒ වයසෙදි විඳින්න ඕන හැමදේම මම උපරිමයෙන් විඳල තියෙනව. පවුලේ එකම දරුවා නිසා දෙමව්පියන්ගෙ ආදරය මට උපරිමයෙන් ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. මේ වනවිට මම යෞවන ප්‍රේමය උපරිම විදියට ලබමින් ඉන්නවා. ලබන වසරේ මගේ විවාහය සිදුවේවි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money