Thursday, December 1, 2011

මේ ජෝඩුව

එතුමයි-මෙතුමයි දෙන්නා හරියට ලණුවයි කණුවයි වගේ

දෙන්නම එක උස. ස්වරූපයක් හරියට අයියයි මල්ලියි වගෙයි. දක්ෂතාවයනුත් එක වගේම තමයි. මේ දෙන්න මීට කලින් අපට වේදිකාවෙන් නිතර නිතර හමුවුණා. ඒත් මේ ඊයේ පෙරේදා දවසක මේ දෙන්න මුණ ගැසුණේ රිදී තිරයෙන්. මේ දිනවල තිරගත වන ‘එතුමයි - මෙතුමයි’ ඔබ නැරඹුවා නම් එකම අච්චුවේ මේ ජෝඩුව ඔබට මුණ ගැහෙයි. රොඩ්නි, පි‍්‍රයන්ත වර්ණකුල සමඟ පි‍්‍රයන්ත සෙනෙවිරත්න මේ ජෝඩුවයි.
දෛවයේ හාස්කමකට ද මන්ද රොඩ්නිටත් පි‍්‍රයන්ත කෑල්ලකුත් එකතු වෙලා තිබෙනවා. ඉතින් පහුගිය දිනක අපට මේ දෙන්නම මුණ ගැසුණා. බොහෝ වෙලාවට එකට රඟපාන නිසා මේ කතාබහත් එකටම කළොත් හොඳයි කියලා අපිට හිතුණා.
“එතුමයි - මෙතුමයි” චිත්‍රපටයේ මම රඟපාන්නේ වීරයාගේ චරිතය. මට නම දාලා තිබෙන්නේ ‘බෝතල් සිරා’ කියලයි. මම ජීවත්වෙන්නේ මුඩුක්කු පේළියක ගේකයි. බෝතල් සිරා හැම විටම මිනිස්සුත් එක්ක ඉන්න කෙනෙක්. මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. මේ පිටපත මගේ අතට ලැබුණාම මට හිතුණා මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඒ හින්දා තමයි බෝතල් සිරා ගේ චරිතය මම බාර ගත්තේ. අනිත් පැත්තෙන් මේ චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය උපුල් ජයසිංහ එක්ක මම වැඩ කරන්නෙ පළවැනි අවස්ථාවට. අලුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ නිශාන්ත වීරසිංහත් මට හමුවෙන්නේ පළවැනි වතාවට.
රොඩ්නි අපිත් එක්ක කතාවට එකතු වුණා. රොඩ්නි බෝතල් සිරා වෙනකොට රොඩ්නිගේ ප්‍රාණ සම මිතුරා පි‍්‍රයන්ත තමයි කුසුම්සිරි සභාපතිතුමා විදියට මේ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතයට එක්වෙන්නෙ. පි‍්‍රයන්තට රඟපාන්න තිබුණේ දේශපාලනඥයකුගේ චරිතයක්. ඔහු කියන්නේ ඒක ආසියාතික රටක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දේශපාලනඥයකුගේ චරිතයක් කියලයි. රොඩ්නි වගේම පි‍්‍රයන්තත් කුසුම්සිරි වෙන්න කැමැති වුණා. ඒ හින්ද තමයි රොඩ්නි - පි‍්‍රයන්ත සුසංයෝගය බෝතල් සිරා - කුසුම්සිරි බවට පරිවර්තනය වෙන්නෙ.
“මගේ දේශපාලන ගමනට උදව් කරන කෙනෙක් තමයි බෝතල් සිරා. ඒ වුණාට එක් අවස්ථාවකදී අපි දෙන්නම බෝම්බයකට අහුවෙලා තුවාල වෙනවා. ඔපරේෂන් එකේදී අපි දෙන්නගේ මූණ මාරු වෙනවා. ඊට පස්සෙ ඉතින් සිද්ධ වෙන දේ හිතාගන්න පුළුවන් ඇතිනේ.
පි‍්‍රයන්ත කියන්නෙත් හිනාවෙන ගමන්. කතා කරන්න ගියත් රොඩ්නියි - පි‍්‍රයන්තයි දෙන්නා ජාඩියට මූඩිය වගේ. මේ දෙන්නගේම සාමාන්‍ය කතා බහෙත් තිබෙන්නේ හාස්‍යය. “අපි දෙන්නම වේදිකාවෙන් උපන් නළුවෝ දෙන්නෙක්. ඒ නිසා චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනය ලැබීමත් එක්තරා විදියක සුවිශේෂි දෙයක්. එක පැත්තකින් අපි දෙන්නටම සතුටුයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට අපි දෙන්නා තෝරා ගැනීම ගැන.
හැබැයි ඉතින් මේ දෙන්නා චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන පළවැනි අවස්ථාව නම් මේක නොවෙයි.
රොඩ්නි අපි දෙන්නා ඉස්සරලම එකට රඟපෑවේ රෝයි ද සිල්වාගේ ‘ක්ලීන් අවුට්’ චිත්‍රපටයේ නේද?
පි‍්‍රයන්ත අහනවා රොඩ්නිගෙන්.
‘මටත් මතක හැටියට ‘ක්ලීන් අවුට්’ තමයි. ඊට පස්සෙ ‘ධන - රින’ චිත්‍රපටයේත් ‘සිකුරු හතේ’ත් රඟපෑවා නේද? දෙන්නා අතීතේ මතක් කරනවා.
වේදිකාව පසුපස්සේ මේ දෙන්නගේ ජීවිතේ බොහෝ සොඳුරු තැන් තිබෙනවා. ජීවිතේ දුක, සැප, සතුට හැම දෙයක්ම සමව බෙදාගත් මිතුරන් දෙදෙනෙක් විදියට. ඒ අතීතය බොහෝ දිගයි. එදා ඇතිකර ගත් ඒ ආදරණීය බැඳීම රොඩ්නිත්, පි‍්‍රයන්තත් අතර අදත් නොවෙනස්ව පවතිනවා.
අපි දෙන්න එක කුස ඉපදුණේ නැතත් එක කුස උපන් සහෝදරයෝ වගේ බැඳීමක් තමයි තිබෙන්නෙ. පි‍්‍රයන්ත කියනවා. දෙන්නම එක ළඟින් තියලා මේ දෙන්නගේ වෙනස්කම් මොනවද කියලා දැනගන්න අපිට ඕන වුණා. ‘රොඩ්නි මට වැඩිය පොඩ්ඩක් උසයි. රොඩ්නිගේ කළු කෙස් තිබෙන්නේ පොඩ්ඩයි. මගේ කොණ්ඩෙ තිබෙන්නේ පොඩ්ඩයි. ඔන්න ඔය වගේ පුංචි පුංචි වෙනස්කම් තමයි අපි දෙන්නා අතර තිබෙන්නේ.’
චිත්‍රපටය නරඹපු අයගෙන් මේ දිනවල හොඳ ප්‍රතිචාර ලැබෙනව කියලා තමයි පි‍්‍රයන්ත කිව්වේ. මේ අතරෙම රොඩ්නි කිව්වේ ඒ ප්‍රතිචාර ඒ විදියට රොඩ්නිටත් තියනව කියලයි. හැබැයි ඉතින් ඒ ප්‍රතිචාරත් එක්ක ‘එතුමයි - මෙතුමයි’ අමතක නොවෙන්න මතක සටහන් ටිකකුත් රොඩ්නිට තියනවා.
“බෝතල් සිරා විදියට මම රඟපාද්දි එක තැනක තිබෙනවා මම පාර අයිනේ ඉන්නකොට මාව පැහැරගෙන යන දර්ශනයක්. වෑන් එකකින් ඇවිත් තුන් හතර දෙනෙක් බැහැල මාව උස්සගෙන ගිහින් තමයි වෑන් එක ඇතුළට දාගන්නේ. මේ දර්ශනය රූගත කරන්න ගිහින් නම් ලොකු අමාරුවක වැටුණා. එක පාරින් දර්ශනය රූගත කරගන්න බැරිවුණ නිසා තුන් හතර වතාවක්ම මාව උස්සගෙන යනවා. වෑන් එකට දානවා. අන්තිමේදී මගේ අතපය ඔක්කොම රිදෙන්න ගත්තා. දර්ශනය ඉවර වෙත්දි මට හොඳ ගණන්. නමුත් ඉතින් චිත්‍රපටය නරඹද්දි හිතෙනවා ඒකත් එක විදියක ආශිර්වාදයක් කියලා.”
“මමයි පි‍්‍රයන්තයි දෙන්නා හරියට ලණුවයි - කණුවයි වගේ. අපි දෙන්නගේම සිතුම් පැතුම් දෙන්නට දෙන්නා හොඳින් අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ හින්දා අපි දෙන්නට එකට වැඩ කරන්න හරි පහසුයි.
අද අපිට පි‍්‍රයන්තයි - රොඩ්නියි දෙන්නා සිනමාවෙන් හමුවුණත් දෙන්නම කිව්වේ පළමුවැනි තැන දෙන්නේ වේදිකාවට කියලයි. ඒ වුණාට සිනමාවේ දීර්ඝ ගමනක් යන්නට තමන්ට ආරාධනා ලැබුණොත් සතුටින් බාර ගන්නව කියලා තමයි දෙන්නම කිව්වේ.
“අපි දෙන්නම ඉතින් small made මිනිස්සුනේ. සමහරුනම් කියනව තව ටිකක් උස ගියානම් හොඳයි කියලා. ඒ වුණාට මට නම් හිතෙන්නේ තව ටිකක් උස ගියානම් මේ තියන තත්ත්වය අපට උදාවෙන්නෙ නෑ කියලයි. උස අයට කරන්න බැරි බොහෝ දේවල් මිටි අපි දෙන්නා කරලා තිබෙනවා. ඒ හින්ද අපි හිතන්නේ මේක අපි ලබපු වාසනාවක් කියලයි.
පි‍්‍රයන්ත මේ දවස්වල අපට ටෙලි නාට්‍ය දෙකකිනුත් හමු වෙනවා. ඒ ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන ‘සිහින පියාපත්’ සහ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පියාඹන්න මං ආසයි’ ටෙලි නාට්‍යයෙන්. පසුගිය කාලය පුරාම බැලුවම පි‍්‍රයන්ත අපට හමුවෙන්නේ හාස්‍යය උපදවන චරිතවලින්. මේ සීමා වීම ඇත්තටම ඔහු වැනි වේදිකාවෙන් උපන් නළුවෙකුට හොඳ දෙයක් ද කියලා අපට හිතෙනවා.
“ඇත්තටම කියනවා නම් ඒ විකට චරිතවලට ඒ සීමා වීමට මම කැමැතියි. ඒක මම කරන්නේ ආසාවකින්. මිනිස්සුන් හිනස්සලා සතුටට පත් කරන එක ලේසි පහසු කාර්යයක් නොවෙයි. අපි ජීවත්වෙලා ඉන්න ටික කාලය ඇතුළත මිනිස්සුන් සතුටට පත්කරන්න තිබෙනවා නම් ඒක කොයිතරම් දෙයක් ද? එක් පැත්තකින් බැලුවොත් ඒක පහසුවෙන් කෙනෙකුට ලැබෙන වාසනා ගුණයක් නොවෙයි. ඒ වාසනාව මට ලැබිලා තියෙනවා. ඉතින් ඇයි මං ඒකෙන් මිදෙන්නේ.
රොඩ්නියි - පි‍්‍රයන්තයි ගැන කියන්න ගියොත් තව බොහෝ දේවල් කියන්න පුළුවන්. මේ දෙන්නම අපේ රසික රසිකාවියන් සතුටු කරන්නෙ තවත් රාජකාරියක නිරත වෙමින් කියලා ඔබ දන්නවා ද? රොඩ්නිත්, පි‍්‍රයන්තත් දෙන්නම වෘත්තියෙන් රජයේ රැකියාවල නිරතව සිටින අය. රොඩ්නි මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. පි‍්‍රයන්ත කියන්නේ පාසල් දරු දැරියන් රැසකට අධ්‍යාපනය ලබා දෙන පාසල් ගුරුවරයෙක්.
රැකියා දෙකම පරිස්සම් කර ගනිමින් ඔවුන්ගේ රසික රසිකාවියන්ටත් සතුට තිළිණ කරමින් ගත කරන මේ ජීවිතය සොඳුරුයි කියලයි දෙන්නම කිව්වේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money