Tuesday, December 20, 2011

මගේ රංගන දිවිය ගැන මම තෘප්තිමත් නැහැ

රොහානි වීරසිංහ

නාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි.
ඉතින් චිත්‍රාංගනී අපිටත් උක්කුවා ගුරුන්නාසේගේ ගෙදරට යන පාර කියනවාද?
මේ දවස්වල මගෙන් හැමෝම අහන්නෙ ඔය වගේ ප්‍රශ්නමයි.
දෙරණ නාලිකාවෙන් විකාශය වන මලී ටෙලි නාට්‍යයේ චිත්‍රාංගනීගේ චරිතයට ජීවය දෙන රොහානි වීරසිංහ මෙලෙසින් අප හා ලෙන්ගතු කතා බහකට මුල පිරුවා.
රොහානි මොකද හිතෙන්නෙ චිත්‍රාංගනී ගැන?
ඇත්තටම චිත්‍රාංගනී චරිතය මම කළේ හරිම ආසවෙන්. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රාංගනී වගේ අය මේ සියවසෙත් නාගරික සමාජය තුළ ඕනෑ තරම් ඉන්නවා.
ඇයි මේ හැමදාම නාගරික චරිතම රඟපාන්නේ?
මට ලැබිලා තිබෙන චරිත බොහෝමයක්ම නාගරික චරිත. මට යම් පරාසයක විහිදුණු රංගන කුසලතාවක් තිබුණත් තවම මට ඒ කුසලතාව ප්‍රායෝගිකව ප්‍රේක්ෂකයා ඉදිරියේ ගෙනහැර දක්වන්න අවස්ථාව ලැබිලා නෑ. ඒ නිසයි මම කියන්නේ මගේ රංගන ජීවිතය ගැන මම තෘප්තිමත් නෑ කියලා.
ඔබ රංගනයේ යෙදෙන්න කැමැති සුවිශේෂී චරිත තියෙනවාද?
ජීවිතයේ නොයෙකුත් ආකාරයේ හැල හැප්පීම්වලට මුහුණ දෙන ධෛර්යවන්ත දේශපාලනඥවරියකගේ චරිතයක් කරන්න මම බොහෝම ආසාවෙන් ඉන්නෙ. ඒ වගේම ආදීවාසී කාන්තාවකගේ චරිතයක් හෝ දුෂ්කර ගමක ගැමි කාන්තාවකගේ චරිතයකට මට ආරධනාවක් ලැබුණොත් මම ඒ චරිත සතුටින් පිළිගන්නවා. මට අවශ්‍යයි නාගරික, ධනවත් කාන්තාවගේ චරිතයෙන් මිදෙන්න.
රෝහානි වීරසිංහ හුදෙක් රංගන ශිල්පිනියක් පමණක්ම නෙවෙයි.
ඔව්, මම කලා ක්ෂේත්‍රයේ නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරලා තියෙනවා. නමුත් නිෂ්පාදිකාවක් විදිහට මා ලැබූ අත්දැකීම් සියල්ල සමාලෝචනය කළොත් එහි තියෙන්නෙ මිහිරි අත්දැකීම්වලට වඩා අමිහිරි අත්දැකීම්. නමුත් මම ඉදිරියේදී විධායක නිෂ්පාදකවරියක් ලෙස හොද නිර්මාණයක් අපේ ප්‍රේක්ෂකයින්ට ආදරයෙන් තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් රොහානිට විවිධාකාර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා ඇති නේද?
අපොයි ඔව්. කිඳුරංගනා ටෙලි නාට්‍යයේ මම කළේ ටිකක් නපුරු චරිතයක්. ඒ දවස්වල මාව දකින කොට පුංචි ළමයි අඬනවා. දවසක් මට එක කාන්තාවක් කිව්වා, නෝනව ටී. වී එකේ පෙන්නන කොට මට ටී. වී. එක පොළොවෙ ගහන්න හිතෙනවා. ඒ නිසා නෝනා මේ පැත්තෙ නම් එන්න එපා. මම මොනවා කරයිද කියලා මටම හිතා ගන්න බෑ කියලා. හැබැයි මේ කිසිම ප්‍රතිචාරයක් ගැන මට දුක හිතුණෙවත්, තරහා ගියේවත් නෑ. ඒ හැම ප්‍රතිචාරයකටම මම ප්‍රතිචාර දැක්වූවේ සුහදශීලී සිනහවකින්.
රොහානිට මෙවැනි ප්‍රතිචාර ලැබුණේ තමන්ට ලැබුණු චරිතයට සාධාරණයක් කළ නිසයි. රොහානිගේ ඉදිරි කලා නිර්මාණ ගැන දැන ගන්නත් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයින් කැමැත්තෙන් ඇති.
ඉදිරියේදී දියතක සෙනෙහස, තුෂාරයෙන් දිය දෝතක්, සඳ වසන්තය සහ මායා මන්ත්‍රිී යන ටෙලි නාට්‍යවලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඊට අමතරව සාජන්ගේ නැන්දම්මා වේදිකා නාට්‍යයත් සමඟ, යුරෝපීය රටවල සංචාරයක යෙදෙන්නත් බලාපොරාත්තු වෙනවා.

ජීවිතයට අරමුණක්‌ Personal Goal Setting



අරමුණක්‌ යනු ජීවිතයේ තවත් එක්‌ අධිෂ්ඨානයකි. ඔබ අප සියළු දෙනා අපේ ජිවිතයේ යම් යම් අවස්‌ථාවන් හි දී ඇතිකරගත් අරමුණු පෙරදැඩිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණු කරා ළඟාවීමට හැකි වූ සුළුතරයක්‌ පිරිස ජයග්‍රාහකයින් ලෙසින් අරමුණ කරා ඉක්‌මනින් ළඟාවිමට නොහැකි වුවත් පරාජිතයන් ලෙසත් හැඳින්වීමට සමාජය පෙළඹී සිටියත් ස්‌ව අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම හා එම අරමුණ කරා සෙමෙන් ළංවීම ජයග්‍රහණයක්‌ කොට සලකන්නේ ඉතා සුළු පිරිසක්‌ පමණි. නමුත් පෞර්ෂ්‍යත්වයෙන් පිරිපුන් පුද්ගලයෙකු ලෙස ඔබ ඔබේ අරමුණ හඳුනාගෙන සිටීම ජයග්‍රහණයක්‌ බව සිහි තබා ගත යුතුය. ඔබ ඔබගේ අරමුණ කරා යන ගමනේ දී ඇතැම්විට සිදුවන අපහසුවීම් නිසා යම් යම් පසුබැසීම් වලට මුහුණ දුන්නද ඒවා අත්දැකීම් කොටගෙන ජයග්‍රහණ කරා ගමන් කිරීම පෞර්ෂ්‍යය සම්පන්න පුද්ගලයාගේ ලක්‌ෂණය යි. එබැවින් ඔබත් පුද්ගලික අරමුණ සකසාගන්නා ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

ඔබ ප්‍රථමයෙන් ඔබගේ අරමුණ හොඳ හැටි වටහා ගන්න. පැහැදිලි අරමුණක්‌ වෙනුවෙන් වෙහෙසීම එතරම් නුවනැති කටයුත්තක්‌ නොවේ. අපැහැදිලි අරමුණ කරා ගමන් කිරීමේ දී ඔබ දුර්වල වීමට ඇති ඉඩකඩ වැඩිවේ. උදාහරණයක්‌ වශයෙන් ඔබ ඔබගේ බර අඩුගැනීම අරමුණ කොට ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ව්‍යායාම් පිළිබඳව

දැඩි අවධානය යොමුකළ යුතු ය. එසේ අරමුණ වටහා ගැනීම ඔබ අරමුණ වෙත වඩාත් සමීප කරවයි.

තවද ඔබ මනඃකල්පිත අරමුණු වෙත ගමන් කරන්නේ නම් එය අසාර්ථක වීමට ඇති සම්භාවිතාව වැඩිවේ. එබැවින් ඔබ මනඃකල්පිත අරමුණු වෙත ගමන් කිරීම එතරම් සුදුසු නොවේ.

තව ද ඔබේ අරමුණ කොටස්‌ වශයෙන් හඳුනාගෙන ඒවාට කාල වකවානු තීරණය කරන්න. එවිට ඔබට ඔබේ අරමුණ ජයගැනීම වඩාත් පහසු වනු ඇත. එසේ ම ඔබ ඔබේ අරමුණ ඔබට නිතර පෙනෙන ස්‌ථානයක ලියා තබන්න. එවිට එය දකින වාරයක්‌ වාරයක්‌ පාසා ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් උත්ප්‍රේරණය වේ. ඔබ මෙලෙස ක්‍රියා කිරීම තුළින් ඔබේ අරමුණු ජයගැනීම වඩාත් පහසුවනු ඇත.
 

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තා

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තාස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න ඕනේ...
 - බියංකා

වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩවැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආµaටර් නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා. විටෙක නිවේදිකාවක්‌ ලෙසත් තවත් විටෙක නිර්මාණ රැසකින් රංගන ශිල්පිනියක ලෙසත් ඔබ හමුවට එන බියංකාගේ සැබෑ තොරතුරු මොනවාද කියා මේ වෙලාවේ ඔබ විමසනවා ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.

බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?

මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල.

එතකොට කොහොමද නිළියක්‌ වුණේ ?

මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2002 වසරේ නිරූපණ ශිල්පිනියක්‌ විදිහට. ඊට පසුව 2007 වසරේ සහාය අධ්‍යක්‍ෂ ප්‍රසන්න වනසිංහගේ බිරිඳගෙන් ආරාධනාවක්‌ ලැබුණා ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එතකොට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ රඟපාන්න. ඇයගේ බලකිරීම නිසා මට හිතුණා එක ටෙලිනාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා. අයි ලව් යූ ජෙනී කියන ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.

ඔබට ලැබුණ මුල් අවස්‌ථාවෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා.

දැන් ස්‌ථාවරයි කියල ද හිතන්නේ ?

අපොයි එහෙම ස්‌ථාවරයි කියලා හිතන්නේ නැහැ. ස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න තිබෙනවා.

ඒ මොනවාද?

මම හිතන්නේ තවම මම නවකයි කියලා. චරිතයකට සුදුසුයි කියා මාව තෝරාගන්න අධ්‍යක්‍ෂවරයාට හා ඒ චරිතයට සාධාරණයක්‌ වෙන්න චරිත නිරූපණය කළ යුතුයි. ඒ තුළින් ජනතාවගේ ප්‍රසාදය දිනාගත හැකියි.

අද කාලේ නිළියන් ක්‍ෂේත්‍රයට එන්නේ වැරදි පාරෙන් කියලා ගොඩක්‌ දෙනා කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?

ක්‍ෂේත්‍රයට ලෙහෙසියෙන් ගොඩවෙන්න බොහෝ දෙනා විවිධ දේවල් අනුගමනයකරනවා. එහෙම ඇවිත් මේකෙ වැඩිකල් රැඳෙන්න අමාරුයි. දක්‍ෂතාව හා හැකියාව මත ක්‍ෂේත්‍රයට ආපු අයට තමයි කාලයක්‌ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඉතිං මමත් බොහොම හෙමින් ගමනක්‌ යන්නේ. තවම මුල් අවධියේ නිසා තව ගොඩක්‌ දුර යන්න තිබෙනවා.

නිළියක්‌ වෙන්න ඔබ ගත්තු තීරණය හරි කියලා හිතනවාද?

ඇත්තටම මම ගත්තු තීරණය හරි කියලයි හිතන්නේ. ඒකට හේතුව මම නිර්මාණයකට රංගනයෙන් ලබාදෙන දායකත්වය අනුව අධ්‍යක්‍ෂවරයා ඊට දක්‌වන ප්‍රසාදය. ඒත් එක්‌කම මම පෞද්ගලිකවම වාසනාවන්තයි නිළියක්‌ වෙන්න ලැබීම.

පුංචි කාලේ හීන දැක්‌කේ අනාගතයේ කවුරු වෙන්නද?

වෛද්‍යවරියක්‌ වෙන්න තමයි පුංචි කාලේ හීන මැව්වේ.

එතකොට නිළියක්‌ වුණේ ?

නිළියක්‌ වුණේ අහම්බයෙන්. හැබැයි අහම්බයෙන් නිළියක්‌ වුණත් ඒක මට හිමිවුණේ වාසනාවටයි.

මෙතැනට එන්න හැදෑරීමක්‌ කරලා තිබෙනවාද?

විශේෂ හැදෑරීමක්‌ කරලා නැහැ. හැදෑරීම කරන්නේ මම දැන් රංගනයේ යෙදෙන නිර්මාණය තුළිනුයි. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් සමග වැඩකරද්දී ඔවුන්ගෙන් යම් ගුරුහරුකම් ලබාගන්නවා.

හැදෑරීමක්‌ නැතිව කොහොම ද රඟපාන්නේ ?

හැදැරීමක්‌ අවශ්‍ය නැහැ. නමුත් හැදෑරීමක්‌ කර තිබෙනවා නම් වඩාත් පහසුයි. උපතින්ම පොඩි හැකියාවකුත් ඇති.

බියංකාගේ පවුලේ කට්‌ටිය කිව්වොත් ?

අක්‌කලා දෙන්නයි. තාත්තයි. මගේ අම්මා නැහැ.

මේ ක්‍ෂේත්‍රයේදී ඕනෑම චරිතයක්‌ රඟපාන්න සූදානම්ද ?

ලැබෙන ඕනෑම චරිතයක්‌ කියන්න බැහැ. මට සුදුසුයි කියා හිතෙන චරිත ලැබුණොත් විතරයි රඟපාන්නේ.

නිළියකගේ හැදියාවට ඇඳුම බලපාන්නේ නැතිද?

තැනට සුදුසු විදිහට ඇඳුම ගලපගන්නවා නම් ඒකෙ වැරැද්දක්‌ මම දකින්නේ නැහැ. අනික නිළියක්‌ වුණහම තැනට සුදුසු විදිහට ටිකක්‌ කැපිලා පෙනෙන්න ඇඳීම වැරැද්දක්‌ නැහැ කියලයි මට හිතෙන්නේ.

ඔබ අඳින්නේ පළඳින්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?

එහෙම හිතලා විලාසිතා කරන්නේ නැහැ. හැබැයි ලස්‌සනට අඳින්න මමත් ආසයි.

ඔබ කැමැති නැතිද තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න ?

කැමැතියි. ඒකට කවුරුත් කැමැතිනේ.

දැන් ඉතිං ඔබට වැඩිපුර ආකර්ෂණය වුණ තරුණයන් එහෙමත් ඇති නේද?

ඔව් ඉන්නවා. දුරකථන ඇමතුම් වගේම අන්තර්ජාලය හරහා මගේ විස්‌තර අහලා කතාබහ කරනවා. ඒ හින්දා ආකර්ෂණයක්‌ තිබෙනවා කියලා හිතනවා.
දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ
පසුතලය - සන් රිසෝට්‌
පිළියන්දල.

Copy Rights - Divayina

නෙළුම් පොකුණ රඟ හල

නෙළුම් පොකුණ රඟ හල

නෙළුම් පොකුණ රඟ හල ගුවනට දිස්‌වන අයුරු
චීන රජයෙන් අප රටට පරිත්‍යාගයක්‌ ලෙස ලැබුණු "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රඟහල" ඊයේ (15 දා) සවස විචිත්‍රවත් උළෙලකින් ජනාධිපතිතුමන් හා චීන රජයේ විශේෂ දූත පිරිසකගේද සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. අනාදිමත් කාලයක සිට පවතින ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සදාතනික සිහිවටනයක්‌ ලෙස ඉදිවූ මෙම රඟහල විවෘත කිරීමේ අවස්‌ථාවට චීන මහජන සභාවේ උප සභාපතිනිය වින්ග් මේයින් මහත්මියද සහභාගි වූවාය. ඊයේ විවෘත වුණ එම රඟහලේ පළමුවරට රංගගත වූයේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ "හද බිමට ගිය ගමන" නම් සංගීතමය නාට්‍යයයි. ක්‍රි.ව. 4 වන සියවසේදී

ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් භික්‌ෂුන් වහන්සේ පිළිබඳව ඉන් කියෑවිණි. රෝහණ වීරසිංහ සංගීතයද, චන්න විජයවර්ධන එහි නර්තනයද නිර්මාණය කර තිබිණි.
 

Copy Rights - Divayina

සිරිලක් අම්මා පිළිගැන්වූ දා

සිරිලක් අම්මා පිළිගැන්වූ දා

චාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.
මේ දෙදෙනාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරීන් වන අතර වෘත්තියෙන් රජයේ සංගීත ගුරුවරුන්ය. 2007 වසරේ ජාතික රූපවාහිනි සංස්ථාව මගින් පැවැත් වූ ස්වර්ණජෝති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ගායකයා සහ සංගීත කණ්ඩායම ලෙස ස්වර්ණ ජෝති සම්මානය හිමිවූයේ චාමර සහ ලාල් යන මේ දෙදෙනාටය.
චාමර රුවන්තිලක හා ලාල් රූපසිංහ තම ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටියේ පිටපතක් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි.

ශ්‍රීමාලි කරුණානායක වන ඇය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය අරුන්දතී ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසියාය. වැස්ස නුඹ වගේ, පූජනීයයි, උත්පලා සහ විකාශයවීමට නියමිත ලොබ නොසිදේයා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.
තිලක් ගුණවර්ධන මහතා යටතේ ඈ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඇය එමඟින් අධිෂ්ඨානය පමණක් නොව හැදෑරීමකුත් තිබිය යුතු වග පසක් කළාය.
කුරුණෑගල මලියදේව බාලිකාවේ ඉගෙන ගන්න කාලේ ඇගේ ගුරුවරියන් සිතුවේ ඇය ලේඛිකාවක් වනු ඇත යනුවෙනි.
දැනටමත් මම තිර පිටපතක් ලියලයි තියෙන්නේ. එය රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි. ඇය පවසයි.
ඇගේ ඉදිරි බලාපොරොත්තු රංගනයෙන්ම ඉදිරියට යෑම සහ පිටපත් රචනයෙහි යෙදීමයි.
සිරිතුංග පෙරේරා, කපිල කුමාර සමරකෝන්, මංගල කොඩිතුවක්කු, නිරෝෂා තලගල, විශ්වනාත් විජේසුරිය, සුනෙත් මාලිංග, මේ අයට විශේෂයෙන්ම තුති පුදනවා. ඇය පවසන්නීය.

කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි




පුංචි පා තබමින් සිනා කැට අහුරු විසුරුවමින් ගේ පුරා දුව පනින දූ සිඟිත්තිය ‘අ’ යනු ‘ආ’ යනු කියන දිනය උදා වනතුරු මාපියන් පුළ පුළා බලා සිටියේ සතුටත් තුරුළු කරගත් නොඉවසීමකින්.
දු පැටික්කියගේ කේන්ද්‍රයත් බලා අකුරු කියවීමේ මංගල්ලයට සුබ දිනයක් යොදා ගත් අම්මා අකුරු කියවන්න ගෙනා පොත් අල්මාරියේ හැංගුවේ දෝණි නැකතට පෙර අකුරු කියයි කියන සැක සිතින්.
කොහොම නමුත් දවසක් අහම්බෙන් දූගේ අතට වෙසක් කාඩ් එකක් ලැබුණා. එහා පැත්ත මෙහා පැත්ත හරවමින් ඇස් කරකව කරකවා වෙසක් කාඩ්පතෙහි අසිරිය බැලූ දෝණිගේ නෙත ගැටුණේ පප්පා. දෝණි පප්පා කියන්නේ නම් සීයාට.
රටක් රාජ්‍යයක් තමන් සතු වුණා වගේ සතුටකින් දෝතින්ම වෙසක් කාඩ් එක රැගෙන පප්පාගේ අතට දුන්නේ ටිකිරි සිනාවකින් ද පුංචි මූණ හැඩ කරගෙනමයි. දෝණි කරන්න යන දේ ගැන හරි හැටි අවබෝධයක් පප්පාටත් තිබුණෙ නෑ. වෙසක් කාඩ්පත පප්පාගේ අතට දුන් දෝණි කිව්වේ ‘පප්පෙ, ‘අ’ යන්න කියන්න ‘අ’යන්න කියන්න’ කියලා. දෝණිගේ කරදරය නිසාම පප්පා දෝණිට අකුරු කියෙව්වා.
හැබැයි වෙච්ච දේ නම් දැනන් සිටියේ පප්පයි, මිනිබිරියයි විතරමයි. අකුරු කියවීමේ උත්සවයට දවස් කිහිපයකට කලින් දෝණිගේ අම්මයි තාත්තායි උත්සවය ගැන බරටම සාකච්ඡාව.
අසල සිටි පප්පාගෙනුත් යමක් දැනගන්නට සූදානම් වුණේ දෝණිගේ තාත්තා ඒ කියන්නේ සුනිල් වික්‍රමසිංහ මහතා.
මම තාත්තා පැත්තට හැරෙන කොටම කිව්ව දේ ගැන මට විශ්වාස කර ගන්නත් බැරි වුණා. ‘දැන් ඔයගොල්ලෝ උත්සවවලට ලෑස්ති වෙලා වැඩක් නෑ.
මගේ මිනිබිරිය අකුරු කියෙව්වා. ඒ කියෙව්වෙත් නිකන්ම නිකන් වෙලාවකත් නෙවෙයි. සරස්වතී යෝගය තිබුණු වෙලාවක. අපිට ඒ වෙලාවෙ ඇතිවුණ හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ.
එක පැත්තකින් අපේ සූදානම, බලාපොරොත්තුව, ගඟට කැපූ ඉනි වගේ වුණා. අනිත් පැත්තෙන් සුබම මොහොතක තමයි දන්නෙ නැතිවම හරි අකුරු කියෙව්වේ. ඔන්න ඔහොම තමයි උමයංගනා අකුරු කියෙව්වේ.
ඊට පස්සේ ඉතින් අල්මාරියේ හංගපු පොත් ටිකත් එයාගේ අතට දීලා අපි ඒ වෙලාවේ ගෙනහල්ලා තිබුණු රසකැවිලිවල රසත් බැලුවා.
මේ සතියේදී පුංචි දවස්වල විශේෂාංගයෙන් සරස්වතී යෝගයෙන් අකුරු කිය වූ ඔබේ ආදරණීය යොවුන් රංගන ශිල්පිනී උමයංගනා වික්‍රමසිංහගේ ළමා වියේ මතකයන් ආවර්ජනය කරන්නේ ඇයගේ ආදරණීය පියාණන්.
පුංචි කාලේදී එයා හරි අපූරු අපූරු කවි ගෙතුවා.එයා දවසෙන් වැඩිපුර කාලයක් ගත කරන්නේ එයාගේ පප්පත් එක්ක. දවසක් පප්පා එක්ක පාරේ යනකොට පප්පාට අමුතු කවියක් කියලා තියෙනවා.
අයියා එනා එනා
පප්පා එනා එනා
අම්මා එනා එනා
. . . . . . . .
හරිම වැඩේ, කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි. දැන් ඉතින් දස අතේ කල්පනා කරනවා ඊළඟ පදේට මොකක්ද කියන්නේ කියලා. ඔය අතරෙදි දැකලා තියෙනවා ලස්සන බලු පැටියෙක් එයා ඉන්න පැත්තට එනවා. දැන් ඉතින් වැඩේ හරි. හතර වෙනි පදේ විදිහට කිව්වේ මොකක්ද දන්නවාද?
බව්වා එනා එනා.
ඕන්න ඔහොමයි අපේ පුංචි කවිකාරි අවුරුදු තුනාමාරේදී කවි කිව්වේ.
පුංචිම කාලේ දූ හරි අපූරු වැඩක් කළා. දූ චුටි කාලේ එයාගේ හොඳම යාළුවා කවුද දන්නවාද ඒ තමයි එයාගේ මාපට ඇඟිල්ල.
ඉස්සර අපි එයාව තොටිල්ලෙන් තියලා එයාට මාපට ඇඟිල්ලෙ පුංචි නූල් කෑල්ලක් ගැට ගහනවා. ඔන්න ඉතින් ඒ වෙලාවේ ඉඳන් දූ එයාගේ පුංචි ඇඟිල්ලත් එක්ක බර කතාව. ඒ වෙලාවට එයාට කවුරුවත් ඕනේ නෑ. මුලු දවසක්ම වුණත් ඉඳීවි අපි කවුරුවත්ම නැතුව.
අක්කාගෙයි මල්ලිගෙයි ජීවිත ගලවා ගැනිමේ මහා මෙහෙයුම ගැන කිව්වෙ නැත්නම්, ඒක ලොකු අඩුවක්. ඉස්සරම උදේ නවය දහය වෙන කොට අක්කයි මල්ලියි දෙන්නා සද්ද නැතුව මිදුලට යනවා. හරියට මීයට පිම්බා වගේ තමයි දෙන්නා ඒ වෙලාවට.
හෙමින් හෙමින් වත්තේ ගස් පීර පීර දෙන්නත් එක්ක මකුළු දැල්වල පැටළුණු පුංචි සත්තු හොයනවා. සමහර වෙලාවට මකුළුවා පුංචි සතෙක්ව දැලේ පටලවනකන් හොරෙන් බලන් ඉන්නවා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ තියෙන්නේ.
ඊළගට දෙන්නත් එක්ක මකුළු දැල්වල පැටළුණු පුංචි පුංචි සත්තුන්ව සාලේ පඩිය උඩට ගෙනහල්ලා කටුවක් අරගෙ මකුළුවගේ නූල ලිහනවා. පුංචි කාලේ අක්කාගෙයි මලයගෙයි උදේ වරුවේ රාජකාරිය ඕක තමයි. ඒ සත්තු බේරිලා යන දිහා දෙන්නා බලාගෙන ඉන්නෙත් හරිම සන්තෝසයෙන්.
පුංචි කාලේ අක්කා කෙසේ වෙතත් මල්ලි නම් හරිම දඟයි. දවසක් දූට ඕන වුණා මල්ලිව වඩා ගන්න. එතකොට මල්ලි අත දරුවා කාලේ. පව්නේ ඉතින් පොඩි කෙල්ලගේ ආසාවනේ කියලා මල්ලිව එයාගේ අතට දුන්නා.
කොහොම හරි ටික වෙලාවකින් මල්ලි දඟලලා දූගේ අතින් මල්ලිව බිමට වැටුණා. ඒ සැනින්ම අපි පුතාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. පුතාට නම් කිසිම ප්‍රශ්නයක් නම් නෑ. අපි බය වුණේ දුව ගැන. එයා හොඳටම බය වෙලා.
මුළු දවසෙම මුල්ලකට වෙලා ඇඬුවා. වචනයක්වත් කතා කළේ නෑ. අපි හොඳටම බය වුණා, දුවට ආයිත් කවදාවත්ම කතා කරන්න බැරි වේවි කියලා. වාසනාවකට එහෙම වුණේ නෑ.
අපි දූ පුංචි කාලේ ඉඳන්ම එයාව යොමු කළේ අධ්‍යාපනයට. නමුත් එයා රංගන ශිල්පිනියක් වුණා. සමහර විට එහෙම වුණේ සරස්වතී යෝගය නිසාත් වෙන්න ඇති. කොහොම නමුත් දූගේ අතීතය, වර්තමානය වගේම අනාගතයක් දූ වගේම ලස්සන වේවි කියලා මම විශ්වාස කරනවා.
Copy Rights - sarasaviya

Thursday, December 15, 2011

වසරේ විෂිශ්ටතම නිළිය හිමාලි

වසරේ විෂිශ්ටතම නිළිය හිමාලි 

ඇය අපට මුලින් ම හමු වන්නේ රූපවාහිනි වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්‌ නැත්නම් නිවේදිකාවක්‌ ලෙසයි. අනතුරුව ඕ අපට හමුවන්නේ රංගන ශිල්පිනියක ලෙසයි. නිවේදක නිවේදිකාවන් ලෙස කරලියට පැමිණි කිහිපදෙනෙකු ම පසුගිය කාලයේ රංගන ශිල්පීන් ලෙස පුංචි තිරය හරහා අපගේ ආලින්දයට ගොඩ වුණා ඔබට මතක ඇති. මේ මොහොතේ ඒ සියලු දෙනාගේ නම් ගම් අපි හෙළි නොකළත් එයින් කිහිප දෙනකුම තම රංගන ප්‍රතිභාව නිසා ම තම ප්‍රධාන වෘත්තීය ලෙස රංගනය තෝරාගෙන ඇති බව නොරහසක්‌.

හිමාලි සයුරංගි නම් නව යොවුන් රංගන ශිල්පිනිය ද එවන්නියකි.

වසර හයක්‌ පමණ වන තම රංගන දිවිය තුළ ඇය කිහිප වතාවක්‌ ම සම්මානයට පාත්‍ර වුණ බව අපට මතකයි. ඕ.ස.sඅය.sසී , සරසවි සම්මාන හා රයිගම් සම්මානද හිමාලි ලබාගෙන තිබෙනවා. ඒ අතර ඇය පසුගියදා 16 පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ දී වසරේ හොඳම ටෙලි නාට්‍යය නිළිය ලෙස සම්මාන ලැබුවා. ඒ තක්‌සලාව නම් ටෙලි නාට්‍යයේ ගුරුවරියක ලෙස ඇය ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන්.

"ඇත්තට ම සුමති ටෙලි සම්මාන උළෙල සාධාරණ විනිශ්චයක්‌ තුළ මේ සම්මානය ලැබුණා යෑයි මම හිතනවා. මොකද මේ ටෙලි නාට්‍ය විකාශනය වන සමයේ සිට ම කලා ක්‍ෂේත්‍රයේ අය මෙන්ම රසික ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර නාට්‍යට මෙන් ම මා කළ චරිතයටත් ලැබුණා. ඒ නිසා සාධාරණ සම්මානයක්‌ ලැබුණා කියලා මම අහිංසක සතුටක්‌ ලබනවා.

ඔබ නිවේදිකාවක ලෙසත් කටයුතු කරනවා නේද?

ඔව්. යම්කිසි නාලිකාවකට බැඳි නිවේදිකාවක ලෙස කටයුතු කරද්දී වගකීම් වැඩියි. අදාළ නාලිකාව ගැන සිතිය යුතුයි. අපේ භාෂාව වචන භාවිතය ඉදිරිපත් කරන වැඩසටහන ආදිය සියලු දේ ගැන හිතන්න ඕනේ. සජීවි වැඩ සටහනක දී නම් වැරැදීම් නිවැරදි කරන්න බැහැ. මේ නිසා නිවේදිකාවක ලෙස කටයුතු කිරීම වගකීම් වැඩියි.

වඩාත් සතුටු වන්නේ

නිළියක ලෙස ද නිවේදිකාවක ලෙසද ?

මම රංගන ශිල්පිනියක්‌ ලෙස සතුටු වෙනවා. එහිදී මගේ දෙයක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්. එහි අධ්‍යක්‌ෂකවරයෙක්‌ සිටිනවා ඔහුගේ නිර්මාණ අවශ්‍යතාවය අනුව සැහැල්ලුවෙන් ඒ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්.

සමහර අය කියනවා සම්මානයක්‌ ලැබුණා ම සහෝදර ශිල්පීන් මුහුණ බලන්නෙත් නැහැ කියලා. ඔබට කොහොමද ලැබෙන ප්‍රතිචාර?.

හුඟාක්‌ හොඳයි මේ සම්මානයට පාත්‍රවුණ තක්‌සලාව ටෙලිය විකාශය වෙද්දී ලැබුණු ප්‍රතිචාර බොහෝ දෙනකුට මතකයි. ඒ නිසා ඒ ගැන අද කාටවත් දොස්‌ කියන්න බැහැ. අරුණ්‍යාට මම සාධාරණ ඉටු කළ බව දන්න අය මට සුබ පතනවා.
-සුගත්
ජායා- සමන් රණවීර


NAWALIYA

‘ආයෙත් ලංකාව දාලා නම් යන්නේ නෑ’

ආදරණීය ටයි මහත්තයා අප අතහැර ගොස් දෙමසක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින සතකි. මේ සොඳුරු නාමය සැමදා අප අතර රැෙඳන අපූරු නිර්මාණ බොහොමයක් අපට ඉතිරි කර ඔහු යන්නට ගියේය.
සිංහල සිනමාවේ නොමියෙන මතකයක් වන ‘හඳයා’ චිත්‍රපටය පිළිබඳ යළිත් කතාබහ කිරීමට පසුගියදා අපට දුලභ අවස්ථාවක් උදා විය. ඒ එහි රඟපෑ සූප්පුවා, සේන , සුද්දා, උක්කුවාත් මුණ ගැසීමටය. 1979 වසරේදී බොහොම කුඩා ළමුන් ලෙස හඳයා චිත්‍රපටයට එක් වූ ඔවුන් අද ළමා ළපටින් සිටින වැඩිමහල්ලන් බවට පත් වී ඇත. පසුගිය දිනක ඔවුන් යළි මුණ ගැසුණු ඒ සොඳුරු යාමයේ හඳයා හා සම්බන්ධ අතීත සිදුවීම් අප හා පැවසුවේ ටයි අංකල් යන ආදරණීය නාමය ද සිහි කරමිනි.
‘හඳයා’ හි හොඳ හා නරක යන ළමයින් දෙපිරිසකි. නරක වැඩ කරන ළමයින් අතර නායකයා ඔහුය.
‘සූප්පුවා’
කිත්සිරි මෙවන් ජයසේන.
එකම නිවෙසක සොහොයුරන් ලෙස හැදී වැඩුණු ප්‍රදීප් රොෂාන්, කසුන් මධුරසිංහත්, දර්ශන පනංගලත් අද අප අසලය. ඔවුන්ගේ ඒ අතීතය හා බැඳුණු රසමුසු සිදුවීම් අප හා කිව්වේ යම් දුකක් හදවත පොර බඳද්දී වග අපට වැටහිණ. මේ ලිපිය සැකසෙන්නේ ඒ අතීතය සමගිනි.
කිත්සිරි ඒ කාලේ ගජ ඉළන්දාරියා. විශ්වවිද්‍යාලයේ යන කාලයේ ඉඳන්ම නාහෙට නාහන මේ කොල්ලා සයිමන් නවගත්තේගමගේ ගජ මිතුරෙක්. කිත්සිරිට ටයි මහත්තයා මුණ ගැහෙන්න පාර කපන්නේ මේ මිතුරුකමයි. මේ වෙන කොටත් වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වී හිටිය කිත්සිරි,
‘මට රු: 2.50 ක් දීපන්’
කියලා යාළුවෙකුට කිව්වේ අතේ සතයක්වත් නොතිබුණු නිසා. යාළුවාගෙන් ලැබුණු රු: 2.50 ත් අරන් ඔහු ගියේ ටයි මහත්තයා මුණ ගැහෙන්නයි. එතැන රෙක්ස් කොඩිප්පිලි කියන අපේ නළුවත් හිටියා.
තමා ළඟට ආව මේ කොල්ලගේ විදිය ටයි මහත්තයාට අල්ලලා වගෙයි. ඔහු කිත්සිරිගේ කේදාන්තයේ සිට පාදාන්තය දක්වා බැලුවේ විමසිල්ලෙන්.
‘ඒ චරිතයට උඹ නම් කියාපු බඩුව’
ඔහු කිව්වේ ඉඳහිට මුහුණේ රැඳෙනා මඳ සිනහවෙන්.
අන්න එහෙමයි කිත්සිරිමෙවන් සූප්පුවා වුණේ.
දඩබ්බර සූප්පුවාගේ රූගත කිරීම් ආරම්භ වුණා.
‘කිරි ටින් එකට තට්ටු කර කර ගිහින් හරියටම මෙතනින් නතර වෙන්න ඕන’
ටයිටස් තොටවත්ත මහත්තයා සූප්පුවාට කිව්වා.
ඔළුව වනලා පිළිගත්ත සූප්පුවා ටිකක් දුර ගියා විතරයි අධ්‍යක්ෂවරයා කිව්ව දේ අමතක කළා.
ආයෙත් රූප රාමුව රූගත කළා. දෙවැනි වරටත් සූප්පුවට අමතක වුණා.
සූප්පුවා ළඟට ආවේ ටයි මහත්තයා. වැඩි වෙලාවක් ගියේ නෑ ඔහුගේ අත සූප්පුවාගේ කන හරහා යන්න. සූප්පුවට තරු වීසි වුණා.
ඊළඟට දර්ශනය හොඳට රූගත වුණා.
ඒත් සූප්පුවගේ හිතේ ඇති වුණේ තරහක්.
‘මම මොකටද කාගෙන්වත් ගුටි කන්නේ’
මෙහෙම හිතුව සූප්පුවා හිතෙන් ටයි මහත්තයට බනින්න පටන් ගත්තා. ඒ් වුණත් ඒ කනේ පාර දුන්නේ තමන්ට හැදෙන්න කියලා සූප්පුවා තේරුම් ගත්තේ පස්සේ කාලයේ. කොහොම වුණත් කිත්සිරිත්, ටයි මහත්තයත් අතර තිබුණේ අපූරු ළෙන්ගතුකමක්. ඒත් කිත්සිරිගේ විෂය වුණේ චිත්‍ර අඳින එකයි. ටයි මහත්තයත් චිත්‍රවලට බොහොම කැමැතියි. මේ දෙන්නා අතර හිතවත්කමක් ලියලන්න ඒ කාරණයත් හේතුª වුණා.
‘ටයි මහත්තයාගේ ඇසුර හරිම සුන්දරයි.’
එහෙම දැනුණෙ ඔහුට ළං වුණු නිසා. කාලයකදී කිත්සිරි විදේශ ගත වුණා. ඔහු ලංකාවට ආවේ අම්මගේ අවම¼ගුලට.
‘මෙන්න තවත් සමු ගැනිමක්’ ටයි මහත්තයාගේ අවසාන ගමන ගැන කිත්සිරිගේ හිතේ මහා විශාල දුකක් ඇති වුණා.
‘ආයෙත් ලංකාව දාලා නම් යන්නේ නෑ’
කිත්සිරි තීරණය කළා.
ඊළගට අප ඉදිරියට ආවේ ප්‍රදීප් රොෂාන්.
ප්‍රදීප්ට ටයි මහත්තහා මුණ ගැහෙන්නේ විජය කුමාරතුංග නිසා. විජය කුමාරතුංග කියන්නේ ප්‍රදීප්ගේ මාමා කෙනෙක්. තලකොටුවේ නැවතිලා හිටිය ප්‍රදීප්ට පියසේන අහංගමගේ නෑකම මස්සිනා. මේ නිසා තලකොටුවට කලා ක්ෂේත්‍රයේ බොහොම දෙනෙක් ආවා ගියා. දයා තෙන්නකෝන්, ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි, සෝමසිරි දෙහිපිටිය වගේ කලාකරුවෝ. සමහරු ඒ අවටම නැවතිලා හිටියේ. ප්‍රදීප් ට ඔවුන් සමඟ තිබුණේ ළඟ ඇසුරක්. ඒ වෙනකොට ප්‍රදීප් ඕලෙවල් කරලවත් නෑ. මේ අතරයි ‘හඳයා’ කියලා ළඟදී රූගත කරන්නට නියමිත චිත්‍රපටයට ප්‍රදීප් ටයි අංකල් ළඟට ගියේ හරිම බයෙන්. කොහොම වුණත් ප්‍රදීප් හඳයා චිත්‍රපටයට තේරුණා. ඒ ලොකු අයියගේ (සේන) චරිතයට. හඳයා චිත්‍රපටයේදී සූප්පුවත්, සේනත් කඩු ෆයිට් එකක්.
‘ප්‍රදීප් එතනදි එක පාරටම වැටෙන්න ඕන.’ ටයි මහත්තයා ප්‍රදීප්ට උපදෙස් දුන්නා. එක පාරක් කළා. දෙපාරක් කළා. හරි යන පාටක් පේන්න නෑ. ඊළඟ පාර ටයි මහත්තයා ප්‍රදීප්ව තල්ලු කළා. රූගත කිරීම නියමෙට වුණා. කසුන් මදුරසිංහ තෝර ගත්තේ පවුලේ දෙවැනියාට චුට්ටේගේ චරිතයට. එතකොට කසුන් ඉගෙන ගත්තේ 5 ශ්‍රේණියේ මහානාම විද්‍යාලයේ. එදා තිබුණු විවිධ ප්‍රසංගයට අමුත්තෙක් ඇවිත් හිටියා. ඒ ටයි මහත්තයා. කසුන් වේදිකාවේ කළ රංගනය ටයි මහත්තයගේ හිතට ඇල්ලුවා. ඊට පස්සේ ඔහු හඳයා චිත්‍රපටයේ රඟපෑවා.
පිටකොටුවේ බෝ ගහ ළඟ සපත්තු මදිනවා. එක මහත්තයෙක් ආවා මේ පුංචි ළමයා ළඟට. සපත්තුව ඇල්ලුවා. චුට්ටෙ සපත්තුව මැද්දා.
‘හරියට සපත්තුව මදින්නවත් බෑ’
ඔහු බැණ බැණ ගියේ චුට්ටෙට.
මේ දර්ශනයත් රූගත වුණා. පිටපතේ ඒ දර්ශනය නොතිබුණත් ඒ මහත්තයා කසුන් මේ කරන්නේ රඟපෑමක් කියලා දැනගෙන නෙමෙයි එහෙම කළේ. ඒ වුණාට දර්ශනය ඉස්තරම්.
ඊළඟ රූගත කිරීම් තිබුණේ දර්ශන පනංගල උක්කුවගේ චරිතයට පණ පොවන දර්ශන. පනංගල ඒ කාලේ පුංචි කොලු පැටියෙක්. දර්ශනගේ බාප්පා ටයි අංකල්ගේ ගෙදර ගියා. මේ පුංචි කොලු පැටියා බාප්පගේ අතේ එල්ලුනේ ටයි අංකල්ගේ ගෙදරට යන්න. ‘අපූරු කොලු පැටියෙක්’
ටයි අංකල් එහෙම කියලා දර්ශන පුතාගේ ඔළුව අත ගෑවා.
‘ඒ චරිතය මට ලැබුණේ වාසනාවට’
දර්ශන අද එහෙම හිතනවා. දර්ශන සිය අතීතයට ගියා. ඒ කාලේ දර්ශන කියන පුංචි කොල්ලට රඟපාන්න තිබුණේ හෙන්රි ජයසේන කියන අපේ ප්‍රවීණ නාට්‍යකරුවත් සමඟයි.
‘තාත්තේ’
හෙන්රි අංකල්ට අමතන ඒ දසුන දැක්ක විතරයි දර්ශනගේ අම්මා අඬනවා. ටයි අංකල්ට ප්‍රහේළිකාවක්.
‘තාත්තා නැති වෙනකොට පුතා හරිම පුංචියි. අද තමයි පුතා තාත්තා කියනවා කනට ඇහුණේ.’
ටයි අංකල් මේ පුංචි කොල්ලාව උස්සලා තමන්ගේ පපුවට තුරුලු කර ගත්තා.
‘හරිම සුන්දර තාත්තා කෙ නෙක්’
සමුගන්නට මත්තෙන් කිත්සිරි, ප්‍රදීප්, කසුන්, දර්ශන යන සිව්දෙනාගේ මුව විවර වුණේ සොඳුරු පද වැලක් වගේ.

“මොඩ් යකා”

“මොඩ් යකා” රැගෙන රට වටා යන්නට සැරසෙන කපිල සර්

යකුන් ගැන පසුගිය කාලයේ කතා එමටය. ඒ ‘ග්‍රීස් යකුන්’ නිසාවෙනි. දැන් නම් ඒ යකුන් උන්නද මළා ද නැත. කිසිම හා හූවක් නැති ගානය. නමුත් එය පුංචි විරාමයක් යැයි දැන් හැෙඟන්නේ තවත් අමුතුම මාදිලියේ යක්ෂ කතාවක් මේ දිනවල ඇසෙන නිසාය.
‘මොඩ් යකා’ ජන්මය ලැබුවේ කුවෙට් රාජ්‍යයේ ‘දොහා එන්ටර්මන් සිටි’ හි ඉදි වූ අලංකාර වේදිකාවක් මතය. ඒ මීට වසර හත අටකට පමණ පෙරය. ඔහුගේ උපත එදා කුවෙට් වැසියන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් විය.ඒ ‘මොඩ් යකා’ උපන් ගෙයි විනෝද කාමියකු වූ බැවිනි.
‘කපිල සර් කිව්වම මුළු කුවේටයම මාව දන්නවා. ඒ තරම්ම මම එහෙ ජනප්‍රියයි. මොකද අපේ රටේ සිංහල නැටුම් කලාව කුවෙට් රාජ්‍යයට හඳුන්වා දීලා ජනප්‍රිය කෙරුවෙ මම. මගේ වයසෙන් බාගයක්ම ගත කළේ එහෙ. ඒ කියන්නෙ අවුරුදු තිහකට ඔන්න මෙන්න වගේ කාලයක්. ‘මොඩ්’ කිසිම ඉස්පාසුවක් නැතිවම කතා කරයි.
මම මුලින්ම ‘මොඩ් යකා’ ප්‍රසංගය කුවෙට් රටේදී පෙන්නපු අවස්ථාවේම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසාමයි ලංකාවටත් ‘මොඩ් යකා’ ගෙන එන්න අදහස් කළේ. මම දන්නවා අපේ සහෝදර ප්‍රේක්ෂකයන්ටත් ‘මොඩ් යකා’ හොඳට අල්ලලා යයි කියලා.
‘මොඩ්ව’ අරගෙන දැන් රට වටේම යන්න මම සූදානම්. මේ වන විටත් බොරැල්ල, රාජගිරිය, ගම්පහ වගේ කීප තැනකම මොඩ් යකා නටලා ඉහළම ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
ටී. එන්. එල්. එකේ ඒ. ඉ. ර්‍ථ පැදුරු පාටියෙන් තමයි මාව මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුන්නේ. ඒ පිළිබඳ ඒ. ඉ. ර්‍ථ. ලියනගේ මහත්මයාට මගේ ගෞරවය පිරිනමනවා, ඔහුගේ දිග කතාව මොහොතකට නැවතිණ.
කපිල බාලසූරිය කුවේටයට පළමු වරට ගියේ අසූව දශකයේ මුල් භාගයේදීය. සදාම් හුසේන් අනූ එකේදී කුවේටය අල්ලා ගත් පසු ඔහුටත් ලංකාවට එන්නට සිදු විය. නැවතත් ඔහු එහි ගියේ අමෙරිකාව සදාම් හුසේන් පන්නා යුද්ධය නිමා කළ පසුවය.
ම් අතර කාලය වසර විසි අටක් පමණ හවුස් කීපිං සුපවයිසර් කෙනෙක් ලෙස සේවය කළ ඔහු ඉඩ ලැබෙන සෑම වෙලාවම යොදා ගත්තේ කලා කටයුතු සඳහාය. ඔහු දක්ෂ නර්තන ශිල්පියකු හා ගායකයකු ද විය. ලංකාවෙන් යන සෑම සංගීත කණ්ඩායමක් සමඟම ඔහු එහිදී ගී ගැයුවේය. අසල්වැසි අරාබි රටවල ප්‍රසංග සඳහාද ඔහුට ආරාධනා ගලා ආවේය. ඒ ඔහු සතු වූ මේ සුවිශේෂ හැකියාව නිසාය.
පිටරටක හිටියත් නිතරම සිංහල සිරිත් විරිත් ගරු කළ ඔහු සිංහල සංස්කෘතිකාංග කුවෙට් ජාතිකයන්ට ද හුරු කරලීමට විශාල වෙහෙසක් ගත්තේය. සෑම සිංහල අවුරුදු සමයකම සිංහල නැටුම්, නාට්‍ය, සංගීත ඇතුළත් සංස්කෘතික උළෙලවල් සංවිධානය කරමින් කුවෙට් වැසියන් ද ඒවාට දායක කර ගත්තේය. මේ සඳහා සුනිල් පෙරේරා නම් තවත් ලාංකිකයෙක් ද ඔහු හා මුල් විය.
2000 වර්ෂයේ පැවැති ‘ශ්‍රී ලංකා දිනය’ නමැති තවත් උළෙලකදී කුවෙට් ජාතික තරුණියන්ට අපගේ පාරම්පරික උඩරට, පහත රට නැටුම් පුහුණු කරවා වේදිකාවට ගෙනාවේය. ‘මේ කුවෙට් තරුණියන්ට මම නැටුම් ඉගැන්නුවෙ හරිම වෙහෙසක් දරලා.
මාස ගණනක් පුහුණුවීම් කරලා. අපරාදෙ කියන්න බෑ අපේ සිංහල ළමයි වගේම කිසි වෙනසක් නැතුව ඔවුනුත් එදා නැටුවා. උපේක්ෂා ස්වර්ණමාලි පළමු වතාවට වේදිකාවකට ගෙන්නුවෙ මම මේ ෂෝ එකෙන්. එතකොට එයාලා පදිංචි වෙලා හිටියෙ එහෙ.
උපේක්ෂාටත් මම තමයි නැටුම් ඉගැන්නුවෙ. එයා හරිම උනන්දුවෙන් හොඳට ඉගෙන ගත්තා. මට එදා තේරුණා කවදා හරි එයා කලාව පැත්තෙන් ඉහළටම යනවා කියලා. මම ඒ බව එදාම එයාට කිව්වා.’ පුතේ ඔයා කවදා හරි ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ හිනි පෙත්තටම යනවා’ කියාලා.
ඒ වගේම එයා හරිම කීකරු ළමයෙක්. මට හරිම සන්තෝෂයි එයා අද ඉන්න තැන දැක්කම. එහි කොටස් කාරයෙක් වෙන්න ලැබුණට මට තියෙන්නෙ කියන්න බැරි තරම් සතුටක්. ඒ වගේම උපේක්ෂාගෙ අම්මා නිර්මලීත් අපේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් දුන්නා.ඇයට හොඳ කලා රසිකත්වයක් තිබුණා. කපිල යටගියාව සිහිපත් කළේ බොහොම හැඟීම්බරවය.
මේ කාලය තුළ ඔහු තවත් අපූරු වික්‍රමයක් කර ඇති බව සියැසින්ම මට දැකගන්නට ලැබුණේ ඔහු දුන් වීඩියෝ පටයක් නැරැඹීමෙණි. එය ප්‍රසංග වේදිකාවකි. නීල් ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සංගීතය සපයයි.
කුවෙට් ජාතික තරුණියන් දෙදෙනකුට සිංහල උගන්වා ඔහුත් සමඟ හරි හරියට රඟපෑමේ යෙදේ. හාසේ‍යීත්පාදක ගණයේ නාට්‍යයක් වූ එහි ඔවුන් ඉතා දක්ෂ ලෙස සිංහල භාෂාව හසුරුවන අයුරු පුදුම සහගත බවක් ගෙන දේ.
සුළු මොහොතකින් එම තරුණියන් දෙදෙනාම අපේ පැරැණි ජනප්‍රිය සිංහල ගීත රැසක් සන්ෆ්ලවර්ස් සංගීතයට අනුව ගායනා කරන අයුරුත් දැක ගත හැකි විය. අෆාඒ සහ නුරා එම තරුණියන්ගේ නම් බව කපිලගෙන් දැනගන්නට ලැබුණි.
ඔවුන්ට සිංහල භාෂාවත්, මෙම ගීතත් පුහුණු කිරීමට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදු වූ බව ද ඔහු පවසයි. මෙවැනි විශ්මිත වූ විශාල වැඩ කොටසක් කරමින් සිංහල කලා රසාංග කුවෙට් දේශයට හඳුන්වා දුන් ඔහු කුවෙට් වැසියන්ගේ නොමඳ ආදරයට පත්ව සිටියේය.
‘කපිල සර්’ කියා කට පුරා ඔහු ආමන්ත්‍රණය කරන්නට ඔවුන් පුරුදුව සිටියේ ඔහු කළ එම සේවයට ගරු කිරීමක් ලෙසය.
දැන් කපිලට මේ 0774369400 අංකයට ඇමතීමෙන් ‘මොඩ්’ සමඟ සම්බන්ධ විය හැකිය.

අපි ඒ ගැන කතා නොකර ඉමු

ලකීට සම්මාන ගෙනා ‘ලක්ෂපති’ ට මොකද වුණේ?
 

අපි ඒ ගැන කතා නොකර ඉමු

දහසක් දරුවන්ගේ දෙනෙත් පාදපු නීටා ඩයස් ඉස්කෝලේ හාමිනේ දහ අතේ කල්පනා කළා.
‘අපේ පුතාව මොන ඉස්කෝලෙටද යවන්නේ?’
ඒ කතාවට හූමිටි තිබ්බේ වොලී ඩයස්. ලක්ෂ්මන් ඩයස්ගේ තාත්තා. ලකීගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.
‘කොළඹ ආනන්ද විද්‍යාලය හොඳා’
වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.
‘මෙකද ඉතිං අපට දරුවෝ දහ දෙනෙක් ඉන්නවා කියලයැ, මේකා විතරයිනේ.’
නීටා ඩයස් ගේ හිතේ මල් පිපුණා. ලකී ඉපදුණ දා ඉඳලා ඈට ඕන වුණේ තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් කරන්නයි. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක්. මේ කොයි කවුරු වුණත් කමක් නෑ. පියෙන් පිය තබලා ඇවිදින ලකී පුතාගෙ මුහුණ බලාගෙන ඈ නොයෙක් වර හීන මැව්වා.
ලකී ගම්පහ පුරවරයෙන් කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ එහෙමයි.
‘අපූරු හුරුබුහුටි කොලු පැටියා’
දවසින් දවස උස් මහත් වන ලකීව දකින ගමේ හැමෝම කිව්වා. ලකීගේ ඒ අපූරු හුරුබුහුටිකමත් සමඟම තිබුණේ දඟකාර බවක්. කිසිම අඩු පාඩුවක් නැතුව හැදුණු වැඩුණු ලකීගේ දඩබ්බරකමට වෙලාවක් තිබුණේ නෑ. දඩබ්බරයන් රොත්තකට නායකයා වුණු ලකී කාටත් හොරා ආනන්දයේ වැට පැන්නේ චොප්පෙ කියන චණ්ඩියා බලන්න. ඊළඟ දවසේ 10.30 ට බොරැල්ලේ රිස්ට් එකේ මැටිනි ෂෝ එකක්. ඊට පස්සේ කොලු රංචුව නැග්ගේ පුංචි කෝච්චියේ රවුමක් යන්න.
ලකීගේ මේ කොලුකම් ගැන ඇහැ ගහගෙන හිටිය අපූරු කෙනෙක් ආනන්දයේ හිටියා.
‘කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ’
ඔහු ලකීට අපූරු දඬුවමක් දුන්නා. ඒ ශිෂ්‍ය නායක පදවියක්. ඒ තමයි ලකීගේ මුල් ගුරුතුමා. දෙවැන්නා ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා. ලකී ජීවිතේ පිළිබඳ අපූරු පාඩම් කිහිපයක්ම ඉගෙන ගත්තේ මේ ගුරුතුමාගෙන්. කාලයක් රාජ්‍ය ඇමැති වෙලා හිටිය මෙතුමාත් ලකීත් අතරතිබුණේ අපූරු බැඳීමක්. ඒ බැඳීම කොයි තරම් දුර දිග ගියාද කිව්වොත් ලකී නැවතුණේ රටක් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙලා.
‘මා අද දක්වා පැමිණි ගමනේදී ලබාගත් ජයග්‍රහණයන් පසුපස ඔවුන්ගේ ආශිර්වාදය සැමදා තිබෙන බව නිසැකයි.’
ලකී ඩයස් කියන ඒ විශිෂ්ට රංගන ශිල්පියාගේ ස්වරය මාව රැගෙන ගියේ අතීතයට. කාලෙකට පස්සේ ඒ ආරිය සිංහල ඇඳුම ඇන්ද බලදේව මුණ ගැහෙන්න අපි ගියා ඔහුගේ නිවෙසට. ‘
මේ චරිතයෙන් මතු වෙන්නේ සේකරගේ චරිතය. ඒ නිසා රැවුල කපන්නම වෙනවා.’
පරාක්‍රම නිරිඇල්ල කිව්වේ ලකීව ඉහළ සිට පහළට නිරීක්ෂණය කරන ගමන්. සෝමවීර සේනානායකත් ඒ අදහස පිළිගත්තේ ඔළුව වනලා.
‘මට මේ චරිතය නොලැබුණත් ඒක නම් කරන්න බෑ.’
පරාක්‍රම නිරිඇල්ලත්, සෝමවීර සේනානායකත් මුහුණෙන් මුහුණ බලා ගත්තා. ඒ මේ ඉළන්දාරියාගේ කීමට. අන්තිමට මේ දෙන්න තීරණයකට ආවා. බලදේවගේ රැවුල නොකපන්න. බලදේවගේ මුහුණේ රැඳුණු ඒ රැවුල අද ලකීගේ මුහුණෙන් අතුරුදන්. එක කාලයක මුළු රටක්ම ආදරය කළ බලදේවගේ ඒ සිනාව නම් කාටවත් උදුර ගන්න බැරි වෙලා වගෙයි. කාලයක් බලදේව සර්ට ආදරය කළ අපට එහෙම සිතුණා.
‘ඉතිං බලදේව සර්’
ඔහුගේ සිනහව කට දෙකොනට විහිදුණා. ඒ සිනහවේ අපූරු කතාවක් හැංගිලා.
‘ළඟදි ලැබුණු සම්මානය ගැනවත්ද?’
‘පසුගිය දවස්වල තිබුණු සුමති සම්මාන උළෙලේදී මට ලැබුණේ ප්‍රශස්ථ ඇගයීම් සම්මානයක්. ඒ ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති කියන වැඩ සටහන මෙහෙයවීම සම්බන්ධයෙන්. මේ ලැබුණු ලක්ෂපති සම්මානය මට මෙතෙක් ලැබුණු සියලු සම්මාන අභිබවා ගිහින්. මගේ ජීවිතයේ ලොකුම සම්මානය බවට පත් වුණා කියලා කිව්වොත් නිවැරැදියි.
මම එහෙම කියන්නේ මෙතෙක් ලැබුණු බොහෝ සම්මාන මට ලැබිලා තියෙන්නේ රංගනයට, අධ්‍යක්ෂණයට හා නිෂ්පාදනයට කියන රංගනයට අදාළ කටයුතු සඳහායි. නමුත් මේ සම්මානය ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තක් සඳහායි.
ඒ කියන්නේ කවුරු හරි මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කළ දෙයකට තමයි මට මේ සම්මානය හිමි වුණේ. ඒ නිසා මේ ලැබුණු සම්මානය මට ජීවිතයටත් වඩා වටිනවා. ලක්ෂපති වැඩසටහන කරන කාලයේදී අසීමිත ජනප්‍රියත්වයක් වගේම වැඩිම පිරිසක් නරඹන වැඩසටහනක් විදියට අපි වාර්තාවක් තිබ්බා.
ඒත් මොකක්දෝ දෙයකට වගේ වැඩසටහනෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් අද ඒ තිබුණු තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා. යන යන තැන හැමෝම අය මැසිවිලි නඟන්නේ ලකී ඩයස් නැතුව අපි මේ වැඩසටහන නරඹන්නේ නෑ කියලයි.
ඒක එක්තරා විදියක දුකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් නැතිවාම නෙවෙයි. මොකද ඒ නිසාම වෙන්න ඇති මගේ තිබුණු අගය තේරුම් ගත්ත ජූූරියක් මට මේ සම්මානය ලබා දුන්නේ.’
‘සිරස රූපවාහිනියේ විකාශය වුණු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩසටහනේ ඔබ දැන් නැහැ. ඇයි එහෙම වුණේ?’
‘ඒ ගැන අපි කතා නොකර ඉමු. මේ කොහොම වුණත් මේ සම්මානය ලබා ගැනීමට මට උදව් කළ අය බොහොමයක් මේ සම්මානය පිටුපස ඉන්නවා. අපි ඔවුන් පිළිබඳ කතා කරමු. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩ සටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලේන්ද්‍ර දේශප්‍රියට මගේ ස්තුතිය පළමුව හිමි විය යුතුයි.
මොකද මේ වැඩසටහනට මාව යොමු කළේ ඔහුයි. ඒ වගේම මේ වැඩ සටහන ලෝක ප්‍රසිද්ධ වැඩ සටහනක්. එංගලන්තයෙන් පැමිණි ඒ පිරිස වැඩසටහන මෙහෙයවීමට මා තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ටත් මා ස්තුති කළ යුතුයි. වැඩසටහන මෙහෙය වීමේදී තිරය පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටියා. මගේ කටයුතු සොයා බැලීමට වෙනම පිරිසක් යොදවලා තිබුණා.
වෙරෝනිකා ඒ වගේම ධනුෂ්ක කියන සම අධ්‍යක්ෂවරයා, විරාජ් වැලිවත්ත කියන අධ්‍යක්ෂවරයා ඇතුළු හැම දෙනාම මතක් කළ යුතුයි. මේ සම්මානය පිටුපස ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් තිබෙන බව කියන්නේ මම බොහොම කැමැත්තෙන්. ඒ වගේම මට සම්මානයක් ලබා දුන්න ජුරිය නිවේදකයෙක් ලෙස මා ඇරැඹූ ගමනේ සාර්ථකත්වය සනාථ කළා. මගේ ස්තුතිය ඔවුන්ටත් හිමි විය යුතුයි.’
සම්මාන පිළිබඳ මතකයට නැඟෙන විට අපේ සිතට පිවිසෙන්නේ අපූරු සිද්ධියක්.
ලකී පුංචි තිරයට ආවට පස්සේ දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණේ ඔහුගේ දක්ෂතාව අගයලා. ඒ වගේම ජනප්‍රියත්වයට.
‘මේ සම්මාන මටම ලැබිලා කොහොමද?’
ලකී ඩයස් කියන මේ හිත හොඳ රංගන ශිල්පියා තීරණයකට ආවා. ඔහු ලියුමක් ලිව්වා. ඒ සුමති සම්මාන උළෙලේ නියාමකතුමාට, තිලංග සුමතිපාල මහත්තයාට.
‘මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාගේ නිර්දේශිත නාමයන්ගෙන් මම ඉවත් වෙනවා.’
රංගන ශිල්පියෙකුගේ ඒ වගේ කැප කිරීමක්.හැමෝටම එහෙම හිතුණා.
‘අදත් ජනප්‍රිය නළුවා, නිළියට සම්මාන ලැබෙනවා. මොකද හිතෙන්නේ?’
‘ඒක බොහොම කාලයකට ඉස්සර සිද්ධ වුණු දෙයක්. යශෝරාවයෙන් පස්සේ දිගින් දිගටම රඟපාන්නට අධ්‍යක්ෂවරුන්ගෙන් මට ආරාධනා ලැබුණා. මේ රඟපෑ ටෙලි නාට්‍යවල මගේ රංගනයට දිගින් දිගටම සුමති සම්මාන උළෙලේ දී සම්මාන ලැබුණා. ඒ වගේ එක් අවස්ථාවකදී යළිත් මගේ නම ජනප්‍රිය නළුවාට නිර්දේශ වී තිබුණා. ඒ අවස්ථාවේ මම ඉල්ලා අස් වෙන බව කියමින් තිලංග සුමතිපාල මහත්තයට ලියුමක් ලිව්වා.
දිගින් දිගටම මට සම්මාන හිමි වුණොත් අනෙත් දක්ෂ රංගන ශිල්පීන්ට සම්මානයක් ලැබෙන්නට තිබෙන අවස්ථාව නැති වීම පිළිබඳ මගේ සිතට ඇත්තටම ඇති වුණේ දුකක්. මම නිසා ඔවුන්ට අසාධාරණයක් වෙනවා කියන හැඟීම ඇති වුණා. ඒ නිසයි ඔහුට එවැනි ලියුමක් ලියා ඉල්ලීමක් කළේ. ඒ අතීතයේදී. නමුත් අද මේ තත්ත්වය හොඳටම වෙනස්.
අද ඉන්න සමහර නළු නිළියෝ ජනපි‍්‍රය නළු නිළියෝ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කියන අය සල්ලි තියෙන වයසට ගිය ගැහැනියක් හරි මිනිහෙක් හරි අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ සල්ලිවලින් පත්තරවලට කූපන් දමලා, නැත්නම් එස්. එම්. එස්. ගහලා ලස්සන සූට් එකක් ඇඳලා අත් දෙක උස්සලා සම්මානයක් ගන්නවා. මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. ඒ මදිවට ලංකාවටම පෙන්නන්න හදනවා මම තමයි ජනප්‍රිය නළුවා කියලා. ඒ වුණාට ප්‍රධාන චරිතයක්වත් රඟපාලා නැහැ. අන්න එහෙමයි අද ජනප්‍රිය නළු නිළියන් වෙන්නේ.’
කොහොම වුණත් නීටා ඩයස්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව සඵල නොවුණත් ලකී ඩයස් ලංකාවේම ජනතාව ආදරය කරන විශිෂ්ට රංගධරයෙක් වුණා. ඔහු රංගනයට පිවිසි කාලයේ රඟපාන බවක් නිවැසියෝ දැනගෙන සිටියේ නැති තරම්. කොහොම වුණත් පුතණ්ඩියා වරින්වර වෙනස් කරන රැවුලත්, කොණ්ඩයත් ගැන ඉස්කෝලෙ හාමිනේට තිබුණේ සැකයක්. අල්ලපු ගෙදර හිටිය මනුස්සයා ලකී ඩයස් රඟපෑව වජිරා ච්ත්‍රපටය බැලුවා.
‘ඉස්කෝලේ හාමිනේ ලකී ඊයේ පොලිස් චරිතයක් කළා නේද? ඒකද අර රැවුල එහෙම වෙනස් කරලා තිබුණේ.’
‘එහෙනනම් ඉතිං එයා කියනවනේ’
ලකීගේ අම්මා ගත් කටටම කිව්වා. අල්ලපු ගෙදර කෙනාට ලකීව අඳුන ගන්න බැරි වෙලා. ලකී හෙමින් ගෙදරින් ගියේ ඒ කතාව ඇසෙන්නේ නැති ගානට.
එතැනින් පටන් ගත්ත ලකීගේ රංගන ගමන නිරූපමාලා, හිමි අහිමි, ඇබෑර්තුව, ඉරට හඬන මල්, අහිංසා, සිරිමැදුර, අවරගිර, අනුරාගයේ අනන්තය, මධු සමය ආදී නිර්මාණ ඔස්සේ පුංචි තිරය, රිදී තිරය දක්වා විහිදුණා. යශෝරාවයේ බලදේවගේ චරිතය කාගෙත් කතාබහට ලක්වුණා. ඔහු වැනි තරුණයෙකුගේ රංගනය විශිෂ්ට බව කියලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිතර කිව්වා. එතැනින් පස්සේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ලකී ඩයස්ට ගෙනාවේ ශක්තියක්.
‘මගේ ජීවිතයේ ඊළඟ ගුරුවරු වුණේ ගාමිණී ෆොන්සේකා කියන විශිෂ්්ට නළුවා. ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ඔවුන් දෙදෙනාගෙන් මගේ රංගන ජීවිතයට ලැබුණු උපදෙස්වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. ඔවුන් දෙදෙනා මට රංගන පාසලක්.’
‘සුවඳ ඔබයි අම්මේ’, ‘සිව් දිය දහර’ වගේ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පමණක් සීමා වී සිටි ඔහු අධ්‍යක්ෂණයටත් පිවිසියා. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කාලයක් ඔහුගේ ජීවිතය වුණා.
‘කාලයකින් ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයක් අපි දුටුවේම නැහැ.’
‘අලුතින් මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නෑ. ඒ අද ටෙලි නාට්‍ය කලාව බල්ලට ගිහින් නිසයි. ඒවායේ ගත යුත්තක් නෑ. අද චැනල්වලින් ගෙවන ගණන්වලට ටෙලි නාට්‍ය කරන්න බෑ. ටෙලි නාට්‍යවලට ගෙවන්න බැරි හේතු තිබෙනවා. ඒ ලංකාවේ වී ඇටය ද වැලි ඇටය ද දිනෙන් දින සත 50 කින් රුපියලකින් ඉහළ යද්දී කලාව විතරක් දහස් ගණනින් බාල්දු වෙන නිසයි.
මොකද තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්න, තමන්ගේ සාක්කුව පුරව ගන්න අම්මා මුත්තත් විකුණන හැදිච්චකමක් නැති මිනිස්සු කලාවට ඇවිල්ලා. කිසිම ප්‍රමිතියක් නැති, කිසිම කතාවක් නැති, මුළු දරු පරපුරම විනාශයට ඇද දමන දේ තමයි මේ නාට්‍යව ලින් පෙන් වන්නේ. මේ නිර්මාණවල තිබෙන භාෂාව අන්තිමයි. මේ නාට්‍යවල තිර පිටපත් ලියන බොහෝ අය තමයි මේ වරද කරන්නේ. ඒ අය සමාජ අධ්‍යයනය කරලා නෑ. අයන්න, ආයන්නවත් ලියා ගන්න බැරි අය තමයි අද පිටපත් ලියන්නේ.
මේවා ලියන්න අනුබල දෙන්නේ කවුද නිෂ්පාදකවරු. ඒ බහුතරයේ ඉන්න නිෂ්පාදකවරු වෙන්නේ පාන් බේකරි කාරයෝ, අරක්කු තැබෑරුම් කාරයෝ. එහෙම නැත්නම් අධර්මිෂ්ටව මුදල් හොයා ගත්ත අයයි. ඔවුන් නිර්මාණයන්ට තම මුදල් යොද වන්නේ කලාවට තිබෙන ආදරය නිසාවත්, කලාකරුවන්ට තිබෙන ආදරය නිසාවත් නෙමෙයි. වෙන වෙන දේ බලාපොරොත්තුවෙන්.
ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කොහොම වුණත් මේ අතර හොඳ නිෂ්පාදකවරු, හොඳ පිටපත් රචකයන්, හොඳ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ අය පිළිබඳ නෙමෙයි මා මේ කතා කළේ. අනිත් අය පිළිබඳයි. කලාව කියන්නේ උත්තරීතර ගෞරවනීය දෙයක්. ඒක ඔවුන් විනාශ කරනවා. මේක හරිම ඛේදවාචකයක්.’
කවුරු හරි ඇහුවොත් එහෙනම් ඔබත් මේ ටෙලි නාට්‍ය රඟපානවා නේද කියලා?
‘එහෙම නොවුණොත් අපේ ගෙදර බත් කන්නේ කොහොමද? මම ජීවත් වෙන්න සමාජ විරෝධී දේවල් කරන්නේ නෑනේ. කන්න, බොන්න, අඳීන්න, ගමනක් බිමනක් යන්න, යාළුවෙක් හමු වෙන්න, අසරණයකුට සලකන්න ඕන. මේ හැම දේටම මුදල් අවශ්‍යයි.
මුදල් හම්බු කරන්න මට සමාජ විරෝධී දේවල් කරන්න බෑ. අනිත් කාරණය තමයි මේ ටෙලි නාට්‍යවලට කතා කරන කොට කියන්නේ නෑනේ මේ ටෙලි නාට්‍යයට කතාවක් නෑනේ කියලා. මේක ලියන කෙනාට ලියන්න බැහැයි කියලා කියන්නේ නෑ.
ටිකක් දුර යන කොටනේ දැනෙන්නේ රේල් පීල්ල පැනලා කියලා. මගේ ගෙදරත් බත් කන්න ඕන නිසා රඟපානවා. සල්ලිවලට. මම මෙහෙම කියන්න ලැජ්ජා වෙන්නේ නෑ. පස්සේ හිතෙනවා සල්ලිවලට වුණත් මගේ ආත්මය පාවලා දෙන්න පුළුවන් ද? ඊට පස්සේ දමලා ගහලා යනවා.
මේ දවස්වල ඔබ අලුත්ම ටෙලි නිර්මාණයකට දායක වෙලා නේද?
‘ඇත්තටම කාලෙකට පස්සේ කරන හොඳ ටෙලි නාට්‍යයක්. මම වගේම මේ ටෙලි නාට්‍යයේ සබීතා, දිල්හානි, නිමන්ති, කාංචනා වගේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රැසක් රඟපානවා. මෙහි නිෂ්පාදිකාව කලාවට යමක් කිරීමට උවමනාව තිබෙන නෝනා මහත්මියක්. අධ්‍යක්ෂණය කරන්නේ සාරංග මෙන්ඩිස් කියන තරුණ අධ්‍යක්ෂවරයා. ඔහුත් හොඳ නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්.
‘මේ දවස්වල බොහොම කාලයකට පෙර රූගත කළ ‘අකුණු සැර’ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.27 ට විකාශය වෙනවා.
එහි මා රඟපාන්නේ විලී කියන දාමරික මනුස්සයකුගේ චරිතයක්. සරම් කෝට් අඳින මේ චරිතය ඔස්සේ මගේ රඟපෑමේ වෙනසක් දැකිය හැකියි.’
ඔහුගේ වේගවත් හඬ ගලා යන්නේ වේගවත් සැඩ පහරක් වගේ. කියන්නට තියන දේ කෙළින් කියන ඔහු අපූරු හිත හොඳ මනුස්සයෙක්. දයාබර මවකට දයාබර පුතෙක්.
‘ඒ පුතා ගැන අම්මා අද ගොඩක් ආඩම්බර වෙනවා.’
ලකී ඩයස් නම් ඒ විශිෂ්ටයා සිය මව්ගේ මතකය අතර සිර වෙලා. මේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ ඔහුට හොඳ නිර්මාණයකින් , අධ්‍යක්ෂණයකින් අප අතරට පැමිණෙන්නට අවකාශය හිමි වේවා යන්න සරසවියේ අපගේ ප්‍රාර්ථනයයි.

බබා පුංචි කාලේ බිව්වෙ එළ කිරි නෙමෙයි, අලි කිරි

රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයි




පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති.
සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක.
මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ.
මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන.
පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට ළමයින්ට නලියන්නෙ නැතිව ඉන්න බෑ කියන්නෙත් නිකන් නෙවෙයි නේ.
අපේ බබා කියන විදිහට එයා පුංචි කාලේ බීලා තියෙන්නෙ එළ කිරි නෙවෙයි, අලි කිරි. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? පුතාලාට මම පොඩි කාලේ දුන්නෙ එළකිරි.
ඉතින් මම දවසක් එයාලට එලිෆන්ට් හවුස් එකෙන් එළකිරි ගෙනහල්ලා දුන්නා. ඒ කිරි බෝතලේ පිටතින් එලිෆන්ට් හවුස් කියලා වගේම ලාංඡනයේ ඉන්නේ අලියානේ.
ඒ නිසා බබා හිතලා තියෙන්නේ එයා බොන්නේ අලි කිරි කියලා. හිතලා විතරක් නතර වුණා නම් මදැයි. එයා බොන්නෙ අලි කිරි කියලා යාළුවන්ටත් කියලා.
හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා.
මෙයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හවසට අර අඹ ගහේ අත්තක ලනුවක් ගැට ගහනවා. ඊට පස්සේ ටාසන් වගේ පොකුණේ ඒ පැත්තටයි මේ පැත්තටයි ලනුවෙ එල්ලිලා කෑ ගගහා යනවා.
හැබැයි සේරම දඟ වැඩ ගෙදරදි තමයි. ඉස්කෝලෙදි නම් දඟ නෑ. කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉස්කෝලෙදී මොහොකටම හරි පුතාව තෝර ගත්තොත් ‘අනේ මට ලැජ්ජයි’ කියලා අයින් වෙනවා.
පුංචි කාලේ පිරිසක් ඉදිරියේ වේදිකාවකට නග්ගන්න නම් කොහෙත්ම බෑ. දවසක් බබාව ගායනා තරගෙකට ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා.
මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා.
හැමදාම පුහුණුවීම්වලට යන අතරවාරෙදි මගෙන් අහන්නෙම, ‘අම්මෙ කොහොමද මං සෙනඟ ගොඩාක් ඉස්සරහ සින්දු කියන්නේ? මට ලැජ්ජයි අම්මෙ, මම අසනීප වුණොත් මොකද වෙන්නේ’ වගේ දේවල්.
පස්සෙ ,පස්සෙ මටත් බය හිතුණා දරුවාට ගායන තරගෙ මානසික වදයක් වේවි කියලා. ඒ නිසා මගේ උනන්දුවත් ටික ටික අඩු වුණා. කොහොම හරි පුතාම හිතලා හිතලාම කැස්සක් හදා ගත්තා.
එතනින්ම එයාගේ ගායන තරගෙත් අවසන්. දැන් නළුවෙක් වුණාට පුංචි දවස්වල ඔය වගේ තමයි ඉදිරිපත් වීමේ හැකියාව. බබා පොඩි කාලේ නම් මම හිතුවෙ එයා කවදා හරි විද්‍යාඥයෙක් වේවි කියලා.
එයාට ඉස්කෝලේ යන කාලේ ගෙදර පුංචි විද්‍යාගාරයකුත් තිබුණා. එයයි තව එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විවිධ අත්හදා බැලීම් කරනවා විද්‍යාගාරයේදී.
පුතාගේ පුංචි විද්‍යාගාරය තිබුණේ අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. දවසක් මම කාමරේට ගිහාම දැක්කා ඇසිඩ් තියෙනවා. ඒක දැක්කාම මට හොඳටම බය හිතුණා.
පොඩි අයනේ, මොනවා හරි කරන්න ගිහිල්ලා ඇසිඩ් කාගේ හරි ඇඟකට වීසි වුණා නම් . . . නමුත් ඉතින් හැම දේම වෙන්නේ දෛවය අනුවනේ. පුංචි කාලේ සිංදුවක් කියන්නවත් ඉදිරිපත් නොවුණු මගේ ලොකු පුතා දැන් රටම දන්න, රටම ආදරය කරන නළුවෙක්. මට ඒ ගැන සන්තෝසයි.

Friday, December 2, 2011

අමීර් ඛාන්



1. සම්පූර්ණ නම – අමීර් හුසේන් ඛාන්
2. උපන් දිනය – 1965 මාර්තු 14
3. උපන් ස්ථානය – බන්ද්‍රා ප්‍රදේශයේ ශුද්ධ වූ පවුලේ රෝහල
4. පියා - චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ තහීර් හුසේන්
5. මව - සීනත් හුසේන්
6. සහෝදරයා - ෆයිසාල්
7. සහෝදරියන් – නිඛාට් සහ ෆාහඩ්
8. බිරිඳ – රීනා දත් (1986 විවාහවී 2002 දී වෙන්වීය.)
(මේ වනවිට විවාහ කරගෙන සිටින්නේ කිරන්රාඕ)
9. දරුවන් – ජුනයිඩ් (පුතා) ඊරා (දුව) පළමු විවාහයෙනි.
10. කුලුඳුල් සිනමා රංගනය – 1973 දී තිරගත වූ ‘යාසෙන් කි බාරාත්’ චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කිරීම.
(චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාමා කෙනෙකු වූ නසීර් හුසේන්)
11. ජනපි‍්‍රය වූ චිත්‍රපටය – 1988 දී තිරගතවූ ‘ක්්‍යාමත් සෙ
ක්්‍යාමත්ටක්’ චිත්‍රපටයේ රඟපෑමෙන්
12. මෙතෙක් රඟපා ඇති චිත්‍රපට - 43
13. නිෂ්පාදනය කළ චිත්‍රපට - 07
14. අධ්‍යක්ෂණය කළ චිත්‍රපට - 01
15. මෙතෙක් ලබා ඇති සිනමා සම්මාන - 09
16. නිෂ්පාදනය කළ ජනපි‍්‍රය චිත්‍රපට – ‘ලගාන්’ (2001) ’තාරෙ සමීන් පර්’ (2007)(මෙම චිත්‍රපට වෙනුවෙන් වසරේ හොඳම චිත්‍රපටවලට පිරිනැ මෙන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන හිමිවිය.)
17. ලිපිනය - 11 Bela Vista Apts., Palli Hill, Bandra, Mumbai 400 050

විඳින්න ඕනෙ උපරිමය මම විඳලා තියෙනවා

අභිෂේකා විමලවීර
ඇය සුභාෂිණී අභිෂේකා විමලවීර. බොහෝ දෙනෙක් ඇයව හඳුන්වනු ලබන්නේ අභිෂේකා නමින්. අභිෂේකා කලා පරපුරක එක් පුරුකක්. පුංචි අවධියේම ස්වාධීන රූපවාහිනී සේවයේ “ළහිරු මඬළ” ළමා වැඩසටහන මෙහෙයවමින් කලා ලොවට පිවිසුණු ඇය; මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ දුරක් ඇවිදින්. “අද තරුවක් සමග වරුවක්” විශේෂාංගය වෙන්වන්නේ අභිෂේකා සමග කළ කතාබහ වෙනුවෙන්.
අභිෂේකා ඔබේ පවුලේ තොරතුරු මුලින්ම කතා කළොත්...?
මගෙ තාත්තා සුනිල් විමලවීර. අම්මා දමයන්ති විමලවීර. තාත්තා ගීත රචකයෙක්. ඒ වගේ සිනමාවට සම්බන්ධ කෙනෙක්. මගෙ අම්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින කෙනෙක්. මගෙ ලොකු තාත්තා සරත් විමලවීර. ඔහුත් ජනපි‍්‍රය ගීත රචකයයෙක්; ඒ වගේම දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙක්. අපේ පවුලේ එකම දරුවා මම.
ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද?
මම පාසල් ගියේ ගාල්ලේ ශ්‍රී ගාර්හා කන්‍යාරාමයට සහ ශාන්ත පාවුළු බාලිකා විදුහලට. පාසල් යන කාලෙත් මම ගීත ගායනයට කැමැතියි; තරමක් දක්ෂයි. ඒ අභාසය මට ලැබුණෙ දෙමව්පියන්ගෙන්. මගෙ දෙමව්පියන්ට ගීත ගයන්න පුලුවනි. සනත් නන්දසිරි සර් යටතේ මම සංගීතය වැඩිදුරටත් ඉගෙන ගත්තා. සංගීත විශාරද විභාගයත් මම කළා.
කලා ක්ෂේත්‍රයට එන්න පුංචි කාලෙ ආශාවක් තිබුණද?
මගේ පවුලෙ වැඩිහිටියන්ගේ කලා හැකියාවන් මට උපතින්ම උරුම වෙලා තියෙනව කියල හිතෙනවා. පුංචි කාලෙ මගෙ ආශාව වුණේ වෛද්‍යවරියක් වෙන්න. උසස් පෙළට මම තෝරාගත්තෙ ජීව විද්‍යා විෂයන්. උසස් පෙළ පන්තියෙ අවුරුදු දෙකෙන් පළමු අවුරුද්ද ජීව විද්‍යා විෂයයන් ඉගෙනගෙන දෙවැනි අවුරුද්දෙ මම කලා විෂයයන් කළා. විභාගයට මම ඉදිරිපත් වුණේ කලා විෂයන්ගෙන්. එකවරම මට විශ්ව විද්‍යාලයට යන්න ලැබුණා. කොළඹ විශ්ව විද්‍යාලයෙන් මම සාමාන්‍ය උපාධිය පසුගිය දවස්වල ලබාගත්තා.
එතකොට ඔබ නිවේදිකාවක් වුණේ?
එක දවසක් ගෙදර ඉන්නවිට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරණයවුණු දැන්වීමක් දැක්කා ළමා නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නවා කියල. ඒකට ඉල්ලුම් පත්‍රයක් දමල මම ඒ ගැන තාත්තාට කිව්ව. තාත්ත තමයි මගෙ අතින් අල්ලගෙන ස්වාධීන රූපවාහිනියට එක්කගෙන ගියේ. ඒ පරීක්ෂණයෙන් මම සමත් වුණා. ‘ළහිරු මඬල’ තමයි මම මුලින්ම ඉදිරිපත් කළ වැඩසටහන. ඊට පසුව සමනල උයන, සෙල්ලම් ගෙදර, හැඩකාර හැන්දෑව, දේදුනු හැන්දෑව, ලස්සන ගෙදර වැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට දායක වුණා. මගේ කලා දිවියේ මහගෙදර තමයි ස්වාධීන රූපවාහිනිය.
ගායිකාවක් ලෙස මේ වන විට ඔබ කොතෙක් දුරක් පැමිණ තිබෙනවාද?
මගෙම ගීත කීපයක් ම මේ වන විට මම ගයල තියෙනව. උදයකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්‍ෂණය කළ ‘චැලෙන්ජර්’ චිත්‍රපටයේ ගීතයක් ගයන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම “අමා” ටෙලි නාට්‍යයේ, “චරිතයකට පාට දෙන්න” සිරස රූපවාහිනියේ ‘රැජින’ ටෙලි නාට්‍යයේත් තේමා ගීත ගයන්න මේ වන විට මට අවස්ථාව ලැබිල තියෙනව. ‘අමා’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය මගේ ගායන දිවියේ සන්දිස්ථානයක්. ඒකට මාව තෝරා ගැනීම ගැන සාන්ත සොයිසා මහතාට සහ ළහිරු අයියට ස්තුති වන්ත වෙනවා. මීට මාස කීපයකට පෙර ”සීමා නෑ” නමින් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පවත්වන්න මට හැකි වුණා. ඒක තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ.
ඒ ප්‍රසංගය සාර්ථක වුණාද?
හිතුවාටත් වැඩිය හොඳට ඒක සාර්ථක වුණා. මට ඕනෑ කළා විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න ඉස්සර වෙලා කලා අංශයෙන් යමක් කරන්න. ඒ අරමුණයි, “සීමා නෑ” ප්‍රසංගය පැවැත්වීමෙන් මම ඉටු කරගත්තේ. විශ්ව විද්‍යාලයෙන් පිට වුණාට පස්සෙ විශ්ව විද්‍යාලය ඇතුලේ සංගීත ප්‍රසංගයක් පවත්වන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒ ප්‍රසංගය පවත්වන්න මට ගොඩක් දෙනෙක් උපකාර කළා. ලංකාවේ විශ්ව විද්‍යාල බොහොමයකින් ප්‍රසංගය බලන්න ආව. නව පරපුරේ කලා ශිල්පීන් වගේම ප්‍රවීණ කලා ශිල්පීන් රැසක්ම මගෙ ප්‍රසංගය නරඹන්න ආව. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.
මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?
මේ දවස්වල නිවේදන කටයුතුවලට වඩා මම වැඩි අවධානයක් යොමු කරන්නෙ ගායන කටයුතුවලට. ‘සංහිඳ’ වැඩසටහනේ ගීත ගයනව. ඒ වගේම මගේ “සීමා නෑ” ගීතය සඳහා රූපරචනාවක් කරන්න මේ දිනවල සූදානම් වෙනවා.
රංගනයට යොමුවෙන්න බලාපොරොත්තුවක් නැතිද?
කොහෙත්ම නෑ.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන ඔබේ ආකල්පය...?
මගේ අම්ම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇය භාවිතා කරන්නෙ ඉන්දියානු රූපලාවණ්‍ය ශිල්පීය ක්‍රම. එය වෙනමම හදාරන්න ඕන විෂයක්. මගෙ ආශාවක් තියෙනව ඒ විෂයත් ඉන්දියාවට ගිහිං ඉගෙනගන්න.
ඔබ පොතකුත් එළිදැක්වූවා නේද?
නිසඳැස් ලියන්න මම හරිම කැමැතියි. මම ලියපු නිසඳැස් කිහිපයක් තමයි ”නොහිමි” නමින් එළි දැක්වුණේ.
යෞවන ප්‍රේමය ඔබට සමීපද?
ඇත්තෙන්ම ඔව්. පුංචි කාලෙ ඉඳලම මම ඒ ඒ වයසෙදි විඳින්න ඕන හැමදේම මම උපරිමයෙන් විඳල තියෙනව. පවුලේ එකම දරුවා නිසා දෙමව්පියන්ගෙ ආදරය මට උපරිමයෙන් ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. මේ වනවිට මම යෞවන ප්‍රේමය උපරිම විදියට ලබමින් ඉන්නවා. ලබන වසරේ මගේ විවාහය සිදුවේවි.

අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින්

සිංහයෙකුගේ පුනරාගමනය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මා නැරඹු වාර ගණන පිළිබඳ මට හරි මතකයක්‌ නැත. වසරකට නොව, මසකට දෙතුන් වතාව එය නැරඹු අවස්‌ථා ද ඇති බව නම් මට මතකය.

ඒ සෑම වතාවකම මා මවිතයට හා පරමානන්දයට පත් කළ නාටකීය චරිතය සිංහයා ය. මා සිංහබාහු රස විඳින කාලය වන විට සිංහයාගේ චරිතයට සිය අසමසම රංගන ප්‍රතිභාවේ අන්තිම බින්දුව දක්‌වා නිර්ලෝභීව කැප කළ අසහාය රංගධරයා වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත්ය.

ජය ශ්‍රී චන්ද්‍රජිත් නම් වේදිකා නාට්‍ය රංගනවේදියා මගේ හදවතේ ගැඹුරුම තැන අරක්‌ගත්තේ සිංහයා චරිතය නිසා ය. ඉන් පසුව ඔහුගෙන් මා දුටු අශෝක හඳගමගේ 'මාඝාත' ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'මකරාක්‍ෂයා' වැනි නාට්‍යවල අති විශිෂ්ට රඟපෑම් ඔහුව තව තවත් මා හද පතුලේ පැළ පදියම් කර තැබුවේය. ඒ හැරුණු විට වේදිකාවේ සිට ඔහු මා ආමන්ත්‍රණය කළ තව තවත් ලොකු කුඩා චරිත බොහෝ ය.

කාලයාගේ ඇවෑමෙන් ඔහු ඔස්‌ටේ්‍රලියාවේ පදිංචියට ගියේය. එදා පටන් අද දක්‌වා මා තවම සිංහබාහු නාට්‍ය නරඹා නැත. එදා ඔහු පෙන්නුම් කළ රංගන පෞරුෂය එතෙක්‌ මෙතෙක්‌ කාලය තුළ වේදිකාවේ කවර නළුවෙකුගෙන්වත් මා නම් දුටුවේ නැත.

එහෙත් පසුගිය දවසක හැන්දැ වැරුවේ හදිසියේම මම සිංහයා දුටුවෙමි. දවස ඉකුත් 22 වැනි අඟහරුවාදා ය. තැන කොළඹ බොරැල්ලේ ඊ.ඒ.පී. අවන්හලේ වායු සමනය කළ ශාලාවයි. මමත්, ලංකාවේ කලාව සාහිත්‍යය ගැන ලියන පත්තරකාරයෝ පිරිසකුත්, කලාකරුවෝ පිරිසකුත් එතැනට එක්‌ව සිටියේ ලබන මස අලුතින් අපට දක්‌නට ලැබෙන අලුත් වේදිකා නාට්‍යයක්‌ ගැන කතා බහ කරන්නටය. ඒ කතා බහේ ප්‍රධාන නළුවා වූයේද ජය ශ්‍රී චන්ද්‍රජිත් ය.

රාත්‍රිය තව තවත් අඳුරු වන විට භාවයන් සියුම් වූ සැවොම පැරැණි නාට්‍ය ගීතවල රස බලන්නට ද වූහ. සුපුරුදු කේසර සිංහයා යළි කරළියට ආවේ ඒ මොහොතේ ය.

ජය ශ්‍රී සිය හැඟුම්බර ස්‌ථාවර ගරු ගාම්භීර කටහඬ අවදි කරමින් සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ ගීතය ගයන්නට පටන් ගත්තේය. සුපුරුදු සිංහයා දෑත් දෙපසට විහිදමින් උරහිස්‌ අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින් ඒ ජවසම්පන්න ගීය හැඟුම්බර ලෙස ගයනු දුටු මම ගල්ගැසී බලා සිටියෙමි. චන්ද්‍රසෝම බින්දුහේවා නිවැරැදි තාල නාද තබමින් ඩොලැක්‌කියක්‌ මද්දලය ලෙස වාදනය කරන්නට පටන් ගත්තේය. සංගීත ශිල්පී නවරත්න ගමගේ බලා සිටියේය. නලින් ප්‍රදීප් උඩවෙල නිලන්ති හීන්දෙණිය, µර්නි රෝෂණී, සුදර්ශන බණ්‌ඩාර, රංජිත් නාඔටුන්න, ආදීහු අත්වැල් ගායනා කරන්නට වූහ.

ගල්ලෙන බිඳලා ගීතය අතිශය හැඟුම්බරව සිංහයාගේ වැළපිල්ල දක්‌වාම ගායනා කරමින් ජය ශ්‍රී අංග වින්‍යාසය පෑ අපුරුව බලා සිටියේ මා පමණක්‌ නොව. ඊ.ඒ.පී. අවන්හලේ තැන් තැන්වල මධුවිත තොල ගාමින් සිටි බොහෝ දෙනෙක්‌ ඒ වන විට පැමිණ විදුරු බිත්ති අතරින් එබි එබී සිංහයාගේ වැළපිල්ල රස විඳින අයුරු මම දැක ගත්තෙමි.

සිංහයා යළිත් ලංකාවේ වේදිකාවට පුනරාගමනය කර ඇතැයි මට සිතිනි. අතීතයේ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ වේදිකාව මතින් ඇසුනු සිංහයාගේ වැළපිල්ලම වසර ගණනාවකට පසු යළිත් සජීවී ව අසා මා මන් මත් කළ ආශ්වාදය මෙසේ ලියා තබන්නට මා පෙළඹවූ බව කිව යුතුය.

අපි එදා එසේ එක්‌ රැස්‌ වූයේ ද ජයශ්‍රී චන්ද්‍රජිත් නිර්මාණය කර නිෂ්පාදනය කරන අලුත් නාට්‍යයක්‌ ගැන කතා බහ කරන්නටය. නාට්‍ය "උමතුසං වරුසාව" ය. සෝමපාල ගුණධීරයන්ගේ පිටපතක්‌ ඇසුරින් පද්මසීල ද සිල්වා අධ්‍යක්‍ෂණය කර 1973 දී මුල්වරට වේදිකාගත කළ උමතුසං වරුසාව එදා නොමද ප්‍රේක්‍ෂක සම්භාවනාවට බඳුන් වූ උසස්‌ නාට්‍යයකි. ජය ශ්‍රී ගේ පළමු නාට්‍ය අධ්‍යක්‍ෂණය ලෙස දොරට වඩින මෙම නාට්‍යය උමතුසං වරුසාවේ දෙවන නිෂ්පාදනයයි.

උමතුසං වරුසාවේ මංගල දැක්‌ම දෙසැම්බර් 7- 8 දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත වන්නේ සිංහල වේදිකා නාට්‍ය කලාවේ සිංහයාගේ අලුත් පුනරාගමනයක්‌ සමඟ බව නිසැකය.
බුලිත ප්‍රදීප් කුමාර

බීල හිටියනම් මම මෙහෙම නෙමෙයි කතාකරන්නෙ

ජින්ජර්ව ඇතිකළා වගේම
නැති කරන්නෙත් මමමයි

බීල හිටියනම් මම
මෙහෙම නෙමෙයි කතාකරන්නෙ


බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ප්‍රසංග වේදිකාවේ ගිනිsසිළුව කියලා. සැබවින්ම ඇය ප්‍රසංග වේදිකාවේ දී වෙනස්‌ම වූ ශෛලියක්‌ තමයි අනුගමනය කරන්නේ. යෞවන යෞවනියන් ඇය වේදිකාවට ගොඩ වූ විට කියන්නේ ගින්දර වගෙයි කියලා. ඒ තරමටම ඇය යෞවන යෞවනියන් අතර ජනප්‍රියයි. ප්‍රසංග වේදිකාවේ වෙනස්‌ම රටා මවන ඇය නමින් ජින්ජර්. කලකට පසුව අපි ජින්ජර් සමග කතාබහ කරන්න අදහස්‌ කළේ ඇය ගැන ඔබ නොදන්න තොරතුරු ටිකක්‌ ඔබට කියන්න.


ජින්ජර් මොනවද අලුත් වැඩකටයුතු ?

මම හැමදාම අලුත් වෙන්නේ වේදිකාවේදී. කොහොමත් මම රසිකයන්ට ගායනය විතරක්‌ නොමෙයි ප්‍රාසාංගික අත්දැකීමකුත් ලබාදෙනවා. ඒ නිසා මගේ අලුත් වැඩකටයුතු කියන්නේ ජනතාවට නරඹන්න යමක්‌ ලබාදීම. මම සංයුක්‌ත තැටි නිකුත් කරන්න බලාපොරොත්තුවක්‌ නැහැ. ප්‍රාසාංගික අත්දැකීම් එක්‌ක මගේ ගීත ප්‍රසංග වේදිකාවේ තමයි එළිදක්‌වන්නේ.

ඔබ වේදිකාවේ බොහොම කලබලකාරී ශෛලියක්‌ අනුගමනය කරන කෙනෙක්‌. මේක සාර්ථකද?

අනිවාර්යෙන්ම. මොකද මම හිතන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත සහ ප්‍රසංග වේදිකාව එකිනෙකට වෙනස්‌. ඒක මම හරියාකාරව අවබෝධ කරගත්තු කෙනෙක්‌. අනික මම මෙතැනට ආවේ වේදිකාවෙන්. වේදිකාව කියන්නේ මිනිස්‌සුන්ට බලන්න යමක්‌ ලබාදෙන තැනක්‌. මගේ කලබලකාරී ශෛලිය ආන්දෝලනයක්‌ ඇතිකළා කියලයි මම හිතන්නේ.

ඔබේ ශෛලියට විවේචන තිබෙනවා නේද?

විවේචන නැතිනම් මගේ ශෛලය සාර්ථක නැහැ. විවේචන තිබුණොත් තමයි මම දන්නේ මෙය සාර්ථකයි කියලා. ලෝකයේ ඕනෑම කෙනෙක්‌ තවත් කෙනෙකුගේ හොඳ නොවෙයි දකින්නේ. නරක තමයි කතාබහ කරන්නේ. විඳින්න දන්නේ නැති අය තමයි මම ගැන වැරදියට කතාබහ කරන්නේ. යමක්‌ විඳින්න දන්න ජනතාව ඇත්තටම මට ආදරය කරනවා. මොකද මම සමාජයට පණිවිඩයක්‌ ලබාදෙන ගායිකාවක්‌.

සමහරු කියනවා නැටුවට දැඟලුවට ඔබට සින්දු කියන්න බැහැ කියලා ?

මම ඔය කතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ. මගේ දිනපොත බැලුවනම් ඔය කියන අය මට සින්දු කියන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරාවි.

ජින්ජර් ඇයි මේ වෙනස්‌ම විලාසිතාවක්‌ අනුගමනය කරන්නේ ?

මම කරන මේ විලාසිතා පැරණි චිත්‍රපටවලදී පවා දකින්න ලැබෙනවා. මගේ කිසිදෙයක්‌ අලුත්වෙලා නැහැ. මම හිතන්නේ ආයෙත් මම ගමන් කරන්නේ අතීතයට. අලුත්වෙලා තියෙන එකම දෙය තමයි මගේ ශෛලිය.

මේ කාලේ ගීත ජනප්‍රිය කරගන්න නම් රූපය සහ නිරූපණයට මුල්තැනක්‌ හිමිවෙලා තියෙනවා නේද?

ඇත්තම කියනවා නම් වේදිකාවේ සාර්ථක වෙන්න බැරි කෙනෙක්‌ තමයි ඔය කියන නිරූපණය සහ රූපයට මුල්තැනක්‌ දෙන්නේ. ඒ වගේ කට්‌ටිය මමත් රූපවාහිනියෙන් නම් ගොඩක්‌ වෙලාවට දැකලා තිබෙනවා. මගේ තැන වේදිකාව, ඉතිං මම හිතන්නේ නැහැ මට විෂුවල් ඕනෑ කියලා. මොකද මමම විෂුවල් එකක්‌. මම වේදිකාවේ වීඩියෝ එකක්‌ වගේ තමයි.

සැමියා බනින්නේ නැතිද මේ කරන විලාසිතාවලට?

අපොයි නැහැ. එයා තමයි මාව දිරිගන්වන්නේ. ඇත්තම කියනවා නම් එයා ජොලියට බර මනුස්‌සයෙක්‌. හරි විනෝදයෙන් තමයි ඉන්නේ. මට බාල, තරුණ, මහලු අය ජනප්‍රියයි. ප්‍රසංගයකදී මුලින්ම එන්නේ පොඩි අය. ඊට පස්‌සේ තමයි කොල්ලෝ ටික එන්නේ. මම නටනකොට අපේ සීයලත් නටනවා. මගේ සැමියා මගේ විචාරකයෙක්‌. එයා තමයි මාව වැඩියෙන්ම විවේචනය කරන්නේ. ඒකට මම කැමැතියි.

පවුල් ජීවිතයේත් ළඟදී ලොකු වෙනසක්‌ වුණා නේද? ඒ ගැනත් කියමු ?

අවුරුදු 13 කට පසුව මට දෙවැනි බබා ලැබුණා. ඒකට හේතුව වේදිකාවේ දී තිබෙන කාර්යබහුලත්වය. මම හිතන්නේ මම ලොකු වැරැද්දක්‌ කළා. මීට කලින් තමයි මම දෙවැනි වරට අම්මා කෙනෙක්‌ වෙන්න තිබුණේ.

දැන් ඉස්‌සරට වැඩිය වගකීම් වැඩියි. හිතෙන්නේ නැතිද වේදිකාවෙන් සමුගත්තා නම් හොඳයි කියලා ?

ළමයි කියන්නේ අපේ ජීවිතයෙන් කොටසක්‌. වගකීම් වැඩි වෙන්නේ දරුවෝ උස්‌ මහත් වුණාට පස්‌සේ. ඒ වගකීම් හරි සරලයි.

ඔබට දැන් ලොකු පුතෙක්‌ ඉන්නවා. ඔය විදිහට වේදිකාවේ නටල දඟලන එක හරිද?

අම්මෝ පුතා තමයි මාව දිරිගන්වන්නේ. මම හරිම සරලව හිතන පතන කෙනෙක්‌. එයා වුණත් කැමැතිනේ අම්මා විනෝදයෙන් ඉන්නවාට. පුතාගේ වගකීමත් ඉටුකරනවා. පුතා මට අම්මා කියනවාට වඩා අක්‌කා කියලා තමයි කියන්නේ.

ජින්ජර්ගේ සැබෑ නමත් මේ කතාබහේදී කියමු නේ ?

සැබෑ නම ඕනෑ නැහැනේ. පරණ නමින් නෙවෙයිනේ මම ජනප්‍රිය වුණේ. ඒ හින්ද මම ඒ නමට කැමැති නැහැ.

ගීත ඇල්බමයක්‌ කරන්න අදහසක්‌ නැතිද ?

ගීත ඇල්බම් නම් හතරක්‌ කළා. මම දන්නේ නැහැ ඒවා මාධ්‍ය තුළින් කොච්චර දුරට සාර්ථක වුණාද කියලා. නමුත් වේදිකාව තුළදී සාර්ථක වුණා කියලා නම් මම දන්නවා.

ඔබ වේදිකාවේ හැසිරෙන විදිහ ගැන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා විරුද්ධයි කිව්වොත් ?

අනිවාර්යෙන් විරුද්ධයි. මොකද එයාලට ඒ දේ කරන්න බැහැනේ. ඒකයි ගැටලුව. මට පුළුවන් සාරියක්‌ ඇඳන් සින්දු කියන්න. නමුත් මට බනින අයට බැහැනේ වේදිකාවේ නටලා දඟලලා රසිකයන්ට පොඩි විනෝදයක්‌ ලබාදෙන්න.

තවත් සමහරු කියනවා ඔබ වේදිකවාට ගොඩවෙන්නේ මත්පැන් පානය කරලද දන්නේ නැහැ කියලත් ?

මත්පැන් පානය කරලා වේදිකාවට ගොඩවුණා නම් ඔහොම නොවෙයි කතා කරන්නේ. මම හිතනවා ඊට වඩා දරුණු විදිහට කතා කරයි. ඔය වගේ කතා කියන අය මම දැකලා තිබෙනවා විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වේදිකාවට ගොඩවෙනවා. කෙනෙකුට දැක්‌ක නම් තේරෙනවා මම වේදිකාවේ අනුගමනය කරන්නේ ප්‍රාසාංගික බවක්‌ කියලා. නිකං උඩපැනලා, දඟලන්නේ නැහැ. ගොඩක්‌ අය හිතනවා මම නටනවා කියලා. මම නටන්නේ නැහැ. වේදිකාවේ මම කරන්නෙ ව්‍යායාමයක්‌. මත්පැන් පානය කරලා එහෙම දේවල් කරන්න බැහැනේ.

මේ සියල්ල අතරේ ගැවසෙන ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?

ජින්ජර් කියන්නේ එක චරිතයක්‌ පමණයි. ජින්ජර්ව සැබෑ ජීවිතයේ දකින්න පුළුවන් කෙනෙක්‌ නෙවෙයි. මේ චරිතයට පණ දුන්නේ මම. කවදා හරි දවසක මේ නම නැතිකරලා දාන්නෙත් මමයි. මේ චරිතය වෙන කාටවත් නැතිකරන්න බැහැ. නැතිකරන්න පුළුවන් මට විතරයි. කවුරුත් ජින්ජර්ව එපා කියනකං මම ඉන්නේ නැහැ. මොකද මමනේ ජින්ජර්ව ගෙනාවේ. කවුරු හරි එපා කියන්න කලින් මම ජින්ජර්ව අරගෙන යනවා. ඒ දවස කවදාද කියන්න බැහැ. මම වේදිකාවේ ආන්දෝලනයක්‌ ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විඳින්න පුළුවන් නම් ජින්ජර්ව විඳින්න.


දිනේෂ් විතාන
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත



Divayina

නංගියෙක් හරි මල්ලිනයක් හරි ගෙනාවද කියල බලන්න

ඕෂි හැමදාම හැන්දෑවට බෑග් එක බලන්නේ

පවුලේ එකම දරුවා නිසා දෝණි හැදුණේම අම්මාගේ තුරුලේමයි. අම්මාත් හැම වෙලාවේම දෝණිව තමන් ළඟින්ම තියා ගන්නත් අමතක කළේ නෑ.
දවසක් පුංචි දෝණි අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා ටවුමට ගියා. එතකොට මේ පුංචි කෙල්ලට යාන්තම් අවුරුදු දෙකක් විතර ඇති.
එක පාරටම මේ හුරතලීගේ ඇහැ නැවතුණේ රතු පාට ඉංග්‍රීසි අකුරින් ලියා තිබූ නාම පුවරුවක් ළඟ. මේ කෙලි පැටික්කි දෙවරක් නොසිතා හයියෙන් බී, ඒ. ටී. ඒ කියා කෑ ගැසුවා. ඒ හඬට ඇයත් මවත් දෙස හැරී නොබැලූ කෙනෙක් නොමැති තරම්.
අපහසුතාවයට පත් අම්මා නම් දූ සිඟිත්තිය සමඟ ඊට පසුව පාරේ ඇවිදගෙන යන විට ඇතැම් අවස්ථාවලදී දෝණිගේ කට සියතින් වැසුවේ යළිත් පෙර සිදු වූ වැන්නක් යළිත් නොවන්නට වග බලා ගනිමින්.
මේ කතාව මා සමඟ පැවසුවේ සරලා අමරසිරි ගුණවර්ධන මහත්මියයි. මේ සතියේ පුංචි දවස්වල විශේෂාංගයෙන් අතීත මතකයන් පෙළ ගස්වන්නේ ඕෂධී හේවාමද්දුම නම් යොවුන් රංගන ශිල්පිනියගේ ආදරණීය මෑණියන්.
දුවට චූටි කාලේ එයාගේ වයසේ අනිත් ළමයින්ට වඩා හොඳට කියවන්න පුළුවන්.
දවසක් දූගේ පෙර පාසලේ මිස්ගේ දුව උම්මග්ග ජාතකය ගෙනහල්ලා. එයා දුවට වඩා වැඩිමල් දරුවෙක්.
අපගේ දූ ඒ දරුවා ළඟින් දුවන ගමන් උම්මග්ග ජාතකයේ තිබුණ වචනයක් කියලා.
මිස්ටත් හරිම පුදුම හිතිලා. ඇත්තටම පෙර පාසල් යන සමහර දරුවෝ හැමදාම කියලා දෙන වචනයක වුණත් අකුරු අමුණගෙන කියවන්නෙ හරිම අමාරු වෙන්නේ.
දුව පුංචි කාලේ ඉඳන්ම හරිම කැමැතියි පොත් කියවන්න. එයා ශිෂ්‍යත්වෙන් ලකුණු 182 ක් අරගෙන සමත් වුණා. ඉස්සර එයා කිව්වෙ කවදා හරි එයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා.
දූ ඉගෙනීමටත් දක්ෂ නිසා මමත් හිතුවා එහෙම වෙයි කියලා. ඉතින්, දුව පුංචි කාලේ අපේ අම්මා හිටියෙත් අපේ ගෙදර.
අම්මාට දියවැඩියාව තිබුණ නිසා ගෙදරදී අම්මාට ඉන්සියුලින් ඉන්ජක්සන් එකක් දෙනවා.
මම දවසක් නිදාගෙන ඉන්න කොට මොකෙක්දෝ මගේ අත කනවා වගේ දැනිලා නැගිටලා බැලින්නම් මගේ පුංචි දොස්තර නෝනා එයාගේ ලේයි මගේ ලේයි එක පාටද කියලා බලන්න අපේ අම්මාට බෙහෙත් විදින සිලින්ජරයක් අරගෙන ඇවිත් මට විදිනවා.
පුංචි දොස්තර නෝනා හැදුනෙම තනියම. ඉස්සර අපිත් එක්ක රංඩු කරනවා නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන කියලා.
දූ හැමදාම හවසට තාත්තා ගෙදර ආවාම තාත්තා නංගියෙක් හරි මල්ලියෙක්ව ගෙනහල්ලා ඇතයි කියලා බෑග් එක අවුස්සනවා.
ආ . . . මට දුව ගැන බය හිතුණු දවස ගැන නම් කියන්නම ඕන. ඉස්සර ‘ඉරට අඬන මල්’ ටෙලි නාට්‍යය රූගත කළේ අපේ ගෙවල් ළඟ. ඉතින් ඒ කාලේ අපේ ගෙදර තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ දුව සෙල්ලම් කළේ.
ඒ දුවත් ඕෂිගේ වයසෙමයි. දවසක් දුවලා දෙන්නාම පඩි පෙළේ සෙල්ලම් කර කර හිටියා. මමත් ඒ අතරවාරයේ මගේ වැඩක් කළා.
එක පාරටම දුවලා දෙන්නම හයියෙන් කෑගහලා අඬනවා ඇහුණා. මම හොඳටම බය වෙලා දුවගෙන ගියා.
ඕෂිගේ කටේ ලේ පිරිලා. අනිත් දුවගේ කටිනුත් ලේ එනවා. ඊට පස්සේ මම දෙන්නාවම ඩොක්ටර් ළඟට එක්ක ගෙන ගිහින් බෙහෙත් දැම්මා.
ඊට පස්සෙ මම ඇහුවා දෙන්නාගෙන් මොකද වුණේ කියලා. දන්නවද මොකද වෙලා තියෙන්නේ කියලා? ආදරේ වැඩිකමට ඕෂි අනිත් දරුවාව වඩාගෙන.
ඊට පස්සේ ඒ දරුවාව මෙයාගේ ඇඟ උඩට වැටිලා. ආදරේ නිසා තව පොඩ්ඩෙන් ඕෂධීට දතුත් නැති වෙනවා.
පුංචි කාලේ දූ එච්චරම දඟ නෑ. හැබැයි චණ්ඩි පැටියා කිසිම දේකට බය නෑ.
මම මොනවා හරි දේකට බය වුණාම දූ මං ළඟට ඇවිත් කියනවා ‘අම්මා බය වෙන්න එපා මං ඉන්නවානේ’ කියලා.
එදා මගේ තනියට හිටපු දෝණි ගැන මම දැන් වෙනදාටත් වඩා හොයලා බලනවා.
පුංචි කාලේ ඉඳන්ම අද වෙනකන් හෙවනැල්ල වගේ හැම වෙලාවෙම මම හිටියේ දුව ළඟමයි. දොස්තර කෙනෙක් නොවුණත් දුව අද ඉන්න තැන ගැන මම වගේම දූගෙ තාත්තාත් සතුටුයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money